ග සහ ඝ කොටස්
ග කොටස:
ගග, ගච, ගජ, ගඩ, ගත, ගථ, ගද, ගධ, ගන, ගණ, ගප, ගම, ගය, ගර, ගල, ගව, ගස, ගහ
ගග
▲ ගංගානම් ගඟ-River Ganges : ගංගා නදිය ලෙසින්ද හඳුන්වයි. හිමාල කඳුකරයේ සිට ගලා එන මෙ නදිය බුදුන් වැඩ සිටි සමයේ මෙන්ම අදද, ඉන්දියාවේ ප්‍රධාන ගංගාවක් ලෙසින් සලකනු ලැබේ. අතීත බුදුවරු වැඩසිටින සමයේ මෙ ගඟ, භාගිරථි නදිය ලෙසින් හඳුන්වා ඇත.මෙ නදිය මුල් කරගත් සූත්‍ර ගණනාවක්ම සූත්‍ර පිටකයට ඇතුලත්වි ඇත. බලන්න: ධොතක තෙර, ගංගා නදීය උපමා: උපග්‍රන්ථය:5, ගෝතම තිර්ථය.
▼ගංගානම් නදීය ආරම්භ වූ ස්ථානයේ සිට මහා සාගරයට එක්වන ස්ථානය අතර ඇති වැලි ප්‍රමානය මෙතෙක්ය යයි කිව නොහැකිය. එම උපමාව යොදාගනිමින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, කල්පයක්, ඉතා දීර්ඝ නිසා, එය මෙතක් කාලයක් යයි දැක්වීම ම පහසු නොවන බවය. බලන්න: උපග්‍රන්ථය:5, කල්පය, මූලාශ්‍රය:සංයු.නි: (2) නිදානවග්ග:අනමතග්ගසංයුත්ත: 3.1.8 ගංගාසූත්‍රය, පි.306
ගච
▲ ගෝචර කුසලතා-Gocharakusalatha: ගොචරකුසලතා ලෙසින් පෙන්වා ඇත්තේ ජානසාමපත්ති ඇති උතුමන් සතු කුසලතාය, ධ්‍යායි පුද්ගලයන්ට ඇති දක්ෂතාවන්ය. මෙහි ඒ ගැන විස්තර කර ඇත.මූලාශ්‍රය: සංයු.නි: (3) ඛන්ධවග්ග:ජානසංයුත්ත:13.1.6 ගොචරකුසලතා සූත්‍රය, පි.570.
▲ ගෝචරනානත්ත ඤාණය-Gocharananaththa nana:බාහිර ආයතන- රූප, ශබ්ද ආදීවූ ධර්මතා පිරිසිඳ දැනගැනීමේ නුවණ ගෝචරනානත්ත ඤාණය වේ. බලන්න: ඛු.නි: පටිසම්භිදා:ඥාණකථා: 16 ගෝචරනානත්ත ඤාණය, පි. 170.
▲ ගෝචර භුමිය-Favorable place: ආධ්‍යාත්මික වර්ධනය පිණිස ගෝචර භුමියේ: සුදුසු බිම, වාසය කළයුතුය. ගෝචර භුමිය-පියා ගේ උරුම භුමිය (පියාසතු විෂය-ancestral domain) ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සතරසතිපට්ඨානය ඇසුරු කරගෙන ජිවත්විමය. ගෝචර භුමිය නොවන්නේ (අගෝචර භුමිය), සාමාන්‍ය පෘතග්ජනයා වාසය කරන පස්කම් ගුණය සහිතව වාසය කිරීමය. එසේ අගෝචර භුමියේ වාසය කරන්නේ නම් මාරයා ගේ විෂයට පහසුවෙන්ම හසුවේ. මේ පිලිබඳ බුදුන් වහන්සේ පෙන්වා ඇති උපමා: 1) කැටකිරිල්ල හා ගිජුලිහිණියා උපමාව:මඩේ හැසිරෙන කැට කිරිල්ල, වියලි බිමක හැසිරෙන්නේ නම්, පහසුවෙන්ම ගිජුලිහිණියා ට හසුවේ. එහෙත්, තමාගේ විෂයවූ මඩගොඩේ හැසිරේ නම්, ඌට ගිජුලිහිණියා මැඩගෙන, ආරක්ෂාව ලබා ගත හැකිය. එලෙස, පස්කම් ගුණයේ නො ඇලි සතර සතිපට්ඨානයේ (පිය උරුමය- බුදුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ) හැසිරෙන මහණහට, මරුගේ විෂයෙන් මිදිය හැකිය.බලන්න: උපග්‍රන්ථය:5:මූලාශ්‍රය:සංයු.නි: (5-1): මහාවග්ග: සතිපට්ඨානසංයුත්ත:අම්බපාලි වග්ග: සකුනග්ඝී සූත්‍රය, පි.296. 2) වඳුරා හා මස්වැද්දා උපමාව: මස් වැද්දෙක්, වඳුරන් දඩයම් කරගැනීම පිණිස දැවයක ලාටු (කොහොල්ලෑ වැනි) තවරා වඳුරන් ගැවසෙන තැනක උගුලක් අටවයි. නුවණැති වඳුරෝ ඒ උගුලක් බව දැන එහි නො පැමිණේ. එහෙත්, අනුවණ මෝඩ වඳුරෙක්, ලාටු කෑමට කැමතිව එහි පැමිණ උගුලේ අසුවේ. පළමුව එක් අතකින් ලාටු අල්ලාගෙන ඒ අත ඇලුන විට ඉන් මිදීමට අනිත් අත යොදාගනී. එලෙස ඌගේ දෙඅත්ද, දෙපයද, මුවද ලාටුවේ ඇලේ, බේරීයාමට අවකාශ නැතිවේ. වැද්දාට, වඳුරා අල්වාගෙන රිසි ලෙසින් කටයුතු කල හැකිවේ. එලෙස, පස් කම් ගුණයේ ඇලෙන මහණ පහසුවෙන්ම මාර විෂයට යටත් වේ. බලන්න: උපග්‍රන්ථය:5. සටහන: ගොචර භුමිය, ගෝචර විෂය ලෙසින්ද පෙන්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (5-1): මහාවග්ග: සතිපට්ඨානසංයුත්ත:අම්බපාලි වග්ග:3.1.7 මක්කට සූත්‍රය, පි.298.
ගජ
▲ ගිජ්ජකූට පර්වතය-Gijjakuta: රජගහනුවර අසල පිහිටි මේ පව්ව ගිජුකුළු පව්ව ලෙසින්ද පෙන්වා ඇත. බුදුන් වහන්සේ හා සංඝයා මෙ ස්ථානයේ වාසය කර ඇති බව බොහෝ සූත්‍ර දේශනාවල දක්වා ඇත.බලන්න: උ.ග්‍ර:1,2.
ගඩ
▲ ගඩුව: පාලි: ගණ‍්ඩො -Boil: බුදුන් වහන්සේ මේ කය පෙන්වා ඇත්තේ, තැන් 9 කින් සැරව ගලන පැරණි ගඩුවක් (තුවාලයක්) ලෙසින්ය. තුවාලයකින් අපවිත්‍ර දේ ගලා යන ලෙසින්, කයේ නව දොරින් අපවිත්‍ර, දුගඳ දේ ගලාබසී. මේ කය එසේ සකස්වී ඇත්තේ කර්මය හේතු කොටගෙනය. කයේ යථාබව අවබෝධ කරගත්විට කය පිලිබඳ ඇල්ම නැතිවේ. බලන්න: කය,ගඩුව උපමාව-උපග්‍රන්ථය:5 :මූලාශ්‍ර: අංගු.නි:(5 ) : 9 නිපාත: 9.1.2.5 ගන්ඩෝපම සූත්‍රය, පි. 446, EAN: 9: 15.5 Boil, p. 467.
ගත
▲ ගති- Destination: ගති- ගතිසම්පත්තිය ලෙසින් පෙන්වා ඇත්තේ කෙනෙක්ගේ භවය- යලි උත්පතිය ඇතිවෙන ස්වභාවය ගැනය.සටහන: ගති සම්පත්ති පිලිබඳ විස්තර පිණිස බලන්න: ඛු.නි:පටිසම්භිදාමග්ග: 6 ගතිකථා.
▼ බුදුන් වහන්සේ ගති 5 ක් පෙන්වා ඇත:1) නිරය 2) තිරිසන් ලෝකය 3) ප්‍රේත ලෝකය 4) මිනිස් ලෝකය 5) දේව ලෝක. සතර සතිපට්ඨානය දියුණු කරගැනීමෙන්, ගති -නැවත උපත අවසාන කර ගත හැකිය. සටහන: දීඝ.නි. සංගිති සූත්‍රයේ මේ ගති ගැන විස්තර කර ඇත. මූලාශ්‍ර: අංගු.නි: ( 5): 9 නිපාත: 9.2.2.6 ගති සතිපට්ඨාන සූත්‍රය, පි. 578, EAN:9: 68.6 Destinations, p. 486.
▼ ආනන්ද තෙරුන්ගේ විමසීමක් අනුව, බුදුන් වහන්සේ සසුනේ සිට මියගිය සංඝයා හා ගිහිඋපාසක යන්ගේ ගතිය-මරණින් මතු ස්වභාවය දක්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (5-2) මහාවග්ග: සෝතාපත්ති සංයුත්ත:11.1.8 හා 11.1.9, 11.1.10 ගිඤ්ජකාවස්ථ සූත්‍ර, පි.184.
▼ ධාතු අනුව කෙනෙක්ගේ ගතිය- පරලොව උපත වෙනස්වන අන්දම මෙහි දක්වා ඇත. ධාතු හේතුකොටගෙන සංඥාව, දිට්ඨිය, විතර්ක උපදී. අවිධ්‍යා ධාතුව මහත්ය, හීනය. 1) හීනධාතුව නිසා ඇතිවෙන්නේ: හීනසංඥාව, හීන දිට්ඨිය, හීන විතර්ක, හීන චේතනාව, හීන ආසාව, හීන ප්‍රාර්ථනාව, හීන පුද්ගලයාය. එවිට හීන වචන උපදී, හීන දේ දේශනා කරයි, පණවයි, පිහිටුවයි, විවෘත කරයි, බෙදයි, විස්තර කරයි. එනිසා ඔහුගේ ගතිය, යළිඋපත හීනවේ. 2) මධ්‍යම ධාතුව නිසා... ඉහතකී ආකාරයට ... එනිසා ඔහුගේ ගතිය, යළි උපත මධ්‍යමවේ. 3) ප්‍රණීත (උසස්) ධතුව නිසා... ඉහතකී ආකාරයට ... එනිසා ඔහුගේ ගතිය, යළිඋපත උසස්වේ. මූලාශ්‍රය:සංයු.නි: (2) නිදානවග්ග: ධාතුසංයුත්ත:2.2.3 ගිඤ්ජකාවස්ථ සූත්‍රය, පි.260.
▲ ගීතස්වරයෙන් දහම සජ්ජායනාකිරීම- Reciting the Dhamma like a song: ගීතස්වරයෙන් ධර්මය සජ්ජායනාකිරීම සංඝයාට සුදුසු නොවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.5.1.9 ගීතස්සර සූත්‍රය, පි. 426, EAN: 5: 209. 9 Intonation, p. 305.
▲ ගෝත්‍රභූ -Matured one: ධර්මයට අනුව, ගෝත්‍රභූ ලෙසින් පෙන්වා ඇත්තේ බුද්ධවංශයට ඇතුලත් පරිණත පුද්ගලයා -ආරිය ශ්‍රාවකයා පිලිබඳවය. ඔහු, උත්තම දස පුද්ගලයන් ගෙන් කෙනෙකි. බලන්න: උත්තම දස පුද්ගලයෝ. සටහන: විස්තර පිණිස බලන්න: ඛු.නි: පටිස්සම්භිදාමග්ග 1,ඥානකතා: 10. ගෝත්‍රභූ ඥානය, පි. 146. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 279: “ගෝත්‍රභූ: කාමලෝකයෙන් එතෙර වන්නා- “ගෝත්‍රභූචිත්ත: පෘතග්ජන බව ඉක්මවා ආර්ය ග්‍රෝත්‍රයට ඇතුලත් සිත: ගෝත්‍රභූඤාණ: කාමලෝකයෙන් එතෙරවන ඥානය”. B.D: p. 60: “Gothrabhū: who has entered the lineage of the Noble ones…”.
▲ ගෝතම බුදුන් වහන්සේ- The Buddha Gothama :අපගේ ගෝතම බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. බලන්න: ඛු.නි: බුද්ධවංශය: ගෝතම බුද්ධවංශය,පි.262,උපග්‍රන්ථය:6.
▼ බුදුන්වහන්සේ බුද්ධත්වය ලබාගැනීම පිණිස කටයුතු කළ ආකාරය මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:6. මූලාශ්‍රය:සංයු.නි: (2) නිදානවග්ග: අභිසමයසංයුත්ත: 1.1.10 ගෝතම සූත්‍රය, පි.38.
▲ ගෝතම ද්වාරය හා ගෝතම තිර්ථය-Gothma gate & Gothama port බුදුන් වහන්සේ අවසාන චාරිකාවේදී පාටලීගම-නුවර සිට විසාලාමහා නුවරට යෑම පිණිස නුවරින් නික්මුණ දොරටුව “ගෝතම ද්වාරය” ලෙසින් නම්කර ඇත. උන්වහන්සේ, ඒ නුවර සිට ගංගානම් නදිය තරණය කල තොටුපොල “ගෝතම තිර්ථය” ලෙසින් හඳුන්වා ඇත. මූලාශ්‍ර: වින.පි: මහාවග්ග 2: පි 70 හා දීඝ.නි: (2): මහාපරිනිර්වාන සූත්‍රය, පි.156, EDN : 16 Mahaparinibbana Sutta, p 175.
▲ ගෝතමී තෙරණිය- Gothami Therani: මහාප්‍රජාපති ගෝතමීය, ගෝතමී ලෙසින්ද පෙන්වා ඇත. ගිහිකල සුද්ධෝදන රජුගේ බිසවය, සිදුහත් කුමරු ගෙ සුළු මවය.බලන්න: උපග්‍රන්ථය:2.
▲ ගෝත්‍රය-Gothra: ගෝත්‍රය-කුලය-වංශය ලෙසින්ද පෙන්වා ඇත.බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ ප්‍රධාන කුල 4 ක් පැවතිනි: ශාක්‍ය, බ්‍රාහ්මණ, වෛසය්‍ය, සුද්ධ. ශාක්‍ය කුලය: රාජකීය කටයුතුද, බ්‍රාහ්මණ කුලය: ආගමික කටයුතුද, වෛසය්‍ය කුලය: වෙළඳ කටයුතුද, ශුද්ද්‍ර කුලය: සේවක, කම්කරු ආදී කටයුතු වලද නිරතවුහ. යම් කුලයක උපත ලබා එම කුලයේම ජීවත්වී, මිය යායුතුය යන්න එවක පැවති සම්ප්‍රදායය. බුදුන් වහන්සේ ඒ සම්ප්‍රදායෙන් ඉවත්ව, සම්බෝධිය ලබා, තමන් වහන්සේගේ සසුනට ඇතුළුවීමට ඕනෑම කුලයකින් පැමිණෙන පුද්ගලයන්ට අවස්ථාව ලබා දී ඇත. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ කෙනක් උසස් බව ලබන්නේ උපතින් නොව, ධර්මානුකූල යහපත් ජිවිතයක් ගත කිරීමෙන් බවය. බලන්න: වසල සුත්‍රය. සටහන: ජනසමුහය අතරින් ශාක්‍ය ප්‍රජාව අග්‍රයයි මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (2) නිදානවග්ග: භික්ඛුසංයුත්ත:9.1.1. මහා කප්පින සූත්‍රය,පි.460.
ගථ
▲ ගූථකූප-Guthakupa: ගූථකූප ලෙසින් පෙන්වා ඇත්තේ කම්මවිපාක ඵලදීම පිණිස ප්‍රේතයෙක්ව උපත ලබා හිස අශුචි වලක තබාගෙන ජීවිතය ගතකිරීමය. පෙර ජිවිතයේ පරදාර සේවනය- කාමයෙහි වරදවා හැසිරීමේ විපාකයක් ලෙසින් මෙලෙස දුක් විපාක විඳීමට හේතුවී ඇත. මූලාශ්‍රය: සංයු.නි: (2) නිදානවග්ග: ලක්ඛණසංයුත්ත: 7.2.1. ගූථකූප සූත්‍රය, පි.420.
▲ගූථඛාදී-Guthakhadi: ගූථඛාදී ලෙසින් පෙන්වා ඇත්තේ කම්මවිපාක ඵලදීම පිණිස ප්‍රේතයෙක්ව උපත ලබා අසුචි අනුභව කරමින් ජීවිතය ගතකිරීමය. පෙර ජිවිතයේ - කාශ්‍යප බුදුන් සමයේ, රජගහනුවර විසු දුෂ්ඨ බමුණෙක්, සංඝයාට දනය දෙන බත් ඔරු, අශුචියෙන් පුරවා දීමේ විපාකයක් ලෙසින් මෙලෙස දුක් විපාක විඳීමට හේතුවී ඇත. මූලාශ්‍රය: සංයු.නි: (2) නිදානවග්ග: ලක්ඛණසංයුත්ත: 7.2.2. ගූථඛාදී සූත්‍රය, පි.420.
▲ගූථභාණි-Guthabhani: ගූථභාණි ලෙසින් පෙන්වා ඇත්තේ, පිරිසක් මැද, නොදුටු නොඇසු දේ ගැන අසත්‍ය කථා කරන පුද්ගලයාය. ඔහු නිරයගාමිය. බලන්න: පුද්ගල වර්ග. මූලාශ්‍රය: අංගු.නි: (1) 3 නිපාත: 3.1.3.8 සූත්‍රය, පි.274.
▲ ගාථා-verses: ගාථා ලෙසින් පෙන්වා ඇත්තේ, ධර්මය දේශනා කිරීම පිණිස බුදුන් වහන්සේ අනුගමනය කළ ක්‍රමයකි. බුදුන් වහන්සේ වැඩසිටි සමයේ මෙන්ම වර්තමානයේද, සංඝයා හා ගිහි බොදු පිරිස ගාථා, සජ්ජායනා කරති. දෙවියෙක් විසින් විමසනු ලදව, බුදුන් වහන්සේ ගාථා පිලිබඳ මෙසේ දක්වා ඇත: මාත්‍රාව-ඡන්දස Meter, ගාථාවක පලංචිය-ඉනිමග හෙවත් මූල කාරණාවය,අක්ෂර මගින් වාක්‍ය- පද සකස්වේ- අරුත ප්‍රකාසවේ, සංඥා- නාම අසුරුකොටගෙන ගාථාවෝ පවතී, ගාථාවේ නිවස කවියාය. විස්තර පිණීස බලන්න:ESN:1: note : 120, p. 518. මූලාශ්‍ර: සංයු.නි: (1) දේවතාසංයුත්ත: 1.6.10 කවි සූත්‍රය, පි.96, ESN:1: Devathasamyutta: 60.10 Poetry, p, 139.
ගද
▲ ගොදත්ත තෙර- Godaththa Thera:බලන්න: උපග්‍රන්ථය:1
▲ ගද්දුලබද්ධ- The leash: ගද්දුලබද්ධ යනු බල්ලෙක් ගැට ගසා තබන කනුවය. එසේ ගැට ගසා ඇති බල්ලා ඒ කනුව වටා දුවයයි. එලෙස, තණ්හාව පහ නොකළ සත්ත්‍වයෝ, ආරිය ධර්මය නොදත් නිසා, පංච උපාදානස්කන්ධය තමාගේ යයි අල්වාගෙන සසර වටේ කැරකේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. එහෙත්, ධර්මය දත් ආරිය ශ්‍රාවකයා, ඒ බන්ධනයෙන් මිදේ. බලන්න:සසර, බල්ලා උපමාව:උපග්‍රන්ථය:5. මූලාශ්‍ර:සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.2.5.7 ගද්දුලබද්ධ සූත්‍රය, පි. 284, ESN: 22: Khandasamyutta: 99.7 The leash, p. 1090.
ගධ
▲ ගොධික තෙර- Godikha Thera:බලන්න: උපග්‍රන්ථය:1
▲ ගොධා ශාක්‍ය හා කාලි ගොධා-Godha Sakyan & Kali Godha: බලන්න: උපග්‍රන්ථය:5
ගන
▲ ගන්ථ: පාලි: ගනෙත්‍ථා- knots: ධර්මයේ ගන්ථ - ගැට ලෙසින් පෙන්වා ඇත්තේ ලෝකයා සසර බැඳ තබන ගැට 4 ක් ගැනය. බලන්න: කායගන්ථ.
▲ ගාන්ධර්ව දේවනිකාය- Celestial musicians: ගාන්ධර්ව යනු සංගීත දෙවියන්ය. මේ දේවනිකාය සියලු දේවලෝකවලට වඩා පහත්ය. තිසරණ සරණ කරගත් යහපත් ශිලය පවත්වාගත් පුද්ගලයන් මරණින් මතු මේ දේව නිකායේ පහළවේ. බලන්න: දේවනිකාය සටහන: පංචසිඛ ගාන්ධර්ව (පන්සිළු) දේවපුත්‍ර පිලිබඳ විස්තර පිණිස බලන්න:සංයු.නි: වේදනාසංයුත්ත: 1.12.6 පංචසිඛ පඤහ සූත්‍රය හා දිඝ:නි: සක්ඛපඤහ සූත්‍රය. මූලාශ්‍ර: දීඝ.නි: (2): 5.ජනවසභ සූත්‍රය, පි,322, EDN: 18 Janavasabha Sutta (17), p. 209.
▲ ගන්ධබ්බකායික දේවනිකාය- devas of the gandhabba order: ගන්ධබ්බකායික දේවියන් ලෙසින් පෙන්වා ඇත්තේ සුවඳට අරක් ගත් දෙවියන්ය. ඔවුන්: සුවඳ මුල් ඇති ගස්, සුවඳ හරය ඇති ගස්, සුවඳ පොතු ඇති ගස්, සුවඳ අතු ඇති ගස්, සුවඳ කොළ ඇති ගස්, සුවඳ මල් ඇති ගස්, සුවඳ ඵල ඇති ගස්, සුවඳ පැණි ඇති ගස් ආදිය අරක්ගෙන සිටි. තුන් දොරින් සුචරිත ක්‍රියාවල යෙදුන පුද්ගලයන් මරණින් මතු ගන්ධබ්බ කායික දේවියන් ලෙසින් පහළවේ. සටහන: සංයු.නි: එම දේවනිකාය ගැන විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: ( 3 ): ඛන්ධවග්ග:10 ගන්ධබ්බකාය සංයුත්ත, පි. 532, ESN: 31:Gandhabba saṃyutta, p. 1156.
▲ ගින්න: පාලි: අග‍්ගී- fire: ධර්මයට අනුව ගින්න-අග්නි ලෙසින් පෙන්වා ඇත්තේ සිත දවන කෙළෙස් ගිනි පිලිබඳවය. බලන්න: ආදිත්තපරියාය සූත්‍රය, අග්නි. සටහන: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ අන්‍යආගමිකයන් ගිනිදෙවියාට පුජා- අග්නිහොම ආදිය කළබව සූත්‍ර දේශනා වල දක්වා ඇත.
▼ සියල්ල ගිනිගෙන ඇත: ගිනි 11 කි: රාග, දෝස, මෝහ, ජාතිය, ජරාව, මරණය, ශෝකය, පරිදේවය (වැළපීම්), දුක, දෝමනස්ස , උපායාස (බලාපොරොත්තු කඩවීමෙන්). ( Burning with the fire of lust, with the fire of hatred, with the fire of delusion; burning with birth, aging, and death; with sorrow, lamentation, pain, displeasure, and despair) සියල්ල -සබ්බ යනු: 1) ඇස 2) රූප 3) ඇසේ විඥානය -චක්ඛුවිඥාණය 4) චක්ඛු සම්ඵස්සය 5) චක්ඛුසම්ඵස්සය නිසා ඇතිවෙන ත්‍රිවිධ වේදනා (දුක, සැප, මැදහත්) 6) කණ 7) ශබ්ද 8) සෝතවිඥානය 9 ) සෝතසම්ඵස්සය 10) සෝතසම්ඵස්සය නිසා ඇතිවෙන ත්‍රිවිධ වේදනා 11) නාසය 12) ගඳසුවඳ 13) ඝානවිඥානය 14) ඝානසම්ඵස්සය 15) ඝානසම්ඵස්සය නිසා ඇතිවෙන ත්‍රිවිධ වේදනා 16) දිව 17) රස 18) ජිව්හා විඥානය 19) ජිව්හා සම්ඵස්සය 20) ජිව්හා සම්ඵස්සය නිසා ඇතිවෙන ත්‍රිවිධ වේදනා 21) කය 22) ඵොට්ඨබ්බ 23) කායවිඥානය 24) කාය සම්ඵස්සය 25) කාය සම්ඵස්සය නිසා ඇතිවෙන ත්‍රිවිධ වේදනා 26) මනස 27) ධර්මතා 28) මනෝවිඥානය 29) මනෝ සම්ඵස්සය 30) මනෝ සම්ඵස්සය නිසා ඇතිවෙන ත්‍රිවිධ වේදනා. ඒ බව දකින ශ්‍රැතවත් ආරිය ශ්‍රාවකයා ඇස... ආදීවූ ඒ සැමදෙය ගැන කලකිරේ, කලකිරීම නිසා ඒවාට නො ඇලේ, නො ඇල්ම නිසා මිදේ, මිදුනවිට, ‘මිදුනා’ යයි දැන ගනී. ජාතිය අහවරවිය, බඹසර වාසය නිමාකරගති, අරහත්වය පිණිස කලයුතු දේ කර නිමකරන ලදී, ඒ පිලිබඳ වෙනත් කිසි දෙයක් කිරීමට නැතය යි දැනගනී. සටහන: මේ සූත්‍රය ශ්‍රවණය කල භික්ෂුන් 1000 කගේ සිත් උපාදාන රහිතව කෙළෙස් වලින් මිදී අරහත්වයට පත්වුහ. මූලාශ්‍ර: සංයු.නි: ( 4 ): සළායතනසංයුත්ත: සබ්බවග්ග 1.3.6 ආදිත්තපරියාය සූත්‍රය, පි. 64, ESN: 35: Salayathnasamytta: III: The All: 28.6 Burning, p. 1227.
▼ සියල්ල ගිනිගෙන ඇත යන ආදිත්ත පරියාය ධර්මන්‍යාය:ඒ ධර්ම න්‍යාය කුමක්ද? 1) ඇසේ විඥානයයට බැදී, ගන්නා නිමිති ආස්වාදය නිසා කර්ම විපාක ඇතිවේ. එම අවස්ථාවේ කෙනෙක් මරණයට පත්වූවේනම් ඔහු දුගතියේ උපත ලබයි. ඒ ස්පර්ශය වෙනුවට ගිනිදැල් සහිත යකඩ උලකින් ඇස ස්පර්ශය කිරීම වඩා හොඳය. 2) එලෙස, කණේ විඥානයට බැදී, ගන්නා නිමිති ආස්වාදය නිසා..... ඒ සප්ර්ශය වෙනුවට ගිනිදැල් සහිත යකඩ උලකින් කණ ස්පර්ශය කිරීම වඩා හොඳය 3) ... ගිනිදැල් සහිත තියුණු නියනකින් නාසය ගලවා දැමීම හොඳය 4) ගිනිදැල් සහිත තියුණු කතුරකින් දිව කපා දැමීම හොඳය 5) .... ගිනිදැල් සහිත තියුණු පිහියකින් කය කපා දැමීම හොඳය 6)...ඵලදායි නොවන සිතුවිලි (සංඝ භේදය වැනි) සිතින් සිතනවාට වඩා නිදගැනීම හොඳය. සටහන: නින්ද වනාහි, ජිවත්වන මිනිසුන්ට වඳ බව-නිසරුබව ගෙනදෙන, ඵල රහිත දෙයක් යයි වදාළ බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත්තේ, සිතින් අයහපත් අරමුණු අල්වා ගෙන ඒවාට බැඳෙනවාට වඩා නිදාගැනීම හොඳබවය. එලෙස, ආයතන (අභ්‍යන්තර හා බාහිර) මගින් ඇතිවන ස්පර්ශයේ විඳීම් වල අනිත්‍යබව, ඒවායේ ආදීනව මෙනෙහිකරන ආරිය ශ්‍රාවකයා, ඒවා ගැන කලකිරේ, කලකිරී ඒවාට නො ඇලේ. නො ඇල්මෙන් මිදේ, මිදුනවිට විමුක්තිය ලැබුබව අවබෝධ කරගනී. (අරහත්වය ලැබුබව).උපමාව:ගිනිදැල්;උපග්‍රන්ථය:5.මූලාශ්‍ර:සංයු.නි:( 4 ): සළායතනවග්ග: වේදනාසංයුත්ත: 1.18.8 ආදිත්තපරියාය ධර්ම න්‍යාය සූත්‍රය, පි. 358, ESN: 36: Vedanasamyutta: Ocean: 235.8 The Exposition on Burning, p. 1311.
▲ ගින්න විවිධබව-Variety of fire: 1) ගිනිතුනක්: රාග ගින්න, දෝස ගින්න හා මෝහ ගින්න යයි කෙළෙස් ගිනි 3 ක් ඇතය යි බුදුන් වහන්සේ වදාළහ: රාගගින්න: කාමයෙන් මුලාවු මිනිසුන් මේ ගින්නෙන් දැවේ. දෝසගින්න: ව්‍යාපාදයෙන් පෙලුණ, ප්‍රාණඝාතය කරන මිනිසුන් මේ ගින්නෙන් දැවේ. මෝහගින්න: ආරිය ධර්මයේ අදක්‍ෂ, පංච උපාදානස්කන්ධය ට ඇලුන මිනිසුන් මේ ගින්නෙන් දැවේ. ඔවුන් මාර බන්ධනයෙන් මිදී නැත, දුගතියේ උපත හිමිය. ගිනිනිවීම: කෙනෙක් ධර්මයෙහි යෙදි, අශුභය (අශුභ භාවනාව) වඩයි නම් ඔහුට රාග ගින්න නිවාගත හැකිය; මෙත්තාව (මෙත්තා භාවනාව) වඩන්නේ නම් දෝස ගින්න නිවාගත හැකිය, ප්‍රඥාව වඩා ගැනීමෙන්- විදර්ශනා භාවනාව මෝහ ගින්න නිවාගත හැකිය. මූලාශ්‍රය:ඛු.නි: ඉතිවුත්තක: 3.5.4 අග්නි සූත්‍රය, පි. 472.
▼ වෙනත් ගිනි 3 ක් ගැන සංගිති සූත්‍රයේ පෙන්වා ඇත: 1) මාපිය නමැති ගින්න (ආහුනෙය්‍යඅග්නිය) : මාපියන් හට ගරුකිරීම මින් අදහස් වේ 2) ගෙහිමියා නමැති ගින්න (ගෘහපත්‍යඅග්නිය): ගෙහිමියාට ගරු කිරීම 3) ධර්ම ගුරුවරු නමැති ගින්න (දක්ෂිණේය අග්නිය): දහම උගන්වන ගුරුවරුන්- සංඝයාට ගරු කිරීම. මූලාශ්‍ර: දිඝ.නි: (3): 10 සංගිති සූත්‍රය- පි. 381 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 367.
▼ ගිනි හතක් ගැන මේ සූත්‍රයේ පෙන්වා ඇත: 1-3) රග, දෝස,මෝහ 4) ආහුනෙය්‍ය ගින්න: මාපියන්ට නොසැලකීම නිසා නිරයේ විඳීමට ඇති දුක 5) ගහපති ගින්න: ගෙහිමියාට යහපත් ලෙසින් නො සැලකීම නිසා බිරිඳට ඇතිවන දුක 6) දක්ෂිණාගර්හ ගින්න:සංඝයාට නින්දා පරිභව කිරිමෙන් ඇතිවෙන දුක7) කාෂ්ටකගින්න: දර ආදිය නිසා ඇතිවෙන ගින්න. මූලාශ්‍ර:අංගු.නි: (4): 7 නිපාත:මහායඤඤවග්ග: 7.1.5.3 අග්ගි සූත්‍රය, පි.364.
▲ ගිනි කන්ද-Mass of fire: රාගයට යටවීම ගිනි කන්දකට ඇතුළුවීමට වඩා දුක් ගෙනදෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (4): 7 නිපාත: 7.2.2.8 අග්ගිකන්ධඋපමා සූත්‍රය, පි. 484, EAN:7: 72.8 Fire, p. 402.
▲ ගින්නේ ආදීනව-Dangers of fire: ගින්න නිසා සිදුවන ආදීනව 5 ක් බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) ඇසට අහිතකරය 2) සමේ වර්ණය අඳුරු කරයි 3) දුබලබව ඇතිකරයි 4) වෙනත්අය හා ඇසුර ඇතිකිරීමට හේතුවේ 5) නිෂ්ඵල කතා කිරීමට නැඹුරු කරයි. මූලාශ්‍ර: අංගු.නි: ( 3) 5 නිපාත: 5.5.2.9 අග්ගි සූත්‍රය, පි. 436, EAN:5: 219.9 Fire, p. 307.
▲ගිනිදෙවියන් පිදීම- Fire sacrifice: ගිනි දෙවියන් පිදීම, බුදුන් වහන්සේ වැඩසිටි සමයේ බ්‍රාහ්මණයන් විසින් පැවැත්වූ ආගමික චාරිත්‍රයකි. බලන්න: යගහෝම. මූලාශ්‍ර: සංයු.නි: (1): බ්‍රාහ්මණසංයුත්ත: 7.1.8 අග්ගිකසූත්‍රය, පි. 322,ESN: 7: Brahmanasamytta: 8.8 Aggika, p. 364.
▲ගුන්දාවනය-Gunda forest: මධුරා පුරයේ, පිහිටි මේ වනය, මහා කච්චාන තෙරුන් හා සංඝයා වැඩසිටි ස්ථානයකි: බලන්න:මහා කච්චාන තෙර.
ගණ
▲ ගණකමොග්ගල්ලාන බ්‍රාහ්මණ- Brahmin Ganakamoggallana බලන්න: උපග්‍රන්ථය: 3
▲ ගණිකාව-courtesan: ගණිකාව, නගර ශෝභනිය ලෙසින්ද පෙන්වා ඇත. බුදුන් වහන්සේ රජගහ නුවර වැඩවාසය කරන සමයක, නගරයේ පිරිස් කාණ්ඩ 2ක්, එහි වාසය කල නගර ශෝභනිය ගැන සණ්ඩු සරුවල්, ගහගැනීම් ආදිය කරගැනීම නිසා බොහෝ දුක් කරදරවලට පත්වුහ. ඒ පිලිබඳව බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “පස්කම් සැප සොයන විට, පතන විට, දැන් හෝ මතුවේ, කෙළෙස්වලින් පිඩාවට පත්වේ, දුකට පත්වේ, රාගය, ද්වේශය වලින් බැඳී විනාශවේ...”. මූලාශ්‍රය: ඛු.නි: උදානපාලිය:ජාතිඅන්ධවග්ග: 6.8. ගණිකා සූත්‍රය, පි.300.
▲ ගුණමකුබව: පාලි: මක‍්ඛ - denigration: ගුණමකුබව, මකුබව ලෙසින්ද හඳුන්වයි. අනුන්ගේ ගුණ යටකිරිමට ඇති කැමැත්ත. අයහපත් කර්මවිපාක ඇතිකරන කෙලෙසකි. බලන්න: සල්ලේඛපරියාය.
ගප
▲ ගෝපක තෙර-Gopaka Thera: බලන්න: උපග්‍රන්ථය:1
▲ ගෝපක මොග්ගලාන බ්‍රාහ්මණ- Brahmin Gopakamoggallana බලන්න: උපග්‍රන්ථය:3
▲ ගෝපාල-Cow herd: බුදුන් වහන්සේ කොසොල් දනව්වේ සැරිසරන විට හමුවූ ගොපල්ලෙක්, බුදුන් වහන්සේ වෙතින් දහම අසා පැහැදී බුදුන්වහන්සේ ඇතුළු සංඝයාට දන් පිරිනමා සතුටින් සිටින අවස්ථාවේ, ඔහුගේ සතුරෙක්, ඒ ගොපල්ලාගේ ජීවිතය නැති කළේය. ඒ පිළිබඳ බුදුන් වහන්සේ මෙසේ උදානයක් වදාළහ: “ සතුරෙක් සතුරෙකුට හෝ වෛරඇත්තෙක්, වෛරඇත්තෙකුට යම් විනාශයක් කරන්නේනම්, වරදවා පිහිටුවා ගත් සිත ඔහු මහා පාපී තරයෙක් කරන්නේය”. මූලාශ්‍රය: ඛු.නි: උදානපාලිය: මෙඝියවග්ග: 4.3 ගෝපාල සූත්‍රය, පි.230.
▼ අයහපත් ගුණ 11ක් ඇති ගොපල්ලෙකුට (ගවපාලකයෙක්) තමාගේ ගව පට්ටිය හොඳින් රැක බලා ගත නොහැකිය. එහෙත්, යහපත් ගුණ 11ක් ඇතිවිට ඔහුට ගව පට්ටිය හොඳින් රැක බලා ගත හැකිවේ. එලෙස අවගුණ 11ක් ඇති මහණහට ධර්ම මාර්ගය වඩාගත නොහැකි බව බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත. එහෙත්, ගුණ 11 ක් ඇති මහණ මාර්ගය සාක්ෂාත් කරගනි:ගෝපාලක උපමාව:උපග්‍රන්ථය:5. 1) රුපඥවීම: සතරමහා භූතයන්ගෙන් හටගත් උපාදාය රූපයේ යථාභූත බව අවබෝධකිරීම. 2) ලක්ඛණකුසලය ඇතිවීම: බාලයා හා පණ්ඩිතයා ගේ ලක්‍ෂණ දැනගැනීම 3) අකුසල විතක්ක: කාමවිතක්ක, ව්‍යාපාදවිතක්ක, වීහිංසාවිතක්ක දුරුකිරීමට සමත්ය 4) ඉන්ද්‍රිය සංවරය තිබීම 5) තමන් අවබෝධ කරගත් ධර්මය යහපත් ලෙසින් අන්‍යයන්ට දේශනා කිරීම 6) ධර්මවිනය දත් ජේෂ්ඨතම භික්ෂුන් වෙතින් නොදත් දහම් කරුණු අසා දැනගැනීම 7) ධර්මය දේශනා කරනවිට ඔහු අර්ථය, ධර්මය මැනවින් අවබෝධ කර සිත ප්‍රමෝදය කරගනි (අර්ථවේදය, ධම්මවේදය). 8) ආරියඅටමග යථාභූත කොට අවබෝධ කරගැනීම 9) සතර සතිපට්ඨානය (සිවු සීවටන්) යථාභූත කොට අවබෝධ කරගැනීම 10 ) ගිහියන් පිරිනමන සිව්පසය යහපත් ලෙසින් පිළිගැනීමට අවබෝධය ඇත (මාත්‍රය දැනීම). 11) වැඩිහිටි, ප්‍රසිද්ධ තෙරුන් කෙරෙහි ගෞරව, භක්තිය ඇතිව සිටීම. මූලාශ්‍රය: අංගු.නි: (6) 11 නිපාත: අනුස්සතිවග්ග: 11.2.7 ගෝපාලක සූත්‍රය, පි.682.
ගම
▲ ගම්භිර ප්‍රඥාව:පාලි: ගම‍්භීරපඤ‍්ඤා- depth of wisdom: ධර්මතා පිලිබඳ ඇති ගැඹුරු අවබෝධය ගම්භිර ප්‍රඥාව වේ. රූපය පිළිබඳව නිරෝධානුපස්සනාව, වැඩීමෙන් නැවත නැවත එහි යෙදීමෙන් ගම්භීර ප්‍රඥාව පරිපුර්ණවේ: “නිරොධානුපස‍්සනා, රූපෙ නිරොධානුපස‍්සනා භාවිතා බහුලීකතා ගම‍්භීරපඤ‍්ඤං පරිපූරෙති”. ගම්භීර ප්‍රඥාව යනු කුමක්ද? ස්කන්ධ...ධාතු...ආයතන...හේතුඵල (පටිච්චසමුප්පන්න), ශුන්‍යතාඵල ලැබීම්...සිව්පිළිසිඹියාව...ශිල සමාධි ප්‍රඥා ස්කන්ධ...විමුක්ති ස්කන්ධය හා විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය ...ස්ථාන අස්ථාන... විහාරසමාපත්ති...ආර්යසත්‍ය සත්තිස්බෝධි පාක්‍යධර්ම... ආර්යමාර්ගය... ශ්‍රමණඵල...අභිඥා...පරම අර්ථයවූ නිවන යන ධර්මතාවන් පිලිබඳ ඇති ගැඹුරු අවබෝධය, නුවණය. තවද, රාගය, දෝෂය, මෝහය, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පළාසය, ඊර්ෂ්‍යාව, මාත්සර්යය, මායාව, සාඨෙය්‍ය, ස්තම්භය, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, යන සියලු කෙළෙස්, සියලු දුශ්චරිත, සියලු අභිසංස්කාර, සියලු භවගාමී කර්ම අභිභවනය කිරීම, මැඩලීම ගම්භිර ප්‍රඥාව නම්වේ. මූලාශ්‍රය:ඛු.නි: පටිසම්භිදා මග්ගපකරණය (3): ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි. 166-176.
▼ ගම්භිර ප්‍රඥාව ඇතිවීම පිණිස සතර ධර්මය උපකාරිවේ: 1) සත්පුරුෂ සේවනය 2) සද්ධර්ම ශ්‍රවණය 3) යෝනිසෝමනසිකාරය 4) ධර්මයට අනුකුලව පිළිපැදීම (ධර්මානුධර්ම ප්‍රතිපදාව) සෝතාපන්නඅංග ඇති පුද්ගලයාට ගම්භිර ප්‍රඥාව ඇතිවේ. “…ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා ගම‍්භීරපඤ‍්ඤාතාය සංවත‍්තනතිති” (...these four things, when developed and cultivated lead to the depth of wisdom) සටහන: මෙයින් පෙන්වා දෙන්නේ සෝතාපන්න ආරිය ශ්‍රාවකයාය. බලන්න: ප්‍රඥාව, සතර ධර්මය. මූලාශ්‍ර:සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපන්න සංයුත්ත:11.7.4. ගාම්භීර ප්‍රඥා සූත්‍රය, පි. 280, ESN: 55: Sotapatthi samyutta: Great Wisdom: p. 2262.
▼ කායගතා සතිය වැඩීම, විපුල කරගැනීම ගම්භිර ප්‍රඥාව ඇතිවීමට හේතුවේ. (Mindfulness directed to the body...when developed and cultivated, leads to the depth of wisdom). මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125 EAN:1: Mindfulness Directed to the Body, p.52.
▼ වෙනත් මූලාශ්‍ර: 1. “ගැඹුරු වූ ස්කන්‍ධාදීන් කෙරෙහි පැවැති දැනීම ගම්භීරපඤ්ඤා නම් වේ” .අන්තර්ජාල ලිපිය: https://pitaka.lk/dhammapada/ss/katha-28.html
▲ ගොමපිඬුව - Pinch of Cow dung: පංචඋපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය පෙන්වීම පිණිස බුදුන් වහන්සේ ගොමපිඬුව උපමාව පෙන්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍රය: සංයු.නි: (3) ඛන්ධසංයුත්ත: පුප්ථවග්ග: 1.2.5.4 ගෝමයපිඬුඋපමා සූත්‍රය, පි.274.
ගය
▲ ගයාකාශ්‍යප තෙර-Gayakassapa Thera : බලන්න: උපග්‍රන්ථය:1
▲ ගයිහ-Attached: මෙහිදී ගයිහ -ග්‍රහණය කරගැනීම ලෙසින් පෙන්වා ඇත්තේ දෙවියෝ හා මිනිසුන් පංචකාම සැපයට ඇලීමය. එනිසා ඔවුන් දුක් විඳි. බුදුන් වහන්සේ හා රහතුන් ඒ ඇලීම් පහකර ඇත, ඒ උතුමෝ සුවයෙන් වෙසෙති. මූලාශ්‍රය: සංයු.නි: (4): සළායතනවග්ග: වේදනා සංයුත්ත:දේවදහවග්ග: 1.14.3 සගයිහ සූත්‍රය, පි.280.
ගර
▲ ගර්භිණීය- Garbhini: ගර්භිණීය යනු දරුවෙක් කුසේ දරා සිටින (දරුගප්) කාන්තාවය. බුදුන් වහ්සේ සැවැත්නුවර වැඩ වාසය කරන සමයක, එක්තරා ගර්භිණී පරිව්‍රාජිකාවක්, සිය සැමියාට කතාකර, දරුවා ප්‍රසුතිකිරීමට උපකාරවන තෙලක් ගෙනඑන ලෙස ඉල්ලා සිටියාය. ඒ පරිව්‍රාජකයා, පසේනදී රජුවිසින් ශ්‍රමණ හා බ්‍රාහ්මණයන් හට තලතෙල්, ගිතෙල් ආදිය සපයන ස්ථානයට පැමිණියහ. එහි පානය කිරීමට මිස ගෙනයාමට තෙල් නොදෙන නිසා, ඔහු හැකිතාක් තෙල් බි, නිවසට පැමිණ එය වමාරා බිරියට දීමට තැත් කලත් එසේ කළ නොහැකිවිය. ඔහු මහා දුක් පිඩා නිසා බිම පෙරලි වේදනාවෙන් පසුවෙන අයුරු දැක බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “කෙනෙක් හට රාග ආදී කෙළෙස් නොමැති නම් ඔහු සුඛිතවේ. එහෙත්, රාගය නිසා අනුන් හා බැඳුණ ජනයා දුකට පැමිණේ”. මූලාශ්‍රය: ඛු.නි: උදානපාලිය:මුචලින්දවග්ග: 2.6 ගර්භිණී සූත්‍රය, පි.182..
▲ ගෞරවය හා අගෞරවය - respect & disrespect: ආධ්‍යාත්මික වර්ධනය පිණිස අන් අයට ගෞරව කිරීම වැදගත්වේ. අන්‍යන්ට අගෞරව කිරීම අකුසලයකි, ධර්ම මාර්ගයට බාධාවකි. කෙනෙක් ධර්මයේ ප්‍රමාදනම්, අන් අයට අගෞරවය කිරීම පහ කරගැනීම පහසු නොවේ. හිරිඔත්තප්ප තිබීම, අප්‍රමාදය මගින් අන් අයට අගෞරවය කිරීම පහකර ගත හැකිය. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාතය: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.
▲ ගෞරව ධර්ම: පාලි: ගාරවා ධම‍්මො- respectful dhamma: ගෞරවය යනු, ගරු කලයුතු උතුමන්ට, ගරු කලයුතු ධර්මතාවන්ට ගරු පුජා කිරීම- යටහත් බවක් දැක්වීමය. බුදුන් වහන්සේ ගෞරව ධර්ම 6ක් පෙන්වා වදාළේ, ඒවා ආධ්‍යාත්මික මාර්ගයට විශේෂත්වයක් ගෙනදෙන කරුණු බවය. බලන්න: විශේෂභාගිය ධර්ම, අගෞරව ධර්ම.
▼ගෞරව ධර්ම 6: 1) ශාස්තෘන් වහන්සේ කෙරෙහි 2) ධර්මය කෙරෙහි 3) සංඝයා කෙරහි ගෞරවය ඇත, යටහත් පැවතුම් ඇත. 4) පුහුණුවට 5) ප්‍රමාදයට 6) ආචාර සම්පන්න බවට ගරු කරයි. සටහන: ආචාරසම්පන්න බව (පටිසනත්‍ථාරො). බලන්න: ආචාරසම්පන්න බව. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384, අංගු.නි: (3 ): 5 නිපාත: 5.1.1.9, 5.1.1.10 අගාරව සූත්‍ර, පි. 34 හා 5.1.3.1 හා 5.1.3.2 අගාරව සූත්‍ර පි. 48, EAN: 5: 8.8 & 9.9 Falling away, p. 239 & 21.1 & 22.2. Irreverent, p. 241.
▼ බුද්ධත්වය ලැබීමෙන් පසු කවරෙකුහට ගෞරවකරමින් වාසය කලයුතුද යයි බුදුන් වහන්සේට විතර්කයක් ඇතිවූ බව, ඒ පිලිබඳ සොයා බැලීමේදී උන්වහන්සේ අවබෝධ කරගත් සද්ධර්මයට ගරු සත්කාර කරමින් වාසය කලයුතුය යන අදහස ඇතිවූ බව මෙහි පෙන්වා ඇත. එම අවස්ථාවේ සහම්පති බ්‍රහ්මරාජයා, බුදුන් වහන්සේ හමුවට පැමිණ, සියලු බුදුවරු සද්ධර්මයට සත්කාර ගෞරව කරමින් වාසය කරන්නේය යයි පවසා ඇත.බලන්න:උපග්‍රන්ථය:6. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: බ්‍රහ්මසංයුත්ත: 6.1.2 ගාරව සූත්‍රය, පි.278.
▲ ගරුකකර්ම-Garuka kamma: ගරුක කර්ම ලෙසින් පෙන්වා ඇත්තේ අකුසල වූ ආනන්තරික කර්ම හෝ කුසලවූ, ජානසමාපත්ති ලැබීමය. කර්ම විපාක දෙන අවස්ථාව් ඒවා බලවත් නිසා සෙසු කර්මයන්ට පෙරටුව සිටි. බලන්න: කම්ම.
▲ ගරුපුද්ගල- garu pauggala: ගරු පුද්ගල යනු ධර්මයේ හැසිරෙන උතුම් පුද්ගලයන්ය. එවැනි පුද්ගලයන් 4ක් ගැන මෙහි දක්වා ඇත: ශිලගරුක, සමාධි ගරුක, ප්‍රඥා ගරුක. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: 4.3.4.7 ගරුපුග්ගල සූත්‍රය, පි.286.
▲ ගරුබව හා අගරුබව-Respectful & not respectful: ගරුබව යනු වෙනත් පුද්ගලයෙක් කෙරෙහි ප්‍රියමනාප ඇතිව සැලකිලි ඇතිව කටයතු කිරීමය. එලෙස නොකිරීම අගරුබවය. සංඝයා තමන් සමග වාසය කරන අය හා ගරුකටයුතු ලෙසින් හැසිරිය යුතු ආකාරය මෙහි පෙන්වා ඇත. සටහන: මංගල සූත්‍රයේදී, උතුමන්ට ගරුකර සැලකීම (ගාරවො ච) මංගල කරුණක් බව පෙන්වා ඇත. මූලාශ්‍රය:අංගු.නි: (3): 5 නිපාත: ථෙරවග්ග: 5.2.4.5 අකන්ඛම සූත්‍රය, පි. 202
▲ ගුරුලා-Gurula: ගුරුලා ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ සුපණ්ණයන් ගැනය. බලන්න: සුපණ්ණ
▲ ගිරිමානන්ද තෙර- Girimananda Thera:බලන්න: උපග්‍රන්ථය:1
ගල
▲ ගිලන්බව- sickness: ගිලන්බව ආකාර 2 කි: කය ගිලන්වීම හා සිත ගිලන්වීම. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ කය ගිලන් වුවත් සිත ගිලන් නොකරගෙන වාසය කලයුතුබවය. බලන්න: කය ගිලන්බව, සිත ගිලන් නොකරගැනීම. මූලාශ්‍ර: සංයු.නි:(3), ඛන්ධසංයුත්ත:නකුල පිතු සූත්‍රය, පි 30,ESN: 22: Khandasamyutta, 1.1 nakulapita, p. 1007.
▼ ගිලන් පුද්ගලයන් තිදෙනක්ගේ ස්වභාවය මෙහිදී පෙන්වා ඇත. බලන්න: පුද්ගලවර්ග. මූලාශ්‍රය:අංගු.නි: (1) 3 නිපාත: 3.1.3.2 සූත්‍රය, පි. 264.
▼ ගිලනුන්ට උපදෙස්: දැඩිව ගිලන්වූ, නුවණැති ගිහි උපාසකයන් පිළිබඳව ක්‍රියා කලයුතු ආකාරය ගැන බුදුන් වහන්සේ මෙසේවදාළහ. එම කටයුතු කලයුත්තේ වෙනත් නුවණැති කෙනෙක් විසින්ය. 1) දැඩිසේ ගිලන්වූ, දුකට පත් කෙනෙක්, ඔහුට ඇති සිව් දහම (තෙරුවන් කෙරහි ඇති ප්‍රසාදය හා ආරියකාන්ත ශිලය) සිහිකර අස්වැසිය යුතුය. 2) දෙමාපියන්, අඹුදරුවන් කෙරෙහි යම් අපේක්ෂාවක් ඇත්නම් එය හැර දැමීමට උනන්දු කලයුතුය: ‘ඔබ මැරෙන ස්වභාවය ඇත, අන්‍යන් කෙරෙහි අපේක්ෂාවක් තිබුනද, නැතිවුවද ඔබ මරණයට පත්වේ. එනිසා ඒ අපේක්ෂා ප්‍රහීණය කරගන්න’. 3) මිනිස් ලෝකයට යළි පැමිණීමට අපේක්ෂාවක් ඇත්නම් එය හැර දැමිම පිණිස සදෙව්ලෝකයේ දෙවියන්ගේ යහ ගුණ පෙන්වා දිය යුතුය. චාතුර්මහා රජකිය දෙව්ලොව ගැන අපේක්ෂාවක් ඇත්නම්, එයට වඩා උසස් තව්තිසා දෙව්ලොව ගුණ ...එලෙස ක්‍රමයෙන් සෙසු දේවලෝක වල සිත පිහිටුවා ගැනීමට උපකාරීවීම. 4) බ්‍රහ්ම ලෝක ඒවාට වඩා උසස් බව පෙන්වා දීම, ඒවායේ සිත පිහිටුවා ගැනීමට උපකාරීවීම. 5) බ්‍රහ්ම ලෝක පවා අනිච්ච ස්වාහාවය ඇතිබව පෙන්නාදී, ‘සත්කායනිරෝධය’ පිලිබඳ සිත පිහිටුවා ගැනීමට උපකාරීවීම. එලෙසින්, ගිලන් පුද්ගලයා සත්කායනිරෝධයේ සිත පිහිටුවා ගත්තේ නම්, ඔහු, වසර 100ක් මිදුණ සිත ඇති මහණ අතර විමුක්තිය ලැබීම පිලිබඳ වෙනසක් නැතය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත.සටහන්: * මේ සූත්‍රය දේශනා කර ඇත්තේ මහානාම ශාක්‍යයන්හටය ** නුවණැති උපාසක ලෙසින් පෙන්වා ඇත්තේ සෝතාපන්න ගිහියාය. මූලාශ්‍රය: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපත්තිසංයුත්ත: 11.6.4 ගිලාන සූත්‍රය, පි. 270.
▼ ගිලන්බවට පත් මහණ සතර සතිපට්ඨාන වඩමින්, ස්කන්ධ පරිනිර්වානය අපෙක්ෂා කරමින් වාසය කලයුතු යයි බුදුන් වහන්සේ අනුසාසනා වදාළහ. සටහන: බුදුන් වහන්සේ ගිලන් සංඝයා හමුවීම පිණිස විටින් විට ගිලන් ශාලාවන් වෙත වැඩම කර ඔවුන් ගේ සිත සුවපත් කිරීම පිණිස ධර්මයෙන් අනුසාසනා වදාළ බව සූත්‍ර පිටකයේ බොහෝ ස්ථාන වල දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග: වේදනාසංයුත්ත:1.20.7 හා 1.20.8 ගෙලඤඤ සූත්‍ර, පි.424.
▼ ගිලන් මහණ පංචධම්ම ආවර්ජනය කරමින් වාසය කරන්නේ නම් ඔහුට පහසුවිහරණය ඇතිවේ යයි මෙහි දක්වා ඇත. 1) අශුභ සංඥාව 2) ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව 3) සබ්බ ලෝකයේ අනභිරති සංඥාව 4) සියලු සංස්ඛාරයන්හි අනිත්‍ය සංඥාව 5) මරණ සංඥාව. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: ගිලානවග්ග:5.3.3.1 ගිලානසූත්‍රය, පි.254.
▲ ගිලාන උපස්ථානය-Caring for sick people: ගිලන්වූ අයට උපස්ථානය කිරීමේ වැදගත්කම බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: “මහණෙනි, ... ඔබලාට මවක් නැත, පියෙක් නැත. ඔබහැම ඔවුනොවුනට උවැටන් නො කරන්නහු නම් එකල්හි කවරෙක් උවැටන් කරන්නේද? මහණෙනි, යමෙක් මගේ අවවාදය කරන්නේනම්, හෙතෙම ගිලන්අයට උවැටන් කරන්නේය”. සටහන: කිසිවෙක් විසින් උපස්ථාන නොකළ බලවත්ව රෝගීව සිටි භික්ෂුවක්, බුදුන් වහන්සේ විසින් උපස්ථාන කරන ලදී. අනතුරුව, බුදුන් වහන්සේ ඉහත අනුසසනාව වදාළහ. සටහන්: ගිලනුන්හට උවැටන් කරන අය තුළ (උපස්ථායක) තිබිය යුතු සුදුසුකම් ගැන විස්තර පිනිස බලන්න: අංගු.නි: (3) 5 නිපාත: ගිලානවග්ග: 5.3.3.3 ,5.3.3.4 සූත්‍ර, පි.256. මූලාශ්‍රය: වින.පි. මහා වග්ග පාළිය 2: චිවරඛන්ධ:39, පි 228.
▲ ගුලිස්සානි භික්ෂුව-Bhikkhu Gulissaani: මේ භික්ෂුව ආරණ්‍යවාසි වුවද ඔහු සතුවූවේ පහත් ගුණයන්ය. සැරියුත් තෙරුන් එම භික්ෂුව අරභයා මේ සූත්‍රය වදාළහ, මුගලන් මහා තෙරුන්ද එම කරුණු අනුමතකළහ. ආරණ්‍යවාසි සංඝයා ජීවත්විය යුතු ආකාරය මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍රය: ම.නි: (2) 2.2.9 ගුලිස්සානි සූත්‍රය, පි.244.
ගව
▲ ගවදෙන- the cow: යම්කිසි පර්වතයක කන්දක හැසිරෙන ගවදෙන (ගාවි) ඒ පර්වතය ගැන නොදත් නිසා, එහි හොඳින් හැසිරිමට අසමත්වේ. එසේ හැසිරෙන නිසා ඌ දුකට පත්වේ, නිදුකින් පෙරළා යාමට අසමත්වේ. මේ උපමාව යොදාගෙන බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ අනුවණ- බාල මහණ, තම කේෂ්ත්‍රය නොදැන ජාන සමාපත්ති ලබා ගැනීමට උත්සාහ කර, එය සාර්ථක කර ගැනීමට නොහැකිව සිටි. එහෙත්, කඳු මුදුනේ සැරිසැරීමට දක්ෂ ගවදෙන, රිසිසේ එහි සැරිසරා, පෙර නොකෑ තණකොළ කා, පෙර නොගත් දිය පානය කර සුවසේ පෙරලා යයි. එලෙස පණ්ඩිත-ප්‍රඥාව ඇති මහන යහපත් ලෙසින් සමාධි සමාපත්ති ලබා ගැනීමට දක්ෂවේ, විවිධ ඉද්දි ආදිය ලබා ගැනීමට සමත්වේ. එසේම ඔහුට සියලු ආසව ක්‍ෂය කර විමුක්තිය ලබා ගැනීමටද හැකිවේ යයි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (5) 9 නිපාත: 9.1.4.4. ගාවි උපමා සූත්‍රය, පි.502.
▲ ගවම්පති තෙර- Gavampathi Thera: බලන්න: උපග්‍රන්ථය:1
▲ ගවේසී භික්‍ෂුව- Gavesi Bhikkhu: කාශ්‍යප බුදුන් වහන්සේ වැඩසිටි සමයේ විසු ගවේසී නම් සිල්වත්, ගුණවත් උපාසක පිලිබඳ විස්තරය මෙහි දැක්වේ. එතුමන්, යහපත් ලෙසින් ධර්ම මාර්ගය වඩාගෙන, කාශ්‍යප බුදුන් වහන්සේ ගේ සසුනේ පැවිදිවුහ. ඒ ගවේසී භික්ෂුව අරහත්වයට පත්වුහ. එතුමන් ගිහි ජිවිතයේ ඇසුරු කළ 500ක් පමණ මිතුරන්ද ඒ අනුව යමින් අරහත්වය ලබා ගත්තෝය. සටහන: කොසොල්දනව්වේ චාරිකාවේ යෙදුන බුදුන් වහන්සේ අතරමග සල්උයනක් දැක සිනා පහළ කිරීම ගැන ආනන්ද තෙරුන් කල විමසිමක් අනුව මේ සූත්‍රය දේශනා කර ඇත. බුදුන් වහන්සේගේ පෙරනිවාස සිහිකිරිමේ නුවණ මෙහිදී පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: උපාසකවග්ග: 5.4.3.10 ගවෙසි සූත්‍රය, පි.370.
▲ ගොවියා-Farmer : ගොවියා, කෙත්වතු වගාකර ජීවිකාව ගෙනයයි. බුදුන් වහන්සේ වැඩසිටි සමයේ බොහෝ ගොවියන් බුදුන් සරණ ගියබව පෙන්වා ඇත. බලන්න: කස්සක.
ගස
▲ ගස උපමා-Simile of the tree: බලන්න: උපග්‍රන්ථය:5
▲ ගෝසිංග සාල වනය-Gosinga Sala Grove: බුදුන් වහන්සේ හා සංඝයා විවේකි සුවය පිණිස වැඩ වාසය කළ සුන්දර වනයකි. මහා ගෝසිංග හා චූල ගෝසිංග සූත්‍රයන් දේශනා කර ඇත්තේ මෙහිදීය. බලන්න:ම.නි: මහා ගෝසිංග හා චූල ගෝසිංග සූත්‍ර, උපග්‍රන්ථය:1.
ගහ
▲ ගහපති- Householder: ගහපති-ගෘහපති-ගැහැවි ලෙසින් පෙන්වා ඇත්තේ පවුලක ප්‍රධානියාය. බුදුන් වහන්සේ වැඩවිසු සමයේ, ධනවත් බලවත් ගහපතිවරු වාසය කළබව සූත්‍ර දේශනාවල පෙන්වා ඇත. එක් සමයක ජානුස්සෝනි බ්‍රාහමණයා විසින් විමසනු ලැබුව බුදුන් වහන්සේ ගෘහපති- යන් ගැන මෙසේ පවසා ඇත: “ඔවුන්ගේ අභිප්‍රාය (අරමුණ-aim) නම් ධනයය (භෝග-Wealth).ඔවුන්ගේ සෙවීම (ගවේශනය-quest) ප්‍රඥාවයය, ඔවුන්ට ඇති ආධරය (support) ශිල්ප පුහුණුව, ඔවුන්ගේ කැමැත්ත කර්මාන්තයේ යෙදීම, ඔවුන්ගේ අවසාන ඉලක්කය කර්මාන්තය නිමාකරගැනීමය ”. මූලාශ්‍රය: අංගු.නි: (4): 6 නිපාත: ධම්මිකවග්ග: 6.1.5.10 ඛත්තිය සූත්‍රය, පි.154.
▲ ගිහියන්ට උපදෙස්-Advices to laypeople: ගිහිජිවිතය යහපත්ව, ධර්මානුකූලව ගත කිරීමට අදාළ කරුණු මෙහි විස්තරාත්මකව දක්වා ඇත. මූලාශ්‍රය: දීඝ.නි: (3): 8 සිඟාලක සූත්‍රය, පි.304.
▼ අටසිල් සමාදන්වීම පිලිබඳ උපදෙස්: ගිහියන්, පොහෝදිනයන්හි සිල්සමාදනවීම මහා ඵල මහා ආනිසංස ලැබීමට හේතුවේ යයි මේ දේශනාවල පෙන්වා ඇත. බලන්න: අටසිල්, උපෝසථ. මූලාශ්‍ර:අංගු.නි: (6 )10 නිපාත: අකෝෂ වග්ග, 10.1.5.6.ශාක්‍ය සුත්‍රය,පි.176, EAN:10: V,46.6. Sakyans.p.511, අංගු.නි. (5) 8 නිපාත, උපෝසථ වග්ග,8.1.5.1 සංඛිතත අට්ඨාන්ඝ උපෝසථ සුත්‍රය,පි.196,EAN:8:Uposatha, 1.41 In Brief, p. 434.
▼ ගිහියන්ට කටයුතු බහුල ජිවිතයක් ඇතිවිට වාසය කලයුතු ආකාරය: කරුණු 11 ක් සහිතව ගිහියන් වාසය කලයුතුවේ: 1) අශ්‍රද්ධාව නොමැතිව ශ්‍රද්ධා සම්පන්න වීම (සදෙධා-faith ) 2) කුසිතබවින් තොරව (නො කුසිතො -lazy), විරිය සහිතවීම (energetic) 3) සිහියනැතිකම (නො මුටඨසසති-muddle-minded) නොමැතිව,සිහිනුවණ සහිතවීම (උපටඨිතසති-mindfulness 4) අසමාහිත නොමැතිව, එකඟ සිත-සමාධිය (සමාහිතො) ඇතිබව 5) අනුවණ බව නැතිව (නො දුපපඤෙඤා-unwise ) ප්‍රඥාව සහිතවීම, යන කරුණු 5 පිහිටුවා ගතයුතුය. ඉන්පසු, තවත් කරුණු 6ක් වැඩියයුතුය. 6) බුද්ධානු සතිය 7) ධම්මානුසතිය 8) සංඝානුසතිය 9) ශිලානු සතිය 10) චාගනු සතිය 11) දේවතානුසතිය යන අනුසති භාවනා. සටහන්: *මේ අනුසති වඩන අරිය ශ්‍රාවකයා ගේ සිත තණ්හාවෙන්, ද්වේශයෙන් හා මෝහයෙන් දුරුවේ. එමගින් සිත ප්‍රමෝදයට පත්වේ, ප්‍රීතියට පත්වේ; ශාන්තබවට පත්වේ එමගින් සිත සමාධියට පත්වේ. ** අනුසති භවනා, සතර ඉරියව්වෙන්ම වැඩිය යුතු බවය. (සිටගෙන සිටිනවිට, ඇවිදිනවිට, ඉඳගෙනසිටිනවිට, ඇලවී සිටිනවිට ) එසේම දරුවන් සමග ගිහිගෙයි සිටින වීටද, තමන් කරන යම් කර්මාන්තයක යෙදී සිටිනවිටද මේ අනුසති භවනා වැඩිය යුතුබවය. බලන්න: භාවනා. ** මේ දේශනා වදාළේ මහානාම හා නන්දිය ශාක්‍යයන්ටය. ඉහත කරුණුවලට අමතරව, මනෝමය කය ඇතිව උපන්, අරහත්බව ලැබූ දෙවියන් ගේ ගුණ සිහිකිරීම ගැන නන්දිය සූත්‍රයේ දක්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:3 මේ පිළිබඳව යොදාගත් උපමාව: මුනින් නමා ඇති කලයකට දිය පුරවාලීමට නොහැකිය; වියළි වනගොමුවක්, ලැව්ගින්නෙන් දැවුණ පසු, ඒ ගින්න නැවත එහි නොපැමිණෙන ලෙස අකුසල ධර්ම ඔහු වෙතට නොපැමිණේ. එලෙස යහපත් ජීවිතය ගතකරන ගිහියන්ට ධර්මයේ ආරක්ෂව ලැබේ.බලන්න: උපග්‍රන්ථය :5කලය උපමාව, ලැව්ගින්න උපමාව. මූලාශ්‍ර: අංගු.නි.(6 )11 නිපාත,අනුසති වගග,11.2.1, මහානාම සුත්‍රය,11.2.2 දුතිය මහානාම සුත්‍රය, පි.645-654, 11.2.3,නන්දිය සුත්‍රය,පි.658, EAN:11: II Recollection, 11.1 Mahanama, 12.1 Mahanama (2), p.570, 13.3. Nandiya, p.571.
▼ එක් සමයක වේළුද්වාර බමුණුගමේ වැසියන් විසින් විමසනු ලැබුව, යහපත් ගිහි ජිවිතයක් ගතකිරීම පිලිබඳ උපදෙස් බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත. බලන්න: අත්තුපනායික ධම්මපරියාය. මූලාශ්‍ර:සංයු.නි: (5-2) මහාවග්ග: සොතාපත්තිසංයුත්ත:වේලුද්වාර සූත්‍රය, පි.178, ESN: Sothapaththi Samyuththa:7.7 The people of Bamboo Gate p. 2191.
▼ ගිහිසුව විඳින පිරිස යහපත් ලෙසින් මෙලොව හා පරලොව සුවය ලබා ජිවත්වීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන් සතර සංග්‍රහවස්තු අනුව ජිවත්වීම යහපත් යයි මෙහි දක්වා ඇත. බලන්න: සතර සංග්‍රහවස්තු. මූලාශ්‍ර:අංගු.නි: (5) 8 නිපාත:ගෝතමී වග්ග: 8.2.6.4 ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, පි.256.
▲ ගිහි උපාසක, උපාසිකා-lay followers- Upāsaka, Upāsika: බුදුන් වහන්සේ කෙරේහි ශ්‍රද්ධාව පිහිටුවා ගෙන, පන්සිල් හෝ අටසිල් රකිමින්, ධර්මානුකූලව, ගිහි ජීවිතයක් ගතකරන පුරුෂයන් හා කාන්තාවන්, උපාසක, උපාසිකා ලෙසින් පෙන්වා ඇත. බුදුන් වහන්සේ ගේ සිව්පිරිසට වැටෙන ගිහි උපාසක, උපාසිකාවන් පිලිබඳ බොහෝ විස්තර සූත්‍රපිටකයේ පෙන්වා ඇත. බලන්න:අග්‍රතම සිව්පිරිස, උපග්‍රන්ථය :3.
▼බුදුන් වහන්සේ උපාසක උපාසිකාවන් සතු ගුණ මෙසේ පෙන්වා ඇත: 1) කෙනෙක් ත්‍රිවිධ රත්නය සරණකර ගෙන වාසය කරයිනම් ඔහු/ඇය බුදුසසුනේ උපාසක උපාසිකාවකි 2) පස්පවින් වැලකි සිටීමෙන්- පංච ශිලය ආරක්ෂා කරගැනීමෙන් උපාසක ශිලය සම්පුර්ණ වේ 3) බුදුන් වහන්සේ කෙරහි ඇති විශ්වාසය -නව අරහදී ගුණ පිළිගැනීම- මගින් උපාසක සැදැහවත්වේ 4) නිර්ලෝභීව, දීමට ඇලුන සිත් ඇතිව, සතුටු සිතින් දීම හා බෙදාගැනීම ඇති උපාසක දානශීලිය. 5) දුක සහමුලින්ම නැති කිරීම පිණිස ඇතිවීම හා නැතිවීම (සමුදය වය) ධර්මතා, තියුණු නුවණින් මෙනෙහි කිරීමෙන්, ප්‍රඥාව ඇති උපසකයෙක් වේ. සටහන: බුදුන් වහන්සේ මේ දේශනාව වදාළේ මහානාම ශාකයන්හටය. මූලාශ්‍ර:සංයු.නි: (5-2):මහාවග්ග: සෝතාපත්ති සංයුත්ත, මහානාම සූත්‍රය, පි. 248, ESN: 55: Sothapaththi Samyutta: 37.7, Mahanama, p. 2231.
▼ ගිහි උපාසක පන්සිල් රකිමින්, සතර අපායෙන් මිදී, ජීවිතය ගතකළයුතු ආකාරය මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍රය:අංගු.නි: (3) 5 නිපාත:උපාසකවග්ග: 5.4.3.9 ගිහි සූත්‍රය, පි.364.
▲ ගිහිජීවිතය යහපත්ව ගතකිරීම- For a beneficial lay life: මෙලොව සුවය හා පරලොව සැපත පතන ගිගියන්, යහපත් ලෙසින් ජීවිතය ගෙනයාම පිණිස සතර සංග්‍රහ වස්තු සහිතව ජිවත්විය යුතුයයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) උට්ඨාන සම්පත- Accomplishment in initiative: තමන් කරන රැකියාව හෝ ජිවීකාව පිලිබඳ නිපුණතාව යෙන් සමත්බව, උත්සහාවන්තබව, පරික්ෂාකාරීව තීරණගැනීමේ හැකියාව, සංවිධානයට දක්ෂබව 2) ආරක්ෂා සම්පත- accomplishment in protection: තමන් විරියෙන්, දැහැමින් උපයා ගත් භෝග හා වස්තු-රජඋවදුරු, සොරසතුරන්ගේ උවදුරු, ස්වාභාධර්මයෙන් ඇතිවියහැකි උවදුරු වලින් මනාව ආරක්ෂා කරගැනීමට දක්ෂවීම 3) කල්‍යාණ මිත්‍ර සම්පත: තමන් වාසය කරන ප්‍රදේශයෙහි ශ්‍රද්ධා සම්පන්න හෝ ශිලසම්පන්න හෝ ත්‍යාගසම්පන්න හෝ ප්‍රඥාසම්පන්න ධර්මයේ හැසිරෙන පුද්ගලයන් සමග යහපත් සම්බන්ධතා පවත්වා ගෙන, ඔවුන්ගෙන් ලැබෙන අවවාද හා උපදෙස් වලින් හික්මී ඒ අනුව දිවිපෙවත ගෙනයාමට දක්ෂවීම 4) සමජිවිතය පවත්වා ගැනීම- balanced living: තමනට ලැබෙන ආදයම අනුව ජීවත්වීමේ දක්ෂබව- නාස්තිකාර ජිවිතයක් හෝ පහත් (ලෝභ සහිත) ජිවිතයක් නොමැතිව තමාට හා සෙසු අයට යහපත ඇතිවෙන ලෙසින් ජීවිතය සම ලෙසින් ගෙනයාම. ධන සම්පත් ආරක්ෂා කරගැනීම: ඉහත දක්වා ඇති කරුණු 4 ට අමතරව, තමන් උපයාගත් ධන සම්පත් ආරක්ෂා කර ගැනීම ද යහපත් ජිවිතයකට අවශ්‍යවේ. ඒ සඳහා උවදුරු 4 ක් දුරු කරගත යුතුය: 1.සල්ලාල හැසිරීම 2. සුරාවට ගිජුවීම 3. සූදුකෙළිම 4. පාපමිත්‍රසේවනය .මතු යහපත් ජිවිතයක් ලැබීමට: කරුණු 4 ක් උපකාරීවේ: 1. ශ්‍රද්ධාව තිබීම2. ශිලසම්පන්නබව 3. දානශීලිබව 4. ආරිය ප්‍රඥාව තිබීම: සමුදය හා වය දැකීමේ නුවණ. බලන්න: ආරිය ප්‍රඥාව. මූලාශ්‍ර: අංගු.නි: (5 ) 8 නිපාත: 8.2.6.4 ව්‍යාගපජ්ජ සූත්‍රය, පි 256,EAN: 8: 54 .4 Dīghajāṇu, p 441.
▲ ගිහිසාමිචිපටිපදාව- The Layperson’s Proper Practice ගිහිසාමිචිපටිපදාව යනු, ගිහියන් ආකාර 4 කට සංඝයාට කරන සේවාවය-සිව්පසය ලබාදීමය: 1 සිවූරු පිරිනැමීම 2 පිණ්ඩපාතය පිරිනැමීම 3 සේනාසන පිරිනැමීම 4 ගිලන්පස හා බෙහෙත් පිරිනැමීම. මේ ප්‍රතිපදාව ගිහියන්ට සුදුසු යහපත්වූ-මනාවූ ප්‍රතිපදාව යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. එසේ පුහුණුවන ගිහියන්ට මෙලොව කීර්තියද, පරලොව දෙව්ලොව සැපද ලැබේ. මූලාශ්‍ර: අංගු.නි: (2 ): 4 නිපාත: 4.2.1.10 ගිහිසාමිචිපටිපදා සූත්‍රය, පි. 143, EAN: 4: 60.10 The Layperson’s Proper Practice, p. 172.
▲ ගිහිසුඛ- Happiness of layperson: ගිහිජිවිතය ගෙනයන පුද්ගලයන් ලබන සැප 4 ක් බුදුන් වහන්සේ පෙන්වා ඇත:1) අස්තිසුඛය: හිමිකම (ownership): දැඩි වීරිය ඇතිව සම්පත් ලබාගැනීමේ සැපය 2) භෝග සුඛය (Happiness of enjoyment): තමන් ලබාගත් සම්පත් විඳීමේ සැපය3) අන්ණසුඛය (freedom from debt )- ණයනොමැති බව නිසා ලබන සුඛය 4) අනවද්‍ය සුඛය (happiness of blamelessness): තුන් දොරින් යහපත් ක්‍රියා පණක් කිරීම නිසා සිතේ ඇතිවන සැපය.මූලාශ්‍ර: අංගු.නි: ( 2 ): 4 නිපාත: 4.2.2.2. අන්ණසූත්‍රය, පි. 152.EAN: 4: 62.2 Freedom from debt, p. 174.
▲ ගුහාව- Cave: බුදුන් වහන්සේ ශරීරය ගුහාවක් ලෙසින් පෙන්වා ඇත. සත්ත්‍වයෝ කාමආදී කෙලෙස්වලින් බැඳී, ඒවා අත් හැර ගැනීමට බැරිව සිටි. එහෙත්, තණ්හාවේ නො ඇලුන උතුමන්, මෙලොව, පරලොව නො පතන්නේය. මූලාශ්‍ර: ඛු.නි: සුත්තනිපාත: අට්ඨකවග්ග: 4-2 ගුහට්ඨක සූත්‍රය, පි. 264.
ඝ කොටස:
ඝට, ඝස
ඝට
▲ ඝටිකාර බ්‍රහ්ම දෙවියෝ-Ghatikara Brahma: ඝටිකාර බ්‍රහ්ම දෙවියෝ, කාශ්‍යප බුදුන් වහන්සේ වැඩවිසූ සමයේ ඝටිකාර නම් වළංසාදන පුද්ගලයෙක් ලෙසින් වාසය කරමින්, බුදුන් වහන්සේගේ ගිහි දායකත්වය දැරිය. ඒ සමයේ අපගේ බුදුන් වහන්සේ ජෝතිපාල නම් බ්‍රාහ්මණයෙක් ලෙසින් උපත ලබා, ඝටිකාර කුඹලා හා මිතුරුව, ඔහුගේ උපදෙස් නිසා කාශ්‍යප බුදුන් වහන්සේ වෙත පැමිණ, පැවිදිබවට පත්වුහ. ඝටිකාර කුඹලා මියයාමෙන් පසු (අනාගාමීබව ලබාසිටිනිසා) ඝටිකාර බ්‍රහ්ම දෙවියන් ලෙසින් බ්‍රහ්මලෝකයේ පහළවුහ. ගෝතම බුදුන් වාසය කරන සමයේ, ඝටිකාර බ්‍රහ්ම දෙවියෝ බුදුන් වහන්සේ බැහැදකිමට පැමිණිබව සූත්‍රයන්හි පෙන්වා ඇත. බලන්න: ම.නි. ඝටිකාර සූත්‍රය, සංයු.නි:දේවතා සංයුත්ත: ඝටිකාර සූත්‍ර 2 කි.
▲ ඝොටමුඛ බ්‍රාහ්මණ-Brahmin Ghotamukha:බලන්න: උපග්‍රන්ථය:3
▲ ඝොටමුඛ ශාලාව-Ghotakukha Hall: පාටලීපුත්‍ර නුවර පිහිටි මේ ශාලාව, ඝොටමුඛ බ්‍රාහ්මණ විසින් කහවනු 500ක් යොදා සකස් කර සංඝයාට පිරිනැමූ බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: ම.නි: (2) 2.5.4 ඝොටමුඛ සූත්‍රය, පි.644.
ඝස
▲ ඝෝසිත ගහපති- Householder Ghositha: බලන්න: උපග්‍රන්ථය:3
▲ ඝෝසිතාරාමය- Ghositha's aramaya: කොසඹෑනුවර පිහිටි මෙ ආරාමය ඝෝසිත ගහපති විසින්, බුදුන් ප්‍රමුක සංඝයට පිරිනමා ඇත. බලන්න:උපග්‍රන්ථය:3.