උ කොටස, ඍ කොටස, එ කොටස සහ ඔ කොටස

උ කොටස:

උක, උග, උඩ, උච, උජ, උට, උත, උද, උණ, උප, උභ, උර, උල, උස

උක

▲ උක්කන්ටක රෝගය- Ukkantaka rogaya :උක්කන්ටක රෝගය ලෙසින් පෙන්වා ඇත්තේ සමේ ඇතිවන හොරි, කුෂ්ඨ රෝගයකි. උපමාව: සිවලා. එවැනි රෝගයට ලක්වූ සිගාලයාට- සිවලෙකුට (නරියාට) එක තැන සිටිය නොහැකිය. එලෙසින් ලාභසත්කාර ආදියට යටවූ භික්ෂුවට එක්තැන්වී දහම් මග වඩා ගැනීමට නොහැකිය.බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍රය: සංයු.නි: (2) නිදාන්වග්ග: ලාභසත්කාර සංයුත්ත:5.1.8 සිගාල සූත්‍රය, පි.372.

▲ උකෙඛපනීයකම්ම- Ukekhapaniya kamma :මෙය විනය කම්මයකි. වැරදිකල භික්ෂුවක් ඒ වැරැද්දට පිළියම් කර ගන්නාතෙක්, සංඝයා විසින් බැහැර කිරීමේ විනයය. එනම්, ඇවත් නොදැක්මය. ඡන්න කපිලවස්තු තෙර හික්මවීම පිණිස, අරිට්ඨ භික්ෂුවගේ පවිටු ලාමක දිට්ඨිය අවසන්කරගැනීම පිණිස, මේ විනය පැනවීම බුදුන් වහන්සේ අනුමත කළහ.බලන්න: උපග්‍රන්ථ:1, 4. මූලාශ්‍රය:වින.පි: චුලවග්ග පාලිය I, ඇවැත් නොදැකීමේ උකෙක්ඛපනීයකම්ය, පි.104.

උග

▲ උග්ගහ මෙණ්ඩක සිටුපුත්- Uggaha Medakasituputhra බලන්න: උපග්‍රන්ථය:3.

▲ උග්‍ග විසාලානුවර ගහපති-Ugga Householder of Visalapura බලන්න: උපග්‍රන්ථය: 3

▲ උග්‍ග හත්ථිගාම ගහපති - Ugga Householder of Hatthigāma බලන්න: උපග්‍රන්ථය: 3.

▲ උග්ඝටිතඤඤු - Ugghatithannu :උග්ඝටිතඤඤු, උසස් ප්‍රඥාව ඇතිබව මින් අදහස් කරයි. දහම් ඇසු කෙනෙහිම, චතුසත්‍ය අවබෝධ කරගැනීමේ හැකියාව ඇතිබවය. බලන්න: ප.සි.ශ,පි:163. සටහන: ක්‍ෂණික අභිඥා-ඛිප්පාභිඤඤා ඇතිබව:උග්ඝටිතඤඤුය. බාහිය දාරුචිරිය රහතුන්හට එම උසස් ප්‍රඥාව පැවති නිසා දහම ඇසු පමණින්ම අරහත්වය ලැබුබව පෙන්වා ඇත. බලන්න: ඛු.නි:උදාන පාලිය: බාහිය සූත්‍රය. මූලාශ්‍ර: අංගු.නි:(1) 1නිපාත:එතදග්ග පාළියසූත්‍ර,පි.84, EAN:1:Foremost, p. 44.

උඩ

▲ උඩඟුකම - Pride :උඩඟුකම-අහංකාරය ලෙසින්ද පෙන්වා ඇත. මෙය අකුසලයකි. බලන්න: අහංකාර.

උච

▲ උච්චාසයන මහාසයන - Ucchasayana Mahasayana :උච්චාසයන (higher seats)යනු උස් ආසනයන්ය, මහාසයන යනු සැපපහසු ආසනයන්ය. උපෝසථ අටසිල් හා සාමණේර දසසිල් රකිනා අය එවැනි ආසන භාවිතයෙන් වැලකි සිටිති. බලන්න: ශිලය. සටහන: පා.සි.ශ: පි.164: “උස් ආසනය-වඩු රියනකින් උස් ආසනය. බොහෝ සැපපහසු ලෙස සකස් කල ඇඳ පුටු ආදිය”.

▲ උච්චේද දීට්ඨිය - Uccheda-diţţhi: Annihilation view : මෙය, බුදුන් වහන්සේ වැඩසිටි සමයේ අන්‍යපරිබ්‍රාජකයන් දැරූ විවිධ මතයන්ගෙන් එකකි. උච්චේද වාදය ලෙසින්ද පෙන්වා ඇත.එනම්, මරණින් මතු නැවත ඉපදීමක් නැතැයි යන ඇදහීම (වාදය). උචෙඡද දෘෂ්ටිකයා - ඒ අදහස දරන තැනැත්තාය. දිවි ඇතිතාක් සැපසේ ජිවත්විය යුතුය. නැවත මේ ශරිරයේ ඒමක් -පැමිණීමක් නැත ආදී අදහස් ඔවුන් දරයි. බලන්න: දිට්ඨි, අන්ත දිට්ඨි සතර. සටහන: අංගු.නි: (5) 8 නිපාත: වෙරඥ සූත්‍රයේ මේ ගැන විස්තරාත්මකව පෙන්වා ඇත.

▲ උච්ඡඬ පඤඤා - lap-like wisdom :උච්ඡඬ පඤඤා ලෙසින් පෙන්වා ඇත්තේ මද ප්‍රඥාවය. මෙය ඔඩොක්කුවේ ප්‍රඥාව ලෙසින්ද පෙන්වා ඇත. දහම අසන කෙනක්, නැගීසිටිවිට ඇසු දහම අමතකවීම මින් අදහස් කෙරේ. බලන්න: පුද්ගලයෝ තිදෙනා, උපග්‍රන්ථය:5. මූලාශ්‍ර:අංගු.නි: (1): 3 නිපාත: 3.1.3.10 සූත්‍රය, පි. 277, EAN: 3: 30.10 sutta, p. 88.

▲ උච්ඡින්ත භවනෙත්තති- Ucchintha bhavaneththi :උච්ඡින්ත භවනෙත්තති ලෙසින් පෙන්වා ඇත්තේ සංසාරය නැවත ඇති නොවන ලෙස සිඳ දැමීමය. උසුන් මුල්කරනලද තල් ගසක් මෙන් සසර නිමා කිරීමය. උපමාව: තල්ගස, උපග්‍රන්ථය:5. සටහන: * තල්ගස සහමුලින්ම සිඳ දැමුවිට, එය නැවත හටනොගනී. එලෙස භික්ෂුව සියලු අනුසය සිඳ දමා නිවන ලබා ගත යුතුවේ. ** අංගු.නි: (5) 8 නිපාත: වෙරඥ සූත්‍රයේදී, තමන්වහන්සේ එලෙසින් කෙළෙස් නිමා කර ඇතිබව බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (4 ):7 නිපාත: 7.1.2.1. අනුසය සූත්‍රය හා අනුසය පහාන සූත්‍රය, පි. 312, EAN:7: 11.1 and 12.2. Underlying tendencies, p. 371.

උජ

▲ උජුපටිපන්න - Ujupatipanna :උජුපටිපන්න යනු, ඍජු මගට- ආරිය අටමගට පැමිණිබවය. මෙය බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතු සංඝ ගුණයකි. බලන්න: සංඝගුණ.

උට

▲ උට්ඨාන වීරිය- Uttanaviriya: කෙළෙස් ප්‍රහීණය පිණිස බලවත් වීරිය කිරීම- අලසබව නැතිකර ගැනීමේ උත්සාහය, උට්ඨාන වීරියය. එම විරිය ඇති තැනත්තා උට්ඨායිකය. බෝසතුන් උට්ඨාන වීරිය වඩා, බුද්ධත්වය ලැබුවෝහ: බලන්න: ඛු.නි: උදානපාලිය: බෝධිවග්ග සූත්‍ර, ප්‍රධන්විරිය.

▲ උට්ඨාන සම්පත -Uttanasampatha: උට්ඨාන සම්පත, සතර සංග්‍රහ වස්තුවලින් එකකි. තමන් කරන රැකියාව හෝ ජිවීකාව පිලිබඳ නිපුණතාවයෙන් සමත්බව, උත්සහාවන්තබව, පරික්ෂාකාරීව තීරණගැනීමේ හැකියාව, සංවිධානයට දක්ෂබවය. බලන්න: සතර සංග්‍රහ වස්තු.

උත

▲ උත්තම ආචාරධර්ම -Utthama achara Dhamma :උත්තම ආචාර ධර්ම නම් ආධ්‍යාත්මික මග වඩාගැනීමට අවශ්‍ය කරුණුය. බලන්න: ආභිසමාචරික ධම්ම

▲ උත්තම ඥානය- Utthama nana: උත්තම ඥානය ලෙසින් පෙන්වා ඇත්තේ අභිඥාවන්ය. බලන්න: අභිඥා.

▲ උත්තම-නීච හා උත්තම-උත්තම පුද්ගලයෝ- Uththama- niche & Uththama-uththama pudgala :උත්තම-නීච පුද්ගලයා ( උන්නතොන්ත) නම්, උසස් කුලයක් ඉපදී, පහත් දේ- දුසිරිතය කරන තැනැත්තාය. මරණින්මතු ඔහු නිරයටයයි. උත්තම-උත්තමපුද්ගලයා (උන්නතුන්නත) උසස් කුලයක ඉපදී, උසස් ලෙස- සුචරිතය ඇති කටයුතු කරයි. ඔහු දෙව්ලොව උපත හිමිකර ගෙන ඇත. බලන්න: ඔනතොනත හා ඔනතුන්නත පුද්ගලයෝ මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: 4.2.4.6 ඔනතෝනත සූත්‍රය, පි.186.

▲ උත්තම පුරුෂයා: පාලි: උත‍්තමපුරිසො: supreme person බුදුන් වහන්සේ, ධම්මවිනයේ උත්තම පුරුෂයා මෙසේ පෙන්වා ඇත: “පඤ‍්චඬවිප‍්පහීනො භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඬ සමන‍්නාගතො ඉමස‍්මිං ධම‍්මවිනයෙ කෙවලී වුසිතවා උත‍්තමපුරිසොති වූච‍්චති” පංච අංග පහ කර ගත්, පංච අංග යන්ගෙන් සමන්විතව, බඹසර පුරාගත් භික්ෂුව, ධම්ම විනයේ (මේ සසුනේ) උතුම් පුද්ගලයාවේ: රහතන්වහන්සේය. (...a bhikkhu who has abandoned five factors and possesses five factors is called, in this Dhamma and discipline, a supreme person who is consummate and has completely lived the spiritual life). සටහන: පහකරගත් පංච අංග නම්: පංච නීවරණයන්ය. සමන්විතවූ පංච අංග නම්: අසේඛ ශිලය, අසේඛ සමාධිය, අසේඛ ප්‍රඥාව, අසේඛ විමුක්තිය හා අසේඛ විමුත්ති ඥානදර්ශනය. මෙහිදී පෙන්වා ඇත්තේ රහතන්වහන්සේ ගේ ගුණයන්ය. බලන්න: නීවරණ, සේඛ හා අසේඛ. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.1.2.2 පංචඅංග සූත්‍රය, පි.58,EAN:10: 12.2 Five Factors, p. 495.

▲ උත්තම දසපුද්ගලයෝ- Ten Superior persons :බුදුන් වහන්සේ උත්තම (ආරිය) පුද්ගලයෝ දස දෙනෙක් පෙන්වා ඇත: “ දස ඉමෙ භික‍්ඛවෙ, පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක‍්ඛිණෙය්‍යා අඤ‍්ජලී කරණියා අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස...”. “ මහණෙනි, මේ පුද්ගලයන් දස දෙනා, ලෝකයාගෙන් තෑගි ලැබීමට, සත්කාර සංග්‍රහ ලැබීමට, පුදපුජා-දක්ෂිණා ලැබීමට, ගෞරව නමස්කාර ලැබීමට සුදුසුය. ඔවුන්ට කරන පුද පුජා නිසා ලෝකයාට බොහෝ පින් ලැබේ”. එනම්: 1) තථාගත සම්මා සම්බුද්ධ 2) පසේ බුදුවරු 3) උභතෝභාගි රහතුන් 4) ප්‍රඥා විමුක්ති රහතුන්5) කායසක්ඛි උතුමන් 6) දිට්ඨිප්‍රාප්ත උතුමන් 7) ශ්‍රදධා විමුක්ත උතුමන් 8) ධම්මානුසාරි උතුමන් 9) ශ්‍රද්ධානුසාරි උතුමන් 10) ගෝත්‍රභූ උතුමන්. බලන්න: ආහුනෙය්‍ය පාහුනෙය්‍ය ආදී ගුණ. සටහන්: * ඉහත ගුණ ආරිය සංඝයා සතු ගුණයන්ය .බලන්න: සංඝගුණ. ** 3-9 දක්වා වූ ආරියන් පිළිබද විස්තර පිණිස බලන්න: සත්ආරිය පුද්ගලයෝ. ** ගෝත්‍රභූ ලෙසින් පෙන්වා ඇත්තේ බුද්ධවංශයට ඇතුලවූ ආරිය පුද්ගලයාය. බලන්න: ගෝත්‍රභූ. මූලාශ්‍ර:අංගු.නි:(6):10 නිපාත: නාථ වග්ග, 10.1.2. ආහුණෙය්‍ය සූත්‍රය, පි.70, EAN: Protector: 16-6 Worthy of Gifts, p. 497.

▲උත්තම ප්‍රතිපදාව-Uttama prathipadawa : උත්තම ප්‍රතිපදාව යනු ඇත්තේ ආරියඅටමගය. බලන්න:ආරියඅටමග. මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාත: ආනන්දවග්ග: 3.2.3.1 සූත්‍රය, පි. 420, EAN:3: Ananda vagga, 71.1. Channa, p. 117.

▲උත්තම මග-Uththama maga: උත්තම මග, ආරියඅටමගය. බලන්න:ආරියඅටමග.

▲උත්තරකුරු ප්‍රදේශය-Uttarakuru :උත්තර කුරු ලෙසින් පෙන්වා ඇත්තේ සක්විති රජ පාලනය කරන සතර දීප යන්ගෙන් උතුරේ පිහිටි ප්‍රදේශයය. බලන්න: සක්විතිරජු. සටහන: ජම්බුද්වීපයට, උතුරින් පිහිටි දේශය, සමහරවිට මධ්‍යම ආසියාව වියහැකිය. බලන්න: EAN:9:note 1884, p.672.

▼උත්තරකුරු වාසින්-ජනයා කරුණු 3 කින් තව්තිසා දෙවියන්ට හා දඹදිව වාසීන්ට වඩා ප්‍රබලයයි මෙහි දක්වා ඇත: 1) ආත්මාර්ථකාමී නොවීම හා අල්ලා නොගැනීම (without selfishness and possessiveness) 2) නියතවූ ආයුෂ තිබීම 3) විශේෂජිවන තත්වයක් තිබීම. බලන්න: ජම්බුද්වීපය , තාවතිංස දේවලෝකය. මූලාශ්‍රය: අංගු.නි: (5) 9 නිපාත: 9.1.3.1 ඨාන සූත්‍රය, පි.462.

▲ උත්තිය - උත්තර තෙර - Utthara Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ උත්තරා උපාසිකාව - Utthara Upasika: බලන්න: උපග්‍රන්ථය:3

▲ උත්තර දේවපුත්‍ර - Utthara Deva: මේ දේවපුත්‍ර බුදුන් වහන්සේ බැහැදැක, ජීවිතය හා මරණය ගැන විමසු බවමෙහි දැක්වේ. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: දෙවපුත්තසංයුත්ත: 2.2.9 උත්තර සූත්‍රය, පි.130.

▲ උත්තර මානවක - Utthara Manawaka : මොහු, කජන්ගලා නියම් ගමේ පාරාශරිය බ්‍රාහ්මණයා ගේ සිසුවෙකි. බුදුන් වහන්සේ, කජන්ගලා නියම් ගමේ, මූඛෙලු වනයේ වැඩ වසන සමයේ බුදුන් වහන්සේ බැහැදැකීමට පැමිණ ඇත. බුදුන් වහන්සේ, ඔහුගෙන් පාරාශරිය බ්‍රාහ්මණයාගේ ඉන්ද්‍රිය භාවනාව පිලිබඳ විමසුහ. ඒ ක්‍රමය, ආරිය විනයේ ඉන්ද්‍රිය භාවනාවට වඩා වෙනස් බව පෙන්වීමට බුදුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. මූලාශ්‍රය: ම.නි: (3) 3.5.10 ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, පි.632.

▲උත්තරී මනුස්සධම්ම- superhuman distinction :උත්තරී මනුස්සධම්ම- උත්තරීය මනුස්ස ධම්ම, ලෙසින් පෙන්වා ඇත්තේ ආරියභාවය ලබාදෙන ධම්මතාය: සතරමග සතරඵල: සෝතාපන්න- අරහත්වයලබාගැනීමට ඉවහල් වන ධර්මතාය. කරුණු 6 ක් පහකරගත් විට ආරියබවට සමත් ඥානදර්ශන විශේෂය පසක් කරගැනීමට හැකිවේ: “ ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ධම‍්මෙ පහාය භබ‍්බො උත‍්තරිමනුස‍්ස ධම‍්මා අලමරියඤාණ දස‍්සනවිසෙසං සච‍්ඡිකාතුන‍්ති”. 1) සිහි මුලාව- මුට‍්ඨසච‍්චං- Muddle-mindedness 2) විමසුම් නුවණ නැතිබව-අසම්ප්‍රජන්‍යය -අසම‍්පජඤඤං - lack of clear comprehension 3) ඉන්ද්‍රිය දොර වසා නොතිබීම - ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතං- not guarding the doors of the sense faculties 4) භෝජනයේ පමණ නොදන්නා බව- භොජනෙ අමත‍්තඤ‍්ඤුතං- lack of moderation in eating 5) දෙපිටකාට්ටු බව- වංචාසහගත බව-කුහනං- duplicity 6) චාටුකථාව- ඉච්චාකථාව-ලපනං- flattery. මූලාශ්‍ර: අංගු.නි: (4): 6 නිපාත: අරහත්වග්ග: 6.2.3.3 උත්තරීමනුස්සධම්ම සූත්‍රය, පි.254, EAN:6: 77.3 Superior, p.360.

▲උත්තරීතර මනුෂ්‍යයා -super human : උත්තරීතර මනුෂ්‍ය (උතුම් මිනිසා) යනු මනුෂ්‍යත්වය -මිනිස්බව ඉක්මවූ පුද්ගලයාය. අතිමානුෂික- අධිමානුසික- බව ලබාගත් පුද්ගලයා- උතුමාය. එනම්, සියලු කෙළෙස්වලින් මිදී, නිවන සාක්ෂාත් කරගත් ආරිය පුද්ගලයාය. ඔහු විමුක්තිය හා විමුක්ති ඥානදර්ශනය පසක් කර ඇත. සටහන: අටුවාවට අනුව දස කුසලයන් යනු මිනිස් ධර්මයන්ය- මනුෂ්‍ය ශිලයය. එම ශිලය මානව දියුණු කරගත් පුද්ගලයා මිනිස් ධර්මයන්ට වඩා උසස්ධර්මතා වන ජාන, විපස්සනා ඥාන, මග ඵල ආදීය ක්‍රමයෙන් සාක්ෂාත්කරගෙන උතුම් ආරියබව ලබාගැනීමට අවශ්‍ය ඥාණදර්ශනය අවබෝධ කරගනී- නිවන් සුවය ලබාගනී. බලන්න:EAN: note:44, p. 582. මූලාශ්‍ර: අංගු.නි.(1) 1 නිපාත: ශුක වගග, 1.5.5. සූත්‍රය, පි.54,EAN:1: A spike, p.38.

▲ උතුම් - Nob: උතුම් ලෙසින් දක්වන්නේ ආරිය බවය. බලන්න: ආරිය.

▲ උතුම් අස්වැසිල්ල - supreme consolation: උතුම් අස්වැසිල්ල ලෙසින් පෙන්වා ඇත්තේ සියලු දුක නිමකර අරහත්වය ලැබීමය. බලන්න: අස්වැසිල්ල.

▲ උතුම් ගුරුවරයා - The Noble Teacher: ලෝකයේ පහලවූ සියලුම ගුරුවරුන් (ශාස්තෘන්- ආචාර්යන්) අතුරින් බුදුන් වහන්සේ උතුම් ගුරුවරයාය. තමන්වහන්සේ අනුගමනය කරන පැවිදි, ගිහි භවතුන්ට මෙන්ම, අවස්ථානූකූලව දෙවි දේවතාවන්ටද, අන්‍යආගමික පිරිසටද, ඔවුන්ගේ සුවය, සහ යහපත පිණිස ධර්මය දේශනා කර ඇත, අවවාද අනුසාසනා කර ඇත, ධර්ම කරුණු සත්‍ය ලෙසින්ම පැහැදිලි කර ඇත. මුළු ත්‍රිපිටකය පුරා දැකිය හැක්කේ, බුදුන් වහන්සේ, මහා ප්‍රඥාවෙන්, මහා කරුණාවෙන්, මහා අවබෝධයකින් යුතුව අචලව, නිර්භයව, ලෝක සම්මත ගුරුවරයා ලෙසින් ධර්මය- සත්‍ය, සමස්ත ලෝකයාගේ හිත පිණිස සුව පිණිස දේශනා කර ඇති ආකාරයය.බලන්න: උපග්‍රන්ථය:6

▼ නිවන් මග දේශනා කළ බුදුන් වහන්සේ මෙසේ වදාළහ:“මහණෙනි, ඔබට නිවන හා නිවන්මග පෙන්වා දුන්නෙමි, ශ්‍රාවකයන් ගේ හිතසුවය කැමති, ඔවුන් කෙරේ අනුකම්පාව ඇති ගුරුවරයෙක් විසින් කලයුතු දේ මා විසින් ඔබට කර ඇත. මේ අවට රුක්මුල්, හිස්කුටී ඇත, පසුවට පසුතැවිලි නොවීම පිණිස අප්‍රමාද නොවී භාවනා කරන්න. මෙය අපගේ අනුසාසනය ය”.“ ඉති ඛො භික‍්ඛවෙ දෙසිතං වො මයා අසඬඛතං දෙසිතො අසඬඛතගාමී මග‍්ගො. යං භික‍්ඛවෙ සත්‍ථාරා කරණියං සාවකානං හිතෙසිතා අනුකම‍්පකෙන අනුකම‍්පං උපාදාය, කතං වො තං මයා එතානි භික‍්ඛවෙ රුක‍්ඛමූලානි එතානි සුඤ‍්ඤාගාරානි, ඣායථ භික‍්ඛවෙ, මා පමාදත්‍ථ, මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ, අයං ඛො අම‍්හාකං අනුසාසනි”. මූලාශ්‍ර: සංයු.නි: (4 ): සළායතනවග්ග: අසංඛත සංයුත්ත, 9.1.1සූත්‍ර, පි. 659, ESN: 43: Asankatasamyutta: p. 1493.

▲උතුම්දේ -Noble things :ලෝකයේ ඇති උතුම් දේ ගැන දෙවියෙක් විමසුවිට, බුදුන් වහන්සේ මෙසේ වදාළහ: 1) ජරාවට (වයසට යෑම) පත්වෙන කෙනාට ශිලය උතුම්ය. 2) මනා ලෙසින් පිහිටුවා ගත් විට ශ්‍රද්ධාව උතුම්ය 3) අනගිරුවන් ලෙසින් පුද්ගලයෙකුට උතුම් වන්නේ ප්‍රඥාවය. 4) සොරුන් හට පැහැර ගත නොහැකි උතුම් දේ පිනය. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: දේවතාසංයුත්ත: ජරාවග්ග: ජරාසූත්‍රය, අප්සරා සූත්‍රය, පි. 92.

▲උතුම් නුවණ- Highest knowledge: සතර මග සතර ඵල ලැබීමේ නුවණ උතුම් නුවණය. බලන්න: අඤඤා.

▲ උතුම් පුද්ගල-Noble person :ආරිය මගට පිළිපන් පුද්ගලයා උතුම් පුද්ගලයාය. බලන්න: අසේඛ. මූලාශ්‍ර: සංයු.නි: (4) සළායතන වග්ග: ජම්බූඛාදක සංයුත්ත: 4.1.5 අස්සාස සූත්‍රය හා 4.1.6 පරමස්සාය සූත්‍රය, පි. 504 , ESN: Salayatanasamyutta: IV: 38 Jambukhādaka -saṃyutta: 5 Consolation & Supreme Consolation, p. 1400.

▲ උතුම් සිතිවිලි- great reflections: අධ්‍යාත්මික මාර්ගය සාක්ෂාත් කරගැනීම සඳහා පුද්ගලයකු තුල තිබිය යුතු උතුම් සිතිවිලි- මහා පුරුෂ විතක්ක ලෙසින් පෙන්වා ඇත. මේවා 8කි. 1) අවශ්‍යතා අල්පබව- fewness of wishes 2) සන්තුෂ්ටිය- contentment 3) හුදකලාවාසය (විවේකය) ප්‍රියකිරීම-resort to solitude 4) උත්සාහය ඇතිබව - energetic 5) පිහිටුවා ගත් සතිය ඇතිබව- established mindfulness 6) සිතේ එකඟබව-සමාධිය- focused mind 7) ප්‍රඥාවන්තබව - wise 8) නිවන්සුවය ප්‍රියකිරීම delight in nibbãna. සටහන: බුදුන් වහන්සේගේ උපදෙස් අනුව එම කරුණු 8 ආවර්ජනා කර සිව්ජාන සම්පත් ලබා, අනුරුද්ධ තෙරුන් අරහත්වයට පත්විය. බලන්න: උපග්‍රන්ථය:1. මූලාශ්‍ර:අංගු.නි: ( 5 ): 8 නිපාත: 8.1.3.10 අනුරුද්ධ සූත්‍රය, පි. 156, EAN: 8: 30.10 Anuruddha, p. 428.

▲ උතුම් සැපය - Highest Bliss :උතුම් සැපය සසර දුක නිමකර නිවන ලබාගැනීමය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “සුඛො විවෙකො තුට‍්ඨස‍්ස සුතධම‍්මස‍්ස පස‍්සතො අබ්‍යාපජ‍්ජං සුඛං ලොකෙ පාණභූතෙසු සංයමො සුඛා විරාගතා ලොකෙ කාමානං සමතික‍්කමො අසමිමානස‍්ස යො විනයො එතං වෙ පරමං සුඛන‍්ති”. “නිවන නම්වූ උපධි විවේකය (උපධි හැරදැමීම) සැපවේ. චතුර්මාර්ග ඥානය ලැබීමේ සතුට ඇති, ප්‍රකට වූ දහම් ඇති, ඒ උපධි විවේකය නුවණ නමැති ඇසින් දකිනා අයට නොකිපිම සැපවේ. ලෝක සතුන් කෙරෙහි හිංසා නොකිරීම -අවිහිංසාව සැප වේ. ලෝකයට නො ඇලීම, වස්තු කාම කෙළෙස් ඉක්මවීම සැපවේ. අසමිමානයේ වැනසීමක් වේද මෙය ඒකාන්තයෙන්ම උතුම්වූ සැපය වේ (අරහත්වය ලැබීම). මූලාශ්‍රය:වින.පි: මහාවග්ග පාලි (1 කාණ්ඩය) මහාඛන්ධකය: මුචලින්ද කතා, පි.86.

▲ උතුම් සෙවීම-Noble search තමන් සෙවීම- තමා ගැන සොයා බැලීම උතුම් සෙවීම යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත.සටහන්: *මේ උපදේශය වදාළේ භද්දවග්ගිය කුමාරවරු (පසුව තෙරුන්) 30 දෙනාටය. බලන්න: උපග්‍රන්ථය:1 ** ම.නි ආරිය පරියේෂණ සූත්‍රයේ: ගිහිගෙය හැර ආධ්‍යාත්මික ජීවිතය-බ්‍රහ්මචාරී බව සොයා යෑම උතුම්-ආරිය සෙවීම යයි දක්වාඇත.මූලාශ්‍ර:වින.පි :මහවග්ගපාලිය1:භද්දවග්ගියකුමාරවරු,පි. 127.

▲ උතුපරිණාම - Change of seasons : උතුපරිණාමය යනු දේශගුණය වෙස්විම- ඍතු වෙනස්වීමය. ඍතු වෙනස්වීම නිසා ඇතිවන ආබාධ- උතුපරිනාම අබාධ ලෙසින් පෙන්වා ඇත. මෙය කයේ ආදිනවයක්ය. සටහන:ගිරිමානන්ද සූත්‍රයේ,ආදීනවසංඥා යටතේ මේ පිලිබඳ දක්වා ඇත.

▲ උත්ථාන සංඥාව: පාලි: උට‍්ඨානසඤ‍්ඤං- wake-up sign :උත්ථාන සංඥාව යනු, නිදාගැනිමට පෙර, අවදිවන වේලාව සිතේ සටහන් කරගැනීමය. බුදුන් වහන්සේ සයනය කිරීමට පෙර උත්ථාන සංඥාව සිතේ සටහන් කරගෙන නින්දට යන්නේය. නිදිවැරීමේ යෙදෙන ආරිය ශ්‍රාවකයා ද නිදාගැනිමට පෙර මේ සංඥාව සිහිකර නින්දට යයි, නියමිත වේලාවට අවදිවේ. බලන්න: ජාගරානු සතිය. මූලාශ්‍ර:ම.නි: (2): 2.1.3 :සේඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▲ උත්පාදයිතව්‍ය ධර්ම : පාලි: ධම‍්මො උප‍්පාදෙතබ‍්බො- Dhamma to be aroused: ආධ්‍යාත්මික වර්ධනය පිණිස උපදවා ගතයුතු ධර්මතා උත්පාදයිතව්‍ය ධර්මවේ. උත්පාදයිතව්‍ය ධර්ම: 1) අකුප්ප ඥානය- අකුප‍්ප ඤානං -Unshakeable knowledge බලන්න: අකුප්ප ඥානය, අකුප්ප ධර්මතා. 2) ඛය ඤාණං -ක්‍ෂය නුවණ- Knowledge of the destruction of defilements: ආසවක්ඛය හෙවත් සියලු කෙළෙස් නසන නුවණ බලන්න: ඛය ඤාණං, ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම. 3) අනුප‍්පාදෙ ඤාණං- කෙළෙස් නැවත ඇති නොවන බව දන්නා නුවණ (Knowledge of that destructed defilements would not arise again) බලන්න: අනුප‍්පාදෙ ඤාණං. (4) තුන් කාල පිලිබඳ ඥාණයෝ: අතීත ඥාණය, වර්තමාන ඥාණය හා අනාගත ඥාණය (තුන් කාලය පිලිබඳ අවබෝධය) බලන්න: තුන් කාල පිලිබඳ ඥාණයෝ (5) සතර ඥාණයෝ (චත‍්තාරි ඤාණානි): ධම්මේඥානය ( ධම‍්මෙ ඤාණං) අන්වයේඥානය (අනවයෙ ඤාණං) පර්යයයෙහි ඥානය (පරියෙ ඤාණං) සම්මුතියෙහි ඥානය (සම‍්මුතියා ඤාණං) (6) පංචඥාණ සම්මාසමාධිය: ඥාන 5 ක් සහිතව ලබන සම්මා සමාධිය .බලන්න: පංචඥාණ සම්මාසමාධිය, අනුත්පාදයිතව්‍ය ධම්ම, අනුප්පාද ඥානය, අක්කුප්ප ඥානය. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ උත්පාදයිතව්‍ය ධර්ම නම් දස කුසලයය. බලන්න: දසකුසල. මූලාශ්‍ර: අංගු.නි:( 6):10 නිපාත 4.අරියමගග වග්ග: 10.4.4.5.උප්පාදෙතබ්බ ධම්ම සූත්‍රය.පි. 538, EAN: 10: IV Noble Path, 193,p.556.

▲ උත්පත්ති විධි - modes of generation :ලෝක සත්ත්‍වයෝ උත්පත්ති ලබන විධි 4 (යෝනි) ක් බුදුන් වහන්සේ පෙන්වා ඇත: (1) අන්ඩජ- බිත්තරයකින් හෝ කබල්ලක් බිඳගෙන උපත ලැබීම: සර්පයන්, පක්ෂීන් (from the egg or a shell) (2) ජලා භුජ- මවකගේ ගැබයෙන්-කුසයේ- වැදැමහ බිඳ උපත ලැබීම: මිනිසුන්, තිරිසන්සතුන් (from the mother’s womb) (3) සංසේදිත - තෙතමනය නිසා-, කුණුවීගිය මළකඳන්, සතුන්, කුණුවී ගිය ආහාර, දුගඳ නිසා උපත ලැබීම: පනුවන් ආදී (from moisture) (4) ඕපපාතික -ස්වයංජාත- නිරායාසයෙන්ම නිරයේ-අපායේ හෝ දෙව්ලොව යළිඋපත- ඉපදීම, (Spontaneous rebirth in hell or heaven). මූලාශ්‍ර: ම.නි: (1): 1.2.2 මහාසීහනාද සූත්‍රය, ඡෙදය.32, පි. 184, EMN: 12: The Greater Discourse on the Lion’s Roar, para. 32, p. 160.

▲ උත්සහාය- Energetic: උත්සහාය- වෙරදැරීම, ආධ්‍යාත්මික මග වඩාගැනීමට අවශ්‍ය ගුණයකි. බලන්න: උතුම් සිතිවිලි, විරිය.

උද

▲ උද්‍යාන-Parks :යම් කෙනක්, අන්‍යයන්ගේ යහපත පිණිස උයන්වතු කරන්නේ නම් එය පුණ්‍ය ක්‍රියාවකි, සුගතියට මග පාදයි. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.5.7 වනරෝප සූත්‍රය, පි.86.

▲උද්දක රාමපුත්‍ර තවුසා- Ascetic Uddaka Ramputhra :සිද්ධාර්ථ තවුසා, (බෝධිසත්ව) ගේ දෙවන ගුරුවරයා වුවේ මේ තවුසාය. ඔහුගේ ඉගැන්වීම මගින් දුක කෙළවර කිරීම අවබෝධ කරගත නොහැකි බව වටහාගත් බෝසතුන් ඔහු හැර යාම, සම්බෝධිය ලබා තමන් වහන්සේ අවබෝධ කරගත් දහම මේ තවුසාට ඉගැන්වීමට තීරණය කළද, ඔහු ඒ අවස්ථාවේ මරණයට පත්වී සිටි නිසා උතුම් දහම අවබෝධ කරගැනීමට වාසනාව නොමැතිවිම මෙහි විස්තර කර ඇත. බලන්න: ම.නි: බෝධිරාජ කුමාර සූත්‍රය හා ආරියපර්යේෂණ සූත්‍රය,උපග්‍රන්ථය:6

▲ උදයත්තගාමිණි ප්‍රඥාව: පාලි: උදයබ‍්බයානුපස‍්සනෙ ඤාණං- Knowledge of arising and passing away :උදයත්තගාමිණි ප්‍රඥාව - උදයබ්බ ඥාණය (සමුදය-වය නුවන)ලෙසින් පෙන්වා ඇත්තේ හේතුප්‍රත්‍ය යෙන් හටගත් ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම දැකීමෙහි ප්‍රඥාව. එම අවබෝධය, ආරිය ශ්‍රාවකයෙක් තුල ඇති ප්‍රඥා බලයකි- ඔහුට සමුදය හා වය ධර්මතා ගැන මනා අවබෝධය ඇත. මේ නුවණ නිබිද්දාව ඇතිකිරීමට, නිවන ලබා ගැනීමට උපකාරිවේ. බලන්න: ප්‍රඥාව, සේඛ හා අසේඛ. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි: 175: “උදයබ‍්බයඤාණ: උදයව්‍යය ඥානය (සමුදය වය), යථා භූත ඥාන දර්ශනය: ‘යථාභුත ඤාණ දස‍්සන‍්ති තරුණ විපස‍්සනා, උදයබ‍්බයඤාණස‍්සෙතං අධිවචනං’”. සටහන්: * සංයු.නි: (5-2) සෝතාපන්නසංයුත්ත:11.2.2 බ්‍රාහ්මණ සූත්‍රයේදී බුදුන් වහන්සේ, ‘උදයගාමිණි පටිපදාව’ විස්තර කර ඇත. බලන්න: බ්‍රාහ්මණ උදයගාමිණි පටිපදාව.** විස්තරපිණිස බලන්න:ඛු.නි: පටිසම්භිදා: ඥාණකථා:6උදයබ්බඥානය,පි. 126.

▼ උදයත්තගාමිණි ප්‍රඥාව, සේඛ බල පහෙන් එකක් වන ප්‍රඥාබලය-නිබිද්දාව ඇතිකරන, දුක මුළුමනින්ම නැතිකරණ - ප්‍රඥාව යයි බුදුන් වහන්සේ වදාළහ: “ ඉධ භික‍්ඛවෙ අරියසාවකො පඤ‍්ඤවා හොති: උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො ආරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනීයා...” ( Here, a noble disciple is wise; he possesses the wisdom that discerns arising and passing away, which is noble and penetrative and leads to the complete destruction of suffering). සටහන: අටුවාවට අනුව, පංච උපාදාන ස්කන්ධය ඇතිවීම හා නැතිවීම-සමුදය, වය- පිලිබඳ ඇති තියුණු ප්‍රඥාව උදයත්තගාමිණි ප්‍රඥාව ය. මෙය මාර්ග ඥාණය හා විදර්ශනා ඥාණයය. බලන්න: EAN: Note: 977, p. 631. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.1.1.2. සේඛබලවිතථත සූත්‍රය, පි. 24, EAN:5: The Trainee’s Powers-2.2.In Detail, p. 238.

▼ හේතු ප්‍රත්‍යයෙන් ඇතිවූ ස්කන්ධ ධර්මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව උදය වය දර්ශන ඥානයවේ: “පච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං විපරිනාමා නුපස‍්සනෙ පඤ‍්ඤා උදයබ‍්බයානුපස‍්සනෙ ඤාණං” මූලාශ්‍ර:ඛු.නි: පටිසම්භිදා මග 1: මහාවග්ග: මාතෘකා, පි. 24.

▲ උදයමානවක පුත්‍ර-Udaya manawakaputhra: උදයමානවක පුත්‍ර, බාවෙරි බ්‍රහ්මණයාගේ ශිෂ්‍යයෙකි. බුදුන් වහන්සේ වෙතින් දහම අසා පැහැදී බුදු සරන ගියහ, පසුව සසුනේ පැවිදිවිය බලන්න: අවසාන ඥානය, උපග්‍රන්ථය:1: උදය මානවක තෙර. මූලාශ්‍රය: ඛු.නි: සුත්‍තනිපාතය: පරායන වග්ග: උදය මානවක ගාථා: 1110-1111, පි. 360.

▲ උදාන- Happy utterings :උදාන ලෙසින් පෙන්වා ඇත්තේ බුදුන් වහන්සේ දහම් කරුණු ගැන සිතා, පලකළ උතුම් වාක්‍යයන්ය. බලන්න: ඛු.නි: උදානපාලි.

▲ උදායි තෙර-Udayi Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ උද්දච්චය- restlessness: උද්ධම්භාගිය සංයෝජනයකි, නීවරණ ධර්මයකි . උද්දච්චය ප්‍රහීණය පිණිස සමථය වැඩිය යුතුය. අරහත්වය ලබාගැනීමට පහකලයුතු කරුණකි. බලන්න: අරහත්වය මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.10 උද්දච්ච සූත්‍රය, පි.286.

▼ උද්දච්චය නැතිකරගැනීමට: අශ්‍රද්ධාව, අවදඤඤුතාවය (un-charitableness) හා කුසීතබව නැතිකරගත යුතුය. ආරබ්ධ විරිය ඇති පුද්ගලයාට, උද්දච්චය පහකර ගත හැකිය. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▲ උද්ධම්භාගිය සංයෝජන- the higher fetters: සසරට බැඳතබන සංයෝජන 10න් ඉහළ සංයෝජන 5 උද්ධම්භාගිය සංයෝජනවේ. මේ සංයෝජන නිසා ලෝක සත්ත්‍වයා රූප ධාතුවට හා අරූප ධාතුවට බැඳේ. අරහත්බව ලබාගැනීමෙන් මේ සංයෝජන 5 ප්‍රහිණයවේ. බලන්න: සංයෝජන, අනාගාමි, ආධ්‍යාත්මික පංචඉන්ද්‍රිය, අවිද්‍යාව, ශ්‍රැතවත් ආරිය ශ්‍රාවක හා අශ්‍රැතවත් පෘතග්ජන. ශබ්දකෝෂ: පා.සි.ශ: පි.178: “උඬංභාගිය සංයොජන: උඩයයි කියන ලද රූප අරූප භවයන්හි උපදවන සංයෝජන පහ”. B.D: p. 300: “uddhambhāgiya-saṃyojana: …they tie to the higher worlds, i.e. the fine-material and immaterial words”.

▼ උද්ධම්භාගිය සංයෝජන 5 කි. රූපරාග- lust for form, අරූප රාග- lust for the formless, මාන- conceit, උද්දච්ච restlessness, අවිජ්ජා- ignorance. මේ සංයෝජන පහකරගත්විට, අනාගමිබව ලබා කාම ලෝකයට වඩා උසස්වූ සුද්ධාවාස යන්හි පහළවීමට වාසනාව ඇත. උද්ධම්භාගිය සංයෝජන අවබෝධකරගැනීමට, වැනසීමට හා පහකිරීමට නම් සතර ඉද්දිපාදයන් මනාව වැඩිය යුතුය යි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර:සං.නි:(5-2): ඉද්දිපාදසංයුත්ත: උද්ධම්භාගිය සූත්‍රය, පි. 84, ESN: 51: Iddipadasamyutta: 86.10 Higher Fetters , p. 2108, අංගු.නි: (6):10 නිපාත: 10.1.2.3 සංයෝජන සූත්‍රය, පි.60, EAN: 10: 13.3. Fetters, p. 496.

▼ උද්ධම්භාගිය සංයෝජන ප්‍රහිණය:මේ සංයෝජන අවබෝධ කිරීමට, ඒවා ක්‍ෂය කරගැනීමට අරිය අටමග වැඩිය යුතුය. මූලාශ්‍ර: සංයු.නි: (5-1) :මහාවග්ග: මග්ගසංයුත්ත: ඔඝවග්ග: 1.16 උද්ධම්භාගිය සංයෝජන සූත්‍රය,පි. 166,ESN: 45: Maggasamyutta: 180.10 Higher Fetters, p. 1727.

▲ උද්ධුමාතක සංඥාව:පාලි: උද‍්ධුමාතකසඤ‍්ඤා -perception of a bloated corpse :මළමිණිය දිරා යන ආකාරය (ඉදිමි) පෙන්වන සංඥාව. සතිපට්ඨාන සූත්‍රයේ මේ ගැන විස්තරාත්මකව පෙන්වා ඇත. උද්ධුමාතක සංඥා භාවනාව : ඉදිමුණ මළකඳක් අරමුණුකොට භවනාකිරීම මගින් විදසුන් නුවණ වැඩේ. සතර සති පට්ඨානයේ කායානුපස්සනාවට අයත්වේ. බලන්න: භාවනා. ශබ්දකෝෂ: පා.සිංශ: පි. 179: “උද‍්ධුමාතත‍්ත: ඉදිමුණ මළසිරුර, උද‍්ධුමාතකසඤ‍්ඤා: ඉදිමිගිය මෘත ශරීරයක් අරමුණු කරගෙන වඩන භාවනාව”.

▲ උදේන-උදේනි රජ-King Udena:බලන්න: උපග්‍රන්ථය:3

උණ

▲ උණබටගස්- Bamboo trees: උණගසේ ඵලය නිසා ඒ ගස විනාශයට පත්වේ, එසේ ලාභ ආදිය නිසා සංඝයා විනාශයට පත්වන අන්දම මෙහි දක්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍රය:සංයු.නි:2: නිදානවග්ග: ලාභසත්කාර සංයුත්ත: සංඝභේදවග්ග:5.4.5 අත්තවධ සූත්‍රය, පි.388.

▲උණ්ණාභ බ්‍රාහ්මණ-Brahmin Uṇṇābha බලන්න: උපග්‍රන්ථය: 3

▲ උණු අළු නිරය - Hell of Hot Embers: මේ නිරය, කුක්කුල නිරය ලෙසින් ද හඳුන්වයි. කර්ම විපාක නිසා මෙහි පහළවේ. උණු අළුවලින් පිච්චි මහා දුක් වේදනා ඇතිකරන නිරයකි. බලන්න: නිරය.

උප

▲ උපක තෙර-Upaka Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ උපකෙළෙස: පාලි: උපක‍්කිලෙසො-imperfections of the mind/Defilements: උපකෙළෙස ලෙසින් පෙන්වා ඇත්තේ, සිත කෙලෙසන- කිලිටුකරන ධර්මතාවන්ටය (චිත‍්තස‍්ස උපක‍්කිලෙසො ). මේ කරුණුනිසා අකුසල් ඇතිවේ, සමාධිය ලබාගැනීම අපහසුවේ, ආධ්‍යාත්මික වර්ධනය දුබලවේ, දුගතියක යලි උපතට හේතුවේ.බලන්න: සල්ලේඛ පරියාය, අබිජ්ජාව, අමනාප.

▼ උපකෙළෙස ප්‍රහීණය, ජාන සමාපත්ති ලබාගැනීමට උපකාරීවේ. “...භික්ෂුව සිතට උපක්ලේශවූ ප්‍රඥාව දුබල කරණ පංච නිවරණ දුරුකොට ප්‍රථම ජානය ඇතිව වෙසෙයි” සටහන: මෙහිදී සිත කෙලෙසන ධර්මතා ලෙසින් පෙන්වා ඇත්තේ පංච නීවරණයන්ය. මූලාශ්‍ර:ම.නි: (2): 2.1.1 කන්දරක සූත්‍රය පි. 18, EMN: 51: Kandaraka Sutta, p. 425.

▼ සිත කිලිටිවූ කල්හි දුගතිය කැමතිවිය යුතුය යයි බුදුන් වහන්සේ වදාළහ. “ එව මෙව ඛො භික‍්ඛවෙ චිත‍්තෙ සඬකිලිට‍්ඨෙ දුග‍්ගති පාටිකඬඛා”. මේ සූත්‍රයේ උපකෙලෙස් 16 ක් පෙන්වා ඇත: (1) අබිජ්ජාව- විෂම ලෝභය (අභිජ‍්ඣාවිසම ලොභො- Covetousness and unrighteous greed) (2) ව්‍යාපාදය (බ්‍යාපාදො - ill will) (3) ක්‍රෝධය (කොධො -anger) (4) අමනාපබව-උපනාහ (උපනාහො- resentment) 5) මකුබව-ගුණමකු බව (මක‍්ඛො -contempt) 6) පලාසය -අනාදරබව- ගරුනැතිබව (පළාසො-insolence) 7) ඉරිසියාව -ඊර්ෂ්‍යාව(ඉස‍්සා-envy) 8) මසුරුබව- තණ්හාව (මච‍්ඡිරියං- avarice) 9) රැවටීම-මුලාකිරීම (මායා -deceit) 10) කපටිබව-වංචාව (සාඨෙය්‍යං -fraud) 11) මුරණ්ඩුබව (ථම්භො- obstinacy) 12) සාරම්භය- අනුන් පරදවාලීමට කටයුතු කිරීම- එකට එක කිරීම (සාරම්භො-rivalry) 13) මානය (මානො- conceit) 14) අධි මානය - අහංකාරය-උඩඟුබව (අතිමානො-arrogance) 15) මදය- මත්වීම (මදො- intoxication) 16) ප්‍රමාදය (පමාදො-negligence). මූලාශ්‍ර: ම.නි: (1):1.1.7 වත්ථුපම සූත්‍රය, පි. 101, EMN: 7: The Simile of the Cloth, p. 102.

▼ ශ්‍රමණ හා බ්‍රාහ්මණයන්ගේ සිත් කිලිටි කරන උපකෙළෙස් 4 ක් බුදුන් වහන්සේ පෙන්වා ඇත: (1) සුරාමේරය භාවිතය (2) මෙවුන්දම් සේවනය (3) රන් රිදී මුදල් ආදිය පිළිගැනීම (4) මිථ්‍යා ජීවිතය පවත්වා ගැනීම. ඔවුන් ගේ කෙළෙස් නිසා, පුනර්භවය නැවත නැවත ඇතිවේ. මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 4.1.5.10 උපකෙලෙස් සූත්‍රය, පි. 124, EAN:4: 50.10 Defilements, p. 168.

▼ සමාධියට අහිතකර උපකෙලෙස- Factors of Corruptions: not conducive to Samadhi: විචිකිච්චාව, අමනසිකාරය (සමාධි නිමිත්තට සිත යොමුනොකරීම), ථිනමිද්ධය, භිය ඇතිවීම, අධික ප්‍රීතිය ඇතිවීම, උනන්දුව නැතිවීම, අධික වීරිය, වීරිය අඩුවීම, දැඩි ආසාව (සමාධිය ඇති කර ගැනීමට), විවිධ සංඥා ඇතිවීම, රූප පිලිබඳ අධික සමාධිය ඇතිකරගැනීම ආදී කරුණු සමාධියට අහිතකර උපකිලේස යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. කෙළෙස් තවන වීරිය ඇතිව එම කරුණු පහකර ගැනීමෙන් සමාධිය, ජාන සමාපත්ති යහපත් ලෙසින් වඩා ගත හැකිවේ. සටහන්: * මේ සූත්‍රය දේශනා කර ඇත්තේ අනුරුද්ධ, නන්දිය හා කිම්බිල තෙරුන්ටය. ** බුදුන් වහන්සේ, බෝසතුන් ලෙසින් උපකිලේස හැර දමා සමාධිය වඩා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම මෙහිදී විස්තරකර ඇත.මූලාශ්‍ර: ම.නි: ( 3): 3.3.8 උපකිලේස සූත්‍රය, පි. 359, EMN: 128: Upakkilesa Sutta, Imperfections, p. 920.

▼ ආධ්‍යාත්මික මග අවුරන උපකිලේස- Defilements that obstruct the spiritual path: 1) සුරාමේරය පානය කිරීම 2) මෛථුන සේවනය 3) රන් රිදී (මුදල්) ආදිය පරිහරණය 4) මිථ්‍යා ආජීවය. මේ උපකිලෙස (ශික්ෂාපද කැඩීම) නිසා මහණබමුණන් ගේ ගුණ කිලිටි වන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි : ( 2): 4 නිපාත: 4.1.5.10 උපකිලේස සූත්‍රය, පි. 124, EAN: 4: 50.10. Defilements, p. 168.

▼උපකෙළෙස පහකර ගැනීම ඉර්දී පිණිසවේ-Abandonment of defilements for spiritual powers: උපකිලේස දුරු කරගැනීමෙන් විවිධ ඉර්දී බලලබාගත හැකිවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන: * මෙහිදී, දුරුකර ගතයුතු උපකිලේස ලෙසින් පෙන්වා ඇත්තේ පංච නීවරණයන්ය. ** ලබාගත හැකි අභිඥා හා විවිධ ඉද්ධි පිළිබඳව මෙහිදී විස්තර කර තිබේ. මූලාශ්‍ර: අංගු.නි : ( 3): 5 නිපාත: 5.1.3.3. උපකිලේස සූත්‍රය, පි.50 , EAN: 5 : 23.3 . Defilements, p. 242.

▼අනාපානසතිය පිණිස පහකලයුතු උපකෙලෙස- Defilements to be abandoned for Breath meditation : අනාපානසතිය වඩන විට වලකා ගතයුතු 18 ක් උපකිලෙස හා ඒ සඳහා යොදාගත යුතු ඥාන පිළිබඳ විස්තර මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා මග 1 : ආනාපානසති කථා: උපකිලේස ඥාන, පි. 332.

▼ පංච නීවරණ උපකෙලෙසයකි- Five hindrances corrupts the mind යම්සේ අපිරිසුදු රන්, (ස්වර්ණ) මැනවින් භාවිතා කිරීමට නොහැකිසේ, පංච නීවරණ යෙන් කිලිටු සිත, මුදු නැත, කර්මණ්‍ය නැත, ප්‍රභාවත් නැත, බිඳෙන සුළුය, සමාධියට හිතකර නැත, ආසව ක්‍ෂය කිරීම (ආසවක්ඛය) පිණිස නොවන බව බුදුන් වහන්සේ වදාළහ: බලන්න:උපග්‍රන්ථය:5. “ එවමෙව ඛො භික‍්ඛවෙ පඤ‍්චිමෙ චිත‍්තස‍්ස උපක‍්කිලෙසා යෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං චිත‍්තං න චෙව මුදු හොති න ච කම‍්මනියං න ච පභස‍්සරං පහඬගු ච, න ච සම‍්මාසමාධියති ආසවානං ඛයාය...” (So too, bhikkhus, there are these five corruptions of the mind, corrupted by which the mind is neither malleable nor wieldy nor radiant but brittle and not rightly concentrated for the destruction of the taints). මූලාශ්‍ර:සංයු.නි: (5-1): මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත: 2.4.3 කිලේස සූත්‍රය, පි.214, ESN: The Great Book: Bojjhaṅga saṃyutta : 33.3 Corruptions,p.1768.

▲ උපඝාතාක කර්මය- Upagathaka karma: කර්ම විපාක ඵල දෙන ආකාරයකි. බලන්න: කර්ම.

▲ උපතිස්ස-Upatissa: සැරියුත් තෙරුන්ගේ ගිහිනම උපතිස්ස ය. බලන්න: අග්‍ර ශ්‍රවකයෝ.

▲ උපාදධ්‍යායයා:පාලි: උපජ‍්ඣායං- Upaddhya: උපාදධ්‍යායයා -උප්පජ්ජා (උපදෙස් දෙන ගුරුවරයා) යනු සංඝයාහට, පබ්බජාව (සාමණේර) හා උපසම්පදාව යන කරුණු දෙකේදීම ප්‍රධානවන භික්ෂුව/ භික්ෂුණිය. සසුන යහපත් ලෙසින් පවත්වා ගැනීමට එම ජේෂ්ඨ භික්ෂුන් උපකාරීවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත.“මහණෙනි, උපාදධ්‍යායයකු අනුදනිමි ... උපාදධ්‍යාය තෙමේ සද්ධිවිහාරිකයා කෙරෙහි “මේ තෙමේ මගේ පුතුය’ යි සිත උපදවන්නේය. සද්ධිවිහාරික තෙමේ උපාදධ්‍යායයා කෙරෙහි :“ මේ තෙමේ මගේ පියා’ යි සිත උපදවන්නේය” සටහන: උපාදධ්‍යායයා පත්කිරීම, වගකීම් ආදිය මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත.මූලාශ්‍ර: වින:පි: මහාවග්ග පාලිය 1: පි. 172.

▲ උපධි (පාලි): අත්කරගැනීම්: Upadhi- acquisitions: උපධි යනු අත්කරගැනීම්- ප්‍රතිග්‍රහනය කරගැනීමය. සසර බැඳ තබන උපධි 4 කි:1) ස්කන්ධ උපධි: පංච උපාදානස්කන්ධය අල්වා ගැනීම 2) කෙළෙස් උපධි- කෙළෙස් වලට යටවීම 3) අභිසංඛාර උපධි: සය ආයතන වලින් අල්වා ගන්නා අරමුණු පිලිබඳ චේතනා පහළ කරමින් ඒවාට යටවීම 4) කාම ගුණ උපධි: පංච කාම වස්තුන් අල්වා ගැනීම. සියළු උපධි ජාති ජරා මරණ ස්වභාවයෙන් යුක්තය; ඒවා නිසා සිත කෙළසේ, ඒවා නිසා දුක ඇතිවේ. උපධි -අල්ලාගත් දේට බැඳුන සත්ත්‍වයන් සසරේ සැරිසරයි. එහෙයින්, සියලු උපධි හැර දැමීම නිවන ලෙසින් පෙන්වා ඇත. බලන්න:සුඛ. සටහන්: * බලන්න: EMN: Note: 674: p. 1271 ** Upadhi: The root meaning is foundation, basis, ground (In the commentaries various kinds of upadhi are enumerated, among them the five aggregates, objects of sensual pleasure, defilements, and kamma බලන්න: EMN: Note: 299, p. 1093. ** උපධි විවේකය- උපධි නොමැතිවීම නිවන හඳුන්වන පදයකි. මූලාශ්‍රය:ඛු.නි: සුත්තනිපාත: ද්වයතානුපස්සනා සූත්‍රය, පි. 244.

▼ සියළු උපධි කෙළෙස් හා දුක ඇතිකරයි. සාමාන්‍ය ලෝක සත්ත්‍වයා තමාගේ යයි අල්වාගෙන තබාගන්නා, රැස්කරගන්නා උපධි ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ අඹුදරුවන්, සේවකයන්, ගවසම්පත් ආදී හිලෑ කරගත් සතුන්, රන් රිදී මුදල් ආදී ධන සම්පත් හා වස්තුන්ය. සියළු උපධි ජාති ජරා මරණ ස්වභාවයෙන් යුක්තය. මේවාට බැඳීමෙන් සිත කෙළසේ, දුක ඇතිවේ”. “කිඤ‍්ච භික‍්ඛවෙ ජාතිධම‍්මං වදෙථ? පුත‍්තභරියං... දාසිදාසං... අජෙළකා... ජාතරුපරජතං ... ධම‍්මාහෙතෙ භික‍්ඛවෙ උපධයො...” මූලාශ්‍ර: ම.නි: (1): 1.3.6 ආරියපරියෙසන සූත්‍රය, පි. 414, EMN:26: Ariyapariyesanā Sutta- The Noble Search, p. 242.

▼ උපධි නැතිවීම සතුට ඇතිකරයි: දෙවිකෙනක් බුදුන් වහන්සේ ට මෙසේ පැවසුහ: “පුතුන් ඇති අය පුතුන් නිසා සතුටුවේ, ගවහිමියා ගවසම්පතින් සතුටුවේ. මේ කාම උපධි මින්සුන්හට ප්‍රීතිය ගෙනෙදේ. උපධි නැතිවීට ඔවුන් අසතුටුවේ” බුදුන් වහන්සේ මෙසේ පිළිතුරු වදාළහ: “පුතුන් ඇතිඅය පුතුන් නිසා ශෝක කරයි, ගවහිමියා, ගවසම්පත නිසා ශෝක කරයි. මේ කාම උපධි මිනිසුන්ට ශෝක ඇතිකරයි. යමෙක්හට උපධි නැත්නම් හෙතෙම ශෝක නො කරයි”. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.2.2 නන්දති සූත්‍රය, පි. 38, ESN: 1: Devatasamyutta: 12.2 Delight, p. 71.

▼ උපධි හැර දැමීම නිවනය:සියලු සංස්ඛාර යන්ගේ සංසිඳීම, සියලු අල්වාගැනීම් (උපධි) පහකිරීම, තණ්හාව ක්‍ෂයකර ගැනීම මගින් ඇතිවන විරාගය නිවන යයි බුදුන් වහන්සේ වදාළහ.“ සබ‍්බ සඬඛාරසමථො සබ‍්බුපධිපටිනිස‍්සග‍්ගො, තණ‍්හක‍්ඛයො විරාගො නිබ‍්බානන‍්ති” මූලාශ්‍ර: අංගු.නි: ( 6): 10 නිපාත: 10.2.1.10 ගිරිමානන්ද සූත්‍රය, පි. 221, EAN: 10: 60.10. Girimānanda, p. 516.

▼ බුදුන් වහන්සේ, උපධි වලට යටවී කටයුතු කරණ හා උපධි හැර දැමීමට කටයුතු කරන පුද්ගලයන් ගේ ස්වාභවය පෙන්වා ඇත. එම පුද්ගලයන් 4 දෙනා අතුරින් යම් කෙනෙක්: “දුකේ මුල උපධිබව අවබෝධ කර, ඒවා අතහැර දමා, විනාශ කර දමා, උපධි වලින් මිදේ’. ඒ පුද්ගලයා සියලු උපධි වලින් මිදී ඇතිබව (අරහත්ය) බුදුන් වහන්සේ වදාළහ: ඔහු විසංයුක්තය:සංයෝජන වලින් මිදීඇත. (…such a person I called unfettered). මූලාශ්‍ර: ම.නි: (2): 2.2.6 ලටුකිකොපම සූත්‍රය, පි. 206, EMN: 66 The simile of the Quail, p. 551.

▲ උපනාහ-Anger: උපනාහ, ක්‍රෝධය, බද්ධ වෛරය ලෙසින්ද පෙන්වා ඇත. අකුසලයකි, දුගතියට මගකි. අරහත්වය ලබාගැනීම පිණිස පහකර ගතයුතුය. බලන්න:අරහත්වය, අමනාපය, සල්ලේඛ පරියාය, අකුසල ප්‍රහීණය. මූලාශ්‍ර:අංගු.නි. (6 )10: 10.1.3.4. මහා චුන්ද සුත්‍රය, කාය සුත්‍රය, පි. 100.

▲ උපපැවිදි - Upapavidi: උපපැවිදි ලෙසින් පෙන්වා ඇත්තේ පැවිදිබව හැර ගිහිබවට පත්වීමය (සිව්රුහැරීම). එය ධර්ම මාර්ගයේ පහතට ඇදී යාමකි. ඔවුන් ජිවත්වුවත් මළ අය ලෙසින් සලකයි. සටහන: පැවිදිව, නැවත ගිහිගෙයට පැමිණි පුතු ගැන සානුගේ මව වැළපීම මෙහි විස්තර කර ඇත.බලන්න: සංයු.නි: (1) සගාථවග්ග: යක්ඛසංයුත්ත: සානු සූත්‍රය.

▲ උපපිඩක කර්මය - Upapidaka karma:කර්ම විපාක ඵල දෙන ආකාරයකි. බලන්න: කර්ම.

▲ උපවනය- Upavāṇa: උපවනය යනු සංඝයා වාසය කරන ආරාමයය. බලන්න:ආරාමය.

▲ උපවාන තෙර- Upavāṇa Thera:බලන්න: උපග්‍රන්ථය:1

▲ උපසමාය: පාලි: උපසමො -upasama -Peace: උපසමාය ලෙසින් ධර්මයේ පෙන්වා ඇත්තේ, කෙළෙස් සංසිඳීම- නිවීම නිසා සිත නිසල බවට, සාමකාමී බවට පත්වීමය. උපසමය, නිවන හඳුන්වන පදයකි. උපසමානුසති භාවනාව ලෙසින් පෙන්වා ඇත්තේ නිවනේ ගුණ ආවර්ජනය කරමින් භාවනාව වඩා ගැනීමය බලන්න: නිවන, භාවනාව. සටහන: අටුවාවට අනුව උපසමය (ශාන්තිය) යනු සියලු කෙළෙස් මුදාහැරීමය. බලන්න: EAN: note: 160, p. 588. ශබ්දකෝෂ: පා.සි.ශ: පි.184,196: “උපසම: ‘සංසිඳීම, කෙලෙසුන් ගෙන් සංසිඳීම, ‘ උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බාණාය සංවත‍්තති’, උපසමානුසසති: කෙලෙසුන් සංසිඳීවීම පිණිස උපදනා සිහිය”. B.D: p. 344: “upasamānussati: ‘recollection of the peace of Nibbāna’. P.T.S: p. 358: “calm, quiet, appeasement, allaying, assuagement, tranquillizing” (in freq. phrase upasamāya abhiððāya sambodhāya nibbānāya saṃvattati; see nibbāna”.

▼ බුද්ධානුස්සති ආදීවූ අනුසති භාවනා බහුල කරගැනීමෙන්, උපසමය ඇතිවේ-කෙළෙස් සන්සිඳේ. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාතය: එකධම්ම පාලිය, පි.100, EAN:1: XVI: One Thing, p. 47.

▼ සතර ඉද්දිපාද වර්ධනය කරගැනීමෙන් උපසමය ඇතිවේ: මානව වැඩුන, බහුල කල ඉද්දිපාද නිසා උපසමය ඇතිවේ .බලන්න: ඉද්දිපාද. මූලාශ්‍ර: සංයු.නි: (5-2) මහාවග්ග: ඉද්දිපාද සංයුත්ත: 7.1.4 නිබ්බිදා සූත්‍රය, පි. 28,ESN: 48: Iddhipādasamyutta: 4.4 Revulsion, p. 2060.

▲ උපසම්පදාව- Full Ordination-higher ordination: උපසම්පදාව යනු, සාමණේර ජීවිතය යහපත් ලෙසින් ගතකර, ආධ්‍යාත්මික ජිවිතයේ උසස් පුහුණුව සාක්ෂාත් කරගැනීමට භික්ෂු, භික්ෂුණියන් තබන ඉදිරි පියවරය. එය විනය කර්මයකි. උපසම්පදාව ලැබීමට අපේක්ෂා කරන සාමණේර/ සාමණේරි වරුන්ට ඒ පිණිස අවශ්‍ය සුදුසුකම් තිබිය යුතුය, ඔවුන් උපසම්පදා කරන වැඩිහිටි ආචාර්යවරයා/ ආචාර්යවරියට ද ඒ පිණිස සුදුසුකම් තිබිය යුතුය. මේ කරුණු ඇතුලත් වන්නේ විනයටය. බුදුන් වහන්සේ වැඩසිටි සමයේ පැවති උපසම්පදා ක්‍රමය පිලිබඳ විස්තර පිණිස බලන්න: විනය පිටකය, මහාවග්ග පාලිය1: 156,162,පි.239. සටහන: උපසම්පදා ශිලය ගැන බලන්න: ශිලය. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.196: “උපසම්පදා: අධිසීල සික්ඛාවෙහි පිහිටීම”.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “උපසම්පදා කිරීම යනු පුද්ගලයකු බුදුරජාණන් වහන්සේගේ උසස් ශ්‍රාවක පිරිස වන භික්ෂු පිරිසට ඇතුළු කිරීම වශයෙන් සාමණේරයන් උසස් කිරීමය...” උපසම්පදා ශිලය:පි.1: රේරුකානේ චන්දවිමල මහනාහිමි, 2008. 2. “සසර දුක නුවණින් වටහාගත් සත් පුරුෂයා, ඉන් මිදීමේ මාර්ගය ලෙස, උතුම් බුදු සසුනෙහි පැවිදි බවට පත්වේ. . එතැන් පටන් සාමණේර දස ශීලයෙහි හික්මෙන ඒ පැවිද්දා, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍ය සන්නශ්‍රීත ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය යන සතර සංවර සිල් ගුණ දහම් වලින් යුක්ත උත්තම උපසම්පදාවට පත්වී අධිශීලයෙහි පිහිටයි. බුදුසරණ: අන්තර්ජාල ලිපිය: “සසුන් කෙත ඔපවත් කරන උපසම්පදා විනය කර්මය: තම්මැන්නාවේ ධම්මරතන හිමි, 2010, ජුලි, http://www.budusarana.lk/budusarana/2010/07/11/tmp.asp?ID=fea02

▲ උපස්තම්භක කර්මය- Upasthambaka karma: කර්ම විපාක ඵල දෙන විධියකි.බලන්න: කර්ම.

▲ උපස්ථායක- Upasthayaka: උපස්ථායක ලෙසින් පෙන්වා ඇත්තේ සංඝයාට උපස්ථාන කරන පුද්ගලයන්ය. බුදුන් වහන්සේට උපස්ථායක කළ සංඝයා පිළිබඳව බලන්න:උපග්‍රන්ථය:1 . සංඝයාට උපස්ථායකයන් පත්කිරීම ගැන විනය පිටකයේ විස්තර දක්වා ඇත. බලන්න: සංඝයා. ගිහි උපස්ථායකයන් පිළිබඳව බලන්න: අග්‍රතම උපාසකයෝ- උපාසිකාවෝ.

▲උපසේන වංගනාථපුත්ත තෙර-Upasena Vaṅgantaputta Thera බලන්න: උපග්‍රන්ථය:1

▲ උපහච‍්චපරිනිබ‍්බායි (පාලි) - attainer of nibbāna upon landing: අනාගාමි උතුමන් අරහත්වය- පරිනිබ්බානය ලබන ආකාර 5 න් එකකි. ඔරම්භාගිය සංයෝජන පහකරගත් ආරිය උතුමා, සුද්දාවාසයේ පහළවූ සැනයෙන් අර්හත්වයට පත්ව පරිනිබ්බානයට පත්වීම, එම අවස්ථාව උපහච්චපරිනිබබයි ලෙසින් දක්වාඇත. මේ පිලිබඳ දක්වා ඇති උපමාව: ගිනිපුපුර උපමාව: දවස මුළුල්ලේ ගින්නෙන් රත්වුණ යකඩගුලියක්, තළනවිට, ගිනිපුපුරක් මතුවී, ඉහලට ගොස්, නැවත පොළොවට පහත්වී, පොළව ස්පර්ශ කළ සැනයෙන් නිවීයන ලෙසින්, ඒ උතුමා පරිනිබ්බානය ලබයි. බලන්න: අනාගාමී, උපග්‍රන්ථය:5. මූලාශ්‍ර:අංගු.නි: (4): 7 නිපාතය: 7.2.1.2. පුරිසගති සූත්‍රය, පි. 402, EAN: 7 : 55.2 Destinations of Persons, p. 387.

▲ උපාදාන හා උපාදානීය ධර්ම:පාලි: උපාදානං, උපාදානීයා ධම‍්මා- clinging & things that can be clung to: ධර්මයට අනුව උපාදාන කිරීම යනු, සළායතන මගින් අල්ලා ගන්නා බාහිර අරමුණු කෙරේ ආශාව ඇතිකර - තණ්හාව ඇතිකර ( ඡන්දරාගය සහිතව) ඒවා තමන්ගේ දෙයක් ලෙසින් අල්වා ගැනීමය. උපාදානීය ධර්මතා නම් බාහිර ලෝකයේ ඇති ඒ ඒ අරමුණුය. ධර්මයේ උපාදාන 4 ක් පෙන්වා ඇත: 1) කාම උපාදාන (sensuous clinging): යනු සිතේ කාම රාගය ඇතිකරන අරමුණුය. 2) දිට්ඨි උපාදාන (clinging to views): යනු ලෝකයේ ඇති මත වාද අල්වා ගැනීමය 3) සීලබ්බත උපාදාන (clinging to mere rules & rituals): යනු, සසුනට බාහිරවූ ඇදහීම්, ව්‍රත සමාදන්ව එමගින් නිවන ලබා ගත හැකිය යන පිළිගැනීමය.4) අත්තවාදී උපාදාන (clinging to the personality belief): යනු ආත්මයක් ඇතැයි සැලකීම- සක්කායදිට්ඨියය. බලන්න: අත්තවාදීඋපාදාන. සටහන: සළායතන නිසා උපාදාන සකස්වන අන්දම සංයු.නි: (4) වේදනාසංයුත්ත : යොගකඛෙමිවග්ග: 1.11.7 උපාදාන සූත්‍රයේ විස්තර කර ඇත.

▼ බඹසර විසීමේ අරමුණ වන්නේ උපාදාන රහිතව පිරිනිවන්පෑම බව මෙහි පෙන්වා ඇත. ඒ සඳහා ඇති ක්‍රම වේදය නම් අරිය අටමග වර්ධනය කරගැනීමය. මුලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත:1.5.8. අනුපාදා සුත්‍රය, පි. 76, ESN: Maggasamyutta: V: Nibbāna without clinging, p. 1651.

▼ බුදුන් වහන්සේ පෙන්වා වදාළේ: රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන-පංච උපාදානස්කන්ධය, උපාදානීය ධර්මතා බවය. ඒ ඒ ධර්මතා පිළිබඳව පුද්ගලයෙක් තුල ඇතිවන කැමත්ත-තණ්හාව, උපාදානය ය. “ රූපං භික‍්ඛවෙ, උපාදානීය ධම‍්මො...වෙදනා... සඤ‍්ඤා... සඬඛාරා... විඤ‍්ඤාණං උපාදානීය ධම‍්මො. යො තත්‍ථ ඡන්‍දරාගො තං තත්‍ථ උපාදානං...” (And what, bhikkhus, are the things that can be clung to, and what is the clinging? Form, bhikkhus, is a thing that can be clung to; the desire and lust for it is the clinging there. Feeling … Perception … Volitional formations … Consciousness is a thing that can be clung to; the desire and lust for it is the clinging there)මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධවග්ග: 1.3.2.9 උපාදානීය සූත්‍රය, පි.320, ESN: 22: Khandasamyutta: 121.9 Things That Can Be Clung To, p. 1103,

▼ උපාදාන අවබෝධය පිණිස සම්මා දිට්ඨිය අවශ්‍යවේ: මූලාශ්‍ර:ම.නි: (1 ) : 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ උපාදාන පටිච්චසමුප්පාදයේ 9 නි පුරුකය. තණ්හාව නිසා උපාදාන හටගනී, තණ්හාව නිරෝධ වීමෙන් උපාදාන නිරෝධවේ:

“...තණහා පචචයා උපදානං...” “...තණහා නිරොධා උපාදාන නිරොධො” උපාදාන නිසා භවපැවැත්ම ඇතිවේ. බලන්න: පටිච්චසමුප්පාදය. මූලාශ්‍ර: සංයු.නි: (2) නිදානවග්ග: 1.1.1. පටිච්චසමුප්පාද සූත්‍රය, හා 1.1.2 විභඬග සූත්‍රය, පි.24, ESN:12: Nidanasamytta: 1.1. Dependent Origination & 2.2 Analysis of Dependent Origination, p.610, සංයු.නි (5-1) :මග්ගසංයුත්ත: ඔඝවග්ග: 1-16 උපාදාන සූත්‍රය, පි. 160, ESN: 45: Maggasamyutta: 173-3 Clinging, p. 1720, සංයු.නි : (4 ) සළායතන වග්ග: ජම්බූඛාදක සංයුත්ත: 4.1.12 උපාදාන සූත්‍රය, පි. 508 , ESN: 38 : Jambukhādakasaṃyutta: 12 Clinging, p. 1407.

▼ උපාදාන ඇතිවීමට හේතුව (ප්‍රත්‍ය) ස්පර්ශයය. එයපිරිසිඳ (පරිඥෙය්‍ය ) දැන ගත යුතු ධර්මයකි. බලන්න: ස්පර්ශය, පරිඥෙය්‍ය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ උපාදානස්කන්ධය -groups of clinging: උපාදානස්කන්ධය ලෙසින් පෙන්වා ඇත්තේ පංච උපාදානස්කන්ධයය. බලන්න: පංච උපාදානස්කන්ධය.

▲උපාය කුසලය-Upayakuslaya: අධිගමය ලබාගැනීමට අවශ්‍ය කරුණකි, කුසල් ඇතිකරගැනීමට දක්ෂතාවයය. බලන්න: අධිගමය.

▲ උපාරම්භ චිත්ත: පාලි: උපාරම‍්භචිත‍්තං -mind bent on criticism ධර්මයට අනුව උපාරම්භ චිත්ත යනු අනුන්ගේ දොස් දැකීමට පුරුදුවූ සිතය. මෙය අකුසලයකි, ධර්ම මාර්ගයට අවහිරයකි. බලන්න: සල්ලේඛපරියාය.

▼ උපාරම්භ චිත්තය නැති කර ගැනීමට: දුසිරිතය, උද්දච්චය, අසංවරය-ඉන්ද්‍රිය, යන අකුසල පහ කර ගත යුතුවේ. බලන්න: අසම්ප්‍රජන්‍යය. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාතය: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▲ උපාලි මහා තෙර- Upāli Maha Thera:බලන්න: උපග්‍රන්ථය:1

▲උපාලිගහපති- Upāli householder: බලන්න: උපග්‍රන්ථය:3

▲උපාසක හා උපාසිකා- Upasaka & Upasika :බුදුන් වහන්සේ වැඩසිටි සමයේ මෙන්ම, වර්තමානයේද, උන්වහන්සේ අනුගමනය කරන- ධර්මය පිළිපදින, ගිහි පුරුෂ හා ස්ත්‍රීන්, උපාසක හා උපාසිකා ලෙසින් දක්වා ඇත. ඔවුන් නිති පංච ශිලය ආරකෂා කරති. උපෝසථ පොහෝදින යන්හි අටසිල් සමාදන් වේ. බුදුන් වහන්සේගේ සිව් පිරිසට ඇතුලත්වේ. බලන්න:උපග්‍රන්ථය:3. සටහන: බුදුන් වහන්සේගේ අග්‍ර උපාසක හා උපාසිකා , පළමුව සරණගිය අය ගැන විස්තරය පිණිස බලන්න: අග්‍ර උපාසක- උපාසිකා.

▼ උපාසක හා උපාසිකා ගුණ: 1) ගිහියෙක්, තෙරුවන් සරණ ගිය දින සිට උපාසක/උපසිකා බවට පත්වේ 2) පංච ශිලය ආරක්ෂා කරගැනීමෙන් ඔහු ශිලසම්පන්නවේ 3) තමාගේ හා අනුන්ගේ ශුභ සාධනය පිණිස කටයුතු කරයි: ශ්‍රද්ධාව ඇතිව, සෙසු අය ශ්‍රද්ධාවේ පිහිටුවීම; ශිලසම්පන්නව සෙසු අය ශිලසම්පන්න කිරීම ,දානශිලිව, සෙසු අය දානශිලි කිරීම, සංඝයා දැකීමට කැමැත්ත, සෙසු අය තුල සංඝයා දැකීමට කැමැත්ත ඇතිකිරීම, ධර්මය ඇසීමට කැමැත්ත, සෙසු අය තුල ධර්මය ඇසීමට කැමැත්ත ඇතිකිරීම, ඇසු ධර්මයේ සිතේ ධරා ගැනීම, සෙසු අය තුල ඇසු ධර්මය ධරා ගැනීමට කැමැත්ත ඇතිකිරීම, දැරූ ධර්මයේ අරුත් විමසීමට කැමැත්ත, සෙසු අය තුල දැරූ ධර්මයේ අරුත් විමසීමට කැමැත්ත ඇතිකිරීම, අරුත් අවබෝධ කර, ධර්මානුකූලව පුහුණුවීම, සෙසු අයටද ධර්මානුකූලව පුහුණුවීමට කැමැත්ත ඇතිකිරීම. සටහන: මේ සූත්‍රයේ ගිහි උපාසක බවට පත්වීමට අවශ්‍ය ගුණ පෙන්වා ඇත: 1)තෙරුවන් සරණ යාම 2) ශිලසම්පන්න වීම (පංච ශිලය රැකීම) 3) ශ්‍රද්ධා සම්පන්නවීම 4) ත්‍යාග සම්පන්න වීම 5) ප්‍රඥාසම්පන්නවීම. බලන්න: සංයු.නි: (5-2) සෝතාපත්තිසංයුත්ත : පුඤඤාභිසන්දවග්ග: 11.4.7 මහානාම සූත්‍රය. මූලාශ්‍ර: අංගු.නි: ( 5): 8 නිපාත: 8.1.3.5 මහානාම සූත්‍රය හා 8.1.3.6 ජිවක සූත්‍රය, පි.142, EAN:8: 25.5 Mahānāma & 26.6 Jivaka, p. 426.

▲උප්පථමනසිකාරය- off-track attention: මෙය අයෝනිසෝ මනසිකාරය හඳුන්වන විදියකි. බලන්න: අයෝනිසෝමනසිකාරය

▲ උප්පාදේතබ්බ ධම්ම හා න උප්පාදෙතබ්බ ධම්ම- Dhamma to be aroused & Dhamma not to be aroused: කුසල ධර්මය උප්පාදේතබ්බ ධම්මය එනම් දස කුසලයය. දසඅකුසලය, නඋප්පාදෙතබ්බ ධම්මයය. බලන්න: උත්පාදයිතව්‍ය ධර්ම. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත: අරියවග්ග: 10.3.5.5. උප්පදේතබ්බ සූත්‍රය,පි. 476.

▲ උප්පජ්ජවේදනීය කර්ම -Uppachchavedeniya kamma: උපපජ්ජවේදනීය කර්මය, කර්ම විපාක දෙන අවස්ථාව පෙන්වන කර්මයකි. බලන්න: කර්ම, අහෝසිකර්ම.

▲ උප්පලවන්නා තෙරණිය- Uppalavanna Therni: බලන්න: උපග්‍රන්ථය:2

▲ උපෙක්ඛාව: පාලි: උපෙක‍්ඛා -equanimity, even-mindedness: ධර්මයට අනුව උපෙක්ඛාව යනු අන්‍යන් පිලිබඳව වෙනස්කමක් හෝ නොසැලකිල්ලක් නොමැතිව සිතේ ඇති අපක්ෂපාති, මධස්ථ ආකල්පයය. බ්‍රහ්මවිහාරයන්ගෙන් එකකි, භාවනා අරමුණකි, නිරාමිෂ වේදනාවකි, සප්ත බොජ්ඣංග ධර්මතා වලින් 7න් එකකි. සිව්වෙනි ජානය නිසා ලබන උපේක්ෂා සුඛය- උපේක්ෂාලම්භන සුඛය අග්‍රය. බලන්න: බ්‍රහ්මවිහාර, වේදනා, අදුකම සුඛ වේදනා, සුඛය.ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 198: “උපෙක‍්ඛා: බැලීම, පරීක්ෂණය, මධ්‍යස්ථතාවය”. B.D: p. 187: “Upekkhā: equanimity… is one of the 4 sublime abodes- brahma-vihāra and of the Factors of Enlightenment -bojjhaṇga” .

▼ උපෙක්ඛාව වඩා ගැනීමෙන් රාගය පහ කර ගැනීමට හැකිවේ. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.1.2.3 නිස්සාරණිය සූත්‍රය, පි. 40, EAN:6: 13.3 Escape, p. 321.

▲ උපෙක්ඛා චේතෝවිමුක්තිය: පාලි: උපෙක‍්ඛා චෙතොවිමුත‍්තී- liberation of the mind by equanimity: උපෙක්ඛා චේතෝ විමුක්තිය ලෙසින් පෙන්වා ඇත්තේ, උපෙක්ඛා භාවනාව වර්ධනය කර ගැනීමෙන් සිතේ ඇති පක්‍ෂපාතිබව (personal bias) නැතිකර ගැනීමය, මධ්‍යස්තව කටයුතු කිරීමට ඇති හැකියාවය. මෙය සතර බ්‍රහ්මවිහරණ වලින් එකකි. මේ විමුක්තිය උපෙක්ඛා නිස්සාරණිය ධාතුව ලෙසින්ද පෙන්වා ඇත.

▼උපෙක්ඛා චේතෝ විමුක්තිය රාගය පහ කර ගැනීම පිණිසවේ. මූලාශ්‍ර: අංගු.නි: (4): 6 නිපාත: 6.1.2.3 නිස්සාරණිය සූත්‍රය, පි. 40, EAN:6: 13.3 Escape, p. 321.

▲ උපෝසථ- uposatha : උපෝසථය යනු අටවක හා පාලොස්වක පොහෝදින සංඝයා රැස්වී පාතිමොක්ඛ- පාමොක් සජ්ජායනා කිරීමය, මෙය විනය රීතියකි.

එම දිනයේ සංඝයාට, ධර්මය සාකච්ඡා කිරීමට බුදුන් වහන්සේ අවසර දී ඇත. උපෝසථය ඇතිකිරීම පිලිබඳ විස්තර පිණිස බලන්න: වින.පි.මහාවග්ග 1: උපෝසතඛන්ධය, පි.326.

▲ උපෝසථ අටශිලය පාලි: අට‍්ඨිඬගසමන‍්නාගතං සීල උපොසථ ශිලං -eight uposatha precepts: අට අංගයෙන් යුතු පෙහෙවස් ශිලය, පොහොය දින සමාදන්වන අටසිල්, උපෝසථ ශිලය ලෙසින් පෙන්වා ඇත. බලන්න: ශිලය, අටසිල්.

උභ

▲ උභතෝභාග විමුක්තිය: පාලි: උභතොභාග විමුත‍්තො ubhato-bhāga-vimmutta -both ways of liberation: ධර්මයට අනුව උභතොභාග විමුක්තිය යනු ආකාර දෙකකින්ම විමුක්තිය ලබා ගැනීමය-: චෙතෝ විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ලැබීමය - අරහත්වය ලැබු ආරිය පුද්ගලයාය (liberation by heart- liberation by wisdom). බලන්න: සත් ආරිය පුද්ගලයෝ, අෂ්ඨවිමොක්ඛ. ශබ්දකෝෂ: පා.සි.ශ: පි. 202: “උභතොභාග විමුත‍්ත: අරූප සමාපත්ති යෙන් රූප කයෙන්ද, මාර්ගයෙන් නාම කයින්ද යන දෙකින් මිදුන තැනැත්තා”. B.D: p. 338: “the both-ways-liberated one: is the name of one class of noble disciples…”. P.T.S: p. 1138: “free in both ways: … free both by insight and by the intellectual discipline of the 8 stages of Deliverance…”.

▼උභතොභාග විමුක්තිය උසස්ම විමුක්තියය: බුදුන් වහන්සේ මෙසේ වදාළහ: යම්කලෙක භික්ෂුවක්, අෂ්ටවිමොක්කයන් අනුලෝම වශයෙන් සමවදි ද, ප්‍රතිලෝම වශයෙන් සමවදීද. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමවදීද, කැමති තැනක, කැමති සමවතක, කැමති තාක් කල් සමවැදීමත්, එයින් නැගී සිටීම කරයිද, ආශ්‍රවයන්ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය (ඵල සමාධිය) ද, ප්‍රඥා විමුක්තිය (ඵල ඥානය) ද මේ අත්බවෙහිම, තමාගේ විශේෂ නුවණින් දැන පසක් කොට සපයා වෙසේද, ඒ භික්ෂුව උභතෝභාගවිමුක්තිය ලබාඇත: අරූප සමාපත්තියෙන් රූපකාය කෙරෙන්ද, මාර්ගයෙන් නාමකාය කෙරෙන්ද යයි දෙපසින්ම මිදුනේ වේ. මේ උභතෝභාගවිමුක්තිය උත්තරීතරය, ප්‍රණිතය, මෙයට වඩා උසස් විමුක්තියක් නැත: “යතො ඛො ආනන්‍ද, භික‍්ඛු ඉමෙ අට‍්ඨ විමොක‍්ඛෙ අනුලොමම‍්පි සමාපජ‍්ජති පටිලොමම‍්පි සමාපජ‍්ජති, අනුලොමම‍්පි... පටිලොමම‍්පි සමාපජ‍්ජති, යත්‍ථිච‍්ඡකං යදිච‍්ඡකං යාවදිච‍්ඡකං සමාපජ‍්ජති පි වූට‍්ඨාති පි, ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දීට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, අයං වූච‍්චතානන්‍ද, භික‍්ඛු උභතොභාග විමුත‍්තො. ඉමාය ච ආනන්‍ද උභතොභාගවිමුත‍්තීයා අඤ‍්ඤා උභතොභාගවිමුත‍්තී උත‍්තරිතරාවා පණිත‍්තර වා නත්‍ථි’ති” ( Ananda, when once a monk attains these eight liberations in forward order, in reverse order, and in forward-and-reverse order, entering them and emerging from them as and when, and for as long as he wishes, and has gained by his own super-knowledge here and now both the destruction of the corruptions and the uncorrupted liberation of heart and liberation by wisdom, that monk is called ‘both-ways liberated’ and, Ananda, there is no other way of ″both-ways-liberation″ that is more excellent or perfect than this). සටහන: ‘liberation of the heart and by wisdom.බලන්න: EDN: note: 361, p. 327. මූලාශ්‍ර: දීඝ.නි: ( 2 ): 2 මහානිදාන සූත්‍රය, පි. 95, EDN: 15: The Great Discourse on Origination, p. 166.

▼ උභතෝභාග විමුක්තිය ලැබූ රහතන්වහන්සේ උතුම් පුද්ගලයන් සත් දෙනාට ඇතුලත්ය: මූලාශ්‍ර: දීඝ.නි: (3): 5 සම්පසාදනිය සූත්‍රය-ඡෙදය-8, පි. 182 EDN: 28: Sampasādanīya Sutta: section 8- Serene Faith, p.313.

▼ උභතෝභාග විමුක්තිය ලැබූ උතුමා නිවන පිණිස කටයුතු නිමාකර ඇත: “මහණෙනි, මේ සසුනේ ඇතැම් පුද්ගලයෙක්, රූප සමාපත්තීන් ඉක්මවා අරූපවු යම් ශාන්ත විමුක්තියක් වේද, එය නාමකයෙන් ස්පර්ශය කර වාසය කරයි. ඔහු ප්‍රඥාවෙන් ද ආර්යසත්‍ය දැක, ආසව ක්‍ෂයකර ඇත. ඒ පුද්ගලයා උභතෝභාග විමුක්තිය ලබා ඇත. එම මහණහට, ‘අප්‍රමාදයෙන් කටයුතු කරන්න යයි’ මම නො කියමි. එයට හේතුව නම්, ඔහු අප්‍රමාදයෙන් කළයුතු දේ කර ඇති නිසාය. (ඒ උතුමා රහතන් වහන්සේය)”. “ කතමොච භික‍්ඛවෙ පුග‍්ගලො උභතොභාග විමුත‍්තො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො යෙ තෙ සන‍්තා විමොක‍්ඛා අතික‍්කම‍්ම රූපෙ අරූප‍්පා තෙ කායෙන ඵස‍්සිත්‍වා විහරති, පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛිණා හොන‍්ති, අයං වූච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො උභතොභාග විමුත‍්තො. ඉමස‍්ස ඛො අහං භික‍්ඛවෙ භික‍්ඛුනො න අප‍්පමාදෙන කරණියන‍්ති වදාමි. තං කිස‍්ස හෙතු: කතං තස‍්ස අප‍්පමාදෙන අභබ‍්බො සො පමජ‍්ජිතං”: මූලාශ්‍ර:ම.නි: ( 2): 2.2.10 කීටාගිරි සූත්‍රය, පි. 252, EMN: 70: Kīṭāgiri Sutta- para:15, p. 536.

▲ උභයලෝක අර්ථ සිද්ධිය- Ubayaloka artha siddi: උභයලෝක අර්ථ සිද්ධිය ලෙසින් පෙන්වා ඇත්තේ මෙලොව හා පරලොව යහපත පිණිස යහපත් කම්ම සිදුකිරීමය- කුසලධම්ම පිලිබඳ සිහිය පවත්වා ගැනීමය. මෙය පණ්ඩිතයන් සතු ගුණයකි. බලන්න: මෙලොව හා පරලොව: මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 1.3.3. උභෝඅර්ථ සූත්‍රය, පි. 370.

උර

▲ උරුවෙලකස්සප තෙර -Uruvelakassapa Thera: බලන්න: උපග්‍රන්ථය:1

උල

▲ උල-Spike: වැරදිලෙසින් තබන ලද උලක් නිසා විපත් ඇතිවේ, එලෙස අවිද්‍යාව නිසා අයහපත ඇතිවෙන අන්දම මෙහි දක්වා ඇත. බලන්න: අවිද්‍යාව, යවනන්ඩුව උපමාව: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර:සංයු.නි: ( 5-1): මහාවග්ග: මග්ගසංයුත්ත:1.1.9 සූක සූත්‍රය, පි.44, ESN: 45: Maggasamyutta: 9.9. The Spike, p. 1613.

උස

▲ උසස්ඥානය- Higher knowledge :උසස් ඥානය ලෙසින් පෙන්වා ඇත්තේ අභිඥාවය. බලන්න: අභිඥා.

ඍ කොටස:

ඍජ, ඍද

ඍජ

▲ ඍජුබව: පාලි: අජ‍්ජචංඤ‍්ච -Straightforwardness: ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීම පිණිස ඍජු බව (වක් නොවනබව- මාර්ගයේ ඇද නොවී ගමන් කරන බව) ප්‍රතිපත්ති ගරුකබව, අවංක බව අවශ්‍ය අංගයකි. සටහන: උජුපටිපන්නෝ- ඍජුව සිටීම සංඝගුණයකි.

▼ ආධ්‍යාත්මික ජීවිතය සම්පුර්ණ කරගෙන, නිවන ලබා ගැනීමට කැමති පුද්ගලයන් දියුණු කරගත යුතු යහපත් ගුණ අතරට ඍජු බව- ඍජුව වාසය කිරීම, දිවි ඇතිතෙක් මනාවූ ඍජු බවින් යුතුව සිටිම (උජුච) වැදගත් යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. එය නිවන පිණිස ඇතිකර ගතයුතු ගුණයකි. “කරණියමත්‍ථකුසලෙන- යන‍්ත සන‍්තං පදං අභිසමෙච‍්ච- සක‍්කො උජු ච සූජු ච- සුවචො චස‍්ස මුදු අනතිමානී” මූලාශ්‍ර: ඛු.නි : මෙත්තා සූත්‍රය, පි. 47.

▼ බුදුන් වහන්සේ ඍජු ව වාසය කිරීම පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මය සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු යයි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3):10 සංගිති සූත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

ඍද

▲ ඍද්ධි-Super normal powers : අසමාන්‍ය බල: බලන්න: ඉද්දී, ඉද්දිබල, සතර ඉද්දිපාද.

එ කොටස:

එක, එජ, එත, එද, එන, එණ, එළ, එස, එහ

එක

▲ එකග්ගත- Ekaggata : සිත සමාධි අරමුණේ යහපත් ලෙස පිහිටුවා ගැනීම එකග්ගතය. බලන්න: සමාධි.

▲ එකධර්මය: පාලි:එකො ධම‍්මා- eko dhammo: සසුන දිගුකලක් පවත්වා ගැනීම පිණිස, බොහෝදෙනාට වැඩ පිණිස මේ එක ධර්මය යහපත් ලෙස අවබෝධ කර ගත යුතුවේ, එක්ව සජ්ජායනා කලයුතුවේ. “සියලු සත්ත්‍වයෝ:ආහාරයෙන් යැපේ, සියලු සත්ත්‍වයෝ සංඛාර හේතුකොට සිටි”. “සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා, සබ‍්බෙ සත‍්තා සඬඛාරට‍්ඨිතිකා”(All beings are maintained by nutriment & conditions). මූලාශ්‍ර: දීඝ.නි: (3 ): 10 සංගීති සූත්‍රය, පි. 368, EDN: EDN: 33: Sangīti Sutta: The Chanting Together, p. 362. සටහන්: * සංයු.නි: (5-1) බොජ්ඣංගසංයුත්ත:3:උදායිවග්ගයේ: 2.3.9 එකධම්ම සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, සංයෝජන පහ කිරීම පිණිස, සප්ත බොජ්ඣංග වර්ධනය බඳු වෙන එකම ධර්මයක් තමන්වහන්සේ නොදකින බවය. ** සංයු.නි: (5-2) ආනාපාන සංයුත්තය: ඒකධම්ම වග්ග: 10.1.1. එකධම්ම සූත්‍රයේදී, ආනාපාන සතිය නම්වූ එක ධර්මය යහපත් ලෙසින් වර්ධනය කරගන්නේ නම්, මහත් ඵල,මහා ආනිසංස ලැබෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත.

▼භාවනාව පිණිස වැඩිය යුතු ඒක ධම්ම: එක ධර්මයක් යහපත් ලෙසින් භාවනාවක් ලෙසින් වඩන්නේ නම්, එය සසර කලකිරීම පිණිස, නිවන පිණිස පවතී යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: බුද්ධානුස්සතිය, ධම්මානුසතිය, සංඝානුසතිය, ශිලානුසතිය, ත්‍යාගානුසතිය, දේවතානුසතිය, ආනාපානසතිය, මරණානුසතිය, කායගතාසතිය, උපසමානුසතිය. බලන්න: භාවනා. මූලාශ්‍රය: අංගු.නි: (1) නිපාත: ඒකධම්මපාලිය සූත්‍ර, පි.100.

▲ එකලා විහරණය-Living in solitude: එකලා විහරණය ලෙසින් පෙන්වා ඇත්තේ, ධර්ම මාර්ගය වඩා ගැනීම පිණිස හුදකලාව වාසය කිරීමය. බලන්න: හුදකලාවිවේකය, ඒකවිහාරි.

▲ එකාරක‍්ඛො: පාලි: එක් ආරක්ෂකයා- a single guard: ධර්මයට අනුව එකාරක‍්ඛො යනු එක ආරක්ෂාකයකු ඇතිව ධර්ම මාර්ගයේ ගමන් කිරීමය. එක් ආරක්ෂාකයා, රැකවලා ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සිහිය-සතිය ඇති බවය (a mind guarded by mindfulness). සිතට ඇති ආරක්ෂාකයා නම් සිහිය ය. ආරියෝ, සිහියෙන් යුතුව, සිත ආරක්ෂාකරගෙන සිටි. බලන්න: ආරිය වාසස්ථාන, සිහිය.

▼ භික්ෂුව ගේ සිත රකින, එකම ආරක්ෂකයා නම් සිහිය ය. සිහිය-සතිය හා සම්ප්‍රජන්‍යය ඇතිව භික්ෂුව ආරක්ෂා සහිතව සිටි: “කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු එකාරක‍්ඛො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සතාරක‍්ඛෙන චෙතසො සමන‍්නාගතො හොති” ( how does a bhikkhu have a single guard? Here, a bhikkhu possesses a mind guarded by mindfulness) මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය,10.1.2.10 හා දෙවෙනි අරියවාස සූත්‍රය,පි.82-84, EAN:10:19.9 & 20.10 Abodes of the Noble Ones, p. 498-499.

▲ඒක ධර්ම ප්‍රශ්නය - A question about one: එක් ධර්මයක් දැකීමෙන් දුක කෙළවර කරගත හැකි බව බුදුන් වහන්සේ වදාළහ. කවර එක් ධර්මයක්ද? : "සියලු සත්ත්‍වයෝ, අහාරනිසා පෝෂණයවේ" බලන්න: මහා දස ධර්ම ප්‍රශ්න. සටහන: බුදුන් වහන්සේ සෝපාක සාමණේර යන්ගෙන් ඇසු පළමු ප්‍රශ්නය “එක නාමය කුමක්ද? (එකං නාම කිං ?). පිළිතුර: “සියලු සත්වයෝ ආහාරයෙන් පෝෂණය වේ”.බලන්න:කුමාර ප්‍රශ්ණය. මූලාශ්‍රය:ඛු.නි:ඛුද්දකපාඨපාළි:4 කුමාරපඤහා,පි. 31.

▲ඒකබීජ: පාලි: ඒකබීජසස- one- seeder : සෝතාපන්නවූ පුද්ගලයෙක් එම ජීවිතයේදී නිවන සාක්ෂාත් නොකර ගත්තේ නම්, ඔහු ආකාර තුනකට මෙලොවට යළි පැමිණ අරහත්වය ලබයි. පළමු ආකාරය, ඒකබිජසසය ය: සෝතාපන්න බව ලබා, උපරිම උපත් එකකින් පසු දුක කෙළවර කරගන්නා පුද්ගලයාය. බලන්න: සෝතාපන්න. මූලාශ්‍ර: සංයු.නි : (5-1): මහාවග්ග:ඉන්ද්‍රිය සංයුත්තය: 4.3.4 ඒක බීජී සූත්‍රය, පි. 394, ESN: 48: Indriyasamyutta: 24.4 One-Seeder, p. 1951.

▲ ඒකවිහාරි- alone dweller: ඒකවිහාරි යනු තනිව හැසිරීම- එකලාව වසනසුළුබව, හුදකලාව වාසය කිරීම, එනම් තණ්හාව නොමැතිව සිටීම. මෙය ඒකචරියා ලෙසින්ද දක්වා ඇත. බලන්න: එකලාව වාසය, හුදකලා විවේකය.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ මිගජාල, ඇසින් දකින රූප, කණෙන් අසන ශබ්ද, නාසයෙන් ...ගඳ, දිවෙන් රස..., කයෙන් පහස... සිතින් සිතිවිලි ආදිය (සය ආයතන මගින් ස්පර්ශ කරන බාහිර අරමුණු ) ගැන සතුටුනොවන භික්ෂුව ඒකවිහාරි වේ. එවැනි, මහණ, ප්‍රජාව සහිත ගමේ කෙලවර ඇති සෙනසුණේ විසුවද ඔහු ඒකවීහාරිය. ඒ කවර හෙයින්ද යත්: දෙවැන්නා වූ තණ්හාව ඔහු පහකොට ඇති නිසාය”. සටහන: මෙ දේශනය වදාළේ මිගජාල තෙරුන්ටය. බලන්න: උපග්‍රන්ථය:1. මූලාශ්‍ර:සංයු.නි: (4 ): සලායතන සංයුත්ත, මිගජාල සූත්‍ර 1 හා 2 , පි 106, ESN: 35: Salayathanasamyutta, 63.1 & 64. 2 Migajaala, p. 1237.

▲ ඒක වෝකාර භවය- eka-vokāra-bhava: සංඥා විරහිත වූ සත්ත්‍වයන්ගේ උත්පත්තිය සිදුවන රූප බඹ ලෝකය, ඒක වෝකාර භවය වේ. බලන්න: අසංඥසත්ත, බ්‍රහ්මලෝක.

▲ එකම පුත්‍රයා හා එකම දියණිය- Only son & only daughter සැදැහැවත් උපාසිකාවකට එකම පුත්‍රයෙක් ඇත්නම් ඔහු, ගිහිගෙයි වාසය කරන්නේනම්, ඒ එකම පුතා චිත්ත ගෘහපති (මචඡිකාසණ්ඩයේ), හත්ථ ආලවක රාජ කුමාර බඳු, බුදුන් වහන්සේගේ අග්‍ර උපාසකයන් ලෙසින් ජිවත්වෙවා යයි පැතීම හෝ ඔහු සසුනේ පැවිදි වූව හොත්, සැරියුත් මුගලන් අගසව් දෙනාම බඳු වේවායි පැතීම යහපත්වේ. එවැනි උපාසිකාවකට එකම දියණියක් සිටි නම් ඇය, කුජ්ජුත්තරා උපාසිකාව, උත්තරා නන්ද මාතාව-වේළුකන්ටකි නන්දමාතාව බඳු බුදුන් වහන්සේගේ අග්‍ර උපාසිකාවන් ලෙසින් ජිවත්වෙවා යයි පැතීම හෝ ඇය සසුනේ පැවිදි වූව හොත්, ඛේමා,උප්පලවන්නා යන අග්‍ර ශ්‍රාවිකා භික්ෂුණියන් බඳු වේවායි පැතීම යහපත්වේ යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න:උපග්‍රන්ථය:1,2,3. මූලාශ්‍ර:සංයු.නි: ( 2): නිදානවග්ග: ලාභසත්කාර සංයුත්ත: 3.3.3. එකපුත්ත සූත්‍රය හා 5.3.4 එකධිතු සූත්‍රය, පි.380, ESN:17: Labasakkarasamyutta: 23.3. Only son & 24.4 Only daughter, p. 848.

▲ එක පුද්ගලයෙක් පහළවීමේ අසිරිය-Wonders of one person arising එක පුද්ගලයෙක් - තථාගත අරහත් සම්මා සම්බුදුන්වහන්සේ ලෝකයේ පහළවීමේ අසිරිමත්ය. දෙව් මිනිසුන්ගේ හිත සුවය පිණිසය, පහළවීම දුර්ලභය, පහළවීම ආශ්චර්යමත් දෙයකි, කාලක්‍රියාව බොහෝදෙනාට දුක සංවේගය පිණිස පවතී, ලෝකයේ අසමසම...අද්විතීය... ඒ එක් පුද්ගලයෙක් ගේ පහළවීම නිසා ඇතිවූ අසිරිමත්, උතුම් දේ ගැන මේ වග්ගයේ විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (1): 1 නිපාත: 13 එකපුග්ගල වග්ගයේ සූත්‍ර, පි. 80, EAN:1: XIII: One person, p. 43.

▲ එක රසය- One taste: ධර්මයේ ඇත්තේ එක රසයකි. එනම් විමුක්ති රසය යි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර:අංගු.නි: 8 නිපාත: 8.1.2.9 පහාරාද සූත්‍රය, පි.103, EAN:8:19.9 Pahārāda,p.421.

▲ එකලාව හැසිරීම- Ekalawahasirima: දහමට අනුව, තන්හාව පහකර හැසිරීමය, බුදුන් වහන්සේ එකලාව හැසිරේ යයි දෙවියන් යන් මෙහිද පවසා ඇත. බලන්න: ඒකවිහාරි. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත:1.3.10 එණිජංග සූත්‍රය, පි.58.

▲ ඒකායන මග- Ekayana maga: ධර්මයේ ඒකායන මග ආරිය අටමගය. ඒ මාර්ගයට පිලිපන්විට, ගෙනයන්නේ එක අතකටය- දුකින් මිදීමටය, නිවන ලැබීමටය. බලන්න: ආරිය අටමග.

▲ එකාසනිකයෝ- who observe the one-session practice ධුතාංග පුහුණුව ලෙසින් එක් වේලක් (අහාර එක්වේල) ගෙන වාසය කරන සංඝයා එකාසනිකයෝ ලෙසින් පෙන්වා ඇත.බලන්න:අංගු.නි: (3) 5 නිපාත: ආරඤඤකවග්ග: 5.4.4.9 එකාසනිකසූත්‍රය, පි.380.

එජ

▲ එජා-Eja: එජා ලෙසින් පෙන්වා ඇත්තේ තණ්හාවය. බලන්න: තණ්හාව. මූලාශ්‍රය: සංයු.නි (4) සළායතනසංයුත්ත: 1.9.7 එජාසූත්‍රය, පි.167.

එත

▲ එතෙර හා මෙතෙර: පාලි: ඔරීමං තීර, පාරිමං තිර- far shore and near shore : ධර්මයේ එතෙර ලෙසින් පෙන්වා ඇත්තේ නිවනය, දුක කෙලවරවීමය, මෙතෙර යනු සසරය, දුක විඳීමය. බලන්න: අපාර හා පාර, ඔරීමතීරය හා පාරීමතිරය.

▼ මැනවින් වැඩු සතර ඉද්දිපාද සසරින් එතෙරවීමට උපකාරිවේ. සතර ඉද්දිපාද කෙනෙක් වඩන ලද්දේනම්, බහුල කර ඇත්නම්, මෙතෙරින් එතෙරට යාම පිණිස පවතී යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: ඉද්දිපාද. මූලාශ්‍ර: සංයු.නි: (5-2 ):මහාවග්ග: ඉද්ධිපාද සංයුත්ත: 7.1.1. අපාර සූත්‍රය, පි. 26, EDN: 51: Iddhipāda-samyutta:1.1 From the Near Shore, p.2057.

▼මාරයාගේ විෂයට අයත් නොවන එතර-පරතෙර-අමතමග-නිවන ගැන විමසන ජනයාට එම සත්‍යමග තමන්වහන්සේ (කිසිම අල්වාගැනීමක් නැතිව) පෙන්වා දෙනබව බුදුන් වහන්සේ වදාළහ: “අමච‍්චුධෙය්‍යං පුච‍්ඡන‍්ති යෙ ජනා පාර ගාමීනො, තෙසාහං පුට‍්ඨො අක‍්ඛාමි යං සච‍්චං තං නිරූපධින‍්ති”. සටහන: අමච‍්චුධෙය්‍යං- මාරවිෂයය. මූලාශ්‍ර: සංයු.නි: (1 ): සගාථවග්ග:මාරසංයුත්ත: 4.3.4 සත්තවස්ස සූත්‍රය, පි. 248, ESN: 4: Marasamyutta: 24.4 Seven Years of Pursuit, p. 295.

▼ බුදුන්වහන්සේ එතෙර හා මෙතෙර මෙසේ දක්වා ඇත: 1) ප්‍රාණඝාතය මෙතෙරය, ඉන් වැලකීම එතෙරය. 2) සොරකම මෙතෙරය, ඉන් වැලකීම එතෙරය. 3) කාමයෙහි වරදවා හැසිරීම මෙතෙරය, ඉන් වැලකීම එතෙරය.4) බොරුකීම මෙතෙරය, ඉන්වැලකීම එතෙරය. 5) කේලාම්කීම මෙතෙරය, ඉන් වැලකීම එතෙරය. 6) පරුෂවචනකීම මෙතෙරය, ඉන්වැලකීම එතෙරය.7)නිෂ්ඵලකතාමෙතෙරය, ඉන් වැලකීම එතෙරය. 8) දැඩිආසාව මෙතෙරය, ඉන් වැලකීම එතෙරය. 9) ක්‍රෝධය- තරහ මෙතෙරය, ඉන් වැලකීම එතෙරය.10) මිථ්‍යාදිට්ඨිය මෙතෙරය, ඉන් වැලකීම එතෙරය.දසකුසලය එතෙරය, දස අකුසලය මෙතෙරය. මූලාශ්‍ර:අංගු.නි: ( 6 ): 10 නිපාත:10.4.2.3 සංගාරව සූත්‍රය, පි.488, EAN:10: 169.3, Saṅgārava, p.550.

එද

▲ එදිරිය හා එදිරිය නැතිබව- hostility & non-hostility: අනුන් කෙරහි එදිරිය ඇතිව සිටීම අකුසලයකි, දුගතිය ඇතිකරයි. එදිරිය නැතිබව විමුක්තිය ලබා ගැනීමට උපකාරීවන ධර්මයකි, කුසලයකි. බලන්න: අනවද්‍ය ධර්ම හා සාවද්‍ය ධර්ම, සල්ලේඛපරියාය.

▲ ඒදඬු පාලම්-Bridges: දිය පහරවලින් එතරවීම පිණිස සදා ඇති ගස් කඳ එදඬුය, ඊට වඩා ක්‍රමවත්ව සකස් කර ඇත්තේ පාලමය. යම් කෙනක්, අන්‍යයන්ගේ යහපත පිණිස එදඬු පාලම් සාදා දෙන්නේනම් නම් එය පුණ්‍ය ක්‍රියාවකි, සුගතියට මග පාදයි. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.5.7 වනරෝප සූත්‍රය, පි.86.

එන

▲ එන්දිත- palpitation: එන්දිත ලෙසින් පෙන්වා ඇත්තේ සිත සැලිමය-සලිතවීමය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි, ‘මම වෙමි’ යි යන එන්දීතයකි. ‘මේ මම වෙමි’ යි ...‘මම වන්නෙමි’ යි... ‘මම නොවන්නෙමි’ යි... ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යි... ‘රූප නැත්තෙක් වන්නෙමි’ යි... ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යි... ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යි... ‘නොම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යි ... යන මෙය එන්දිතයකි ... එන්දිතය රෝගයකි...ගඩුවකි... හුලකි... ඒ නිසා මෙහි ලා එන්දිතා රහිත සිතින් යුතුව වාසය කරන්නෙමු යයි ඔබ විසින් හික්මිය යුතුය.”මූලාශ්‍ර: සංයු.නි: (4) සළායතනවග්ග: වේදනාසංයුත්ත: ආසිවිසවග්ග:1.19.11 යවකලාපී සූත්‍රය, පි.410, ESN: 36: Vedanasamyutta:248.11 The Sheaf of Barley, p.1327.

එණ

▲එණිමුවා- Eni muwa: මෙහිදී බුදුන් වහන්සේගේ රූපය වර්ණනා කරණ දෙවියන්, උන්වහන්සේගේ කෙණ්ඩා එණිමුවකුගේ කෙණ්ඩා වලට සම කර ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: දේවතා සංයුත්ත:1.3.10 එණිජංග සූත්‍රය, පි.58. එළ

▲ එළකිරි -the Cow milk: සමාධි සම්පත් ලබාගැනීමේ අග්‍ර බව මෙහිදී පෙන්වා ඇත. එළදෙනට වඩා කිරිද, කිරිවලට වඩා දිහිද, එයට වඩා වෙඬරුද, එයට වඩාගිතෙල් ද එයට වඩා මණ්ඩය ද අග්‍රයයි කියයි. එලෙස, ධ්‍යාන පුද්ගලයෙක් ගේ සමාධියද, එයට වඩා සමාධි කුසලයද, එයට වඩා සමාධි සමාපත්ති කුසලයද අග්‍රවේ. බලන්න: සමාධිය. උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධකවග්ග: ජානසංයුත්ත:13.1.1. සමාපත්ති කුසල සූත්‍රය, පි.566, ESN: 34 Jhānasaṃyutta: 1 Attainment in relation to Concentration, p.1163.

▲ එළදෙන -the Cow: හම ගැසූ එළදෙන ආරක්‍ෂිත තැනක් සොයායන ලෙසින්, ස්පර්ශ ආයතන යන්ට යට නොවී සිටීම සුවයක් බව මෙහි පෙන්වා ඇත. බලන්න: ස්පර්ශ ආහාර, උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: අභිසමය සංයුත්ත: 1.7.3 පුත්තමංස සූත්‍රය, පි. 174, ESN: 13 : Abhisamyasamyutta: 63.3 Son’s Flesh, p. 697.

එස

▲ එසිකාස්ථම්භය-Eskiasthmbaya: පුරාණ ඉන්දියාවේ, නගරයකට ඇතුළුවන ස්ථානයේ ඉදිකර ඇති ශක්තිමත් කුළුන එසිකාස්ථම්භයය. බලන්න: ඉන්ද්‍රකීලය.

▲ ඒසුකාරී බ්‍රාහ්මණ- Esukari Brahmin:බලන්න: උපග්‍රන්ථය:3

එහ

▲ එහිපස්සිකෝ-Ehipassiko: ධම්ම ගුණයකි: ධර්මය “ඒව බලව යයි කීමට සුදුසු බවය”. ධර්මය විවෘතය, ඕනෑම කෙනෙකුට ධර්මය විමසා බැලිය හැකිය. බලන්න: ධම්ම ගුණ.

▲ එහි භික‍්ඛු- Ehi bhikkhu: එහි භික්ඛු “ඒව මහණ” යන්න බුද්ධ වචනයය. බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සමහර සංඝයා මහණකම ලබා ඇත්තේ ඒ අයුරින්ය. බුදුන් වහන්සේ එසේ වදාළවිට ඒ භික්ෂුවට ඍධියෙන් ලැබෙන පාත්‍ර සිවුරු ඇතිව, ශ්‍රමණබව ලැබේ, උපසම්පදාව ලැබේ. සටහන: එම උපසම්පදාවට හේතුවි ඇත්තේ පෙර කරනලද යහපත් කම්මයන්ය.ශබ්දකෝෂ: පා.සි.ශ: පි. 217: “එහි භික‍්ඛු- එලෙස පැවිදිවූ භික්ෂුව,

එහි භික‍්ඛුනි- එලෙස පැවිදිවූ භික්ෂුණිය. එහි භික්ඛු චිවරය- සෘදිධියෙන් උපන් චිවරය. එහි භික්ඛු උපසම්පදාව යනු අට වැදෑරුම් උපසම්පදා වලින් එකකි.

▼ අගසව්දෙනම එහි භික්ඛු බවින් පැවිදිවීම: “...ඉක්බිති සැරියුත් මුගලන් දෙදෙනා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටි ‘ ස්වාමිනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු, උපසම්පදාව ලබන්නෙමු’ යි දැන්වුහ” ‘එවූ, මහණෙනි, ධර්මය හොඳින් දේශනා කරණ ලද්දේය. හොඳින් දුක් කෙළවර කරනු පිණිස බ්‍රහ්මචරියාවේ හැසිරෙවූ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පාදාව වී ය”.

සටහන්:* මහා කප්පින තෙරුන් හා ඔහුගේ රජපිරිස, අගබිසව ඇතුළු කාන්තාවන්,එහි භික්ඛු භාවයෙන්, බුදුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබුහ. EAN: note no. 112, p. 586, ESN: note: 400, p.991. මූලාශ්‍ර: වින.පි: මහවග්ග පාලිය 1, ඡෙදය 21, පි. 166.

ඔ කොටස:

ඔක, ඔඝ, ඔඩ, ඔත, ඔද, ඔන, ඔප, ඔභ, ඔම, ඔර, ඔල, ඔව, ඔස

ඔක

▲ ඔකය - House : ඔකය යනු නිවසය-පදිංචිතැනය. මෙහිදී ඔකය ලෙසින් පෙන්වා ඇත්තේ ලෝකයා පදිංචිසිටින තැන හෙවත් පංච උපාදානස්කන්ධය. ගෙදර හැසිරෙන්නා - පංච උපාදානස්කන්ධ තමාගේ යයි අල්වාගෙන සිටින තැනැත්තා, ඔකසාරිය. බලන්න: අනිකේතසාරි. මූලාශ්‍ර: සංයු.නි: ( 3): ඛන්ධසංයුත්ත: හාලිද්දීකානි සූත්‍රය, පි. 42, ESN: 22: Kahandasamytta, 3.3 Haliddkani, p. 1011.

▲ ඔකාසාධිගමා - gateways to the bliss: අධිගම සුවය ලබාදෙන මග. බලන්න: අවකාශාධිගම මාර්ග.

ඔඝ

▲ ඔඝය හා ඔඝ තරණය: පාලි: ඔඝ, ඔඝතිණ‍්ණ- flood & crosser of the flood: ධර්මයේ ඔඝය ලෙසින් පෙන්වා ඇත්තේ ජල ප්‍රවාහ සතරක් - සැඩදිය පහර 4 ක් : කාම භව දිට්ඨි අවිජ්ජා - ඇති සසරටය. (චතුර්විධ ඔඝ- මහා ඔඝ ලෙසින්ද හඳුන්වයි) එම ජල කඳ 4 ට හසුවූ මිනිසුන් ඉන් එතරවීමට මග නොදැන දිගින් දිගටම සසරේ පාවී යති. එම සතර ප්‍රවාහයන් මැඩ පවත්වා, එතරවූ පුද්ගලයා රහතන්වහන්සේය, ‘ඔඝතිණණන’ යයි කියනු ලැබේ. ශබ්දකෝෂ : පා.සි.ශ: පි. 221: “ඔඝ: මහා සැඩපහර, චතුර්විධ ඔඝය”.B.D: p.112: “Ogha: Floods is a name for the 4 cankers-āsava…” P.T.S: p. ‘Ogha: a flood of water; usually as mahogha a great flood: the flood of ignorance and vain desires which sweep a man down, away from the security of emancipation…’

▼ ඔඝය තරණය කරණ අන්දම: එක්සමයක දේවතාවක්, ‘භික්ෂුව ඔඝයතරණය කරන්නේ කෙසේද’ ය යි බුදුන් වහන්සේ ගෙන් විමසුහ. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “පඤ‍්ච ඡිනෙන්‍දද පඤ‍්ච ජහෙ පඤච චූත‍්තරි භාවයෙ, පඤ‍්ච සඬගාතිගො ‘භික‍්ඛු ඔඝතිණ‍්ණො’ ති වූච‍්චතිති”. 5 ක් සිඳ දමා (පංච ඕරම්භාගිය සංයෝජන), 5 ක් ප්‍රහිණය කර (පංච උද්දම්භාගිය සංයෝජන), 5ක් වඩා ගැනීමෙන් (පංච ඉන්ද්‍රියන්: සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා:අධ්‍යාත්මික ඉන්ද්‍රිය) හා බැමි 5 ක් කඩා දැමීමෙන් (රාග, දෝස, මෝහ-අවිජ්ජා, මාන, දිට්ඨි යන ආසවයන්) සසර ඔඝය තරණය කලහැකිබවය. ඔඝය ඉක්මවූ මහණ ‘ඔඝතිණණ’ ලෙසින් හඳුන්වයි. සටහන: මේ පිලිබඳ අටුවාව දක්වා ඇති විස්තර පිණිස බලන්න: ESN: note: 12, p. 500. මූලාශ්‍ර:සංයු.නි:(1): සගාථවගග:1.1.5 කතිඡින්ද සූත්‍රය, පි.32, ESN: 1: Devataha samyutta: 5.5 How many one must cut?, p. 63.

▼ බුදුන් වහන්සේ ඔඝය තරණය කළ අන්දම: දෙවියෙක් ඇසු පැණයකට පිළිතුරු ලෙසින්, ඔඝය තරණය කළ අන්දම බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: “අප‍්පතිට‍්ඨං බ‍්වාහං ආවූසො අනායුහං ඔඝමතරින‍්නි... යදා ස‍්වාහං ආවූසො සන‍්තිට‍්ඨාමි. තදාස‍්සු සංසිදාමි. යදා ස‍්වාහං ආවූසො ආයුහාමි තදාස‍්සු නිබ‍්බූය‍්හාමි...” ‘මම නොනැවතී- විරාමයක් නොගන, මහා වෙහෙසට පත්නොවී සසර තරණය කෙළෙමි, නැවතුනේනම් මා ගිලියනු ඇත, දැඩිවෙහෙසට පත්වුයේනම් මා පාවීයනු ඇත, එලෙස මම ඔඝය තරණය කෙළෙමි’. සටහන: අටුවාවට අනුව: මෙහිදී නොනැවතීම (Not halting) ලෙසින් පෙන්වා ඇත්තේ කෙළෙස්වලට හසුනොවී නිවනබලා යාමය; පිහිනීම නැවතුවහොත් ජලෙයේ (සසරේ) ගිලියයි. මහා වෙහෙසට පත්නොවීම යනු කෙළෙස්වළ නො පිහිටා සිටීමය; කෙළෙස් පිහිටුවාගත්විට ඉන් මිදීම පහසුනොවේ, කෙළෙස් නිසා වෙහෙසට පත්වූවිට පිහිනීමට නොහැකිව සැඩ දියේ (සසරේ) පාවී යයි. ඒ සැම අන්තයන්ම හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර බුදුන් වහන්සේ සසර තරණය කළහ. බලන්න: ESN: notes 2 & 3, p. 498. මූලාශ්‍ර: සංයු.නි: ( 1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.1.1 ඔඝතරණ සූත්‍රය, පි. 28, ESN:1: Devatāsaṃyutta:1.1 Crossing the Flood, p. 59.

▲ ඔඝ සතර - The 4 floods: ඔඝ සතරකි: කාමඔඝය, භවඔඝය, දිට්ඨීඔඝය හා අවිජ්ජාඔඝය (the flood of sensuality, of existence, of views, of ignorance). එම ඔඝ-සැඩ දිය, මිනිසුන් සසර ජල ප්‍රවාහයේ ගිල්වා දමයි. ඔඝ 4 අවබෝධය කරගනිමට, සහමුලින් නැතිකරගැනීම පිණිස ආරිය අටමග සම්පුර්ණ කරගතයුතුවේ.සටහන: අටුවාවට අනුව: කාමඔඝය: පංචකාමයන්ට ඇති ආසාව හා බැඳීම. භවඔඝය: රූප හා අරූප භවයන්ට ඇති ඇලීම හා ජාන වලට ඇති බැඳීමය. දිට්ඨීඔඝය: මත හා දිට්ඨිවලට ඇති බැඳීම. අවිජ්ජාඔඝය: මෝහය- චතුසත්‍ය නොම දැනීමය. බලන්න: ESN: note 1, p. 498. මූලාශ්‍ර: සංයු.නි : (5-1): මග්ගසංයුත්ත: ඔඝ වග්ග: 1.16 ඔඝ සූත්‍රය, පි.160 , ESN: 45: Maggasamyutta: 171-1 Floods, p. 1718, සංයු.නි: (4): සළායතන වග්ග: ජම්බූඛාදක සංයුත්ත: 4.1.11 ඔඝ සූත්‍රය, පි. 508 , ESN: IV: 38 Jambukhādaka saṃyutta:11 Floods, p. 1406.

▼ ආධ්‍යාත්මික වර්ධනය පිණිස සිව් ඔඝය පහ කර ගත යුතුය. බලන්න: පහාතබ්බ ධර්ම.මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

ඔඩ

▲ ඔඩොක්කුවේ ප්‍රඥාව උපමාව-Simileof the lap-like wisdom: දහම අසන පුද්ගලයෙක් එය අවබෝධ කරගන්නා ආකාරය පෙන්වීම පිණිස මෙ උපමාව යොදාගෙන ඇත. මොවුන් වාඩිවී සිටිනා තෙක් දහම අසති, එහෙත් නැගිට ගත්විට දහම් කරුණු අමතකවෙ. එය හරියට වාඩිවී සිටින කෙනක් ඔඩොක්කුවේ කෑම තියාගෙන සිටිනා ලෙසය. ඔහු නැගීසිටින විට එ කෑම බිමට වැටේ. එලෙසින් දහම් කරුණු සිහියෙන් පිටවී යයි. බලන්න: උච්ඡඬ පඤඤා, උපග්‍රන්ථය:5. මූලාශ්‍ර:අංගු.නි: (1): 3 නිපාත: 3.1.3.10 සූත්‍රය, පි. 277, EAN: 3: 30.10 sutta, p. 88.

ඔත

▲ ඔත්තප්ප: පාලි: ඔත‍්තප‍්ප - moral fear: ඔත්තප්ප යනු අකුසල් කිරීමට ඇති භයය. මෙය කුසලයකි.බලන්න: හිරි හා ඔත්තප්ප.

ඔද

▲ ඔදාතකසිණය - Odathakasina: සුදුකසිණයය, භාවනා අරමුණකි. බලන්න: කසිණ.

ඔන

▲ ඔනතොනත හා ඔනතුන්නත පුද්ගලයෝ - Onathonatha & Onathunnatha Persons: ඔනතෝනත යනු නීච- පහත් බවය. උපතින් ඉතා පහත් කුලයක ඉපදී, දුස්සිසල වූ පුද්ගලයා මෙසේ හඳුන්වයි. ඔහු ඒකාන්තයෙන්ම නිරයේ උපත ලබයි. එහෙත්, ඔනතුන්නත පුද්ගලයා එසේ නොවේ. ඔහු පහත් කුලයක උපත ලැබුවද, සුචරිතය ඇත. එනිසා මරණින් මතු දෙව්ලොව ඉපදීමට වාසනාව ඇත. බලන්න: උත්තම නීච පුද්ගල හා උත්තම- උත්තම පුද්ගල. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: 4.2.4.6 ඔනතෝනත සූත්‍රය, පි.186.

ඔප

▲ඔපනයික-Opanaika: ධර්මගුණයකි. බලන්න: ධර්මගුණ.

▲ ඕපපාතික -Spontaneous birth: ඕපපාතික යනු සත්ත්‍වයන් උපත ලබන විධියකි. ස්වයංජාත ( දෙමාපියන්ගේ ආධරය නොමැතිව) ලෙසින්ද හඳුන්වයි. දෙව්ලොව දෙවියන් හා නිරයේ සත්ත්‍වයන් යළි උපත ලබන්නේ මේ ආකාරයටය. බලන්න: උත්පත්ති විධි.

ඔභ

▲ ඔභා -Bright lights: ඔභා යනු දීප්තිමත් ආලෝකයය. බලන්න: අභා

ඔම

▲ ඔමානය- Omana: ඔමානය- හීනමානය, ආධ්‍යාත්මික මග වඩා ගැනීමට බාධාවකි. බලන්න: ත්‍රිවිධමාන.

ඔර

▲ ඔරීමතීරය හා පාරීමතීරය: පාලි: ඔරිමං තීරං, පාරිමං තීරං -far shore and near shore: ඔරීමතීරය ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සම්මා දිට්ඨිය පෙරටුකටගත් මගය- නිවනය. පාරීමතිරය නම් මිථ්‍යා දිට්ඨිය ඇති වැරදි මගය, එනම් සසරය, දුකය. බලන්න: එතෙර හා මෙතෙර. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.3.2.5. සඬගාරව සූත්‍රය, පි.448 හා 10.3.2.6. ඔරිමතීර සූත්‍රය, පි.450, EAN: 10: 117-5 Saṅgārava, p.546 & 118-6 Near, p.546.

▲ ඔරම්භාගිය සංයොජන: පාලි: ඔරම‍්භාගියසංයොජන -The five lower fetters: සංයෝජන 10යේ පහළ සංයෝජන 5 ඔරමභාගිය සංයෝජන ලෙසින් හඳුන්වයි. මේවා කාමලෝකයට බැඳ තබන කෙළෙස්ය. බලන්න: සංයෝජන. ශබ්දකෝෂ: පා.සි.ශ: පි.210: “ඔරම‍්භාගිය සංයොජන: පහත් භවය භාජනය කරණ සංයොජන”.B.D: p.300: “orambhāya- saṃyojana: lower fetters…they tie to the sensuous world’.

▼ ඔරම්භාගිය සංයෝජන 5 කි: සකකායදිට්ඨිය, විචිකිච්චාව, සීලබබතපරාමාසය, කාමචන්දය, ව්‍යාපාදය, ඔරම්භාගිය සංයෝජන වේ. (Identity view, doubt, the distorted grasp of rules and vows, sensual desire, ill will) සටහන: පහළ සංයෝජන ලෙසින් හඳුන්වන මේවා, සත්ත්‍වයා කාමලෝකයට බැඳතබති. 1-3 සංයෝජන පහකිරිමෙන් සෝතාපන්න හෝ සකදාගාමී මගඵල ලැබේ, සියල්ල ප්‍රහිණය කළවිට අනාගාමීවේ. බලන්න: අනාගාමී. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: 10.1.2.3 සංයෝජන සූත්‍රය,පි.60, EAN:10: 13.3. Fetters, p. 496, දිඝ.නි: (3): 10 සංගිති සුත්‍රය- ඡෙදය 10, පි. 380 , EDN: 33 Sangīti Sutta: The Chanting Together-section 10 , p. 366.

▼ ඔරම්භාගිය සංයෝජන ප්‍රහිණය කිරීම: ආරිය අටමග සම්පුර්ණයෙන්ම වර්ධනය කරගැනීමෙන් මේ සංයෝජන 5 ගැන මනා අවබෝධය ලබා ඒවා පහකර ගැනීමට හැකිබව බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (5-1 කාණ්ඩය): මග්ගසංයුත්ත: ඔඝ වග්ග, 1.16 ඔරම්භාගිය සංයෝන සූත්‍රය, පි. 164, ESN: 45: Maggasamyutta: 179.9 Lower Fetters, p. 1726.

ඔල

▲ ඕලාරික- Olarika : ඕලාරික යනු තද ගොරෝසු බවය. සංයු.නි: අනත්ත ලක්ඛණ සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ රූප වේදනා ආදීවූ පංච උපාදානස්කන්ධයම ඕලාරික, සියුම්, හීන ප්‍රණීත ආදීවූ විවිධ ස්වරුප ඇතිබවය: “ යං කිඤ‍්චි රූපං අතිතානාගතපච‍්චුප‍්පන‍්නං... ඔළාරිකංවා සුඛුමං වා...”.

ඔව

▲ ඕවාද - Advice: ඕවාද-අවවාද අනුසාසනා ආධ්‍යාත්මික වර්ධනය පිනිස අවශ්‍ය කරුණකි. ජේෂ්ඨ සංඝයාගෙන් අවවාද අනුසාසනා නිතර නිතර ලබාගැනීම සුදුසු බව බුදුන් වහන්සේ වදාළහ. බලන්න: විනය පිටකය.

▼ අවවාද අනුසාසනා කරන, අනුන් පාපයෙන් වළකන, පුද්ගලයා සත්පුරුෂයන්ට ප්‍රියවේ, අසත්පුරුෂයන්ට අප්‍රියවේ: “ඔවදෙය්‍යනුසාසෙය්‍ය අසබ‍්භා ච නිවාරයෙ- සතං හි සො පියො හොති අසතං හොති අප‍්පියො”. මූලාශ්‍ර: ඛු.නි: ධම්මපදපාලි: 6 පණ්ඩිතවග්ග, ගාථාව 77.

▼ බුදුන් වහන්සේ වැඩසිටි කාලයේම, සමහර සංඝයා අවවාද ඇසීමට හිත යොදන්නේ නැතිබව, ප්‍රිය නොකරන බව, කීකරු නොමැතිබව මහා කාශ්‍යප තෙරුන්, බුදුන් වහන්සේට පවසා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග:කස්සපසංයුත්ත: ඔවාද සූත්‍ර 3 කි, පි. 332, ESN:16: Kassapasamyutta: Ekhortation 3 suttas, p. 813.

▼ භික්ෂුණි සංඝයාහට ඕවාද දෙන භික්ෂුන් අතුරින් නන්දක තෙරුන් අග්‍රය. එතුමන්, භික්ෂුණි සංඝයාට ඕවාද දීම පිලිබඳ විස්තර මෙහි දැක්වේ. බලන්න: ම.නි: (3) නන්දඕවාද සූත්‍රය.

ඔස

▲ ඔසග්ග: පාලි: වොස‍්සග‍්ග- Osagga :ඔසග්ග (වොසග්ගය) යනු අතහැර දැමීම, කාම ලෝකය අතහැර නිවන අරමුණුකර භාවනාව වඩාගැනීමය. නිවනට නැමීමය. බොජ්ඣංග ධර්ම වඩා ගැනීම පිණිස, භාවනාව වර්ධනය පිණිස කාමලෝකය හැරදැමු නිවනට නැමුණු සිත (වොසග්ගපරිනාමි) අවශ්‍ය බව සූත්‍රදේශනාවල පෙන්වා ඇත. බලන්න: සංයු.නි. අසංඛතසංයුත්තය.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි නිවන් මග නම්: මෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මා සමාධිය වඩයි, මේ නිවන් මගය”. “ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං, අයං වූච‍්චති භික‍්ඛවෙ අසඬතගාමි මග‍්ගො”. මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග: අසංඛතසංයුත්ත: 9.2.4 සම්මාසමාධි සූත්‍රය, පි. 682, ESN: 43: Asankathasamyutta: 12.1 The unconditioned, p. 1507.