ම කොටස



ම කොටස:

මක,මඛ,මග,මඝ,මච,මඤ,මට,මත,මථ,මද, මධ,මන,මණ,මම,මය,මර,මල,මළ,මව,මස,මහ

මක

▲ මක්ඛලිගෝසාල-Makkali Ghosala: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ විසු අන්‍යආගමික නායකයෙකි. අන්‍ය ආගමික වාද අතුරින් ඔහුගේ වාදය ඉතාම නරක එකක් බව දක්වා ඇත: ඔහු මෙසේ පවසයි: “කර්මයක් නැත, ක්‍රියාවක් නැත, වීරියක් නැත”. ඒ පිලිබඳ උපමාව- කේසකම්බිලි පොරෝනය : කේසකම්බිලි නම් පොරෝනය, සියලු වස්ත්‍ර අතුරින් නරකම වස්ත්‍රයවේ. එය ශිතකාලයේ ශිතය ගෙනදේ, උෂ්ණ කාලයේ උෂ්ණය ගෙනදේ , දුගඳය, දුරුවර්ණය. එලෙසින් මක්ඛලිගෝසාල ගේ ඉගැන්වීම් සෑම කාලයකම අයහපත්ය.බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍රය:අංගු.නි: (1) 3 නිපාත: 3.3.4.5 සූත්‍රය, පි.554.

▼ සියලු සම්මා සම්බුදුවරු කර්මය ඇතිබව, ක්‍රියාව ඇතිබව, විරිය ඇතිබව දේශනා කරති. එහෙත්,මක්ඛලි, අනුවණ පුරුෂයා ඒ සත්‍ය පිළිනොගනී. ඔහුගේ වාදය බොහෝ මිනිසුන්ට අහිත පිණිස, දුක පිණිස, විනාශය පිණිස වේ. ඒ පිලිබඳ උපමාව: මසුන් අල්වන කෙමිණ නිසා බොහෝ මසුන්ගේ විනාශය සිදුවේ, එලෙස, ඔහුගේ වාදය නිසා බොහෝ පිරිස විපතට පත්වේ. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍රය:අංගු.නි (1) :3 නිපාත: 3.3.4.5 සූත්‍රය, පි.554.

▲ මකුබව: පාලි: මක‍්ඛො -contempt: මකුබව (මක්ඛය) යනු අනුන්ගේ ගුණ මකන ස්වභාවය (ගුණමකුබව ), අනුන්ට අවමන් කිරීම, හෙලාදැකීම, නිග්‍රහ කිරීමය, මෙය අකුසලයකි, සිත කෙළෙසන ධර්මයකි, දුගතිය ඇතිකරයි. බලන්න: උප කෙළෙස, දසඅකුසල.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි, එක් කෙළස් ධර්මයක්...මකුබව පහකරගන්නේ නම්, මම ඔබට අනාගාමී භාවය පිණිස කැපවෙමි”. මූලාශ්‍රය: ඛු.නි:ඉතිවුත්තක:1.1.5 මක්ඛ සූත්‍රය, පි.348.

▼ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීම පිණිස මකුබව විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධ කර, එය දුරුකර ගතයුතුය. එය දුක නැතිකර ගැනීමය.විදර්ශනා නුවණින්, සම්‍යක්ප්‍රඥාව ඇතිකර මකුබව පහ කරගත් අය නැවත මේ ලෝකයට පෙරළා නො එති. මූලාශ්‍රය: ඛු.නි:ඉතිවුත්තක: 1.2.3 මක්ඛපරිඤඤා සූත්‍රය, පි.358.

▼ වෙනත් මූලාශ්‍ර: 1. Per Bhikkhu Bodhi: Contempt is the devaluation of benefits conferred on one by others. See: EMN note 87,p. 1179.2. “මාපියන්, නෑදෑයන්, මිතුරන් ආදීන් කළ උපකාර නිසා දියුණුව, මගේ විරියෙන්ම දියුණුවුවා මිස මට කවුරුත් කළ දෙයක් නැතයයි ගුණ අවලංගු කරණ ස්වභාවය මක්ඛ නම්වේ. මෙය ද්වේෂයේම ආකාර විශේෂයකි. අසත්පුරුෂ ලක්ෂණයකි. එහි විපාක ලෙසින් ඇතැම් අය මෙලොවදීම නපුරු රෝග වැළඳී බොහෝ දුක්විඳිති”. කෙලෙස් එක්දහස් පන්සියය, පි. 82, රේරුකානේ චන්දවිමල මහානාහිමි, 2008. 3. “අන් සතු ගුණ මකා දැමීම...අන් අයගෙන් තමන් ලද උදව් උපකාර සිහිපත් කිරීමට හෝ ප්‍රකාශ කිරීමට ඇති අකමැත්ත මින් ප්‍රකාශ වේ. එපමණක් නොවෙයි. සිතා මතාම අන්‍යන්ගේ ගුණ හා දක්ෂතා කීමෙන් වැළකීමට ගුණමකු සිත වෙර දරනවා. එවන් අය තමයි ගුණමකුවෝ කියන්නෙ. මෙය අද සමාජයේ බහුලව දැකිය හැකි දෙයක්.  විටෙක නොකියා බැරි කමට සුළු ගුණයක් පමණක් කියති. මෙම ගුණ මකා දැමීමේ විපාකය සුළුපටු නොවේ. පෙර භවයන්හි ගුණමකු වීමේ විපාක ලෙස මේ ජීවිතයේදී: තමන් කෙතරම් හොඳක් කළත් හොඳක් අහන්න නොලැබේ, නිතර අසහන කාරී ලෙස හා පීඩාකාරී ලෙස ජීවිතය ගෙවයි”. දිනමිණ: අන්තර්ජාල ලිපිය: http://archives.dinamina.lk/2012/08/08/_art.asp?fn=a1208082

මඛ

▲ මඛාදේවරජ-King Makhadeva

බුදුන් වහන්සේගේ පෙර ජිවිතයක මඛාදේව රජ ලෙසින් ධර්මානුකූල ජිවිතයක් ගතකර ඇත. බලන්න:ම.නි. මඛාදේව රාජ සූත්‍රය, බුදුන් වහන්සේ: පෙරජිවිත.

මග

▲ මංගල කරුණු - Factors that bring blessings: මංගල කරුණු, ශුභ කරුණු: දිනපතා යහපත් දිවි පැවැත්මකට මෙන්ම, ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගැනීමට උපකාරීවන දහම් කරුණුය. 1) අනුවණ පුද්ගලයන් හැරදමා නුවණැති අය හා ආශ්‍රය පවත්වා ගැනීම 2) ගරු කලයුතු අයට ගරු පුජා කිරීම 3) ජිවිතය යහපත්ව ගෙනයා හැකි ස්ථානයක වාසය කිරීම 4) පෙර කරන ලද යහපත් පුණ්‍ය ක්‍රියා ඇතිබව 5) ආධ්‍යාත්මික දියුණුවට උපකාරීවන ශිල ආදී යහපත් ධර්මික ගුණ සේවනය කිරීම 6)බොහෝ ඇසු පිරු තැන් ඇතිබව -බහුශ්‍රැත 7) යහපත් ජිවිතයක් ගෙනයාම පිණිස උපකාරීවන ශිල්ප ශ්‍රාස්ත්‍රයෙහි නිපුණබව 8) විනයට අනුකුලව තුන්දොර හික්මවා කටයුතුකිරීම 9) ප්‍රිය වචන කතා කිරීම 10)දෙමාපියන් යහපත් ලෙසින් රැක බලා ගැනීම 11 ) සැමියාට/බිරිඳට හා දරුවන්හට මැනවින් සැලකීම 12 ) යහපත් කර්මාන්ත ආදීය කරමින් නිරවුල් ජීවිකාව ගෙනයාම 13 ) දානය දීම හා ත්‍යාගශිලිබව 14) ධර්මයේ හැසිරීම 15) ඥාතිහිත මිතුරන්හට සැලකීම හා උපකාරීවීම 16) අකුසල ක්‍රියාවන්හි නොයෙදීම 17) පාපී අයහපත් ක්‍රියා හැර දැමීම 18) ප්‍රමාදය ඇතිකරන රහමේර ආදිය ගැනීමෙන් වැළකීම 19) සසරින් එතරවීම පිණිස අප්‍රමාදව ආධ්‍යාත්මික ජීවිතය වඩා ගැනීම 20) අන්අයට ගරුකිරීම 21) මානය හැර දමා නිහතමානිව සිටීම 22) ලද දෙයින් සතුටුව වාසය කිරීම 23) සුදුසු අවස්ථාවන්හි දහම් ඇසීම 24) ක්ෂාන්තිය- ඉවසීම පුරුදු පුහුණු කර ගැනීම 25) යහපත් අවාවාද පිළිගන්නාබව-කිකරුබව 26) යහපත් සංඝයා දැකීමට යාම-සේවනය කිරීම 27) සුදුසු අවස්ථාවන්හි ධර්මය සාකච්චා කිරීම- කරුණු නිරවුල් කර ගැනීම 28) ආත්ම සංයමය ඇතිව හැසිරීම - ඉන්ද්‍රිය සංවරය හා ඒ සඳහා විරිය ඇතිබව 29) චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උත්සාහ වීම 30) නිවන ලඟා කරගැනීමට උනන්දුවීම 31) අට ලෝදහම අවබෝධ කර, සිත කම්පා නොකර ගැනීම, ශෝක නොකර, පිරිසුදු සිත් ඇතිව, කෙළෙස්වලින් රැකවරණය ලබා සිටීම. මෙබදු උතුම් කරුණු සහිතව වාසය කරන දෙවියෝද, මිනිසුන්ද සැමවිටම අපරාජිතව (කෙළෙස් වලට යටනොවී) වාසය කරති. මූලාශ්‍රය: ඛු.නි: ඛුද්ධකපාඨ: 5 මංගලසූත්‍රය, පි. 34, සුත්තනිපාත:2 චූලවග්ග:2.4 මංගලසූත්‍රය, පි. 99.

▲ මංගල දාන- Mangala dana: ඔටුනු පැළඳවීම්, විවාහ ආදී මංගල කරුණු නිමිති කරගෙන, බුදුන් ප්‍රමුඛ සංඝයාට පිරිනමන විශේෂ දාන මංගල දානවේ. බලන්න: ත්‍රිවිධ අනුමෝදනා.

▲ මංගල බුදුන් වහන්සේ-The Buddha Mangala: ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩ සිටි, මංගල බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත.බලන්න:ඛු.නි: බුද්ධවංශ පාලි:4 මංගල බුදුන්වහන්සේ.

▲ මගඵල සතර -The four paths & fruits: ධර්ම මාර්ගයේ සිව් පියවර, මග ඵල සතරය: සොතාපත්ති, සකදාගාමී, අනාගාමි, අරහත්. ඒවා ලැබූ උතුමන් ආරිය පුද්ගලයෝය.

▲ මග්ග චරියාව-Magga Chariya: මග්ග චරියාව ලෙසින් පෙන්වා ඇත්තේ සතර ආරිය මාර්ගයේ හැසිරිමය. මෙය චරියා 8න් එකකි. බලන්න: චරියා කථා.

▲ මග්ග ඤාණය-Magga Nana: සෝතාපන්න මාර්ගයෙහි, සත්‍ය දර්ශනය-සම්මා දිට්ඨිය ඇතිවීමේ නුවණ, මග්ග-මාර්ග ඥානය ය.බලන්න: ඛු.නි: පටිසම්භිදා 1: 11 මග්ග ඤාණය, පි.150.

▲මාගධ දේවපුත්‍ර-Magadha Devaputhra: මේ දේවපුත්‍ර, බුදුන් වහන්සේ බැහැදැක ලෝකයේ බබලන එලි පිලිබඳ විමසා ඇත. බබලන්නවුන් අතුරින් සර්වඥයන් වහන්සේ අග්‍රයයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: දේවපුත්‍රසංයුත්ත: 2.1.4 මාගධ සූත්‍රය, පි.114.

▲ මගධ දේශය- Mgada Province: ගංගානම් නදියට ගිණිකොන දෙසින් පිහිටි විසාල රාජධනියකි. බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සේනිය බිම්බිසාර රජ (මගධාදිපති) හා ඔහුගේ අවෑමෙන් අජාසත් රජ මෙ දේශය පාලනය කළහ, අගනුවර රජගහ නුවරය. බුදුන් වහන්සේ ගෙ මුල්සමයේ, වැඩි කාලයක්, මෙහි පිහිටි වේළුවනාරාමයේ වැඩසිටි බව සූත්‍ර දේශනාවල දක්වා ඇත.

▲ මාගම-Woman: මාගම යනු කාන්තාව හඳුන්වන එක් විදියකි. ත්‍රිපිටකයේ බොහෝ තැන කාන්තාව ‘මාගම’ ලෙසින් දක්වා ඇත. මෙය එවක පැවති සමාජ ව්‍යවහාරයකි.ප්‍රජාපති ගෝතමිය, බුදුන් වහන්සේගෙන් මාගමට පැවිදිවිමට වර ඉල්ලා ඇත. බලන්න: මහා ප්‍රජාපති ගෝතමි තෙරණිය, සංයු.නි: (4): සළායතනවග්ග: මාතුගාමසංයුත්ත, කාන්තාව.

▼ එක්සමයක මල්ලිකා දේවිය, බුදුන් වහන්සේ බැහැදැක, මාගමට ඇති ලාභ හා අලාභ වලට හේතුවූ කරුණු විමසා ඇත: 1) සමහරු විරූපිව, දුගිව, ලාමකව, අල්පශාක්‍යව සිටීම 2) සමහරු විරූපි එහෙත් ධනවත් හා මහේශාක්‍යව සිටීම 3) සමහරු රූපත් එහෙත් දුගිව, ලාමකව, අල්ප ශාක්‍යව සිටීම 5) සමහරු රූපත්, ධනවත්, මහේශාක්‍යව සිටීම. එයට හේතු බුදුන් වහන්සේ මෙසේ දක්වා ඇත:1) කරුණ පිළිබදව: නිතර තරහ ක්‍රෝධ සිතින් සිටීම, උතුමන්ට දන් නොදීම,ඉරිසියාවෙන් සිටීම. ඔවුන් යළි උපත ලබනවිට 1 වර්ගයට අයත්වේ.2) කරුණ පිළිබදව: නිතර තරහ ක්‍රෝධ සිතින් සිටීම, එහෙත් උතුමන්ට දන්දීම, ඉරිසියාව නොමැතිවීම. ඔවුන් යළි උපත ලබනවිට 2 වර්ගයට අයත්වේ.3) කරුණ පිළිබදව: තරහ ක්‍රෝධ නොමැතිබව, එහෙත්, උතුමන්ට දන් නොදීම, ඉරිසියාව තිබීම. ඔවුන් යළි උපත ලබනවිට 3 වර්ගයට අයත්වේ.4 ) කරුණ පිළිබදව: තරහ ක්‍රෝධ නැත, උතුමන්ට දන් දෙති, ඉරිසියාව නොමැත. ඔවුන් යළි උපත ලබනවිට 4 වර්ගයට අයත්වේ. සටහන: තරහ ගැනීම අරූපී වීමට හේතුවේ, සාමයෙන් සිටීම රූපී වීමට හේතුවේ, දන්නොදීම දුගීබවට හේතුවේ, දන්දීම ධනවත් වීමට හේතුවේ, ඉරිසියාව තිබීම අල්පෙ ශාක්‍යවීමට (lacking in influence ) හේතුවේ, ඉරිසියාව නොමැතිබව මහේශාක්‍යවීමට (influential) හේතුවේ. මූලාශ්‍රය:අංගු.නි: (2) 4 නිපාත:4.4.5.7 මල්ලිකා සූත්‍රය, පි.410.

▼ එක් සමයක ජානුස්සෝනි බ්‍රාහමණයා විසින් විමසනු ලැබුව බුදුන් වහන්සේ මාගම- ගැන මෙසේ වදාළහ. “ඔවුන්ගේ අභිප්‍රාය (අරමුණ-aim) නම් පුරුෂයාය. ඔවුන්ගේ සෙවීම (ගවේශනය-quest) රුපාලංකාරයය, ඔවුන්ට ඇති ආධරය (support) බලයය පුත්‍රයන්ය, ඔවුන්ගේ කැමැත්ත ගෙදර දෙවැනියෙක් (වෙනත් භාර්යාවක්) නොමැතිවීමය, ඔවුන්ගේ අවසාන ඉලක්කය ආධිපත්‍යය ය”. මූලාශ්‍රය: අංගු.නි: (4): 6 නිපාත: ධම්මිකවග්ග: 6.1.5.10 ඛත්තිය සූත්‍රය, පි.154.

▲මාගන්දික-māgandika: මොහු, බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සිටි අන්‍යඅගමික -තිර්ථක නිකායේ නායකයකි.

▲ මාගන්දිය තෙර- Magandiya Thera: බලන්න: උප ග්‍රන්ථය:1

▲ මාගන්දිය බමුණා හා බැමිණිය Magandiya -Brahmin & Brahmini.බලන්න: උප ග්‍රන්ථය:3

▲ මාගන්දියා බිසව- Queen Magandiya: බලන්න: සාමාවතී බිසව.

▲මිගාර මාතා-Migara Matha: විශාඛා මහා උපාසිකාව මිගාර මාතා ලෙසින්ද, ඇය පුජාකල පුර්වාරාමය, මිගාරමාතා ප්‍රසාදය ලෙසින්ද හඳුන්වයි. බලන්න: උප ග්‍රන්ථය:3

▲ මිගාර සිටුවරයා- Migara Situvaraya: බලන්න: උප ග්‍රන්ථය: 3

▲මිගජාල තෙර -Migajala Thera:බලන්න: උපග්‍රන්ථය: 1

▲ මිගදාය අඳුන් වනය- Sandalwood forest sanctuary : සාකෙත නුවර අසල මිගදාය අඳුන්වනය පිලිබඳ මෙහි දක්වා ඇත. බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ ඒ ස්ථානයේදීය. මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත:ජරාවග්ග: 4.5.3 සාකෙතසූත්‍රය, පි.414.

▲ මිගසාලා උපාසිකාව-Upasika Migasala: බලන්න: උපග්‍රන්ථය: 3

▲ මුගපක්ඛ ශාස්තෘ -Teacher Mūgapakkha: මෙතුමා පුරාණ දඹදිව වාසය කළ ශාස්තෘවරයෙක් ය.බලන්න: පුරාණශාස්තෘන්

මඝ

▲ මඝ මානවක- Magha manawaka: සක්‍රදෙවිඳු, මිනිස් ලෝකයේ උපත ලැබූ ජිවිතයක, මඝ මානවක ලෙසින් ඉතා යහපත් ජිවිතයක් ගතකර ඇත. බලන්න: සක්දෙවිඳු.

▲මාඝ දේවපුත්‍ර- Magha Devaputhra: මේ දේවපුත්‍ර බුදුන් වහන්සේ බැහැදැකීම, හා ජීවිතය සුවපත් කරගැනීම පිලිබඳව, උන්වහන්සේ විමසීම මෙහි දක්වා ඇත. ක්‍රෝධය නැසීම නිසා ජීවිතය සුවපත්වන බව බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත. බලන්න: ක්‍රෝධය. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: දේවපුත්‍ර සංයුත්ත: 2.1.3 මාඝ සූත්‍රය, පි.114.

▲මේඝය උපමාව- Simile of the cloud: බලන්න: උපග්‍රන්ථය:5

▲මේඝිය තෙර-Megiya Thera: බලන්න: උපග්‍රන්ථය: 1

▲ මොඝරාජ තෙර-Mogharaja Thera: බලන්න: උපග්‍රන්ථය:1

මච

▲මච්චරිය - Machchari: මච්චරිය- මසුරුකම (මචඡරියං): දැඩි ලෝභය, දස අකුසලයකි: බලන්න: දස අකුසල.

▲ මච‍්චුධෙය්‍ය(පාලි): මාර විෂය -the realm of Death: මච‍්චුධෙය්‍ය- මාරධෙය්‍ය යනු මාරයාගේ විෂයට- බලයට යටවිමය. එනම්, සසරය. මාර විෂය ඉක්මවා ඇත්තේ නිවනය. බලන්න: මාරයා. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 413: “මච‍්චුධෙය්‍ය: මාරයා විසින් දැරිය යුතු (මාරයාගේ විෂය), ත්‍රිභූමික වෘතතය (තුන්ලෝකය)”.

▼ මානය දුරුකොට, මැනවින් එකඟ සිත ඇතිව (සමාධිය ලබා), සියලු උපධින්ගෙන් මිදුන, අප්‍රමාදව, හුදකලාව වනයේ වෙසෙන (ධර්ම පුහුණුවේ යෙදුන) පුද්ගලයාට, මාරවිෂය ඉක්මවා ගිය හැකිය (සසර පරතෙරට -නිවනට යා හැකිය) යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“මානං පහාය සුසමාහිතත‍්තො සුචෙතසො සබ‍්බධි විප‍්පමුත‍්තො, එකො අරඤෙඤ විහරං අප‍්පමත‍්තො ස මච‍්චුධෙය්‍යස‍්ස තරෙය්‍ය පාරන‍්ති” සටහන: අටුවාවට අනුව : The realm of Death (maccudheyya) is the round with its three planes, so called because it is the domain of Death; its beyond or far shore (pāra) is Nibbāna. බලන්න: ESN: Note: 16, p. 501. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: දේවතාසංයුත්ත:1.1.9 නමානකාම සූත්‍රය, පි.34, ESN:1 Devata samyutta: 9.9 One Prone to Conceit, p.66.

▼ යම් කෙනෙක් ශිල සමාධි හා ප්‍රඥා යන ත්‍රිවිධ ධර්මතා යහපත් ලෙස වඩාගත්තේනම්, ඔහු මාර විෂය ඉක්මවා ගොස් (සසර දුක), හිරු (සුර්යා) මෙන් බැබලේ යයි බුදුන් වහන්සේ වදාළහ. එනම්, අරහත්වය ලැබීමය. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 3.1.10 මාරධෙය්‍ය සූත්‍රය, පි. 416.

▲මුචලින්ද නාග-Muchalinda naga: බුදුන් වහන්සේ, බුද්ධත්වය ලබා සත් සතිය ගත කළ අවස්ථාවේදී ඇතිවූ මහා වැස්සකින්, උන්වහන්සේ ආරක්ෂා කිරීමට මුචලින්ද නාග රාජයා පැමිණීමේ විස්තරය මෙහි දක්වා ඇත. බලන්න: නාග. මූලාශ්‍රය:වින.පි: මහාවග්ග පාලිය1: මහාඛන්ධක:6 මුචලින්ද කථා.

▼ඉහත කාරණය මේ සූත්‍රයේද විස්තර කර ඇත.: මූලාශ්‍රය: ඛු.නි:උදානපාලිය:මුචලින්ද වග්ග:2.1 මුචලින්ද සූත්‍රය, පි.176.

▲ මිච්චා අටමග-Miccha atamaga: මිච්චාඅටමග යනු ආරියඅටමගට විරුද්ධ මගය. බලන්න: මිථ්‍යාත්වය හා සම්‍යක්තවය.

මඤ

▲මඤ‍්ජුස‍්සරානං - Sweet voice: මින් අදහස් කරන්නේ ධර්මය දේශනා කිරීමට මිහිරි කටහඬ ඇතිබවය. මිහිරි කටහඬ, ඇති භික්ෂුන් අතරෙන් අග්‍ර, ලකුන්ටක භද්දිය තෙරුන්ය. බලන්න:උපග්‍රන්ථය:1.

▲මඤඤනා-conceiving: මඤඤනා ලෙසින් පෙන්වා ඇත්තේ සිතෙහි පහළ කරගන්නා දේ-හැඟීම්-සිතීම් ආදියය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි, ‘මම වෙමි’ යි යන මෙය මඤඤනාවකි. ‘මේ මම වෙමි’ යි ...‘මම වන්නෙමි’ යි... ‘මම නොවන්නෙමි’ යි... ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යි... ‘රූප නැත්තෙක් වන්නෙමි’ යි... ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යි... ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යි... ‘නොම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යි ... යන මෙය මඤඤනාවකි... මඤඤනාව රෝගයකි...ගඩුවකි... හුලකි... ඒ නිසා මෙහි ලා මඤඤනා රහිත සිතින් යුතුව වාසය කරන්නෙමු යයි ඔබ විසින් හික්මිය යුතුය.”. (Bhikkhus, ‘I am’ is a conceiving; ‘I am this’ is a conceiving; ‘I shall be’ is a conceiving; ‘I shall not be’ is a conceiving; ‘I shall consist of form’ is a conceiving; ‘I shall be formless’ is a conceiving; ‘I shall be percipient’ is a conceiving; ‘I shall be nonpercipient’ is a conceiving; ‘I shall be neither percipient nor nonpercipient’ is a conceiving. Conceiving is a disease, conceiving is a tumour, conceiving is a dart. Therefore, bhikkhus, you should train yourselves thus: ‘We will dwell with a mind devoid of conceiving). සටහන: සළායතන, බාහිර අරමුණු අල්වා ගෙන පහළ කරන හැඟීම්-සිතිවිලි නිසා බොහෝ දුක් වේදනා ඇතිවේ. ඒවා නැතිව වාසය කිරීම සුවයකි. මූලාශ්‍ර: සංයු.නි: (4) සළායතනවග්ග: වේදනාසංයුත්ත: ආසිවිසවග්ග:1.19.11 යවකලාපී සූත්‍රය, පි.410, ESN:36: Vedanasamyutta:248.11 The Sheaf of Barley, p.1327.

▲මුඤචිතුකම්‍යතා ඥානය-Munnachithukammyatha nana: උත්පත්තිය මුදනු කැමතිබව, ඒ පිලිබඳ ප්‍රත්‍යවෙක්‍ෂාව, අධිඋපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව, මුඤචිතුකම්‍යතා ඥානය වේ. මූලාශ්‍රය:ඛු.නි: පටිසම්භිදා 1: 9. මුඤචිතුකම්‍යතා ඥානය, පි.136.

මට

▲මුට්ඨස්ස- Confused Mind: මුට්ඨස්ස - මුටඨසච‍්චං, සිහිවිකල්බව, සමාධියට අහිතකරය. බලන්න: මුළාවූ සිහිය.

▲ මැටි බඳුන් -the clay pots: සියලු මැටි බඳුන් බිඳීම ස්වභාවය කොට ඇත, එලෙස සියලු සත්වයෝ මරණය ස්වභාවය කොට ඇත. බලන්න: උපග්‍රන්ථය: 5.මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග:කෝසලසංයුත්ත: 3.3.2 අය්‍යකා සූත්‍රය, පි. 202, ESN:3 Kosala samyutta: 22.2 Grandmother, p. 254.

මත

▲මතක දාන- Mataka dana: මළවුන් සිහිපත්කර දෙන දානය මින් අදහස්කරයි. බලන්න: මළවුන් අනුස්මරණය.

▲මත්වීම-Intoxication: සාමාන්‍ය ව්‍යවහාරයේ මත්වීම යනු සිත උමතු කරන මත්ද්‍රව ගැනීමය.ධර්මයේ,මත්වීම ලෙසින් පෙන්වා ඇත්තේ යම් කරුණු අරභයා කෙනකු මානයෙන් සිහිමුළාවීමය. බලන්න: මදය, මානය.

▲මාතලී දේවපුත්‍ර- Mathali Devaputhra: මාතලී දේවපුත්‍ර, සක්දෙවිඳුගේ රියදුරාය. බලන්න: සක්දෙවිඳු.

▲මාත්‍රය දැනීම-Mathrayadanima: ගිහියන් පිරිනමන සිව්පසය යහපත් ලෙසින් පිළිගැනීමට සංඝයා තුල ඇති අවබෝධය මින් හඟවයි. මෙය සංඝගුණයකි. බලන්න: සංඝයා.

▲මෙත්තගු මානවක තෙර -Mettagu Thera: බලන්න: උපග්‍රන්ථය:1 ,2

▲ මෙත්තා: පාලි: මෙත‍්තා- Loving kindness: ධර්මයේ මෙත්තා- මෛත්‍රිය, ලෙසින් පෙන්වා ඇත්තේ සියලු ලෝක සත්ත්‍වයන් කෙරහි එක සමාන ලෙසින් මිතුරුබව ඇතිව වාසය කිරීමය. අන්‍යයන්ගේ සුභසාධනය හා සැපත පිළිබඳව කෙනෙක්තුළ ඇති කැමැත්ත-හිතකාමීබව මෙත්තාවය. මෙය සතර බ්‍රහ්ම විහරණයන් ගෙන් එක් විහරණයකි, භාවනා අරමුණකි. මින් ලැබෙන යහපත් විපාක මෙලොව හා පරලොව ජිවිත සුවපත් කරයි. බලන්න: බ්‍රහ්මවිහාර, භාවනා,ඛු.නි:ඛුද්දකපාඨ, සුත්තනිපාත, මෙත්තා සූත්‍ර 2කි. සටහන්: අංගු.නි: (4) 7 නිපාත: මාපුඤඤභායි සූත්‍රයේදී: බුදුන් වහන්සේ, සත්වසක් මෙත්සිත වඩා තමන්වහන්සේට ලැබූ යහපත් කම්ම ප්‍රතිඵල විස්තරකර ඇත. එම පින් බලයෙන් කප්සතක් මෙලොව උත්පත්තිය නොලැබූ බවද, උසස් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල උපත් ලැබූබව ද පෙන්වා ඇත. ** අංගු.නි: (5) 9 නිපාත: වේලාමසූත්‍රයේදී: මහා දානයන්ට වඩා කෙටි වෙලාවක්- එළදෙනකගේ බුරුලෙන් කිරිඅදින්නට යන වේලාවවැනි, මෙත්තා සහගත සිත වඩන්නේනම් ලැබෙන යහපත් විපාක මහත්බව දක්වා ඇත.**අංගු.නි: (2) 4 නිපාත:අහිමෙත්ත සූත්‍රයේදී: යම් කෙනෙක් සියලු සත්වයන් කෙරහි මෙත්සිත පතුරවන්නේ නම් ඔහුට ආරක්ෂාව හා රැකවරණය ලැබෙන බව පෙන්වා ඇත. ** අංගු.නි: (2) 4 නිපාත: භිකඛුසඬඝථොමන සූත්‍රයේදී: මෙත්තා සහගත සිත සෑම දිසාවන්ටම අප්‍රමාණව අසීමිතව පතුරවමින් භාවනා කරන කෙනෙකුට, බ්‍රහ්මවාසය ලබාගත හැකිබව පෙන්වා ඇත. අංගු.නි: (4) 6 නිපාත: සාරණියවග්ග සූත්‍ර: මෙහි පෙන්වා ඇත්තේ සාරණිය ධර්මතා 6න්, 3 ක්ම, මෙත්තාව ඇසුරු කළ ධර්මයන්බවය. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.429: “ මෙත‍්තා: මෛත්‍රිය”. B.D: p. 100: “Mettā: Loving kindness is one of the 4 sublime abodes- brahma-vihāra” .

▼ මෛත්‍රිය ලෝකයේ සියළු සත්ත්‍වයන් කෙරහිම එකසේ පැතිරවිය යුතුය: කෙනෙක්, සමසිත ඇතිව, සෑම දිසාවකම සිටින සත්ත්‍වයන් කෙරෙහි, බියෙන් පෙලෙන හා නොපෙලෙන, ලොකු හා කුඩා, දුටු හා නුදුටු, දුර හා ළඟ, උපන් හා නුපන් සත්ත්‍වයන් වෙත මෛත්‍රිය අපරිමිතව, අසීමිතව පැතිරවිම, මෙත්තාව පැතිරවීමය. සටහන: මේ සූත්‍රය කරණිය මෙත්ත සූත්‍රය ලෙසින්ද හඳුන්වයි. මූලාශ්‍ර: ඛු.නි: ඛුද්දකපාඨ: 9. මෙත්තා සූත්‍රය, පි. 47.

▼ මෙත්තා සහගත සිත ඇතිව- මුළු ලොවටම මෛත්‍රිය පැතිරවීමෙන් සිත කෙළෙසුන්ගෙන් මුදාගැනීමට හැකිවේ. එසේ සිත සමනයවී කෙළෙස් සහමුලින්ම ප්‍රහිනවූවේ නම් අරහත්වය ලැබේ. යම් කෙලෙසක් ඉතිරිවූවේනම් අනාගාමීබව සාක්ෂාත් වනබව ආනන්ද තෙරුන්මේ සූත්‍රයේදී විස්තරකර ඇත. මූලාශ්‍ර:ම.නි: 2.1.2 අට්ඨකනාගර සූත්‍රය, පි. 35, EMN: 52: Aṭṭhakanāgara Sutta, p. 432.

▼ තරහ ඇති නොකර මෙත්තාව වඩා ගැනීම, බුද්ධ අනුසාසනය පිළිගැනීමය. බලන්න: ම.නි: කකචුපම සූත්‍රය, උපග්‍රන්ථ: 5 (කකචූපම උපමාව)

▼ අංගු.නි: (1) 1 නිපාත: ප්‍රභාස්වර වග්ගයේ සූත්‍ර: මෙත්සිත වැඩිම මෙසේ දක්වා ඇත: “...ශාසතෘන්වහන්සේ ගේ අනුසාසනා පිළිපදින සසුනට ඇතුලත් කෙනෙක්වීම, පහසුවෙන් ජාන-සමාධි ලබාගැනීමට ඇති හැකියාව, පිණ්ඩපාතය වැළදීමට සුදුසුවිම ආදී අනුසස්, අසුර ගහන මොහොතක් පමණ ඉතා කෙටි වෙලාවක් තුළ මෙත්තා සිතවැඩීම මගින් ලැබේ නම් බහුලව මෙත්සිත වඩන කෙනෙක් හට ලැබෙන අනුසස් කොපමණ වේද?...”

▼ යම්කිසි කෙනෙක් දිවා රෑ අහිංසාව ඇතිව, සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රිය වඩන්නේනම්, ඔහු කිසිවෙකුට වෛර නොකරයි. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: යක්ඛසංයුත්ත:10.1.4 මණිභද්ද සූත්‍රය,පි.396.

▼ මෙත්තා ආනිසංස (මෙත‍්තානිසංස): මෙත්තා චේතෝ විමුක්තිය වඩා ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ, මෙත්තා ආනිසංස වේ. බලන්න: මෙත්තා චේතෝ විමුක්තිය, මෙත්තා සූත්‍රය. සටහන්: * බුදුන් වහන්සේ සත්වසක් මෙත් සිත් වැඩිමේ පුණ්‍ය විපාක ලෙසින් කල්ප ගණන් දෙව්සැප ලබා ඇත. බලන්න: අංගු.නි: (4) 7 නිපාත: 7.2.1.9 මාපුඤඤාභායි සූත්‍රය, පි. 432, EAN: 7: 62.9. Don’t be afraid of merit, p. 391. ** අහි මෙත්ත සූත්‍රය (අංගු.නි: {2}4නිපාත) -ඛන්ධ පිරිත සජ්ජායනා කරමින් විෂකුරු සර්පයන් ආදීන්ට මෙත්තා කිරීමෙන්, උන් දෂ්ඨ කිරීම වලකා ගැනීමට හැකිවේ. බලන්න: නාග, ඛන්ධ පිරිත.

▼වෙනත් මූලාශ්‍ර:1. “ කිරි බින්දුවක් දොවන වේලාව වැනි සුළු වේලාවක් තුලදී වුවද සියලු සතුන් කෙරෙහි මෙත් සිත් පතුරුවා මෙත්තා භාවනාව කරන්නේ නම් අපමන යහපත් විපාක ලැබේ” සද්ධර්මාලංකාරය, පි.52. 2. “The Practice of Loving Kindness”by Nānamoli Thera, Wheel-6, BPS. 3. “Brahama Vihāra” by Narada Thera, 1962. 4. “The Four Sublime States” by Venerable Nyanaponika Thera,Wheel-6, BPS, 1999.

▲ මෙත්තා චේතෝ විමුක්තිය: පාලි: මෙත‍්තා චෙතොවිමුත‍්තී -liberation of the mind by loving-kindness: මෙත්තා චේතෝ විමුක්තිය යනු මෛත්‍රි භාවනාව වර්ධනය කර ගැනීමෙන් සිත ව්‍යාපාද යෙන් මුදවා ගැනීමය.මේ විමුක්තිය, මෙත්තා නිස්සාරණිය ධාතුව ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: මෛත්‍රිය, බ්‍රහ්ම විහාර, නිස්සාරණිය ධාතු. සටහන්:* තෙවනි හා සිව්වෙනි ජාන සමාපත්ති වැඩීමෙන් මෙත්තා චේතෝ විමුක්තිය ලැබේ. ** ඛු.නි:පටිසම්භිදා 2: 2.4 මෛත්‍රීකථා: මෙත්තා චේතෝ විමුක්තිය ගැන විස්තරාත්මකව දක්වා ඇත.

▼ ව්‍යාපාද (තරහ) යෙන් මිදීමේ මග (නිස්සරණය) මෙත්තා චේතෝ විමුක්තිය ය. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාතය: 6.1.2.3 නිස්සාරණිය සූත්‍රය, පි. 40, EAN:6: 13.3 Escape, p. 321.

▼මෙත්තා චේතෝ විමුක්තිය වඩන අන්දම: 1) නිරතුරුවම එළඹී සිහියෙන් යුතුව, සියලු සත්ත්‍වයන් කෙරහි අප්‍රමානවූ මෙත්තා සහගත සිතකින් යුතුව වාසයකිරීම 2) උපාදාන බිඳී යාම නිසා සංයෝජන තුනීකරගැනීම 3) ක්‍රෝධ නොමැති සිතකින් එක් පුද්ගලයෙක් කෙරෙහි වුවද මෛත්‍රිය ඇතිව සිටි නම් කුසල් ඇතිවේ. සියලු සත්ත්‍වයන් කෙරෙහිම මෙත්තා සහගත සිතින් වාසය කරන ආරිය පුද්ගලයා බොහෝ කුසල් රැස්කරගනී 4) බොහෝ ධන සම්පත් වැය කර දෙන දානයට වඩා, මෙත්තා සහගත සිතින් වාසය කිරීම අග්‍රවේ 5) සියලු සත්ත්‍වයන් කෙරෙහි අපමණ දයාවක් ඇතිව වාසය කරන නිසා, ඔවුන් ප්‍රාණඝාතය නොකරයි 6) කිසිවෙක් මැඩලීමට නො යයි 7) කිසිවෙක් කෙරෙහි සතුරුබවක් නැතිව - ව්‍යාපාදය නොමැතිව වාසය කරයි. මූලාශ්‍ර: අංගු.නි: (5) 8 නිපාත: 8.1.1.1 මෙත්තා ආනිසංස සූත්‍රය, පි. 24, EAN: 8: 1.1 loving kindness, p. 411.

▼ බහුල ලෙස වඩනලද මෙත්තා සහගත සිත මහා පහසු විහරණය පිනිස පවතී. මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග:බොජ්ඣංගසංයුත්ත: අනාපානවග්ග:2.7 මෙත්තාසූත්‍ර.

▼ මෙත්තා චේතෝ විමුක්තියේ ආනිසංස: මෙත්තා චේතෝ විමුක්තිය නොකඩවා සේවනය කිරීමෙන්, දියුණු කරගැනීමෙන්, විපුල කර ගැනීමෙන්, යානාවක් කරගැනීමෙන්, පදනමක් කරගැනීමෙන්, දිගටම කරගෙන යාමෙන්, තහවුරු කර ගැනීමනේ, මනාව කිරීමට බාරගැනීමෙන් ආනිසංස 8 ක් ලැබෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“මෙත‍්තාය භික‍්ඛවෙ චෙතොවිමුත‍්තියා ආසෙවිතාය භාවිතය බහූලිකතාය යානිකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය අට‍්ඨානිසංසා පාටිකඬඛා...”. (Bhikkhus, when the liberation of the mind by loving-kindness has been pursued, developed, and cultivated, made a vehicle and basis, carried out, consolidated, and properly undertaken, eight benefits are to be expected). 1) සුවසේ නිදා ගනී 2) සුවසේ අවදිවේ 3) නරක සිහින දකින්නේ නැත 4) මිනිසුන්හට ප්‍රියවේ 5) අමනුස්ස යන්හට ප්‍රියවේ 6) දෙවියෝ ආරක්ෂා කරති 7) ගිනි, විස, අවි ආදියෙන් අනතුරක් සිදුනොවේ 8) බඹ ලොවෙහි මතු උපත ලබයි:

“සුඛං සුපති, සුඛං පටිබුජ‍්ඣති, න පාපකං සුපිනං පස‍්සති, මනුස‍්සානං පියො හොති, අමනුස‍්සානං පියො හොති, දෙවතා රක‍්ඛන‍්ති, නාස‍්ස අග‍්ගි වා විසං වා සත්‍ථං වා කමති, උත‍්තරිං අප‍්පටිවිජ‍්ඣන‍්තො බ්‍රහ‍්මලොකූපගො හොති”. මූලාශ්‍ර: අංගු.නි: (5) 8 නිපාත: 8.1.1.1 මෙත්තා ආනිසංස සූත්‍රය, පි.24, EAN: 8: 1.1 loving kindness, p. 411.

▼ මෙත්තා චේතෝ විමුක්තිය මගින් සිත කෙලෙසුන්ගෙන් (වෛරය, ඊර්ෂ්‍යාව ආදී) මිදේ. මෙත්තා චේතෝ විමුක්තිය නුවණින් මෙනෙහිකරන්නාට නුපන් ව්‍යාපාද උපදින්නේ නැත, උපන් ව්‍යාපාද පහවීයයි. ව්‍යාපාදය පහවීමට, මෙත්තා චේතෝ විමුක්තිය වැඩිම වැනි වෙන එකම ධර්මයක් බුදුනුවණින් නො දකින බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන්: * අටුවාවට අනුව මෛත්‍රිසහගත සිත පිහිටුවා ගැනීමට ජානසමාපත්ති ඇතිකරගතයුතුවේ. බලන්න: EAN: no 31, p. 581. ** සංයු.නි: (5-1) බොජ්ඣංගසංයුත්ත: ආහාර සුත්‍රයේදී, මෙත්තා චේතෝවිමුත්තිය මෙනෙහිකිරීම ව්‍යාපාදයට අනාහාර බව පෙන්වා දී තිබේ. මූලාශ්‍ර: අංගු.නි: (1) 1 නිපාත: නීවරණ ප්‍රහාන වග්ග:1.2.7 සූත්‍රය, පි. 46, EAN:1:Abandoning the Hindrances: 17.7, p. 37.

▼මෙත්තාචේතෝවිමුක්තිය අග්‍රබව: 1)මෙත්තාචේතෝවිමුක්තිය සියලු පුණ්‍ය ක්‍රියාවනට වඩා අග්‍රය. 2) යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් එළඹී සිහිය ඇතිව අප්‍රමාණවශයෙන් මෛත්‍රිය වඩන්නේද-භාවනා අරමුණ ලෙසින්, නිවන දක්වා ඇති සංයෝජන තුනීකරගැනීමට ඔහු සමත්වේ. 3) යම් එක් ප්‍රාණියෙක් පිළිබඳව පිවිතුරු සිතන් මෛත්‍රිය වඩන්නේ නම් ඔහුට මහා පින් ඇතිවේ. සියලු සතුන් කෙරෙහිම මෛත්‍රිය වඩන ආරිය පුද්ගලයා බොහෝවූ පින් ලබාගනී. 4) මහා රජවරු පවත්වන විශාල යාග ආදියෙන් ලබන පින්වලට වඩා මෙත්සිතින් ජීවත්වීමෙන් ලැබෙන පින් අග්‍රය. 5) සියලු සතුන් කෙරෙහි මෙත්සිත ඇතිව, කිසිවෙකුට තමා හෝ අන්අය ලවා හෝ හිරිහැර නොකර, හනිනොකර, කිසිවෙකු පරාජ නොකරමින් ජිවත්වන පුද්ගලයාට කිසිවිට වෛර සිතක් ඇතිනොවේ. මූලාශ්‍ර: ඛු.නි:ඉතිවුත්තක: 1.3.7.මෙත්තාචෙතෝවිමුක්ති සුත්‍රය, පි. 374.

▲මෙතෙර- Near shore : මෙතෙර ලෙසින් පෙන්වා ඇත්තේ සසරය. මෙතෙරින් එතෙරට-නිවනට ගෙනයන මග ආරිය අටමගය. බලන්න: ආරියඅටමග, එතෙර හා මෙතෙර.

▲ මෛත්‍රිය බුදුන්වහන්සේ: පාලි: මෙත‍්තෙය්‍යො බුද‍්ධො -The Buddha Maitreya: ගෝතම බුදුන් වහන්සේගෙන් පසුව, අනාගතයේ බුදුබව ලබන උතුමා, මෛත්‍රිය බුදුන්වහන්සේය. අනාගතයේ පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව, බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“ මහණෙනි, මිනිසුන්ට අවුරුදු අසුදහසකට පරමායුෂ ඇතිකළ, අරහත්වූ සම්මා සම්බුද්ධවූ... සිව්සස් අවබෝධ කළ...මෛත්‍රිය නම් භාග්‍යවතුන් ලොව උපදින්නේය...ඒ බුදුරජ නොයෙක් සියදහස් ගණනින් භික්ෂු සංඝයා පිරිවර කර සිටින්නෝය”. “අසීතිවස‍්සසහස‍්සායුකෙසු භික‍්ඛවෙ මනුස‍්සෙසු මෙත‍්තෙය්‍යො නාම භගවා ලොකෙ උප‍්පජ‍්ජස‍්සති අරහං සම‍්මාසම‍්බුද‍්ධො... බුද‍්ධො භගවා...”. මූලාශ්‍ර:දීඝ.නි:3 චක්‍රවර්තී සිංහනාද සූත්‍රය, ඡෙදය 23, පි. 112, EDN: 26 Cakkavatti-Sῑhanāda Sutta: The Lion’s Roar on the Turning of the Wheel, p.300.

▲ මුත්තා උපාසිකා- Muttha Upasika: බලන්න: උපග්‍රන්ථය:3

▲මුත්ති-Liberation: මුත්ති (විමුක්තිය) ලෙසින් දක්වා ඇත්තේ සසර දුකින් මිදීමය, නිවන ලැබීමය. මෙය නිවන හඳුන්වන පදයකි, මුත්තීමග යනු නිවන්මගය. මූලාශ්‍රය: සංයු.නි: (5-1) මහාවග්ග:අසංඛතසංයුත්ත:9.2 මුත්තීසූත්‍ර, පි.690.

▲මිත්‍රයා-Friend: මිත්‍රයා යනු දුක සැප දෙකේදීම එකම ලෙසින් කෙනෙක්හට පිහිටවන, උපකාර කරන උතුම් පුද්ගලයාය. බලන්න: කල්‍යාන මිත්‍ර.

▼සේවනය කලයුතු මිත්‍රයකුගේ ගුණ බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: 1) දීමට දුෂ්කර දේ දෙයි 2) දුෂ්කර කාර්ය කරයි 3) නො ඉවසිය හැකිදේ ඉවසාසිටි 4) තමාගේ රහස් පවසයි 5) මිතුරාගේ රහස් සඟවා තබාගනී 6) අපදාවකදී මිතුරා අත නොහරී 7) ධනය නැතිවූ කල මිතුරා අත නොහරී, අවමන් නොකරයි . සටහන: අංගු.නි: (1) 3නිපාත: යොධාජීවවග්ග:3.3.4.3 සූත්‍රය,පි.552. මෙහි පළමු ගුණ 3 පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (4) 7 නිපාතය:දේවතාවග්ග: 7.1.4.5 මිත්ත සූත්‍රය, පි.350.

▼බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “සංචාරය කරන පුද්ගලයාට තවලම මිතුරාය; නිවසේ සිටින මිතුරා මවය, කාර්යේ යෙදී සිටින අයගේ සහායකයා මිතුරාය, පරලොව යන අයට කුසල කර්ම මිතුරාවේ, උතුම් බිරිඳ, සැමියාගේ හොඳම මිතුරිය වේ”. බලන්න: සංයු.නි: (1) සගාථවග්ග:දේවතාසංයුත්ත: ජරාවග්ග:මිත්ති සූත්‍රය හා වත්ථු සූත්‍රය.

▼ මිතුරන්ට අනුකම්පාකිරීම: ඥාති හෝ මිත්‍ර හෝ තමන් සමග මිත්‍රව, සුහදව සිටින කෙනෙක් කෙරෙහි අනුකම්පා සහගත සිත ඇතිව, ඔවුන්ට, සතර සති පට්ඨානය පුරුදු පුහුණු කර, ඒ අනුව වාසය කිරීමට උපකාරී විය යුතුවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන: සංයු.නි: (5-2) සෝතාපත්තිසංයුත්ත:රාජකාරාමවග්ග: මිත්තාමච්ච සූත්‍රයන්හි: නැ හිත මිතුරන් කෙරෙහි අනුකම්පාව ඇත්නම් ඔවුන් සෝතාපන්න අංගයන්හි පිහිටුවීමට උපකාරී විය යුතුය යයි පෙන්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (5-1) මහාවග්ග:සතිපට්ඨානසංයුත්ත: අමතවග්ග:3.5.8 මිත්ත සූත්‍රය, පි. 366.

▼ හිරි ඔත්තප්ප පිළිනොගන්නා තැනැත්තා මිත්‍රයෙක් නොවේ. බලන්න: හිරි ඔත්තප්ප.

මථ

▲මිථ්‍යාත්වය හා සම්‍යක්තවය -Wrong course & Right course: මිථ්‍යාත්වය ලෙසින් පෙන්වා ඇත්තේ මිථ්‍යාදිට්ඨිය පෙරටු කරගත් 10 අංගයන් සහිත වැරදි මාර්ගය. එම මග සසර දික් කරයි. සම්‍යක්තවය, සම්මා දිට්ඨිය පෙරටු කරගත් 10 අංගයන් සහිත, නිවනවෙත ගෙනයන නිවැරදිමගය. සටහන: ව්‍යවහාරයේදී, මිථ්‍යාත්වය; මිථ්‍යාමග ලෙසින්ද සම්‍යක්තවය; සම්මා මග ලෙසින්ද දක්වාඇත.

1) මිථ්‍යාත්වයට (වැරදිමගට) පැමිණීම නිසා ධර්ම මාර්ගයේ දියුණුවක් සිදු නොවේ යයි බුදුන් වහන්සේ වදාළහ:

“මිච‍්ඡත‍්තං භික‍්ඛවෙ ආගම‍්ම විරාධනා හොති නො ආරාධනා” කෙනෙක් එසේ වැරදි මගට බසින ආකාරය: මිථ්‍යාදිට්ඨිය ඇතිවිට, මිථ්‍යාසංකල්ප ඇතිවේ, මිථ්‍යාසංකල්ප ඇතිවිට, මිථ්‍යාවාචා ඇතිවේ, මිථ්‍යාවාචා ඇතිවිට, මිථ්‍යාකම්මන්ත ඇතිවේ, මිථ්‍යාකම්මන්ත ඇතිවිට මිථ්‍යාආජීවය ඇතිවේ. මිථ්‍යාආජීවය නිසා මිථ්‍යාවායාමය ඇතිවේ, මිථ්‍යාවායාමය නිසා මිථ්‍යාසතිය ඇතිවේ, මිථ්‍යාසතිය නිසා මිථ්‍යාසමාධිය ඇතිවේ, මිථ්‍යාසමාධිය නිසා මිථ්‍යාඥානය ඇතිවේ, මිථ්‍යාඥානය නිසා මිථ්‍යාවිමුක්තිය ඇතිවේ. එලෙස, මිථ්‍යාත්වයට පැමිණීමෙන් විරාධනා (නොදියුණුව)වේ, ආරාධනා (දියුණුව) නොවේ යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: මේ පිලිබඳ බලන්න: EAN:note 2140: p. 683. “wrong knowledge (micchāñāṇa) as the delusion (moha) that arises when someone, having done a bad deed or pondered a bad thought, reflects on it and thinks,“I have done good.” Wrong liberation (micchāvimutti) arises when someone who is not liberated thinks “I’m liberated,” or it is the belief that what is not liberation is true liberation.

2) සම්‍යක්තවයට (නිවැරදිමගට) පැමිණීම නිසා ධර්ම මාර්ගයේ දියුණුව සිදුවේ යයි බුදුන් වහන්සේ වදාළහ:

“සම‍්මත‍්තං භික‍්ඛවෙ ආගම‍්ම වආරාධනා හොති නො වීරාධනා” කෙනෙක් එසේ නිවැරදි මගට බසින ආකාරය: සම්මාදිට්ඨිය ඇතිවිට, සම්මාසංකල්ප ඇතිවේ, සම්මාසංකල්ප ඇතිවිට, සම්මාවාචා ඇතිවේ, සම්මාවාචා ඇතිවිට, සම්මාකම්මන්ත ඇතිවේ, සම්මාකම්මන්ත ඇතිවිට සම්මාආජීවය ඇතිවේ. සම්මාආජීවය නිසා සම්මාවායාමය ඇතිවේ, සම්මාවායාමය නිසා සම්මාසතිය ඇතිවේ, සම්මාසතිය නිසා සම්මාසමාධිය ඇතිවේ, සම්මාසමාධිය නිසා සම්මාඥානය ඇතිවේ, සම්මාඥානය නිසා සම්මාවිමුක්තිය ඇතිවේ. එලෙස, සම්‍යක්තවයට පැමිණීමෙන් ආරාධනා වේ, විරාධනා නොවේ. සටහන: මේ පිලිබඳ බලන්න: EAN:note 2141: p. 683: “right knowledge (sammāñāṇa) is explained to be the nineteen kinds of reviewing knowledge. (see Vism 676,4–29, Ppn 22.20–21) and right liberation (sammāvimutti) to be the mental factors concomitant with fruition. I find it simpler to interpret “right knowledge” as the direct knowledge that culminates in arahantship and“right liberation” as the release of the mind from the āsavas and other defilements”. සටහන: අංගු.නි: (6): 10 නිපාත: පරිසුද්ධවග්ග:10.3.3.10 ,10.3.3.11 සුත්‍ර පි.465, මිථ්‍යාත්වය හා සම්‍යක්තවය ගැන විස්තරකර ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත:සමණසංඥාවග්ග: 10.3.1.3 මිච්ඡත්ත සූත්‍රය, පි. 408, EAN: 10: 103. 3 The wrong course, p. 540.

▼මිථ්‍යාස්වභාවය හා සම්‍යක් ස්වභාවය: මිථ්‍යාස්වභාවය ලෙසින් පෙන්වා ඇත්තේ මිථ්‍යාමග දැරීමය. සම්‍යක් ස්වභාවය යනු සම්මා දිට්ඨිය ඇතුළු සම්මාමග-නිවැරදිමගදැරීමය.මූලාශ්‍රය:සංයු.නි:(5-1)මහාවග්ග :මග්ගසංයුත්ත:මිච්ඡත්තවග්ග:1.3.1 මිච්ඡත්ත සූත්‍රය, පි.58.

▼ මිථ්‍යාත්වය අංග 10 කින් යුක්තය. මිථ්‍යාදිට්ඨිය, මිථ්‍යාසංකල්ප... මිථ්‍යාඥානය, මිථ්‍යාවිමුක්තිය යන අංග 10යය. සටහන: මෙහිදී දක්වා ඇත්තේ අනාරිය අටමග හා නිවනට පැමිණීම වලක්වන මිථ්‍යාඥානය, මිථ්‍යාවිමුක්තිය යන අංග 2 ය, එය දස මිථ්‍යාත්වය යි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: පරිශුද්ධ වග්ග:10.3.3.10 දශම සූත්‍රය, පි.466, EAN: 10: III Purified : 132.10.Tenth.p.548

▼ සම්‍යක්තවය අංග 10 කින් යුක්තය. සම්මාදිට්ඨිය, සම්මාසංකල්ප... සම්මාඥානය, සම්මා විමුක්තිය යන අංග 10යය. සටහන: මෙහිදී දක්වා ඇත්තේ ආරිය අටමග හා නිවන සාක්ෂාත් කරදෙන සම්මාඥානය, සම්මාවිමුක්තිය යන අංග 2 ය, එය දස සම්‍යක්තවය යි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: පරිශුද්ධ වග්ග:10.3.3.11 එකාදශසූත්‍රය, පි.466, EAN: 10: III Purified : 132.10.Tenth.p.548

▼ දස මිථ්‍යාත්වය නිසා අකුසලය ඇතිවේ: අවිද්‍යාව පෙරටුකරගත්, අහිරිකය හා අනොත්තප්පය නිසා, කෙනෙක් මිථ්‍යාත්වය අනුගමනය කරමින් අකුසල් කරයි. මූලාශ්‍ර: අංගු.නි: ( 6): 10 නිපාත: 10.3.1.5 විජ්ජා සූත්‍රය, පි. 412, EAN:10: 105.5 True Knowledge, p. 541.

▼අවිද්‍යාවෙන් යුත් අනුවණ මිනිසාට මිථ්‍යා දිට්ඨිය ඇතිවේ. මිථ්‍යා දිට්ඨිය ඇතිවිට මිථ්‍යා සංකප්ප ඇතිවේ... එලෙසින් දස මිථ්‍යාත්වය -වැරදි මග සකස්වේ. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: 1.1.1 අවිජ්ජා සූත්‍රය, පි. 30, ESN:45: Mggasamyutta: 1.1 Ignorance, p. 1603.

▼ මිථ්‍යාත්වය අනුගමනය කිරීමේ ආදීනව: මිථ්‍යාත්වය - මිථ්‍යා දිට්ඨි ආදී අංග 10 පුරුදු කරන පුද්ගලයා විසින් කරන කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම නිසා ඇතිවන චේතනා, පතනදේ, නැඹුරුවන දේ, සංස්කාර ආදීය මගින් සිදුවන්නේ, නොපැතූ, ලැබීමට නොකැමති, අහිතකර, හානියක් හා දුකක් බව බුදුන් වහන්ස පෙන්වා ඇත. එයට හේතුව ඔහුගේ දිට්ඨිය ලාමක නිසා, කරන සැම දෙයකම ප්‍රතිඵලය ලාමක වීමය. ඒ පිලිබඳ දක්වා ඇති උපමාව: කොහොඹ හෝ තිත්ත වැටකොළු හෝ කරවිල හෝ ඇටයක්, තෙතමනය ඇති පසේ පැල කරයි. ඒ ඇටයට, පස හා ජලය ආදියෙන් කුමන පෝෂණයක් ලැබුනත්, එම ඇටය නිසා හැදෙන ගෙඩිය තිත්ත කටුක අමිහිරි රසයෙන් යුතුවේ. එයට හේතුව එම බීජය තිත්ත නිසාය. එලෙස, වැරදි මග යන පුද්ගලයාට ඔහුගේ කටයුතු නිසා ඇතිවන්නේ අයහපතකි; දුකකි. බලන්න: උපග්‍රන්ථය:5 .(තිත්ත රස බීජය).මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: සමණසඤ්ඤා වගග: 10.3.1.4. බීජ සූත්‍රය,පි.410, EAN:10: 104. 4-A Seed, p.541.

▼ සම්‍යක්තවය අනුගනය කිරීමේ යහපත් ඵල: සම්‍යක්තවය - සම්මා දිට්ඨි ආදී අංග 10 පුරුදු කරන පුද්ගලයා විසින් කරන කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම නිසා ඇතිවන චේතනා, පතනදේ, නැඹුරුවන දේ, සංස්කාර ආදීය නිසා යහපත්වූ මනාවූ ප්‍රතිඵල ඇතිවේ.එයට හේතුව ඔහුගේ දිට්ඨිය යහපත්-භද්‍ර නිසාය. ඒ පිලිබඳ දක්වා ඇති උපමාව: උක්, මිදී වැනි මිහිරි රසඇති ඇටයක්, තෙතමනය ඇති පසේ පැල කරයි. ඒ ඇටයට, පස හා ජලය ආදියෙන් පෝෂණයක් ලැබි හටගන්නා ඵල ඉතා මිහිරි රසයෙන් යුතුවේ. එයට හේතුව එම බීජයමිහිරි රසයෙන් යුතුවූ නිසාය. එලෙස, නිවැරදි මග යන පුද්ගලයාට ඔහුගේ ක්‍රියා නිඅස නිසා ඇතිවන්නේ යහපතකි; සැපයකි.බලන්න: උපග්‍රන්ථය:5. (මිහිරිරස බීජය) මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: සමණසඤ්ඤා වගග: 10.3.1.4. බීජ සූත්‍රය,පි.410, EAN:10: 104. 4-A Seed, p.541.

▲මිථ්‍යා ආජීවය- Wrong livelihood: සම්මා ආජීවයට පටහැනි ලෙසින් ජීවිකාව ගෙනයාමය. මෙය ශ්‍රමණ හා බ්‍රාහ්මණයන්ගේ සිත් කිලිටි කරන උපකෙළෙසයක්ය. බලන්න: උපකෙළෙස.

▲ මිථ්‍යා දිට්ඨිය:පාලි: මිච‍්ඡාදිට‍්ඨි - wrong view: දස මිථ්‍යාත්වයේ, පළමූ අංගය මිථ්‍යාදිට්ඨිය ය, ධර්මයට අනුකුළ නොවන අදහස්, මත දැරීම - චතුසත්‍ය පිළිනොගැනීම-සම්මා දිට්ඨිය නොගැනීම, මිථ්‍යාදිට්ඨිය වේ. එමගින් මාර්ගය පරිහාණියට පත්වේ. සටහන්: * මිථ්‍යාදිට්ඨිය ලෙසින් පෙන්වා ඇත්තේ, 62ක් වූ දිට්ඨිගැනය. බලන්න: දීඝ.නි: බ්‍රහ්මජාල සූත්‍රය. **සංයු.නි: (3) ඛන්ධසංයුත්ත:දිට්ඨිවග්ග:1.3.5.5. මිථ්‍යාදිට්ඨි සූත්‍රයේ දී බුදුන් වහන්සේ මෙසේ දක්වා ඇත: “මහණෙනි, රූපය ඇති කල්හි, රූපය ඇසුරු කොට, රූපය ප්‍රත්‍ය කොට මිථ්‍යාදිට්ඨිය ඇතිවේ…”. (එලෙස පංච උපාදානස්කන්ධ යේ සෙසු ස්කන්ධ ඇසුරු කොට ද මිථ්‍යාදිට්ඨිය ඇතිවේ). ** මිථ්‍යාදිට්ඨිය ඇතිවීමට හේතු ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ, සළායතන හා ඒවා අල්ලාගන්නා බාහිර අරමුණු පිලිබඳ යථාබව නොදනිමය. බලන්න: සංයු.නි: (3):ඛන්ධවග්ග: වච්ඡගොත්ත සංයුත්තයේ සූත්‍ර.

▼ බුදුන් වහන්සේ මිථ්‍යාදිට්ඨිය ඇති කෙනෙකුගේ ස්වභාවය මෙසේ දක්වා ඇත: මේ ලෝකයේ කෙනෙක් මිථ්‍යාදිට්ඨිය ඇතිවසිටි: ඔහුට මෙවැනි වැරදි අදහස් ඇත: “දෙනලද දේවලින් (දානයෙහි) පලක්නැත, යාග හෝම කිරීමේ පලක්නැත, හොඳ හෝ නරක දේ කිරිමෙන් (කර්මයේ) ඵලවිපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, මේ ලෝකයේ, යහපත් පැවැත්ම හා පුහුණුව ඇතිව, විශේෂ නුවණින් මෙලොව හා සෙසු ලෝක පිළිබඳව අවබෝධ කල, ඒ බව අන්‍යයන්ට අවබෝධකරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නොමැත”.

“ඉධ භික‍්ඛවෙ එකච‍්චො මිච‍්ඡාදිට‍්ඨිකො හොති විපරිතදස‍්සනො, ‘නත්‍ථි දිනනං නත්‍ථියිට‍්ඨං නත්‍ථිහුතං සුකට දුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පර ලොකො, නත්‍ථිමාතා නත්‍ථිපිතා නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණ බ්‍රාහ‍්මණා සම‍්මග‍්ගාතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡීකත්‍වා පවෙදෙන‍්ති’ ති”. එවැනි අය ඒකාන්තයෙන්ම නිරයට යයි. සටහන: මිථ්‍යාදිට්ඨිය නිසා 10 ආකාරයෙන් අභිනිවෙශවන අන්දම මෙහිදී විස්තරාත්මකව දක්වා ඇත: බලන්න: ඛු.නි: පටිසම්භිදා 1: මහාවග්ග:දිට්ඨිකතා: 2-3 මිථ්‍යාදිට්ඨිය, පි.304: මූලාශ්‍ර: අංගු.නි: (6) 10 නිපාත: කරජකාය වග්ග: 10.5.1.1. පඨම නිරය සූත්‍රය, පි. 548, ජානුසොණි වගග: 10.4.2.10: චුන්ද සූත්‍රය, පි.508, EAN:10: The Deed-born body: 211.1 Hell, p. 556, Jāṇussoṇī: 176.10: Cunda, p.553.

▼ මිථ්‍යාදිට්ඨිය නිසා නුපන් අකුසල ඇතිවේ, උපන් අකුසල වැඩිවේ, අකුසල් ඇතිවීමට බලපාන ප්‍රධානම කරුණ මිථ්‍යාදිට්ඨිය තිබිමය. මූලාශ්‍ර: අංගු.නි: (1) 1 නිපාතය:16 :1.16.2.1 සූත්‍රය, පි.100, EAN:1: 36.1 sutta, p.47.

▼ මිථ්‍යාදිට්ඨිය නිසා කර්ම සිව්ආකාරයකට රැස්වේ: 1) තමන් මිථ්‍යාදිට්ඨිවීම 2) අනුන් මිථ්‍යාදිට්ඨිය ට හැරවීම3) මිථ්‍යාදිට්ඨිය අනුමත කිරීම 4) මිථ්‍යාදිට්ඨිය වර්ණනා කිරීම. මූලාශ්‍රය:අංගු:නි: (2) 4 නිපාත: කම්මපථවග්ග: 4.7.10 මිථ්‍යාදිට්ඨි සූත්‍රය.

▼ ලෝහ දෝස හා මෝහ යන අකුසල නිසා මිථ්‍යා දිට්ඨිය ඇතිවේ. මූලාශ්‍ර: අංගු.නි: (6) 10 නිපාත: ජානුසොණි වගග: 10.4.2.8, කම්ම නිදාන සුත්‍රය, පි. 506, EAN:10: Jāṇussoṇī: 174.8 Causes of Kamma, p.552.

▼ මිථ්‍යාදිට්ඨිය ඇති පුද්ගලයා මරණින් මතු දුගතියේ- නිරයේ හෝ තිරිසන් ලෝකයේ යලි උපත ලබන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන: ඛු.නි:ඉතිවුත්තක:3 වග්ග: මිථ්‍යාදිට්ඨිකම්මසමාදාන සූත්‍රයේ : තුන්දොරින් අකුසල කරන, මිථ්‍යාදිට්ඨිය දැඩිව ගත් ලෝකයා නිරයගාමි බව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (1) 2 නිපාත: 2.1.3.8 සූත්‍රය, පි. 158 , EAN: 2: 27.7 Sutta, p.60.

▼ මිථ්‍යාදිට්ඨිය ඇති පුද්ගලයාගේ ස්වභාවය: නොදැන, නොවිමසා ගුණවැනිය යුතු නොවන අයගේ ගුණ වැනිම හා ගුණ වැනියයුතු අයගේ ගුණ නො වැනිම. ඔවුන්ට, මිථ්‍යා සංකල්ප, මිථ්‍යා වාචා, මිථ්‍යා කර්මාන්ත, මිථ්‍යා වායාම, මිථ්‍යා සතිය ඇත. නිරය ගාමිය. සටහන: එම අගුණ නොමැති පුද්ගලයාට සම්මා දිට්ඨිය ඇත. ඔහු නිරය ගාමිණි නොවේ. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත:අන්ධකවින්දවග්ග:5.3.2.8 මිථ්‍යාදිට්ඨික සූත්‍ර 3 කි, පි.248.

▼මිථ්‍යාදිට්ඨිය ඇති පුද්ගලයා බොහෝ දෙනාගේ අහිත පිණිස වේ. මූලාශ්‍රය: අංගු.නි: (1) 1 නිපාත: ඒකධම්ම පාලිය: 1.16.3.1 සූත්‍රය, පි.106.

▼මිථ්‍යාදිට්ඨිය ප්‍රහීණ කරගැනීම: සළායතන, එමගින් අල්ලා ගන්නා බාහිර අරමුණු, ඒ නිසා ඇතිවන විඥානය, ස්පර්ශය හා වේදනාව අනිත්‍ය බව දන්නා දකිනා පුද්ගලයාගේ මිථ්‍යාදිට්ඨිය ප්‍රහීණවේ. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග:වේදනාසංයුත්ත:නන්දික්ඛයවග්ග: 1.16.10 මිථ්‍යාදිට්ඨිප්‍රහාණ සූත්‍රය, පි.316.

▼මිථ්‍යාදිට්ඨිය පහකරගැනීම පිණිස මාර්ගය, සම්මා දිට්ඨිය වැඩිමය. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.6 සූත්‍රය, පි.284.

▲ මිථ්‍යා දස ධර්ම- Wrong 10 Dhammas: ප්‍රාණඝාතය. සොරකම-අදත්තාදනය, කාමයේ වරදවා හැසිරීම- කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පිසුණාවාචය, පරුෂාවාචය, සම්ප්‍රප්ඵලාප, ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යා දිට්ඨිය, මිථ්‍යා දස ධර්ම ලෙසින් පෙන්වා ඇත.බලන්න: දුක්ඛුද්‍රය ධම්ම.

▲ මිථ්‍යා ප්‍රතිපදාව හා සම්මා ප්‍රතිපදාව- Wrong Way & the right way: සසරදුකින් මිදීම පිණිස අනුගමනය නොකළ යුතු හා අනුගමනය කලයුතු ප්‍රතිපදා 2 ක් වේ: මිථ්‍යාප්‍රතිපදාව හා සම්මා ප්‍රතිපදාව. මිථ්‍යාප්‍රතිපදාව ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා වදාළේ අවිද්‍යාව පෙරටුකරගත් පටිච්චසමුප්පාද ක්‍රියාවලියටය. අවිද්‍යාව පෙරටුකරගෙන සිදුවන හේතුප්‍රත්‍ය ක්‍රියාවලිය සසර දුක් ඇතිකරයි, නිවන දුර කරයි. විද්‍යාව පෙරටුකරගත්- පටිච්චසමුප්පාද අවසන්කිරීමේ ක්‍රියාවලිය සම්මා ප්‍රතිපදාවය. මූලාශ්‍ර: සංයු.නි: (2) නිදානවග්ග:අභිසමයසංයුත්ත-1.1.3. පටිපදා සුත්‍රය, පි. 30, ESN: 13 Abhisamayasamyutta: 3.3 The Two Ways, p. 613.

▼ සම්‍යක් ප්‍රතිපදාව වූ ආරිය අටමග නො පිළිපැදීම මිථ්‍යා ප්‍රතිපදාවය. එනම්, මිථ්‍යා දිට්ඨිය...මිථ්‍යා සමාධිය ආදී අංග 8 කින් යුක්ත අනාරිය අටමග අනුගමනය කිරීමය. මූලාශ්‍ර: සංයු.නි: (5-1) මහාවග්ග:මග්ගසංයුත්ත: 1.3.3 පටිපදා සූත්‍රය, පි. 58, ESN: 45 Maggasamyutta: 23.3 The Way, p. 1629.

මද

▲ මදය: පාලි: මදො- infatuation/intoxication: මදය, මත්වීම ලෙසින්ද පෙන්වා ඇත. සාමාන්‍ය ලෝකයා මත්වන ආකාර 3 කි: 1) තරුණබව නිසා- යෞවන මදය, 2) යහපත් ශරීර සෞඛ්‍යයක් තිබීම නිසා- ආරෝග්‍යමදය, 3) යහපත් ආයුෂ තිබීම නිසා - ජිවිත මදය. මේවා සිත කෙලසන අකුසල්ය, දුගතිය ඇති කරයි. බලන්න: උප කෙලෙස, මත්වීම

▼මදය නිසා ඇතිවෙන ආදීනව: 1) යෞවන මදය (යොබ‍්බනමදො-youth infatuation) 2) ආරොග්‍ය මදය (ආරොග්‍යමදො- health infatuation) 3) ජිවිත මදය (ජිවිතමදො-life infatuation) යන මදයන් ගෙන් මත්වූ අශ්‍රැතවත් පෘථග්ජනයා, කයෙන්, වචනයෙන් හා සිතින් දුසිරිත් කරයි. එම අයහපත් අකුසල නිසා මරණින් මතු දුගතියේ යළි උපත ලබයි. මේ මදයෙන් මත්වූ භික්ෂුව, ශික්ෂාව අතහැර ගිහිබවට පත්වේ. බුදුන් වහන්සේ, එම මදයන් මැඩ, නිවන ලබාගත්බව මේ සූත්‍රයේ පෙන්වා ඇත. සටහන: ම.නි: වත්ථුපම සූත්‍රයේදී: එම මද 3 නිසා සිත මත්වීයන බව පෙන්වා ඇත.

මූලාශ්‍ර: අංගු.නි: (1) 3 නිපාත: 3.1.4.9. සූත්‍රය, පි. 302, EAN:3: 39.9 Delicate, p. 94.

▼වෙනත් මුලාශ්‍ර: 1.“මදය නිසා මිනිසුන් බොහෝ අකුසල් කර දුගතියට යයි: ජාති මදය: කුල ගෝත්‍ර ජාති රට, ආදී වශයෙන් ඇතැම් අය උසස් ඇතැම් අය පහත් යයි සිතා කටයුතු කිරීම ආරෝග්‍ය මදය:තමාගේ නිරෝගී බව නිසා ඇති උඩඟුබව යොබ්බන මදය: තරුණබව නිසා මත්වීම ජිවිත මදය: වැඩි ආයුෂ තිබීම නිසා මත්වීම ලාභමදය:තමන්ට ලැබෙන ලාභ ආදියෙන් උඩඟුවීම. සත්කාර මදය: සත්කාර ආදිය ලැබීම නිසා ඇතිවෙන මානය. ගරුකාර මද: තමන්ට ලැබෙන ගෞරව ආදියෙන් අහංකාර වීම...” (විවිධ මද පිලිබඳ විස්තර මෙහි ඇත). කෙලෙස් එක්දහස් පන්සීය: පි.29, රේරුකානේ චන්ද විමල නාහිමි, 2008.

▲ මුදල් පරිහරණය Using money: සසුනේ පැවිදිබව ලැබූවිට මුදල් පරිහරණය කැපනැත. බලන්න: ජාතරූප, සංඝවිනය, කහවණු.

▲මුදිතාව: පාලි: මුදිතා- altruistic joy: මුදිතාව, බ්‍රහ්මවිහාරයකි. මුදිතාව යනු අන්‍යයන් තුළ ඇති යහපත් ගුණ පිළිබඳව හා ඔවුන්ගේ සමෘද්ධිය පිළිබඳව සිතේ ඇතිවන නියම සතුටය. තමන් තුළ ඇති යහපත් ගුණ, ක්‍රියා පිළිබඳවද සිතේ මුදිතාව ඇති කරගැනීම, කෙනෙක්ගේ ජීවිතය මුදුලෙසින් ගත කිරීමට උපකාරීවේ. මෙය භාවනා අරමුණකි. මුදිතාව වර්ධනය කරගැනීමෙන් අරතියෙන් මිදිය හැකිය. බලන්න: අරතිය, බ්‍රහ්මවිහාර, භාවනා. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 428: “මුදිත: සතුටුවන ලද, තුටුවන ලද, තොස් වන ලද, මුදිතා: මුදිතාව” B.D: p. 101: “Mudita: Altruistic joy (or sympathetic) is one of the 4 sublime abodes- brahma-vihāra”

▼ අරතිය පහ කර ගැනීමට මුදිතාව වඩා ගත යුතුවේ. මුලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාතය: 6.1.2.3 නිස්සාරණිය සූත්‍රය, පි. 40, EAN:6: 13.3 Escape, p. 321.

▲ මුදිතා චේතෝ විමුක්තිය: පාලි: මුදිතා චෙතොවිමුත‍්තී -the liberation of the mind by altruistic joy. සිතේ ඇති අලසබව පහ කර ගැනීමට, ධර්මයට ඇති අරතිය නැති කරගැනීමට මුදිතා චේතෝ විමුක්තිය උපකාරී වේ. මෙය, මුදිතා නිස්සාරණිය ධාතුව ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: මුදිතාව, භාවනා, සතර බ්‍රහ්ම විහාර, නිස්සාරණිය ධාතු, අරතිය.

▼අරතියෙන් (අධිකුසලයට ඇති මැලිබව) මිදීමේ මග, මුදිතා චේතෝ විමුක්තිය- මුදිතා නිස්සාරණිය ධාතුවය. මූලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාතය: 6.1.2.3 නිස්සාරණිය සූත්‍රය, පි. 40, EAN:6: 13.3 Escape, p. 321.

▼මුදිතාව වර්ධනය කරගන්නා ආකරය: විවේකය, විරාගය, නිරෝධය හා ඔසග්ගය (වොසග්ගපරිණාමි-නිවනට නැඹුරු සිත) ඇතිව සප්ත බොජ්ඣංග ධර්ම වැඩිමෙන් ලබන මුදිතාව මහා පහසු විහරණය පිණිස පවති. මූලාශ්‍රය:සංයු.නි: (5-1) මහාවග්ග:බොජ්ඣංග සංයුත්ත:2.7 මුදිතාසූත්‍ර, පි. 271.

▲ මුදුවචන :පාලි: සාබල්‍යය - Gentle speech

මුදුවචන-මෘදුවචන, මොළොක් වචන ඇතිබව ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක් සතු ගුණයකි. තමන් සමග වාසය කරන අයගේ ප්‍රියමනාපබව ලබාගැනීමට මුදුවචන භාවිතය උපකාරීවේ. බුදුන් වහන්සේ මුදුවචන භාවිතය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතා සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි:10 සංගිති සූත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▲මෘදුබව: පාලි:මුදු - සොරච‍්ච-gentleness (soracca): ධර්මයේ මුදුබව ලෙසින් පෙන්වා ඇත්තේ නොදැඩිව, කිකරුව, යහපත් ලෙසින්- නිහතමානිව වාසය කිරීමය. කයෙන් හා වචනයෙන් කරන ක්‍රියා මුදුලෙසින් පවත්වා ගැනීමය.මෙය ආධ්‍යාත්මික වර්ධනයට උපකාරී කරුණකි. නිවන ලබාගැනීමට කැමති පුද්ගලයන් විසින් පුරුදු පුහුණු කරගත යුතු ගුණයක් ලෙසින් මුදුබව, බුදුන් වහන්සේ පෙන්වා ඇත: “කරණියමත්‍ථකුසලෙන- යන‍්ත සන‍්තං පදං අභිසමෙච‍්ච-සක‍්කො උජු ච සූජු ච- සුවචො චස‍්ස මුදු අනතිමානී”. මූලාශ්‍රය: ඛු.නි: ඛුද්දකපාඨ,මෙත්තා සූත්‍රය, පි. 47.

▼ බුදුන් වහන්සේ මුදු ගුණය යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතා සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර:දිඝ.නි: 10 සංගිති සුත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

මධ

▲මධ්‍යය-Middle: අන්ත දෙකක් අතර ඇති මැද මධ්‍යයය. ඛු.නි: සුත්තනිපාත:පරායනවග්ගයේ දී: තිස්ස මෙත්තෙයිය මානවක ඇසු පැනයකට බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“සො උභන‍්තෙ විදිත්‍වාන - මජෙඣ මන‍්තා න ලිප‍්පති තං බ්‍රෑමි මහාපුරිසොති සො’ධ සිබ‍්බනිමච‍්චගා”

“ඒ නැණවත් භික්ෂු තෙමේ (අරහත්) උභයඅන්ත (අන්ත දෙකම) ප්‍රඥාවෙන් දැන මධ්‍යයෙහි නො ඇලේනම් ඔහු මහාපුරුෂ යයි මම කියමි. ඔහු මේ පංචස්කන්ධය සකස්කරන්නීය වූ (සිබ්බනිය) තණ්හාව ඉක්මවා ගියේය”. “Having understood both ends, the wise one does not stick in the middle. I call him a great man: he has here transcended the seamstress.”. භික්ෂුන් විසින් කළ ඉල්ලීමක් අනුව, බුදුන් වහන්සේ ඒ ගාථාව පැහැදිලි කර වදාළහ: “මහණෙනි, වර්තමාන ආත්මභාව (සංඛ්‍යාත) ඵස්ස එක් අන්තයකි, අනාගත ආත්මභාව සංඛ්‍යාත- ඵස්ස සමුදය දෙවන අන්තයවේ. ඵස්ස නිරෝධය මධ්‍යය වෙයි. තණ්හාව සිබ්බනිය (මහන්නිය) වේ. තණ්හාව මේ භවය හෝ වෙනත් භවය නිපදවයි (මහයි). ඒ අනුව භික්ෂුව, අභිඥාවෙන්, දැනගතයුතු දේ දැනගනි.පරිඥාවෙන් පරිජනය කලයුතුදේ අවබෝධ කරගනී. එලෙසින් ඔහු මේ ජීවිතයේදීම, දුක අවසන් කරගනී”. “Contact, bhikkhus, is one end; the arising of contact is the second end; the cessation of contact is in the middle; and craving is the seamstress. For craving sews one to the production of this or that state of existence. It is in this way that a bhikkhu directly knows what should be directly known; fully understands what should be fully understood; and by doing so, in this very life he makes an end of suffering”. බලන්න:EAN:6: notes: 1399, 1400,1401, p.649, මැහුම්කාරිය. සටහන: තිස්ස මෙත්තෙයිය මානවකගේ ප්‍රශ්නය:

“කවරෙක් මෙලොව සන්තුෂ්ටී වේද? කව්රෙක්හට තණ්හා දිට්ඨි කම්පනයෝ (ඉඤජිතයෝ) නැද්ද? කවරෙක් අන්ත දෙක විශිෂ්ඨ ඥානයෙන් දැන මධ්‍යයෙහි, ප්‍රඥාවෙන් නො ඇලේද? කව්රෙක්හට ‘මහා පුරුෂයා’ යයි කියන්නේද?. කෙවරෙක් තන්හාව නමැති මැහුම්කාරිය (තණ්හා සිබ්බනිය) ඉක්මවා ගියේද? බලන්න:ඛු.නි: සුත්තනිපාත: පරායනවග්ග: 1044 ගාථාව, පි.338. මූලාශ්‍ර:අංගු.නි: (4 ):6 නිපාත: මහාවග්ග:6.2.1.7 මජේඣ සූත්‍රය, පි.206, EAN: 6:61.7 Middle, p.352.

▲මධ්‍යම කාම ආස්වාදය-Middle sensual pleasures: මෙය ත්‍රිවිධ කාම ආස්වාදයන්ගෙන් (උසස්, මධ්‍යම, හීන) එකකි. බලන්න: කාමආස්වාදය.

▲ මධ්‍යම ධාතුව-Maddyama dhathu: ධාතු අනුව කෙනෙක්ගේ පරලොව ජීවිතය වෙනස්වේ. මධ්‍යම ධාතුව ඇතිවිට, යළි උපත මධ්‍යමවේ. බලන්න: ගති.

▲ මධ්‍යම ප්‍රතිපත්තිය -the middle way of practice: තම තමන්ගේ මත අනුව ලෝකයා අනුගමනය කරන ප්‍රතිපත්ති 3කි. මධ්‍යම ප්‍රතිපත්තිය යනු, දුකින් මිදීම පිණිස බුදුන් වහන්සේ පෙන්වා දුන් ධර්ම ප්‍රතිපත්තියය. බලන්න: පටිපදා විධි තුන.

▲ මධ්‍යම ප්‍රතිපදාව: පාලි: මජ‍්ඣිමා පටිපාදා-Middle way: සසර දුකින් මිදීම පිණිස, නිවන ලබාගැනීම පිණිස අනුගමනය කළයුතු ප්‍රතිපදාව: මධ්‍යම ප්‍රතිපදාව- ආරිය අටමග යයි බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ . බලන්න: ධම්මචක්කප්පවත්තන සූත්‍රය.

▼ බුදුන් වහන්සේ පස්වග මහණුන්හට මෙසේ වදාළහ:

“මහණෙනි, ...ලාමකවූ...කෙලෙස්කාම ආදියෙන් සුඛවූද... ශරීරයට වෙහෙස දිමක් වේද, දුක්වූද... මේ දෙකොටස පැවිද්දා විසින් සේවනය නොකට යුතුය.... මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරනලද දර්ශනමාර්ගඥානය කරන්නිවු, භාවනාමාර්ගඥානය කරන්නිවු, මධ්‍යම ප්‍රතිපදා තොමෝ කෙලෙසුන් සංසිදීම පිණිස, සිව්සස් දහම් මොනවට දැනීම පිණිස, සිව්සස් දහම් මනාකොට අවබෝධ කිරීම පිණිස, නිවන් පිණිස පවතී... ඒ මධ්‍යම ප්‍රතිපදාව මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය මය.”: මූලාශ්‍රය: වින.පි: මහාවග්ග පාලිය 1: 14 පංචවග්ගිය කථා, පි. 98.

▲ මධ්‍යම ශිලය-Middle virtue: මෙය දේවලෝක උත්පත්ති ආදිය සලකා සමාදන්වන ආනිසංස සීලයය. බලන්න: ත්‍රිවිධ ශිලය.

▲ මධුභානි-Madubhani : මෘදු , ප්‍රසන්න වචන කතා කරන අය මධුභාණි පුද්ගලයන්ය. බලන්න: පුද්ගල තුන් වර්ගය.

▲මධුර නගරය-City of Madhura: සංඝයාට මේ නගරයේ වාසය කිරීමේ දී ඇතිවිය හැකි ආදීනව මේ සූත්‍රයේ පෙන්වා ඇත. භුමිය විෂමය,බොහෝ දුවිලි ඇත, සැඩ ශුනකයන් සිටිති, නරක යක්ෂයන් සිටිති, දුර්ලභ පිණ්ඩපාතය (පිණ්ඩපාතය ලැබීම දුෂ්කරබව). සටහන:මේ නගරය උතුරු ඉන්දියාවේ, යමුනා නදිය අසබඩ පිහිටි, සුරසේන ජනපදයේ අග නුවරය. බලන්න:EAN:5:note: 1223,p.642. මූලාශ්‍ර: අංගු.නි: (3) 5 නිපාත:අක්කෝසකවග්ග:5.5.2.10: මධුරා සූත්‍රය, පි. 436, EAN:5: 220.10: Madhurā,p.307.

▲ මධුරාපුරය-Madurapuraya: ම.නි: මධුරා සූත්‍රයට අනුව එම පුරයේ පාලකයා අවන්තිපුත්‍ර රජතුමාය. බුදුන්වහන්සේගේ පරිනිබ්බානයෙන් පසු මහා කච්ච්චාන තෙරුන් එහි වැඩ වාසය කර ඇත. මහාතෙරුන්, එහිදී මධුරා සූත්‍රය, එම රජතුමාට දේශනා කරනලදී. දහම්සවනය කිරීමෙන් පසු රජතුමා බුදුන් සරණගියහ. බලන්න: උපග්‍රන්ථය:3

▲ මධුරාපුර අවන්තිපුත්‍ර රජතුමා-King Avanthiputta of Madhura: බලන්න: උපග්‍රන්ථය:3

මන

▲ මන ඉන්ද්‍රිය - Mind Faculty: මන ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය 22න් එකකි, සය ඉන්ද්‍රියන්ගෙන් එක් ඉන්ද්‍රියකි. මනඉන්ද්‍රිය, සිත- මනස හසුරුවන ඉන්ද්‍රියය. බලන්න:ඉන්ද්‍රිය, සිත.

▲මනස- Mind: මනස-චිත්ත- විඥානය යනු සිතය, සය ආයතනයන්ගෙන් එකකි. බලන්න: චිත්ත, සිත, විඥානය, සළායතන.

▲ මනායතනය -mind base: මෙය ආධ්‍යාත්මික ආයතන 6 න් එකකි. බලන්න: ආයතන, සිත.

▲මනසානුපෙක‍්ඛතා-Manasanupekkhata: පුරුදු පුහුණු කල ධර්මය පුන පුනා ආවර්ජනය කිරීම, මනසින් විමසා බැලීම මින් අදහස්කෙරේ. මෙය පංච විමුක්ති ආයතනවලින් එකකි, බහුශ්‍රැතවීමට පුරුදු කරගත යුතු අංගයකි. බලන්න: පංචවිමුක්ති ආයතන,බහුශ්‍රැත.

▲ මනසිකාර- attention: මනසිකාර යනු යම් කරුණක් ගැන ඇති අවධානය හෝ ඒ පිලිබඳ සිතා බැලීම- ආවර්ජනය (මෙනෙහිකිරීමය). නාමරූප විග්‍රහකරනවිට පෙන්වා ඇත්තේ, මනසිකාරය, නාමයේ අංගයක් බවය. යමක් යහපත් ලෙසින් සලකා බැලීම යෝනිසෝ මනසිකාරය වේ, යමක් ගැන අයහපත් ලෙසින් බැලීම අයෝනිසෝමනසිකාරය වේ. බලන්න: නාමරූප, යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝමනසිකාරය.

▼සියලු ධර්මතා මනසිකාරය නිසා හටගනී: “මනසිකාර සම‍්භවා සබ‍්බෙ ධම‍්මා”. බලන්න: සබ‍්බෙ ධම‍්මා. මූලාශ්‍රය: අංගු.නි: (1) 2 නිපාත: මූලක සුත්‍රය

▼ ධර්මතා මනසිකාර නො කිරීම සමාධි ප්‍රතිලාභයට හේතුවේ. ආනන්ද තෙරුන් ගේ විමසීමක් මත බුදුන් වහන්සේ මේ සූත්‍රයේ දී , සමාධිය පිණිස මනසිකාර නොකළ යුතු ධර්මතා විස්තර කර ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6) 11 නිපාත:නිස්සයවග්ග: 11.1.8 මනසිකාර සූත්‍රය, පි.632.

▲මනසිකාර කුසලතාවය - Skill in attention: ආධ්‍යාත්මික වර්ධනය පිණිස වැඩිය යුතු කුසලතාවයකි. බලන්න: කුසලතා.

▲ මන්ඩිස්ස පරිබ්‍රාජක-Mandissa paribrajika: මේ පරිබ්‍රජකයා, කොසඹෑනුවර, ඝෝසිතාරාමයෙහි දී, ජාලිය පරිබ්‍රාජක සමග බුදුන් වහන්සේ හමුවූ බව, උන්වහන්සේ දෙසු ධර්මය පිලිබඳ පැහැදීමට පත්වූහ. මූලාශ්‍රය: දීඝ.නි: (1) 7 ජාලිය සූත්‍රය, පි.364.

▲මන්ධාත රජ-King Mandhātā: පුරාණයේ විසු රජ කෙනෙකි.පංචකාමයෙහි ඇලුණ පුද්ගලයන් අතුරින් මන්ධාත (මානධාතෘ) රජ අගතැන් ගනී. බලන්න: අග්‍ර මිනිසුන්. සටහන්: * අටුවාවට අනුව: මන්ධාතු රජ (King Mandhātā): මහාසම්මත රාජ පරම්පරාවට අයත්වේ. ඔහු දිගුකලක් රජසැප විඳිමින් කම්සැපයේ ඇලි වාසය කර ඇත. බලන්න: EAN: note: 644, p. 615. ** මහාමන්ධාතු රජ, දෙවි මිනිස් සම්පත් විඳින අය අතර අග්‍රය. බලන්න: සද්ධර්ම කෝෂය, පි. 119. ** මේ රජු ගැන විස්තර පිණිස බලන්න: ඛු.නි: ජාතකපාලිය1: 8: මන්ධාතු ජාතකය, පි.158. මූලාශ්‍ර:අංගු.නි: (2) 4 නිපාතය: 4.1.2.5 අග්ගපඤ්ඤත්ති සූත්‍රය, පි.56, EAN:4: 15.5. Proclamations, p.153.

▲ මානත්ථද්ධ බමුණා- Brahmin Mānatthaddha:බලන්න: උපග්‍රන්ථය:3

▲ මනුජා උපාසිකා- Manuja Upasika:බලන්න: උපග්‍රන්ථය:3

▲මනුෂ්‍ය ලෝකය- Human realm: මනුෂ්‍ය ලෝකය:මිනිස් ලෝකය, කාම භවයකි, කාම ලෝකයට අයත්වේ, යළි උපත ලබන සුගතියකි. බුද්ධත්වය පතන බෝසතුන්ගේ අවසාන උත්පත්තිය, මිනිස් ලෝකයය. මිනිස් ලෝකයේ උපත ලබාගැනීම දුර්ලභ දෙයක්ය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න:භව, බොධිසත්ව, දුර්ලභදේ.

▲ මානය: පාලි: මානො- conceit : මානය යනු මැනීමය. තමන්, වෙනත් අය හා සසඳා බලා තිරණ ගැනීමය. ‘විධා’ (discrimination) ලෙසින්ද දක්වයි. මානය සසරට බැඳ තබන බැම්මකි, දසසංයෝජන වලින් එකකි, අනුසය ධර්මයකි. සියලු මාන ප්‍රහීණය වන්නේ අරහත්වයට පත්විමෙන්ය. මානය දුගතියට ගෙන යයි. බලන්න: රහතන්වහන්සේ, උප කෙලෙස, ත්‍රිවිධ මාන.

▼මානය නිසා යලි උපත ඇතිවේ, සසර දික්වේ. මානය විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කරගැනීම දුකින් මිදීමේ මගය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“මහණෙනි, එක් කෙළෙස් ධර්මයක්...මානය පහ කරගන්න. මම, ඔබට අනාගාමි භාවය පිණිස කැප වෙමි”. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 1.1.6 මාන සූත්‍රය, පි.350, 1.1.8 මානපරිඤඤා සූත්‍රය,පි.351.

▼මානයෙන් මත්ව කටයුතු කිරීම නිසා අයහපත් ප්‍රතිඵල ඇතිවේ. තමන් ගේ ප්‍රතිභානය නිසා මානයට පත්ව තමා හා වාසය කරන භික්‍ෂුන්හට අවමන් කිරීම ඒකාන්තයෙන්ම අලාභයක්, නපුරක් බව වටහාගත් වංගීස තෙරුන් තමන්ගේ මානය නැතිකරගැනීම පිණිස තමාට මෙසේ අවවාද කරගත්හ:

“...මානය දුරුකර, මානයෙන් මුස්පත්විම බැහැර කරගන්න. මානය නිසා බොහෝ කලක් පසුතැවිලිවීමට සිදුවේ. ගුණමකු, මානයෙන් වැසුන පුද්ගලයෝ, නිරයට වැටි බොහෝ කලක් දුක්විඳි. ප්‍රධාන විරිය ඇතිකර නීවරණ දුරුකොට පිරිසිදුවූ භික්ෂුන්, මානය ප්‍රහිණය කර, කෙළෙස් නසා අරහත්වයට පත්වුහ”. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: වංගීසසංයුත්ත:8.1.3 පේසල අති මඤ්ඤානා සූත්‍රය, පි. 360, ESN: 8: Vaṅgīsasaṃyutta: 8.3. Well behaved, p.396.

▼සමාධිය වඩාගැනීම මානය දුරුකරගැනීමට උපකාරිවේ: නිවන අරමුණුකොට සමාධිය ලැබූ භික්ෂුවට, කය පිලිබඳවද, බාහිර නිමිති පිළිබඳවද ඇති අහංකාරය, මමංකාරය හා මානඅනුසය ප්‍රහිණයවේ. ඔහු චේතෝ විමුක්තියට හා ප්‍රඥාවිමුක්තියට පැමිණ වාසය කරයි -අරහත්වය ලබයි. මූලාශ්‍ර: අංගු.නි: (1) 3 නිපාතය: දේවදුතවග්ග: 3.1.4.2 සූත්‍රය, පි. 282, EAN:3: Divine Messengers: 32.2 Ananda, p.90.

▼රහතුන්හට ත්‍රිවිධ මානය නොමැත: ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කෙරෙහි හෝ හීන පුද්ගලයන් කෙරෙහි හෝ සම පුද්ගලයන් කෙරෙහි හෝ කිසිදු මානයක් නොමැති, ජාතිය අවසන් කළ, මග බඹසර නිමා කල ඒ රහතුන් සංයෝජනයන් පහකර හැසිරේ: “... න උස‍්සෙසු න ඔමෙසු සමත‍්තෙ නොපනීයරෙ ඛිණා සඤ‍්ජාති වූසිතං බ්‍රහ‍්මචරියං චරන‍්ති සඤෙඤාජන විප‍්පමුත‍්තාති...”. සටහන්: * භික්ෂුවඅරහත්වයට පත්වූ බව පවසන්නේ තමන්ට මානය නැති බව පවසමින්ය. ඒ පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

මම උසස්ය, ඔබ පහත්ය, අපි සමසමය තරාතිරම්, මැනිම් කරන්නේ ඒ ලෙසය.

සියළු කෙළෙස් හල ගුණවත් උතුමන්, යලි උපත හැර දමා, මිදුණි මිනුම් දණ්ඩෙන්.

ඛේම තෙර හා සුමන තෙර, අර්හත්බව ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මානය නොමැති බව හඟවමින් බව මේ සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාතය: 6.1.5.7. ඛෙම සූත්‍රය, පි. 148, EAN:6: 49.7. Khema sutta, p. 341.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“...කෙනෙක්, මම අන්‍යයන් හා සම වෙමි, හෝ විශිෂ්ට වෙමි හෝ හීනවෙමි හෝ යයි සිතන්නේද ඒ නිසා ( ඒ මානය ) ඔහු අන්‍යයන් හා විවාද කිරීමට යන්නේය. එහෙත්, ඔහු මේ ත්‍රිවිධ මානයෙන් නො සැලෙන්නේනම් ඔහු සමය, විශිෂ්ටය, හීනය යන සිතිවිලි වලින් නොපෙළේ...”. බලන්න: සංයු.නි: (1) සගාථවග්ග: දේවතාසංයුත්ත: සමිද්ධි සූත්‍රය.

▼මානයේ විවිධබව: මානය, මෙය ජාතිය-කුලය ආදීය හඟවන මානයය.(Conceit), ඕමානය යනු මම හීනය යි සැලකීම (inferiority complex), අතිමානය, මම උසස්වෙමි යන හැඟීම ( arrogance). අධිමානය, අනධිගතය අධිගතය යන මානය- තමන් ගැන ඕනෑවට වඩා ගැනීම (self-overestimation). ථම්භය, ක්‍රෝධය මානය යන දෙකින් තදබව (obstinacy) .අතිනිපාතය, හීනඅයටත් වඩා හීන යන හැඟීම, හීනමානය ලෙසින්ද පෙන්වා ඇත (self-abasement). මේවා ඇතිවිට අරහත්වය නොලැබේ. සටහන: අටුවාවට අනුව: Conceit (māna) is conceiving oneself [to be better] based on birth, etc. The inferiority complex (omāna) is the conceit, ‘I am inferior’ (hīno’ham asmī ti māna). Arrogance (atimāna) is the conceit of self-elevation. Selfoverestimation (adhimāna) is imagining oneself to have attained [what one has not really attained]. Obstinacy (thambha) is due to anger and conceit. Self-abasement (atinipāta) is the conceit ‘I am inferior’ occurring in one who is actually inferior.”බලන්න: EAN:note: 1430, p.650. මූලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාත: අරහන්තවග්ග: 6.2.3.2 අරහන්ත සූත්‍රය, පි.252,EAN:6: 76.2 Arahantship, p. 360.

▼වෙනත් මුලාශ්‍ර:1. “නාම රූප ධර්මයන්ගේ ස්වභාවය නො දැනීම නිසා පංචඋපාදානස්කන්ධය, මමය කියා ගැනීම මානයට හේතුවේ”. කෙලෙස් එක්දහස්පන්සීය: පි. 69, රේරුකානේ චන්දවිමල නාහිමි, 2800.

▲ මානය, අවමානය හා අතිමානය: පාලි: මානා, ඔමානො, අතිමානා- Conceit, the inferiority complex, and arrogance: මානය යනු මමයන අහංකාරය යය. අවමානය ලෙසින් පෙන්වා ඇත්තේ තමන් ගැන ඇති හීන මානයය. අතිමානය යනු, අනුන්ට වඩා තමා උසස් යයි සැලකීමය. මේ ත්‍රිවිධාකාර මාන නිසා ලෝකයා සසරට බැඳී ඇත. මේවා අකුසලයන්ය. බලන්න: ත්‍රිවිධමාන.

▲ මානඅනුසය- mānānusayo: මෙය අනුසයකි, සිතයට ඇති කෙලෙසකි, අරහත්වය ලැබීමෙන් මෙය කෙලවරවේ. බලන්න: අනුසය.

▲ මනාප දාන-Ofeering things which one likes: බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“මන වඩන දේ දෙනවිට මන වඩන දෙයක් ලැබේ. තමන්හට මනාප-කැමති දේ දීමෙන්, තමන් මානප කරන දේ ලැබේ. යමෙක් උතුමන්ට (අරියන්හට), ආදර ගරු සම්පන්නව, වස්ත්‍ර...ආහාර පාන... ආදීවූ ත්‍යාගයට දුෂ්කර දේ පිරිනමයිද, ඒ සත්පුරුෂයා මන වඩන දේ ලබයි...අග්‍රවූ දෙය දෙනවිට පෙරළා අග්‍ර සුවය ලැබේ...ශ්‍රේෂ්ඨ දේ දෙන්නා ශ්‍රේෂ්ඨවූ ස්වර්ගස්ථානයට පැමිණේ...ඔහුට දීර්ඝ ආයුෂ ද යසස්ද ඇතිවේ”. සටහන්: * මේ සූත්‍රය දේශනා කිරීමට හේතුව, බුදුන් වහන්සේගේ අග්‍රතම ගිහි උපාසකයෙක් වූ විසල්පුර උග්‍ග ගහපති විසින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාහට මනාපවු අග්‍ර දානයක් පිරිනැමීම පිලිබඳවය. මියගිය පසුව, ඔහු සුද්ධාවාසයක දෙවියෙක්ව, බුදුන් වහන්සේ බැහැදැකීමට පැමිණ ඇත. බලන්න: උපග්‍රන්ථය:3 මූලාශ්‍රය:අංගු.නි: (3) 5 නිපාත:5.1.5.4 මනාපාදායි සූත්‍රය, පි.98.

▲ මනාප හැසිරීම- pleasing qualities: මනාප හැසිරීම: අන්‍යයන් හා සුහදව, ඔවුන්ට ප්‍රිය ඇතිවෙන පරිදි යහපත් ලෙසින් හැසිරීමය. එබඳු හැසිරීම ඇති පුද්ගලයාට, සෙසු අය ගරු කරති, ඔහුට කැමතිවේ. මනාප හැසිරීම නොමැති විට අන්‍යයන් ගරු නොකරති, ඔහු කෙරේ ප්‍රිය බව නැත. බලන්න: අංගු.නි: (5) 8 නිපාත:පිය සූත්‍රය.

▲මානවගාමිය දේවපුත්‍රයෝ -Manawagamiya Devaputhra: අන්‍ය දේවපුත්ත පිරිසක්, අන්‍යආගමික නායකයන් වර්ණානා කරන අවස්ථාවේදී, මේ දේව පිරිස බුදුන් වහන්සේගේ උතුම්බව පෙන්වා ඇත. බලන්න: නානාතිත්ථිය. මූලාශ්‍ර: සංයු.නි: (1) :සගාථවග්ග: දේවතා සංයුත්ත: 2.3.10 නානාතිත්ථිය සාවක සූත්‍රය, පි.152, ESN: 2: devaputtasamyutta: 30.10 Various sectarians, p. 210.

▲මානසික සුඛය- Mental pleasure: කායික සුඛයට වඩා මානසික සුඛය අග්‍රය. මානසික සුඛය සමාධියට උපකාරිවේ. බලන්න: සුඛ

▲මානසික ශක්තිය- Mental energy: ආධ්‍යාත්මික මග වඩාගැනීම පිණිස මානසික ශක්තිය- විරිය අවශ්‍යවේ. බලන්න:ශක්තිය.

▲ මනෝ උපවිචාර: පාලි: මනොපවිචාරා- Mental exploration: යම් දෙයක් පිළිබඳව සිතෙන් පරීක්ෂාකර බැලීම මනෝ උපවිචාරය වේ. ධර්මයට අනුව මනෝ උපවිචාර ලෙසින් පෙන්වා ඇත්තේ සළායතන මගින් අල්වාගන්නා බාහිර අරමුණු පිලිබඳ ඇතිවන සොම්නස, දොම්නස හා උපේක්ඛාව (වේදනා) පිළිබද විපරම් කිරීමය. සටහන: අටුවාවට අනුව මනෝ උපවිචාර විතක්ක හා විචාර කිරීමය (The mind’s examination of the eighteen cases, using the ‘feet’ of thought and examination (vitakkavicārapādehi). බලන්න: EAN :note: 436, p. 602. ශබ්දකෝෂ: BD: p. 183: ‘manopavicara: mental indulging: 18 ways of indulging’

▼ මනෝ උපවිචාර 18 කි (අටළොස් මනෝපවිචාර)- eighteen mental examinations: ඇස නිසා: 1) ඇසෙන් සතුට ඇතිකරණ (සෝමනස්ස) රූප දැක ඒවා ගැන මනසින් විමසාබැලීම 2) ඇසෙන් අසතුට ඇතිකරණ (දෝමනස්ස) රූප දැක ඒවා ගැන මනසින් විමසාබැලීම 3) ඇසෙන් උපේක්ෂාව ඇතිකරණ රූප දැක ඒවා ගැන මනසින් විමසාබැලීම. කණ නිසා: 4) කණෙන් සතුට ඇතිකරණ (සෝමනස්ස) ශබ්ද අසා ඒවා ගැන මනසින් විමසාබැලීම 5) කණෙන් අසතුට ඇතිකරණ (දෝමනස්ස) ශබ්ද අසා ඒවා ගැන මනසින් විමසාබැලීම 6) කණෙන් උපේක්ෂාව ඇතිකරණ ශබ්ද අසා ඒවා ගැන මනසින් විමසාබැලීම නාසය නිසා: 7) නාසයෙන් සතුට ඇතිකරණ (සෝමනස්ස) ගඳ-සුවඳ විඳ ඒවා ගැන මනසින් විමසාබැලීම 8) නාසයෙන් අසතුට ඇතිකරණ (දෝමනස්ස) ගඳ-සුවඳ විඳ ඒවා ගැන මනසින් විමසාබැලීම 9) නාසයෙන් උපේක්ෂාව ඇතිකරණ ගඳ-සුවඳ විඳ ඒවා ගැන මනසින් විමසාබැලීම දිව නිසා: 10) දිවෙන් සතුට ඇතිකරණ (සෝමනස්ස) රස විඳ ඒවා ගැන මනසින් විමසාබැලීම 11) දිවෙන් අසතුට ඇතිකරණ (දෝමනස්ස) රස විඳ ඒවා ගැන මනසින් විමසාබැලීම 12) දිවෙන් උපේක්ෂාව ඇතිකරණ රස විඳ ඒවා ගැන මනසින් විමසාබැලීම කය නිසා: 13) කයෙන් සතුට ඇතිකරණ (සෝමනස්ස) පහස විඳ ඒවා ගැන මනසින් විමසාබැලීම 14) කයෙන් අසතුට ඇතිකරණ (දෝමනස්ස) පහස විඳ ඒවා ගැන මනසින් විමසාබැලීම 15) කයෙන් උපේක්ෂාව ඇතිකරණ පහස විඳ ඒවා ගැන මනසින් විමසාබැලීම මනස නිසා: 16) මනසින් සතුට ඇතිකරණ (සෝමනස්ස) ධර්මකරුණු ගැන සිතා ඒවා ගැන විමසාබැලීම 17) මනසින් අසතුට ඇතිකරණ (දෝමනස්ස) ධර්මකරුණු ගැන සිතා ඒවා ගැන විමසාබැලීම 18) මනසින් උපේක්ෂාව ඇතිකරණ ධර්මකරුණු ගැන සිතා ඒවා ගැන විමසාබැලීම. සළායතන පිලිබඳ මනා අවබෝධය පිණිස, මනෝපවිචාර 18 මනාව දතයුතුය යි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: සළායතන. මූලාශ්‍ර: ම.නි: (3) 3.4.7 සළායතන විභඬග සූත්‍රය, පි. 474, EMN: 137- Saḷāyatanavibhanga Sutta- The Exposition of the Six fold Base, p. 974.

▼ මනෝ උපවිචාර පිලිබඳ බුදුන් වහන්සේ පෙන්වා ඇති දහම් කරුණු සත්‍ය වේ: මනෝ උපවිචාර 18 පිළිබඳ බුද්ධ දේශනාව අසත්‍යයයි ඔප්පූ කළනොහැකිය, කෙලෙසන්නට නොහැකිය, නින්දාකිරීමට නොහැකිය, විශෝධනයකිරීමට - ඉවත්කිරීමට නොහැකියයි බුදුන් වහන්සේ වදාළහ, බලන්න: ධර්මයේ සද්භාවය. මූලාශ්‍ර: අංගු.නි: (1) 3 නිපාතය: මහාවග්ග: 3.2.2.1 සූත්‍රය, පි. 348, EAN:3: The Great Chapter, 61.1 Sectarian, p.104.

▲ මනෝකම්ම- mental actions: මනසින් සිදුකරන යහපත් හෝ අයහපත් ක්‍රියා මනෝ කම්මවේ. බලන්න: කර්ම, කුසල හා අකුසල.

▲මනෝමය කය-Mind-made body: ඉද්දිබල වඩා ගැනීම මගින්, මනෝමය කය ඇතිකරගත හැකිය, මෙය අෂ්ටවිද්‍යා ඥානයන්ගෙන් එකකි. බලන්න: අෂ්ටවිද්‍යා ඥාන, ඉද්දිබල.

▲ මනෝමය දේවනිකාය-Mind-made Deva group: මනෝමය දේවනිකාය ලෙසින් පෙන්වා ඇත්තේ කබලිංකාර ආහාරගන්නා දේවලෝක ඉක්මවා ඇති ශුද්ධාවාසයකි. බලන්න: දේවලෝක. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ: මේ සසුනේ ශිලසම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥාසම්පන්න මහණ සංඥාවේදිත නිරෝධ සමාපත්තිය ලබා ඉන් නැගිසිටිමට සමත්බවය. ඒ මහණ, මේ භවයේදී අරහත්වයට නොලැබුවේ නම්, මනෝමය දේවකාය දෙවියන් අතර පහළවන බවය. සටහන: මේ දෙවියන්ගේ උතුම් ගුණ සිහිකිරීම අනුසති භාවනාවකි. බලන්න: භාවනා. මූලාශ්‍ර:අංගු.නි: (3) 5 නිපාත: 5.4.2.6 නිරෝධසූත්‍රය, පි. 334, EAN:5:166.6 Cessation, p.290.

▲ මනෝ නිවාරණය-Restraint the mind: මනෝ නිවාරණය ලෙසින් පෙන්වා ඇත්තේ සිත සංවර කරගැනීමය. එසේ කරගැනීමට, දුක නැතිකර ගැනීමට, සියලු දෙයින්ම සිත වළකා ගත යුතුද? යයි එක් දේවතාවක් බුදුන් වහන්සේ ගෙන් විමසුහ.බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“ සැමදෙයකින්ම සිත වළකා ගතයුතු නැත,යමකින් අකුසල ඇතිවන්නේ නම් ඒ දෙයින් සිත වළකා ගත යුතුවේ”. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග:දේවතාසංයුත්ත:1.3.4 මනෝ නිවාරණ සූත්‍රය, පි.52.

▲ මනෝ සංඛාර-Manosankhara: මනෝ සංඛාර: චිත්ත සංඛාර ලෙසින්ද පෙන්වා ඇත. සංඛාර-චේතනා පහළ කරන තුන් ආකරයෙන් (කාය, වචී, මනෝ) එක් ආකාරයකි. යහපත් සිතුවිලි, යහපත් කායික, වාචික ක්‍රියාවන්ට මුල්වේ. එමගින් ඇතිකරගන්නා යහපත් කර්ම විපාක, පරලොව සුවය පිණිසය. අයහපත් මනෝ සංඛාර, අයහපත් අයහපත් විපාක ගෙනදේ. බලන්න: සංඛාර, කර්ම, මනෝ උපවිචාර.

▲මනෝසංචේතනා ආහාර -mental volition: මෙය සිව් ආහාර- පෝෂණයන්ගෙන් එකකි. බලන්න:ආහාර.

▲ මනෝ සංවරය-Mano sanvaraya: මනෝ සංවරය යනු සිත යහපත් ලෙසින් සංවර කරගැනීමය, ආධ්‍යාත්මික වර්ධනය පිණිස අවශ්‍යතාවයකි. බලන්න: ම.නි: (3) ඉන්ද්‍රියභාවනා සූත්‍රය, ඉන්ද්‍රිය සංවරය.

▲මනෝ සුචරිතය හා මනෝ දුශ්චරිතය-Mental Good condut & Miscondut: මනසින් කරන යහපත් ක්‍රියා මනෝසුචරිතයවේ. අයහපත් ක්‍රියා මනෝදුශ්චරිතයවේ. බලන්න: සුචරිතක්‍රියා හා දුශ්චරිත ක්‍රියා.

▲මිනිසත්බව-Humanhood: මිනිසත්බව යනු මනුෂ්‍ය ලෝකයේ උපත ලැබීමය. මිනිසත් බව ලැබීම දුර්ලභ දෙයකි. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, මහා පොළවේ ඇති පස් ප්‍රමාණය මහත් බවත්, නිය අග ඇති පස් පිඩ ඉතාමත් සුළු බවය. එලෙසින්, යම් සත්වයෙක්, මිනිසත්බව ලබයි නම් ඒ ඉතා අල්පය. එහෙත්, අන් සත්වයන් අතර ඉපදෙන අය මහා පොලව මෙන අධිකය. එයට හෙතුව චතුසත්‍ය අවබෝධ නොකිරීම ය යි බුදුන් වහන්සේ වදාළහ. සටහන්: * විස්තර පිණිස බලන්න: සංයු.නි: (5-2) මහාවග්ග:සච්චසංයුත්ත:පඤචගතිපෙයියාල වග්ග: මනුස්ස චුති සූත්‍ර. ** සංයු.නි: (2) ඔපම්මසංයුත්ත:8.1.2. නඛසිඛා සූත්‍රයේදී බුදුන් වහන්සේ වදාළේ, මිනිසත් බව ලබන සත්වයන් අල්පබවය, එමනිසා අප්‍රමාදව, හික්මිය යුතුබවය. මූලාශ්‍රය: සංයු.නි: (5-1) මහාවග්ග: සච්චසංයුත්ත :ආමකධඤඤපෙයියාල වග්ග: 12.7.1 අඤඤත්‍ර සූත්‍රය, පි.356.

▲ මිනිස් ආයුෂ-Human lifespan: මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ මිනිස් ආයුෂ කලින්කලට වෙනස්වියන අන්දමය:1) කකුසඳ බුදුන් සමයේ , මගධයේ මිනිසුන් තිවර ලෙසින් හැඳින්විය, ඔවුන්ගේ ආයුෂ වසර 40,000 කි 2) කොනාගමන බුදුන් සමයේ මගධයේ මිනිසුන් රෝහිතස්ස ලෙසින් හැඳින්විය, ඔවුන්ගේ ආයුෂ වසර 30,000 කි 3) කාශ්‍යප බුදුන් සමයේ, මගධයේ මිනිසුන් සුප්පිය ලෙසින් හැඳින්විය, ඔවුන්ගේ ආයුෂ වසර 20,000 කි 4) ගොතම බුදුන් වැඩවසන සමයේ මගධයේ මිනිසුන් මාගධක ලෙසින් හැඳින්විය, ඔවුන්ගේ ආයුෂ මදය, වසර 100-120 කි. බලන්න: වෙපුල්ල පර්වතය. මූලාශ්‍රය:සංයු.නි: (2): නිදානවග්ග:අන්මතග්ග සංයුත්ත: දුග්ගතවග්ග: 3.2.10 වෙපුල්ල පබ්බත සූත්‍රය, පි.314.

▲මිනිස් ජීවිතය-Life of human: මිනිස් ජීවිතය අල්පය, දිගු කලක් ජිවත්වුවත්, ඒකාන්තයෙන්ම වයසටපත්වී- ජරාවට, මිය ඇදේ.බලන්න: ජරාව, මරණය.

▲මුන්ඩ රජ-King Muṇḍa: බලන්න: උපග්‍රන්ථය:3

මණ

▲මණ්ඩ-Manda: මණ්ඩ යනු ප්‍රසන්න බවය, මිහිරි බවය. ශාස්තෘන් වහන්සේ (බුදුන් වහන්සේ) හමුවූ කල්හි ත්‍රිවිධ මණ්ඩ ඇතිවේ (ත්‍රිවිධ රස පාන) :1) දේශනා මණ්ඩය- සතර ආරිය සත්‍ය, බෝධිපාක්‍ය ධර්ම, ආරිය අටමග: කියාදීම, දැක්වීම, පැනවීම, නුවණ හමුවේ තැබීම, විවෘතකිරීම, විභාග කිරීම, ප්‍රකට කිරීම. 2) ප්‍රතිගහ මණ්ඩය :මහණ, මෙහෙණ, උවසුවෝ, උවැසියෝ, දෙවියෝ, මිනිස්සු ආදිය. 3) බ්‍රහ්මචාර්ය මණ්ඩය. ආරිය අටමගය. මූලාශ්‍රය:ඛු.නි:පටිසම්භිදා 1:මහාවග්ග: 10: මණ්ඩපකථා,පි.536.

▲ මණිකා- චින්තාමණි-Manika chinthamanai : ‘මණිකා- චින්තාමණි’ නම් විද්‍යාව පුරුදු පුහුණු කළ කෙනෙකුට ද අනුන්ගේ සිත් දැනගත හැකිය. බලන්න: ප්‍රාතිහාර්ය.

▲මණිචූලක ගාමිණී- Maṇicūḷaka the headman: බලන්න: උපග්‍රන්ථය:3

▲ මණිභද්ද යක්ඛ-Yakka Manibaddha: මණිභද්ද යක්ඛ ගේ භවනයවූ, මණිමාලක චේතියෙහි (මගධයේ) බුදුන් වහන්සේ වැඩ වසන සමයේ, ඒ යක්ඛ, බුදුන් වහන්සේ සමග, සිහිය ඇතිව වාසය කිරීම පිලිබඳ වූ සංවාදය මේ සූත්‍ර යේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: යක්ඛසංයුත්ත:10.1.4 මණිභද්ද සූත්‍රය,පි.396.

▲මුණි-Muni: මුණි (මෞනෙය) යනු බුදුන් වහන්සේ හඳුන්වන පදයකි. මුණිවරු සියලු ආසව පහකර, ත්‍රිවිධ සමාචාරය (කාය වචී හා මනෝ පිරිසුදුබව) ඇතිව වැඩසිටිති . සෝදා හළ පව් ඇති ඒ රහතුන් “ආර්යයෝ” යයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 3.2.8 මෞනෙය සූත්‍රය, පි. 422.

▼මුණිගුණ: “යමෙක් උපන් කෙළෙස් නසා, මතු උපදින කෙළෙස් නුපදවාද...ලෝකයාගේ අර්ථය පිණිස හැසිරෙන ඔහු ශ්‍රෙෂ්ඨ මුණිවරයෙක් යයි බුදුවරු පවසති...” සටහන:මේ සූත්‍රයේ මුණිවරුන්ගේ ගුණ විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍රය:ඛු.නි:සුත්තනිපාත: උරගවග්ග:මුනිසූත්‍රය,පි.82.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “නන්ද (මානවක), මේ සසුනේ ස්කන්ධආදියේ දක්ෂයෝ දිට්ඨියෙන්, ඇසීමෙන් (ශ්‍රැතියෙන්) ඥානයෙන මුණි යයි නොකියති. කෙනෙක් සියලු කෙළෙස් නසා රාග ආදී ව්‍යාසන රහිතව නිරාශව (ආසව නොමැතිව) හැසිරෙන්නේ නම් ඔහු ‘මුණි’ ය යි මම කියමි”. සටහන: මේ සූත්‍රය දේශනා කර ඇත්තේ නන්ද මානවකටය. මූලාශ්‍රය: ඛු.නි. සුත්ත නිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-7 නන්දමානවක, පි.350.

▼ කාම, භව ආදියේ නොඇලුන, පලිබෝධ නැති උතුමා මුණිය. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-9 තොදෙය්යමානවක, පි.354

▲ මුණ්ඩසාවක -shaven-headed: මොහු, බුදුන් වහන්සේ වැඩසිටි සමයේවිසු අන්‍යආගමික නායකයෙකි. බලන්න: අන්‍යආගමික.

▲ මුණි ධජය- The seers’ banner : බුදුන් වහන්සේ මුණි ධජය ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මය යහපත් ලෙසින් කථා කිරීමය, එනම් මුණි ධජය ලෙලවීමය. පණ්ඩිතයා ගැන බාලයෝ නොදනී, එහෙත් ඔහු නිවන දක්වමින් ධර්මය පහදා දෙනවිට ඔහු, පණ්ඩිතයෙක් බව ඔවුන් දැනගනි. පණ්ඩිතයෝ ධර්මය කතා කලයුතුය, පහදා දිය යුතුය. මුණිවරයාගේ (බුදුන් වහන්සේගේ) ධර්ම ධජය නම් යහපත් ලෙසින් ධර්මය පහදාදීමය. සටහන: විශාඛ පංචාලිපුත්ත තෙරුන් යහපත් ලෙසින් ධර්මය දේශනාකර, ධර්ම ධජය ලෙලෙවන පණ්ඩිතයෙක් යයි බුදුන් වහන්සේ පැසසුම් කර ඇත. මූලාශ්‍ර: අංගු.නි: (2) 4 නිපාත: 4.1.5.8 විශාඛ සූත්‍රය, පි.122, EAN: 4: 48.8 Visākha, p. 167, සංයු.නි: (2) නිදානවග්ග: භික්ඛුසංයුත්ත: 9.1.7 විශාඛ පංචාලිපුත්ත සූත්‍රය, පි. 453, ESN: 21: Bhikkhusamyutta: 7: Visākha, p. 928.

මම

▲මමංකාරය-Mamankaraya: තණ්හාව, මානය, දිට්ඨිය ඇතිව, පංච උපාදානස්කන්ධය, මමය, මගේය, මගේ ආත්මය යයි අල්වාගැනීම මමංකාරයය. බලන්න: පංචඋපාදානස්කන්ධය.

මය

▲ මායාව- deceitful: මායාව -අනුන් රැවටීමය, අකුසලයකි, අවිද්‍යාව නිසා මායාව ඇතිවේ. බලන්න :සල්ලේඛ පරියාය.

▼මායාව ඇතිඅය,මරණින් මතු දුගතියේ-නිරයේ යළි උපතට පත්වෙන බව මේ සූත්‍රයේ විස්තර කර ඇත. බලන්න: සංයු.නි: (4) සළායතනවග්ග: ගාමිණී සංයුත්ත:8.1.13 පාටලිය සූත්‍රය.

▲මියගිය ඥාතින්-Dead relatives: දීර්ඝ සංසාරයේ කෙනෙක්ගේ, මිය ගිය ඥාතින්, ප්‍රේත ලෝකයේ උපත ලබා නැතය යන්න කිව නොහැකිය. ඔවුන්, පිං ලබාගැනීමට බලාසිටින නිසා ඔවුන්ට පින් අනුමෝදන් කිරීම සුදුසුය. බලන්න:ඛු.නි: ඛුද්ධකපාඨ: තිරෝකුඩ්ඩ සූත්‍රය, මළවුන් අනුස්මරණය.

මර

▲ මරණය: පාලි:මරණං-death: මරණය යනු ජිවිත ආයුෂ අවසන්වීමය. උපන් සෑම සත්ත්‍වයෙක්ම මරණයට පත්වීම ස්වභාවිකය. පටිච්චසමුප්පාදය විස්තර කළ බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ මරණයට පත්වීමට හේතුව ජාතිය- උපතක් ඇතිවීම බවය. බලන්න: ජාති ජරා හා මරණ, පටිච්චසමුප්පාදය.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “...සියලු සත්ත්‍වයෝ මරණය ස්වභාව කොට ඇත්තාහ. මරණය කෙළෙවර කොට ඇත්තාහ. මරණය නො ඉක්මවූවෝය”. සටහන: ඒ පිලිබඳ දැක්වූ උපමාව: අමු හෝ පුළුස්සන ලද හෝ මැටිබඳුන්, සියල්ල බිඳීමේ ස්වභාවය කොට ඇත. එලෙස සියලු සත්වයෝ මරණය ස්වභාව කොටඇත. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග:කෝසලසංයුත්ත: 3.3.2 අය්‍යකා සූත්‍රය, පි. 202, ESN:3 Kosala samyutta: 22.2 Grandmother, p. 254.

▼සියලු ධර්මතා මැරෙනසුළුය. “...කවර සියල්ලක්ද? “ඇස, රූපය,චක්ඛු විඥානය, චක්ඛුසම්ඵස්සය,ඒම නිසා හටගන්නා වේදනාව (සුව, දුක, මධ්‍යස්ථ) සියල්ල මැරෙනසුළුය...”. සටහන: එලෙස සෙසු ධර්මතා: කණ, ශබ්දය, සෝත විඥානය... මැරෙනසුළුය. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග: වේදනාසංයුත්ත:ජතිධම්මවග්ග:1.4.4. මරණධම්ම සූත්‍රය, පි.83.

▼වෙනත් මූලාශ්‍ර:1. “මරණය තමන් ඉදිරියේ සිටින බව දැනෙනවිට සිත පිහිටා ගන්නා විදිය: තමන් දරුණු අසනීපයකින්, හෝ මරනාසන්නව සිටිනවිට සිත මනාව පිහිටුවා ගැනීම මගින් යහපත් ලෙසින් මියයෑමට, මතු භාවය යහපත් වීමට උපකාරවේ”.

“ වේදනාවෙන් කය පෙලෙනවා - එත්, සිත පෙලෙන්නේ නැ මේ කය කැඩිලා යාවි - මේ සිතද නැතිවියාවි මේ හැම වෙනස්වෙනවා- කිසිදෙයක් මම නොවේ වේදනා විඳින කෙනෙක් මෙහි නැහැ

මියයන කෙනෙක් මෙහි නැහැ ඇත්තේ මේ පස්කඳ පමණයි… ඉපදෙනවිට ගෙන ආවේ නැහැ කිසි දෙයක් යනවිට ගෙනයන්නේ නැ කිසිදෙයක්.:Discourses in Brief by Somdet Phra Wanrut-Tup Buddhasiri: Wide Angle.

▲ මරණ බිය- Fear of the death: මරණ බිය ලෝකයාට ඇති පස්බිය වලින් එකකි. ධර්මමාර්ගයේ ගමන් කරනවිට සිදුවිය හැකි උවදුරු නිසා ඕනෑම අවස්ථාවක මරණයට පත්විය හැකිය. මාර්ගය සාක්ෂාත් නොකරගෙන මරණයට පත්වීම භයානකය. එම කරුණු සිහිකර, විරිය ඇතිකර මාර්ගය වඩා ගත යුතුය. මරණ බිය දකින මිනිසා නිවන ලබාගැනීමට කටයුතු කලයුතුය යි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: පස්බිය, අනාගතභය, ජාතිය ජරාව හා මරණය.

▲ මරණ සංඥාව- perception of death: මරණ සංඥාව, ආසවක්‍ෂය කරගැනීමට උපකාරීවන පංචධර්මයන්ගෙන් එකකි. ගිලන් මහණ, මරණ සංඥාව වඩන්නේ නම් එය ඔහුට පහසු විහරනයක්වේ.: මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: ගිලානවග්ග:5.3.3.1 ගිලානසූත්‍රය, පි.254.

▲ මරණසතිය- Reflection of Death: මරණසතිය- මරණානුසතිය, යනු තමාගේ මරණය පිළිබඳව සිහිය පවත්වා ගැනීමය, භාවනවකි, නිවන දක්වාම මග දියුණුකර ගැනීමට උපකාරිවේ. බලන්න: භාවනා.

▼බොජ්ඣංග ධර්ම ඇසුරු කර මරණසතිය වැඩිම, මහත් පහසු විහරණය පිණිස පවතී. මූලාශ්‍ර: සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංග සංයුත්ත:නිරෝධවග්ග:මරණසති සූත්‍ර, පි.273.

▼මරණ සතිය වැඩිමට උපකාර වන වටිනා උපදෙස්: 1. මිනිස් ජීවිතය අල්පය, සුළුය, කෙටිය, බොහෝ දුක්, කරදර වලින් යුක්තය. ඒ නිසා ප්‍රඥාවෙන් කුසල් කලයුතුය, බඹසර හැසිරිය යුතුය, උපන්කෙනෙකුට නොමැරී සිටිය නොහැකිය 2) තණ අග ඇති පිනිබින්දුව, හිරු උදාවූවිගස නැතිවී යන ලෙසින් මිනිස් දිවිය වහා නැතිවේ 3) වැසි වටින විට ඇතිවන දිය බුබුළු ඇතිවූ සැනෙන් නැතිවී යන ලෙසින් මිනිස් දිවිය වහා නැතිවේ 4) දිය මතුපිට ඉරක් ඇන්දද, ඒ ඉර වහා මැකී යන්නා සේ මිනිස් දිවිය වහා නැතිවේ 5) සැඩ වතුර පහරක් අසුවන සැම දේම රැගෙන වහා ගලා යන ලෙසින් මිනිස් දිවිය වහා නැතිවේ 6) දිව අග ඇති කෙළ පිඬක් වහා බිමට දමන ලෙසින් මිනිස් දිවිය වහා නැතිවේ 7) රත්වූ යකඩ කබලකට දමන ලද මස් පිඩක් වහා දැවී යන ලෙසින් මිනිස් දිවිය වහා නැතිවේ 8) වධක භුමියට ගෙනයන එළදෙනක්, තබන පියවරක් පාසා මරණයට ළඟාවේ, එලෙස මිනිස් ජිවිතයද වහ වහා මරනය වෙතට පිය නගයි. මෙලෙස මරණ සතිය වඩන්නේ නම්, ත්‍රි ලක්ෂණය- අනිච්ච, දුක්ඛ, අනාත්ම බව ඉතා ඉක්මනින් අවබෝධ කල හැකිවේ: “දිවි කතර් සැඳා අඳුර”:කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු, පහන්කනුව ධර්ම දේශනා.

2. “උපතත් සමග සැමකල්හිම මරණය එනවා”: දිය සුලිය: කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු, පහන්කනුව ධර්ම දේශනා.

▲මරණාසන්න - At the time of death: බෞද්ධයෙක් මරණාසන්න මොහොතේදී ධර්මය ඇසීම අවර්ජනා කිරීම යහපත් මරණයකට හේතුවන බව බොහෝ සුත්‍ර දේශනා වල දක්වා ඇත. අනාථපිණ්ඩික සිටු, දීඝායු උපාසක, ධනංජානි බ්‍රාහ්මණ, ඵග්ගුන තෙර ආදී උතුම් සංඝයා අවසාන මොහොතේ ධර්මය ශ්‍රවනය කර උතුම් මග ඵල ලැබුහ. මරණාසන්න මොහොතේ ධර්මය යහපත් ලෙසින් ඇසීමට ලැබීම ඵල දායි බව බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත. උතුමෙක් වෙතින් ධර්මය ඇසීමෙන්, සිත සතුටට පත්ව යහපත් මරණයක් ලබාගත හැකිවේ, මාර්ගඵල පවා සාක්ෂාත්කර ගැනීමට හැකිවේ. ධර්මයශ්‍රවනය කිරීමට අවස්ථාව නො ලැබේ නම්, තමන් ඇසු, පුරුදු පුහුණු කල දහම සිතින් අවර්ජනා කරමින්, සිත ප්‍රබෝධමත් කරගැනීමෙන් ද යහපත් මරණයක් ලබාගත හැකිවේ, මාර්ගඵල පවා සාක්ෂාත්කර ගැනීමට හැකිවේ. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: මහාවග්ග: 6.2.1.2 ඵග්ගුන සූත්‍රය, පි.178.

▼ මරණාසන්න සෝතාපන්න පුද්ගලයෙක් සිව්දහමින් අස්වැසිය යුතුය යයි බුදුන් වහන්සේ වදාළහ. ත්‍රිවිධ රත්නය ගැන ඇති අචල ප්‍රසාදය, ආරිය කාන්ත ශිලය. අනතුරුව ඔහුගේ සිත ක්‍රමයෙන්, දේවලෝක, බ්‍රහ්ම ලෝක යන්හි පිහිටුවා ගැනීමට කරුණු පහදා දිය යුතුය. අවසානයේ, සත්කාය නිරෝධය කෙරහි සිත පිහිටුවාගෙන දුකින් මුදවාලීමට කටයුතු කලයුතුවේ.

මූලාශ්‍රය: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපත්තිසංයුත්ත: 11.6.4 ගිලාන සූත්‍රය, පි. 270.

▲ මාරයා -māra- Evil-one: ලෝක සත්ත්‍වයෝ කාමයට, වරදට පොළඹවන්නේ, සසරගමන දිගු කරන්නේ මාරයා විසින්ය. මාරායා, පෘථග්ජනයා බැඳ තබන කෙළෙස් බැම්ම - පංච කාමබන්ධන: මාරබන්ධනය, මාරපාශය ලෙසින් හඳුන්වයි. මාරයා පරාජය කර සම්බුද්ධත්වය ලැබූ නිසා බුදුන්වහන්සේ ‘මාරජ- මාරභඤජන’ ලෙසින් හඳුන්වයි. සම්ප්‍රදායට අනුව :මාරයා කාමදේවලෝක හයේ, ඉහළම දේවලෝකයවූ පරනිර්මිත වසවර්තියේ වාසය කරයි. සටහන්: * මාරයා පිලිබඳ විස්තර පිණිස බලන්න: සංයු.නි: (1) සගාථවග්ග: මාරසංයුත්ත සූත්‍ර. ** මාරයාගේ ස්වභාවය පස් ආකාරය( පංචමාරයා)1) දේවපුත්‍ර මාර- දෙවියෙක් ලෙසින් 2) කෙළේශමාර -කෙළෙස්වලට අධිපති 3) ස්කන්ධමාර- පංචඋපාදානස්කන්ධයට අධිපති 4) කම්මමාර- කර්මසකස්කිරීමට පොළඹවන 5) මාර මාර- මරණය ලෙසින්.** මාරයා හඳුන්වන නම්: පාපීමාර (Māra the Evil One), පමත්තබන්ධු- ප්‍රමාදයේ ඥාතියා (kinsman of the negligent) , නමුචි. ** මාරවිෂය (මච‍්චුධෙය්‍ය - Realm of Māra): මාරයාගේ ආදිපත්‍ය-බලයට යටවීම-කෙළෙස්වලට යටවීමය ** මාරවසඟය-yoke of Death: මාරයාගේ වසඟයට-මායාවට හසුවූ අය යළි උපත ලබමින් සසර සැරිසරයි. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.423: ‘මාර: වසවත්තිමාරයා- පංචමාර’. B.D : p. 184: ‘Māra: is the Buddhist ‘Tempter’, the opponent of liberation. He appears in the texts both as a real person-as a deity and as personification of evil and passions, of the totality of worldly existence and of death’ .

▼ සමිද්ධි තෙරුන්, මාරයා යනු කවරෙක්ද? යයි බුදුන් වහන්සේගෙන් ඇසුහ. බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“සමිද්ධි, යම්තැනක ඇස තිබේද, ඇසෙන් අල්ලා ගන්නා රූප තිබේද, එනිසා ඇතිවන චක්ඛු විඥානය තිබේද, චක්ඛු විඥානයෙන් දන්නා දේ තිබේද , එතන මාර හෝ මාරයාගේ පැනවීමක් වේ”

“...සමිද්ධි, යම් තැනක ඇස නො තිබේද, ඇසෙන් අල්ලා ගන්නා රූප නො තිබේද, එනිසා ඇතිවන චක්ඛු විඥානය නො තිබේද, චක්ඛු විඥානයෙන් දන්නා දේ නො තිබේද , එතන මාර හෝ මාරයාගේ පැනවීමක් නැත”. සටහන: එලෙස සෙසු සලායතන ගැනද , පෙරකී ලෙසින් දත යුතුය:කණ, ශබ්ද, සෝත විඥානය, සෝත විඥානයෙන් දන්නා දේ නාසය, ගඳ, ඝාන විඥානය , ඝාන විඥානයෙන් දන්නා දේ දිව, රස, ජිව්හා විඥානය , ජිව්හා විඥානයෙන් දන්නා දේ කය, පහස, කාය විඥානය , කය විඥානයෙන් දන්නා දේ මනස, සිතුවිලි මනෝ විඥානය , මනෝ විඥානයෙන් දන්නා දේ ආදී වශයෙන්. මූලාශ්‍ර: සංයු.නි: (4) සළායතනසංයුත්ත: සමිද්ධි මාර පඤ්හ සූත්‍රය, පි.112, ESN: 35: Salayathana- samyutta: 65.3 Samiddhi, p. 1238.

▲ මාරආධිපත්‍යය- Mara’s Control: ආධිපත්‍යකරන අය අතුරින්- මිනිසුන් පාලනය කරන අය අතුරින් මාරයා ප්‍රමුඛ තැන ගනී. (Māra is the foremost of rulers).

මූලාශ්‍ර: අංගු.නි: (2) 4 නිපාතය: 4.1.2.5. අගගපඤ්ඤාතති සූත්‍රය, පි.56, EAN:4: 15.5. Proclamations, p. 153.

▼සෑම කල්හිම සතියඇතිව (ස්මෘතිමත්ව) සක්කාය දිට්ඨිය දුරුකොට, ලෝකය ශුන්‍ය යයි බලන විට මාරආධිපත්‍යයට යට නොවේ. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-15 මෝඝරාජමානවක, පි.364.

▲මාර තර්ජන- Threats of Mara: බුදුන් වහන්සේ චාරිකාව පිණිස උරුවෙල දනව්වට වඩින අවස්ථාවේ මාරයා පැමිණ මෙසේ පැවසුහ: “ශ්‍රමනය, මාගේ විෂයෙන් නො මිදෙන්නෙහිය”. බුදුන්වහන්සේ මෙසේ වදාළහ: “දෙවියන් හෝ මිනිසුන් බඳනා යම් කෙලෙස් මලපුඩු ඇද්ද, ඒ සියලු පාසයන් ගෙන් ... ඒ මහත් කෙලෙස් බැඳුමෙන් මිදුනෙහි වෙමි... සිත්කලුවු රූපයෝද ශබ්දයෝද ගන්ධයෝද ස්පර්ශයෝද යන මේ පස්කම් කෙරෙහි පැවති මගේ ආලය වෙසෙසින්ම පහව ගියේය. මාරය ඔබව විනාශ කලෙමි”. එකල්හි පවිටු මාරයා “භාග්‍යවතුන්වහන්සේ මා දන්නා සේක, සුගතයන් වහන්සේ මා දන්නා සේක” යයි දුක් සිත් ඇතිව නොසතුටින් නොපෙනී ගියේය. මූලාශ්‍රය: වින.පි: මහාවග්ග පාළිය 1, මාරකතා:පි. 121- 24.

▲මාරයාගේ දියණියෝ - Mara’s Daughters: මාරයාගේ දියණියෝ- තණ්හා, අරති හා රාගා (මාරධිතු) ය. සම්බෝධිය ලත් බුදුන් වහන්සේ පරාජය කිරීමට නොහැකිවූ මාරයා උකටිලිව සිටිනවා දැක, ඒ පිලිබඳ කරුණු දැනගත් මාර දියණියන්, බුදුන් වහන්සේ වසඟයට ගැනීමට තමන්හට හැකිය යි පවසා උන්වහන්සේ දැකීමට පැමිණියේය. බොහෝ මායාවන් දක්වා බුදුන් වහන්සේ වසඟයට ගැනීමට නොහැකිවූ ඔවුන් පුදුමයට පත්ව ඒ ගැන, බුදුන් වහන්සේ ගෙන ප්‍රශ්න විමසා ඇත. සටහන: අටුවාවට අනුව: වනයේ ඇතෙක් අල්වා ගැනීමට යොදාගන්නේ පුහුණු කළ ඇතින්නක්ය. එලෙස මාර දියණියන්ද තමන්ගේ ස්ත්‍රී මායා දක්වා බුදුන් වහන්සේ දමනය කරගැනීමට සිතුහ. බලන්න: ESN: note 323: p. 544.

1) තණ්හා ගේ විමසීම: “ සන්තාපය නිසා ද බවුන්දම් පුරන්නේ වනයේ-නැතිනම් ඔබගේ සම්පත් නැතිවීගිය දුකටද ? ගමේ වැරද්දක් කර වනයේ සැඟවී සිටිනවාද?- ජනයා හා මිතුරුවිමට කැමති නැද්ද?”

බුදුන් වහන්සේගේ පිළිතුර: “ සිත වශීකර සැප ගෙනෙදෙන- කෙළෙස් මාර සේනාව පැරදුවෙමි, හුදකලාව බවුන්වඩන විට- ප්‍රමෝදය ඇතිවී හදවත සංසුන්විය. උතුම් අරමුණ ඉටු කරගත් මට- ලෝකයා හා බැඳීම් කුමටද?”

2) අරතිගේ විමසීම: “පැවිදිකෙනෙක් ගේ විහරණය කෙසේද?- පස් ඕඝය තරණය කර, සය වැන්න දිණුවේද? හාත්පසින් එන කාම අරමුණු ඉවතලා -ඔහු, බවුන් වඩා ගන්නේ කෙසේද?” සටහන: පස්ඕඝය: පංච ඔරම්ගිය සංයෝජන හෝ පස්දොරින් සිදුවන කෙලෙස්, සය වැන්න උද්දම්භාගිය සංයෝජන හෝ මනසින් කරණ කෙලෙස්ය. බලන්න: ESN: note: 326, p. 544.

බුදුන් වහන්සේගේ පිළිතුර: “ සංසුන් කය ඇති, මිදුන සිත ඇති- සිහි ඇති ඒ මහණ, නොකරයි කම්විපාක. අනගාරිකව, දහම මැනවින් දැන- විතර්ක ඉවතලා බවුන්වඩයි මැනවින්. ඔහු නොකිපේ, රාගයෙන් නොකැළඹේ-මෝහය ඔහු වෙලාගෙන නැත. එලෙස විහරනයේ යෙදෙන ඔහු- පස් ඕඝය සිඳ, සයවැන්න දිනා ඇත. සංසුන්ව බවුන්වඩන ඔහුට- කාම සිතිවිලි නොකරයි ගැහැට.” සටහන: සංසුන් කය:(කායපස්සද්දිය-Tranquil in body): ජානසමාපත්තිය නිසා, මිදුනසිත: (සුවිමුත්තචිත්තො -mind well liberated) අරහත්වයට පත්වූ විට කර්මපාක නොකරයි : රහතුන් විපාක දෙන කර්ම රැස් නොකරයි .බලන්න: ESN: note: 327,p. 544.

3) රාගාගේ විමසීම: “ තණ්හාව බිඳ දමා, බහුජනයා දිනාගනීමින්- නිසැකවම, ඔහු බොහෝදෙනා එතර කරනු ඇත. අහෝ! බොහෝ ලෝක වැසියෝ උදුරාගෙන- ඔවුන් මරුගේ මුවින් මුදා හරිනු ඇත”

බුදුන් වහන්සේගේ පිළිතුර: “නිසැකයෙන්ම තථාගතයෝ මහා වීරයෝය-ඔවුන් සත් දහමින්, ජනයා එතර කරන්නෝය සම්මා දහම මග පෙන්වන කල- මොන ඉරිසියාවක්ද? දහම දත් අයට”

බුදුන් වහන්සේ වසඟයට ගැනීමට නොහැකිවූ මාර දියණියන් ආපසු එනවා දැක මාරයා මෙසේ පැවසුහ: “ නෙළුම් දණ්ඩෙන් පව්වක් බිදින්ට-නියපොතු වලින් ගලක් හාරන්ට,දතින් යවයක් සපන්නට- බාල ඔබ හැම ගත් වෑයම අමන දෙයකි, මහා මෝඩකමකි. මහා ගලක් හිසේ දරාගෙන-ගැඹුරු වගුරක පාතබනවිට, ඔබ එරියයි වගුරේ ළය මත්තට-එලෙස බාලව හැසිරෙමින්, ආපසු අවා මහා අසතුටකින්”

සූත්‍රය අවසානයේදී තෙරුන් මෙසේ පවසා ඇත: “තණ්හා රති රාගා මාර දූවරු- බබළවමින් තම රූ සපුව මැනවින් පැමිණියා අප බුදුන් දමනයට. මහා සුලං රැල්ලක් හමාඇවිත්-පුළුන් කැටියක් පාකර හරින ලෙසින් මහා මුණි, ඔවුන් ඉවතටම හැලුවා”. මූලාශ්‍ර: අංගු.නි: (6) 10 නිපාත :10.1.3.6.කාලී සුත්‍රය,පි. 114, EAN:10: The Great Chapter: 26.6 Kali, p. 502, සගාථවග්ග: මාරසංයුත්ත: 4.3.5.මාරධිතු සූත්‍රය, පි.252, ESN: 4 Marasamyutta: 25.5 Mara’s Daughters, p. 298.

▲ මාරයා හා බුද්ධ පරිනිර්වානය- Mara & the Parinibbaana of The Buddha: බුදුන් වහන්සේ විසාලාමහනුවර, චාපාල චෛත්‍යයේ වැඩවසන සමයේ එහි පැමිණි මාරයා භාග්‍යවතුන්වහන්සේට පිරිනිවන්පෑමට කාලය පැමිණ ඇතැයි පවසා ඇත. මූලාශ්‍ර: දීඝ.නි:3 මහාපරිනිර්වාණ සුත්‍රය, පි.126, EDN: 16: The Great Passing-The Buddha’s Last Days, p.171.

▲ මාර විෂය -the realm of Death: මාර විෂය යනු, සසරය, මාරයාගේ බලයට යටවූ පෙදෙස. මරුගේ වසඟය, මාරපයාස-මාරබන්ධනය ලෙසින්ද දක්වා ඇත.බලන්න: මච‍්චුධෙය්‍ය. සළායතන මගින් කාමය: ප්‍රිය රූප, ශබ්ද (ආදී බාහිර අරමුණු) ගැන කැමතිව, ආශාව ඇතිකර ගැනීම මරුගේ වසඟයට, බන්ධනයට යටවීම බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (4) සළායතනවග්ග:වේදනාසංයුත්ත: ලෝකකාමගුණ වග්ග: 1.1.21. මාරපාස සූත්‍රය, පි. 220, ESN: Vedanasamyutta: II: 114.1 Mara, p.1271.

▼කායගතා සතිය නොමැතිවිට, සිත දූෂිතවේ, ඒ අවස්ථාවදී පහසුවෙන්ම මාර වසඟයට පැමිණේ. බලන්න: අවස්සුතපරියාය. මූලාශ්‍ර:සංයු.නි: (4) සළායතනවග්ග: වේදනාසංයුත්ත:ආසිවිසිවග්ග: 1.19.6 අවස්සුත පරියාය සූත්‍රය, පි.380, ESN:35:Salayatanasamyutta:243.6 Exposition on the Corrupted, p.1319.

▲මාරයා වැලපීම- Weeping of the Mara: සත්වසක් බෝසතුන් වසඟයට ගැනීමට නොහැකිව, සම්බෝධිය ලැබූ බුදුන්වහන්සේ තමාගේ විෂයට පත්කරගැනීමට අසමත්වූ මාරයා මෙසේ පවසාඇත: ‘කකුළුවෙක්ගේ සියළු අඬු බිඳදමන ලෙසින්, සසරට බැඳ තබන මගේ පොළඹවාගැනීම්, උපායන්, ක්‍රමවිධි හැම ඔබ වහන්සේ කඩාදමා සුනුවිසුනු කරනලදී. බුද්ධත්වයට පැමිණි ඔබ වහන්සේ නැවත මගේ බැමිවලට හසුකර ගත නොහැකිය, ආවේශ කරගැනීමට නොහැකිය. තදගලක්, ආහාරයක් ය යි සිතා ඒ ගල කන්නට පැමිණි කපුටා, එසේ කල නොහැකිව පැරදි යන ලෙසට, මම ද බලාපොරොත්තු සුන්කරගෙන, දොම්නසින් ගෝතමයන් වහන්සේ වෙතින් පිටත් වෙමි...’ මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග:මාරසංයුත්ත: 4.3.4 සත්තවස්ස සූත්‍රය, පි. 248, ESN:4 Marasamyutta: 24.4 Seven Years of Pursuit, p. 295.

▲මාරයාගේ වසඟයට පැමිණීම- Coming under Mar’s influence පංචඋපාදානස්කන්ධයේ යථාබව නොදත් පුහුදුන් මිනිසා මරුගේ වසඟයට පැමිණ ඇත. මූලාශ්‍ර:සංයු.නි: (1) සගාථවග්ගදේවතාසංයුත්ත:.2.10: සමිද්ධි සුත්‍රය, පි. 44, ESN:1 Devatasamyutta: 20.10 Samiddhi, p. 79.

▼ කෙනෙක් මමය මාගේය යයි සිතන්නේ නම්, ක්‍රියාකරන්නේනම්, ඔවුන් තමාගේ ග්‍රහණයෙන් මිදෙන්නේ නැත යයි මාරයා පවසා ඇත. අමතමග - නිවන්මග මාරයාගේ විෂයට බැහැරය. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග:මාරසංයුත්ත: 4.3.4 සත්තවස්ස සූත්‍රය, පි. 248, ESN:4 Marasamyutta: 24.4 Seven Years of Pursuit, p. 295.

▼ රූප වේදනා ආදීවූ පංච උපාදානස්කන්ධයට ඇලීම, ‘මාරයා’ යයිද, ඒ ධර්මතා ‘මාරධම්ම’ යයි බුදුන් වහන්සේ වදාළහ. ඉන් ගැලවීම මාරයා ගෙන් මිදීමය. මේ සූත්‍ර දේශනා කරඇත්තේ රාධ තෙරුන්ටය. මූලාශ්‍ර: සංයු.නි: (3) ඛන්ධවග්ග:රධා සංයුත්ත: 2.2.1 හා 2.2.2 සූත්‍ර,පි.380, ESN: 23: Radhasamyutta: 11.1 & 12.2 suttas, p. 1122.

▲මාරසේනාව-Mara’s squadron: ධර්මමාර්ගය අහුරාදමන කෙළෙස්- මාර සේනාව- මාරයාගේ දසබල සේනාව ලෙසින්ද හඳුන්වයි.

▼බෝසතුන් නෙරංජනා නදිතිරයේ නිවන අරමුණුකොට සමාධිය වඩන අවස්ථාවේ මාරයා දසබල සේනාව සමග එහි පැමිණි බවත්, නිවනලැබීම දුෂ්කරබව පවසා පුණ්‍ය ක්‍රියා කරන්න යයි බුදුන් වහන්සේට පැවසුබව මේ සූත්‍රයේ දක්වා ඇත.

මාරයාගේ දස බල සේනාව: 1) කාමය-Sensual pleasures (කෙලෙස් කාම- Sense-Desires) 2) අරතිය -discontent (අධි කුසලයෙහි උදාසීනභව) 3) සාගින්න හා පිපාසය-Hunger & thirst 4) තණ්හාව - craving 5) ථිනමිද්ධය- dullness & drowsiness (කුසලයට මැලිවීම) 6) භියසුලුකම-cowardice 7) විචිකිච්චාව-doubt ( තෙරුවන් පිලිබඳ සැකය) 8) මකුබව හා තදබව -contempt & obstinacy (ගුණමකු බව හා මුරණ්ඩුකම ) 9) ලාභ සත්කාර හා ප්‍රසංශා- profit, praise & honor 10) තමාගේ ගුණ පෙන්වමින් අනුන් පහත් කිරීම- extolling of oneself & scorning others. බලන්න: “The Life of The Buddha” by Bhikkhu Nanamoli, p. 20. මූලාශ්‍ර : ඛු.නි: සූත්‍රනිපාත: 3-2 පධාන සූත්‍රය, පි.146, Suttanipata: Mhavagga: Padhanasutta: translated by Bhikkhu Sujato, Suttacentral.

▼ බඹසර වැස අවසන් කිරීම යනු මාර සේනාව ජය ගැනීමය: සුජාත තෙරුන් අරහත්වයට පත්වීම ගැන බුදුන්වහන්සේ මෙසේ වදාළහ: “මේ මහණ තෙමේ ඍජු සිතින්, කෙලෙසුන්ගෙන් මිදී, සංයෝජන වෙන්කර, උපාදාන රහිතව නිවීමට පත්වී මාර සේනාව දිනා අන්තිම ශරීරය දරයි” බලන්න: බ්‍රහ්මචරියාව. මූලාශ්‍ර : සංයු.නි: (1) සගාථවග්ග:භික්ඛූසංයුත්ත: 9.1.5: සුජාත සූත්‍රය, පි. 452, ESN: 21 Bhikkhu samytta: 5: Sujata, p. 926.

▲ මාරයා විඥාණය සෙවීම- Mara searching for consciousness: එක් සමයක් බුදුන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන් සමයේ, වක්කලී තෙරුන් ඉසිගිළි පව්වේදී අපවත්විය. බුදුන් වහන්සේ ඒ ස්ථානයට පැමිණ අහසේ එහෙ මෙහෙ අත යන කළු දුමක් පෙන්වා මෙසේ වදාළහ:

“මහණෙනි, ඔබට, පෙරදිගට… (ආදී දස දිසාවට) යන් අඳුරු දුම පෙනේද? … ඒ පවිටු මරුය, ඔහු, වක්කලී කුල පුතුන්ගේ විඥානය සොයයි...වක්කලී කුලපුත්‍ර, නොපිහිටි විඥානයෙන් පිරිනිවීගියේය” .බලන්න: වක්කලී තෙර. මූලාශ්‍ර : සංයු.නි: (3) ඛන්ධසංයුත්ත: ථෙරවග්ග: 1.2.4.5: වක්කලී සූත්‍රය, පි.234.

▲මාර්ගය-The Path ධර්මයේ, මාර්ගය (මග්ග) ලෙසින් පෙන්වා ඇත්තේ ආරිය අටමගය. එම මාර්ගය සම්පුර්ණ කිරීම බ්‍රහ්මචරියාව නිමකර නිවන පසක් කර ගැනීමය. සටහන්: * දුක නැතිකිරීමේ මග, නිවන් මග, ආරිය අටමගය. බලන්න: ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ** කවර අර්ථයකින් මාර්ගය වේද? යන්න මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. බලන්න:ඛු.නි: පටිසම්භිදා 1: මහාවග්ග: 9 මග්ග කථා, පි.530. ** ධම්මපදය: 20 :මාර්ගවග්ගයේ: මාර්ග අතුරින්, ආරිය අටමග උතුම්බව පෙන්වා ඇත.

▼ බුද්ධත්වය ලැබූ බුදුන් වහන්සේ ධර්ම මාර්ගය පිලිබඳ විතක්ක කිරීමේදී, සතිපට්ඨානය වැඩිම, ආරිය අටමග අවබෝධය පිණිස නිවන පිණිස එකම මග බව සංඝයාට ප්‍රකාශ කිරීම පිලිබඳ විස්තරය මේ සූත්‍රයේ දක්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (5-1) මහාවග්ග:සතිපට්ඨානසංයුත්ත:අමතවග්ග: 3.5.3 මග්ග සූත්‍රය, පි.358

▼බුදුන් වහන්සේ මාර්ගය මෙසේ විස්තර කර ඇත: ආරිය හා අනාරිය මාර්ග: දසකුසලය ආරිය මගය, දස අකුසලය අනාරිය මගය. අඳුරුමග හා දීප්තිමත් මාර්ග: දසඅකුසලය අඳුරු මගය (කණ්හ-ක්‍රිෂ්ණ), දසකුසලය දීප්තිමත් මගය (සුක). බලන්න: අංගු.නි: (6) 10 නිපාත: 10.4.4.1.අරියමග්ග සූත්‍රය, 10.4.4.2. කණහමගග සූත්‍රය.

▲ මාර්ග ඵල-Margahaphala: මාර්ග ඵල ලෙසින් පෙන්වා ඇත්තේ සෝතාපන්නවීම, සකදාගාමී වීම, අනාගාමිවීම හා අරහත්වීම යන සතර ඵල ලැබීමය. කරුණු 5 ක් වඩාගැනීමෙන්, බහුල කරගැනීමෙන් මේ ජීවිතයේදීම අනාගාමි හෝ අරහත්වය ලබාගත හැකිබව බුදුන් වහන්සේ පෙන්වා ඇත. සිහිය ඇතිව (සමෘතිය) -එළඹී සිහියෙන් යුතුව:1) ස්කන්ධ පිළිබඳ උදය වය ප්‍රඥාව තිබීම 2) අසුභය වැඩිම 3)ආහාරයෙහි ප්‍රතිකුල සංඥාව වැඩිම 4) අනභිරති සංඥාව වැඩිම 5) සියලු සංස්ඛාරයන්හි අනිත්‍ය සංඥාව වැඩිම. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: ගිලානවග්ග: 5.3.3.2 සතිසුපට්ඨිත සූත්‍රය, පි.254.

▲මාර්ග බාධා- Obstacles’for the path: ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරනවිට මුහුණදීමට සිදුවන බාධා 8 ක් මෙහි පෙන්වා ඇත:1) මෙ ඉවුරට පැමිණීම- සළායතන වලට හසුවීමය 2) එහා ඉවුරට යාම - බාහිර අරමුණු 6 ට (බාහිර ෂඩායතන) හසුවීමය. 3) ගඟ මැද කිමිදීම-නන්දිරාගයට හසුවීමය. 4) ගොඩට ගැසීම- අස්මිමානයට හසුවීමය.5) මිනිසුන් ගැනීම- ගිහියන් හා බැඳීමට පත්වීමය 6) නො මිනිසුන් ගැනීම- දේවනිකායක් පතමින් මග බඹසර කිරීමය 7) සුළියකට හසුවීම- පස්කම් සැපයට යටවීම 8) ඇතුළත කුණුවීම- කෙළෙස්වලට යටවීම නිසා මග බඹසර අයහපත්වීම. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සංයු.නි: (4 ): සළායතනවග්ග:වේදනා සංයුත්ත: 1.19.4 දාරුක්ඛන්ධ උපමා සූත්‍රය, පි.1.19.4,ESN:33: Vedanasamyutta:IV Vipers:241.4 The simile of the great log, p.1317.

▲ මාර්ග බ්‍රහ්මචරියාව- Marga Brhamachariya: අසේඛ ශිලය, අසේඛ සමාධිය , අසේඛ ප්‍රඥාව යන ධර්මතා සම්පූර්ණ කර ගැනීම මාර්ග බ්‍රහ්මචරියාව සාක්ෂාත් කරගැනීමය, එසේ කරගත් උතුමා, රහතන්වහන්සේය. බලන්න: අත්‍යන්ත බ්‍රහ්මචාරි.

▲ මාරිස-Mārisa: මාරිස යනු දෙවියන්, බුදුන්වහන්සේ හා උතුම් සංඝයා අමතනන ගරු පදයකි (dear sir). සටහන: අටුවාවට අනුව එහි අර්ථය: ‘නිදුකානෙනි’- දුක නොමැතිකෙනා. දෙවිවරු, එනෙකා අමතන්නේද මාරිස ලෙසිනි බලන්න: ESN: note 1, p. 498.

▼ සසර තරණය කළේද? යයි දේවියක් බුදුන් වහන්සේ විමසීම:

“...කථනනු තවං මාරිස, ඔඝමතරීති?”: නිදුකානෙනි, ඔබ සසර තරණය කළේද? මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.1.1 ඔඝතරණ සූත්‍රය, පි. 28, ESN:1: Devatāsaṃyutta:1.1 Crossing the Flood, p. 59.

▼ සක්දෙවිඳු මුගලන් මහා රහතුන් ඇමතීම: ‘සාධු ඛො මාරිස මොගගලලාන බුදධං සරණගමනං හොති...’ “නිදුකානෙනි මොගගලලානනි, බුදුන් සරණ යෑම මැනවි...” මූලාශ්‍ර: සංයු.නි: (4) සලායතනවග්ග: මොග්ගල්ලාන සංයුත්ත: 6.1.10 -12 සක්ක සූත්‍ර 3,පි. 526, ESN: 40: Moggallānasamyutta, 10 Sakka -3 suttas, p. 1423.

▲ මුරණ්ඩුබව: පාලි: ථම්භො-obstinacy: මුරණ්ඩුබව (තද) යනු යමක් පිළිගැනීමට ඇති දැඩි අකමැතිබවය. හිතුවක්කාර කම ලෙසින්ද පෙන්වයි. ධර්මයේ, මෙය දෝවචස්සතාවයක්ය. එනම්, දහම් අවවාද අනුසාසනා පිලිගැනීමට ඇති අකමැත්ත. මෙය අකුසලයකි, දුගතියට ගෙන යයි. බලන්න:උප කෙලෙස, දෝවචස්සතාවය.

▼වෙනත් මූලාශ්‍ර:1.“යහපත් දෙයට සිත දැඩිව සිටීම, නො නැමෙන ස්වභාවය ථම්භය වේ. මෙය මානයේම එක් ආකාරයකි. ගරු කළයුතු අයට ගරු නොකරයි, අවවාද අනුසාසනා නො පිළිගනී”. කෙලෙස් එක්දහස් පන්සීය: පි. 47, රේරුකානේ චන්දවිමල නාහිමි, 2008.

▲ මොරනිවාප ආරාමය- Moranivapa Arannya. මේ ආරාමය, රජගහනුවර ආසන්නව පිහිටි පරිවාජක ආරමයකි. බුදුන් වහන්සේ මෙහි වැඩසිටිබව මේ සූත්‍රයේ දක්වා ඇත. බලන්න: අංගු.නි: (6) 11 නිපාත: අනුස්සතිවග්ග: මොරනිවාප සූත්‍රය.

මල

▲ මල-stains: මල යනු කිලිටි, අපවිත්‍ර දෙයක්ය. ධර්මයට අනුව මල යනු කෙළෙස්ය. ත්‍රිවිධ මල : රාගමල- කාමයට බැඳීම නිසා සිත කිලිටිවීම. දෝසමල- තරහනිසා සිත කිලිටිවීම. මෝහමල - අවිද්‍යාව නිසා සිත කිලිටිවීම. මේවා කෙළෙස්ය, මේවා ගැන අවබෝධය ලබාගැනීමට හා ඒවා පහ කරගැනීමට අරියඅටමග යහපත්ලෙසින් වර්ධනය කරගත යුතුවේ. මූලාශ්‍ර: සංයු.නි: (5-1) මහාවග්ග:මග්ගසංයුත්ත: 1.15 මලසූත්‍රය, පි.156, ESN: 45 Maggasamyutta: 167.7 Stains, p. 1712.

▼ අතිරේක මල 3: දුසිල්වත්බව, ඉරිසියාව හා මසුරුකම මල යයි බුදුන් වහන්සේ වදාළහ. ඒ මල- කෙළෙස් ප්‍රහීණය කර නොගන්නේ නම්, ගෙනවුත් බහා තැබුවා සේ නිරයට පැමිණේ. යම් කෙනක් මේ අකුසල 3 පහ කරගත්තේ නම් ඔහු ඒකාන්තයෙන්ම සුගතියට පැමිණේ. සටහන: මල ඇත්තේ බාලයන්ටය. පණ්ඩිතයෝ ඒ මලවලින් පිරිසිදුව ඇත. මූලාශ්‍ර: අංගු.නි: (1) 3 නිපාත: බාලවග්ග: 3.1.1.10 සූත්‍රය, පි. 240, EAN: 3: 10.10 Stains, p. 81.

▼ මල අට : 1) මන්ත්‍ර-ශාස්ත්‍ර ආදිය සජ්ජායනා නොකිරීම- නො හැදෑරීම මලයකි 2) ගේදොර නඩත්තු නොකිරීම මලයකි 3) කුසිතබව පැහැපත් සිරුරට මලයකි 4) යම්කිසි දෙයක් රකිනවිට, ප්‍රමාදවීම මලයකි 5) දුශ්චරිතය, කාන්තාවට මලයකි 6) දායකයා හට මසුරුකම මලයකි 7) ලාමක අකුසල් මෙලොව හා පරලොව ජිවිතයට මලයකි 8) මේ සියලු මලයන්ට වඩා නරකම මලය අවිද්‍යාවය. සටහන: ධම්මපදය:18 මලවග්ගයේ, මේ මල අට පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු:නි: (5) 8 නිපාත:8.1.2.5 මල සූත්‍රය, පි.98.

▲මල්ලිකා දේවිය-Queen Mallika: බලන්න: උපග්‍රන්ථ:3

▲ මල්පුජා-Offering flowers: බුදු පසේබුදු උතුමන්ට මල් පුජාකිරීම යහපත් විපාක ගෙනෙදේ. බලන්න: උප ග්‍රන්ථය:1,2.

▲ මල් අසුන් පුජා-Offering flower stands: බුදු පසේබුදු උතුමන්ට මල් අසුන් පුජාකිරීම යහපත් විපාක ගෙනෙදේ. බලන්න: උප ග්‍රන්ථය:1

▲මල්වතු-උද්‍යාන-වනගොමු -Gardens- Parks- Forest Groves: වෙනත් අයගේ සතුට පිණිස මල්වතු-උද්‍යාන-වනගොමු සකස්කිරීම සුගතියට මගකි. බලන්න: පින් වැඩෙන අන්දම.

▲මල්ල රාජ සල්උයන- Royal Malla Sal park: උතුරු දඹදිව, මල්ල රජුන්ගේ ප්‍රදේශයේ, කුසිනාරා නුවර පිහිටි මේ සල් උයන අපගේ ගෝතම බුදුන් වහන්සේ මහා පරිනිබ්බානයට පත්වූ ස්ථානයය. බලන්න: දීඝ.නි: මහා පරිනිර්වාණ සූත්‍රය, ශ්‍රද්ධාවෙන් දැකිය යුතු සිව් ස්ථාන, කුසිනාරා.

▲ මලුවා වැල උපමාව- Simile of Maluwa creeper: බලන්න: උපග්‍රන්ථය:5

▲ මෙලොව හා පරලොව-This world & the other world: මෙලොව යනු වර්තමානයේ අප ජිවත්වන ලෝකයය, පරලොව යනු මරණින් මතු යලි උපදිනා ස්ථානයය. ධර්මානුකූල ජීවත්වීම මෙලොව හා පරලොව (දෙලොව) සුව සැප පිණිස වේ.බලන්න: කර්ම විපාක, සුගතිය, දුගතිය, දෙලොව.

▼මෙලොව හා පරලොව යහපත: මෙලොව හා පරලොව (දෙලොව) යහපත- උභය ලෝකඅර්ථසිද්ධිය ලෙසින් පෙන්වා ඇත. ඒ යහපත ඇතිකර ගැනීම පිණිස කුසල ධර්ම පිලිබඳ සිහිය පවත්වා ගත යුතුය යි මෙහිදී පෙන්වා ඇත. පුණ්‍යක්‍රියා ගැන සිහිය ඇතිව කටයුතු කරන්නා පණ්ඩිතකි, ඔහු දෙලොවම අභිවෘද්ධිය ලබාගන්නා නැණවත් පුද්ගලයාය. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 1.3.3. උභෝඅර්ථ සූත්‍රය, පි. 370.

▼දාන පුජාකිරීම නිසා ඇති මෙලොව පරලොව විපාක ගැන බලන්න: දානය.

▲මුල-Root: ධර්මයේ -මුල් ලෙසින් පෙන්වා ඇත්තේ කුසල මූල හා අකුසල මූලයන්ය. බලන්න: කුසල හා අකුසල.

▲ මූල ධර්ම -Mula Dharma මූල ධර්ම ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ බුදුදහමේ නිදානයය: පටිච්චසමුප්පාද ක්‍රියාවලියය.බලන්න: නිදාන.

▲මූල පරියාය-The root of all things: මූල පරියාය (සබ්බධර්ම මුල පරියාය) යනු සියල්ල ඇතිවීමට බලපාන කරුණුය- සත්කායධර්මයන්ට මුලය (මම මගේ මගේ ආත්මය ලෙසින් අල්ලා ගැනීමය- සක්කාය දිට්ඨිය): සියලු පෞද්ගලිකවූ හඳුනා ගැනීම්වලට මුල්වූ ධර්මතා, එනම්, පංචඋපාදාන ස්කන්ධය ට ඇතුළත් සියලු ධර්මතා: රූප, වේදනා, සංඥා, සංස්කාර, හා විඥාණ උපාදානස්කන්ධයන්ය. බුදුන් වහන්සේ පුද්ගලයන් වර්ග 4 ක් අනුව මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය විස්තරාත්මකව පෙන්වා ඇත: 1) ධර්මය නොදත් පෘතග්ජන 2) සේඛ භික්ෂූව 3) රහතන්වහන්සේ 4) තථාගතයන් වහන්සේ. සටහන්: * අටුවාවට අනුව මෙහි ‘සබ්බ’ යනු සියලු පෞද්ගලිකවූ හඳුනා ගැනීම්වලට මුල්වූ (සක්කායසබ්බ- all of personal identity) ධර්මතාය, එනම්, පංච උපාදාන ස්කන්ධයය. යලි යලි සසර උපත් ඇතිවන්නේ මේ පංචඋපාදානස්කන්ධය නිසා ඇතිවන ක්‍රියාවලිය මගින්ය. තන්හාව, මානය හා දිට්ඨි නිසා සකස්වන අඛණ්ඩවූ අනුසය ක්‍රියාවලිය හා අවිද්‍යා අනුසය, භවයෙන් භවයට සත්වයා ඇදගෙන යයි : බලන්න EMN: note;3 p 1061 ** ම.නි: මහා හත්තිපදොම සූත්‍රයේද මේ ක්‍රියාවලිය පෙන්වා ඇත. මූලාශ්‍ර: ම.නි: (1) 1.1 මූල පරියාය සූත්‍රය, පි.22, EMN:1 Mulapariyaya sutta,p.83.

▲ මෝලිය ඵග්ගුණ භික්ෂුව-Bhikkhu Moliya phagguna: බලන්න: උපග්‍රන්ථය:4

▲ මෝලියසීවක පරිබ්‍රාජක-Moliyasivaka Paribrajaka: බලන්න: උපග්‍රන්ථය:3

▲ මාලුඬක්‍ය පුත්ත තෙර- Malunkyapuththa Thera: බලන්න: උපග්‍රන්ථය: 1

මළ

▲ මළවුන් අනුස්මරණය- Memorial for dead: තමන්ගේ නෑදෑයන්, හිතවතුන් මියගියවිට ඔවුන් සිහිකර- මළවුන් අනුස්මරණය කිරීමට දන් දීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. බුදුන්වහන්සේ වැඩසිටි සමයේ විසු බ්‍රාහ්මණයන්ද මළවුන් අනුස්මරණය කිරීමට දන් දීම කර ඇත. මළවුන් අනුස්මරණය කිරීමට දෙන දානයේ යහපත් විපාක ඇතය යි බුදුන්වහන්සේ පෙන්වා ඇත. බලන්න: පින්දීම, මතකදානය, මළවුන්අනුස්මරණය. මූලාශ්‍ර: අංගු.නි: 10: නිපාතය:10.4.2.11 ජාණුස්සොණි සූත්‍රය, පි. 518, EAN:10: Jāṇussoṇī,177.11, p.554.

▲ මුළාවූ සිහිය: පාලි: මුට‍්ඨසච‍්චං- muddle-mindedness: සිහිය නැතිකම, මුළාවූ සිහිය ඇතිවන්නේ ධර්ම මාර්ගය ගැන අවබෝධය නැති නිසාය, මිථ්‍යාදිට්ඨිය ඇති නිසාය. ඒ නිසා සමාධිය ඇතිකර ගැනීමට නොහැකිය. සිහිය මුළාවූ විට ආධ්‍යාත්මික වර්ධනය ඇතිකර ගැනීමට නො හැකිවේ. බලන්න: උත්තරීය මනුස්ස ධම්ම. ශබ්දකෝෂ: පා.සිංශ: පි.427: “මුට‍්ඨ: : මුලාව, සිහි නැතිකම, මුට‍්ඨස‍්සති: මුලා සිහිය ඇත්තා”

▼මුළා සිහිය දුගතියට පත්කරයි, මුළා සිහියෙන් නින්දට යාම නිසා, නරක සිහින පෙනේ, දෙවියෝ ආරක්ෂා නොකරති. මුළා සිහිය සමාධිය ඇති නොකරයි. බලන්න:* සංයු.නි: (4) සළායතනවග්ග:මාතුගාම සංයුත්ත: 3.1.14 මුට්ඨස්සති සූත්‍රය, පි.484, ** අංගු.නි: (3) 5 නිපාත: කිම්බිලවග්ග: 5.5.1.10 මුට්ඨස්සති සූත්‍රය, පි.426.

▼ මුළාවූ සිහිය නැති කර ගැනීමට: ආරියන් දැකීම හා ඇසුරුකිරීම, ධර්මය ඇසීම, අනුන්ගේ දොස් දැකීම නතර කරගැනීම (උපාරමභ චිත්ත- mind bent on criticism) උපකාරිවේ. මූලාශ්‍ර: අංගු.නි: (6) 10 නිපාතය: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524

▼ බුදුන් වහන්සේ මුලාවු සිහිය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතාවය සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි:10 සංගිති සුත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▲මළපුඩුව උපමාව-Simile of the snare: බලන්න: උපග්‍රන්ථය:5

▲ මීළහ්ක උපමාව- Simile of the worm: බලන්න: බලන්න: උපග්‍රන්ථය: 5.

මව

▲මව හා පියා: පාලි: මාතා පිතා- Mother & Father: මව හා පියා -දෙමාපියන් ලෙසින්ද හඳුන්වයි. ධර්මානුකූලව ජිවත්වන අය තම දෙමාපියන් හට ගරු කරති, ඔවුන් රැක බලාගනි.මාපියන්ට ගරුකළයුතුවේ: උපත ලැබූ අවස්ථාවේ සිට දරුවන්ට, දෙමාපියන්ගෙන් බොහෝ උපකාර කර ඇතිනිසා ඔවුන් හට සැලකීම, ගරුකිරීම සුදුසු යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. ඔවුන්ට ආහර පාන, ඇඳුම් හා යහන් දියයුතුය, ඔවුන් ගේ පාද සේදිය යුතුය, ඇඟ පත තවා, උලා, නෑවියයුතුය. මාපියනට උපස්ථාන කරණ දරුවන් මෙලොවදී සැප ලබති, නුවණැතියන් ඔවුන්ට පැසසුම් කරති. මරණින් මතු දෙව්ලොව සැප ලැබේ.

මාපියන් හඳුන්වන ගරු පද: 1) බ්‍රහ්ම: බ්‍රහ්මදෙවිවරුනට මෙන් මාපියන්ට ගරු කලයුතුය 2) පුර්වආචාර්ය-පුබබාචරිය: දරුවන්ගේ පළමු ගුරුවරුන් වන්නේ දෙමාපියන්ය 3) ආහුනෙය්‍ය: තෑගි බෝග පුජාකිරීමට සුදුසු අයවේ. සටහන්: * ආහුනෙය්‍ය, සඟ ගුණයකි ** මව්පියන්ට උපස්ථාන කිරීම උතුම්බව මංගල සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (1) 3 නිපාත: දේවදුතවග්ග: 3.1.4.1 සූත්‍රය, පි. 282, EAN:3: Divine Messengers: 31.1 Brahma, p. 89.

▼ මව හා පියා යන දෙදෙනාට ප්‍රත්‍යඋපකාර කිරීම පහසු නැත යයි බුදුන් වහන්සේ වදාළහ:

“ද‍්වීන‍්නාහං භික‍්ඛවෙ න සුප‍්පතිකාරං වදාමි, මාතුච‍්ච පිතුච‍්ච. (two persons that cannot easily be repaid. What two? One’s mother and father). කෙනෙක් මව හා පියා තම දෙවුරේ තබා ගෙන සියවසක් ජිවත්වූවද, ඔවුන් නවා සුවඳ තෙල් ආදිය ගලවා, පිරිමැද, ඔවුන්ගේ මලමුත්‍ර ආදිය සුද්ධ පවිත්‍ර කළද, එපමණකින්, තම දෙමාපියනට, සෑහෙන ලෙසින් සේවය කර නැත, ප්‍රතිඋපකාර කර නැත. තවද, කෙනෙක් තමන්ගේ දෙමාපියන්ට සක්විතිරජ සැප ලබාදුන්නද එය නොසෑහේ යයි බුදුන් වහන්සේ වදාළහ. එයට හේතුව නම්, දෙමාපියන්, දරුවන්ට බොහෝ ඇප උපකාර කර ඇති නිසාය. දෙමාපියන් දරුවන් මේ ලෝකයට ගෙනවිත්, ඔවුන් හදා වඩා ඔවුන්ට ලෝකය පෙන්වා ඇති නිසාය. උතුම් ලෙසින් දෙමාපියන්ට සැලකිය යුතු ආකාරය:

1. බුදුසසුන කෙරෙහි දෙමාපියනට ශ්‍රද්ධාව නොමැතිනම් ඔවුන් තුල ශ්‍රද්ධාව ඇති කිරීමෙන්.

2. දෙමාපියන් සිල්වත් නැත්නම් ඔවුන් තුල සිල්වත්බව ඇති කිරීමෙන්. 3. දෙමාපියන් දානශීලි නොවේනම් ඔවුන් තුල දානශීලිබව ඇති කිරීමෙන්. 4. දෙමාපියන් අනුවණනම්, ඔවුනට නුවණ ලබාදීමට කටයුතු කිරීමෙන්. ඒ ආකාරයෙන් කෙනෙකුට, තම දෙමාපියන්ට ප්‍රතිඋපකාර කලහැකිය යි බුදුන් වහන්සේ වදාළහ. සටහන: දෙමාපියන්ට ණය ගෙවීම, කිරිමිල ගෙවීම ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ දක්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (1) 2 නිපාත: 2.1.4.2 සූත්‍රය, පි. 160 , EAN: 2: 33.2 Sutta, p.61.

▼ආරම්භයක් -මුල දැකිය නොහැකි මේ සසරේ තමන්ට මව හෝ පියා නොවූ කෙනක් දැකීම සුලබ නැත යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (2) නිදානවග්ග: අනමතග්ගසංයුත්ත: 3.2.4 හා 3.2.5 සූත්‍ර, පි. 312, ESN:15: Anamataggasamyutta: 14.4 suttas, p. 803.

▲මව්පිය ඝාතනය- Killing Mother & Father: මව හා පියා ඝාතනය, පංච ආනන්තරික කම්මයන්ගෙන් එකකි. බලන්න: පංච ආනන්තරික කම්ම.

▲මෙවුන්දම් සේවනය- Sexual intercourse: පැවිදි ජිවිතය ගතකරන සංඝයාට මෙවුන්දම් සේවනය කැපනැත. මෙය ශ්‍රමණයන්ගේ සිත කිළුටු කරන උපකෙලේසයකි. බලන්න: උපකෙලේස, සංඝවිනය. සටහන: කාමයේ ආදීනව නොදැන මෙවුන් දම් සේවනයේ යෙදුන සංඝයාට සිදුවන විපාක මෙහි විස්තර කර ඇත. මෙහිදී විස්තර කර ඇත්තේ මෙහෙණ මවක් හා මහණ පුත්‍රයෙක් ගැනය. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: 5.2.1.5 මතාපුත්‍ර සූත්‍රය, පි.128.

මස

▲මසුන් අල්ලන කෙමිණය උපමාව-Simile of the Fishing net මසුන් අල්ලන කෙමිණය නිසා බොහෝ මසුන් විනාශයට පත්වේ. මෙ උපමාව යොදාගෙන ඇත්තේ මක්ඛලිගෝසාලගෙ අයහපත් ඉගැන්වීම නිසා බොහෝදෙනාට සිදුවන අයහපත පෙන්වීමටය.බලන්න: මක්ඛලි ගෝසාල, උපග්‍රන්ථය:5 මූලාශ්‍රය:අංගු.නි (1) :3 නිපාත: 3.3.4.5 සූත්‍රය, පි.554.

▲ මස් අනුභවය- meat-eating: සාමාන්‍ය ලෝකයේ මස් අනුභවය- මාංශ භෝජනය පිලිබඳ විවිධ මත ඇත. සංඝයාට, මස්අනුභවය පිළිබඳව ඇති අවවාද: කරුණු 3 කින් යුත් මාංස පරිබෝජනය නොකට යුතුය: 1 දක්නා ලද (සතා දානය පිණිස මරණබව දැකීම) 2 අසනාලද (සතා දානය පිණිස මරණ ලද බව ඇසීම) 3 සැක කිරීම (සතා දානය පිණිස මරණ ලද බව සැකකිරීම). කරුණු 3 කින් පිරිසිදුවූ මාංස පරිබෝජනය කැපවෙ: 1 නො දක්නා ලද 2 නො අසනාලද 3 සැක නො කරන ලද බව. මෙය ත්‍රිකොටිපාරිශුද්ධ කැප මාසං භෝජනයය. ( Jīvaka, I say that there are three instances in which meat should not be eaten: when it is seen, heard, or suspected [that the living being has been slaughtered for oneself]. I say that meat should not be eaten in these three instances. I say that there are three instances in which meat may be eaten: when it is not seen, not heard, and not suspected [that the living being has been slaughtered for oneself]. සටහන: * ජිවක කොමාරභච්ච වෛද්‍යවරයා විසින් සංඝයා මස් අනුභවය කිරීම පිලිබඳ ඉදිරිපත් කල ප්‍රශ්නයකට පිළිතුරු ලෙසින්, බුදුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. ** බලන්න: ආමගන්ධ: මස්භෝජනය පිලිබඳ කරුණු පෙන්වා ඇත. මූලාශ්‍ර: ම.නි: (2) 2.1.5 ජිවක සූත්‍රය, පි. 70, EMN: 55: Jīvaka Sutta, p. 449.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි, දැන දැන තමන් උදෙසා කළ මස් නො වැළඳිය යුතුය. යමෙක් වළඳන්නේ නම් දුකුළා ඇවතක් වේ... තමන් විසින් නො දුටු, නො ඇසු, සැක නොකළ, ත්‍රිකොටිපාරිශුද්ධ මත්ස්‍යමාංස අනුදනිමි” සටහන: මේ ප්‍රකාශයට හේතු වුවේ, සිහ සේනාපති විසින් දෙන ලද දානයක් පිලිබඳවය මූලාශ්‍ර:වින.පි:මහාවග්ග පාලිය 2: භේසජ්ජඛන්ධය: 29, පි.88.

▲ මස්පිණිස සතුන් මැරීම-Killing animals: මස්පිණිස මාළුන්, සතුන් ආදිය මරන මස් වැද්දන්, වධක සිතින් එසේ කරන හෙයින් ඔවුන්ට අයහපත් කර්ම විපාක ඇතිවේ. මරණින් මතු අපාය නම් දුගතියේ ඔවුන් යළි උපත ලබන බව මේ සූත්‍රයේ පෙන්වා ඇත. බලන්න: ප්‍රාණඝාතය මූලාශ්‍රය:අංගු.නි: (4) 6 නිපාත:සාරාණියවග්ග:6.1.2.8 මචඡික සූත්‍රය, පි.58.

▲මස්ඇස- physical eye: මස්ඇස -භෞතික ඇසය. අභ්‍යන්තර ආයතන 6 න් එකකි. බලන්න: චක්ඛු තුන,සළායතන.

▲ මසුරුකම: පාලි: මච‍්ඡිරියං- Stinginess/ avarice : මසුරුකම (මාත්සර්ය) යනු දැඩි ලෝභයය. ආත්මාර්ථකාමීබවය. තමන්ගේ දේ අනුන්ගේ යහපත පිණිස දීමට ඇති අකමැත්තය. මසුරුකම අකුසලයකි, දුගතියට ගෙන යයි. බලන්න: උපකෙළෙස, කුසල හා අකුසල.

▼ නිවන් මග වඩා ගැනීම පිණිස පහකළයුතු අකුසල ධර්ම 44න් මසුරුකම එක අකුසලයකි. මූලාශ්‍ර: ම.නි: (1) 1.1.8 සල්ලෙඛ සූත්‍රය, පි. 112, EMN: 8-Effacement p.108.

▼ මිනිසුන් මසුරුකමනිසා දන් නොදේ, බියනිසා දන් නොදේ, එමනිසා ඔවුනට පින් නොලැබේ, දුගතියේ උපත ලබයි, නොදීම නිසා මෙලොවදීද පරලොවදීද ඔවුන් බඩගින්නෙන් හා පිපාසයෙන් දුක්විඳි යයි දෙවිවරු පැවසු වදන් බුදුන් වහන්සේ අනුමත කළහ. බලන්න: දෙවිවරු, දානය. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.4.2 මචඡරි සූත්‍රය, පි. 62, ESN: 1 Devatasamyutta: 32.2 Stinginess, p. 97.

▼ මසුරුබව පස් ආකාරවේ: 1) වාසස්ථාන ගැන 2) පවුල ගැන 3) ලාභ ගැන 4) ප්‍රසංසා ගැන 5) ධර්මය පිළිබඳව. සතර සතිපට්ඨානය දියුණු කරගැනීමෙන්, මසුරුබව අවසාන කර ගත හැකිය. මූලාශ්‍ර: අංගු.නි: (5) 9 නිපාත: 9.2.2.7 මච්චරි සතිපට්ඨාන සූත්‍රය, පි. 578, EAN:9: 69.7 miserliness, p. 486.

▼ සංඝයාට ඇතිවිය හැකි මසුරුබව: 1) ආවාස පිළිබඳව (ආවාස මච්ඡරිය) 2) තමන්ට උපකාර කරන පවුල් ගැන (කුල මච්ඡරිය) 3) තමන්ට ලැබෙන ලාභ ආදිය ගැන (ලාභ මච්ඡරිය) 4) තමන්ට ලැබෙන වර්ණනා-ප්‍රසංසා ආදිය ගැන (වණ්ණ මච්ඡරිය) 5) ශ්‍රද්ධාව ඇතිව අන්‍යයන් දෙන දේ නාස්ති කිරීම (මසුරුකම නිසා වෙනත් අයට නොදීම). 6) ධර්මය කෙරේ ඇති මසුරු බව (ධම්ම මච්ඡරිය- තමන් දන්නා ධර්මය වෙනත් අයට නො පැවසීම) එවැනි අගුණ ඇති මහණ ඒකාන්තයෙන්ම නිරයට යයි. එම අගුණ නොමැති අය ට සුගතිය ලැබේ. මූලාශ්‍රය:අංගු.නි: (3) 5 නිපාත:ආවාසවග්ග: මච්ඡරිය සූත්‍ර, පි.454.

▼මසුරුකම පහකරගැනීම: බුදුන් වහන්සේ වදාළේ: මසුරුකම පහකරගැනීම පිණිස බඹසර වාසය කලයුතු බවය. මූලාශ්‍රය:අංගු.නි: (3) 5 නිපාත:උපසම්පදාවග්ග:5.6.1.5 මච්ඡරිය පහාණ සූත්‍රය, පි.468.

▼ වෙනත් මූලාශ්‍ර: 1.“තමාගේ දෙය අනුන්ට හිමිවීම හා ඉන් අනුන්ට සුළු ප්‍රයෝජනයක් වුවත් ලැබෙනවා නම් එයට විරුද්ධවන ස්වභාවය මච්ඡරියය. මසුරා, අනුන් ඉල්ලති යන බියෙන් තමාගේ වස්තුව සඟවා තබයි. අධික මසුරුකම ඇතිවිට අනුන් දෙන දාන ආදිය වලක්වයි. එය ‘කදරිය’ නම්වේ. අනුන්ගේ දීම වලක්වන විට ප්‍රතිග්‍රාහකයාගේ ලාභය නැති කරයි, දායකයා ගේ පිනද වලක්වයි. මෙය මහා පාපයකි. උදා: ධම්ම පදය: ලෝක වග්ග, තද මසුරෝ දෙව්ලොව නොයන බව පෙන්වා ඇත. කෙලෙස් එක්දහස් පන්සියය:පි.84, රේරුකානේ චන්දවිමල මහානාහිමි, 2008. 2.“ මච්ඡරිය නම් තද මසුරුකමයි. තමන් යමක් භුක්ති නොවිඳින අතර අන් අය භුක්ති විඳිනවා දකින්නට කැමති නොවීම මෙහි ස්වරූපයයි. මෙය වෙන විදිහකට කියතොත් උග්‍ර ලෝභී ලක්ෂණයකි. මේ ලක්ෂණ මච්ඡරිය කෝසිය සිටාණන්ගේ, අදින්න පුබ්බකගේ චරිතයන්ගෙන් මැනවින් ප්‍රකට වෙයි. සමහර දෙමව්පියො තම වස්තුව තම දරුවො පරිහරණය කරනවා දකින්නටවත් කැමති නොවෙති. වස්තුව රැස්කර ප්‍රයෝජන නොගෙන මියැදෙන මිනිසුන් අප සමාජයේ කෙතෙක් ඇත්ද?”. දිනමිණ: අන්තර්ජාල ලිපිය: http://archives.dinamina.lk/2012/08/08/_art.asp?fn=a1208082

▲ මුසාවාදය:පාලි:මුසාවාදා - False speech: මුසාවාදය: අසත්‍ය කථාකිරීම- බොරුකීම දස අකුසලයන්ගෙන් එකකි. බලන්න: දසකුසල හා දසඅකුසල. මුසාවාදයෙන් වැළකුණ ලෝකසත්‍වයා ටිකදෙනෙකි, මුසාවාදය ඇති සත්‍වයෝ බොහෝ ය.මූලාශ්‍රය:සංයු.නි: (5-2) මහාවග්ග:සච්චසංයුත්ත:12.8.4 මුසාවාද සූත්‍රය, පි.362.

▼ බොරුකියන අය නිරයට යයි: බුදුන් වහන්සේ බොරුකියන කෙනෙකුගේ ස්වභාවය මෙසේ දක්වා ඇත:

“මේ ලෝකයේ කෙනෙක් අසත්‍ය කතා කරයි. සභාවක දී, රැස්වීමකදී, තමාගේ ඥාතිපිරිස අතරදී, තමාගේ සමිතියේදී, රාජසභාවේ දී අසත්‍ය කථා කරයි. සාක්‍ෂිකරුවෙක් ලෙසින් කැඳවා මෙසේ අසනවිට ‘ එම්බා පුරුෂය, ඔබ දන්නා දෙය කියන්න’ යයි පැවසුවිට,නොදන්නා දෙය ‘දනිමි’ යයි පවසයි. දන්නා දෙය ‘නොදනිමි’ යයි පවසයි.නොදැක ‘දැක්කෙමි’ යයි පවසයි, දැක ‘නොදැක්කෙමි’ යයි පවසයි”.

“ඉධ භික‍්ඛවෙ එකච‍්චො මුසාවාදී හොති: සභාගතොවා, පරිසගතොවා, ඤාතිමජ‍්ඣගතොවා, පුගමජ‍්ඣගතො වා, රාජකුලමජ‍්ඣගතො වා. අභිනීතො සක‍්ඛිපුට‍්ඨො ‘එවම‍්හො පුරිස, යං ජානාහි, තං වදෙහි’ ති. සො අජානං වා ආහ ‘ජානමි’ ති. ජානං වා ආහ ‘නජානාමී’ති. අපස‍්සං වා ආහ, ‘පස‍්සාමී’ ති, පස‍්සං වා ආහ, ‘න පස‍්සාමී’ ති. ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා සම‍්පජානාමුසා භාසිතාහොති”. එවැනි අය ඒකාන්තයෙන්ම නිරයට යයි. මූලාශ්‍ර: අංගු.නි: (6) 10 නිපාත: කරජකාය වග්ග: 10.5.1.1. පඨම නිරය සූත්‍රය, පි. 548, ජානුසොණි වගග: 10.4.2.10: චුන්ද සූත්‍රය, පි.508, EAN:10: The Deed-born body: 211.1 Hell, p. 556, Jāṇussoṇī: 176.10: Cunda, p.553.

▼මුසාවාදය නිසා කර්ම සිව්ආකාරයකට රැස්වේ: 1) තමන් බොරුකීම 2) අනුන්ලවා බොරු කියවීම 3) බොරුකීම අනුමත කිරීම 4) බොරුකීම කීම වර්ණනා කිරීම. මූලාශ්‍රය:අංගු.නි: (2) 4 නිපාත: මචලවග්ග:4.2.4.2 මුසාවාදී සූත්‍රය, පි.180, කම්මපථවග්ග: 4.7.4 මුසාවාද සූත්‍රය,පි.510.

▼ වෙනත් මුලාශ්‍ර: 1.“මුසාවාදය: අභූත වස්තුවක්- සිදු නොවූ දෙයක්: සිදුවූ දෙයක් කොට අනුන්ට හැඟවිම යන ප්‍රයෝගයෙන් උපදවන්නාවූ චේතනාව මුසාවය. අභූතවාදය, මිච්ඡා වාදය, බොරුකීම යයිද කියයි. එයට අංග 4 කි: සත්‍යනොවූ දෙයක් වීම, වංචාකරමි යන සිත,ඊට සුදුසු ව්‍යායාමය, වචනයේ අර්ථ දැන කීමය: සද්ධර්ම කෝෂය, පි. 113.

▲ මූසිකා බඳු පුද්ගලයෝ - Persons similar to Mice: මූසිකා- මීයා, සතර වර්ගයක් බව බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) එක් වර්ගයක් ගුලක් (බිලක්) හරාගනී, එහෙත් එහි වාසය නොකරයි 2) එක් වර්ගයක් ගුලක වාසය කරයි, එහෙත් ගුලක් හදා ගෙන නැත 3) එක් වර්ගයක් ගුලක් හාරා නොගනී, එසේම ගුලක වාසය නොකරයි 4) එක් වර්ගයක් ගුලක් හාරාගෙන එහි වාසය කරයි. මීයන් ගේ ස්වභාවය ඇති පුද්ගලයන් සිව් දෙනක් බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) එක් පුද්ගලයෙක් ධර්මය විස්තරාත්මකව හදාරයි, එහෙත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොමැත. ඔහු ගුලක් හරාගත්තද එහි වාසය නොකරන මීයා වැනිය 2) එක් පුද්ගලයෙක් ධර්මය විස්තර සහිතව හදාරා නැත, එහෙත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඇත. ඔහු ගුලක වාසය කරන එහෙත් ගුලක් හදා නොගත් මීයා වැනිය 3) එක් පුද්ගලයෙක් ධර්මය හදාරා නැත, එසේම, චතුරාර්ය සත්‍ය අවබෝධ කර නැත. ඔහු ගුලක් හදා නොගත්, ගුලක වාසය නොකරන මීයා වැනිය 4) එක් පුද්ගලයෙක් ධර්මය හදාරා ඇත, එසේම, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඇත. ඔහු ගුලක් හදාගෙන එහි වාසය කරන මීයා වැනිය. මූලාශ්‍ර: අංගු.නි: (2) 4 නිපාත: 4.3.1.7 මූසිකා සූත්‍රය, පි. 230, EAN:4: 107.7 Mice, p. 187.

මහ

▲මහක තෙර-Mahaka Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ මහත්ඵල මහාආනිසංස: පාලි: මහපඵලා හොති මහානිසංසා -great fruit and great benefit: මහත්ඵල - මහා අර්ථය-මහා ලාභයය, මහාආනිසංස:මහා අනුසස් ඇතිවිමය. සෝතාපන්න සිට අරහත්මගඵල (සතර මග) ලබාගැනීම මහත්ඵලයවේ. එමගින් සසර දුක අවසන්වීම මහා ආනිසංසයකි. එසේම, කුසලයේ හැසිරීම නිසා මෙලොව ජීවිතය සුවපත් වීම මහා ඵලයකි, සුගතියක යළි උපත ලැබීම මහා ආනිසංසයකි. සටහන්: * සතර ඉද්දිපාද වඩා ගැනීම නිසා මහාඵල මහා ආනිසංස ඇතිවේ. බලන්න:සංයු.නි: (5-2) මහාවග්ග:ඉද්දිපාදසංයුත්ත:පාසාදකම්පන වග්ග සූත්‍ර.

▼විවිධ භාවනා අරමුණු (අට්ඨික සංඥා ආදී) දියුණු කරගැනීම මහත් ඵල මහා ආනිසංස ලබාදීමට හේතුවේ. බලන්න: භාවනාව. මූලාශ්‍ර: සංයු.නි: (5-1) මහාවග්ග:බොජ්ඣංග සංයුත්තය, ආනාපාන වග්ගය: 2.7.1 අට්ඨික සූත්‍රය, පි.268, ESN: 46 Bojjhaṅgasaṃyutta:In and out Breathing, 57.1 The Skeleton, p. 1807.

▼ කායගතා සතිය වඩාගැනීම මහත්ඵල මහා ආනිසංස පිණිස පවතී. බලන්න: කායගතා සතිය. මූලාශ්‍ර: අංගු.නි: (1) 1 නිපාත: කායගතාසති වග්ග, පි. 125, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▼ සතරමග සතර ඵල ලැබූ සංඝයාට දෙන දානය මහත්ඵල වේ යයි බුදුන් වහන්සේ වදාළහ. මුලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: සක්කසංයුත්ත:11.2.6 යජමානසූත්‍රය, පි.440.

▲මහද්ගත කම්ම -Mahdgatha kamma: කුසල කම්ම ආදිය මහද්ගත කම්ම ලෙසින් පෙන්වා ඇත. මෙය ගරුක කම්මයකි. බලන්න:කම්ම විපාක.

▲ මහණදම් පිරිම- Monkhood: බුදුසසුනේ මහණදම් පුරන්නේ චතුරාර්යසත්‍ය අවබෝධ කර දුකින් මිදීමටය. බලන්න: පැවිද්ද චතුසත්‍ය අවබෝධය පිණිසය.

▲ මහලුවීම- aging: ධර්මයට අනුව උපතක් ඇතිවිට මහලුවීම -ජරාවට පත්වීම අපේක්ෂා කළයුතුවේ. බලන්න: ජාතිය ජරාව හා මරණය.

▲මහා අභිඥා- Great direct Knowle: අභිඥා යනු ස්වකිය ප්‍රඥාවෙන්, විශේෂ නුවණින් ධර්මය අවබෝධ කිරීමය. බුදුසසුනේ, මහා අභිඥා ලත් භික්ෂුණියන් අතරින් අග්‍ර භද්ද කච්ච්චානා (යශෝධරාව) තෙරණියය. බලන්න: අභිඥා, උපග්‍රන්ථය:2.

▲ මහා අරටුව-Great heartwood: ගසක ඇති සවිමත්, බලවත් කොටස අරටුවය. එලෙස, ධර්මයේ අරටුව වන්නේ විමුක්තියය-නිවනය. මේ සූත්‍රයේදී බුදුන් වහන්සේ, ධර්මය සොයා යන අය අරටුව ලෙසින් කොළ අතු ගන්නා අන්දම හා ප්‍රඥාව ඇති අය අරටුව සොයා ගන්නා අන්දම විස්තරාත්මකව පෙන්වා ඇත. බලන්න: උප ග්‍රන්ථය:5 මූලාශ්‍රය: ම.නි.මහාසාරෝපම සූත්‍රය හා චූලසාරෝපම සූත්‍රය.

▲මහා ඉද්දි- Maha iddi: මහා ඉද්දි (මහා ඍද්ධි -Great psychic potency) ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ, සතර ඉද්දිපාද මහත් ලෙසින් වැඩිම නිසා ලබන මහා ආනුභාවයය. බලන්න: සතර ඉද්දිපාද. මූලාශ්‍රය: සංයු.නි: (5-2) ඉද්දිපාදසංයුත්ත: 7.2.6 මහිද්ධික සූත්‍රය, පි. 56.

▼ඉර්දීබලයන් විශේෂලෙසින් වර්ධනය කරගැනීමෙන් මහා ඍද්ධිමත් භාවය ලබාගත හැකිය. බුදු සසුනේ මහා ඍද්ධිමත් භාවය ලැබූ සංඝයා අතර මහා මුගලන් තෙර හා උප්පලවන්නා තෙරණිය අග්‍රය. බලන්න: උපග්‍රන්ථය: බුද්ධ ශ්‍රාවකයෝ.

▲ මහා ඉර්ශි-Maha Irshi: මහා ඉර්ශි (මහා ඍසි-මහාඉසි)- මහා මුණි, බුදුන් වහන්සේ හඳුන්වන ගරු නමකි. බලන්න:බුද්ධනාම. එසේ බුදුන් වහන්සේ හැඳින්වීමට හේතුව එක්තරා දෙවියෙක් මෙසේ දක්වා ඇත:

“එක්මුලක් ඇති, දියසුළි දෙකක් ඇති, මළ (කිළුටු) තුනක් ඇති, විස්තාරණ (දිගුව) පහක් ඇති, ආවාට දොළොසක් ඇති, ආගාධ වූ සමුද්‍රය මහා ඉර්ෂි තරණය කළහ” . සටහන්: අටුවාවට අනුව: සමුද්‍රය (පාතාලය) යනු තණ්හාවය. තණ්හාවට සමුද්‍රය ලෙසින් දක්වන්නේ තණ්හාව පුරවාලිය නොහැකි නිසාය (සාගරයද පුරවාලිය නොහැකිය), පාතාලය ලෙසින් දක්වන්නේ ,පය තැබීමට ඉඩක් නොමැති නිසාය. ඒක මුලය නම් අවිද්‍යාව. දියසුළි 2 නම්: ශාශ්වත දෘෂ්ටිය (externalism ) හා උච්චේද දෘෂ්ටිය ( annihilationism). ශාශ්වත දෘෂ්ටිය නිසා භව තණ්හාව කැරකි කැරකි පවතී. උච්චේද දෘෂ්ටිය නිසා තණ්හාව සහමුලින්ම විනාශ කිරීම. කිළුටු 3 වන්නේ: ලෝභය, දෝසය හා මෝහය.දිගු 5: පස්කම් සැප.දියසුළි 12:අභ්‍යන්තර සලායතන 6 හා බාහිර සලායතන 6 ය. බලන්න: * ESN:note:98, p. 516. ** කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂුන් වහන්සේ: පාතාලය යනු දුක් වේදනා බවද, සාගරය යනු සය ඉන්ද්‍රිය බවද, දිය සුළි 2 ක: සුඛ හා දුක වේදනා ලෙසද, මුල යනු ස්පර්ශය බවද සඳහන් කර ඇත: බලන්න: නිවනේ නිවීම දේශනා. **උප ග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: දේවතාසංයුත්ත: ඒකමුල සූත්‍රය, පි. 84, ESN:1: Devathasamyutta: 44.4 One root, p. 119.

▲ මහා උපදේස-great references: මහා උපදේස-මහාපදෙස: ධර්මය නිශ්චිත කරගැනීම පිළිබඳව බුදුවරු පෙන්වාදෙන නිර්දේශ-නියම කිරිම්ය. ධර්මය, බුදුන් වදාළ ධර්මයද යයි නිශ්චිත කරගැනීම පිලිබඳ ආකාර 4 ක්: සතර මහා අපදේස, බුදුන් වහන්සේ මේ සූත්‍රයේ පෙන්වා ඇත. සටහන: EAN:Note 892 හි මේ පිලිබඳ නිර්වචන හා විස්තර දක්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (2) 4 නිපාත:4.4.3.10 මහාපදෙසදෙසනා සූත්‍රය, පි.348.

▲ මහා උපාසිකා- Great Lay woman follower: බුදුසසුනේ, මහා උපාසිකාව ලෙසින් පෙන්වා ඇත්තේ, මිගාර මාතාවයයි නම්ලත් විශාඛා සිටුදේවියය. බලන්න: උපග්‍රන්ථය:3

▲ මහා කච්ච්චාන තෙර-Mamhakaccanana Thera: බලන්න:උපග්‍රන්ථය:1

▲ මහා කොට්ඨිත තෙර-Maha Kotthitha Thera: බලන්න:උපග්‍රන්ථය:1

▲ මහා කප්පින තෙර-Maha Kappina Thera: බලන්න:උපග්‍රන්ථය: 1

▲ මහා කරුණාසමාපත්ති ඥානය- Mhakarunasmapatthi nana: මහාකරුණා සමාපත්ති ඥානය බුදු වරුන්ට විශේසවූ නුවණකි. “ බහුප්‍රකාරයෙන් (නුවනැසින් හා බුදු ඇසින්) බලන්නාවූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසගනි: ලෝකසන්නිවාසය තෙම රාගාදින් විසින් ආදීප්තය... නොයෙක් කටයුත්තෙහි උත්සහා සහිතය...මරණයට නික්මගියේය... නොමගට පිළිපන්නේය... එලෙස දක්නාවූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසගනි”. සටහන්: *බුදුවරු ලෝක සත්ත්‍වයන් පිලිබඳ මහාකරුණාව පෑම මේ සූත්‍රයේ විස්තරාත්මකව පෙන්වා ඇත. ** ‘මහාකාරුණික’ යනු බුදුන් වහන්සේ හඳුන්වන පදයකි. බලන්න:බුද්ධ නාම. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදාමග්ග 1: මහාවග්ග, ඥානකතා: 71 මහාකරුණා සමාපත්ති ඥානය, පි. 258.

▲ මහා කාශ්‍යප තෙර-Mahakassapa Thera: බලන්න:උපග්‍රන්ථය:1

▲ මහාගුථ නිරය- Vast Hell of Excrement: අශුචි පිරුණ නිරය, අකුසල විපාක විඳින්නට ඇති දුගතියකි .බලන්න: නිරය.

▲ මහා චුන්ද තෙර- Mahācunda Thera: බලන්න:උපග්‍රන්ථය:1

▲මහා දිට්ඨි-Great views: ලෝකයේ පවතින විවිධ දිට්ඨි හා අදහස් පිළිබඳව මේ සූත්‍රයේ විස්තරාත්මකව පෙන්වා ඇත. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, පංච උපාදානස්කන්ධයට ඇලීම නිසා (තමාගේ යයි) ලෝකයා තුල මෙබඳු දිට්ඨි ඇතිවේ:

“...මේ සත්කාය (සමුහය 7 ) ඇත. කවර 7 ක්ද: පඨවිකාය, ආපෝකාය, වායෝකාය,සුඛ, දුඛ හ ජීව යන සතය. මේවා නොකරන ලද... නො මවන ලද...පර්වත කූටයක් ලෙසින් සිටි...යම් කලක ආරිය ශ්‍රාවකගේ ඒවා පිලිබඳ සැකය පහවූවිට ඔහු සෝතාපන්න බවට පත්වේ”. මූලාශ්‍රය: සංයු.නි: (3) ඛන්ධවග්ග: දිට්ඨිසංයුත්ත:3.1.8 මහා දිට්ඨි සූත්‍රය, පි.424.

▲ මහා දානය-Maha dana-Great offerings.: රළු හෝ ප්‍රණීත හෝ සුළු ධනයක් හෝ මහා ධනයක් කැපකර දෙන දේ මැනවින් දෙන්නේනම් එය මහා දානයක්ය, යහපත් ඵල විපාක ඇතිබව මෙහි පෙන්වා ඇත: 1) සකස්කර දියයුතුය 2) ගරුකටයුතු ලෙස දිය යුතුය 3) සියතින්ම දිය යුතුය 4) නිරතුරුව දිය යුතුය 5) කර්මය අදහමින් දිය යුතුය. එවැනි දානයක් නිසා යහපත් ඵලවිපාක තමන්ට මෙන්ම තමන් ගේ පවුලේඅයට, සේවකයින් ආදින්හටද ලැබේ. පුරාණයේ සිටි වේලාම බ්‍රාහ්මණ විසින් දෙන ලද දානය මෙහි විස්තරාත්මකව දක්වා ඇත. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ වේලාම බ්‍රාහ්මණයා විසින් මහා ධනයක් වැය කර දෙන ලද එම දනයට වඩා මහා ඵල ලැබෙන දාන ලෙසින් සලකන්නේ 1) සිව්මග ලැබූ ආරියන්ට (සෝතාපන්න- අරහත්) දෙන දානයය. 2) ඒ දානයට වඩා පච්චේක බුදුන්ට දෙන දානය මහා ඵල ලබාදේ. 3) පච්චේක බුදුන් 100ට දෙන දානයට වඩා බුදුන් වහන්සේට පිරිනමන දානය අග්‍රය. 4) බුදුන් ප්‍රමුඛ සංඝයාට දෙන දානය ඊට වඩා අග්‍රය 5) සිව් දෙස සිටින සංඝයාට කැපකර දෙන ආරාම දානය ඊට වඩා අග්‍රය 6) තෙරුවන් සරණ යෑම ඊට වඩා අග්‍රය 7) පන්සිල් රැකීම ඊට වඩා අග්‍රය 8) දෙනගෙන් කිරි දෝවන මොහොතක් පමණ කලක් මෙත්තා සිත වැඩිම ඊට වඩා අග්‍රය. 9) අසුරගසන කාලය (the time of a finger snap) වැනි මොහොතකට අනිච්ච සංඥාව වැඩිම ඊට වඩා අග්‍රවේ.

සටහන්: * මේ සූත්‍රය දේශනා කර ඇත්තේ අනාථපිණ්ඩික සිටුවරයාටය. බලන්න: EAN:note no: 1876, p.671. ** බුදුන් වහන්සේ පෙර ජීවිතයක, වේලාම බ්‍රාහ්මණයා ලෙසින් උපතලබා ඇත. බලන්න: බුදුන් වහන්සේ-පෙර ජිවිත. මූලාශ්‍ර:අංගු.නි: (5): 9 නිපාත:9.1.2.10 වේලාම සූත්‍රය, පි.456, EAN:9:20.10 Velāma, p.469.

▲මහා දීප-Great continents: මහාදීප ලෙසින් පෙන්වා ඇත්තේ, පුරාණ දඹදිවට අයත්වූ, සක්විති රජුගේ පාලනයට නතු මහාදීප 4 ක්ගැනය. බලන්න: දඹදිව, සක්විතිරජ.

▲ මහා දසධර්ම ප්‍රශ්න -Ten Great Dhamma Questions: අන්‍යආගමිකයන් බුද්ධ ධර්මය ගැන ප්‍රශ්න කරන විය ඔවුන්ට, මහා දසධර්ම ප්‍රශ්න ගැන විමසීය යුතුය යි බුදුන් වහන්සේ සංඝයාට උපදෙස් වදාළහ:

1) ප්‍රශ්නය: භික්ෂූව එක් ධර්මයක් දැක: මනාව කළකිරීමට පත්වේනම්; විරාගයට පත්වේනම්, නිරෝධයට පත්වේනම්; පිරිසිඳ ලෙසින්ම දකින්නේනම්, අර්ථය නුවණින් අවබෝධකර ගැනීමෙන්, මේ ජීවිතයේදීම දුක කෙළවර කරගනි. ඒ එක ධර්මය කුමක්ද? පිළිතුර: සියලු සත්වයෝ අහාරනිසා පෝෂණයවේ. 2) ප්‍රශ්නය: භික්ෂුවක්, ධර්මතා 2 ක් දැක: මනාව කළකිරීමට... (ඉහත මෙන්...) දුක කෙළවර කරගනි. ඒ ධර්මතා 2 කුමක්ද? පිළිතුර: නාම රූප. 3) ප්‍රශ්නය: භික්ෂුවක්, ධර්මතා 3 ක් දැක: මනාව කළකිරීමට... (ඉහත මෙන්...) දුක කෙළවර කරගනි. ඒ ධර්මතා 3 කුමක්ද? පිළිතුර: ත්‍රිවිධ වේදනා (සුඛ. දුක හා මැදහත්) 4 ) ප්‍රශ්නය: භික්ෂුවක්, ධර්මතා 4 ක් දැක: මනාව කළකිරීමට... (ඉහත මෙන්...) දුක කෙළවර කරගනි. ඒ ධර්මතා 4 කුමක්ද? පිළිතුර: සිව් ආහර (කබලිංක ආහාර, ස්පර්ශ ආහාර, මනෝසංචේතනා ආහාර, විඥානආහාර (බලන්න: අහාර) 5 ) ප්‍රශ්නය: භික්ෂුවක්, ධර්මතා 5 ක් දැක: මනාව කළකිරීමට... (ඉහත මෙන්...) දුක කෙළවර කරගනි. ඒ ධර්මතා 5 කුමක්ද? පිළිතුර: පංච උපාදානස්කන්ධය. 6 ) ප්‍රශ්නය: භික්ෂුවක්, ධර්මතා 6 ක් දැක: මනාව කළකිරීමට... (ඉහත මෙන්...) දුක කෙළවර කරගනි. ඒ ධර්මතා 6 කුමක්ද? පිළිතුර: අභ්‍යන්තර ආයතන හය-සළායතන. 7 ) ප්‍රශ්නය: භික්ෂුවක්, ධර්මතා 7 ක් දැක: මනාව කළකිරීමට... (ඉහත මෙන්...) දුක කෙළවර කරගනි. ඒ ධර්මතා 7 කුමක්ද? පිළිතුර: විඥාන ආයතන සත (බලන්න: විඥානය පිහිටන ස්ථාන) 8 ) ප්‍රශ්නය: භික්ෂුවක්, ධර්මතා 8 ක් දැක: මනාව කළකිරීමට... (ඉහත මෙන්...) දුක කෙළවර කරගනි. ඒ ධර්මතා 8 කුමක්ද? පිළිතුර: අටලෝදහම 9 ) ප්‍රශ්නය: භික්ෂුවක්, ධර්මතා 9 ක් දැක: මනාව කළකිරීමට... (ඉහත මෙන්...) දුක කෙළවර කරගනි. ඒ ධර්මතා 9 කුමක්ද? පිළිතුර: සත්තාවාස නමය. 10 ) ප්‍රශ්නය: භික්ෂුවක්, ධර්මතා 10 ක් දැක: මනාව කළකිරීමට... (ඉහත මෙන්...) දුක කෙළවර කරගනි. ඒ ධර්මතා 10 කුමක්ද? පිළිතුර:දස අකුසල ධර්ම.

සටහන්: * කජඞන්ගලා තෙරණිය,මේ මහා දස ප්‍රශ්ණ ගිහි ශ්‍රාවකයන් හට යම් වෙනස්කම් සහිතව දේශනා කර ඇත. 4 ප්‍රශ්නයට පිළිතුර: සතර සති පට්ඨානය, 5 ප්‍රශ්නයට පිළිතුර: පංච ඉන්ද්‍රිය 6 ප්‍රශ්නයට පිළිතුර: නිස්සාරණිය ධාතු සය 7 ප්‍රශ්නයට පිළිතුර: සප්ත බෝජ්ජංග ධර්ම 8 ප්‍රශ්නයට පිළිතුර: ආරිය අටමග.බලන්න: අංගු.නි: (6) 10 නිපාත: 10.1.3.8. දෙවන මහාපඤ්හ සූත්‍රය,පි.128, EAN: 10: 28.8 Great Questions -2 , p. 504. ** භික්ෂුණියගේ පිළිතුරු බුදුන් වහන්සේ අනුමත කරඇත. මූලාශ්‍ර: අංගු.නි: (6) 10 නිපාත: 10.1.3.7. ප්‍රථම මහාපඤ්හ සූත්‍රය,පි. 116. EAN: 10: 27.7 Great Questions -1, p. 503.

▲ මහා නිදානය-The Great Origination: ධර්මයේ මහා නිදානය ලෙසින් පෙන්වා ඇත්තේ හේතු ප්‍රත්‍ය ධර්මයය. එමනිසා සත්‍වයෝ සසර දිගු කලක් හැසිරේ. දීඝ.නි: මහා නිදාන සූත්‍රයේ මේ පිළිබඳව විස්තරාත්මකව දක්වා ඇත. බලන්න:පටිච්චසමුප්පාදය.

▲මහා නාම තෙර-පස්වග- Mahanama Thera -Pasvaga: බලන්න:උපග්‍රන්ථය: 1

▲මහා නාම තෙර-Mahanama Thera: බලන්න:උපග්‍රන්ථය: 1

▲මහානාම ශාක්‍ය-Mahanama Sakkya:බලන්න:උපග්‍රන්ථය: 3

▲ මහා නිරය-Great Hell: අයහපත් කර්ම විපාක කළ සත්ත්‍වයෝ යළි උපත ලබන දුගතියකි. බලන්න: නිරය.

▲ මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය-Maha Prajapathi Gothami Theriya: බලන්න:උපග්‍රන්ථය:2

▲ මහා ප්‍රඥාව : පාලි: මහාපඤ‍්ඤා-great wisdom: ධර්මයේ මහා ප්‍රඥාව (උතුම් ප්‍රඥාව) ලෙසින් පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික වර්ධනයේ උතුම් බව ඇතිකරන නුවණ- අනාත්මබව පිලිබඳ අවබෝධය ලැබීමය. බලන්න: ප්‍රඥාව.

▼අනත්තානුපස්සනාව, රූපයේ අනත්තානුපස්සනාව වැඩීමෙන් නැවත නැවත එහි යෙදීමෙන් මහා ප්‍රඥාව පරිපුර්ණවේ:

“අනත‍්තානුපස‍්සනා... රූපෙ අනත‍්තානුපස‍්සනා භාවිතා බහුලීකතා මහාපඤ‍්ඤං පරිපූරෙති”

මහා ප්‍රඥාව යනු කුමක්ද? සිව් පිළිසිඹියාව... ශීල සමාධි හා ප්‍රඥා ස්කන්ධ... විමුක්ති ස්කන්ධය හා විමුක්ති ඥානදර්ශන ස්කන්ධය... ස්ථාන අස්ථාන නුවණ... විහාරසමාපත්තින්... ආර්යසත්‍යය, සත්තිස් බොධිපාක්‍ය අංග... ආර්යමාර්ගය... ශ්‍රමණඵල...අභිඥා...පරම අර්ථයවූ නිවන ආදී ධර්මතා මහත් ලෙසින් උතුම් ලෙසින් පිරිසිඳ දැනගැනීමේ නුවණ, අවබෝධය මහා ප්‍රඥාව වේ. සටහන:සංයු.නි: (5-2) සොතාපත්තිසංයුත්තය: මහාපඤඤාවග්ගයේ සූත්‍රයන්හි විවිධ ප්‍රඥා පිළිබඳව විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: ඛු.නි: 1: ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි. 166-174.

▼ සතර ධර්මය: 1) සත්පුරුෂ සේවනය 2) සද්ධර්ම ශ්‍රවණය 3) යෝනිසෝමනසිකාරය 4) ධර්මයට අනුකුලව පිළිපැදීම (ධර්මානුධර්ම ප්‍රතිපදාව) ඇති පුද්ගලයාට මහා ප්‍රඥාව ඇතිවේ.

“…ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා මහාපඤ‍්ඤාතාය සංවත‍්තනතිති”

(... these four things, when developed and cultivated lead to the great wisdom). බලන්න: ප්‍රඥාව, සතර ධර්මය. මූලාශ්‍ර: සංයු.නි: (5-2) මහාවග්ග: සෝතාපන්න සංයුත්ත:මහාප්‍රඥා වග්ග: 11.7.1 මහා ප්‍රඥා සූත්‍රය, පි. 280, ESN:55 Sotapatthisamyutta: 62.1 Greatness of Wisdom p. 2261.

▼ කායගතා සතිය වැඩීමෙන්, විපුල කරගැනීමෙන් මහා ප්‍රඥාව ඇතිවේ (Mindfulness directed to the body...when developed and cultivated, leads to the great wisdom). මූලාශ්‍ර: අංගු.නි: (1) 1 නිපාත: කායගතාසති වග්ග: පි. 125 EAN:1: Mindfulness Directed to the Body: p.52 .

▼ ධර්මයට අනුව මහා ප්‍රඥා පිළිබඳ කරුණු ගැන අවබෝධය ඇත්තේ, බුදුන් වහන්සේට, බුද්ධ ශ්‍රාවකයන්ට, එම උතුමන් ගෙන් දැනගෙන අවබෝධ කරගත් අයට පමණක් බව මේ සූත්‍රයන්හි විස්තරාත්මකව පෙන්වා ඇත. බලන්න: මහා දසධර්ම ප්‍රශ්න. මූලාශ්‍ර: අංගු.නි: (6) 10 නිපාත: මහාවග්ග:මහාපඤඤ සූත්‍ර, පි.116.

▼ වෙනත් මූලාශ්‍ර:1.“මහත් වූ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඤාණ දස්සන ඨානාඨාන මහාවිහාර සමාපත්ති අරියසච්ච සතිපට්ඨාන සම්මප්පධාන ඉද්ධිපාද ඉන්‍ද්‍රිය බොජ්ඣඞ්ග අරියමග්ග සාමඤ්ඤඵල නිබ්බාණ යන ධර්‍මයන්හි පැවැති නුවණ මහාපඤ්ඤා නම්වේ”. https://pitaka.lk/dhammapada/ss/katha-28.html

▲ මහාප්‍රඥා පණ්ඩිත- A wise person of great wisdom: බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ: මහාප්‍රඥා පණ්ඩිත පුද්ගලයා තමන්ගේ හානිය, අනුන්ගේ හානිය පිණිස කටයුතු නොකරන බවය. ඔහු තමන්ගේ හිතසුව හා අනුන්ගේ හිත සුව පිණිස, මුළුලොව හිත සුව පිනිස කටයුතු කරන්නෙකි. සටහන්: අංගු.නි: (2) 4 නිපාත, 4.1.4.5 වස්සකාර සූත්‍රයේ: මහා ප්‍රඥාව ඇති මහා පුරුෂයා සතු ගුණ 4 ක් පෙන්වා ඇත: 1) ඔහු බොහෝදෙනාගේ හිතසුව පිණිස කටයුතු කරති, ඔවුන් ආරිය ධර්මයේ - කුසල ධර්මයේ පිහිටුවයි 2) තමන් සිතීමට කැමති දේ ඔහු සිතයි, තමන් සිතීමට අකැමති දේ ඔහු නොසිතයි. යම් සංකල්පනාවක් කැමති නම් ඒ දේ කරයි, යම් සංකල්පනාවක් අකැමති නම් ඒ දේ නොකරයි. ඔහු සිත පිලිබඳව හා සිතිවිලි පිළිබඳව අග්‍රය. 3) ඔහු, අධිචිත්තය ඇතිකරන, දිට්ඨධම්ම සුඛය ඇතිකරන සිව්ජාන සමාපත්ති, පහසුවෙන්ම, කැමති ආකාරයට ලබාගැනීමට සමත්ය. 4) ඔහු සියලු ආසවයන් ප්‍රහීණය කොට, චේතෝවිමුත්තිය හා ප්‍රඥාවිමුත්තිය ලබා වාසය කරයි. නෙක්කම්ම ආදී විතක්ක කිරීමට කැමතිවේ, කාම විතක්ක නොකරයි, මෙහි පෙන්වා ඇත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතු ගුණයන්ය මූලාශ්‍ර: අංගු.නි: (2) 4 නිපාත: 4.4.4.6 බහුශ්‍රැත සූත්‍රය, පි. 366, EAN:4: 186.6 Acumen.

▲මහාප්‍රඥා ආලෝකය- great light of wisdom: තථාගතයන්වහන්සේගේ පහළවීම සමග මහාප්‍රඥා ආලෝකය ඇතිවේ. බලන්න: තථාගතයන්වහන්සේ.

▲මහා ප්‍රඥාචක්ෂු - great vision of wisdom : තථාගතයන්වහන්සේගේ පහළවීම සමග මහා ප්‍රඥාචක්ෂු ඇතිවේ. බලන්න: තථාගතයන්වහන්සේ.

▲මහා ප්‍රඥාදිස්නය- great radiance of wisdom: තථාගතයන් වහන්සේගේ පහළවීම සමග මහා ප්‍රඥාදිස්නය ඇතිවේ. බලන්න: තථාගතයන්වහන්සේ.

▲ මහා පන්ථක තෙර-Maha Panthaka Thera බලන්න:උපග්‍රන්ථය:1

▲ මහා පුන්නම-Full-Moon Night: මහාපුන්නම ලෙසින් පෙන්වා ඇත්තේ පසලොස්වක දිනය- උපෝසථ දිනයය. බලන්න: උපෝසථ. බුදුන් වහන්සේ වැඩසිටි සමයේ දී එම දිනයේ සංඝයා, ධර්මයේ නො පැහැදිලි තැන් ආදීවූ ධර්ම ප්‍රශ්න බුදුන් වහන්සේගෙන් විමසීමට පුරුදුවී ඇතිබව සූත්‍ර පිටකයට අනුව පෙනේ. ම.නි: මහාපුන්නම සූත්‍රයේ දී පෙන්වා ඇත්තේ, පුන් පොහොදිනයේ දී, බුදුන් වහන්සේ සංඝයාට කැමති ප්‍රශ්නයක් විචාරීමට අවස්ථාව ලබාදීමය.

▲මහා පරිනිබ්බානය- The Great Passingaway: මහා පරිනිබ්බානය- මහා පරිනිර්වාණය ලෙසින් පෙන්වා ඇත්තේ අපගේ ගෝතම බුදුන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයය. බලන්න: දීඝ.නි: මහා පරිනිබ්බාන සූත්‍රය.

▲ මහා පරිළාහ නිරය-Maha parilaha niraya: මෙහිදී, බුදුන් වහන්සේ මේ නිරය පිළිබඳව විස්තර කර ඇත. එම නිරයේ ඇති සෑම දෙයක්ම අනිටුය, මනාප නොවේ, මහා ගිනිකඳකි. මේ නිරයට වඩා බිහිසුණු දෙය නම්, චතුසත්‍ය නොදැන සසර දුක පවත්වා ගැනීමය. බලන්න: පරිළාහ, නිරය. මූලාශ්‍ර:සංයු.නි: (5-2) මහාවග්ග: සච්චසංයුත්ත:12.5.3 පරිළාහසූත්‍රය, පි.336, ESN:56: Sacchasamyutta:V:43.3. The Great Conflagration, p. 2314.

▲ මහාපුරුෂ-A Great man: මහා පුරුෂ ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සියලු කෙළෙස් නිමා දැමු රහතුන්ය. බුදුන් වහන්සේ මහා පුරුෂ ලෙසින් හඳුන්වයි. බලන්න: බුදුන් වහන්සේ: බුද්ධනාම. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: 5-2 තිස්සමෙත්තෙයිය මානවක, පි.338.

▼ සැරියුත් තෙරුන්ගේ විමසීමක් මත බුදුන් වහන්සේ මහා පුරිස යනු මිදුන සිත් ඇති ( With a liberated mind). පුද්ගලයා (රහතුන්) යි වදාළහ. සතිපට්ඨානය යහපත් ලෙසින් පුරුදු පුහුණු කිරීම, සිත කෙළෙසුන්ගෙන් මුදාගැනීමට පිහිටවේ. සටහන: මහා පුරුෂයා ගැන විස්තර පිණිස බලන්න:මධ්‍යය. මූලාශ්‍ර: සංයු.නි: (5-1) මහාවග්ග:සතිපට්ඨාන සංයුත්ත:2 නාලන්දවග්ග:3.2.1 මහාපුරිස සූත්‍රය, පි. 314, ESN:47 Satipattanasamyutta:II Nalanda: 11.1 A great man,p.1868.

▼මහාපුරුෂයා යනු බුදුන් වහන්සේය:

“ මග්ගාමග පිලිබඳ කුශල ඇති, කෘතකෘත්‍යවූ, අනාශ්‍රවවූ අන්තිමදේහධාරිවූ චතුසත්‍ය අවබෝධ කළ ඒ මහාප්‍රාඥයන් වහන්සේ මහා පුරුෂ යයි කියනු ලැබේ”.

(...the one skilled in the path and what is not the path, the taintless one who accomplished his task; the Enlightened One bearing his final body is called “a great man of great wisdom). මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත: 4.1.4.5 වස්සකාර සූත්‍රය, පි.93, EAN:4: 35.5 Vassakāra, p.162.

▲මහා පුරුෂ ලක්‍ෂණ-Maha purisa lakshana: මහා පුරුෂ ලක්‍ෂණ යනු බුදුන් වහන්සේ සතු විශේෂාවූ කායික ලක්‍ෂණ 32 පිලිබඳවය. බලන්න: ලක්‍ෂණ, බුදුන් වහන්සේ. මූලාශ්‍රය:දීඝ.නි: (3):පාඨිකවග්ග: 7 ලක්‍ෂණ සූත්‍රය, පි.252.

▲ මහාපුරුෂ විතර්ක- great reflections: මහාපුරුෂ විතර්ක ලෙසින් පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීම පිණිස උපකාරීවන උතුම් ගුණයන්ය.බලන්න: උතුම් සිතිවිලි.

▲මහා පුරුෂ විහරණය- Great abiding: අරහත්ඵලය සාක්ෂාත් කරගත් ආරිය උතුමෝ විහරණය කරණ ශුන්‍යතා විහරණය මහා පුරුෂ විහරණය ලෙසින් පෙන්වා ඇත. බලන්න: ශුන්‍යතා විහරණය

▲ මහා බ්‍රහ්ම: පාලි: මහාබ්‍රහ‍්ම- Mahābrahmā- greater Brahma-super-god: මහාබ්‍රහ්ම ලෙසින් පෙන්වා ඇත්තේ දහසක් ලෝක ධාතුවට අධිපති බ්‍රහ්ම රාජයාටය. බලන්න: බ්‍රහ්මලෝක.

▼ මහාබ්‍රහ්ම රාජයා අග්‍ර යයි, බලවත් යයි සලකියි. එහෙත්, ඔහු විපරිනාම ධර්මයට යටවන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන: ඔහු ආධ්‍යාත්මික මග සාක්ෂාත් කරගන්නා තෙක් -නිවන් දකිනාතෙක් සසරට බැඳී සිටි. මූලාශ්‍ර: අංගු.නි: (6) 10 නිපාත:10.1.3.9. ප්‍රථම කොසල සූත්‍රය, පි. 134, EAN-10: 29.9 Kosala-1, p. 505.

▲මහාභූත -Mahabhutha: මහාභූත ලෙසින් පෙන්වා ඇත්තේ සතර මහා භූතයන්ය. බලන්න: සතරමහා භූතයෝ

▼වෙනත් මූලාශ්‍ර: 1. “බොහෝවිට මුල අමතක වීම නිසා අප නොසන්සුන්වේ, එහෙත් මුල - එනම් පඨවි, ආපෝ, තේජෝ, වයෝ යන මහා භූතයන් ගැන අපට මතක්වන්නේනම් සිත සනසා ගත හැකිය. අප ඇතුළතද, පිටතද තිබෙන මේ මුලධාතු මෙනෙහි කිරීමෙන් අප නොසන්සුන් කරන වාදභේද ආදිය සමතයකට පත් කර ගත හැකිය. ලෝකයේ ඇති උඩඟුබව, කුඩුකේඩු ආදී සැම පිට පොත්තට පමණක් සීමාවූ පුහුදෙවල් බව ද මේ ලොව ඇත්තේ මේ මහා භූත ධර්මයන් පමණක් බව මෙනෙහි කරනවිට සියලු වෙනස්කම් අත හැර ගත හැකිය...”. හිතක මහිම 1, කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂුව: පහන් කනුව ධර්ම දේශනා.

▲මහාභිය-Great fear: ලෝකයාට ඇති මහාභිය නම් ජාති ජරා මරණ දුකය. බලන්න: භය.

▲මහා භද්‍රාකපිලාණි තෙරණිය-Maha Bhadrakapilaani Theraniya බලන්න:උපග්‍රන්ථය:2

▲මහා මුගලන් තෙර- Mugalan Thera:බලන්න:උපග්‍රන්ථය: 1

▲මහා මායා දේවිය - Maha maya devi: ගෝතම බුදුන් වහන්සේගේ මැනියෝය. බලන්න: බුද්ධ මාතාව.

▲මහා යාගය- Maha yagaya: සත්ව ඝතනය නොමැතිව, ධර්මානුකූලව, මහාඵල ආනිසංස ලබාගැනීමට මහායාගයක් (මහායඥය) කළයුතු ආකාරය මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (4) 7 නිපාතය: 7.1.5.4 මහායඤඤ සූත්‍රය, පි.364.

▲ මහා රුක: පාලි: මහාරුක‍්ඛ-huge trees: මහා රුක: මහා වෘක්‍ෂය-මහා ගස. කුඩා බීජයකින් ඇතිවෙන මහා ගස් ලෙසින් ඇසතු (අසසතෙථා-assattha) නුග (නිග්‍රෝධො- banyan) පුලිල (පිලකෙඛා- pilakkha) දිඹුල් (උදුම්බරො-udumbara) ඇටකසුක් (කචඡකො-kacchaka) ගිවුළු ( කපිතථනො-kapitthana) දක්වා ඇත. මේ මහා ගස්, වනයේ ඇති සෙසු ගස් වටකරගෙන වැඩේ. එමනිසා, කුඩා ගස් නැමී, ඇඹරී, පැලි විනාශවී යති. සටහන්: * මහාරුක් උපමාව: එවැනි මහා ගස් නිසා සෙසු ගස් විනාශවියාම උපමා කර ඇත්තේ පංච නිවරණ නිසා ආධ්‍යාත්මික ජීවිතය වැනසියාම පෙන්වා දිමටය. මහා රුක, යට ඇති මුල් මගින් අහාර උඩට ඇද මහා බවට පත්වේ. එලෙස උපාදාන නිසා, මිනිසුන් තුල ආස්වාදය වැඩි තණ්හාව මහත් බවට පත්වේ. ** භික්ඛු බෝධි හිමියන්ට අනුව: මේ මහා ගස් මාරාන්තික ග්‍රහණය ඇති ෆිග් (නුග වැනි) ගස්ය (fig trees) බලන්න: ESN note 81, p. 2397. ** මහා රුක, යට ඇති මුල් මගින් අහාර උඩට ඇද මහා බවට පත්වේ. එලෙස උපාදාන නිසා, මිනිසුන් තුල ආස්වාදය වැඩි තණ්හාව මහත් බවට පත්වේ. බලන්න: සංයු.නි: (2) නිදානවග්ග: අභිසමයසංයුත්ත:දුක්ඛවග්ග: මහාරුක්ඛ සූත්‍ර, පි.160. මූලාශ්‍ර: සංයු.නි: (5-1) මහාවග්ග:බොජ්ඣංගසංයුත්ත: නීවරණ වග්ග: 2.4.9 මහාරුක්ඛ සූත්‍රය, පි. 220, ESN: 46 Bojjhangasamyutta: The Hindrances: 39.9 Trees, p. 1774.

▲ මහා ලෝභ: පාලි: මහාලොභො- strong greed: මහාලෝභය (මහේච්ඡතාව), අකුසලයකි, ආධ්‍යාත්මික මගට හානි ගෙනදේ. එමගින් කුසල් දහම් පිරිහේ, නුපන් අකුසල ඇතිවී වැඩිවේ. සටහන: අටුවාවට අනුව මහා ලෝභය යනු අස්න්තුෂ්ටියය: Lack of contentment, excessive desire with regard to robes, almsfood, dwelling places, medicines, and the five objects of sensual pleasure. Such desire, desirousness, strong desire, lust, passion, mental passion, is called strong desire. බලන්න: EAN: Note: 52, p. 583. මූලාශ්‍ර: අංගු.නි: (1) 1 නිපාත: 1.7.2 සූත්‍රය, පි. 60, EAN:1: 62.2 sutta, p. 40.

▲මහාලි ලිච්ඡවි- Mahali lichchavi:බලන්න: උපග්‍රන්ථය:3

▲ මහා වන ආරණ්‍ය- The great woods: විසාලානුවර පිහිටි මහාවන ආරණ්‍යය, බුදුන් වහන්සේ අවසාන චාරිකාවේ දී වැඩසිටි ස්ථානයකි. මෙහිලිච්චවී රජදරුවන් සැදු කුටාගාර ශාලාව පිහිටා ඇත. බලන්න: කුටාගාරය.

▲ මහා වනය-කිඹුල්වත්නුවර- Mahavana of Kimbulwathnuwara: මේ මහා වනය කිඹුල්වත්නුවර- කපිලවස්තු නුවර අසල පිහිටි මහා වනයකි. බුදුන් වහන්සේ, කපිලවස්තු නුවරට වැඩම කළ අවස්ථාවන් හි මෙහි වැඩසිටි බව සූත්‍රදේශනාවල සඳහන් කර ඇත. බලන්න: දීඝ.නි: (2) මහාසමය සූත්‍රය.

▲ මහා වියුහ- Huge view: මහාවියුහ-මහා දිට්ඨිය ලෙසින් පෙන්වා ඇත්තේ තම මතය දැඩිව ගෙන, අපගේ ලබ්ධිය සත්‍යයය, අන්‍ය ලබ්ධිය තුච්ඡ යයි කියමින් දරන දැඩි මතයය.එවැනි දිට්ඨියක් ඇතිවිට යථාබව අවබෝධ කරගත නොහැකිය, විමුක්තිය ලබා ගත නොහැකිය. සටහන: දිට්ඨිය දැඩිව ගත් අයගේ ස්වභාවය, ඛු.නි:සුත්තනිපාත:අට්ඨක වග්ග 4-12 චූලවියුහ සූත්‍රයේ විස්තර කර ඇත. මූලාශ්‍රය: ඛු.නි:සුත්තනිපාත:අට්ඨක වග්ග:4-13 මහාවියුහ සූත්‍රය, පි.302.

▲ මහා සමය-Maha samaya: මහා සමය- මහා සමගම රැස්වීම ලෙසින් මෙහිදී දක්වා ඇත්තේ බුදුන් වහන්සේ, බොහෝ සංඝයා සමග, කිඹුල්වත්නුවර අසල මහා වනයෙහි වැඩසිටින අවස්ථාවේදී, බුදුපිරිස බැහැදැකීමට, බ්‍රහ්මලෝක, දේවලෝක දෙවියන් පැමිණීමය. සටහන: එම දෙවපිරිසේ නම් මෙහි විස්තර කරඇත. මූලාශ්‍රය: දී.ඝ.නි: (2) මහාසමය සූත්‍රය, පි. 398.

▲ මහා සමුද්‍රයේ අසිරිය- Wonders of the great ocean: එක් සමයක පහාරද අසුර රජු, බුදුන් වහන්සේ බැහැදැක අසුරයන් ගේ වාසස්ථානය වූ මහා සයුරේ අසිරිමත් කරුණු 8 ක් ඇතිබව ද ඒනිසා අසුරයෝ මහා සමුද්‍රයට සිත අල්වාගෙන සිටිති යයි පැවසුහ. ඉන්පසුව, බුදුන් වහන්සේ, මහා සයුර වැනිවූ ධම්ම විනයේ සංඝයා සිත් අල්වා ගෙන සිටින බවත්, ධර්ම විනයේ අපුරු අසිරිමත් කරුණු 8ක් විද්‍යාමාන බවත් වදාළහ: 1) ධර්මවිනය ද මහා සයුර මෙන් ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු බවට පත්වේ 2) මහා සයුර වෙරළ නො ඉක්මවන ලෙසින් සංඝයා දිවිහිමියෙන් සික පද නොඉක්මවති 3) මහාසයුර, මළමිනී ආදී අපවිත්‍ර දේ තබානොගන්නා ලෙසින්, සංඝයා කෙළෙස් ඇති පුද්ගලයන් ආශ්‍රය නොකරයි 4) මහා සයුරට එක්වන සියලු නදී සමුද්‍ර ජලය බවට පත්වෙන ලෙසින්, කිනම් කුලගෝත්‍ර වලින් පැවිදිවූ සංඝයා ඒ කුලආදිය හැර අනගාරික බවට පත්වේ 5) සියලු නදී මහා සයුරට ඇදවැටීමෙන් මහා සයුර පිරි ඉතිරි යාමක් නොවෙන්නා සේ, නිවන සාක්ෂාත් කරගත් සංඝයා නිසා නිර්වාන ධාතුවේ පිරි ඉතිරියාමක් නොවේ 6) මහා සයුරේ ඇති එකම රසය ලුනු රසය මෙන්, ධර්ම විනයේ ඇති එකම රසය විමුක්ති රසයය 7) මහා සයුරේ අප්‍රමාන රුවන් ඇති ලෙසින් ධර්ම විනයේ සත්තිස් බෝධි පාක්‍යනම්වූ රුවනින් පිරි ඇත 8) මහා සමුදුරේ අප්‍රමාණ බලය ඇති අසිරිමත්, විවිධ සත්වයෝ වාසය කරන ලෙසින් ධර්ම විනයේද මහා බල, මහා ආනුභාව ඇති සොතපන්න- අරහත් මගඵල ලැබූ අසිරිමත් ශ්‍රාවක සංඝයා වැඩසිටි. මූලාශ්‍ර:අංගු.නි: (5) 8 නිපාත: 8.1.2.9 පහාරාද සූත්‍රය, පි.103, EAN:8:19.9 Pahārāda,p.421.

▲ මහා සංවේගය:පාලි: මහතො සංවෙගා-strong sense of urgency සසර දුක හා භය දැක ධර්මයේ ප්‍රමාද නොවී කටයුතු කිරීමට සිතේ ඇතිවන වේගය, තද උනන්දුව මහා සංවේගයය. සටහන: අටුවාවට අනුව 8 ආකාර සංවේග ඇතිවේ: 1) ජාතිය දුකක් බව වැටහීම 2) මහලුවීම- වයසට යෑමේ දුක 3) ලෙඩ රෝග ඇතිවීමේ දුක 4) මරණ දුක 5) දුගතියේ විඳීමට ඇති දුක් වේදනා 6) පෙර සසර නිසා ඇතිවී ඇති දුක 7) මතු සසරේ විඳීමට ඇති දුක 8) අහාර සොයායෑමටසිදුවන නිසා ඇතිවෙන දුක. ඒ දුක්වේදනා සිහියට එනවිට ධර්මයේ අප්‍රමාදය ඇතිවේ. බලන්න: EAN: note: 187, p. 590.

▼ කායගතා සතිය වැඩීමෙන්, විපුල කරගැනීමෙන් මහා සංවේගය ඇතිවේ: “කායගතාසති භාවිතො බහුලී කතො: මහතො සංවෙගාය සංවත‍්තති”. (leads to a strong sense of urgency). බලන්න: කායගතා සති ප්‍රතිලාභ. මූලාශ්‍ර: අංගු.නි: (1) 1 නිපාත: කායගතාසති වග්ග: 1.16.7.1 සූත්‍රය. පි. 125, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▲ මහා සුදස්සන රජ- King Mahasudassana: බුදුන් වහන්සේ පෙර භවයක මහාසුදස්සන නම්වූ සක්විති රජ ලෙසින් සිටි ආකාරය මෙහි දක්වා ඇත. බලන්න:බුදුන් වහන්සේ:පෙරජිවිත. මූලාශ්‍ර:දීඝ.නි: (2 ): 4. මහාසුදස්න සුත්‍රය, පි. 282, සංයු.නි (3 ): ඛන්ධසංයුත්ත: 1.2.5.4 ගොම පින්ඩුපම සූත්‍රය, පි. 274, ESN: 22: Khandasamyutta: 96.4 A Lump of Cow dung, p. 1087.

▲මහාසාවද්‍ය- Great falsehood: මහාසාවද්‍ය යනු මහා බොරුවය. ලෝකයේ ඇති මහාසාවද්‍යය නම් බොහෝ දොස් ඇති මිථ්‍යා දිට්ඨියය.බලන්න: මිථ්‍යා දිට්ඨියය. මූලාශ්‍රය: අංගු.නි: (1) 1 නිපාත: එකධම්ම පාලිය:1.16.3.3 සූත්‍රය, පි.106.

▲ මහා සොරා - the big thief: බුදුන් වහන්සේ මහා සොරා සතු ලක්‍ෂණ පෙන්වා වදාළේ, සසුනේ පාපික භික්ෂූන්ට එම ගුණ ඇතිබවය: 1) විෂමවූ කාය, වචී හා මනෝකම්ම කිරීම (විෂමනිස්ශ්‍රිතවීම) 2) මිථ්‍යා දිට්ඨි දැරීම (ගහනනිස්ශ්‍රිතවීම) 3) රජ ඇමති ආදීන් ඇසුරුකර, තමන්ගේ වැරදි ඔවුන්ගේ බලයෙන් වසාගැනීම (බලවන්තනිස්ශ්‍රිතවීම) 4) සිව්පස ලබා, ඒවා ගැන තමාට දොස් නොකීම පිණිස අන් අයට දීම (භෝගචාගී) 5) තනියම දුර පළාත් වල වාසය කරමින්, පවුල් ආශ්‍රය කරමින් ලාභ ලබාගැනීම (එකචාරිවීම). සටහන:අංගු.නි: (5) 8 නිපාත:සතිවග්ග: 8.2.9.4 මහාචෝරංග සූත්‍රයේ: කරුණු 8 ක් ඇති මහා සොරෙක් අවසානයට පැමිණෙන අන්දම විස්තර කර ඇත. මූලාශ්‍රය:අංගු.නි: (3) 5 නිපාත: පහසුවිහාරවග්ග:5.3.1.3 මහා චෝර සූත්‍රය, පි.226.

▲මහා ස්වප්න- Great dreams: මහා ස්වප්න- සිහින ලෙසින් මෙහි දක්වා ඇත්තේ, බුදුන් වහන්සේ, බෝධිසත්වයන් ලෙසින් දුටු ස්වප්න 5 ක් පිලිබඳ විස්තරයය. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: 5.4.5.6 මහාසුපින සූත්‍රය, පි.408.

▲මහා ශ්‍රමණ- Great Ascetic: මහා ශ්‍රමණ බුදුන් වහන්සේ හඳුන්වන පදයකි. බලන්න: ශ්‍රමණ, බුදුන් වහන්සේ:බුද්ධනාම.

▲ මහාත්වයට පත්වීම-Achieving greatness: ධර්මයේ මහාත්වයට (මහද්බව) පත්වීම ලෙසින් පෙන්වා ඇත්තේ අරහත්වයට පැමිණීමය. ගුණ 6 ක් ඇති භික්ෂුව ධර්මයේ මහාත්වයට, විපුලබවට පත්වේ: 1) ඥානය බහුලව තිබීම 2) භාවනාව බහුලව තිබීම 3) ප්‍රීති ප්‍රමෝදය බහුලව තිබීම 4) කුසල ධර්ම පිලිබඳ නො සැහෑමිබව බහුලව තිබීම 5) කුසල ධර්ම පිලිබඳ අත් නොහළ වීරිය බහුලව තිබීම 6) කුසල ධර්ම පිලිබඳව දැන් හා මතුවට කිරීම පිලිබඳ වීරිය බහුලව තිබීම. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: අරහන්තවග්ග:6.2.3.6 මහන්ත්ත සූත්‍රය, පි.256.

▲ මහෙච්චතාවය-Strong desires: මහෙච්චතාවය - මහේච්ඡතාවය යනු දැඩි ආශාවය, අකුසලයකි, ධර්ම මාර්ගය වඩාගැනීමට බාධාවකි. මහෙච්චතාවය නැතිකර ගැනීමට අල්පබව- අලෙප්ච්ඡතාවය වැඩිය යුතුය. බලන්න: අල්පබව. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.8 සූත්‍රය, පි.284.

▲ මහේශාක්‍ය-Mahesakya: අන්‍යයන්ගේ ගරු බුහුමන් ඇතිව සමාජයේ උසස් තැනක වැජඹීම මින් අදහස් කෙරේ. බලන්න: කම්ම සත්ත්‍වයන්ගේ උරුමයය.

▲ මිහිරි ඇට උපමාව- Simile of the sweet seeds: මිහිරි ඇට වගා කලවිට ඇතිවෙන ඵලදාවෙ රසය මිහිරිය. මේ උපමාව යොදාගෙන ඇත්තේ, සම්මා දිට්ඨිය සහිත නිවැරදි දහම් මගේ ගමන් කිරීම නිසා යහපත් ඵල ලැබෙන බව පෙන්වීමටය. බලන්න:සම්‍යක්තවය. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: සමණසඤ්ඤා වගග: 10.3.1.4. බීජ සූත්‍රය,පි.410, EAN:10: 104. 4-A Seed, p.541.

▲ මිහිරි කටහඬ -Sweet voice: බලන්න: මඤ‍්ජුස‍්සරානං.

▲මිහිරි පානය -උපමාව - Simile of the sweet drink: බලන්න: ධම්ම සමාදානය, උපග්‍රන්ථය:5

▲මෝහය- Delusion: මෝහය යනු මුලාවිමය, යථා බව අවබෝධ නොකර ගැනීමය, අවිද්‍යාවයය. මෙය අකුසල් මුල් තුනෙන් එකකි. සත්වයෝ දුගතියට ගෙනයන මගකි. විදර්ශනා නුවණින්, සම්‍යක් ප්‍රඥාව ඇතිකර මෝහය ක්‍ෂය කරගත යුතුය. බලන්න: අකුසල මුල්. බලන්න: ඛු.නි:ඉතිවුත්තක:1.2.1 මෝහපරිඤඤා සූත්‍රය, අංගු.නි:10 නිපාත: තයොධම්ම සූත්‍රය.

▼ මෝහය නැතිකර ගැනීම අනාගාමීබවට හේතුවේ. බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“මහණෙනි, එක් කෙළස් ධර්මයක්...මෝහය පහකරගන්නේ නම්, මම ඔබට අනාගාමී භාවය පිණිස කැපවෙමි” මූලාශ්‍රය: ඛු.නි:ඉතිවුත්තක:1.1.3 මෝහ සූත්‍රය, පි.348.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “මෝහය: මුලාවය. බිජුව තුළ වාසය කරන කුකුල් පැටවාගේ ඇස් නොපෙණෙන ලෙස, ආවරණය ව තිබෙන බිජු කබල් මෙන් අරමුණු ස්වභාවට ඉඳුරාම විරුද්ධවූ, ශුභ සුඛ ආදී වශයෙන් තත්තවය වරදවා වටහා ගැනීම මෝහයය. සද්ධර්ම කෝෂය.

▲ මෝහ ගින්න-Fire of delusion: මෝහය, ලෝකයා දවන ගින්නක්යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: ගින්න, ආදිත්තපරියාය සූත්‍රය.

▲ මෝහවිනය-Mohavinaya: මෝහවිනය ලෙසින් පෙන්වා ඇත්තේ මෝහය නැතිකර ගැනීමය. බලන්න: ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම.

▲ මැහුම්කාරිය- Sramstress: මැහුම්කාරිය, සිබ්බනිය ලෙසින් දක්වා ඇත. තණ්හාව මැහුම් කාරිය ලෙසින් මෙහි පෙන්වා ඇත. රහතුන්, මැහුම් කාරිය ඉක්මවා ගොස් ඇතය යි බුදුන් වහන්සේ වදාළහ. සටහන: රහතුන්, අන්තද්වය: අත්තකිලමතානු හා කාමසුඛල්ලිඛානු යෝගයන්ට, මධ්‍යයේ ඇති ප්‍රඥාවෙන් නො ඇලි සිටීම, මැහුම්කාරිය ඉක්මවා යෑමය. ඇය අන්තදෙක එකට තබා මහනනිසා, ප්‍රඥාව වැසි යයි. බලන්න: මධ්‍යය. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-2 තිස්සමෙත්තෙයිය මානවක, පි.338