ත සහ ථ කොටස්

ත කොටස:

තක, තග, තජ, තට, තත, තථ, තද, තන, තණ, තප, තඹ, තම, තය, තර,තල,තව,තස

තක

▲ තක්ෂිලා නුවර-Takshila Nuwara: බුදුන් වහන්සේ වැඩවසන සමයේ වයඹදිග ඉන්දියාව් පිහිටි ප්‍රසිද්ධ නුවරකි. මෙ නුවර වාසය කල උගත් අචාර්යවරුන්ගෙන් (දිසාපාමොක් වැනි) ශිල්ප හැදෑරීමට භාරතයේ සෑම ප්‍රදේශයකින් පාහේ සිසුන් පැමිණිබව බෞද්ධසාහිත්‍යයේ දක්වා ඇත. බුදුන් වහන්සේගේ වෛද්‍යවරයා වූ ජිවක, ශිල්ප හැදෑරීම පිණිස තක්ෂිලාවට පැමිණ ඇත. බලන්න: උපග්‍රන්ථය:3. බුදුන් වහන්සේගේ ශ්‍රවක, පුක්කුසාති තෙර, ගිහිකල එම නුවර රජකම් කළහ. බලන්න: උපග්‍රන්ථය:1.

▲ තිකභෝජනය-Thika bhojanaya: බුදුන් වහන්සේ විසින් සංඝයාට පනවන ලද විනය නීතියකි. එනම්, පවුල් විසින් දෙන භෝජන, දුර්භික්ෂ ආදීය නැති කාලයේදී, සතර දෙනක් එකතුව වැළඳීම ඇවතක්ය. කරුණු 3 ක් නිසා තික භෝජනය පනවා ඇතයයි ආනන්ද තෙරුන් පෙන්වා ඇත: “දුස්ශීල භික්ෂූන්ට නිග්‍රහ කිරීම පිණිසද , ප්‍රියශීලි භික්ෂුන්ගේ පහසු විහරණය පිණිසද, ‘ලාමක අදහස් ඇති අය බෙදී, සංඝභේදය නොකරත්වා’ යන අදහස ඇතිව හා පවුල් කෙරහි දයාව ඇති නිසාය”. (The Blessed One laid down this rule for three reasons...: for restraining ill-behaved persons and for the comfort of well-behaved bhikkhus, with the intention,’May those of evil wishes, by forming a faction, not create a schism in the Saṅgha and out of sympathy towards families). * බලන්න: විනය: පාචිත්තිය 32. ** බලන්න: ESN: Note: 295, p. 979. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: කස්සප සංයුත්ත: 4.1.11 චීවර සූත්‍රය,පි.352, ESN: 16: Kassapa samyutta: 11 The Robe, p. 821.

▲ තීක්ෂණ ප්‍රඥාව: පාලි: තික‍්ඛපඤ‍්ඤා- sharpness of wisdom: ධර්මතා තියුණු ලෙසින් අවබෝධ කරගැනීමේ නුවණ තීක්ෂණ ප්‍රඥාව වේ. තීක්‍ෂණ ප්‍රඥාව පරිපුර්ණවීම. නිබ්බිදානුපස්සනාව: රූපය පිලිබඳ නිබ්බිදානුපස්සනාව, වැඩීමෙන් නැවත නැවත එහි යෙදීමෙන් තීක්‍ෂණප්‍රඥාව (තික්ඛප්‍රඥා) පරිපුර්ණවේ: “නිබ‍්බිදානුපස‍්සනා... රූපෙ නිබ‍්බිදානුපස‍්සනා, භාවිතා බහුලීකතා තික‍්ඛපඤ‍්ඤං පරිපූරෙති”. තීක්‍ෂණ ප්‍රඥාව යනු කුමක්ද? වහා කෙළෙස් සිඳිය යුතුය, උපන් කාම, ව්‍යාපාද, වීහිංසා විතර්ක වහා බැහැර කර විනාශ කර ගතයුතුය, උපන් නුපන් අකුසල දුරුකර ගත යුතුය, උපන් රාග දෝෂ මෝහ...ආදී කෙළෙස් බැහැර කර ගත යුතුය යන නුවණ. තවද එකම (භාවනා) අසුනේ හිඳ සතර මග සතර ඵල, සතර ප්‍රතිසංවිධි, සය අභිඥා පිලිබඳ අධිගමය, ප්‍රත්‍යක්ෂ නුවණ තීක්‍ෂණ ප්‍රඥාව වේ. මූලාශ්‍ර:ඛු.නි:පටිසම්භිදා 2: ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි. 166-188.

▼ තීක්‍ෂණ ප්‍රඥාව ඇතිවීම: 1) සත්පුරුෂ සේවනය 2) සද්ධර්ම ශ්‍රවණය 3) යෝනිසෝමනසිකාරය 4) ධර්මයට අනුකුලව පිළිපැදීම (ධර්මානුධර්ම ප්‍රතිපදාව) යන සතර ධර්මය ඇති පුද්ගලයාට (සෝතාපන්න) තීක්ෂණ ප්‍රඥාව ඇතිවේ.“…ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා තික‍්ඛපඤ‍්ඤාතාය සංවත‍්තනතිති” (these four things, when developed and cultivated lead to the sharpness of wisdom) බලන්න: ප්‍රඥාව, සතර ධර්මය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපන්න සංයුත්ත:11.7.12 තික්ඛ ප්‍රඥා සූත්‍රය, පි. 282 , ESN: 55: Sotapatthisamyutta: Greatness of Wisdom: p. 2262.

▼ තීක්‍ෂණ ප්‍රඥාව කායගතා සතිය වැඩිමෙන්, විපුල කරගැනීමෙන් ලැබෙන යහපත් ඵලයකි. බලන්න: කායගතා සතියේ ප්‍රතිලාභ. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර: 1.16.7-සිට, පි. 126, EAN:1: Mindfulness Directed to the Body, p.52.

තග

▲ ත්‍යාගසම්පන්බව- accomplishment in generosity: ත්‍යාගසම්පන්බව යනු දුරුකළ මසුරුකම ඇතිව, දානශිලිව, නිර්ලෝභීව, අතහැරීමට පුරුදුව විසීමය, කුසලයකි.එම ගුණය මෙලොව හා පරලොව යහපත හා සුවය පිණිස හේතුවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි:(5):8 නිපාත: ව්‍යාගපජ්ජ සූත්‍රය,පි.256, EAN:8: 54.4 Dīghajāṇu, p. 441.

▼ ත්‍යාගසම්පන්බව ගිහි උපාසකයෙක් තුල ඇති ගුණයකි.: බලන්න: සංයු.නි: (5-2) සෝතාපත්තිසංයුත්ත:පුඤඤාභිසන්දවග්ග: 11.4.7 මහානාම සූත්‍රය.

▲ත්‍යාගානුස්සති භාවනාව-Thyagganusati bhavana: ත්‍යාගානුස්සති භාවනාව- චාගානුසතිය, අනුසති භාවනාවකි, සමාධිය වඩාගැනීමට, සසර කලකිරීම පිණිස, නිවන පිණිස පවතී. බලන්න: භාවනා, චාගානුසතිය. මූලාශ්‍රය: අංගු.නි: (1) නිපාත: ඒකධම්මපාලිය සූත්‍ර, පි.100.

▲ ත්‍යාගශීලි- Generous: ත්‍යාගශීලි බව කුසලයකි. මසුරුකම හැර දමා, තමන්සතු දේ, නිදහසේ දීමට කැමති බවය. අනුසති භාවනා අරමුණකි, ආධ්‍යාත්මික වර්ධනයට උපකාරී වේ. ශ්‍රද්ධාව ඇතිවිට ත්‍යාගශීලිබව ඇතිවේ. අන්‍යන්ට ගරුකිරීම, වැරදි නිවැරදි කරගැනීමට ඇති කැමත්ත - කීකරුකම හා කල්‍යාණ මිත්‍ර සේවනය, ත්‍යාගශීලිවීමට උපකාරීවේ. බලන්න: දාන, ත්‍යාගානුස්සති භාවනාව, ආමච්ඡ, අලෝභය. සටහන්: * ත්‍යාගශීලිබව, ආමච්ඡ-මසුරු නැතිබව, අලෝභය, ලෙසින්ද පෙන්වා ඇත. සුගතියේ යළි උපතට හේතුවේ. ** ත්‍යාගශීලි වීම ඉන්ද්‍රිය සංවරයට උපකාරිවේ. බලන්න: ඉන්ද්‍රිය සංවරය. මූලාශ්‍ර: අංගු.නි:(6 ): 10 නිපාත:10.2.3.6.තයොධම්ම සූත්‍රය,පි.284, EAN-10: 76-6. Incapable, p. 54.

▲ ත්‍යාගශීලිනොවීම- uncharitable: ත්‍යාගශීලිනොවීම යනු දයාව, අනුකම්පාව නොමැතිබවය. අකුසලයකි. නොසන්සුන්සිත (උද්දච්ඡය), අසංවරබව හා දුෂ්චරිතබව (දුසිල්වත්බව) නිසා සිතේ ත්‍යාගශීලිබව ඇතිනොවේ. බලන්න: අවදඤඤුතාවය මූලාශ්‍ර: අංගු.නි:(6): 10 නිපාත:10.2.3.6.තයොධම්ම සූත්‍රය,පි.284, EAN-10: 76-6. Incapable, p. 524. තෑගිදීම උපමාව: උපග්‍රන්ථය:5.

තජ

▲ තේජෝ ධාතුව- the fire element: සතර මහා භූතයන් ගෙන් එකකි. බලන්න: චතුධාතු, ධාතු.

▲ තේජෝ ධාතු සමාපත්තිය-Thejo dhatu samapatti: තේජෝකසිණය වඩා ලබාගන්නා සමාපාත්තිය, තේජෝ ධාතු සමාපත්තියය. බුදුන් වහන්සේ හා මහා මුගලන්, මහා කාශ්‍යප, මහාකප්පින, අනුරුද්ධ ආදීවූ ශ්‍රාවක සංඝයා, බ්‍රහ්මලෝකයකට පැමිණීම, එහි තේජෝධාතු සමාපත්තියෙන් වැඩසිටීම මෙහි දක්වා ඇත. සටහන: තේජෝධාතු සමාපත්තියට සම වැදීමෙහි දක්‍ෂ -තේජෝධාතු කුසලය- ඇති භික්ෂුන් අතරෙන් අග්‍ර සාගත තෙරුන්ය. බලන්න: උපග්‍රන්ථය:1 මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: බ්‍රහ්මසංයුත්ත:6.1.5 අපරාදිට්ඨි සූත්‍රය, පි.286.

තට

▲ තුට්ට උපාසක-Tutta Upaska: බලන්න: උපග්‍රන්ථය:3

තත

▲ තිත්ත ඇට උපමාව- Simile of the bitter seeds: මේ උපමාව යොදාගෙන ඇත්තේ මිථ්‍යාදිට්ඨිය ඇති වැරදි මගේ ගමන් කරනවිට ලැබෙන ප්‍රතිඵල අයහපත් බව පෙන්වීමටය. කරවිල ඇටය නිසා ඇතිවෙන ගෙඩි තිත්ත රසය ගනී. බලන්න:මිථ්‍යාත්වය. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: සමණසඤ්ඤා වගග: 10.3.1.4. බීජ සූත්‍රය,පි.410, EAN:10: 104. 4-A Seed, p.541.

▲ තිත්මුවා උපමාව-Simile of the dotted deer: මෙහි පෙන්වා ඇත්තේ, තිත්මුවා, වැද්දාට හසුනොවී, ගොදුරු පිණිස සුදුසු තැනකට යයි, වැද්දා හැසිරෙන තැන්වලින්, දුර හුදකලා තැනකට යයි. එනිසා ඌ මළපුඩු වලට හසුනොවේ. එලෙස එකලාව හැසිරෙන විට බාධා වලට හසුනොවී (මාරයා නමැති වැද්දාට හසුනොවී) මාර්ගය වඩා ගත හැකිය. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: ඛු.නි: සුත්ත නිපාත: උරගවග්ග: 1-2 ඛග්ගවිසාණ සූත්‍රය, පි. 31,

තථ

▲ තථාගතයන් වහන්සේ: පාලි: තථාගතො -Tathāgata -the Perfect One: තමන් හඳුන්වා දීම පිණිස හෝ පෙර වැඩවිසු බුදුවරු පිලිබඳව, බුදුන් වහන්සේ ‘තථාගත’ යන පදය යොදාගෙන ඇත. එහි අර්ථය නම්: “ එලෙස ගිය උතුමා” ( තථා-ගත-one who has thus gone) “එලෙස පැමිණි උතුමා” (තථා-ආගත- one who has thus come). බලන්න:බුදුන් වහන්සේ. ශබ්දකෝෂ: B.D: p.326: ‘tathāgata: the Perfect One…the one who has “thus gone”, or “thus come”, is an epithet of the Buddha used by him when speaking of himself’ G.B: p. 766: ‘tathāgata: … refers to one who has attained Supreme Enlightenment. It is one of the ten titles of the Buddha…’

▼වෙනත් මූලාශ්‍ර: 1. “බුදුරදුන් තමන් වහන්සේ ගැන බෙහෙවින් ව්‍යවහාර කර තිබෙනු පෙනෙන්නේ තථාගත යන වචනය ය. බුදුරදුන් විසින් ද තථාගත යන වචනයේ අර්ථ විවරණයක් දීඝනිකායේ පාසාදික සූත්‍රයෙහි කර ඇත්තේය. අටුවාවල එහි අර්ථවිවරණය කර ඇත්තේ මෙසේ ය. අට කරුණකින් භාග්‍යවතුන් වහන්සේ තථාගතවනසේක: 1) තථා ආගතොති තථාගතො-පෙර බුදුවරු ආ පරිදි ආ බැවින් (ලෝක සත්ත්‍වයන් හට පිහිටවිමට). 2) තථා ගතොති තථාගතො- පෙර බුදුවරු ගිය පරිදි ගිය බැවින් (නොවරදින ගමනක් -නිවනට ගිය නිසා) 3) තථලක්ඛණං ආගතොති තථාගතො- තථ යනු සත්‍යට නමකි. උන්වහන්සේ සත්‍යයේ ලක්ෂණ යථා පරිදි දැනගත්තේය 4) තථධම්මෙ යථාවතො අභිසම්බුද්ධොති තථාගතො- චතු සත්‍ය ආදී සත්‍ය අවබෝධ කල නිසා 5) තථ දස්සිතාය තථාගතො- සකල සත්ත්‍වයන් විසින් දකින ලද, අසන ලද, සොයාගත් ආදි සියල්ල ඇති සැටියෙන් දක්නා නිසා 6 ) තථවාදිතාය තථාගතො- නොවරදිනන දෙයක්ම ප්‍රකාශ කරන නිසා 7) තථා කාරිතාය තථාගතො- යමක් කියන්නේද, ඒ දේ ඒ ආකාරයෙන්ම කරන්නේය. 8) අභිභවනට්ඨෙන තථාගතො- නොවරදින බෙහෙත-ඔෘෂධය ඇතිනිසා.”. “සුවිසිමහාගුණය”: පි. 210: රේරුකානේ චන්දවිමල මහානාහිමි, 2005.

▼ තථාගතයන් ලෙසින් හැඳින්වීම: එලෙසින් හඳුන්වාදීම පිළිබඳව උන්වහන්සේ මෙසේ වදාළහ: 1) “ මහණෙනි, දෙවියන් සහිත... ප්‍රජාව විසින් යම් රූප...ශබ්ද...ගන්ධ...රස... ස්පර්ශ ... ආයතනයක්, ධර්මයට ඇලීමක් ලබන ලදද , සොයන ලදද, සිතින් ලුහුබැඳ ගන්නාලදද, ඒ හැම තථාගතයන් විසින් අවබෝධ කරණ ලදී. ඒ නිසා ‘තථාගත’ යයි කියනු ලැබේ. “ යං භික‍්ඛවෙ සදෙවකස‍්ස ලොකස‍්ස...සදෙවමනුස‍්සාය දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ‍්බං තං තථාගතෙන අභිසම‍්බුද‍්ධං. තස‍්මා තථාගතො’ති වූච‍්චති”. 2) “...යම් රැයක තථාගතයන් චතුසත්‍ය අවබෝධ කරයිද, යම් රැයක තථාගතයන් පිරිනිවන් පානා සේක්ද, ඒ අතර තුර කාලයේදී තථාගතයන් විසින් යමක් කථා කර ...පවසා... විස්තර කර තිබේද, ඒ හැම ඒ පරිද්දෙන්ම වේ, වෙනස් නවේ. එනිසා, ‘තථාගත’ යයි කියනු ලැබේ” (whatever the Tathāgata speaks, utters, or expounds in the interval between the night when he awakens to the unsurpassed perfect enlightenment and the night when he attains final nibbāna, all that is just so and not otherwise; therefore he is called the Tathāgata). 3)“තථාගතයන්, කියන දේ කරයි, කරන දේ කියයි. තථාගතයන් තමන් කියන දේ කරන, කරන දේ කියන හෙයින් ‘තථාගත’ යයි කියනු ලැබේ”. “යථාවාදී භික‍්ඛවෙ තථාගතො තථාකාරී, යථාකාරි තථාවාදී, ඉති යථාවාදී තථාකාරී යථාකාරි තථාවාදී. තස‍්මා තථාගතො’ති වූච‍්චති”. 4) “දෙවියන්... සහිත ප්‍රජායෙහි තථාගතයන් හැම මැඩ (අභිභවා) සිටිති, අන්‍යයන්, තථාගතයන් මැඩ නොසිටි, ඒකාන්තයෙන්ම, සෑම දෙයක්ම තථාගතයන් දකින්නේය (අවබෝධ කලහ), විශාරදය, ඒ නිසා, ‘තථාගත’ යයි කියනු ලැබේ”.“ සදෙවකෙ... සදෙවමනුස‍්සාය තථාගතො අභිභු අනභිභුතො, අඤ‍්ඤදත්‍ථු දසො වසවත‍්තී. තස‍්මා තථාගතො’ති වූච‍්චති” (... in this world with its devas... and humans, the Tathāgata is the vanquisher, the unvanquished, the universal seer, the wielder of mastery; therefore he is called the Tathāgata). බලන්න:EAN: Notes: 656- 659, p. 615, උපග්‍රන්ථය:6. මූලාශ්‍ර: අංගු.නි:(2):4 නිපාත:උරුවෙලවග්ග: 4.1.3.3 ලෝක සූත්‍රය,පි.69, EAN:4: Uruwela:23.3 The World p.156, ඛු.නි:ඉතිවුත්තක:4.1.13 ලෝක අවබෝධ සූත්‍රය, පි. 510.

▼තථාගතයන් අග්‍රය- Tathāgata is the greatest: තථාගතයන් සියලු ලෝක සත්ත්‍වයන්ට අග්‍රය.(Tathāgata is the chief among all beings). බලන්න: අග්‍ර දේ. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත:10.1.2.5 අප්‍රමාද සූත්‍රය,පි.68, EAN: 10: 15-5 Heedfulness, p.497. සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: 1.13.1 තථාගත සූත්‍රය, පි. 126, ESN: 45: Maggasamyutta: 139.1 The Tathāgata, p. 1681.

▼තථාගතයන් පහළවීම - Arising of Tathāgata: ජාති ජරා හා මරණ යන ධර්මතා 3 ලෝකයේ නො පවතින්නේ නම් තථාගතයන්ගේ පහළවීම සිදු නොවේ, ධර්මවිනයේ බැබලීමක් නොමැත. එම ධර්මතා ලෝකයේ පවතින නිසා තථාගතයන් ලෝකයේ පහළවේ, ධර්මවිනය ප්‍රකශයට පත්කරයි, බබලවයි. සටහන:උපාලි සූත්‍රයේ- තථාගතයන් ලොව පහළවීම, ධර්මය දේශනා කිරීම ආදී වූ විස්තර දක්වා ඇත. බලන්න: අංගු.නි:(6): 10 නිපාත: උපාලි වගග: 10.2.5.9. උපාලි සූත්‍රය, පි.390. EAN: 10: 99.9 Upaali, p. 538. මූලාශ්‍ර:අංගු.නි: (6):10 නිපාතය: 10.2.3.6 තයෝධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▼ තථාගතයන්ගේ පහළවීම ලෝකයාගේ සුව සෙත පිණිසය “...තථාගතයන්ගේ උපත, බොහෝ දෙනාගේ හිත සුව පිණිසය. ලොවට අනුකම්පාව පිණිසය,දෙවි මිනිසුන් ගේ යහපත පිණිසය … තථාගතයන්ගේ ඉපදීම ලොව දුර්ලභ දෙයකි... තථාගතයෝ අසිරිමත් මිනිස්බවක් ඇතිව උපත ලබති ... තථාගතයන්ගේ කාලක්‍රියාව බොහෝ දෙනාට ශෝචනීය සිදුවීමකි”. “....තථාගතයන්වහන්සේ, ලොව ඉපදීම- අද්විතය (unique), අසාහය (without a peer), අප්‍රතීමය (without counterpart), අප්‍රතිසමය (incomparable), අප්‍රතිභාගය (matchless), අප්‍රතිපුද්ගලය (unrivaled), අසමය (unequaled) අසම සමය (without equal), දෙපා ඇතියනට අග්‍රය (the foremost of bipeds)”. “... තථාගතයන් ගේ පහළවීම නිසා: 1 මහත්වූ මහා ප්‍රඥාචක්ෂු ඇතිවේ (manifestation of great vision) 2 මහා ප්‍රඥාආලෝකය පහළවේ (the manifestation of great light) 3 මහා ප්‍රඥා දිස්නයක් (ප්‍රඥාවභාසය) (manifestation of great radiance) ඇතිවේ 4 අනුත්තරිය ධර්මයන් 6 කගේ ඇතිවීම වේ (manifestation of the six things unsurpassed) 5 සිව් පිළිසිඹියාවන්ගේ සාක්ෂාත් වීම සිදුවේ (realization of the four analytical knowledges) 6 අටළොස් වැදෑරුම් අනෙක ධාතුන්ගැන විනිවිදයන අවබෝධය ඇතිවේ (the penetration of numerous elements) 7 අටළොස් වැදෑරුම් නානා ධාතුන්ගැන විනිවිද යන අවබෝධය ඇතිවේ (the penetration of the diversity of elements) 8 විද්‍යාවිමුක්ති ඵලයන්ගේ සාක්ෂාත් කිරීම වෙයි (the realization of the fruit of true knowledge and liberation) 9 සොතාපත්ති සිට අරහත් දක්වා මාර්ග ඵලයන්ගේ සාක්ෂාත් කිරීම වෙයි.බලන්න: සය අනුත්තර ධර්ම, ධාතු, සිව් පිළිසිඹියා. මූලාශ්‍ර: අංගු.නි: (1) 1නිපාත: ඒකපුගගල වග්ග, පි. 79-82, හා 2 නිපාත:2.2.6.1- 2.2.6.4 සූත්‍ර, පි. 184, EAN:1: One person, p.43 & EAN: 2: VI People: p.66, අංගු.නි: (6) : 10 නිපාත: උපාලි වගග: 10.2.5.9. උපාලි සූත්‍රය,පි.390, EAN: 10: V,99.9 Upaali, p. 538.

▼තථාගතයන්, දුකින් මැඩුන ලෝකය දෙස අවිහිංසාවෙන් බලති “එකඝනවූ ගල් පව්වක් මුදුනේ සිටින කෙනෙක්හට හාත්පස සිටින ජනයා පහසුවෙන් දැකිය හැකිය. එලෙස, සුන්දර ප්‍රඥාව ඇති, සමතැස් ඇති, පහවූ ශෝක ඇති බුදු රජාණන්වහන්සේ ඒ සෙල්පව්ව නම් උපමාවූ දහම් පහයට නැගී, ජාති ජරාවෙන් මඩනා ලද ශෝකයෙහි ගැලුනු ජන සමුහයා බලන සේක”. බලන්න: උපග්‍රන්ථය: උපමා. මූලාශ්‍රය:ඛු.නි: ඉතිවුත්තක: 2.2.1 විතක්ක සූත්‍රය, පි.388.

▼තථාගතයන් හඳුන්වන නම්- Designations for Tathāgata: ශ්‍රමණ (Ascetic), බ්‍රාහ්මණ (Brahmin), වෙදගු (Healer), භිසක්ක (Master of knowledge), නිර්මල (One unstained), විමල (Stainless one), ඤාණි (Knower), විමුත්ත (Liberated one). සටහන්: * තථාගතයන්, තුන්ලෝකයෙහි දතයුතු සියල්ල දන්නා නිසා, උන්වහන්සේ ‘සමන්තචක්ඛු’ ලෙසින් හඳුන්වයි. බලන්න: ඛු.නි: පටිසම්භිදාමග්ග 1: මහාවග්ග, ඥානකතා: 72-73 සර්වඥතා අනාවරණ ඥානයෝ, පි. 264. ** තථාගතයන්, චතුසත්‍ය අවබෝධ කළනිසා ‘බුද්ධ’ය, උපද්‍රවයන් ඉවසන නිසා කෙළෙස් නසන නිසා ‘නිරුත්තර සිංහ’ ය, විත්විසාරද නිසා ‘චතුවෛසාරද්‍ය’ය. බලන්න: ඛු.නි: ඉතිවුත්තක: 4.1.13 ලෝකඅවබෝධ සූත්‍රය, පි. 510. මූලාශ්‍ර: අංගු.නි:(5):8 නිපාත:8.2.9.5 තථාගතඅධිවචන සූත්‍රය, පි.368, EAN:8: 85.5 Designations, p. 454.

▼ තථාගතයන් බ්‍රහ්මචක්‍රය පැවැත්වීම-The Tathāgata teaches the Wheel of Brahmā: තථාගතයන් අට පිරිසට බ්‍රහ්මචක්‍රය පවත්වයි (to the eight assembly). තථාගතයන්, සිංහයා මෙන් අග්‍ර ස්ථානය ඇතිව, බල දහයක් ඇතිව, අටපිරිසට, විශිෂ්ට ධර්ම චක්‍රය -බ්‍රහ්මචක්‍රය පවත්වයි: “දස ඉමානි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලානි යෙහි බලෙහි සමන‍්නාගතො තථාගතො ආසහං ඨානං පටිජානාති,පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති”. සටහන්: * සිංහ: තථාගතයන් හඳුන්වන අපර නමකි ** පිරිස: ධර්මය අසන පිරිස බලන්න: අටපිරිස. ** බ්‍රහ්මචක්‍රය: ඉතා උතුම්වූ, ශ්‍රෙෂ්ඨවූ අනර්ඝවූ චක්‍රය, ධර්ම චක්‍රය හඳුන්වන නමකි. බලන්න: EMN: note: 181, p. 1081. හා ධම්ම චක්‍රය. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත :10.1.3.1 සිංහනාද සූත්‍රය,පි. 90, EAN: 10: 21.1 The Lion, p. 499, දිඝ.නි: (3 ): 10 සංගිති සූත්‍රය, පි, 368, EDN: 33: Sangīti Sutta: The Chanting Together, p. 362.

▼තථාගතයන් අසිරිමත්ය විස්මිත දහමින් යුක්තය: බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “...ආනන්ද, තථාගතයෝ, අසිරිමත්ය, අසිරිමත් දහම් ඇත, විස්මිතය, විස්මිත ගුණ ඇත”. (The Tathāgatas, Ānanda, are wonderful and possess wonderful qualities; the Tathāgatas are amazing and possess amazing qualities). සටහන් * බුදුන් වහන්සේ එසේ වදාළේ, තථාගතයන් සතු ඉද්ධිබල පිලිබඳ ආනන්ද තෙරුන් කළ විමසීමකට පිළිතුරු ලෙසිනි ** ඉද්ධිබල වඩාගත් නිසා තථාගතයන්ට බඹලොව තෙක් කයෙන් විවිධ ඉර්දී ප්‍රතිහාර්ය පෑමට ඇති හැකියාව මේ සූත්‍රයේ විස්තර කර ඇත. මූලාශ්‍ර: සංයු.නි: (5-2 ): මහා වග්ග: ඉද්දිපාද සංයුත්ත: 7.3.2 අයගෝලසූත්‍රය, පි. 70, ESN: 51: Iddipadasamyutta: 22.2 The Iron Ball, p. 2087.

▼ මේ සූත්‍රයේ තථාගතයන් සතු අද්භූත හා ආශ්චර්යමත් ධර්මතා විස්තරාත්මකව දක්වා ඇත.මූලාශ්‍ර: ම.නි: (3 ): 3.3.3 ආචාරියා අද්භූත සූත්‍රය, පි. 302, EMN: 123: Wonderful and Marvelous, p. 897.

▼ තථාගතයන්ගේ සතර ආශ්චර්ය අද්භූත ධර්මතා: තථාගතයන් පහළවීම නිසා සතර ආශ්චර්ය අද්භූත ධර්මතා පහළවේ: 1) බෝසතුන් තුසිත දෙව් ලොව සිට මව්කුසයට පැමිණෙන අවස්ථාවේ, ලෝකය ආලෝක කරමින්, දේව අලෝකයට වඩා අග්‍රවූ මහා ආලෝකයක් පැතිරේ 2) බෝසතුන් මව්කුසින් එලියට පැමිණෙන අවස්ථාවේ, ලෝකය ආලෝක කරමින්, දේව අලෝකයට වඩා අග්‍රවූ මහා ආලෝකයක් පැතිරේ 3) තථාගතයන් සම්මා සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේ, ලෝකය ආලෝක කරමින්, දේව අලෝකයට වඩා අග්‍රවූ මහා ආලෝකයක් පැතිරේ 4) තථාගතයන් ධම්ම චක්‍රය පවත්වන අවස්ථාවේ, ලෝකය ආලෝක කරමින්, දේව අලෝකයට වඩා අග්‍රවූ මහා ආලෝකයක් පැතිරේ. සටහන: ම.නි: ආචාරියා අද්භූත සූත්‍රයේ බෝසතුන්ගේ පහළවීම සම්බන්ධ ආශ්චර්ය ධර්ම විස්තරාත්මකව පෙන්වා ඇත. බලන්න: ආචාර්යවරයා සතු අද්භූත හා ආශ්චර්යමත් ධර්මතා මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 4.3.3.7 තථාගත අචඡරිය සූත්‍රය, පි. 272, EAN:4: 127.7 Astounding-1, p. 195.

▼ යම් කලෙක අරහත් සම්‍යක්සම්බුද්ධ තථාගත කෙනෙක් ලොව උපදින්නෝය, ඒ කල දෙව් මුළුව පිරේ, අසුර මුළුව පිරිහේ. බලන්න: අසුර.

▼තථාගත සම්මා සම්බුද්ධයන් වහන්සේ උත්තම දස පුද්ගලයන් අතරින් පළමු තැන ගනී. බලන්න: උත්තම දස පුද්ගලයෝ.

▼තථාගතයන් ලෝකයාට ධර්මය දේශනා කරන්නේ ඔවුන් කෙරේ ඇති හිතානුකම්පාව නිසාය. මූලාශ්‍ර: සංයු.නි: (1 ): සගාථවග්ග: මාරසංයුත්ත: 4.2.4 පතිරූප සූත්‍රය, පි. 230, ESN:4: Marasamyutta:14.4 Suitable, p.280.

▼ තථාගත ජාන නුවණ: අචින්ත ධර්මතාවක්වූ ජාන පිළිබඳව බුදුවරු තත්වාකාරයෙන්ම අවබෝධ කර ඇත. එය තථාගතයන්ගේ එක් දසබලයකි. බලන්න: තථාගත දසබලඥාන, අචින්ත ධර්මතා.

▼ තථාගත දසබලඥාන: තථාගතයන් සතු විශේෂ නුවණ, බල දසය, දසබල ඥාන (දසබලානි) ලෙසින් දක්වා ඇත. බලන්න: “සුවිසි මහාගුණය”. 1) පළමු දසබල ඥානය: වියහැකි දේ වියහැකිබව, වියනොහැකි දේ වියනොහැකි බව යථා පරිදි දන්නා නුවණ (the possible as possible and the impossible as impossible) .“...ඉධ භික‍්ඛවෙ තථාගතො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානති...”. සටහන්: * එම නුවණ ‘ස්ථාන අස්ථාන දන්නා නුවණ’, “ කාරණය කාරණය වශයෙන්ද අකාරණය අකාරණය වශයෙන්ද තතු ලෙසින් දන්නා නුවණ” ලෙසින්ද හඳුන්වයි. ** ඨාන යන වචනයෙන් දක්වන්නේ ඒ ඒ කරුණු සිදුවීම හා ඒ ඒ දෙය ඇතිවීමේ හේතුවය. අට්ඨාන: හේතු නොවනදෙයය. ** පළමු දස බල නුවණ මගින්, යම් යම් දේ සිදුවීමට හේතුව නිවැරදිව දැනගන්නේය, එසේම, අහේතුවද නිවැරදිව දනගන්නේය. හේතු හා අහේතු පිලිබඳ නිවැරදිව දන්නා නුවණ- යථා භූත ඥානය, තථාගතයන්ගේ බලයකි. 2 ) දෙවෙනි දසබල ඥානය: තුන්කාලයේම සමාදන්වූ කර්ම විපාක පිලිබඳ (හේතු හා ඵල) යථා ලෙසින් දන්නා නුවණ (the result of the undertaking of kamma past, future, and present in terms of possibilities and causes). “තථාගතො අතීතානාගත පච‍්චුප‍්පන‍්නානං කම‍්ම සමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති...”. සටහන: * කර්ම විපාක නුවණ ඉතා ගැඹුරුය, බුදුවරුන්ට මිස ශ්‍රාවකයනට අවිශය කරුණකි. ශ්‍රාවකයනට දත හැක්කේ කර්මවිපාකවල සුළු කොටසක පමණි. ** මේ නුවණ මගින් පෙන්වන්නේ බුදුන් වහන්සේට කර්මය විභාගකර දැක්වීමට ඇති අවබෝධය ය. බලන්න: EMN: note: 183, p. 1081. 3 ) තෙවෙනි දසබල ඥානය: සර්වත්‍රගාමිනීප්‍රතිපාදා ඥානය- the ways leading everywhere. “... තථාගතො සබ‍්බත්‍ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති”. සටහන්:* අපාය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝක, අසුර ආදී දුගතියට, මිනිස්ලෝකයට, දේව ලෝක, බ්‍රහ්ම ලෝකහා හා නිවන කරා යන සියලු මාර්ග පිලිබඳ තථාගතයන්යට ඇති යථා අවබෝධය මේ නුවණින් පෙන්වා දේ. බලන්න: EAN: note: 1984, p. 677. ** තථාගතයන් ...අරහත් ආදී මග ඵලයන්ට පැමිණීම දන්නා සේක 4 ) සිව්වෙනි දසබල ඥානය: ලෝකයේ අනේකධාතු නානාධාතු දන්නා නුවණ- the world with its numerous and diverse elements “තථාගතො අනෙකධාතු නානාධාතු ලොකං යථාභූතං පජානාති” සටහන්: * පංචඋපාදානස්කන්ධයේ, ආයතනයන්හි, විවිධ ධාතු නියම ලෙසින්ම දන්නා නුවණ මින් පෙන්වා ඇත. බලන්න: EAN: note 1985, p. 677. ** සම්පුර්ණයෙන්ම නැතිවන නිසා, බිඳී...යන නිසා ස්කන්ධ, ආයතන ලෝක නම්වේ. ධාතුවල තම තමන්ගේම ස්වභාවය ඇති නිසා ...පෙනෙන නිසා රූප ධතුවවේ...එලෙස, රූප,වේදනා, සංඥා, සංඛාර, වීඥාණ ආදීවූ ධාතු පිළිබඳව තථාගතයන්ට යථා අවබෝධය ඇත. 5) පස්වෙනි දසබල ඥානය: සත්ත්‍වයන් ගේ විවිධවූ චරිත ස්වභාවය දන්නා නුවණ- the diversity in the dispositions of beings “..තථාගතො සත‍්තානං නානාධිමුත‍්තිකතං යථාභූතං පජානාති” සටහන්: * ලෝක සත්ත්‍වයන්ගේ චරිත සවභාවය: උසස් හෝ පහත් බව, සමාන ගුණ ඇති සත්වයෝ එකට එකතුවීම පිලිබඳ තථාගතයන්ගේ අවබෝධය.බලන්න: EAN: note 1986, p. 677. ** අධිමුක්ති යනු අදහස ය. එය සත්ත්‍වයන් තුළ ඇති, තේරුම් ගැනීමට දුෂ්කරවූ අනුශය ධාතුවකි. බොහෝවිට පුද්ගලයෝ අනුශය වශයෙන් යටපත්වී ඇති තම අදහස් නොදනිති. තථාගතයන්, තමන්වෙත පැමිණෙන සෑම දෙනාගේම අදහස් නිවැරදි ලෙස දනී. සත්ත්‍වයන්ගේ අදහස් විවිධ, සමහරු අනුනට දුක දීමට කැමතිය; සමහරු සොරකම් කිරීමට...අනුන් රැවටීමට කැමතිය... එලෙස ලාමක අදහස් ඇති අය හීනාධිමුක්තික යයි හඳුන්වයි. තවත් අයට උසස් අදහස් ඇත... වැඩිහිටියනට ගරු කිරීම, දහමට කැමතිවීම...ඔවුන් ප්‍රනිතාධිමුක්තික ලෙසින් හඳුන්වයි. 6) සයවෙනි දසබල ඥානය: උසස් හෝ පහත් අදහස් ඇති ලෝක සත්ත්‍වයන්ගේ, පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය දියුණුඇත්ද දියුණුවී නැත්ද යයි දන්නා නුවණ- superior or inferior condition of the faculties of other beings and persons (ඉන්ද්‍රිය පරියෝපරියත්ත ඥානය- ධර්මය අවබෝධකරගැනීමට ඉන්ද්‍රියන් කෙතෙක් වැඩි තිබේද යයි අවබෝධ කරගැනීම). “...භිකඛවෙ තථාගතො පරසත‍්තානං පරපුග‍්ගලානං ඉනද්‍රියපරොපරියත‍්තං යථාභූතං පජානාති”. සටහන්: * ලෝක සත්ත්‍වයන්ගේ විවිධවූ අදහස්-නැඹුරුකම්, ඔවුන් තුල ඇති අනුසය ධර්ම, සිතේ නියම ස්වභාවය, චරිත ස්වභාවය, ප්‍රතිභානය, ඉන්ද්‍රියන්, ගතිගුණ, යමක් ග්‍රහණය කරගැනීමේ තත්වය, සම්භාව්‍ය-යමක් දියුණු කරගැනීමට ඇති ශක්තිය ආදීය පිලිබඳ තථාගතයන්ට මනා අවබෝධය ඇත. අටුවාවට අනුව පුද්ගලයෙක් ගේ පංච ඉන්ද්‍රිය (ශ්‍රද්ධා, විරිය ආදී...) දියුණුව තිබේද, පසුබැස තිබේද යන්න අවබෝධ කිරීමය. බලන්න: EAN: note: 1987, p. 677) ** තථාගතයන් ප්‍රධාන සත්ත්‍වයන්ගේ, හීන සත්ත්‍වයන්ගේ ඉන්ද්‍රිය මේරීම - ඉන්ද්‍රිය පරාවරතාව දනී. 7) සත්වෙනි දසබල ඥානය: ජාන, විමොක්ඛ, සමාධි සමාපත්තීන් කෙළෙසීම, පිරිසිදුවීම, සමාධි ජාන සමාපත්ති වලින් නැගීසිටීම පිලිබඳ අවබෝධය - knowledge of the defilement, the cleansing, and the emergence in regard to the jhānas, emancipations, concentrations, and meditative attainments “…තථාගතො ඣානවිමොක‍්ඛෙ වීමොකඛසමාසමාධිසමාපත‍්තිනං සංකිලෙසං වොදානං වූට‍්ඨානං යථාභූතං පජානාති”. සටහන්: * ජානසමාපත්ති කෙළෙසීම, පිරිසුදුකරගැනීම, ජානවලින් නික්මීම, විමුක්තිය, සමාධිය, ජානසමාපත්ති ලැබීම පිලිබඳ තථාගතයන්ගේ අවබෝධය ** සිව්ජාන, අෂ්ඨවිමොක්ඛ, ජානසමාපත්ති, සංක්ලේශ- ව්‍යවදාන-ව්‍යූත්ථාන, ආදිය දන්නා තථාගත නුවණ. 8) අටවෙනි දසබල ඥානය: අනෙකවූ, විවිධවූ පෙර ජාති දන්නා නුවණ- පුර්වනිවාසානු සමෘතිය- පෙරවිසු කඳ පිළිවෙත දන්නා නුවණ- the Tathāgata recollects his manifold past abode. “...තථාගතො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති ...” සටහන්: * අනෙකවිධි අතීත ජාති දන්නා නුවණ ** සීමාවක් නොමැතිව පෙර ජාති දැකිය හැකි නුවණ තථාගතයන්ට ඇත. 9) නවවෙනි දසබල ඥානය: සත්ත්‍වයන් මරණින් මතුඋපත ලබන ස්ථාන ගැන දන්නා නුවණ- දිවැස-divine eye. “ ...තථාගතො දිබ‍්බෙන චකඛුනා විසුෙද‍්ධන අතික‍්කන‍්තමානුසකෙන සත්තෙන පස‍්සති චවමානෙ උප‍්පජ‍්ජමානෙ හීනෙ පනීතෙ සුවණෙණ දුබ‍්බණෙණ සුගතෙ දුග‍්ගතෙ...” . සටහන්:* චූතුප්පාතඤාණය - කර්මානුරූපව සත්ත්‍වයෝ උපත ලබාගන්නා අන්දම අවබෝධකරගැනීම ** ඒ ඒ භවයන්ගෙන් චූතවන සත්ත්‍වයෝ ඔවුන් කළ පින්පව් අනුව සුගතියක හෝ දුගතියක උපදිනා අන්දම තථාගතයන් මැනවින් අවබෝධ කර ඇත. 10 ) දසවෙනි දසබල ඥානය: ආශ්‍රවක්ෂය ඥානය- සියලු ආසවයන් ක්‍ෂය කළබව දන්නා නුවණ- knowledge of the destruction of Taints. “... තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දීට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡීකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති...”. සටහන්: * තථාගතයන් වහන්සේ, සියලු ආසවයන් ක්‍ෂය වීමෙන් අනාශ්‍රව, චිත්ත විමුක්තිය, ප්‍රඥා විමුක්තිය ලබා, ඒ බව විශිෂ්ඨ ඥානයෙන් දැන, සාක්ෂාත් කොටගෙන වාසය කරයි. එය තථාගතයන් යන් සතු බලයකි. ** අංගු.නි: (3): 5 නිපාතයේ: බලවග්ග: තථාගත බල සූත්‍රයේ: තථාගතයන්: ශ්‍රද්ධාබලය, හිරිබලය, ඔත්තප්ප බලය. විරියබලය හා ප්‍රඥා බලය ඇතිව බ්‍රහ්මචක්‍රය පවත්වන බව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.1.3.1 සිංහනාද සූත්‍රය, පි. 90, EAN:10: 21.1. The Lion, p. 499, ම.නි: (1): 1.2.2. මහාසීහනාද සූත්‍රය, පි. 184, EMN: 12: The Greater Discourse on the Lion’s Roar, p.160.

▼ වෙනත් මූලාශ්‍ර:1. දසබල ඥාන පිලිබඳ ගාථාව:

ඨානාඨානෙ විපාකෙ ච-මගගෙ සබබතථ ගාමීනා, නානාධතුම්භි ලොකසමිං - අධිමුතතම්හි පාණිනං, පරොපරියනතෙ ඤානං - ඉන්ද්‍රියානඤ්ච ජනතුනං ඣනාදීසු ඤානං පුබබෙ - නිවාසෙ දීබබචකඛු ච, ආසවකඛයඤානකනති - දසඤානබලං මතං: “සුවිසිමහාගුණය”: පි.162, රේරුකානේ චන්දවිමල මහානාහිමි, 2005.

▼ ඒ ඒ සත්වයාගේ ඉන්ද්‍රිය දියුණුව හෝ පරිහානිය පිලිබඳ විශේෂ ඥානයක් බුදුවරුන් සතුය, එය තථාගත දස බල නුවණකි. බලන්න: ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රිය.

▼ තථාගතයන්ට පමණක් ඇති සර්වඥතා ඥානය: අනාවරණ ඥානය ලෙසින් පෙන්වා ඇත්තේ බලන්න:අනාවරණ ඥානය.

▼ ආසයඅනුසය ඤාණය, තථාගතයන් සතු නුවණකි. බලන්න: ආසයඅනුසය ඤාණය.

▼ දහසක් ලෝකධාතු පිලිබඳව තථාගත අවබෝධය: බුදුන් වහන්සේ, දහසක් ලෝක ධාතු පිලිබඳ විස්තර ප්‍රථම කොසල සූත්‍රයේ පෙන්වා ඇත. අංගු.නි (1) 3 නිපාතයේදී: ලෝකධාතු තුල සිටින සත්ත්‍වයන් හට ඇසෙන පරිදි තථාගතයන්හට හඬ පැතිරීවිය හැකිබව පෙන්වා ඇත.බලන්න: දහසක් ලෝක ධාතුව. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.1.3.9.ප්‍රථම කොසල සූත්‍රය,පි. 134 , EAN: 10: The Great Chapter, 29.9 Kosala-1, p. 505, අංගු.නි: (1): 3 නිපාත: ආනන්දවග්ග: 3.2.3.10 සූත්‍රය, පි. 440, EAN:3: Ānanda: 80.10 Abhibhū, p. 120.

▼ තථාගතයන් සියලු මුලධර්ම පිලිබඳ විශාරදය: තථාගතයන් ට සියලු ධර්මතා ගැන නිසැක අවබෝධය ඇත. ඒ නිසා විවිධ පුද්ගලයන්හට (නොයෙක් දිට්ඨි ඇති, මත ඇති) විවිධ ලෙසින් ධර්මය ඉගැන්වීමට තථාගතයන් සමත්ය. එලෙස නොයක් ක්‍රම මගින් තථාගතයන් ධර්මය දේශනා කරනවිට, ඒ අනුව කෙනෙක් පුහුණු වන්නේනම්, දහම ප්‍රගුණ කරන්නේනම්, ඔහු, ඇති දේ(exists)ඇති බව හා නැති දේ නැතිබව දැනගනි; පහත් දේ (හීන -inferior) පහත්බව, උසස් දේ (ප්‍රණීත- sublime) උසස්බව දැන ගනී, ඉක්මවා යාහැකි දේ (surpassable) ඉක්මවා යා හැකිබව, ඉක්මවා ගිය නොහැකිදේ ඉක්මවා ගිය නොහැකි බව දනී. එලෙසින්, කෙනෙකුට නියම ලෙසින්, දැනගතයුතු, දැකියයුතු, අවබෝධ කලයුතු දේ , දැනගැනීමට, දැකගැනීමට, අවබෝධකරගැනීමට හැකිවේ. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 10.1.3.2 අධිවුත්තිපද සූත්‍රය,පි. 96, EAN: 10: III The Great Chapter: 22.2 Doctrinal Principles, p. 500.

▼ උසස් හා පහත් පුද්ගලයන් පිලිබඳ තථාගත ඥානය: පුද්ගලයන් ගේ ආධ්‍යාත්මික වෙනස්කම්: ඔවුන්ගේ ශිලය, ලබා ඇති මාර්ග ඵල ආදී කරුණු පිලිබඳ තීරණය කිරීමට සමාන්‍ය පුද්ගලයෙක් සමත් නොවේ. එවැනි තීරණ ගත හැක්කේ තථාගතයන්ට හෝ ඒ සමාන ගුණ ඇති උතුමෙකුට පමණක් බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. ඔවුන් ගැන හිතු මානපයේ තීරණ ගැනීමෙන් බොහෝ අකුසල් රැස්වේ. එම නිසා අන්‍යන්ගේ ආධ්‍යාත්මික තත්වයන් සංසන්දනය කරමින්, ඔවුන් විනිශ්චය නොකළ යුතුවේ. ( Therefore, Ānanda, do not be judgmental regarding people. Do not pass judgment on people. Those who pass judgment on people harm themselves. I alone, or one like me, may pass judgment on people). සටහන්: * මෙහිදී ආධ්‍යාත්මික වෙනස්කම් ඇති පුද්ගලයන් දස දෙනෙක් ගැන පෙන්වා ඇත ** මේ සූත්‍රය දේශනා කිරීමට මුල්වුවේ, මිගසාලා උපාසිකාව, තම පියා (පුරාණ,) හා මාමා (ඉසිදත්ත) සකදාගාමී බව ලැබීම ගැන ආනන්ද තෙරුන්ගෙන් ඇසු ප්‍රශ්නයක් පිලිබඳවය. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.2.3.5 මිගසාලා සූත්‍රය, පි. 274, EAN:10: 75.5 Migasālā, p. 522.

▼ තථාගතයන් ධර්ම රාජයාය: තථාගතයන් ධර්මයම ආශ්‍රය කර, ධර්මයටම සත්කාර කර, ධර්මයට ගරුකර, ධර්මය පුදමින් වාසය කරන බව බුදුන් වහන්සේ වදාළහ. තථාගතයන්ගේ ධජය, ධර්මය ය. කලයුතු හා නොකළයුතු කාය, වචී හා මනෝ කර්ම කුමක්ද යයි පෙන්වා, (සක්විති රජ තම පිරිස රැකගන්නා ලෙසින්) තථාගතයන් පිරිසට ආරක්ෂාව ලබාදේ. මූලාශ්‍ර: අංගු.නි: ( 1 ): 3 නිපාත: 3.1.2.4 සූත්‍රය, පි. 246 , EAN:3: 14.4 Wheel turning Monarch p. 82.

▼ තථාගතයන් ගේ ධර්මයේ ආශ්චර්යබව: තථාගතයන් ධර්මය දේශනා කරනවිට ඇතිවෙන අසිරිමත් හා ආශ්චර්යමත් කරුණු: 1) තණ්හාවෙන් බැඳුන ලෝකයාට, තථාගතයන්, තණ්හාව පහකිරීම පිළිබඳව ධර්මය දේශනා කරනවිට ඔවුන් කන්යොමු කරති, ධර්ම කරුණු අවබෝධ කරගැනීමට සිත යොදවති. 2) මානයෙන් මත්වූ ලෝකයාට, තථාගතයන්, මානය පහකිරීම පිළිබඳව ධර්මය දේශනා කරනවිට ඔවුන් කන්යොමු කරති, ධර්ම කරුණු අවබෝධ කරගැනීමට සිත යොදවති. 3) උද්වේගය (අනුපශමය- excitement) ට ඇලුන ලෝකයාට, තථාගතයන් සාමය- ශාන්තබව පිළිබඳව ධර්මය දේශනා කරනවිට ඔවුන් කන්යොමු කරති, ධර්ම කරුණු අවබෝධ කරගැනීමට සිත යොදවති. 4) අවිද්‍යාවෙන් බරවූ ලෝකයාට, තථාගතයන්, විද්‍යාවඇතිකර ගැනීම පිළිබඳව ධර්මය දේශනා කරනවිට ඔවුන් කන්යොමු කරති, ධර්ම කරුණු අවබෝධ කරගැනීමට සිත යොදවති. මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 4.3.3.8 දුතිය තථාගත අච්ඡරිය සූත්‍රය, පි. 274 , EAN:4: 128.8 Astounding- 2 , p. 195.

▼ තථාගතයන් පහළවීම නිසා අරිය අටමග පහළවේ. මූලාශ්‍ර:සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත:1.2.4. උප්පාද සූත්‍රය, 1.2.5. පරිශුද්ද සූත්‍රය, පි. 52, ESN: 45: Maggasamyutta, 14.4, 15.5 Arising, p. 1619.

▼තථාගතයන් ඇතිකල බුදුසසුන බැබලේ: ආනන්ද තෙරුන් ඇසු පැණයකට පිළිතුරු ලෙසින් බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ යම්තාක් කල් ලොව තථාගතයන් නො උපදිත්ද, ඒ තාක් ම අන්‍ය ආගමිකයන් ගේ බැබලීම වේ. යම්කලක තථාගතයන් උපදි ද, එකල බුදුසසුන බබලයි”. ඒ පිලිබඳ දැක්වූ උපමාව: යම්තාක් හිරු නො නගිද, ඒ තාක් කදෝපැණි (කළාමැදිරියා) තෙම බබලයි. හිරු නැගී කල්හි කදෝපැණි තෙම, නො බබලයි. මූලාශ්‍ර: ඛු.නි: උදාන පාලිය: 6.10 තථාගත උත්පාද සූත්‍රය, පි. 304.

▼තථාගතයන් සිහිකර ස්ථූප සැදීම: තථාගතයන් සිහිකර - අනුස්මරණය කර ස්ථූප සැදීම, ඒවාට පුද පුජා කිරීම නිසා බොහෝ පින් ලැබේ. බලන්න: ස්ථුප, දීඝ.නි: මහා පරිනිබ්බාන සූත්‍රය.

▼ තථාගතයන් වහන්සේ අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීගිය ස්ථානය සැදැහැති කුලපුත්‍රයෙක් විසින් දැකියයුතු සංවේග කටයතු ස්ථානයක්ය-පුජනිය ස්ථානයක්ය. බලන්න: අනුපාදීසේස පරිනිබ්බාන ධාතුව, මහාපරිනිබ්බාන සූත්‍රය, සිව් පුජනිය ස්ථාන.

▼ තථාගතයන් ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කිරිමේ අරමුණ තථාගතයන්, විශිෂ්ඨ ඥානයෙන් දැන, සත්වයන්ගේ විශුද්ධිය පිණිස, සෝක විලාප මැඩපවත්වා ගැනීම පිණිස, දුක්වේදනා හා දොම්නස අහවරකරගැනීම පිණිස, මාර්ගය ලැබීම පිණිස, නිවන සාක්ෂාත් කරගැනීම පිණිස, ශ්‍රාවකයනට ධර්මය දේශනා කරනබව බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත, 10.2.5.5 උත්තිය සූත්‍රය,පි.374, EAN: V,95-5 Uttiya, p.536.

▼තථාගතයන් ධර්මය දේශනා කරන ක්‍රමය: ආකාර 2 කින් දේශනා කරන්නේය: 1) සැකෙවින් (සඬඛිත‍්තෙන -සංඛිත්තෙන-in brief ) 2) විස්තරාත්මකව(විත්‍ථාරෙන-විත්ථාරේන- in detail) සටහන: අටුවාවට අනුව: සැකෙවින් දේශනා කිරීම යනු ධර්ම කරුණ පිලිබඳ සැකිල්ල-කෙටි සටහන (මාතිකා) දැක්වීමය .විස්තරාත්මව දේශනා කිරීම යනු, ධර්ම කරුණ විස්තරකර, විභාග කර දැක්වීමය. කෙටියෙන් ධර්මය දේශනා කරන්නේ නුවණැතියන්ටය- ප්‍රඥාව අධික අයටය. සාමාන්‍ය හෝ අවම නුවණ ඇති අය පිණිස විස්තරාත්මකව ධර්මය දේශනා කරයි.බලන්න: EAN: note: 230, p. 592. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.2.4 සූත්‍රය, පි. 144, EAN: 2: 14.4 Sutta, p. 58.

▼ තථාගත ධර්මය වරදවා ගැනීම: තථාගත ධර්මය විකෘති කරන අයද, ඒ පිලිබඳ යහපත් අවබෝධය ඇති අයද ලෝකයේ සිටිති. ධර්මය විකෘති කරන අය: 1. තථාගතයන් කෙරෙහි ද්වේශය ඇති අය 2. තථාගතයන් කෙරෙහි විශ්වාසයක් ඇතිවුවද ධර්මය වරදවා වටහාගත් අය. ඔවුන් ධර්මය විකෘති කරන අන්දම: 1) තථාගතයන් නොවදාළ ධර්මය උන්වහන්සේ විසින් වදාරනලදී යයි පැවසීම 2) තථාගතයන් වදාළ ධර්මය උන්වහන්සේ විසින් නොවදාරනලදී යයි පැවසීම 3) තථාගතයන් වදාළ ධර්මය, අර්ථ විවරණය අවශ්‍ය තැන්හි, එය අවශ්‍ය නොවේ යයි පැවසීම. 4 ) තථාගතයන් වදාළ ධර්මය, අර්ථ විවරණය අවශ්‍ය නොවන තැන්හි, අර්ථ විවරණ අවශ්‍යයයි පැවසීම. ධර්මය විකෘති නො කරන අය:1) තථාගතයන් නොවදාළ ධර්මය උන්වහන්සේ විසින් නො වදාරනලදී යයි පැවසීම 2 ) තථාගතයන් වදාළ ධර්මය උන්වහන්සේ විසින් වදාරනලදී යයි පැවසීම 3 ) තථාගතයන් වදාළ ධර්මය, අර්ථ විවරණය අවශ්‍ය තැන්හි, එය අවශ්‍යබව පැවසීම 4 ) තථාගතයන් වදාළ ධර්මය, අර්ථ විවරණය අවශ්‍ය නොවන තැන්හි, ඒවා අවශ්‍ය නොවන බව පැවසීම. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 2 නිපාත: 2.1.3.2- 2.1.3.5 සූත්‍ර, පි. 154 , EAN: 2: 22.2-25.5, Suttas, p.60.

▼තථාගතයන් හැර දැමු දස ධර්මතා: එක් සමයක බාහුන තෙරුන් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසුහ: “කුමන ධර්මතාවලින් මිදී, සිමාවලින් නිදහස්වූ සිතක් ඇතිව තථාගතයන් වැඩ වාසය කරන්නේද?”. තථාගතයන් ධර්මතා 10කින් වෙන්ව විමුක්ති සුවය ඇතිව වාසය කරණ බව බුදුන් වහන්සේ වදාළහ. 1 රූප 2 වේදනා 3 සංඥා 4 සංස්ඛාර 5 විඥාන 6 ජාතිය 7 ජරාව 8 මරණය 9 දුක 10 කෙළෙස්. ඒ පිළිබඳ උපමාව: යම් ලෙසකින්, උපුල්මලක් ...රතුනෙළුමක්...සුදු නෙළුමක්, දියෙහි ඇතිවී, දියේම හැදී, දියෙන් මතුවී, දියනිසා කිලිටිනොවී, නැගි සිටින්නේද, එලෙසින්, දස ධර්මයන් ගෙන් මිදී, වෙන්වී, විමුක්තවී තථාගතයන්, සිමාවලින් නිදහස්වූ සිතක් ඇතිව වැඩ වාසය කරති. “සෙය්‍යථාපි බහුන උප‍්පලංවා පදුමං වා පුණ‍්ඩරීකංවා උදකෙ ජාතං උදකෙ සංවඩඪං උදකා අච‍්චුග‍්ගම‍්ම තිට‍්ඨති අනුපලි ත‍්තං උදකෙන. එවමෙව ඛො බාහුන ඉමෙහි දසහි ධම‍්මෙහි තථාගතො නිස‍්සට‍්ඨො විසංයුත‍්තො විප‍්පමුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරිතීති” “Bāhuna, it is because the Tathāgata is released, detached, and emancipated from ten things that he dwells with a mind free from boundaries: Form, feelings, perceptions, volitional activities, consciousness birth … old age … death … suffering … defilements). මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.2.4.1. බාහුන සූත්‍රය,පි.296, EAN:10: The Elders: 81.1. Bahuna, p. 526.

▼ තථාගත ධර්මය ඉගෙනගන්නා ක්‍රමය: යම් භික්ෂුවක් ගුණ 10කින් සමන්විත නම් ඔහුට ධර්මය උගැන්වීමට, දේශනා කිරීමට තථාගතයන් නැඹුරුවේ, එහෙත්, භික්ෂුවකට එම ගුණ නොමැතිනම් ඔහුට ධර්මය උගැන්වීමට, තථාගතයන් නැඹුරුනොවේ: 1 භික්ෂුව සද්ධා සම්පන්නය 2 තථාගතයන් වෙත පැමිණේ 3 තථාගතයන් ඇසුරු කරයි 4 ප්‍රශ්න විමසයි 5 කන්යොමා ධර්මය අසයි 6 ඇසු ධර්මය සිතේ දරාගනී 7 සිතේ දරාගත් ධර්මය විමසා බලයි 8 අර්ථය දැන ධර්මය අවබෝධ කරගනී 9 ඔහු ධර්ම කතාවේ දක්ෂය; අසා සිටින අයට ඉගැන්වීමට දක්‍ෂය; කතාවට ශුරය; ඇසු ධර්මය අර්ථය පැහැදිලිකර, කරුණු ඔපකර, කියා පෑමට හැකියාව ඇත. 10 සබ්‍රම්මචාරීන්හට ඔහු ධර්මය උගන්වයි, ඔවුන්ව උනන්දුකරයි; ඔවුන් පොළඹවාගනි, ඔවුන් සතුටු කරති. මූලාශ්‍ර: අංගු.නි: (6)10 නිපාත: ථෙර වග්ග: 10.2.4.3. පුන්ණිය සූත්‍රය,පි.302, EAN: 10: The Elders: 83.3. Punniya, p. 526.

▼ තථාගත ශ්‍රාවකයන්: තථාගතයන් වහන්සේගේ අනුත්තර අරහත්වය දකිමින් රහත් මහණ, සසුනේ ඉතා යටත්ව වාසය කරන බව සැරියුත් තෙරුන් මෙහි දී දක්වා ඇත.බලන්න:උපග්‍රන්ථය:1,2 මූලාශ්‍රය: සංයු.නි: (5-1) මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත: 4.6.8 සූකරඛත සූත්‍රය, පි.436.

තද

▲ තදංග නිබ්බාන- Nibbāna in a particular respect: ප්‍රථම ජාන ආදී ඒ ඒ අංගයන්ගේ නිවීම තදංග නිබ්බානයය. තදංග නිබ්බානය පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇතිබව ආනන්ද තෙරුන් වදාළහ: “ඇවැත්නි, මේ සසුනේ මහණ...ප්‍රථම ජානයට පැමිණ වාසය කරයි…( එලෙස සිව් ජාන) එපමණකින්ම, තදංග නිබ්බානය යයි අවස්ථානුරූපව (පර්යායෙන්) බුදුන් වහන්සේ දෙසනා කරන ලදී” .“ මේ සසුනේ මහණ... ආකාසානඤචායතන සමාපත්තියට පැමිණ වාසය කරයි... (එලෙස සිව් අරූප සමාපත්ති) එපමණකින්ම, තදංග නිබ්බානය යයි අවස්ථානුරූපව, බුදුන් වහන්සේ දෙසනා කරන ලදී”. “...මේ සසුනේ මහණ මුළුමනින්ම, නෙවසඤඤානාසඤඤායතනය ඉක්මවා සඤඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. නෙවසඤඤානාසඤඤා විපස්සනා ප්‍රඥාවෙන් දැකීමෙන් ඔහුගේ ආසව ක්‍ෂයවේ. එපමණකින්ම, තදංග නිබ්බානය යයි අවස්ථානුරූපව, බුදුන් වහන්සේ දෙසනා කරන ලදී” මූලාශ්‍ර: අංගු.නි: (5): 9 නිපාත: සාමඤඤවග්ග: 9.1.5.9 තදංග නිබ්බාන සූත්‍රය, පි. 566, EAN:9: 50.9 Nibbāna in a particular respect, p. 485.

▲තාදීගුණ-Tadiguna: තාදීගුණ ලෙසින් පෙන්වා ඇත්තේ උතුම්, ශ්‍රේෂ්ඨ ගුනයන්ය. එනම්, බුදූ, පසේබුදු, රහතුන් සතු නිර්මල ගුණයන්ය. බලන්න: ක්‍රෝධය.

▲ තෙදන්ඩික- tedaṇḍika: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ පැවති අන්‍ය ආගමික නිකායන් අතුරින් එකකි. බලන්න: අන්‍ය ආගමික නිකායන්.

▲තොදෙය්ය තෙර- Thodeiya Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ තොදෙය්ය මානවක- Thodeiya Manawka: බලන්න: : උපග්‍රන්ථය:3.

▲ තුදු බ්‍රහ්මරාජ-Brhama Tudu: කෝකාලික භික්ෂුවගේ ගුරුවරයාවූ මෙතුමා, මරණින් මතු බ්‍රහ්ම ලෝකයේ පහලවූහ. මෙතුමා පච්චේක බ්‍රහ්මය. ඒ භික්ෂුව, අගසව් දෙනම ගැන අසත්‍ය කතා කරන අවස්ථාවේ එලෙස නොකරන්න යයි ඔහුට අවවාද කරන ලද බව මෙහි පෙන්වා ඇත. ආර්යන්ට ගරහන පුද්ගලයන්, ඒකාන්තයෙන්ම නිරයේ බොහෝ කලක් දුක්විඳින බව මෙහි දක්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6) 10 නිපාත: 10.2.4.9. කොකාලික සූත්‍රය,පි.331, EAN: 10: 89.9. Kokalika, p. 530, සංයු.නි: (1) සගාථවග්ග: බ්‍රහ්මසංයුත්ත:6.1.9 තුදුබ්‍රහ්ම සූත්‍රය, පි.296.

තන

▲ තාන- Thana: තාන -රක්‍ෂා ස්ථානය-රැකවරණය සහිත තැන, නිවන හඳුන්වන නමකි.බලන්න: නිවන.

▲ තුන්කාලය- Three times: තුන්කාලය ලෙසින් පෙන්වා ඇත්තේ වර්තමාන, අතීත හා අනාගත කාලයන්ය. මෙය අද්ධව ලෙසින් පෙන්වා ඇත. බලන්න: අද්ධව.

▲ තුන්කාලය දන්නා නුවණ-පාලි: තීණි ඤාණානි- knowledge of 3 times: ධර්මයට අනුව තුන් කාල දන්නා නුවණ ලෙසින් පෙන්වා ඇත්තේ අතීතය දන්නා නුවණ , අනාගතය දන්නා නුවණ හා වර්තමානය දන්නා නුවණය (තුන් කාලය පිලිබඳව අවබෝධ ඥාණය). මෙය බුදුවරු සතු විශේෂ නුවණකි. ආධ්‍යාත්මික වර්ධනය පිණිස මේ ඥාණ 3 උපදවා ගත යුතුවේ: “... අතීතංසෙ ඤාණං, අනාගතං සෙ ඤාණං, පච‍්චුප‍්පන‍්නං සෙ ඤාණං”. බලන්න: උත්පාදයිතව්‍ය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “ත්‍රිවිධ අධ්වයෝ-තුන් වැදෑරුම් කාල: 1) අතීත භව පර්යාන්ත වූ හේතුන්: අවිද්‍යා සංස්කාර යන මේ දෙක පැවත එන අතීත කාලය 2) වර්තමාන හේතුවෙන් අනාගතයෙහි ජාති ජරා මරණ ඇතිවන අනාගත කාලය 3) අතීත හා අනාගත යන දෙදෙනාගේ මධ්‍යයෙහි ඉපදුන නිසා විඥාන නාම රූප ආදී සෙසු අංග 8 ප්‍රත්‍යයුත්පන්න නිසා ඇති වර්තමාන කාලය.සද්ධර්ම කෝෂය, පි. 177.

▲ තුන්දොර- The 3 doors: තුන්දොර ලෙසින් දක්වා ඇත්තේ කය, වචනය හා මනසටය. තුන්දොරින් දස කුසල හෝ දස අකුසල සිදුවේ. අපිරිසිදු ක්‍රියා නිසා කෙනෙක් පිරිහේ. එහෙත් තුන්දොරින් කරන යහපත් ක්‍රියා මගින් ආරිය විනයේ පිරිසුදුබව ලබාගැනීමට හැකිවේ. පෙන්වා ඇත. බලන්න: දස කුසල් හා දස අකුසල්, අංගු.නි: (1): 2 නිපාත: අකුසල පෙයියාල වග්ගයේ සූත්‍රයන්හි තුන්දොරින් කරන අකුසල විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: ම.නි: (1 ):1.1.9.සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9 Sammādiṭṭhi Sutta, p. 121, අංගු.නි :( 6 ) 10 නිපාත: 10.4.2.10 චුන්ද සූත්‍රය, පි.508, EAN: 10: 176.10.Cunda, p.553.

▼ තුන්දොරින් උපදවන චේතනා අභිසංඛාර ලෙසින් පෙන්වා ඇත. බලන්න: අභිසංඛාර.

▼ තුන්දොරින් කරණ යහපත් හෝ අයහපත් ක්‍රියාවන් කම්මවේ. මේවා කම්ම පථ ලෙසින් පෙන්වා ඇත. බලන්න: කම්ම.

▲ තුන් භවය: පාලි: තිස‍්සො භවො- Three Realms: ධර්මයේ තුන් භවය ලෙසින් පෙන්වා ඇත්තේ යළි උපත ලබන ස්ථාන ගැනය. එනම්: කාම ලෝකය, රූප ලෝකය හා අරූප ලෝකය. මේවා කාම ධාතු, රූප ධාතු හා අරූප ධාතු ලෙසින්ද පෙන්වා ඇත. ආධ්‍යාත්මික වර්ධනය පිණිස මේ තුන් භවය, විශේෂ නුවණින්, යහපත් ලෙසින්ම අවබෝධ කරගතයුතු ධර්මතාය.බලන්න: අභිඥෙයිය ධර්ම, ධාතු, විඥානය පිහිටන ස්ථාන. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲තුන්ලෝකය-Three worlds: තුන්ලෝකය, තුන් භවය ලෙසින්ද පෙන්වා ඇත. මේවා සත්වයා යලි උපත ලබන ස්ථානයන්ය. මූලාශ්‍රය: සංයු.නි: ( 4 ): සළායතනසංයුත්ත: අනිච්ච වග්ග සූත්‍ර-12 , පි. 28,

▲ තුන් සමාධිය: පාලි: තයො සමාධි-3 Samadhis: තුන් සමාධිය ලෙසින් පෙන්වා ඇත්තේ පළමු, දෙවෙනි හා තෙවෙනි ජාන සමාපත්තින්ය: i විතක්ක හා විචාර ඇති 1 නි ජානය (සවිතක‍්කසවිචාරො සමාධි) ii විතක්ක නොමැති විචාර ඇති 2 නි ජානය (අවිතක‍්කසවිචාරො සමාධි) iii විතක්ක හා විචාර නොමැති 3 නි ජානය (අවිතක‍්ක විචාරො සමාධි). මේ සමාධි , ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය කරගැනීම පිණිස වඩා ගත යුතු ධර්මතාවන්ය.බලන්න: භාවේතබ්බ ධර්ම, ජාන. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

තණ

▲ තණඅග පිනිබිදුව උපමාව-Simile of the dew drop: බලන්න: ජිවිතයේ කෙටිබව දක්වන උපමා-උපග්‍රන්ථය:5, අරක ශාස්තෘ.

▲ තණ්හාව: පාලි: තණ‍්හා: craving-greed: තණ්හාව, ලෝභය, අබිජ්ජාව, ආශාව ආදී ලෙසින් හඳුන්වයි. බලන්න: ලෝභය, අබිජ්ජාව.ධර්මයට අනුව තණ්හාව, සසරගමන දික්කරණ කෙළෙස් මුල් තුනෙන් 1 කි. ලෝභය ලෙසින්ද පෙන්වා ඇත. මෙය දස අකුසලයකි. තණ්හාවේ ආදීනව හා ඉන් මිදීමෙන් ලැබෙන සැනසීම ආදී විස්තර පිණිස බලන්න: ධම්ම පදය: තණ්හා වග්ග.

▼ තණ්හාව පටිච්චසමුප්පාදයේ 8 නි පුරුකය. වේදනා නිසා තණ්හාව හටගනී, වේදනා නිරෝධ වීමෙන් තණ්හාව නිරෝධවේ: “...වෙදනා පච‍්චයා තණ‍්හා...” . “...වෙදානා නිරොධා තණ‍්හා නිරොධො..” තණ්හාව නිසා උපාදාන ඇතිවේ, තණ්හාව නිරෝධ වීමෙන් උපාදාන නිරෝධවේ. තණ්හාව සය ආකාරයට ඇතිවේ- සළායතනමගින්: 1) රූප තණ්හාව- ඇසෙන් දකින රූප කෙරේ ඇති ඇල්ම 2) ශබ්ද තණ්හාව - කණෙන් ඇසෙන ශබ්ද කෙරේ ඇති ඇල්ම.3) ගන්ධ තණ්හාව- නාසයට දැනෙන ගඳසුවඳ කෙරේ ඇති ඇල්ම 4) රස තණ්හාව- දිවට දැනෙන රස පිලිබඳ ඇති ඇල්ම 5) ස්පර්ශ තණ්හාව - කයට දැනෙන පහස පිලිබඳ ඇති ඇල්ම 6) ධර්ම තණ්හාව - සිතින් සිතන සිතුවිලි පිලිබඳ ඇති ඇල්ම. (craving for forms, craving for sounds, craving for odors, craving for tastes, craving for tactile objects, craving for mental phenomena- mind objects). සටහන්: * ධර්ම තණ්හාව (dhammataṇhā) යනු විඥාණය නිසා හටගන්නා තණ්හාවය- ආශාවන්ය-(පස් ඉඳුරන්ගෙන් අල්ලා ගන්නා දේ පිලිබඳ ඇති ඇල්මය-විඥාණ හැර). අපුර්වදේ ගැන, මනස්කල්පිත දේ ගැන, දුරඅවබෝධ-භවාත්මක කරුණු, බුද්ධිමය පර්යාය, වේදනා හා චිත්තවේගී අවස්ථා ආදිය පිලිබඳ විඥාණයේ ඇතිවන ආශාවන්ය. බලන්න: EMN: note: 126, p. 1075. ** ආධ්‍යාත්මික වර්ධනය පිණිස මේ තණ්හා 6 පහකර ගතයුතුය. බලන්න: පහාතබ්බ ධර්ම. මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදානවග්ග: 1.1.1 පටිච්චසමුප්පාද සූත්‍රය හා 1.1.2 විභඬග සූත්‍රය, පි.24, ESN: 12: Nidanavagga: 1.1. Dependent Origination & Analysis of Dependent Origination, p. 610, ම.නි: (1):1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි.130, EMN: 9: Sammādiṭṭhi Sutta, p. 121.

▼ එජා ලෙසින් පෙන්වා ඇත්තේ තණ්හාවය. බලන්න: තණ්හාව. මූලාශ්‍රය: සංයු.නි (4) සළායතනසංයුත්ත: 1.9.7 එජාසූත්‍රය, පි.167.

▼ තණ්හාව හැරදැමීම චාගය වේ. බලන්න: චාගය, ධම්මචක්කපවත්තන සූත්‍රය.

▼ දුකට මුල නම් තණ්හාවය. මූලාශ්‍රය: සංයු.නි (3): ඛන්ධසංයුත්ත: භාරවග්ග: 1.1.3.10 අඝමූල සූත්‍රය, පි.84

▼ ආහාර ඇතිවීමට මූලික හේතුව තණ්හාවය. එම තණ්හාව නැතිකරගැනීම පිණිස සිව් අහාර පිළිබඳව නුවණින් අවබෝධ කරගැනීම අවශ්‍යයය බලන්න: අහාර.

▼ තණ්හාවේ අන්තය නිවන ය.මූලාශ්‍ර:සංයු.නි: (4 ): අසංඛතසංයුත්ත: 9.2. 42.අන්තසූත්‍ර, පි.682, ESN: 43: Asankhatasamyutta: II, p. 1507.

▼ තණ්හාව ඇතිවීම: සළායතන මගින් අල්ලා ගන්නා බාහිර අරමුණු කෙරේ ඇති බැඳීම හෝ ඒවා නැතිකරගැනීමට ඇති කැමැත්ත නිසා තණ්හාව ඇතිවේ. පංච කාමවස්තු කෙරේ ඇති ලෝභය (රූප,ශබ්ද, ගඳ සුවඳ, රස හා කාය ස්පර්ශය) කාමතණ්හාව ඇති කරයි. භව තණ්හාවට හේතු වන්නේ නැවත නැවත උපත් ලබා ගනිමින් කම් සැප විඳීමට ඇති කැමත්තය. නැවත උපතක් ලබා ගැනීමට ඇති අකමැත්ත විභව තණ්හාවය. බලන්න: පංචකාම ගුණ.

▼ සියලු තණ්හා (රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව,රස තණ්හාව,ඵොට්ඨබ්බ තණ්හාව,ධම්ම තණ්හාව) අනිත්‍යය ය. එලෙස, දකිනා පුද්ගලයා ‘සද්ධානුසාරි’ ය, .ඒබව, විදසුන් නුවණින්, ජාන සමාපත්ති ලබා අවබෝධ කරගන්නා පුද්ගලයා ‘ධම්මානුසාරි’ ය. ඔවුන් සම්බෝධිය පිහිට කරගෙන ඇත. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධවග්ග: ඔක්කන්තිසංයුත්තය: චක්ඛුවග්ග: 4.1.8 සූත්‍රය, පි.474.

▼ තණ්හාව ත්‍රිවිධය: ත්‍රිවිධ තණ්හාව: කාම, භව හා විභව තණ්හාවන්ය. ඒ තණ්හා ප්‍රහීණය කරගැනීම, අරහත්වය ලැබීමය, සසර වටයේ දුක නැතිකරගැනීමය. මූලාශ්‍ර: අංගු: නි: (4): 6 නිපාත: 6.2.5.11 තණ්හා සූත්‍රය, පි. 278, ESN: 6: 106.11 Craving, p. 364.

▼ තණ්හාව නිසා සක්කාය දිට්ඨිය ඇතිවේ.කෙනෙක් තුල සක්කාය (මමය කියා ඇතිවන හැඟීම-සක්කාය දිට්ඨිය) ඇතිවන්නේ, යළිඋපත ගෙනදෙන, ඒ...මේ තැන සිත අලවන තණ්හාව මගින්ය. එනම් කාම තණ්හාව, භව තණ්හාව හා විභව තණ්හාව යයි බුදුන් වහන්සේ වදාරා ඇත. “ යායං ... තණ‍්හා පොනොභාවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථිදං: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා...අයං ඛො... සක‍්කායසමුදයො වූත‍්තො භගවාති’ (... it is craving, which brings renewal of being, is accompanied by delight and lust, and delights in this and that; that is, craving for sensual pleasures, craving for being, and craving for nonbeing. This is called the origin of identity). බලන්න: සක්කාය දිට්ඨිය. මූලාශ්‍ර: ම.නි: (1 ):1.5.4. චූල වෙදල්ල සූත්‍රය,පි. 721, EMN:44: Cūḷavedalla Sutta, p.379.

▼ තණ්හාව දැලක් වැනිය. එය ලෝකයා වටකර බැඳ තබා ඇත. පංච උපාදානස්කන්ධය මමය ලෙසින් අල්වා ගැනීම නිසා ඇතිවෙන, ආධ්‍යාත්මික තණ්හාව හා බාහිර තණ්හාව දැලක් ලෙසින් මිනිසා වටලාගෙන ඇති අන්දම මෙහි විස්තර කර ඇත. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 4.4.5.9 තණ්හාජාලිනි සූත්‍රය, පි.424.

▼තණ්හා පහ: සාමාන්‍ය ලෝකයාතුල තණ්හා 5 ක් ඇත: 1) කාම තණ්හාව: (sensual craving ) කාමලෝකයට ඇති ආසාව හා කාම වස්තු පිලිබඳ ඇලීම. 2) භව තණ්හාව: සසර පවත්වාගෙන යෑමට ඇති ආසාව - ත්‍රිවිධ භවයන්හි යලි යලි ඉපදීමට ඇති කැමැත්ත (craving for becoming). 3) විභව තණ්හාව: (craving for extinction) නැවත උපතක් ඇතිවීමට ඇති අකැමැත්ත, මෙය උච්ඡෙද වාදයය (සසර නැතිකරගැනීම නොවේ). මේ භවයෙන් පසු නැවත කයක් ඇතිනොවේ යන මතය. බලන්න: දිට්ඨි. 4) රූප තණ්හාව: ජාන සමාපත්ති ලබා රූප බ්‍රහ්ම ලෝකවල පහළවීමට ඇති කැමැත්ත. 5) අරූප තණ්හාව: අරූප සමාපත්ති ලබා අරූප බ්‍රහ්මලෝකවල පහළවීමට ඇති කැමැත්ත. මූලාශ්‍ර: දිඝ.නි: (3): 10 සංගිති සූත්‍රය- ඡෙදය 10, පි. 378 , EDN: 33 Sangīti Sutta: The Chanting Together-section 10 , p. 365.

▼ තණ්හාව සියල්ල පාලනය කරයි: ලෝකයේ සියල්ල පාලනය කරන්නේ තණ්හාවය; ලෝකය ඇදගෙන යන්නේ තණ්හාවය, සියල්ල තණ්හාවේ වසඟයට පත්වීසිටි යයි බුදුන් වහන්සේ වදාළහ: “තණ‍්හාය නීයති ලොකො තණ‍්හාය පරිකස‍්සති, තණ‍්හාය එක ධම‍්මස‍්ස සබ‍්බෙව වසමත්‍වගුති”. (The world is led around by craving; By craving it’s dragged here and there. Craving is the one thing that has all under its control). මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: දේවතා සංයුත්ත: 1.7.3 තණ්හා සූත්‍රය, පි. 98, ESN: 1. Devatasamyutta: 63.3 Craving, p. 144.

▼ දුක ඇතිකරන්නේ තණ්හාවය: කාම, භව හා විභව තණ්හාව- දුක ඇතිවීමය, ‘දුක්ඛසමුදය අරිය සත්‍යය’ යි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: සංයු.නි:(5-2): මහාවග්ග:සච්ච සංයුත්ත, 12.2.1 ධමමචක්කප්පවත්තන සූත්‍රය, පි. 294 හා 12.2.3 ඛන්ධසූත්‍රය, පි.299, ESN: 56 : Saccasamyutta: 11.1 Setting in motion the wheel of the dhamma, p.2276 & 13 .3 Aggregates, p. 2280.

▼ තණ්හාව ප්‍රහාණය කිරීම: කාම, භව හා විභව තණ්හා නැතිකිරීමේ මග ආරිය අටමග සම්පුර්ණ කරගැනීමය. මූලාශ්‍ර: සංයු.නි:(4 ):සළායතන වග්ග: ජමබූඛාදක සංයුත්ත: 4.1.10 තණ්හා සූත්‍රය, පි.508, ESN: IV Salayathnavagga: 38 Jambukhādakasaṃyutta: 10 Craving, p. 1405.

▼ තණ්හාවෙන් එතර වීම: ආර්ය මාර්ගය නැමති පාලම හදාගත් පුද්ගලයා, ගැඹුරුවූ, පලල්වු තණ්හා නමැති නදිය තරණය කොට එතෙර නමැති නිවනට සැපත්වේ. ඒ තණ්හා නදිය තරණය කල ප්‍රඥාවන්තයන්ට (තමන් ලැබූ අනුභාවය මගින්) ඕනෑම නදියක් සැනින් තරණය කල හැකිවේ. සටහන: ගංගානම් ගඟ පිරිතිබෙන අවස්ථාවේ, ඉර්දී බලයෙන් සංඝයා හා එතෙරට පැමිණි බුදුන් වහන්සේ එම ප්‍රකාශය වදාළහ. මූලාශ්‍ර: දීඝ.නි: (2)මහාපරිනිර්වානසූත්‍රය,පි149, EDN:16 Mahaparinibbana Sutta, p. 175.

▼ සම්මාදිට්ඨිය නිසා තණ්හාව අවබෝධවේ: තණ්හාව පිලිබඳ මනා අවබෝධය ලබාගැනීම පිණිස සම්මා දිට්ඨිය ඇතිවිය යුතුය.මූලාශ්‍ර: ම.නි: (1 ): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ තණ්හාව පහාතබ්බා ධර්මයකි:ආධ්‍යාත්මික වර්ධනය පිණිස පහකර ගත යුතු (පහාතබ්බා ධර්ම) ධර්මතා ලෙස කාම, භව හා විභව තණ්හාව පෙන්වා ඇත. බලන්න: පහාතබ්බා ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ තණ්හා සතර - The four cravings:සතර ආකාරයට, සංඝයා තුළ තණ්හාව ඇතිවේ යයි බුදුන් වහන්සේ වදාළහ. එනම්: 1) චීවර 2) පිණ්ඩපාත 3) සේනාසන 4) මේ ජාතිය-උපත පිළිබඳව හෝ අනාගත ජාතිය ගැන ඇතිවෙන ආශාවන්. මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත: 4.1.1.9 තණ්හා සූත්‍රය, පි. 42, EAN:4: 9.9 Craving, p. 150, ඛු.නි: ඉතිවුත්තක: 4.1.6 තණ්හාඋත්පාද සූත්‍රය, පි. 494, The Itivuttaka: translated by Peter Masefield: PTS: 105 The Craving Arising sutta, p. 103.

▼ තණ්හාව මිනිසාගේ සහායිකාවය: මේ දීර්ඝ සසරේ, එක් භවයක සිට තවත් භවයකට ආදී වශයෙන්, ගමන් කරන මිනිසාගේ සහායිකාව - දෙවෙනියා ලෙසින් ගමන් කරන්නේ තණ්හාව යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. තණ්හාවට බැඳුන ඔහුට සසර මැඩ ගත නොහැකිවේ. තණ්හාවේ ආදීනවය, එනම්, දුකේ මුල, තණ්හාවය යයි අවබෝධ කර, එය පහකර, උපාදාන නොකර, සිහිනුවණ ඇතිව භික්ෂුව වාසය කළයුතුවේ: “තණ‍්හාදුතියො පුරිසො දීඝමද‍්ධාන සංසාරං- ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං සංසාර නාතිවත‍්ත ති. එතමාදීනවං ඤත්‍වා තණ‍්හං දුක‍්ඛස‍්ස සම‍්භවං-වීතතණ‍්හො අනාදානො සතො භික‍්ඛු පරිබ‍්බාජෙ’ති” මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත: 4.1.1.9 තණ්හා සූත්‍රය, පි. 42, EAN:4: 9.9 Craving, p. 150.

▼ වේදනාව නිසා තණ්හා දෙකක් ඇතිවේ: වේදනාව හේතු කොටගෙන ඇතිවන තණ්හා දෙකකි: 1) වට්ටමූලක තණ්හාව: මූලික තණ්හාව ලෙසින්ද පෙන්වා ඇත. මේ නිසා සසර ගමන දික්කරන යළිඋපත සකස්වේ. (as primary craving, the basis of rebirth). 2) සමුදාචාර තණ්හාව: යම් දෙයක් පිළිබදව ඇතිවෙන තණ්හාව නිසා ඒ දේ ගැන සෙවීමට යාම, ඒ දේ තමාගේ කරගැනීමට සිතීම, ඒ දේ රැකගැනීමට යාම. එලෙසින් තණ්හාව ක්‍රියාත්මක වීම නිසා අකුසල් ඇතිවේ. බලන්න: EDN: Note: 335, p. 425, මූලාශ්‍ර: දීඝ.නි: ( 2): 2 මහානිදාන සූත්‍රය, ඡෙදය:18. පි. 95, EDN:15: Mahānidāna Sutta: The Great Discourse on Origination, p. 166.

▼ භව තණ්හාවේ මුල - First point of craving for existence භවතණ්හාව පටන්ගත් මුල්තැනක් දැකිය නොහැකිය යි බුදුන් වහන්සේ වදාළහ. එමනිසා, භවතණ්හාව මෙවකට පෙර නොවිය, ඉන්පසු භවතණ්හාව පහළවී යයි කිවනොහැකිය. එසේවුවද, භවතණ්හාව ඇතිවීමට හේතු ඇත. එමගින් භවතණ්හාව පෝෂණය වේ. (A first point of craving for existence, is not seen such that before this there was no craving for existence and afterward it came into being.’ Still, craving for existence is seen to have a specific condition...that craving for existence has a nutriment; it is not without nutriment).සටහන: මේ සූත්‍රයේදී භව භවතණ්හාව,අවිද්‍යාව නිසා පෝෂණයවන ආකරය විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි.(6):10 නිපාත, යමක වග්ග: 10.2.2.2. තණ්හා සූත්‍රය, පි.238, EAN: II Pairs: 62.2 Craving, p.518.

▼ තණ්හා මූලක ධර්මතා නමය: 1) තණ්හාව නිසා සෙවීම (පර්යේෂණ) ඇතිවේ (කාම වස්තු සෙවීම) 2) සෙවීම නිසා ලැබීම ඇතිවේ 3) ලැබීම නිසා විනිශ්චය (කුමන දේ තෝරා ගන්නේද යන ) ඇතිවේ. 4) විනිශ්චය නිසා කැමත්ත හා ආශාව ඇතිවේ (ඡන්දරාගය) 5) කැමත්ත හා ආශාව නිසා බැඳීම (මමය මාගේය යන) ඇතිවේ 6) බැඳීම නිසා තණ්හා, දිට්ඨි ලෙසින් පරිග්‍රහණය කිරීම වේ 7) පරිග්‍රහණය නිසා මසුරුකම ඇතිවේ 8) මසුරුකම නිසා ආරක්ෂාකිරීම (වස්තුව රැකීමට) ඇතිවේ 9) ආරක්ෂාකිරීම නිසා දඬු මුගුරු, අවි ආදිය ගැනීම කළහ කරගැනීම ඇතිවේ. සටහන්: * මේ පිලිබඳ අටුවාව පෙන්වා ඇති විස්තර පිණිස බලන්න: EAN: Note: 1889, p. 672. ** දීඝ.නි: මහානිදාන සූත්‍රය, ම.නි: මධුපිණ්ඩික සූත්‍රය: මේ කරුණු විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (5) : 9 නිපාත: 9.1.3.3.තණ්හාමූලක සූත්‍රය, පි. 470, EAN: 9: 23.3 Craving, p. 470.

▼ තණ්හක්ඛය: තණ්හක්ඛය- තණ්හාව ක්‍ෂය කිරීම යනු නිවනය, තණ්හාව සහමුලින්ම නැතිකිරීමය. සතර සති පට්ඨානය මැනවින් වඩා ගැනීමෙන් තණ්හාව විනාශ කරගැනීමට හැකිවේ. මූලාශ්‍ර: සංයු.නි: ( 5-2 ): මහාවග්ග: අනුරුද්ධසංයුත්ත: 8.1.7 තණ්හක්ඛය සූත්‍රය, පි. 96, ESN:52: Anuruddhasamyutta: 7.7 Destruction of Craving, p. 2117, සංයු.නි: (4): අසංඛතසංයුත්ත: 9.2 -042 සූත්‍ර, පි.686.

▼ තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය: තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (තණ්හාවෙන් ගැලවීම) ලෙසින් පෙන්වා ඇත්තේ රහත් ඵල සමවතය-අරහත්වය ලැබීමය. මූලාශ්‍ර: ඛු.නි: උදාන පාලිය: 7.6 තණ්හක්ඛය සූත්‍රය, පි. 310.

▼ තණ්හා සංයෝජනය: තණ්හා සංයෝජනය තරම් සත්ත්‍වයන් සසරට බැඳගන්නා වෙනත් එකම සංයෝජනයක් බුදුනුවණින් නො දකින බව බුදුන් වහන්සේ වදාළහ. තණ්හාවෙන් බැඳුන ඔවුන් දිගුකලක් සසර සැරිසරයි. එමනිසා, තණ්හාව පහකර දුකින් ගැලවීමට කටයුතු කළයුතුවේ. මූලාශ්‍ර: ඛු.නි: ඉතිවුත්තක: 1.2.5 තණ්හා සංයෝජන සූත්‍රය, පි. 360, The Itivuttaka: translated by Peter Masefield: PTS: 15 The Fetter that is Craving sutta, p. 7.

▼ තණ්හා ගංගාව: තණ්හාව ගලයන ගංගාවක් බඳුය, එවැනි ගඟක් පාලනය කල හැකිවන්නේ -සංවරය ඇතිව , සිහියෙන් (සතිය) කටයුතු කිරීමෙනි, මාර්ග ප්‍රඥාව ඇතිකරගැනීමෙන්, තණ්හාව නමැති නදිය වසාදැමිය හැකිය.බලන්න: ගංගා උපමාව:උපග්‍රන්ථය:5 මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-1 අජිතමානවක, පි.336

▼ රහතුන් තණ්හාව තරණය කළ උතුමන්ය.මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-8 හෙමක මානවක,පි.354.

▼ සියලු කාලයන් පිලිබඳ ඇති තණ්හාව දුරුකිරීම, මාර බන්ධනයෙන් ගැලවීමය. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-12 භද්‍රාවූධමානවක, පි.358.

▲ තණ්හාකාය සය- The six classes of craving: තණ්හාකාය සය ලෙසින් පෙන්වා ඇත්තේ, වේදනා ඇතිවීම නිසා, ඇතිවන සය තණ්හාවන්ය. බලන්න: ඡ ඡක‍්ක ධම‍්මො.

▲ තණ්හා නිස්සය-Thanha nissaya: මෙය විවිධ ශිල සමාදන් වීම් වලින් එකකි. භව සම්පත් පැතීම මින් අදහස් කෙරේ. බලන්න: ශිලය

තප

▲ තපනීය ධර්ම- the tormenting Dhamma: තපනීය ධර්ම මගින් තමාට හා අන් අයට පීඩා හිරිහැර සිදුවේ, පසුතැවිල්ල ඇති වේ, අකුසල ධර්මයකි. කෙළෙස් ඇතිවේ, එය මිථ්‍යා මගය.බලන්න: අතපනීය ධර්ම.මූලාශ්‍ර: අංගු.නි: ( 6): 10 නිපාත: සාධු වග්ග, 10.3.4.8 තපනීය සූත්‍රය, පි.472, EAN: 10: 135.2 Good: p.548.

▼ දසඅකුසල තපනිය ධර්ම යයි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (6): 10.4.3.8 තපනීය සූත්‍රය,පි.532.

▼ තපණිය ධර්ම ඇතිවීම: 1) කෙනෙක් කායික දුෂ්චරිතයේ යෙදේ එසේම, කායික සුචරිතය පැහැර හරි. 2) කෙනෙක් වාචික දුෂ්චරිතයේ යෙදේ එසේම, වාචික සුචරිතය පැහැර හරි.3) කෙනෙක් මනසින් දුෂ්චරිතයේ යෙදේ එසේම, මනසින් සුචරිතය කිරීම පැහැර හරි. තමන් එලෙස ත්‍රිවිධ දුෂ්චරිතයේ යෙදුන බව, ත්‍රිවිධ සුචරිතය පැහැර හැරිය බව සිතන ඔහුට තැවිල්ල ඇතිවේ. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.1.3 තපණිය සූත්‍රය, පි. 136 , EAN: 2: 3.3 Causing Torment, p. 56.

▼තපනිය ධර්ම නිසා, ලෝකයා මෙලොව හා පරලොව දුක් තැවිලි ඇතිවේ, මරණින් මතු දුගතියක උපත ලබති. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක:2.1.3 තපනිය සූත්‍රය, පි.378.

▲ තපස්කර්ම- Thapaskarma: තපස්කර්ම (තපොකර්ම) යනු, තාපසයන්, විමුක්තිය ලබා ගැනීම පිණිස පුරුදු පුහුණු කරන දුෂ්කර ව්‍රතයන්ය,තපස් ව්‍රත ලෙසින්ද පෙන්වා ඇත. අත්තකිලමතානු යෝගය ලෙසින්ද දක්වා ඇත. බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ විවිධ තාපස නිකායන් පැවතිණි. සය-සත් වසරක් දුෂ්කර ක්‍රියා අනුගමනය කර, එහි නිෂ්ඵලබව අවබෝධකර ඒවා හැර, මධ්‍යම ප්‍රතිපදාවට එළඹ, විමුක්තිය -බුද්ධත්වය ලබා නෙරංජනා නදීතිරයේ, අජපාල නුගරුක මුල විවේක සුවයෙන් වැඩ සිටි බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ ඒ දුෂ්කර ක්‍රියාවලින්, ... අවැඩදායක ක්‍රියාවලින් ඒකාන්තයෙන්ම මිදුනෙමි, මැනවින්ම මිදුනෙමි, සිත ස්ථිරය, එළඹී සිහි ඇත්තේමි, මැනවින් සත්‍ය අවබෝධ කෙළෙමි”.“මුත‍්තො වතම‍්හි තාය දුක‍්කරකාරිකාය. සාධු මුත‍්තො වතම‍්හි තාය අනත්‍ථසංහිතාය දුක‍්කරකාරිකාය. සාධු ඨිතො සතො බොධිං සමජ‍්ඣගන‍්ති” (I am indeed freed from that grueling asceticism! It is good indeed that I am freed from that useless grueling asceticism! It is good that, steady and mindful, I have attained enlightenment!). ඒ අවස්ථාවේ මාරයා පැමිණ පැවසුවේ තපස් කර්ම නිසා මිනිසුන් පිරිසුදුවන බවත්, එය හැර දැමු ඔබ පිරිසුදු මග වරදවා ගත් බවය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “අමරබව (නිවන) ලබාගැනීමට ඇති තපස අනර්ථය, හරියට වැලිකතරේ, නැවක්, රිටි හා පොලුවලින් ගෙනයනවා වැනිය. ඒ නිසා ඒ මග අත් හළෙමි. ශිලයද සමාධියද ප්‍රඥාවද යන ආරිය මාර්ගය, සත්‍ය අවබෝධය පිණිස වඩා, පරම ශුද්ධියට පැමිණියෙමි. මාරය! ඔබව පැරදුවෙමි” බලන්න: අත්ත කිලමතානු යෝගය. උපමාව: නැව: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සංයු.නි: (1 ): සගාථවග්ග:මාරසංයුත්ත: 4.1.1. තපොකර්ම සූත්‍රය, පි. 214, ESN:4: Marasamyutta: 1.1 Austere Practice, p. 264.

▲ තපස්සු හා භල්ලුක උපාසකයන් -Thapassu & Bhallukha upasaka බලන්න: උපග්‍රන්ථය :3.

▲ තපුස්ස ගහපති-Householder Thapussa:බලන්න: උපග්‍රන්ථය :3

▲ තෘප්තිමත්බව- satisfied: තෘප්තිමත්බව (තර්පණය) යනු ලද දෙයින් සැහීමට පත්වීමය (සන්තුෂ්ටිය). දායකයා විසින් තෘප්තිමත් කළනොහැකි පුද්ගලයන් 2ක් සිටිති: දෙනදේ (ලෝභයෙන්) තැන්පත් කිරීමට පුරුදු කෙනා හා දෙනදේ අනුවණ ලෙසින් වියදම් කරන (නාස්තිකරන) කෙනා. එහෙත්, එම අගුණ නැති අයව, දායකයාට පහසුවෙන්ම තෘප්තිමත් කළ හැකිවේ. මූලාශ්‍රය: අංගු.නි: (1) 2 නිපාතය, ආසාවග්ග: 2.3.11.4 සූත්‍ර 2කි,පි. 206.

▲ ත්‍රිපිටකය - Thripitakaya: ත්‍රිපිටකය යනු බුදුන් වහන්සේ වදාළ ධම්ම විනය ඇතුලත් පොත් පෙළටය: විනයපිටකය, සූත්‍රපිටකය හා අභිධර්ම

▼වෙනත් මුලාශ්‍ර: 1. බුද්ධජයන්ති ත්‍රිපිටකය: https://www.thripitakaya.org/tipitakaya/Index/633?s=21208 (thripitakaya.org, tipitaka.lk)- info@thripitakaya.org 2. “Reference Table of Pali Literature”: Compiled by Bhikkhu Nyanatusita, 2008 (මෙහි ත්‍රිපිටකයේ ඇතුලත් සියලු පොත් පිලිබඳ විස්තරාත්මකව දක්වා ඇත) 3. “A Guide to the Udāna”: by Ernesto Fernandez: (මෙහි බුද්ධකනිකාය: උදාන පාලියේ ඇතුළත් සුත්‍ර නාමාවලිය දක්වා ඇත) 4. ත්‍රිපිටක සුචිය: පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමි, 1953 (තුන්පිටකයේ ඇතුලත් සුත්‍ර, ගාථා, ශික්‍ෂා පද ආදියේ නාමවලිය).

▲ ත්‍රිපරිවෘත්ත - Thriparivatta: ත්‍රිපරිවෘත්ත ලෙසින් පෙන්වා ඇත්තේ චතුසත්‍ය, තුන් ආකාරයෙන් අවබෝධ කිරීමය. බලන්න: චතුරාර්යසත්‍ය.

තඹ

▲ තුඹස ප්‍රහේලිකාව - Puzzle of the anthill: දහම් මග ගමන්කරන පුද්ගලයෙකුට හමුවන බාධක හා ඒවා මගහැර විමුක්තිය ලබාගැනීම පිලිබඳ විස්තරය මෙහි දක්වා ඇත.මේ දේශනාව් වදාළේ කුමාරකාශ්‍යප තෙරුන්ටය.මූලාශ්‍ර: ම.නි: (1): 1.3.3 වම්මික සූත්‍රය, පි.374, EMN:23 Vammika Sutta, p.228.

තම

▲ තමෝතමපරායන - Thamothamaparayana: තමෝතමපරායන ලෙසින් පෙන්වා ඇත්තේ ‘අඳුරෙන් අඳුරට’ යෑමය. එබඳු පුද්ගලයාගේ ස්වභාවය: පහත් කුලයක ඉපදීම, දිළිඳුබව, තුන්දොරින් දුශ්චරිතය කිරීම. මරණින් මතු දුගතියේ උපත ලබයි. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: 4.2.4.5 තමෝතමපරායන සූත්‍රය, පි.184.

▲ තමෝජෝති පරායන - Thamojotiparayana: තමෝජෝතිපරායන ලෙසින් පෙන්වා ඇත්තේ ‘අඳුරෙන් එලියට’ යෑමය. එබඳු පුද්ගලයාගේ ස්වභාවය: පහත් කුලයක ඉපදීම, දිළිඳුබව, තුන්දොරින් සුචරිතය කිරීම. මරණින් මතු සුගතියේ උපත ලබයි. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: 4.2.4.5 තමෝතමපරායන සූත්‍රය, පි.184.

▲ තීම්බරුක පරිබ්‍රාජක - Thimbaruka paribrajaka: බලන්න: උපග්‍රන්ථය:3

තය

▲ තායනගාථා - Thayanagatha: තායන ගාථා ලෙසින් පෙන්වා ඇත්තේ, තායන නම් දේවපුත්‍ර, බුදුන් වහන්සේ බැහැදැක පැවසු ගාථාවන්ය. එම ගාථා අර්ථසහිත නිසා, මග බඹසරට මුල්වන නිසා එම ගාථා ඉගෙන ගැනීමට, සජ්ජායනා කිරීමට බුදුන් වහන්සේ සංඝයාට උපදෙස් වදාළහ: “විරිය කර තණ්හාව නැමති ජල ප්‍රවාහය නවත්වා ගන්න, කාමය දුරු කර ගන්න, කාමය ප්‍රහීණ නොකර ධ්‍යාන ලබා ගැනීමට නොහැකිය. වීරිය දැඩිව කරන්න, පැවිද්ද ලිහික්ව ගැනීමෙන් කෙලෙස් වැගිරේ. දුසිරිතය කළවිට පසු තැවිලි ඇතිවේ, සුචරිතය මගින් පසුතැවිලි ඇති නොවේ, එය උතුම්ය. කුසතණ, වරදවා අල්ලා ගත්විට තමග්ගේ අත කැපේ, එලස, වරදවා ගන්නා ලද මහණකම් නිරයට ගෙනයයි. ලිහිල් කටයුතු, කිලිටි ව්‍රත, සැකකටයුතු හැසිරීම බඹසර නොවේ, ඉන් මහත් ඵල නොලැබේ”. මූලාශ්‍රය:සංයු.නි: (1) සගාථවග්ග: දේවපුත්‍ර සංයුත්ත: 2.1.8 තායන සූත්‍රය, පි.118.

තර

▲ තරහ - Anger: තරහ: කිපීම, ක්‍රෝධය ලෙසින්ද දක්වා ඇත. මෙය අකුසලයකි. බලන්න: අකුසල. සටහන්: * විවිධ ලෙසින් තරග ගන්නා පුද්ගලයන් පිලිබඳ විස්තර පිණිස බලන්න:* ආසිවිෂෝපම පුද්ගලයෝ. ** මිනිස්ලොවදී කෙනෙක්, නිතරම තරහ සිත් ඇතිව, අසතුටින් වාසය කරයි නම්, මරණින් මතු උපදින්නේ දුගතියකය. ඔහු මිනිස්ලොව උපත ලැබූවහොත්, අරූපිවේ. බලන්න: මනි: (3): 3.4.5 චූළකම්ම වීභංග සූත්‍රය, පි. 448.

▲ තරුණ රුක - Young tree: සංයෝජන ධර්මතා පිලිබඳ කෙනෙක් නිතර නිතර ආස්වාදය කිරීම නිසා ඔහුගේ තණ්හාව වැඩෙන පිළිවෙල, තරුණ රුකක් නිතර නිතර පස් පොහොර ආදිය දමනවිට හොඳින් වැඩි එන ලෙසින් වැඩේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. එසේ තණ්හාව ඇතිවීම දුක ඇතිවීමය. එහෙත්, සංයෝජනයන්හි ආදීනව දකින්නේ නම්, එම පුද්ගලයාට තණ්හාව නිරුද්ධ කර, දුකින් මිදීමට හැකිවේ. හැදීගෙන එන තරුණ රුකක් මුලින්ම ගලවා, ගින්නෙන් පුළුස්සා අළු ගඟේ පාකර හැරීමෙන් ඒ ගසේ වැඩීමක් සිදුනොවේ. එලෙස, සංයෝජන වල ආදීනව නිතර බලමින්ඒවා පහ කර දුකින් මිදියයුතුය යි බුදුන් වහන්සේ වදාළහ.උපමාව:තරුණ රුක:උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: අභිසමයසංයුත්ත:1.6.7 තරුණරුක සූත්‍රය,පි. 162, ESN:12: Nidanasamyutta: 57.7. The sapling, p.689.

▲ තෙර: පාලි: ථෙර-elder: තෙර -ථෙර (ස්ථවිර) ලෙසින් හඳුන්වන්නේ, වසර 10 ක් හෝ ඊට වැඩි උපසම්පදාව ඇති වැඩිහිටි භික්ෂුවය. භික්ෂුවක් ‘තෙර’- වැඩිහිටි භික්ෂුවක් ලෙසින් හැඳින්වීම පිණිස අවශ්‍ය ගුණ අතරින් ශිලසම්පන්න බව එක් ගුණයකි. බලන්න: ශිලසම්පන්න. සටහන: එවැනි භික්ෂුණිය, තෙරණිය- තේරිකා- ථෙරිකා (ස්ථවිරි) ලෙසින් දක්වා ඇත.

▼ ගුණ 4 කින් සමන්විත මහණ, තෙර බවට- වැඩිහිටි බවට පත්වේ යයි බුදුන් වහන්සේ වදාළහ: 1) ශිලසම්පන්නබව 2) බහුශ්‍රැතබව 3) සිව්ජාන සමාපත්ති පහසුවෙන්ම ලබාගැනීමේ හැකියාව 4) ආසව ක්‍ෂයකර, චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ලබා වාසය කිරීම . මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 4.1.3.2.දෙවෙනි උරුවෙල සූත්‍රය, පි.66, EAN: 4: 22.2 uruwela-2, p. 155.

▼ අගුණ 5ක් ඇති තෙරුන් ලෝකයාට අනර්ථය ඇති කරති. ගුණ 5ක් සමන්නාගත තෙරුන් ලෝකයාට අර්ථය ඇති කරයි. විස්තර පිණිස බලන්න: අංගු.නි: (3) 5 නිපාත:ථෙර වග්ග: 5.2.4.8 ථෙර සූත්‍රය.

▼ ගුණ 10ක් ඇති තෙර පහසුවෙන්ම ඕනෑම දිසාවක වාසය කරයි. වීස්තර පිණිස බලන්න: අංගු.නි: (6) 10 නිපාත:උපාලි වග්ග: 10.2.5.8 ථෙර සූත්‍රය.

▼ බුදුන් වහන්සේ, තෙරුන්-ස්ථවිර වරුන් බ්‍රාහ්මණ ලෙසින්ද හඳුන්වා ඇත. විස්තර පිණිස බලන්න: ඛු.නි: උදාන: 1.5 ස්ථවිර සූත්‍රය.

▲ තෙරවාදය - Theravada: බුදුන් වහන්සේගේ පැරණිම ඉගැන්වීම් තෙරවාදය ලෙසින් පෙන්වා ඇත. එම ඉගැන්වීම් අනුගමනය කරණ පිරිස තෙරවාදීන් ලෙසින් හඳුන්වයි. ශබ්දකෝෂ: B.D: p.179: “Theravada: Doctrine of the Elders, is a name of the oldest from of the Buddha’s teaching…”.

▲ තෙරුවන් සරණ - Theruwan sarana.තෙරුවන් සරණ :බුද්ධ ධම්ම හා සංග රත්නය සරණ යාම සෑම බෞද්ධයෙක් විසින්ම කරණ මූලික නමස්කාරයකි. බලන්න: ත්‍රිවිධ රත්නය. සටහන: ධජග්ග හා රත්න සූත්‍රයන්හි තෙරුවන් සරණ යාමේ යහපත විස්තරාත්මකව පෙන්වා ඇත.

▲ තීරණපරිඥා - full understanding by scrutinization: ධර්ම කරුණු පිලිබඳ පුර්ණ අවබෝධ ලැබීම පිණිස, එම කරුණු ගැන විමසා බලා ලබාගන්නා අවබෝධය මින් අදහස් කෙරේ. බලන්න: අභිජාන.

▲ තිරිසන් කතා-Pointless talks: ධර්මයට අනුව තිරිසන් කතා ලෙසින් පෙන්වා ඇත්තේ මාර්ගයට අවහිර වන නුසුදුසු දේ ගැන කතාකිරීමය. ඒ කතා මග බඹසර පිණිස උපකාරී නොවේ. බලන්න: කතාව. සටහන: සංයුනි:සච්චසංයුත්ත:සමාධිවග්ග: 12.1.10 තිරිසන්කථා සූත්‍රයේ, තිරිසන් කතා කුමක්ද යයි විස්තරකර ඇත.

▲ තිරිසන් ලෝකය: පාලි: තිරච‍්ඡාන යොනියො - animal realm ධර්මයට අනුව තිරිසන් ලෝකය -තිරිසන් යෝනිය: අකුසල කර්ම විපාක ඵලදිම පිණිස යළි උපත ලබන දුගතියකි, සතර අපායෙන් එක් අපායකි. බලන්න: සුගතිය හා දුගතිය, සතර අපාය. සටහන:සංයු.නි:සච්චසංයුත්ත: පංචගතිපෙයියාල වග්ගය: තිරචඡානචුති සූත්‍ර 6: බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ තිරිසන් යෝනියේ සිට මිනිස් ලෝකයට- මනුෂ්‍ය උත්පත්තියට- යළි උපත ලබා ගැනීම දුෂ්කර බවය.

▼තිරිසන්ලෝකයේ සිටින සතුන්-ප්‍රාණීන් ගේ ස්වභාවය: 1) තණකොළ ආහාරයෙන් ජිවත්වන සතුන්:අශ්ව, ගව, බුරුවෝ, එළුවන්, මුවන් ආදීන්. 2) අසුචි අහාර ලෙසින් ගන්නා සතුන්: කුකුළෝ, ඌරෝ, බල්ලෝ, සිවලෝ ආදීන්. 3) අඳුරේ: උපත ලබා, ජීවත්ව, මැරි යන ප්‍රාණීන්: කාව-ඉපියා, පණුවෝ, ගැඩවිල්ලෝ ආදීන්. 4) බිජුවකින්, ජලයේ උපත ලබා, ජීවත්ව, ජල්යේම මියයන සතුන්: මාළුවෝ, කැස්බෑවෝ, කිඹුලෝ ආදීන්. 5) අශුචියේ, කුණු (කුණුවූ මාළුන්, මළ සිරුරු) ආදියේ උපතලබා, එහිම ජීවත්වී මියයන විවිධ ප්‍රාණීන්. මේ සියලු සතුන්, මිනිස් ලෝකයේදී රස තණ්හාව බැඳුන, අකුසල කළ අනුවණ මිනිසුන්ය. තිරිසන් සතෙකුට, මරණින් මතු මිනිස් ලොව උපත ලැබීම පහසු නොවේ, එයට හේතුව ධර්මයේ හැසිරීමට අවස්ථාව, කුසල කර්ම කිරීමට අවස්ථාව විරල නිසාය. තිරිසන් ලෝකයේ සතුන් එකිනෙකා මරා කයි, දුබල සතුන්, ප්‍රභල සතුන් විසින් මරා කයි. තිරිසන් සතෙකුට: මිනිස්බව ලබාගැනීමේ අපහසුව පිළිබඳව මේ උපමාව බුදුන් වහන්සේ පෙන්වා ඇත: එක් ඇසක් ඇති කැස්බෑවා, අවූරුදු 100 කට වරක් මුහුද පතුලේ සිට ගොඩට එයි, එම අවස්ථාවේදී එක් සිදුරක් ඇතිවිය වියදණ්ඩක් මුහුදේ පාවී එයි. ඒ කැස්බෑවාට, වියදන්ඩේ ඇති එක් සිදුර, පෙනෙන ඇසින් බලා, උගේ ගෙල දමාගැනීම දුර්ලභ දෙයකි, එසේ මිනිසත්බව ලැබීම දුර්ලභය. මූලාශ්‍ර: ම.නි :(3) : 3.3.9 බාල පණ්ඩිත සූත්‍රය, පි. 376, EMN: 129: Fool & Wise Men, p. 929.

▼ තිරිසන් ලෝකය, දසඅකුසල් කරණ මිනිසුන් යළිඋපත ලබන දුගතියකි. කෙනෙක් මියගිය පසු තිරිසන්ලොව උපන්නේනම්, ඔහුගේ ඥාතීන්,මෙලොව සිට ඔහුවෙනුවෙන් කරන පුදපුජා වල ඵල - පින්දීම ඔහුට ලබාගැනීමට නොහැකිය. කෙනෙක් දසඅකුසල් කරමින්, ශ්‍රමණබ්‍රාහ්මණයන්ට දාන ආදීවූ පුදපුජා කරන්නේනම්, ඔහු මතුබවයේ, තිරිසන් යෝනියේ උපත ලැබුවද, පෙරකළ දානවල අනුසස් නිසා ඔහුට ආහාර පාන ආදිය ලබෙනබව බුදුන් වහන්සේ වදාළහ. බලන්න: පින්දීම. සටහන: තිරිසන් ලෝකයේ සිට සුගතියේ උපතක් ලැබීම පහසු නැතිබව මෙහි දක්වා ඇත. බලන්න: සංයු.නි: (5-2) මහාවග්ග: සච්චසංයුත්ත: තිරිසන් චුත සූත්‍ර, පි.380. මූලාශ්‍ර: අංගු.නි (6 ) 10: නිපාතය:10.4.2.11 ජාණුස්සොණි සූත්‍රය, පි. 518, EAN:10: 177.11: Jāṇussoṇī, p. 554.

▼ අකුසලයන් ඇද දෙයක්ය-වැරදි අතට යන දෙයක්ය. එලෙස, අකුසල කරන මිනිසුන් ගේ ගති ස්වභාවය වකුටුය, මෙබඳු අය නිසැකයෙන්ම යළිඋපත ලබන්නේ නිරයේ හෝ බඩගාගෙන යන සතුන් (සර්පයින් ආදී) අතරයයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන්: * සර්ප, ගෝනුසු, පත්තෑ, මුගටි, මියෝ වැනි සතුන් බඩගාගෙන යන සතුන්ය. ** මේ පිලිබඳ විස්තර පිණිස බලන්න: සංසප්පනිය ධර්ම පරියාය. මූලාශ්‍ර: අංගු.නි: ( 6 ):10 නිපාත: කරජකාය වගග:10.5.1.6. සංසප්පනිය පරියාය සූත්‍රය, පි.560, EAN:10: The Deed Born Body, 216.6, Creeping , p.558.

▲ තිර්ථක - Thirthaka: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සිටි අන්‍යආගමික නිකායන් අතුරින් එකක් තිර්ථක ලෙසින් පෙන්වා ඇත. බලන්න: අන්‍යආගමික නිකායන්.

▲ තිරෝකුඩ්ඩ සූත්‍රය - Thirokuddasutta: මියගිය ඥාතින්, ප්‍රේතභවයක උපත ලබා, පිං ගැනීම පිණිස ඔවුන්ගේ දොරකඩ අසලට පැමිණීම මෙහි විස්තර කර ඇත. ඔවුන්හට පිං දීමෙන්, ඒ ප්‍රේතයන්ට යහපත් විපාක ලැබේ. එසේම, දාන පුජා කරන අයටද පින් ඇතිවේ. බලන්න: ඛු.නි: තිරෝකුඩ්ඩ සූත්‍රය,ප්‍රේත.

තල

▲ තාලපුපුත්‍ර තෙර - Talaputhra thera.බලන්න: උපග්‍රන්ථය:1

▲ තාලාවත්‍ථු - Talavatthu : තාලවත්‍ථු: තල්ගසය. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ තමන්වහන්සේ, කරටිය මුලින්ම සිඳිනලද තල් ගසක් මෙන්, රූපය, ශබ්දය ආදී සියලු රස- කෙලෙස් පහ කරණ ලද බවය. එය උච්ඡින්ත භවනෙත්තති ලෙසින්ද පෙන්වා ඇත. “රූපරසා...තෙ තථාගතස‍්ස පහීනා, උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථු කතා අනභාවකතා ආයතිං”. සටහන: කරටිය මුලින්ම සිඳිනලද තල් ගස නැවත පැල නොවේ. කෙළෙස් සහමුලින්ම පහ කිරීම පිණිස මේ උපමාව බොහෝ සූත්‍රවල දක්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:5, උච්ඡින්ත භවනෙත්තති. මූලාශ්‍ර: අංගු.නි: ( 5 ): 8 නිපාත: 8.1.2.1 වේරඤ්ජ සුත්‍රය, පි. 62, EAN: 8: The 11 .1 Verañjã, p 416.

▲ තිලෝක - Three worlds: තිලෝක යනු තුන් ලෝකයය (ත්‍රයිලෝක) : කාමලෝකය, රූප ලෝකය හා අරුප ලෝකයය. බලන්න: තුන් භවය.

▲ තිලෝගුරු - Teacher of the 3 worlds: තිලෝගුරු - තුන්ලෝකයට ගුරු,බුදුන් වහන්සේ , මිනිසුන්ට (මනුෂ්‍යලෝකය) දේවියන් හා බ්‍රහ්මයන්ට (දේවලෝක, බ්‍රහ්මලෝක) ධර්මය දේශනා කරන උතුම් ශාස්තෘන් වහන්සේය. බලන්න: බුදුගුණ.

▲ තුලාව- Weights: තුලාව යනු තරාදියය. වෙළඳ කටයුතු වලදී වැරදි තුලා (කූට තුලා) භවිතා කිරීම වංචාවකි, වැරදි ජිවන ක්‍රමයකි, අකුසලයකි. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ නිවැරදි තුලා භාවිතා කරන අය ලෝකයේ දුලබය, වැරදි තුලා භාවිතා කරන අය ලෝකයේ සුලභය. බලන්න: සම්මා ආජීවය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සච්චසංයුත්ත: 12.10.4 තුලාකූටාදී සූත්‍රය, පි. 370, ESN: 56: Saccha samyutta: 94.4 False Weights, p. 2370.

▲ ත්‍රිලක්ෂණය: පාලි: තිලක‍්ඛන - tri-lakshanya - Three characteristics of existence: ත්‍රිලක්ෂණය ලෙසින් පෙන්වා ඇත්තේ බුදුදහමේ මුලික සිද්ධාන්ත වන අනිච්ච, දුක්ඛ හා අනාත්ම යන ධර්මතාවයන්ටය. බලන්න: අනිච්ච දුක්ඛ හා අනාත්ම. ශබ්දකෝෂ: B.D: p. 179: “The 3 characteristics of existence are impermanency, suffering and not-self…’ P.T.S: p. 1298: “The 3 properties (tilakkhaṇaṃ) of existing things or of the phenomenal world are anicca, dukkha, anatta, or impermanence, suffering, unreality… through contemplating them arises vipassanā & pacceka-bodhi-ñāṇa…”

තව

▲ තාවතිංස දේවලෝකය -Tāvatiṃsa devaloka: තව්තිසා දෙවලෝකය ලෙසින්ද හඳුන්වයි, කාමාවචර දේවලෝකයකි, සක්දෙවිඳු මෙහි අධිපතිය, එහි දේවසභාව ‘සුධර්මා දේව සභාව’ ලෙසින් හඳුන්වයි. බලන්න: දේවලෝක,අසුර,සක්‍රදෙවියෝ.

▼කරුණු 3 කින්, තව්තිසා දෙවියන්, උත්තර කුරු හා ජම්බුද්වීප වාසීන්ට වඩා ප්‍රබලයයි මෙහි දක්වා ඇත: 1) දිව්‍යආයුෂ 2) දිව්‍ය රූපය 3) දිව්‍ය සැපය. බලන්න: ජම්බුද්වීපය, උත්තරකුරු දේශය. මූලාශ්‍රය: අංගු.නි: (5): 9 නිපාත: 9.1.3.1 ඨාන සූත්‍රය, පි.462.

▼ මරණාසන්න පුද්ගලයෙක් යළි උපත සුගතියක පිහිටුවා ලීමට උපකාරිවිම පිණිස, ඔවුන්ට දෙවලොක ගැන- තව්තිසාව ගැනද විස්තර කරන බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපත්තිසංයුත්ත: 11.6.4 ගිලාන සූත්‍රය, පි. 270.

▲ තෙවෙනි ශ්‍රමණ-Theveni shramana :තෙවෙනි ශ්‍රමණ ලෙසින් පෙන්වා ඇත්තේ අනාගාමී උතුමාය, එතුමන් ඇත්තේ, ආරියඅටමග ඇති බුදුසසුනේ පමණය. බලන්න: ආරියඅටමග. මූලාශ්‍ර: දීඝ.නි: (2): 3: මහා පරිනිබ්බාන සූත්‍රය, පි. 126, EDN: 16: Mahāparinibbāna Sutta, p.171.

▲ ත්‍රිවිද්‍යා: පාලි: තෙවිජ‍්ජා-Three knowledges: ත්‍රිවිද්‍යා, ත්‍රිවේද-තෙවිජ්ජා ලෙසින්ද හඳුන්වයි. ධර්මයට අනුව අරහත්වය සාක්ෂාත් කරගැනීමෙන් පහළ වන තුන් ආකාර වූ උසස් අවබෝධය ත්‍රිවිද්‍යාවය: පෙරවිසු කඳ පිළිවෙත දන්නා නුවණ, චූතඋත්පත්ති නුවණ, ආසව ක්‍ෂය කිරීමේ නුවණ. බලන්න: ත්‍රිවිධ ඥාණ. බුදුන් වහන්සේ වැඩසිටි සමයේ, සිටි බ්‍රාහ්මණයන් ත්‍රිවේදය- මන්ත්‍ර ලෙසින් කටපාඩම් කර හැදෑරු බැවින් ඔවුන් ත්‍රිවෙදකයන් ලෙසින් හඳුන්වා ඇත. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ බ්‍රාහ්මණ ත්‍රිවිද්‍යාවට වඩා තමන්වහන්සේ අවබෝධ කළ ත්‍රිවිද්‍යාව වෙනස්බවය. “එවං ඛො අහං භික‍්ඛවෙ ධම‍්මෙන තෙවිජ‍්ජං බ්‍රාහ‍්මණං පඤ‍්ඤාපෙමි නාඤ‍්ඤං ලපිතලාපනමත‍්තෙනා’ති”. ත්‍රිවිධ නුවණ ලැබූවන් ‘තෙවිජ්ජා බ්‍රාහ්මණ’ ලෙසින් දක්වමි. පෙර සිටි ඍෂින් කියන ලද දේ කි පමණින්ම ‘තෙවිජ්ජා බ්‍රාහ්මණ’ ලෙසින් නො පනවමි. (It is due to these three knowledges that one becomes three-veda Brahmin, it is of this three-Veda one that I speak, not of that other of muttered mumblings). සටහන්: * ‘තෙවිජ්ජා බ්‍රාහ්මණ’: රහතන් වහන්සේය. ** විස්තර පිණිස බලන්න: දීඝ.නි: (1) තෙවිජ්ජා සූත්‍රය. මූලාශ්‍ර: ඛු.නි: ඉතිවුත්තක: 3.5.10 ත්‍රිවිද්‍යා සූත්‍රය, පි. 482, The Itivuttaka: translated by Peter Masefield:PTS: 99 The Three-Veda sutta, p. 84.

▼ ජානසමාපත්ති මගින් සිත කර්මණ්‍යබවට පත්වීමෙන්, බුදුන් වහන්සේට, තෙවිජ්ජා නුවණ පහළවූ බව මෙහි දක්වා ඇත. බලන්න: අංගු.නි: (5): 8 නිපාත: වෙරඤජසූත්‍රය.

▲ ත්‍රිවිධ අකුසල මූල: පාලි: තීනි අකුසලමූලානි- Three un-wholesome roots: ත්‍රිවිධ අකුසල මූල නම් ලෝභය (රාගය),දෝසය හා මෝහයය. සියලු කෙළෙස් ඇතිවන්නේ මේ මුල් පදනම් කර ගෙනය. මේ අකුසල්, ආධ්‍යාත්මික මාර්ගයට හානිය ගෙනදේ, හානභාගිය ධර්මයන්ය. බලන්න: අකුසල මූල, හානභාගිය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි: (3):11 දසුත්තර සූත්‍රය,පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ ත්‍රිවිධ අගති- Three wrong paths: ධර්මයේ ත්‍රිවිධ අගති ලෙස පෙන්වා ඇත්තේ අගතියට- පරිහානියට ගෙනයන රාග දෝස හා මෝහ යන අකුසල් මුල් 3 පිලිබඳවය. බලන්න: අකුසල මූල. සටහන: ත්‍රිවිධ අගතිය: රාග දෝස හා මෝහය ය. මේවා තියුණු ලෙසින් උපදින නිසා ඒවා ගිනි ලෙසින්ද පෙන්වා ඇත. සද්ධර්ම කෝෂය, පි. 116.

▲ ත්‍රිවිධ අනුමෝදනා- Three gratitude’s: ත්‍රිවිධ අනුමෝදනා යනු: සංඝයාට පිරිනමන බත්දානය, මංගල කරුණක් හෝ අවමංගල කරුණක් නිසා පිරිනමන දාන. එම දානයන් පිරිනැමූ පසු, සංඝයා විසින් දායකයන්ට කරන අනුමෝදනා- ආශීර්වාදයන්ය. සටහන: සංඝයා ත්‍රිවිධ අනුමෝදනා උගත යුතුය යි බුදුන් විසින් වදාරන ලදී. දානයේ ආනිසංස ප්‍රකාශ කිරීම අනුමෝදනා වය. සංඝයාට පිරිනැමූ දානයෙන් පසු දායකයන්ට දාන ආනිසංස, දහම් කතා -බනක් පැවසීම කල යුතුවේ. මංගල දාන (විවාහ, ඔටුනු පැළදවීම් ආදිය) දී මංගල සූත්‍රය, රතන සූත්‍රය, පිරිත් සජ්ජායනය කල යුතුය. අවමංගල දාන- මතක දාන, මළවුන් සිහිකර දෙන දාන අදියේද, තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කිරීම, අනුමෝදනා බන කිවයුතුවේ. බලන්න: ශ්‍රී සද්ධර්ම කෝෂය, අනුමෝදනා, පි. 223.

▲ ත්‍රිවිධ ආස්‍රව -Three taints: ත්‍රිවිධ ආස්‍රව -ආශ්‍රව- ආසවලෙසින් පෙන්වා ඇත්තේ කාම, භව, අවිද්‍යා ආස්‍රවයන්ය. බලන්න: ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම.

▲ත්‍රිවිධ කල්‍යාන ශාසනය- Thrivida kalyanasasanay: ත්‍රිවිධ කල්‍යාන ශාසනය ලෙසින් පෙන්වා ඇත්තේ ශිල සමාධි හා ප්‍රඥා යන ත්‍රීවිධ ශික්ෂාවටය. බලන්න: ශිල සමාධි ප්‍රඥා.

▲ ත්‍රිවිධ ඉන්ද්‍රිය: පාලි: තීනි ඉන්‍ද්‍රියානි- three faculties: ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රියන්ට බාහිරව, බුදුන් වහන්සේ පෙන්වා ඇති ඉන්ද්‍රියන් පිලිබඳ විස්තරයේ ත්‍රිවිධ ඉන්ද්‍රිය යුගල 2ක් දක්වා ඇත: බලන්න: ඉන්ද්‍රිය. පළමු ත්‍රිවිධ ඉන්ද්‍රියන්: 1) ස්ත්‍රී ඉන්ද්‍රිය (ඉත්‍ථින්‍ද්‍රියං -femininity faculty), 2) පුරුෂ ඉන්ද්‍රිය (පුරිසින්‍ද්‍රියං- masculinity faculty) 3) ජිවිත ඉන්ද්‍රිය (ජිවිතින්‍ද්‍රියං- life faculty). සටහන්: * ස්ත්‍රී ඉන්ද්‍රිය හා පුරුෂ ඉන්ද්‍රිය පිළිබද නිකායන්හි වැඩි විස්තර නැත. අභිධර්ම පිටකයේ ‘උපාද රූප’ යටතේ මේවා දක්වා තිබේ.** අටුවාවට අනුව: ස්ත්‍රී ඉන්ද්‍රිය මගින් කැපිපෙනෙන ස්ත්‍රී ලක්ෂණ, ස්වභාවය පාලනය කරයි, පුරුෂ ඉන්ද්‍රිය, පුරුෂභාවය පාලනය කරයි *** ජිවිත ඉන්ද්‍රිය, කයේ පැවැත්මට වගකියයි. ධම්මසංඝානි , විභංග හා විසුද්ධි මාර්ගයේ මේ පිලිබඳ විස්තර දක්වා ඇත. බලන්න: ESN: note: 205, p. 2413. දෙවන ත්‍රිවිධ ඉන්ද්‍රියන්: 1) අනඤ්ඤාත-ඤානස්සාමීති ඉන්ද්‍රිය (සෝවාන්ඵල නුවන) 2) අඤ්ඤිඉන්ද්‍රිය (සෝවාන්ඵලයේ සිට රහත් මග දක්වා ඇති නුවන) 3) අඤ්ඤඤාතවින්ද්‍රිය (රහත්මග නුවන). මූලාශ්‍ර: සංයු.නි : (5-1):මහාවග්ග: ඉන්ද්‍රිය සංයුත්තය: 4.3.2 ජිවිතඉන්ද්‍රිය සූත්‍රය, පි. 392, ESN: Indriya samyutta: 22.2 The Life Faculty p. 1949, ඛු.නි: ඉතිවුත්තක: 3.2.3 ඉන්ද්‍රිය සූත්‍රය, පි. 418.

▲ ත්‍රිවිධ චක්ෂු - Three Eyes: බුදුන් වහන්සේ ත්‍රිවිධ චක්ෂු - තුන් ඇස්, මෙසේ පෙන්වා ඇත: මසැස (ඇස), දිවැස හා පැණැස. මසැස: කයේ ඇති ඇස (භෞතික ඇස). දිවැස: සාමාන්‍ය ලෝකයාට නො පෙනෙන, ඉර්දී බල නිසා ඇතිවෙන ආධ්‍යාත්මික බලය. පැණැස: ප්‍රඥා ඇස, මාර්ගය වඩා ගැනීමෙන් ඇතිවන නුවණ. ඇසෙහි පැවැත්ම දිවැසට කාරණය වේ. ආසවක්ඛය නුවණ පහළවීම පැණැසය. ඒ ඇස ලැබීමෙන් සියලු දුකින් මිදේ. මූලාශ්‍ර: ඛු.නි: ඉතිවුත්තක: 3.2.2 චක්ෂු සූත්‍රය, පි. 416.

▲ ත්‍රිවිධ ඥාණ: පාලි: තෙවිජ‍්ජා- Threefold knowledge: ධර්මයේ ත්‍රිවිධ ඥාණ ලෙසින් පෙන්වා ඇත්තේ අරහත්වය සාක්ෂාත් කරගැනීමෙන් පහළ වන තුන් ආකාර වූ අවබෝධයන්ය. ත්‍රිවිද්‍යා-තෙවිජ්ජා ලෙසින්ද හඳුන්වයි. 1) පෙරවිසු කඳ පිළිවෙත දන්නා නුවණ, 2) දිවැස -චුති උත්පත්ති නුවණ 3) ආසවක‍්ඛය- ආස්‍රව ක්‍ෂය කරගැනීමේ නුවණ. (Knowledge of recollection of manifold past abodes, the divine eye, the knowledge of destruction of the taints). නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ත්‍රිවිධ ඥාණ ලැබීම අවශ්‍යතාවයකි. බලන්න: ආස්‍රව හා ආස්‍රව ක්‍ෂයකිරිම, කර්මන්‍යසිත. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.310: “තෙවිජ‍්ජා: ත්‍රිවිද්‍යාව: බාහිර ත්‍රිවිද්‍යාව, සාසනික ත්‍රිවිද්‍යාව යයි දෙයාකාරය”. B.D: p.179: “Te-Vijja: One endowed with the 3 fold higher knowledge: in Brahmanism: ‘Knower of the 3 Vedas’, in Buddhism: one who has realized 3 kinds of knowledge: Remembrance of past lives, Divine Eye, Extinction of all cankers” සටහන්: * ම.නි: තෙවිජ්ජාවච්චගොත්ත සූත්‍රයේදී බුදුන් වහන්සේ, ත්‍රිවිධ ඥාණ ලැබීම ගැන විස්තර කර ඇත. ** පටිසම්භිදාවේ: ත්‍රිවිධ ඥාන- ඥානත්‍රය ලෙසින් පෙන්වා ඇත්තේ: විහාරත්ථ ඥානය-අනිත්‍යදර්ශනය දන්නා නුවණ, සමාපත්ති ඥානය-අනිමිත්ත සමාපත්තියේ නුවණ, විහාරසමාපාත්තියේ නානත්වය දැකීමේ නුවණ- විහාර සමාප්‍රත්‍යත්ත ඥානය වේ.බලන්න:ඛු.නි:පටිසම්භිදා1:ඥාණකථා: 29-31ඥානත්‍රය,පි. 196.

▼ ත්‍රිවිධ ඥාණ,මාර්ගය වැඩිම පිණිසය: එම ඥාන සාක්ෂාත් කරගැනීම මගින් භික්ෂුව පරිපුර්ණබව ලබාගනී යයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: අංගු.නි: (6 කාණ්ඩය): 10 නිපාත:ආනිසංස වගග, 10.1.1.10 විජ්ජා සූත්‍රය, පි.50, EAN:10: Benefits: 10.10.True Knowledge, p. 494.

▼ ත්‍රිවිධ ඥාණ, සච්ඡිකාතබ්බ ධර්මයකි, නිවන පිණිස සාක්ෂාත් කරගත යුතු ධර්මයකි. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11දසූත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ සප්ත බොජ්ඣංග වර්ධනය කරගැනීමෙන් ත්‍රිවිධ ඥාන සාක්ෂාත්වේ. මූලාශ්‍ර:අංගු.නි: (6):10 නිපාත: සමණසඤ්ඤා වගග: 10.3.1.2.බොජ්ඣංගසූත්‍රය, පි.406, EAN:10: 102.2. Factors of Enlightenment, p. 540.

▲ ත්‍රිවිධ කුසල මූල: පාලි: තීනි කුසලමූලානි- Three wholesome roots ත්‍රිවිධ කුසල මූල නම් අලෝභය, අදෝසය හා අමෝහය. මේ කුසල් තුන, ආධ්‍යාත්මික මාර්ගයට විශේෂබවක් ගෙනදේ. බලන්න: කුසල මූල, විශේෂභාගිය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ ත්‍රිවිධ තණ්හා: පාලි: තිස‍්සො තණ‍්හා - Three cravings :ත්‍රිවිධ තණ්හා ලෙසින් පෙන්වා ඇත්තේ කාම, භව හා විභව තණ්හාවන්ය. බලන්න: තණ්හාව, ආහාර. ශබ්දකෝෂ: පා.සිංශ: පි.249: “කාම තණ‍්හා: කාම තෘතෘෂ්ණාව, කාමආශාව, වස්තුකාම - කෙලෙශ කාමයන්හි ආශාව...පි. 406: භව තණ‍්හා: භව තෘෂ්ණාව, භවාසාව...පි.475: විභව තණ‍්හා: උචෙඡදදෘෂ්ටි සහගත රාගය”. B.D: p. 74: “Kāma-Tanhā: Sensuous craving…p.: 33: Bhava- Tanhā: Craving for eternal existence …p.190: Vibhava-Tanhā: Craving for Non- existence or for Self-anihilation”.

▲ ත්‍රිවිධ දුක- Three Sufferings: ත්‍රිවිධ දුක ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ: 1) දුක්ඛදුක්ඛ 2) සංඛාර දුක්ඛ 3) විපරිනාම දුක්ඛ. බලන්න: දුක.

▲ ත්‍රිවිධ ධම්මඅංග-Three Dhamma factors: ධර්මයේ ත්‍රිවිධ අංග ලෙසින් පෙන්වා ඇත්තේ ශිලය, සමාධිය හා ප්‍රඥාවය. බුදුදහම එම කරුණු මත පදනම්ව ඇත. බුදුන් වහන්සේ නිරතුරුවම මේ අංග වඩාගැනීම පිණිස සංඝයාට අවවාද අනුසාසන කර ඇත. අවසාන චාරිකාවේ යෙදුන බුදුන් වහන්සේ මේ ගුණයන් වැඩිමේ ආනිසංස වදාළ බව මෙහි පෙන්වා තිබේ: “...සිල ...සමාධිය...ප්‍රඥාව මෙබඳුය. ශිලයෙන් වඩනලද සමාධිය මහත් ඵල මහා අනුසස් ඇත්තේය. සමාධියෙන් වඩනලද ප්‍රඥාව මහත් ඵල මහා අනුසස් ඇත්තේය. ප්‍රඥාවෙන් වඩන ලද සිත කාම...භව...අවිද්‍යා යන ආසව කෙරන් මොනවට මිදේ”.“ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ‍්ඤා. සීලපරිභාවිතො සමාධි මහප‍්ඵලො හොති මහානිසංසො. සමාධි පරිභාවිතා පඤ‍්ඤා මහප‍්ඵලො හොති මහානිසංසො. පඤ‍්ඤා පරිභාවිතං චිත‍්තං සම‍්මදෙව ආසවෙහි විමුච‍්චති, සෙය්‍යථිදං කාමාසවා භවාසාවා අවිජ‍්ජාසාවා’ති”. මූලාශ්‍රය: දීඝ.නි: (2): 3: මහාපරිනිබ්බාන සූත්‍රය, 14 ඡේදය,පි.142.

▲ ත්‍රිවිධ ධම්මතා-Three types of Dhamma: ත්‍රිවිධ ධම්ම-ධර්මතා ලෙසින් පෙන්වා ඇත්තේ කිසියම් ධර්මතා 3 ක් පහ කර ගැනීම පිණිස, වෙනත් ධර්මතා 3ක් වඩා ගැනීමය: 1) රාගය දෝසය හා මෝහය: රාගය ප්‍රහීණය පිණිස අශුභය, දෝසය ප්‍රහීණය පිණිස මෛත්‍රීය, මෝහය ප්‍රහීණය පිණිස ප්‍රඥාව වැඩිය යුතුය. 2) ත්‍රිවිධ දුශ්චරිතය ප්‍රහාණය පිණිස ත්‍රිවිධ සුචරිතය වැඩිය යුතුය 3) කාමවිතක්ක- ප්‍රහීණය පිණිස නෙක්ඛම්ම විතක්ක, ව්‍යාපාදවිතක්ක- ප්‍රහීණය පිණිස අව්‍යාපාදවිතක්ක, විහිංසා විතක්ක- ප්‍රහීණය පිණිස අවිහිංසා විතක්ක වැඩිය යුතුය 4) කාමසංඥා- ප්‍රහීණය පිණිස නෙක්ඛම්මසංඥා, ව්‍යාපාද සංඥා- ප්‍රහීණය පිණිස අව්‍යාපාද සංඥා, විහිංසාසංඥා- ප්‍රහීණය පිණිස අවිහිංසා සංඥා වැඩිය යුතුය. 5) කාමධාතු- ප්‍රහීණය පිණිස නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාදධාතු- ප්‍රහීණය පිණිස අව්‍යාපාද ධාතු, විහිංසාධාතු ප්‍රහීණය පිණිස අවිහිංසා ධාතු වැඩිය යුතුය 6) ආසවාද දිට්ඨිය (ශාශ්තවත-view of gratification) ප්‍රහීණය පිණිස අනිත්‍යසංඥා, ආත්මානු දිට්ඨිය (සක්කාය- view of self) ප්‍රහීණය පිණිස අනත්ත සංඥාව, මිථ්‍යා දිට්ඨිය (62 ක්වූ දිට්ඨි) ප්‍රහීණය පිණිස සම්මා දිට්ඨිය වැඩිය යුතුය. 7) අරතිය (Discontent) ප්‍රහීණය පිණිස මුදිතාව, විහිංසාව ප්‍රහීණය පිණිස අවිහිංසාව, අධර්මචරියාව- ප්‍රහීණය පිණිස, ධර්මචරියාව වැඩිය යුතුය. 8) අසන්තුෂ්ටිය ප්‍රහීණය පිණිස සන්තුෂ්ටිය, අසම්ප්‍රජන්‍යය ප්‍රහීණය පිණිස සම්ප්‍රජන්‍යය, දැඩි ආශාව (මහේච්ඡතාවය-strong desires) ප්‍රහීණය පිණිස, අල්පේච්ඡතාවය (Fewness of desires) වැඩිය යුතුය. 9) දොවචස්සතාවය (difficult to correct) ප්‍රහීණය පිණිස සුවචභාවය, පාපමිත්‍ර සේවනය ප්‍රහීණය පිණිස කලණමිතුරු-කල්‍යාණමිත්‍ර සේවනය, චිත්තවිකෙෂ්පය (mental distraction ) ප්‍රහීණය පිණිස ආනාපානසතිය වැඩිය යුතුය. 10) උද්දච්චය ප්‍රහීණය පිණිස සමථය, අසංවරය (ඉන්ද්‍රිය) ප්‍රහීණය පිණිස සංවරය, ප්‍රමාදය ප්‍රහීණය පිණිස අප්‍රමාදය වැඩිය යුතුය. මූලාශ්‍ර:අංගු.නි: ( 4 ): 6 නිපාත: තික වග්ග සූත්‍ර, පි. 280, EAN:6: I Triads, p. 364.

▲ ත්‍රිවිධ නිස්සාරණිය ධාතු: පාලි: තිස‍්සො නිස‍්සරණියා ධාතුයො-Three elements making for deliverance -nissāraṇīyā dhātuyo: ත්‍රිවිධ නිස්සාරණිය ධාතු ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ : නෙක්ඛම්මය, අරූපය හා නිරෝධය ය. මේවා කෙළෙස්වලින් නිදහස් වීමට, විමුක්තිය පිණිස උපකාරිවන ධර්මතාය. ත්‍රිවිධ නිස්සාරණිය ධාතු, විනිවිදව අවබෝධ කරගැනීමට දුෂ්කර (පහසු නැති) දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම යන්ය. බලන්න: නිස්සාරණිය ධාතු, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ ත්‍රිවිධ ප්‍රඥා - Three wisdoms: ධර්මයේ ත්‍රිවිධ ප්‍රඥා ලෙසින් පෙන්වා ඇත්තේ: 1) සුතමය ප්‍රඥාව- ධර්මය අසා-ශ්‍රවනය, ඉගෙන ඒ ගැන ලබාගන්නා අවබෝධය නිසා ඇතිවන දහම් නුවණ 2) භාවනාමය ප්‍රඥාව- භාවනා අරමුණක් මගින් සිත සමාධියට පත්කර ගැනීමෙන් ඇතිවන දහම් නුවණ. 3) චින්තාමය ප්‍රඥාව- ධර්මය සිතින් ආවර්ජනය කර ලබාගන්නා දහම් නුවණ. විස්තර පිණිස බලන්න: * පටිසම්භිදා 1: ඤාණකථා, ** සිංහල විසුද්ධිමග,14 පරිච්ඡේදය, පි. 631 ** අභි.ධ.පි: විභංගප්‍රකරණ 2: ඥානවිභංග. මූලාශ්‍ර: දීඝ.නි: (3 ): 10 සංගීති සූත්‍රය, පි. 368, EDN: EDN: 33: Sangīti Sutta: The Chanting Together, p. 362.

▲ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තු- Three kinds of merits: දානය, ශිලය හා භාවනාව ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තු යයි බුදුන් වහන්සේ වදාළහ. මෙලොව හා පරලොව උතුම් සැප විපාක පිණිස පින්ක්‍රියාවල යෙදීම යහපත්වේ. දානය මෙලොව පරලොව සැප පිණිස, ශිලය සම හැසිරීම පිණිස, භාවනාව මෙත්තා සහිත සිත වැඩීමට උපකාරීවේ. මේ කුසල ධර්මතා 3 දියුණු කරගැනීම බඹලොව උපතට හේතුවේ. මූලාශ්‍ර: ඛු.නි: ඉතිවුත්තක: 3.2.1 පුණ්‍යක්‍රියා වස්තු සූත්‍රය, පි. 416.

▲ ත්‍රිවිධ පිරිසිදුබව -Three purification: කයෙන්, වචනයෙන් හා මනසින් (තුන් දොරින්) කරන දසකුසල් ක්‍රියා නිසා මිනිසුන්ගේ පිරිසිදුබව -පාරිශුද්ධිය ඇතිවේ. දස අකුසල නිසා මිනිසුන් අපිරිසිදුවේ. බලන්න: දසඅකුසල්, දස කුසල්,ආරියවිනයේ පිරිසිදුබවලැබීම.

▲ ත්‍රිවිධ භය- Three Fears: ධර්මයේ ත්‍රිවිධ භය ලෙසින් පෙන්වා ඇත්තේ ලෝක සත්වයාට අනිවාර්යෙන්ම මුහුණ දීමට ඇති ජාති ජරා හා මරණ භයටය. බලන්න: ජාති ජරා මරණ.

▲ ත්‍රිවිධ භව-Three bhava : ත්‍රිවිධ භව, කාම, රූප, අරූප භව 3 ය. බලන්න: තුන්භවය, ආහාර, යළිඋපත.

▲ ත්‍රිවිධ මාන:පාලි: තීසු වීධාසු-තයො මානො- three discriminations මානය, විධා ලෙසින්ද පෙන්වා ඇත. සාමාන්‍යලෝකයා පංච උපාදානස්කන්ධය, සිය ආත්මය ලෙසින් ගැනීම විවිධ මාන-මැනීම් වලට හේතුවේ. ඒ අනුව ලෝකයේ මාන 3 ක් ඇති පුද්ගලයන් දැකිය හැකිය. මේවා අකුසල්ය. බලන්න: මාන.

▼බුදුන් වහන්සේ ත්‍රිවිධ මාන මෙසේ පෙන්වා ඇත: “මහණෙනි, මේ මාන 3 ක්වේ: 1) මම ශ්‍රේෂ්ඨ වෙමි -I am superior (අතිමානය ලෙසින්ද පෙන්වා ඇත) 2) මම සමාන වෙමි -I am equal (මානය ලෙසින්ද පෙන්වා ඇත) 3) මම හීනවෙමි-හීනමානය -I am inferior. (ඔමානය -අවමානය ලෙසින්ද පෙන්වා ඇත)”. එම මාන යථා ලෙසින් අවබෝධ කරගැනීමට හා ඒවා ප්‍රහීණය කරගැනීමට ආරිය අටමග මනාව වැඩියයුතුවේ. “තිස‍්සො ඉමා භික‍්ඛවෙ, විධා... ‘සෙය්‍යො හමස‍්මි’ති විධා, ‘සදිසො හමස‍්මි’ති, විධා, ‘හීනො හමස‍්මි’ති විධා...” මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග:මග්ගසංයුත්ත: 1.15 විධා සූත්‍රය, පි.154, ESN: Maggasamyutta: 162.2 Discriminations, p. 1707.

▼ ත්‍රිවිධමානය ඇතිවීම: යමෙක්, මම අන්‍යයන් හා සමවෙමි හෝ විශිෂ්ඨ වෙමි හෝ හීන වෙමි යයි සලකයි, ඒ ගැන විවාද කරයි, එමගින් මානය උපදී. එහෙත් එවැනි සංකල්පනා රහතන්වහන්සේට නොමැත යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1):සගාථවග්ග: දේවතා සංයුත්ත: 1.2.10 සමිද්ධි සූත්‍රය, පි. 44, ESN: 1: Devata samyutta: 20.10 Samiddhi, p. 79. සටහන:සංයු.නි: (4) වේදනාසංයුත්ත: යොගකෙඛමිවග්ග: 1.11.5 සෙය්‍ය සූත්‍රයේදී, ඇස, කණ... ආදී අභ්‍යන්තර ආයතන සයේ ක්‍රියා කාරිත්වය නිසා ත්‍රිවිධ මාන ඇතිවෙන බව විස්තර කර ඇත.

▼ මානය පහ කිරීම නිවනය: සියලු තණ්හා අහවරකර, මානය, අවමානය හා අතිමානය (මානා, ඔමානො, අතිමානො- Conceit, the inferiority complex, and arrogance) පහකර, සංයෝජන උදුරාදැමු මහණ අර්හත්වය ලබා සසර දුක නිමා කරඇත-නිවන ලබාඇත. මූලාශ්‍ර: අංගු.නි: ( 4 ): 6 නිපාත: 6.2.5.11. තණ්හා සූත්‍රය, පි. 278 , EAN: 6: 106.11. Craving, p. 364.

▼වෙනත් මූලාශ්‍ර: 1. “සෙයිය්‍යොහමස්මිති මානය” යනු මම ජාතියෙන්, කුලයෙන්... රුපයෙන්... ශිල්පශාස්ත්‍රයකින් හෝ වෙනත් කරුණකින් අන් අයට වඩා උසස් යයි කියා සිතීමය. (මෙහිදී මානය කොඩියක් මෙන් ඉහලට ඔසවා ඇත). සදිසෝ මාන යනු (පෙරකී කරුණු වලින්) අන්‍යයන් හා සමාන යයි සිතීමය. හීන මානය (පෙරකී කරුණු වලින්) අන්‍යයන්ට වඩා පහත් යයි සිතීමය. ත්‍රිවිධ මාන ලෝභ, ද්වේශ තරම් නපුරු කෙලෙස් නොවේ, එහෙත්, කෙනෙක්ගේ පිරිහීමට හේතුවේ”. කෙලෙස් එක්දහස් පන්සීය: පි. 66, රේරුකානේ චන්දවිමල නාහිමි, 2008.

▲ ත්‍රිවිධ මල- Three stains: ත්‍රිවිධ මල යනු සිත කිලිටිකරණ කෙළෙස් 3 ය: රාග දෝස හා මෝහ .බලන්න: මල. සටහන: අංගු.නි: (1) බාල වග්ගය : බාලයන්ගේ ගති ලක්ෂණ පෙන්වීමේදී ඔවුන්ට ත්‍රිවිධ මල ඇතිබව බුදුන් වහන්සේ වදාළහ: දුස්ශිලය, ඉරිසියාව-ඊර්ෂ්‍යාව, මසුරුකම. එම අවගුණ නිසා ඔවුන් දුගතියට යයි. මූලාශ්‍ර:අංගු.නි: (1)3 නිපාත: 3.1.10 සූත්‍රය,පි. 240, EAN: 3:10.10 Stains, p. 81.

▲ ත්‍රිවිධ රත්නය- Three Jewels: ත්‍රිවිධ රත්නය- තෙරුවන්, බෞද්ධයන්ට ඇති අනර්ඝම රත්නයන්ය: බුද්ධ, ධර්ම හා සංඝ. රතන සූත්‍රයේ ත්‍රිවිධ රත්නයේ ගුණ විස්තර කර ඇත. බලන්න: තිසරණ, තෙරුවන්.

▼ ත්‍රිවිධ රත්නය සරණකරගැනීම යහපත පිණිසය: දිගුකලක් මුළුල්ලේ ගිහියෙක්, ත්‍රිවිධ රත්නය සරනකොටගෙන සිටි නම් ඔහු දුගතියක යළි උපත නොලබන බව බුදුන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්වා ඇත: අනාගාමී, සකදාගාමී, සෝතාපන්න පුද්ගලයන් දුගතියෙන් මිදිඇත, ඔවුන් ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්චාසහගත ප්‍රසාදය ලැබූ උතුමන්ය. අවෙච්චාසහගත ප්‍රසාදය නොලැබූ එහෙත්, තිසරණය කෙරහි යම් ප්‍රසාදයක් ඇති පුද්ගලයෙක් සිටි. ඔහුගේ පංච ඉන්ද්‍රිය වර්ධනය වී ඇත. විමසා බලා ධර්මය ඔහු පිළිගනී. එවන් පුද්ගලයා දුගතිගාමි නොවේ. මූලාශ්‍ර:සංයු:නි: (5-2) සෝතාපත්තිසංයුත්ත: සරකානි වග්ග:සරකානි සූත්‍ර 2, පි. 214.

▼ ත්‍රිවිධ රත්නයේ ගුණ දැක පැහැදීමක් ඇති, ආරිය කාන්ත ශිලය ඇති පුද්ගලයා දහම් ගඟට පිළිපන් කෙනකි, ආශ්‍රවක්‍ෂයකර ඔහු පරතෙරට-නිවනට පැමිණේ. ඒ පිලිබඳ බුදුන් වහන්සේ වදාළ උපමාව: කන්දක් මතට පතිතවන වැස්ස, මුදුනේ සිට ක්‍රමයෙන් පහළට ගලාවිත් කෙළවර සාගරයට ඇතුළුවේ, එලෙස, තෙරුවන් ගුණ ගැන පැහැදී, යහපත් ශිලය ඇති තැනැත්තා සියලු කෙළෙස් හැර, නිවන ලබයි. මූලාශ්‍ර: සංයු.නි: (5-2) මහාවග්ග: සෝතාපත්තිසංයුත්ත: පුඤඤාභිසන්ද වග්ග:11.4.8 වස්ස සූත්‍රය, පි. 250.

▼ ත්‍රිවිධ රත්නයේ අග්‍රබව බව සලකා කෙනෙක් පහන් සිතින් දන් දෙන්නේ නම් එම පින අග්‍රවේ. බලන්න: අග්‍රපින.

▼ ත්‍රිවිධ රත්නය කෙරේ ඇති අවෙච්චාසහගත ප්‍රසාදය හා ආරිය කාන්ත ශිලය ඇති ආරිය ශ්‍රාවකයාහට ඇති පුණ්‍ය ගණන්කිරීමට නොහැකිය. බලන්න: අසංන්ඛේයිය පුණ්‍ය, ශ්‍රද්ධාව,අශ්‍රද්ධාව, සෝතාපන්න, ඉන්ද්‍රකීලය.

▲ ත්‍රිවිධ වේදනා : පාලි: තිස‍්සො වෙදනා-Three feelings: ත්‍රිවිධ වේදනා නම්: සැප වේදනාව, දුක වේදනාව හා සැපත් නොවන දුකත් නොවන වේදනාව-උපේක්ඛා. (සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා). ආධ්‍යාත්මික වර්ධනය පිණිස, ත්‍රිවිධ වේදනා පිරිසිඳව අවබෝධ කල යුතුවේ. බලන්න: වේදනා, පරිඥෙය්‍ය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ ත්‍රිවිධ සුචරිතය හා ත්‍රිවිධ දුෂ්චරිතය: පාලි: තීනි සුචරිතං, තීනි දුච‍්චරිතං- Three good conduct & three bad conduct: ධර්මයේ ත්‍රිවිධ සුචරිතය සේ පෙන්වා ඇත්තේ කයෙන්, වචනයෙන් හා මනසින් (තුන්දොරින්) කරන යහපත්- හොඳ ක්‍රියා ගැනය. ත්‍රිවිධ දුෂ්චරිතය නම් කයෙන්, වචනයෙන් හා මනසින් කරන අයහපත්- නරක ක්‍රියාය. බලන්න: තපනිය හා අතපනිය ධර්ම, අසංවරය, ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය අසංවරය.

▼ඒකාන්තයෙන්ම ත්‍රිවිධ සුචරිතයේ හැසිරිය යුතුය; ත්‍රිවිධ දුෂ්චරිතය දුරු කල යුතුය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“එකංසෙනාහං ආනන්‍ද අකරණියං වදාමි කාය...වචී...මනො දුච‍්චරිතන‍්ති... ... එකංසෙනාහං ආනන්‍ද කරණියං වදාමි කාය... වචී...මනො සුචරිතං”. කෙනෙක් ත්‍රිවිධ දුෂ්චරිතයේ යෙදෙනවිට ඔහුට ආදීනව ඇතිවේ: ඒ පිලිබඳ කෙනක් තමාටම උපවාද කරගනී, ප්‍රඥාවන්තයන් ඒ පිලිබඳ විමසා බලා ඔහුට නිගරුකරති, ඔහු ගැන අපකීර්තිය පැතිරේ, සිහි මුලාවෙන් මියයයි, මරණින් මතු දුගතියේ- සතර අපායේ යලි උපත ලබයි. කෙනෙක් ත්‍රිවිධ සුචරිතයේ යෙදෙනවිට ඔහුට ප්‍රතිලාභ ඇතිවේ: ඒ පිලිබඳ කෙනක් තමාටම උපවාද නොකරගනි, ප්‍රඥාවන්තයන් ඒ පිලිබඳ විමසා බලා ඔහුට ප්‍රසංසා කරති, සිහියෙන් මියයයි, මරණින් මතු සුගතියේ-දෙව්ලොව උපත ලබයි. බලන්න: ධර්මචරියාව හා අධර්මචරියාව. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 2 නිපාත: 2.1.2.8 සූත්‍රය, පි. 150, EAN: 2: 18.8 Sutta, p. 59.

▼ ඉන්ද්‍රිය අසංවරය නිසා ත්‍රිවිධ දුශ්චරිතය පෝෂණය වේ. ත්‍රිවිධ දුශ්චරිතය නිසා පංච නීවරන පෝෂණයවේ. ඉන්ද්‍රිය සංවරය නිසා ත්‍රිවිධ සුචරිතය පෝෂණය වේ. ත්‍රිවිධ සුචරිතය නිසා සතර සති පට්ඨානය පෝෂණය වේ. බලන්න: අවිද්‍යාව හා විද්‍යාව. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10 නිපාත: යමක වග්ග: 10.2.2.1 අවිද්‍යා සූත්‍රය, පි.232, EAN:10: II Pairs: 61.1.Ignorance, p. 517.

▼ ත්‍රිවිධ සුචරිතයෙන් වාසය කිරිමෙන් අත්තරක්ඛිතය සිදුවේ: තමා විසින් තමාව ආරක්ෂා කර ගැනීමට හැකිවේ. බලන්න: අත්තරක්ඛිතය.

▲ ත්‍රිවිධ සෝතාපන්න පුද්ගලයෝ- Three kinds of Stream Winners සෝතාපන්න මග ඵල ලබා ආධ්‍යාත්මික වර්ධනයේ වෙනස් කම් නිසා, අරහත්වයට පත්වීමට ගත කරන කාලසිමාව අනුව, සෝතාපන්න පුද්ගලයෝ තුන් වර්ගයකි: 1) ඒක බීජ (එකබීජිස‍්ස - the one-seed attainer): සංයෝජන 3 පහකර සෝතාපන්න බව ලබාගත් මේ උතුම් පුද්ගලයා එක් මිනිස් භවයක් තුල දුක කෙලවර කරගනි: “සො තිණ‍්ණං සඤෙඤාජනානං පරික‍්ඛයා එකබීජි හොති: එකඤෙඤච මානුස‍්සකං භවං නිබ‍්බතෙතත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති”. (with the utter destruction of three fetters, he is a one-seed attainer who, after being reborn once more in human existence, makes an end of suffering). සටහන: සංයෝජන 3 : සක්කායදිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා. 2) කොලංකොල (කොලඬෙකාලො -the family-to-family attainer): සංයෝජන 3 පහකර සෝතාපන්න බව ලබාගත් මේ උතුම් පුද්ගලයා උත්පත්ති භව 2 ක් හෝ 3 ක් අතර සසර සැරිසරා දුක කෙලවර කරගනි: “සො තිණ‍්ණං සඤෙඤාජනානං පරික‍්ඛයා කොලඬෙකාලො හොති. ද‍්ව වා තීණි වා කුලානි සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති” (with the utter destruction of three fetters, he is a family-to-family attainer who, after roaming and wandering on among g families two or three times, makes an end of suffering). 3) සත්තඛත්තුපරම- උපරිම සත්වරක්: (සත‍්තක‍්ඛත‍්තුපරමං -seven-times-at-most attainer): සංයෝජන 3 පහකර සෝතාපන්න බව ලබාගත් මේ උතුම් පුද්ගලයා උපරිම උත්පත්ති භව 7 ක් තුල, දෙව් මිනිස් ලෝක වල සැරිසරා දුක කෙලවර කරගනි: “සො තිණ‍්ණං සඤෙඤාජනානං පරික‍්ඛයා සත‍්තක‍්ඛත‍්තුපරමො හොති:සත‍්තක‍්ඛත‍්තුපරමං දෙවෙව මනුස‍්සෙ ච සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති”. (with the utter destruction of three fetters, he is a seven-times-at-most attainer who, after roaming and wandering on among devas and humans seven times at most, makes an end of suffering) මූලාශ්‍ර: අංගු.නි: (1 ) : 3 නිපාත: 3.2.4.7 සූත්‍රය, පි. 450, EAN: 3: 88. 8 The Process of Training -3, p. 123.

▲ ත්‍රිවිධ සංඛාර- Three Sanskara: කාය සංඛාර -සංස්ඛාර, වචී සංඛාර හා මනෝ සංඛාර, ත්‍රිවිධ සංඛාරවේ. බලන්න: චේතනා, සංඛාර. ත්‍රිවිධ සංස්ඛාරයන්හි යෙදෙන පුද්ගලයන් තිදෙනෙක් ගැන බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) පුද්ගලයෙක් දුක්සහිතවූ කාය, වචී හා හා මනෝ සංස්ඛාරයේ යෙදේ. එහි විපාක වශයෙන් යලි උපත ලැබූ ඔහුට : දුක් සහිත ස්පර්ශය ඇතිවේ; එම ස්පර්ශය නිසා දුක් වේදනා ඇතිවේ. එම වේදනා, ඒකාන්තයෙන්ම දුකසහිතය, හරියට නිරයේ ඇති දුක් වේදනාවන් ලෙසින් පීඩා ගෙනදේ. 2) පුද්ගලයෙක් නිදුක් කාය,වචී හා හා මනෝ සංස්ඛාරයේ යෙදේ. එහි විපාක වශයෙන් යලි උපත ලැබූ ඔහුට : සුඛ සහිත ස්පර්ශය ඇතිවේ; එම ස්පර්ශය නිසා සැප වේදනා ඇතිවේ. ඒ සුඛ වේදනා ඒකාන්තයෙන්ම ප්‍රසන්නය. හරියට, සුභකින්න දෙව්ලොව සිටින දෙවියන් ලබන ප්‍රසන්න සුඛය මෙන් සැප සහිතය. 3) පුද්ගලයෙක් දුක්සහිත හා දුක්රහිත, කාය,වචී හා හා මනෝ සංස්ඛාරයේ යෙදේ. එහි විපාක වශයෙන් යලි උපත ලැබූ ඔහුට : දුක් සහිත හා සැප සහිත ස්පර්ශ ඇතිවේ, එමගින්, දුක් සහිත හා සැප සහිත වේදනාවෝ ඇතිවේ. එම දුක් සහිතවූ , දුක් නැති ප්‍රසන්නවූ, මිශ්‍ර වේදනාවෝ, හරියට සමහර දෙවියන්ට, මිනිසුන්ට හෝ පහත් ලෝකවල සිටින සත්ත්‍වයන්ට (විමානක ප්‍රේතයන් වැනි) ඇතිවෙන දුක් හා සැප වේදනාමෙන්වේ. මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාත:3.1.3.3 සූත්‍රය,පි. 266,EAN:3:23-3 volitional activities, p. 86.

▲ත්‍රිවිධ සමාධි-Three samdhi: ත්‍රිවිධ සමාධි ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සුඤඤත සමාධිය, අනිමිත්ත සමාධිය, අප්පණිත සමාධිය (emptiness samdhi , sign-less samdhi , undirected samdhi) යන විමොක්ක යන්ය. බලන්න: විමොක්ක දොරටු තුන. මේ තුන් සමාධිය නිවනට මගය. සුඤඤත සමාධිය ඇතිකරගන්නේ විදර්සනා -විපස්සනා නුවණින් අනාත්ම ස්වභාවය අවබෝධ කරගැනීමෙන්ය; අනිමිත්ත සමාධිය, ඇතිකරගන්නේ සියලු දේ අනිච්චබව අවබෝධ කරගැනීමෙන්ය- නිමිති අල්වා නොගැනීමය. අප්පණිහිත සමාධිය: ඇතිකරගන්නේ සසර දුක අවබෝධය මගින්ය- සියල්ල දුක ගෙනෙදෙන බව- කිසිවක් ප්‍රණීත නොවන බව, එමනිසා සසරට ඇලීම පහවී යයි. සටහන්: Suññata samādhi, animitta samādhi, appaṇihita samādhi- One who, at the stage of advanced insight, contemplates things as non-self, acquires the emptiness concentration on arriving at the path and fruit (because he has seen things asempty of self); one who contemplates things as impermanent acquires the sign-less concentration (because he has seen through the ‘sign of permanence’; one who contemplates things as suffering acquires the undirected concentration (because he has no leaning to things seen as painful). See too the discussion of the ‘triple gateway to liberation’ at Vism 657–59. බලන්න: ESN: Note: 368, p. 1570. මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග:අසංඛත සංයුත්ත, 9.1.4 සුඤඤත සමාධිය සූත්‍රය, පි. 662, ESN: 43: Asankatasamyutta: p. 1493.

▲ ත්‍රිවිධ ශ්‍රමණ කාර්ය: පාලි: තීණි සමණකරණියානි-Three ascetic tasks: ත්‍රිවිධ ශ්‍රමණ කාර්ය ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ ශ්‍රමණජීවිතය පිණිස භික්ෂුන් විසින් පුරුදු පුහුණු කළයුතු කාර්යය 3 ක් ගැනය. එනම්, අධි ශීලශික්‍ෂා සමාදානය, අධි චිත්තශික්‍ෂා සමාදානය, අධිප්‍රඥා ශික්‍ෂා සමාදානය (The undertaking of the training in : the higher virtuous behavior, higher mind, and higher wisdom). බලන්න: අධිශිලශික්ෂාව, අධිචිත්තශික්ෂාව, අධිප්‍රඥාශික්ෂාව.

▼ ත්‍රිවිධ ශ්‍රමණ කාර්ය ගැන බුදුන් වහන්සේ මෙසේ වදාළහ:“තීණිමානි භික‍්ඛවෙ සමණස‍්ස සමණකරණියානි.කතමානි තීණි: අධිසිල සික‍්ඛාසමාදානං, අධිචිත‍්තසික‍්ඛාසමාදානං, අධිපඤ‍්ඤාසික‍්ඛාසමාදානං. ඉමානි ඛො භික‍්ඛවෙ තීණි සමණස‍්ස සමණකරණියානි”. එම පුහුණුව පිණිස මෙසේ හික්මිය යුතුය: අපට, අධි ශීලශික්‍ෂා සමාදානය... අධි චිත්තශික්‍ෂා සමාදානය... අධිප්‍රඥා ශික්‍ෂා සමාදානය පිලිබඳ තදබල කැමැත්තක් ඇත: “තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: තිබ‍්බො නො ඡන්‍දො භවිස‍්සති අධිසිල සික‍්ඛාසමාදානෙ... අධිචිත‍්තසික‍්ඛාසමාදානෙ... අධිපඤ‍්ඤාසික‍්ඛාසමාදානෙති”. එලෙස, අධිශීලයේ, අධිචිත්තයේ, අධිප්‍රඥාවේ හික්මෙන භික්ෂුවගේ, රාගය දෝසය හා මෝහය ප්‍රහාණය වන බවද ඔහු කිසියම් අකුසලයක හෝ පාපි ක්‍රියාවන් හි නො යෙදෙන බව ද බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 3 නිපාත: ශ්‍රමණ වග්ග: 1.2.4.1, 3.2.4.4. සූත්‍ර, පි. 450, EAN: 3: Ascetics: 81.1 Ascetics, p. 121.

▲ ත්‍රිවිධ ශික්ෂාව- The three training: ත්‍රිවිධ ශික්ෂාව-පුහුණුව ලෙසින් පෙන්වා ඇත්තේ බඹසර ජීවිතය සාක්ෂාත් කරගැනීම පිණිස පිළිපදින පුහුණුවය: අධිශිලශික්ෂාව, අධිචිත්තශික්ෂාව, අධිප්‍රඥාශික්ෂාව. බලන්න: අධිශිලශික්ෂාව-අධිචිත්තශික්ෂාව- අධිප්‍රඥාශික්ෂාව, ත්‍රිවිධ ශ්‍රමණ කාර්යය, ශික්ෂාව. සටහන: ත්‍රිවිධ ශික්ෂාව-පුහුණුව නිසා ලැබෙන ආනිසංස පිළිබඳව බලන්න: ඛු.නි: ඉතිවුත්තක: 2.2.9 ශික්‍ෂා ආනිසංස සූත්‍රය,පි.398.

▲ත්‍රිවිධ ශිලය- Three virtues: ශීලයේ විවිධත්වය යටතේ ත්‍රිවිධ ශිලය පෙන්වා ඇත: 1. හීන සීලය: කිර්තිය පිණිස සමාදන්වේ 2. මධ්‍යම සීලය: දේවලෝක උත්පත්ති ආදිය සලකා සමාදන්වන ආනිසංස සීලයය 3. ප්‍රණීත සීලය: ප්‍රඥාව ඇතිව සමාදන්වන සීලය. බලන්න: ශිලය.

තස

▲ තිසරණය- Three Refuges: බුද්ධ ධම්ම හා සංග රත්නය සරණය- පිහිට කරගත් අය බෞද්ධයන්ය. තිසරණය යහපත් ලෙසින් පිහිටුවා ගැනීම ආධ්‍යාත්මික මගට පදනමවේ. තිසරණය සිහිපත් කිරීමෙන් සිත සුවපත් කර ගත හැකිවේ, භිය හා තැතිගැනීම පහවේ. තිසරණය, අනුසති භාවනාවකි. බලන්න: ධජග්ග සුත්‍රය, භාවනා, ත්‍රිවිධ රත්නය, තෙරුවන්. සටහන: භාග්‍යවතුන්වහන්සේ තිසරණ මහිමය ගැන ගාථා 3ක් උගන්වා චත්ත නම් මානවකයාට මරණයෙන් පසු සුගතියක යලි උපත ලබාගැනීමට මග සලසා දුන්බව ඛු.නි: විමානවත්ථු, චත්ත මානවක කතාවේ පෙන්වා ඇත.

▼ වෙනත් මූලාශ්‍ර:: 1. The Threefold Refuge by Nyanaponika Thera: Wheel: 76: BPS: 2008. 2. තිසරණ මහිම: කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු, පහන්කනුව ධර්ම දේශනා, 2012

▼ තිසරණ සරන ගිය පළමු උපාසක හා උපාසිකාව: යසකුල පුත්‍රයාගේ පියා ඔහු සොයමින් යන්නේ බුදුහිමි දැක දහම් අසා තිසරණ සරණ ගියහ. හෙතෙම ලෝකයෙහි පළමු තේවාචික උපාසක වුයේය. යසකුල පුත්‍රයාගේ (යසකුලපුත්‍ර තෙර) මව,හා ගිහිකල බිරිඳ, බුදුහිමි වෙතින් දහම් අසා තිසරණ සරණ ගියහ. ඒ දෙදෙනා ලෝකයේ පළමුවෙන් තිසරණ සරණ ගිය උපාසිකාවන්ය. මූලාශ්‍රය: වින.පි: මහාවග්ග පාලිය 1:මහාඛන්ධක: 14 පබ්බජා කතා, පි. 107.

▼ තිසරණ සරණ යාම උතුම් සරණය: බියට, දුකට පත් මිනිසුන් කඳු, වනයන් ආදී තැන් සොයා යති. එහෙත්, ඒවායින් පිහිටක් නැත. උතුම් සරණය තිසරණයය, ඒකාන්තයෙන්ම බිය නැතිකරයි, දුක නැතිකරයි, උතුම් පිහිටය. “එතං ඛො සරණං ඛෙමං එතං ඛො සරණමුත‍්තමං එතං සරණමාගම‍්ම සබ‍්බ දුක‍්ඛා පමුච‍්චතී” . මූලාශ්‍රය: ඛු.නි: ධම්මපද: බුද්ධවග්ග, ගාථා 188- 192

▲ තිස්ස තෙර1- Tissa Thera 1.බලන්න: උපග්‍රන්ථය:1

▲ තිස්ස තෙර2 (කපිලවස්තු)-Tissa Thera:බලන්න: උපග්‍රන්ථය:1

▲ තිස්ස බුදුන්වහන්සේ -The Buddha Tissa: ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි, තිස්ස බුදුන් වහන්සේ සම්බෝධිය ලැබීම පිලිබඳ විස්තර මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි: බුද්ධවංස පාලි: 17 තිස්ස බුද්ධවංසො, පි.197.

▲ තිස්ස බ්‍රහ්ම-Brhma Tissa: බුදුන් වහන්සේගේ ශ්‍රාවකව වැඩසිටි තිස්ස තෙරුන් මරණින් මතු තිස්ස බ්‍රහ්ම ලෙසින් බ්‍රහ්ම ලෝකයේ උපත ලැබුබව, එතුමා මහා ඉර්දී ඇතිබව, මහා මුගලන් තෙරුන්, එතුමා හමුවීමට දෙව්ලොවට වැඩි බව මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: 6 නිපාතය:දේවතාවග්ග:6.1.4.4 මොග්ගල්ලාන සුත්‍රය.

▲ තිස්නවයක් භික්ෂුන්වහන්සේ - 39 Bihhukus: පාවානුවර වැසි 39ක් භික්ෂූන්හට, දීර්ඝ සංසාර දුක පිළිබඳව බුදුන් වහන්සේ වදාළ දේශනය අසා, ඒ භික්ෂුන් සැමදෙනාම අර්හත්වය ලැබූ අන්දම මෙහි විස්තර කර ඇත. බලන්න: සංයු.නි: අනමතග්ග සංයුත්ත: 3.2.3 තිංසමත්ත සූත්‍රය.

▲ තුසිත දේවලෝකය- Tusita Devaloka: කාමාවචර දේවලෝකයකි. බුද්ධත්වය පතා පෙරුම්පුරන බෝසතුන්-බෝධිසත්වයන්, මිනිස් ලොව පහළවීමට පෙර උපත ලබන දේවලෝකයය. බලන්න: දේව ලෝක, බෝධිසත්ව. සටහන: අපගේ බුදුන් වහන්සේගේ මව:මහමායා දේවිය මරණින් මතු තුසිත දේවලෝකයේ උපත ලැබූ බව මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි: උදානපාලිය: 5.2 අප්පායුක සූත්‍රය, පි.250.

▲ තස්සපාපිය්‍යසිකා කර්මය- Tassapāpiyasikakamma: මෙය බරපතල කර්මයක් කළ සංඝයාට පනවන විනය කර්මයකි. එවැනි කර්මයක් කළ භික්ෂුව කරුණු 8 කට යටත්ව කටයුතු කලයුතුය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත බලන්න: වින.පි: සංඝකර්ම.

ථ කොටස:

ථන, ථප,ථම,ථර,ථල,

ථන

▲ ථිනමිද්ධ- Drowsiness and Lethargy: ථිනමිද්ධය- අලසබව යනු නීවරණ ධර්මයකි, ධර්ම මාර්ගය අහුරා තබයි. බලන්න: නීවරණ.

▼ ථිනමිද්ධ යනු නිදිමත, අලසකම, ඇඟමැලිකැඩීම, අරතිය, බත්මතය යන නීවරණ ධර්මතාය. ඒවා ඇතිතාක් ආරිය මග දර්ශනය නොවේ. වීරිය ඇතිකර ගැනීමෙන්, ථිනමිද්ධය පහකර, ආරිය මග උදාකරගත යුතුවේ. බලන්න: අරතිය, මූලාශ්‍ර: සංයු.නි: (1 ): සගාථවග්ග:දේවතාසංයුත්ත: 1.2.6 නිද්දාතන්නදී සූත්‍රය, පි. 40, ESN: 1: Devatasamyutta: 16.6 Drowsiness and Lethargy, p.75.

▼ නූපන් ථිනමිද්ධය ඇතිවීමට, උපන් ථිනමිද්ධය වැඩීමට, හේතුවන කරුණු: 1) අරතිය (අරති) මාර්ගය පිලිබඳ ඇල්ම නැතිවීම) 2) අලසකම (තන්‍දි) 3) ඇඟමැළි කැඩීම (විජම‍්භිකා) 4) බත්මත (භත‍්තසම‍්මදො)5) සිතේ හැකුලුනු බව (චෙතසොලීනත‍්තං) මේ කරුණු පිලිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමය. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, ථිනමිද්ධය ඇතිවීම හා වැඩිම පිණිස, අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම මේ හැර, වෙනත් එකම කරුණක් වත් බුදුඇසට නො පෙනෙනබවය. (Bhikkhus, I do not see even one other thing on account of which unarisen dullness and drowsiness arise and arisen dullness and drowsiness increase and expand so much as discontent, lethargy, lazy stretching, drowsiness after meals, and sluggishness of mind). මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: 1.2.3 සූත්‍රය, පි. 44, EAN:1: 13.3 sutta, p. 37, සංයු.නි: (5-1): මහාවග්ග:බොජ්ඣංග සංයුත්ත: 2.6.1 ආහාර සූත්‍රය, පි. 230, ESN: 46: Bojjanghasamyutta: 51.1 Nutriment, p. 1787.

▼ ථිනමිද්ධය ප්‍රහාණය කිරීම: ථිනමිද්ධය ප්‍රහාණය කිරීමට උපකාරී ධර්ම: 1) ආරම්භක ධාතුව 2) නික්කම ධාතුව 3) පරාක්‍රම ධාතුව. ඒවා පිළිබඳව යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, ථිනමිද්ධය පහකිරීමට, මේ කරුණු හැර, වෙනත් එකම කරුණක් වත් බුදුඇසට නො පෙනෙනබවය. සටහන්: * ආරම්භක ධාතුව, නික්කම ධාතුව, පරාක්‍රම ධාතුව යනු පටන් ගත් කටයුත්ත කර ගැනීමට වීරිය ක්‍රමයෙන් බලවත්විමය. බලන්න: වීරිය. ** අලසබව හා නිදිමත මැඩ ගැනීමට උපකාරීවන අතිරේක කරුණු: සීමාවක් ඇතිව ආහාර ගැනීම; තමන් සිටිනා ඉරියව්ව (posture) මාරුකිරීම; ආලෝක සංඥාවට සිත යොමුකිරීම; එළිමහනේ සිටීම; කල්‍යාණ මිත්‍ර ආශ්‍රය; සුදුසු යහපත් ධර්ම කතාවේ යෙදීම, ආහාර ගන්නාවිට, කුසට තව කටවල් කිහිපයක් ගැනීමට හැකිවුවද ඒඅවස්ථාවේ ආහාර ගැනීම නැවත්වීමෙන් කුසට පහසුව ඇතිවේ. බලන්න: EAN:Notes: 33 & 34, p 581. මූලාශ්‍ර: අංගු.නි: (1 ):1 නිපාත: 1.2.8 සූත්‍රය, පි. 46 , EAN:1: 18.8 sutta, p. 37, සංයු.නි: (5-1 ): මහාවග්ග: බොජ්ඣංග සංයුත්ත: 2.6.1 ආහාර සූත්‍රය, පි. 230, ESN: 46: Bojjanghasamyutta: 51.1 Nutriment, p. 1787.

▼ භාවනාව වැඩිම පිණිස ථිනමිද්ධය ප්‍රහාණය කරගතයුතු ආකාරය: 1) භාවනාවේ යෙදී සිටිනවිට නිදිමත ඇතිවුවේනම්, භාවනාව පිණිස මුල් කරගත් සංඥාව-අරමුණ වෙනස් කිරීම 2) තමන් ඇසු, ඉගෙනගත් ධර්මය ගැන සිහිකිරීම-අවර්ජනා කිරීම 3) ධර්මය සජ්ජායනා කිරීම 4) දෙකන් හා ගාත්‍ර, අතින් පිරිමැදීම 5) අසුනින් නැගිට ගොස්, දියෙන් ඇස් පිරිමැදීම, සෑම දිසාවක් මැනවින් බැලීම, ආකශය හා තරකා දෙස බැලීම 6) ආලෝක සංඥාව පිහිටුවා ගැනීම. බලන්න: ආලෝක සංඥාව. 7) සක්මන් කිරීම- ඉදිරියට යනවිට හා ආපසු හැරී එනවිට, ඉදිරියේ ඇති දේ හා පසුපස ඇතිදේ පිලිබඳ සිතේ අවධානය ඇතිකරගැනීම (ඉන්ද්‍රිය පිහිටුවා ගැනීම- perceiving what is behind you and what is in front, with your sense faculties drawn in and your mind collected). එම කරුණු මගින් නිදිමත පහකර ගත නොහැකි නම්, අවදිවන වෙලාව සිතේ සටහන් කර කෙටි නින්දක් ගැනීම. අවදිවූ සැනෙන්, නිදිසැප යෙහි නොයෙදීමට, ථිනමිද්ධයට යට නොවීමට අදිටන් කර ගැනීම. සටහන: බුදුන් වහන්සේ මේ සූත්‍රය, මුගලන් තෙරුන්ට වදාළහ. මූලාශ්‍ර:අංගු.නි. (4 ): 7 නිපාත: 7.2.1.8 පචලායන සූත්‍රය, පි. 426, EAN: 7: 61.8 Dozing, p. 391.

▼ අරහත්වය පසක්කරගැනීම පිණිස ථිනමිද්ධය පහකරගැනීම අවශ්‍යවේ. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: අනාගාමීවග්ග: 6.2.2.2. අරහත්ඵල සූත්‍රය, පි.238.

▼ ථිනමිද්ධය, පහ කරගැනීම පිණිස ආලෝක සංඥාව ඇති කරගතයුතුවේ. බලන්න: ආලෝකසංඥාව.

ථප

▲ ථුප - Thupa: ථුප-ස්ථුප ලෙසින් පෙන්වා ඇත්තේ ආරියපුද්ගලයන් සිහිකිරීම පිණිස, ධාතු තැන්පත් කිරීමට ගොඩ නංවන ස්මාරකයන්ය. එලෙස ස්මාරකයන් ඉදිකිරිම පිණිස සුදුසු උතුමන් : බුදුන්වහන්සේ, පසේ බුදුන් වහන්සේ, තථාගත ශ්‍රාවකයෝ, සක්විති රජ. බලන්න: ස්ථුප. සටහන: ‘ථුපවංසය’ පැරණි සිංහල ග්‍රන්ථයේ, පැරණි ලංකාවේ ස්තුප ගැන විස්තර දක්වා ඇත. මූලාශ්‍රය:අංගු.නි: (2) 4 නිපාත:4.5.5.5. ථුපාරහ සූත්‍රය, පි.492.

ථම

▲ ථම්භය - obstinacy: ථම්භය යනු සිතේ ඇති තද බවය (අකීකරුබව), දහම් අවවාද ඇසීමට,: පිළිපැදීමට ඇති අකමැත්තය. මෙය උපකෙලෙසහයකි, මෙය අකුසලයකි, අරහත්වය පිණිස පහකරගතයුතු කරුණකි. බලන්න: අරහත්, මුරණ්ඩුබව, උපකෙළෙස.

ථර

▲ ථෙර-ථෙරි - Thera Theri: වැඩිහිටි භික්ෂූ භික්ෂුණියන් ථෙර ථෙරි ලෙසින් හඳුන්වයි. බලන්න: තෙර-තෙරි.

▲ ථෙර ගාථා ථෙරී ගාථා - Thera gatha Theri gatha : ථෙර ථෙරී ගාථා පාළිය, ත්‍රිපිටකයේ, ඛුද්ධක නිකායට අයත් 8 නි ග්‍රන්ථය වේ. බුදුන් වහන්සේගේ, ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින්, තමන් මගඵල ලබාගැනීම නිසා උපන් ප්‍රීතිය පළකිරීමට පැවසු උදාන, තමන් තුල ඇති උතුම් ගුණ ප්‍රකාශ කරන ගාථා, බුදුරජාණන් වහන්සේ ගේ ගුණ පවසන ගාථා, බුදුහිමියන් වෙතින් අසා දැනගත් ගාථා, ඒ ඒ අවස්ථාවන්හි ප්‍රකාශ කළ ගාථා මෙහි ඇතුලත්වේ. මේ සියලු ගාථාවන් එක්කොට ප්‍රථම සංගායනවේදී සජ්ජායනා කරන ලදී. තෙරුන් 264 කගේ ගාථා ථෙර ගාථා නිපාතයට ඇතුලත්වේ. තේරී ගාථා 73කි.බලන්න: ඛු.නි:ථෙර ථෙරී ගාථා.

▲ ථෙර නම් භික්ෂුව - Bhikkhu Threa: බලන්න: උප ග්‍රන්ථය:1.

ථල

▲ ථුල්ල තිස්සා මෙහෙණ - Thulla Tissa Meheniya: බලන්න: උප ග්‍රන්ථය:4.

▲ ථුල්ල නන්දා මෙහෙණ-Thulla Nanda Meheniya: බලන්න: උප ග්‍රන්ථය:4.