ක සහ ඛ කොටස්

ක කොටස:

කක, කච, කට, කඨ, කඩ, කඬ, කත, කධ, කන, කණ, කප, කබ, කම, කය, කර, කල, කළ, කළු, කව, කස, කෂ, කෂ, කහ

කක

▲ කකචූපම - The simile of the Saw :දෙපත් කැපෙන කැත්ත උපමාව යොදාගත්තේ, අනුන් කෙරහි තරහයෙන් (ක්‍රෝධය ඇතිව) වාසය නො කිරීමේ යහපත්බව පෙන්වා දීම පිණිසය. සොරුන් පිරිසක්, තමන්ගේ දෙපය, දෙපත් කියතකින් කපන විට වුවද, ඔවුන් කෙරේ හිත අනුකම්පාව ඇතිව, මෙත්තා සහගත සිත ඇතිව වාසය කළයුතු ය, එම අවවාදය නිතර සිහි කලයුතුය. එවැනි හික්මීම නොමැති තැනත්තා, බුදුන් වහන්සේගේ, අවවාද අනුසාසන පිළිගන්නා කෙනෙක් නොවේ. බලන්න:උපග්‍රන්ථය:5 සටහන: මෝලියඵග්ගුණ භික්ෂුවට අවවාද කිරීම පිණිස මේ සූත්‍රය දේශනාකරන ලදී. මූලාශ්‍ර: ම.නි: (1): 1.3.1 කකචූපම සූත්‍රය,පි.328, EMN:21: Kakacūpama Sutta-The Simile of the Saw, p. 209.

▲ කක්කට තෙර - Kakkaṭa Thera: බලන්න:උපග්‍රන්ථය:1

▲ කකුධ දේවපුත්‍ර-Kakudha Deva : බුදුන්වහන්සේ සාකේත නුවර, අඳුන්වනයේ මිගදායේ වැඩවසන සමයේ මේ දේවපුත්‍ර, උන්වහන්සේ බැහැදැකීමට පැමිණ, මෙසේ පවසා ඇත: “ලොව තණ්හාව තරණය කළ, ඇලුම් නැති, දුක්නැති, පිරිනිවී, පාප බහා තැබූ (බාහිතපාපී) මහණකෙනෙක්, ඒකාන්තයෙන්ම කලකින් දකිමි”. මූලාශ්‍රය: සංයු.නි:(1) සගාථවග්ග: දේවපුත්තසංයුත්ත: 2.2.8 කකුධ සූත්‍රය, පි.128.

▲ කකුසඳ බුදුන්- The Buddha Kakusanda :කකුසඳ බුදුන් වහන්සේ, ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි සම්මා සම්බුදුවරයෙකි. මූලාශ්‍ර: ඛු.නි:බුද්ධවංශ පාලි: 22: කකුසඳ බුදුන් වහන්සේ, පි. 235.

▼කකුසඳ බුදුන්, සම්මා සම්බෝධිය ලැබීම පිලිබඳ විස්තරය මේ සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග:අභිසමයසංයුත්ත: 1.1.7 කකුසඳ සූත්‍රය, පි.37,ESN:12: Nidanasamyutta: I The Buddhas: 7.7. Kakusandha, p. 617.

▼ කකුසඳ බුදුන්වහන්සේගේ අගසව් දෙනම: විධුර හා සංජිව තෙරුන්ය. බලන්න: මිනිස් ආයුෂ. මූලාශ්‍රය:සංයු.නි: (2) : නිදානවග්ග:අන්මතග්ග සංයුත්ත: දුග්ගතවග්ග: 3.2.10 වෙපුල්ල පබ්බත සූත්‍රය, පි.314.

▲කීකරුපුත්‍ර-Obedient son :පුතුන්අතුරින් කීකරු පුත්‍රයා අග්‍රය යි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග:දේවතාසංයුත්ත: 1.2.4 ඛත්තිය සූත්‍රය, පි.38, ESN:1: Devatasamyutta: 14.4 The Khattiya, p.73.

▲ කොකනදා දේවතාවිය-Kokanada Devi බුදුන් සරණ ගිය මේ දේවතාවිය, පජ්ජුන නම් වැස්සවලාහක දේවියගේ දියණියය. මෙහිදී, ඒ උත්තමිය බුදුන් වහන්සේගේ ධර්මය ගරුකරනබව පෙන්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: පජ්ජුන්තධිතු සූත්‍ර 2කි, පි. 78.

▲ කෝකාලික භික්ෂුව - Kokalika Bikkh :අගසව් දෙනමට, ආරිය උපවාදය කිරීම නිසා කෝකාලික භික්ෂුව,කර්මවිපාක පලදිමෙන්, මෙලොවදී බොහෝ දුක් වේදනා විඳ පදුම නිරයේ යළි උපත ලැබිය. බලන්න: ආරිය උපවාද. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාතය: 10.2.4.9 කොකාලික සූත්‍රය, පි. 332, EAN: 10: 89.9 Kokālika, p. 530, ඛු.නි: සුත්ත නිපාත: 3-10: කෝකාලික සූත්‍රය, පි. 220.

▲ කුක්කුල නිරය - Hell of Hot Embers: උණුඅළු නිරය මේ නමින්ද හඳුන්වයි. රූප වේදනා ආදී පංච උපාදානස්කන්ධයම ඇවිලගත් උණුඅළු රැසක්ය. බලන්න: නිරය, පංච උපාදානස්කන්ධය.

▲ කුක්කුච්ච - Uneasiness : වැරදි දේ කිරීම හා නිවැරදි දේ නොකිරීම නිසා සිතේ ඇතිවන අසහනකාරීබව මින් අදහස් කරයි. මෙය නීවරණයකි. බලන්න: නීවරණ.

▲ කුක්කුටාරාමය- Kukkutaramaya: මේ අරණ්‍යය, පාටලිපුත්‍ර නුවර (පැළලුප්නුවර-පැට්නා) පිහිටි බුදුන් වහන්සේ හා සංඝයා වැඩසිටි ආරාමයකි. බලන්න: පාටලිපුත්‍ර නුවර. බලන්න: සංයු.නි: (5-1) මහාවග්ග: මග්ගසංයුත්ත: විහාරවග්ග: කුක්කුටාරාම සූත්‍ර 3 කි.

කච

▲ කච්චාන මහා තෙර-Kachchana Thera: බලන්න:උපග්‍රන්ථය:1

▲ කච්චාන ගොත්ත තෙර-Kachchana Thera: බලන්න:උපග්‍රන්ථය:1

කජ

▲ කජඞනගලා තෙරණිය- Kajaṅgalā Thereniya: බලන්න: උප ග්‍රන්ථය:2

▲ කජඞන්ගලා නියම්ගම: Kajaṅgalā Niyangama :බුදුන් වහන්සේ මෙ නියම්ගමේ,මූඛෙලු වනයේ වැඩ වසන සමයේ මෙ සූත්‍රය වදාළහ. මූලාශ්‍රය: ම.නි: (3) 3.5.10 ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, පි.632.

▲ කුජ්ජුත්තරා උපාසිකා-Kujjuthtara upasika: බලන්න: උප ග්‍රන්ථය: 3

කට

▲ කටත්තා කම්ම-Katatta Karma: කටත්තා කම්ම යනු විපාක දීමට රැස්වී ඇති කර්මයන්ය. ගරුක, බහුල හා ආසන්න කර්ම මරණාසන්න යේදී විපාකදීම පිණිස නොපැමිණියේනම්, කටත්තා කර්මය ඵල දේ. බලන්න:කම්ම.

▲ කටුව-Thorn : භාවනාව වඩාගැනීමට අහිතකර ශබ්ද කටු වැනිය (ධ්‍යානයෝ ශබ්දකණ්ටකය). ජාන සම්පත් ලබාගැනීම අවහිර කරන කටු 10ක් පෙන්වාදුන් බුදුන් වහන්සේ වදාළේ: ‘රහතුන් කටු නොමැතිව වාසය කරන බවය’. මූලාශ්‍රය:අංගු.නි: (6) 10 නිපාත:යමකවග්ග: 10.2.3.2 කණ්ටක සූත්‍රය, පි.268.

▲ කටු වනය -The thorn bush :කයේ බොහෝ තුවාල ඇති මිනිසක් කටුවනයකට පිවිසේ. ඒ වනයේ ඇති විවිධ කටු සහිත ගස් ඔහුගේ තුවාල (වන) වලට ඇනිම නිසා ඔහුට බොහෝ දුක් වේදනා ඇති කරයි. එලෙසින්, අසංවර මහණ ගමකට ගිය විට ඔහු නිසා ගමේ වැසියන්ට අයහපත සිදුවන බව දැක්වීමට මේ උපමාව යොදාගෙන ඇත. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග:වේදනාසංයුත්ත: අසිවිසවග්ග:1.19.10 ඡප්පානක සූත්‍රය, පි.404.

▲ කටිස්සභ උපාසක-Katissabha Upasaka: බලන්න:උපග්‍රන්ථය:3

▲ කිටාගිරිය-Kitagiriya : කිටාගිරිය, කසීරටේ නුවරකි. කිටගිරි ආවාසය බුදුන් වහන්සේ ඇතුළු සංඝයා වැඩසිටි ස්ථානයකි. මෙහි සිටි සමහර සංඝයා, බුදුන් වහන්සේ, එකවෙල භෝජනය ගැන කරන ලද අවවාද පිලිනොගත් බව මෙහි විස්තර කර ඇත. බලන්න:උපග්‍රන්ථය:4. මූලාශ්‍රය: ම.නි:(2) 2.2.10 කිටාගිරි සූත්‍රය, පි. 252.

▲ කූටාගාරය-The Peaked House: කුටාගාරය (කුළුගෙය) ලෙසින් පෙන්වා ඇත්තේ මුදුන් මුල කුටයක් බඳු වහලක් ඇති ගෙයකටය. විසාලානුවර, මහාවනයේ-ආරණ්‍යයේ, ලිච්චවී රජදරුවන් සැදු කුටාගාර ශාලාවේ බුදුන් වහන්සේ හා සංඝයා වැඩසිටි බව සුත්‍ර දේශනා වන්හි පෙන්වා ඇත. මහා පරිනිබ්බාන සූත්‍රයේදී, බුදුන් වහන්සේ එම ශාලාවේ සංඝයා රැස්කොට, තමන්වහන්සේ තෙමසකින් පිරිනිවන්පාන බව වදාළහ. කුටගාරයේ වහලේ රිප්ප ආදිය මුදුන් වහලට නැඹුරුවී සිටින ලෙසින්, සප්ත බොජ්ඣංග ධර්ම වඩන මහණ නිවනට බරවී සිටින බව මේ උපමාවෙන් විස්තර කර ඇත. බලන්න: උපග්‍රන්ථය:5,6. සටහන්: * කුටාගාරය ගොඩනංවනවිට පළමුව යටගෙය ගොඩ නැංවියයුතුවේ, ඉන්පසු, උඩකොටස සදා ගතයුතුය. මේ උපමාව යොදාගෙන බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, දුක අවසන් කිරීම පිණිස පළමුව චතුසත්‍ය අවබෝධ කරගතයුතුබවය. එවිට, යහපත් ලෙසින්ම දුක කෙළවර කරගත හැකිවේ. ** ප්‍රඥා ඉන්ද්‍රිය, කූටය වේ, සෙසු ඉන්ද්‍රිය සතර පරාලවේ. ප්‍රඥා ඉන්ද්‍රිය ස්ථාවර වූවිට, සෙසු ඉන්ද්‍රිය ස්ථාවරවේ. බලන්න: සංයු.නි: (5-2): සච්චසංයුත්ත:12.5.4 කූටාගර සූත්‍රය, පි.338. මූලාශ්‍රය:සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත: 2.1.7 කූටාගාර සූත්‍රය, පි.186.

▲ කූටදන්ත බ්‍රාහ්මණ - Kutadantha Brhamin: බලන්න: උපග්‍රන්ථය:3

▲ කුටි පුජාකිරීම - Offering accommodation: බුදුන් වහන්සේ හා සංඝයාට වැඩ වාසය කිරීම පිණිස කුටි, නිවාස ආදිය පුජකිරිම පුණ්‍ය කම්මයකි, මෙලොව හා පරලොව සුවය පිණිස වේ. සටහන: ඛු.නි: ථෙර ථෙරි ගාථා හා අපදාන යන්හි පෙර වැඩසිටි බුදුවරුන්ට කුටි පුජා කිරීම නිසා ලැබුන මහාආනිසංස විස්තර කර ඇත.බලන්න: උපග්‍රන්ථය:1 හා 2.

▲ කැටකිරිල්ලි හා ගිජුලිහිණියා උපමාව - Simile of the quail & eagle: මඩේ හැසිරෙන කැට කිරිල්ල, වියලි බිමක හැසිරෙන්නේ නම්, පහසුවෙන්ම ගිජුලිහිණියා ට හසුවේ. එහෙත්, තමාගේ විෂයවූ මඩගොඩේ හැසිරේ නම්, ඌට ගිජුලිහිණියා මැඩගෙන, ආරක්ෂාව ලබා ගත හැකිය. එලෙස, පස්කම් ගුණයේ නො ඇලි සතර සතිපට්ඨානයේ (පිය උරුමය- බුදුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ) හැසිරෙන මහණහට, මරුගේ විෂයෙන් මිදිය හැකිය. බලන්න: ගෝචර භුමිය.මූලාශ්‍රය:සංයු.නි: (5-1): මහාවග්ග:සතිපට්ඨානසංයුත්ත:අම්බපාලි වග්ග: සකුනග්ඝී සූත්‍රය, පි.296.

කඨ

▲ කඨ තෙර - Kaṭa Thera: බලන්න: උප ග්‍රන්ථය:1

▲ කඨින චිවරය - Katina Robe: කඨින චිවරය යනු තෙමස් වස් විසු (වස්ස) භික්ෂු, භික්ෂුණියන් හට අනුමතවූ, කැපවූ සිවූරුය. සටහන: * මෙය විනයට අදාළය. මේ ඛන්ධකයේ කඨින හා කඨින චිවර පිලිබඳ විස්තරාත්මකව දක්වා ඇත. ** වසරකට එක් වරක් පමණක් සිදුකරන කඨින සිවුරු පුජාව අනුසස් දෙන පිංකමකි, බොදුබැතිමතුන්හට කළහැකි ශ්‍රේෂ්ඨ දානමය පිංකමකි. වස් අවසානයේදී සිදුකරන මේ පිංකම බොහෝ ආනිසංස ලබා දෙයි. අටමහා කුසල් අතර මෙය ප්‍රධානවේ. මූලාශ්‍ර: වින.පි: මහාවග්ගපාලි 2 : 7 කඨිනඛන්ධක, පි.121.

▲ කඨිම්භ තෙර -Kaṭimbha Thera: බලන්න: උප ග්‍රන්ථය:1

▲කඨිස්සංඝ තෙර- Kaṭissaṅga Thera: බලන්න: උප ග්‍රන්ථය:1.

කඩ

▲ කඩුවකින් පහරදීම-Attacked by a sword :සක්කාය දිට්ඨිය නැතිකර ගැනීමට අප්‍රමාදව කටයුතු කිරීමෙ අවශ්‍ය බව මේ උපමාවෙන් පෙන්වා ඇත. බලන්න: උපග්‍රන්ථය5. මූලාශ්‍ර: සංයු.නි:(1 ):සගාථවග්ග: දේවතා සංයුත්ත: 1.3.1 සත්ති සූත්‍රය, පි. 50, ESN:1: Devatasamyutta: 21.1 A Sword, p. 83.

▲ කොඩිය-Flag :කොඩිය, ධජය ලෙසින්ද පෙන්වා ඇත. රජවරු, ආගමික නායකයන්, ප්‍රදේශ නායක ආදීන් තමන්ගේ සංකේතය ලෙසින් කොඩිය භාවිතා කර ඇත. බලන්න: සංකේත.

කඬ

▲කඞ්ඛාරේවත තෙර- Kaṅkhārevata Thera: බලන්න:උපග්‍රන්ථය:1 කත

▲ කතාව- Talk: කතාව වාචික කර්මයකි. කතාවෙන් කුසල හෝ අකුසල ඇතිවේ. බොරුකීම, කේලාම්කීම, සැරවැර -පරුෂ වචන කතාව, හිස්කතා (සම්ප්‍රප්ඵලාප) නිසා අකුසල ඇතිවේ. සත්‍ය කතාකිරීම, සමගිය ඇතිකිරීමට කතා කිරීම, කාරුණික ලෙසින් කතාකිරීම හා ධර්මයට අනුකූලවව කතා කිරීම කුසලය බව බුදුන් වහන්සේ පෙන්වා ඇත.

▼හිස් නිෂ්ඵල කතා ආධ්‍යාත්මික මගට බාධාවකි: බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ හිස් දේ කතා කිරීම වැඩදායක නොවන බවය, බඹසර ජිවිතයට හිතකර නොවන බවය. ධර්ම මාර්ගයේ යන කෙනෙක් කතා කරන්නේ නම් ඔහු දුක හා දුකෙන් මිදීම- චතු සත්‍ය ගැන කථා කළයුතුවේ. එය, මග බඹසරට, විමුක්තිය ලැබීමට උපකාරිවේ. බලන්න: ආරිය තුෂ්නිම්භූත. සටහන: මේ සුත්‍රයේ 32 ක් වූ හිස් නිෂ්ඵල කතා (තිරිසන් කතා- තිරචඡානකතා) විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සච්චසංයුත්ත: 12.1.10 තිරච්ඡානකථා සූත්‍රය, පි. 292, ESN: 56: Sacchasamyutta: 10.10 Pointless Talk, p. 2274.

▼සුදුසු හා නුසුදුසු කතා: සුදුසු කතා ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ පැවිදි ජීවිතයට ආදාළ කතාය, දශකථා වස්තුය: මහණෙනි, මේ දසකතා පිළිබඳව ඔබ කතාබහ කරන්නේ නම්, ඔබගේ අසිරිය, මහත්ආ නුභාව ඇති සඳ හිරු අභිබවා පැතිර යනු ඇතයයි බුදුන් වහන්සේ වදාළහ: 1 අල්පබව, 2 සන්තුෂ්ටිය, 3 හුදකලාවිවේකය, 4 වෙනත් අය සමග නොබැඳීම, 5 විරිය ඇරඹීම,6 සීලය, 7 සමාධිය, 8 ප්‍රඥාව, 9 විමුක්තිය, 10 විමුක්ති ඥාණදර්ශනය. (Talk on: fewness of desires, contentment, solitude, not being bound up with others, arousing energy, virtuous behavior, concentration, wisdom, liberation, knowledge and vision of liberation). නුසුදුසු කථා, තිරිසන්කථා ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත. මාර්ගයේ ගමන් කරනවිට එම කතා වලින් වැලකීම (විශේෂයෙන් සංඝයාට) ඵල දායකය: රජවරු, සොරු, ඇමතිවරු, යුදසේනා, උවදුරු බිය, යුද්ධ, අහාර, පාන, වස්ත්‍ර, ශයන, මල්දම්, සුවඳවිලවුන්, ඥාතින්, වාහන, ගම්, නගර, ජනපද, ස්ත්‍රීන්, වීරයන්, වීථියේ-සිදුවන, ලිඳළඟ, නැතිවූඅය, විවිධ දේ, ලෝකය ගැන, මුහුදු ගැන, ඇතිවීම-ඉතිභවා භව, යන කතා. (talk about kings, thieves, ministers, armies, perils, wars; food, drink, garments, beds; garlands, scents; relatives, vehicles, villages, towns, cities, countries; women ,heroes; street talk, talk by the well; about the departed; miscellaneous talk; speculation about the world and the sea; about becoming this or that). මූලාශ්‍ර:අංගු.නි:( 6):10 නිපාත: යමක වග්ග, 10.2.2.9. පඨම කථාවත්ථු සූත්‍රය, පි.258, EAN: 10: Pairs.69.9. Topics of Discussion, p. 520.

▼ කතාව කලයුතු යහපත් ආකාරය: කෙනෙක් කතා කරන්නේ නම් යහපත් ලෙසින් කතා කලයුතුවේ. ඒ පිළබඳව බුදුන් වහන්සේ ආකාර 5 ක් පෙන්වා ඇත: 1.නිසිකාලයේදී- සුදුසු අවස්ථාවේ දී පමණක් කතාකිරීම 2. සත්‍ය පමණක් කතා කිරීම 3. මුදු වචනයෙන් පමණක් කතාකිරීම 4 තව කෙනෙකුට යහපත සැලසෙන ලෙස කතා කිරීම 5. මෙත්තා සහගත සිතින් පමණක් කතා කිරීම. එම භාෂිතය, සුභාෂිතයවේ. බලන්න: සුභාෂිතය (speak at a proper time, not at an improper time, speak truthfully, not falsely, speak gently, not harshly, speak in a beneficial way, not in a harmful way, speak with a mind of loving-kindness, not while harboring hatred) මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.1.5.4 ,කුසිනාරා සූත්‍රය, පි. 169, EAN:10: 44.4 Kusinārā, p. 510 හා අංගු:නි: (3): 5 නිපාත: සොනවග්ග: 5.4.5.8 සුභාෂිත වාචා සූත්‍රය, පි.414.

▼ අසත්‍ය කතා කිරීම අකුසලයකි: එක් සමයක කෝකාලික භික්ෂුව, අගසව් දෙනම පිළිබඳව අසත්‍ය ප්‍රකාශයක් පැවසිය ඒ බව දැනගත් තුදු බ්‍රහ්මරාජයා, අගසව් දෙනම ගැන එවැනි වැරදි ප්‍රකශ නො කරන්න යයි ඒ භික්ෂුවට අවවාද කළේය. ඔහු එම අවවාදය නො පිළිගත් නිසා, බ්‍රහ්ම තුදු මෙසේ පැවසුවේය: “මිනිසෙක් මෙලොව උපත ලබන්නේ මුවේ පොරවක් ඇතිවය. ඔහු අසත්‍ය කතා කරනවිට, ඒ පොරවෙන් තමාම කපාගනී- නින්දා කලයුතු අය පසසමින්, ගරු කලයුතු අයට ගරහමින් වැරදි ලෙස කතා කිරීමේ අකුසලය ඔහු නිරයට ගෙනයයි”. සටහන: ආර්ය උපවාදය නිසා කොකාලික භික්ෂුව නිරයේ යළි උපත ලැබිය. මූලාශ්‍ර: අංගු.නි: (6 )10 නිපාත: 10.2.4.9. කොකාලික සූත්‍රය,පි.331, EAN: 10: 89.9. Kokalika, p. 530.

▼ ප්‍රසංශා කතා: දස කතා කරුණු තමා තුළ ඇතිකරගෙන ඒවා ගැන සෙසු අයට වර්ණනා කිරීම මගින් ප්‍රසංශාව ඇතිවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: ප්‍රසංශාව. මූලාශ්‍ර:අංගු.නි: ( 6): 10 නිපාත: යමක වග්ග, 10.2.2.10. දුතිය කථාවත්ථු සූත්‍රය, පි.260, EAN: 10: Pairs: 69.9. Topics of Discussion -2, p. 520.

▲කතපුඤ්ඤ-Kathapunna: මින් පෙන්වා ඇත්තේ පින්කලබවය. පින්කලබව මංගල කරුණක් යයි මංගල සූත්‍රයේ පෙන්වා ඇත: “...පුබ්බේච කතපුඤ්ඤතා...” . බලන්න: මංගල සූත්‍රය.

▲ කතමොරක තිස්ස භික්ෂු-bhikkhu Katamorakatissaka : මේ භික්ෂුව, දේවදත්ත භික්ෂුව හා එක්ව සංඝභේදය කිරීමට සහායවී ඇත. ඒ භික්ෂුවගේ අවගුණ, පච්චේක බ්‍රහ්ම සුද්ධාවාස, බුදුන් වහන්සේට පැවසු අන්දම මෙහි පෙන්වා ඇත: ඔහු අවකුජ්ජපඤඤ අඥානයෙක්ය. බලන්න: ESN: note: 401,p.553. මූලාශ්‍ර: සංයු.නි: (1) බ්‍රහ්ම සංයුත්ත: 6.1.8 කතමොරක තිස්ස සූත්‍රය, පි.294, ESN: 6: Brhmasamyutta: 8.8 Tissaka, p.338.

▲කෘත ඥානය- krutha Nana :කෘත ඥානය යනු චතුසත්‍ය අවබෝධය පිණිස කළයුතු දේ නිම කරගත්තේය යන නුවණ ඇතිවීමය.බලන්න: චතුරාර්ය සත්‍ය.

▲ කෘත්‍ය ඥානය- kruthya Nana: කෘත්‍ය ඥානය ලෙසින් පෙන්වා ඇත්තේ චතුසත්‍යයේ, එක් එක් සත්‍ය පිළිබඳව අනුගමනය කළයුතු දේ කිරීම: දුක කුමක්ද යන අවබෝධය, දුක ඇතිවෙනනේ කෙසේද? තණ්හාව නිසා දුක ඇතිවේ යන අවබෝධය, දුක නැතිවෙන්නේ කෙසේද? තණ්හාව ප්‍රහිණය කිරීමෙන් දුක නැතිවේ යන අවබෝධය, දුක නැතිකර ගැනීමේ මග කුමක්ද? අරියඅටමගය යන අවබෝධය.බලන්න: චතුරාර්ය සත්‍ය.

▲ කෘතඥ හා අකෘතඥ- පාලි: කතඤ‍්ඤ හා අකතඤ‍්ඤ- grateful & ungrateful: ධර්මයට අනුව කෘතඥබව ලෙසින් පෙන්වා ඇත්තේ, වෙනත් කෙනෙක් කරන ලද උපකාර ආදිය යහපත් ලෙසින් සිහියේ තබාගෙන, අවශ්‍යතන්හි ප්‍රති උපකාර කිරීමය. මෙය සත්පුරුෂ ගතියකි. අකෘතඥබව යනු වෙනත් කෙනෙක් කරන ලද උපකාර ආදිය සිහිපත් නොකිරීමය. අවශ්‍යතන්හි ප්‍රති උපකාර නොකිරීමය. මෙය අසත්පුරුෂ ගතියකි. බලන්න: සත්පුරුෂ හා අසත්පුරුෂ, අසත්පුරුෂභූමි හා සත්පුරුෂභූමි. අකෘතඥ හා කෘතඥ. සටහන: මංගල සූත්‍රයේ: කතඤ්ඤුතා – කළගුණ දන්නා බව මංගල-සුභ කරුනක් බව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.4.1 සූත්‍රය, පි. 157 , EAN: 2: 32.11 Sutta, p.61 .

▲කෘතවේදී- grateful: කෘතවේදී ලෙසින් පෙන්වා ඇත්තේ, තමන් වෙනුවෙන් වෙනත් කෙනක් කල දේ පිලිබඳ ස්තුති වීම. මෙය කෘතඥ වීමය, සත්පුරුෂ ගුණයකි. බලන්න: කෘතඥ.

▲කාතියානි උපාසිකා-Kathiyani upasika: බලන්න: උපග්‍රන්ථය:3 කධ

▲ ක්‍රෝධය: පාලි: කොධො -anger/ill will : අන් අය පිළිබඳව සිතේ ඇති කෝපය, කිපීම,එදිරිය- ක්‍රෝධය වේ. ක්‍රෝධය සිත කෙලෙසන අකුසලයකි, දුගතිය ඇති කරයි, සාවද්‍ය ධර්මයකි, උපකෙලෙසයකි. අරහත්වය ලබා ගැනීමට පහකරගතයුතු කරුණකි.බලන්න: උපකෙළෙස, සල්ලේඛපරියාය, අරහත්. සටහන: මනසින් සිදුකරණ අකුසලයක්වූ (මනෝකම්ම) ක්‍රෝධය නැතිකර ගැනීමට, නිතර යෝනිසෝමනසිකාරයෙන් බැලිය යුතුය. මූලාශ්‍ර:අංගු.නි. (6 )10: 10.1.3.4. මහා චුන්ද සුත්‍රය, කාය සුත්‍රය, පි. 100.

▼ බුදුන් වහන්සේ, ක්‍රෝධය ඇති පුද්ගලයකුගේ ස්වභාවය මෙසේ පෙන්වා ඇත: “කෙනෙක් තරහ සිතින් සිටියි; ‘මේ සත්වයෝ නැසෙත්වා! බන්ධනයට පත්වේවා! කපා දමත්වා!, විනාශවීයත්වා! සහමුලින්ම නැතිවේවා!’ යයි ඔහු සිතින් සිතයි” මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: ජානුසොණි වගග: 10.4.2.10: චුන්ද සූත්‍රය, පි.508, EAN:10: Jāṇussoṇī: 176.10: Cunda, p.553.

▼ ක්‍රෝධය විශිෂ්ඨ ඥානයෙන් අවබෝධකර දුගතියෙන් මිදිය යුතුය. ක්‍රෝධය සම්මා ප්‍රඥාවෙන් අවබෝධ කරගත් පුද්ගලයෝ කිසිවිට මේ ලෝකයට පෙරළා නොඑන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. “මහණෙනි, එක් කෙළස් ධර්මයක්...ක්‍රෝධය පහකරගන්නේ නම්, මම ඔබට අනාගාමී භාවය පිණිස කැපවෙමි” . මූලාශ්‍ර: ඛු.නි:ඉතිවුත්තක: 1.1.4 ක්‍රෝධ සූත්‍රය,පි.348, 1.2.2. ක්‍රෝධපරිඤඤා සූත්‍රය, පි. 356.

▼ දමනයවී, සමදීවී ඇති, යහපත් ලෙසින් මිදුන, තාදී ගුණ -උතුම්ගුණ ඇති රහතුන් නොකිපෙන බව මෙහි දක්වා ඇත. යමෙක් ක්‍රෝධය පල කරනවිට එය ඉවසාසිටීමෙන් ඔහු දෙදෙනාටම යහපත ඇතිකරයි. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග:බ්‍රාහ්මණසංයුත්ත:7.1.2 අක්කොස සූත්‍රය, පි.314.

▼ එක්සමයක සක්දෙවිඳු බුදුන් වහන්සේගෙන් මෙසේ ඇසුහ: “කුමක් දවා (ඣත්‍වා) සුවසේ සිටීද?...” .බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “...ක්‍රෝධය දවා සුවසේ වෙසෙයි...ශෝක නොකරයි...විෂවූ මුල ඇති මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ආරියෝ පසසති.” මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: සක්ඛසංයුත්ත:11.3.1 ඣත්‍වා සූත්‍රය, පි.448 හා දේවතා සංයුත්ත: 1.8.1 සූත්‍රය, පි. 102, ESN:11: Sakka samyutta: 21.1 Having slain, p.493 & ESN:1: Devatasamyutta: 71.1 Sutta, p. 152.

▼ක්‍රෝධය මිනිසුන් විනාශ කරන නිසා, ක්‍රෝධයට ජය ගැනීමට ඉඩ නොදිය යුතුය යයි සක් දෙවිඳු පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: සක්ඛසංයුත්තය: 11.3.5 අක්‍රෝධ සූත්‍රය, පි. 452, ESN: 11: Sakkasamyutta: 25.5 Non-anger, p. 497.

▼ සබ්‍රහ්මචාරින් හා උතුම් බුද්ධ ශ්‍රාවකයන්හට ක්‍රෝධ පරිභව කරන අය ඒකාන්තයෙන්ම දුගතියට යයි. එමනිසා කිසිවෙකුට හිංසා නොකර සිටීමෙන් අනුන්හටද, තමන්හටද ආරක්ෂාව ලැබේ යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: මේ සූත්‍රය දේශනා කලේ ධම්මික භික්ෂුව ගේ අයහපත් හැසිරීම පිලිබඳවය. බලන්න: උපග්‍රන්ථය:1. මූලාශ්‍ර: අංගු.නි: (4) : 6 නිපාත:ධම්මිකවග්ග: 6.1.5.12 ධම්මික සූත්‍රය,පි.160, EAN:6: 54.12 Dhammika, p.343.

▼ අතිරේක සූත්‍ර මූලාශ්‍ර: අංගු.නි: 1 නිපාත: ක්‍රෝධවග්ග, අංගු.නි: 2 නිපාත: ක්‍රෝධගරු සූත්‍ර 2, අංගු.නි: 4 නිපාත: කොධන සූත්‍රය, ධම්මපද: ක්‍රෝධවග්ග.

▼ වෙනත් මුලාශ්‍ර:: 1. “අනුන්ට බණින තර්ජනය කරන පහරදෙන අනුන් මරණ වස්තුව විනාශකරන, සමහරවිට තමාගේ වස්තුව පවා විනාශකරන, රෞද්‍ර, විරුද්ධ ස්වභාවය ක්‍රෝධයය. බලවත් ක්‍රෝධය මිනිසා උමතු කරයි. ක්‍රෝධය මහාසාවද්‍යවේ. ක්‍රෝධය නිසා ඇතිවන පව් විපාක නැතිකරගැනීම අපහසුය. (දෙමාපියන් මැරීම ආදිවූ). මහා අනර්ථකාරිවු ක්‍රෝධය නිවසට ඇතුල්වූ සර්පයෙක් මෙන් වහා දුරුකරගත යුතුය”. කෙලෙස් එක්දහස් පන්සියය, පි. 80, රේරුකානේ චන්දවිමල මහානාහිමි, 2008. 2. “ මෙය ව්‍යාපාදයට වඩා ප්‍රබල හා බරපතළ කෙළෙසකි. බුදුරජාණන් වහන්සේ “ක්‍රෝධ සිත” උපමා කර ඇත්තේ දණ්ඩෙන් පහර කෑ සර්පයෙකුට නැතහොත් ගින්නටය. ඉන් ප්‍රකට වන්නේ ගින්න තමාව මෙන්ම අන් අයවත් පීඩාවට පත් කරනවා වගේ ක්‍රෝධයත් ක්‍රියාත්මක වන බවයි. සිතේ ඇති වන ක්‍රෝධය කායිකව ප්‍රකට වන ආකාරය මොනතරම් විචිත්‍රද? මුහුණ රතු වෙනවා, දහඩිය දමනවා, මස් පිඩු නලියනවා, ප්‍රසන්නතාව අහිමි වෙනවා, පුද්ගලයා නොසන්සුන් කරනවා. ව්‍යාපාදයේ ඉදිරි පියවරක් වන ක්‍රෝධය නිසා අසත්පුරුෂයෝ අස්ථානයේද කිපෙනවා. තම නොසැලකිල්ල නිසා අනතුරක් සිදු වුවත් ක්‍රෝධයෙන් ඊට ප්‍රතිචාර දැක්වීම ක්‍රෝධ සිතැත්තාගේ ස්වභාවයයි. දිනමිණ: අන්තර්ජාල ලිපිය: http://archives.dinamina.lk/2012/08/08/_art.asp?fn=a1208082

කන

▲ කන්දරක පරිබ්‍රාජක-Kandaraka Paribrajaka : චම්පා නුවර ගහපතියෙක් වූ මොහු අන්‍යආගමිකයෙකි, බුදුන් සරණ ගිය පෙස්ස හස්ථාරෝහ පුත්‍රයාගේ මිත්‍රයෙකි. මෙතෙම, බුදුන් වහන්සේ ගැන පැහැදී සිටි කෙනෙක් බව මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: ම.නි: (2) 2.1.1. කන්දරක සූත්‍රය,පි.18.

▲ කාන්තාව-Woman : කාන්තාව-මාගම-ස්ත්‍රිය-කුලදුව-පතිනිය ආදී ලෙසින් සූත්‍ර දේශනාවල විස්තර කර ඇත. බුදුන් වහන්සේ සරණගිය උතුම් කාන්තාවන් පිලිබඳ විස්තර පිණිස බලන්න: උපග්‍රන්ථය:2, 3 සටහන්: සංයු.නි: (4) සළායතනවග්ග: මාතුගාමසංයුත්තයේ: කාන්තාවන්ගේ යහපත් හා අයහපත් බව පෙන්වා ඇත. ** අංගු.නි: (2) 4 නිපාත: අපන්නකවග්ග:4.2.3.10 කම්බෝජ සූත්‍රයේ කාන්තවන් ගේ අවගුණ පෙන්වා ඇත.

කණ

▲ කණ්ටකීවනය- Kantaki grove: සාකේත නුවර අසල පිහිටි කණ්ටකීවනය, සංඝයාට කැපකල වනයකි. මූලාශ්‍රය: සංයු.නි: (5-2): මහාවග්ග: අනුරුද්ධසංයුත්ත: කන්ටකී සූත්‍ර 3කි, පි.94.

▲ කණ්ණකත්ථල මිගදාය- Kannakathtala deer park: කොසොල් දනව්වේ, උජුකා රටපිහිටි මේ වනය- මුව වනය, බුදුන් වහන්සේ හා සංඝයා වාසය කල ස්ථානයකි. මූලාශ්‍රය: ම.නි: (2): 2.4.10 කණ්ණකත්ථල සූත්‍රය, පි.578.

▲ කණ්හධර්ම-Unwholesome: මෙයින් පෙන්වා ඇත්තේ අකුසල ධර්මයන්ය: පාපී ධර්ම, කෘෂ්ණධර්ම-කළුධර්ම ගැනය. අහිරිකය හා අනොත්තප්ප (පවට ලජ්ජා නොවීම හා භිය නොවීම) කණ්හධර්ම වේ. මූලාශ්‍රය:අංගු.නි: (1) 2 නිපාත: 2.1.7 කණ්හ සූත්‍රය, පි.140.

▲ කණ්හ මග්ග - Unwholesome way : කණ්හ මග්ග -කළුමග නම් අකුසල මගය, මිථ්‍යාදිටිට්‍ය ඇති වැරදි මගය. මූලාශ්‍රය:අංගු.නි: (6) 10 නිපාත:ආරියමග්ග වග්ග: 10.4.4.2 කණ්හ මග්ග සූත්‍රය, පි.536.

▲ කණ්හසප්ප- Black snake: කණ්හසප්ප යනු කළු නයාය. එම සර්පයාට ආදීනව ඇත: අපවිත්‍රබව, දුගඳබව, භියකරුබව (සභිරුකය), අනතුරු ඇතිකරයි (ප්‍රතිභය), මිත්‍රද්‍රෝහීබව, කිපෙනසුළුබව, වෛර බඳිනබව, ඝෝරවිෂ ඇතිබව, දිව දෙකක් ඇතිබව. එවැනි ගති ඇති කාන්තාව- මාගම ද මේ ලෝකයේ ඇතිබව මෙහි දක්වා ඇත. සටහන: දිවදෙක යනු කේලාම්කීමය. මූලාශ්‍රය:අංගු.නි: (3) 5 නිපාත: දීඝචාරිකා වග්ග: කණ්හසප්ප සූත්‍ර 2කි, පි.445.

▲ කුණ්ඩධාන තෙර -Kundadana Thera: බලන්න:උපග්‍රන්ථය:1

▲කුණ්ඩලිය පරිබ්‍රාජක- Kundaliparibrajaka: බලන්න:උපග්‍රන්ථය:3

▲කොණ්ඩඤඤ බුදුන් - The Buddha Kondanna: ගෝතම බුදුන්ට පෙර වැඩසිටි මේ බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. බලන්න:ඛු.නි: බුද්ධවංශ පාලි:2: කොණ්ඩඤඤ බුදුන්වහන්සේ.

▲ කොණාගමන බුදුන්-The Buddha Konagamana: ගෝතම බුදුන්ට පෙර වැඩසිටි මේ බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. බලන්න:ඛු.නි:බුද්ධවංශ පාලි:23: කොණාගමන බුදුන්වහන්සේ.

▼කොණාගමන බුදුන් වහන්සේගේ අගසව් දෙනම: භිහියෝස තෙර, උත්තරතෙර. බලන්න: මිනිස් ආයුෂ. මූලාශ්‍රය:සංයු.නි: (2) : නිදානවග්ග:අන්මතග්ග සංයුත්ත: දුග්ගතවග්ග: 3.2.10 වෙපුල්ල පබ්බත සූත්‍රය, පි.314.

▼ ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි කොනාගමන බුදුන් වහන්සේ ගේ සම්බෝධිය පිලිබඳ මෙහි විස්තර කර ඇත. මූලාශ්‍රය:සංයු.නි: (2): නිදානවග්ග: අභිසමයසංයුත්ත: 1.1.8 කොනාගමන සූත්‍රය, පි.37, සංයු.නි: (2) : නිදානවග්ග:අන්මතග්ග සංයුත්ත: දුග්ගතවග්ග: 3.2.10 වෙපුල්ල පබ්බත සූත්‍රය, පි.314.

කප

▲ කපය-aeon : කපය -කප්ප-කල්පය යනු ඉතා දීර්ඝ කාලසිමාවක්ය. බලන්න: කල්පය.

▲ කපටිබව හා කපටිනැතිබව : පාලි: සාඨෙය්‍යං -craftiness & non- craftiness: කපටිබව: වංචාව, ප්‍රෝඩාව, කෛරාටිකබව ලෙසින්ද හඳුන්වයි. මෙය අකුසලයකි, දුගතියට ගෙන යයි. කපටිනැතිබව කුසලයකි, ආධ්‍යාත්මික මග වඩා ගැනීමට උපකාරවේ. බලන්න: උප කෙලෙස, සල්ලේඛපරියාය, අනවද්‍ය ධර්ම හා සාවද්‍ය ධර්ම.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “සාඨෙය්‍ය කියන්නේ කෛරාටික කමයි. මිනිස් ලෝකයේ මෙන්ම වෙළඳ ලෝකයේද මෙය බහුලව දැක්ක හැකිය. ප්‍රමිතියෙන් අඩු දේ හොඳ භාණ්ඩ හැටියටත් කල් ඉකුත් වූ දේ කූට ක්‍රමවලින් නැවත සකස් කරමිනුත් අලෙවි කරන්නේද මෙබඳු අයයි. මෙබඳු අයගේ දිවි ගෙවෙන්නේ වංචාවෙන්. විවිධ අසත්‍යදේ ප්‍රකාශ කරමින් අන් අය මුලා කරවයි...”: දිනමිණ: අන්තර්ජාල ලිපිය: http://archives.dinamina.lk/2012/08/08/_art.asp?fn=a1208082 2. “ ලාභසත්කාර අසාවෙන් තමා තුළ නැති ගුණ ඇතැයි හැඟවීම සාඨෙය්‍ය නම්වේ. උදා: දුස්සිලව හිඳ සිල්වතෙක් යයි පෙන්වීම. මායාව හා සාඨෙය්‍ය යන මේ දෙක තරමක් එකිනෙකට සමානය”. කෙලෙස් එක්දහස් පන්සියය: පි. 90, රේරුකානේ චන්දවිමල මහානාහිමි, 2008.

▲ කපිලවස්තු නුවර-Kapilawastu: කිඹුල්වත් නුවර ලෙසින්ද පෙන්වා ඇත. ගෝතම බුදුන් වහන්සේ, තම පියාවූ සුද්ධෝදන රජ හා පවුලේ පිරිස සමග ගිහිකල වාසය කළ නුවරය. මෙය ශාක්‍ය දනව්වේ පිහිටා ඇත. බුදුන් වහන්සේ වෙත පැවිදිවූ බොහෝ සංඝයයා, උපාසක උපාසිකා මෙ නුවරින් පැමිණි පිරිස බව සූත්‍ර දේශනා වල දක්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:1,2,3.

▲ කප්ප මානවක-Kappa manawaka: බලන්න: උපග්‍රන්ථය:3

▲ කප්ප මානවක තෙර -Kappa manawaka Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ කාපටික භාරද්වාජ බ්‍රාහ්මණ-Kapatika Brahamin: බලන්න: උපග්‍රන්ථය:3

▲ කපුටා-crow: කපුටා, කවුඩා, කාක (කාක්කා) ලෙසින්ද දක්වා ඇත. කපුටාට අවගුණ 10ක් ඇත. එම අවගුණ ඇති පාපී සංඝයා ද සිටින බව මෙහි විස්තර කර ඇත.බලන්න: සංඝයාගේ පාපී ගුණ ,කපුටා උපමාව:උපග්‍රන්ථය:5: මූලාශ්‍ර: අංගු.නි: (6 ) 10 නිපාත, ආකඞඛ වග්ග, 10.2.3.7. කාකසුත්‍රය,පි.292, EAN:10: III-77.7. The Crow, p. 525.

▲ කිප්පාභින්ඥා- Kippabhinna: කිප්පාභින්ඥා යනු අභිඥාව ඉතා ඉක්මනින් සාක්ෂාත් කර ගැනීමය- ශිග්‍රයෙන් ධර්මය වටහාගැනිම. බුදුන් වහන්සේගේ සසුනේ ක්‍ෂණික අභිඥා ලත් භික්ෂුන් අතරෙන් අග්‍ර බාහිය දාරුචිරිය රහතුන්ය, ක්ෂණික අභිඥා ලැබූ භික්ෂුණියන් අතරෙන් අග්‍ර: භද්‍රා කුණ්ඩලකේසි තෙරණිය. බලන්න: උපග්‍රන්ථය:1,2, අභිඥා.

කබ

▲ කබලිංකආහාර- physical food: උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිස අවශ්‍ය ආහාර 4 න් එකකි. බලන්න: ආහාර, සිව් පෝෂණය.

කම

▲ කම්ම - volition: කම්ම-කර්මය යනු, කයෙන්, වචනයෙන් හා සිතින් (තුන්දොරින්) කරණ යහපත් හෝ අයහපත් ක්‍රියාවන්ය- චේතනාය. ඒවා මගින් යහපත් හෝ අයහපත් විපාක ඇතිවේ. යහපත් විපාක ගෙන දෙනනේ කුසලකම්මය, අයහපත් විපාක ඇති කරන්නේ අකුසල කම්ම මගින්ය. කම්මය, සිතින් ඇතිකරන චේතනාය. බලන්න: කුසල අකූසල. සටහන්: * යහපත් හා අයහපත් කම්ම ඒවායේ විපාක, ම.නි. මහාකම්ම විභංග සූත්‍රයේ හා චූළකම්ම වීභංග සූත්‍රයේ විස්තරාත්මකව පෙන්වා ඇත. ** බලන්න: EAN: note: 2180, p. 684. ** කම්ම පිලිබඳ විස්තර පිණිස බලන්න:ඛු.නි: පටිසම්භිදා:1:කම්ම කථා. ** අයහපත් කම්ම පාපී ක්‍රියාය. බලන්න:අකුසල. ** ඉන්ද්‍රිය යනු කර්මය දක්වන ස්වභාවය ය. බලන්න:ඉන්ද්‍රිය. ශබ්දකෝෂ: පා.සි.ශ: පි.244: “කම‍්ම: කර්මය, ක්‍රියාව, සිතිවිල්ල, යම් ක්‍රියාවක් කිරීමට සිතීම... කම‍්මක‍්ඛය: කර්මය ක්‍ෂයවීම”.. B.D: p.77: ‘Karma-Kamma: Actions…wholesome or unwholesome volitions…and their /concomitant mental factors causing rebirth and shaping the destiny of beings…’.

▼ බුදුන් වහන්සේ චේතනාව, කර්මය ලෙසින් වදාළහ. කෙනක්, සිතින් සිතා, කයෙන්, වචනයෙන් හා මනසින් කර්ම කරති. “චේතනා අහං භික‍්ඛවෙ කම‍්මං වදාමි, චෙතයිත්‍වා කම‍්මං කරොති කායෙන වාචාය මනසා...” ( It is volition, bhikkhus, that I call kamma. For having willed, one acts by body, speech, or mind.) මූලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාත:නිබ්බෙදික සූත්‍රය, පි.220, EAN:6: 63.9 Penerative, p.355.

▼කම්ම කෙරෙහි නිබිද්දාව ඇතිකරගැනීම- (කම්ම නිරෝධ ප්‍රතිපදාව) ඒ සඳහා ඇති පිළිවෙත 6 ආකාරය: 1) කම්ම-කර්මයදත යුතුය- kamma should be understood කම්මය නම් චෙතනාවය, සිතින් සිතා, කයින්, වචනයෙන් හා මනසින් කම්ම කරයි. 2) කම්මයේ නිදාන සම්භවය (උත්පත්ති කරුණ) දත යුතුය (the source and origin of - kamma should be understood) ස්පර්ශය කම්ම නිදානයවේ. 3) කම්මයේ විවිධත්වය (වෙමත්තතාව) දත යුතුය (the diversity of kamma be understood) නිරයේ විපාකදෙන කම්ම, තිරිසන්යෝනියේ විපාකදෙන කම්ම, ප්‍රේතවිෂයෙහි විපාකදෙන කම්ම, මිනිස්ලෝකයේ විපාකදෙන කම්ම, දේවලෝකයේ විපාකදෙන කම්ම. (4) කම්මයේ විපාකය දත යුතුය (the result of kamma should be understood) කම්ම විපාක තුන් ආකාරයකට සිදුවේ: 1. මේ ජීවිතයේදීම- දිට්ඨධම්මවේදනීය කම්ම (to be experienced in this very life) (2) ඊළඟ අත්භවයේදී- උප්පජ්ජවේදනීය කම්ම ( to be experienced in the next rebirth) (3) වෙනත් අත්භවයක-අපරාපරියවේදනීයකම්ම (on some subsequent occasion). (5) කම්ම නිරෝධය දත යුතුය (the cessation of kamma should be understood) ස්පර්ශ නිරෝධය, කම්ම නිරෝධයය. (6) කම්ම නිරෝධගාමිණි ප්‍රතිපදාව දත යුතුය දත යුතුය (the way leading to the cessation of kamma should be understood) එනම්, ආරියඅටමගය. මේ කරුණු 6 යහපත් ලෙසින් දන්නා ආරිය ශ්‍රාවකයා, නිබ්බෙදික බ්‍රහ්මචරියාවවු කම්ම නිරෝධය දන්නේය. මූලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාත: 6.2.1.9 නිබ්බේධික සූත්‍රය,පි.220,EAN:6: 63.9 Penetrative,p.355.

▲ කම්ම සත්ත්‍වයන්ගේ උරුමයය - beings are owners of their actions: එක්සමයක, සුභ මානවකයා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසින්, සත්ත්‍වයන්, කර්මය උරුමකර ගෙන ඇති ආකාරය, බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: (1) සත්ත්‍වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය දායාද කොට ඇත්තාහ. කර්මය උත්පති කොට ඇත්තාහ. කර්මයට බැඳී සිටි. කර්මය පිලිසරණ (රක්ෂාස්ථනය) කොට ඇත්තාහ. සත්ත්‍වයන්ගේ හීනබව හා ශ්‍රේෂ්ඨබව යන විශේෂතාවය ඇතිවන්නේ ඔවුන් කළ කර්මයන්ගේ විපාක යන්ට අනුවය: “කම‍්මස‍්සකා මාණව, සත‍්තා කම‍්මදායාදා, කම‍්මයොනි, කම‍්මබන්‍ධු, කම‍්මපටිසරණා. කම‍්ම සතෙත විභජති යදීදං හීනප‍්පණිතතායා’ති’ (...beings are owners of their actions, heirs of their actions; they originate from their actions, are bound to their actions, have their actions as their refuge. It is action that distinguishes beings as inferior and superior). සටහන: කර්මය පිලිබඳ ඉහත ප්‍රකාශනය, සංඝයා විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කලයුතු ධර්මතා 10 ට ඇතුලත්වේ. බලන්න: පබ්බජා දස ධර්ම: අංගු.නි: (6): 10 නිපාත: 10.1.5.8 දසධම්ම සූත්‍රය, පි. 184. (2) ආයුෂ කෙටිවිමට හෝ දීර්ඝවීමට හේතු: මිනිස්ලොව දී සෙසු සත්ත්‍වයන් කෙරහි හිංසා සිත් ඇතිව ප්‍රාණඝාතය කළ කෙනෙක් ඔහු විසින් කරන ලද අයහපත් කර්ම විපාකයේ ඵලය ලෙසින් මරණින්මතු, දුක්ඇති නිරයේ යළි උපතලබයි. මිනිස්ලොව ඔහු යළි උපත ලැබූවොත් ඔහුගේ ආයුෂ කෙටිය. ප්‍රාණඝාතයෙන් වැලකී, සතුන් කෙරෙහි දයාව ඇති පුද්ගලයා, කුසල විපාක ලෙසින් මරණින් මතු සැප ඇති සුගතියේ- දෙව්ලොව උපත ලබයි. ඔහු මිනිස්ලොව යළිඋපත ලැබූවොත් ඔහුට දීර්ඝ ආයුෂ ලැබේ. (3) බොහෝ ආබාධ ඇතිවීමට (රෝගී) හෝ නිරෝගීබව ලැබීමට හේතු: මිනිස්ලොව දී වෙනත් අයට නන්අයුරින් පීඩා හිරිහැර කළ පුද්ගලයා ඔහු විසින් කරන ලද අයහපත් කර්ම විපාකයේ ඵලය ලෙසින් මරණින්මතු, දුක්ඇති නිරයේ යළි උපතලබයි. මිනිස්ලොව ඔහු යළි උපත ලැබූවොත් ඔහුට බොහෝ ලෙඩ රෝග පිඩා ඇතිවේ. කිසිවෙකුට හිංසා පීඩා නොකළ, දයාව ඇතිව ජීවත්වූ තැනැත්තා කුසල විපාක ලෙසින් මරණින් මතු සැප ඇති සුගතියේ- දෙව්ලොව උපත ලබයි. ඔහු මිනිස්ලොව යළිඋපත ලැබූවොත් ඔහුට නිරෝගීසුවය ලැබේ, අල්ප ආබාධ සහිත වේ. (4) මිනිස්ලොවදී කෙනෙක්, නිතරම තරහ සිත් ඇතිව, කේන්තියෙන්, කෝපයෙන් අන් අය හා ගැටෙමින් අසතුටින් වාසය කරයි. ඔහු විසින් කරන ලද අයහපත් කර්ම විපාකයේ ඵලය ලෙසින් මරණින්මතු, දුක්ඇති නිරයේ යළි උපතලබයි. ඔහු මිනිස්ලොව උපත ලැබූවොත්, දුර්වර්ණව, අරුපිබව ලබයි. තවත් කෙනෙක්, තරහ, ක්‍රෝධය ආදී ය නොමැතිව සතුටින් වාසය කරයි. ඔහු විසින් කරන ලද යහපත් කර්ම විපාකයේ ඵලය ලෙසින් මරණින්මතු, සැප ඇති සුගතියේ- දෙව්ලොව යළි උපතලබයි. ඔහු මිනිස්ලොව උපත ලැබූවොත්, රූපත්වේ, පැහැපත් වර්ණය ඇතිවේ. (5) මිනිස්ලොව දී කෙනෙක්, අන් අයට ලැබෙන සම්පත්, ලාභ, ගරු බුහුමන් ආදිය පිළිබඳව නිතරම ඉරිසියාව ඇතිව සිටි. ඔහු විසින් කරන ලද අයහපත් කර්ම විපාකයේ ඵලය ලෙසින් මරණින්මතු, දුක්ඇති නිරයේ යළි උපතලබයි. මිනිස්ලෝකයේ යළි උපත ලැබුවහොත්, අල්පශාක්‍යව සිටි- ගරු බුහුමන් නොමැතිව, සමාජයේ පහත් තත්වයක ජීවිතයක් ලැබේ. තවත් කෙනෙක් අනෙක් අයට ලැබෙන ලාභ සත්කාර ආදිය ගැන ඊර්ෂ්‍යා නොකරයි. ඔහු විසින් කරන ලද යහපත් කර්ම විපාකයේ ඵලය ලෙසින් මරණින්මතු, සැප ඇති සුගතියේ- දෙව්ලොව යළි උපතලබයි. මිනිස්ලෝකයේ උපත ලැබුවහොත් මහේශාක්‍යබව ලබයි. සමාජයේ උසස් තැනක වැජඹේ. (6) මිනිස්ලොව දී කෙනෙක්, පුජා කලයුතු ශ්‍රමණ බ්‍රහ්මණ ආදී උතුමන්ට, ආහාර, දාන මාන, මල් පහන්, ආදිය පුජා නොකරයි. ඔහු විසින් කරන ලද අයහපත් කර්ම විපාකයේ ඵලය ලෙසින් මරණින්මතු, දුක්ඇති නිරයේ යළි උපතලබයි. මිනිස්ලෝකයේ යළි උපත ලැබුවහොත් ඔහු දුගීයෙක් වේ. වෙනත් කෙනෙක්, මිනිස්ලොවදී පුජා කලයුතු ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී උතුමන්ට, ආහාර, දාන මාන, මල් පහන් ආදිය පුජා කරයි. ඔහු විසින් කරන ලද යහපත් කර්ම විපාකයේ ඵලය ලෙසින් මරණින්මතු, සැප ඇති සුගතියේ- දෙව්ලොව යළි උපතලබයි. මිනිස්ලෝකයේ උපත ලැබුවහොත් ධනවතෙක් වේ. 7) මිනිස්ලොව දී කෙනෙක් ගරු බුහුමන් සත්කාර කලයුතු උතුමන්ට ගරු නොකරයි. අහංකාරය ඇතිව, මුරණ්ඩු, අකිකරුබව ඇතිව ජීවත්වේ. ඔහු විසින් කරන ලද අයහපත් කර්ම විපාකයේ ඵලය ලෙසින් මරණින්මතු, දුක්ඇති නිරයේ යළි උපතලබයි. මිනිස්ලෝකයේ යළි උපත ලැබුවහොත් ඔහු උපදින්නේ පහත් කුලයකය. වෙනත් කෙනෙක්, ගරු බුහුමන් සත්කාර කලයුතු උතුමන්ට ගරු කරයි. අහංකාරය නොමැතිව යහපත්ව වාසය කරයි. ඔහු විසින් කරන ලද යහපත් කර්ම විපාකයේ ඵලය ලෙසින් මරණින්මතු, සැප ඇති සුගතියේ- දෙව්ලොව යළි උපතලබයි. මිනිස්ලොව යළි උපත ලබන්නේ නම් ඔහු උපදින්නේ උසස් කුලයකය. (8) මිනිස්ලොව දී කෙනෙක්, ශ්‍රමණ හෝ බ්‍රහ්මණ උතුමන් මුණ ගැසී කුසල අකුසල්, මාර්ගය ආදී තම යහපත පිණිස වන ධර්ම කරුණු ගැන ප්‍රශ්න නො විමසයි. එම පැවැත්ම නිසා ඔහු නුවණින් බාලවේ. වෙනත් කෙනෙක්, ශ්‍රමණ හෝ බ්‍රහ්මණ උතුමන් මුණ ගැසී කුසල අකුසල්, මාර්ගය ආදී තම යහපත පිණිස වන ධර්ම කරුණු ගැන ප්‍රශ්න විමසයි. එම පැවැත්ම නිසා ඔහු ගේ නුවණ වැඩේ, ප්‍රඥාව මහාබවට පත්වේ. මූලාශ්‍ර: මනි: (3): 3.4.5 චූළකම්ම වීභංග සූත්‍රය, පි. 448, EMN: 135: The Shorter Exposition of Action, p. 964.

▲ කම්ම නිදාන - Causes of Kamma: කම්ම නිදාන යනු කර්ම සකස්වීමට බලපාන හේතුය. ලෝභය දෝසය හා මෝහය යන අකුසල මූල අයහපත් කම්මවලට හේතුවේ. අලෝභය අදෝසය හා අමෝහය යන කුසල මූල යහපත් කම්මවලට හේතුවේ. බලන්න: කුසල මූල, අකුසල මූල. සටහන: අංගු.නි: (4) 6 නිපාතයේ: 6.1.4.9 කම්ම නිදාන සූත්‍රයේ එම කරුණු විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: ( 6): 10 නිපාත: 10.4.2.8 කම්ම නිදාන සූත්‍රය,පි.506, EAN: 10: 174-8,Causes of Kamma, p.552.

▼ කම්ම සකස්වීම ආකාර 3කි: වර්තමාන ජීවිතයට හා මතු ජීවිතයට විපාක වශයෙන් බලපාන කර්ම සකස්වීම් ආකාර 3 ක් ධර්මයේ පෙන්වා ඇත: 1) පුණ්‍යාභිසංස්කාර (meritorious karmic formations) : කාමාවාචර (කාම ලෝකයේ ) හා රූපාවචර (බ්‍රහ්ම ලෝක) ලෝකයන්හි යළි උපතට හේතුවන කුසල චේතනා- කුසල කර්ම. 2) අපුණ්‍යාභි සංස්කාර (de-meritorious karmic formations): සියලු අකුසල චේතනා- අකුසල කර්ම: දුගතියේ යළි උපතට බලපායි. 3) ආනෙඤ්ඤජාභි සංස්කාර ( imperturbable karmic formations) : අරුපාවචර බ්‍රහ්ම ලෝකයන්හි යළි උපතට හේතුවන කුසල චේතනා. මූලාශ්‍ර: දිඝ.නි: (3 ):10 සංගිති සූත්‍රය- පි. 381 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 367.

▼ කම්ම ඇතිවීම හා අවසන්කරගැනීම : කර්ම ඇතිකරන සියලු කෙළෙස්, ලෝභය දෝසය හා මෝහය යන අකුසල මුල්පදනම් කර ගෙන ඇත:“පාණාතිපාතම‍්පහං භික‍්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම‍්පි දොස හෙතුකම‍්පි මොහ හෙතුකම‍්පි. අදින‍්නාදානම‍්පහං ... කාමෙසුමිච‍්ඡා චාරම‍්පහං... මුසාවාදම‍්පහං... පිසුණංවාචම‍්පහං... ඵරුසංවාචම‍්පහං... සම‍්ඵප‍්පලාපම‍්පහං ... අභිජඣම‍්පහං... ව්‍යාපාදම‍්පහං... මිච‍්ඡාදිට‍්ඨිම‍්පහං භික‍්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම‍්පි දොස හෙතුකම‍්පි මොහ හෙතුකම‍්පි” එනම්: පරපණ නැසීම, සොරකම, කාමයේ වරදවා හැසිරීම්, බොරුකිම, කේළාම්කීම, පරුෂවචනකීම, හිස්වචනකීම, අභිජ්ජාව-දැඩිආසාව, ව්‍යාපාදය, මිථ්‍යාදිට්ඨිය ආදීවූ සියලු කෙළෙස්, ලෝභය දෝසය හා මෝහය යන ත්‍රිවිධ අකුසල මුල්පදනම් කර ගෙන ඇත යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. කර්ම අවසන්කර ගැනීම: කර්ම උපද්දවන අකුසල් මුල් 3 සහමුලින්ම විනාශ කර දැමීමෙන් (ක්‍ෂයකිරීමෙන්) කර්ම ඇති කරන සියලු මුල් අවසන්වේ.“ ඉති ඛො භික‍්ඛවෙ ලොභො... දොසො... මොහො කම‍්මනිදාන සම‍්භවො, ලොභක‍්ඛයා ...දොසක‍්ඛයා... මොහක‍්ඛයා කම‍්මනිදාන සඬඛයොති”. සටහන: අබිජ්ජාව නිසා කර්ම සිව්ආකාරයකට ඇතිවේ. බලන්න: අබිජ්ජාව. මූලාශ්‍ර: අංගු.නි: (6 ) 10 නිපාත: ජානුසොණි වගග: 10.4.2.8, කර්ම නිදාන සූත්‍රය, පි. 506, EAN:10: Jāṇussoṇī: 174.8 Causes of Kamma, p.552.

▲ කම්මපථ - kamma-patha- Courses of kamma: කම්මපථ යනු කර්මය සකස්කරන මාර්ගයය. කයෙන්, වචනයෙන් හා මනසින් කරන යහපත් හෝ අයහපත් ක්‍රියා -තුන්දොරින්, මගින් කෙනෙකුගේ කම්ම පථය-කර්ම මාර්ගය සකස්වේ. දස අකුසල් නිසා අකුසල කම්මපථය සැදේ, දස කුසල් මගින් කුසල කම්මපථය සකස්වේ. බලන්න:දස කුසල් හා දස අකුසල්.

▼ අවගුණ ඇති අය ඇසුරු කිරීම නිසා පුද්ගලයෝ අයහපත් කම්ම පථඇති කරගනි. ගුණවත් අය හා ඇසුර නිසා පුද්ගලයෝ යහපත් කම්මපථ ඇති කරගනි. සටහන: මේ වග්ගයේ, විවිධ ලෙසින් කර්මපථ සකස්වන අන්දම පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: ධාතුසංයුත්ත: 3 කම්මපථවග්ග, පි. 280, ESN: 14: Dhathusamyutta, III Courses of Kasmma, p. 764.

▲ කම්ම ක්‍රියාවලිය - Kamma procedure : (1) සසර වටය ගෙනයන අයහපත් විපාක දෙන කර්ම ඇතිවීමට, රැස්වීමට ලෝභය, දෝසය හා මෝහය යන කෙළෙස් මුලිකවේ. (2) එම අයහපත් කර්මයන්හි විපාක මේ ජීවිතයේදී හෝ ඊළඟ භවයේදී හෝ වෙනත් මතු භවයන්හිදී හෝ ඉඩලද විට ඵලදේ. (දිට්ඨධම්මවේදනීය කර්ම, උප්පජ්ජවේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම- either in this very life, or in the next rebirth, or on some subsequent rebirth). බිජ උපමා. බලන්න: උපග්‍රන්ථය:5 : * උණුසුම හෝ සුළං හෝ ආදීයෙන් නරක්නොවූ බීජ, සුදුසු බිමක වපුරා, එයට අවශ්‍ය තෙතමනය හොදින් ලැබෙන්නේනම්, එම බීජ වැඩි, විපුලවී, හොඳින් පැසියයි. එලෙස කෙනක් චේතනාවෙන් සිදුකරන කර්ම වල විපාක, වර්තමාන ජීවිතයේදී හෝ ඊළඟ උපතේදී හෝ මතු උපත්වලදී හෝ විඳීමට සිදුවේ. 3) සසර පැවත්ම පිණිස, ආලෝභය, අදොසය හා අමෝහය මගින්ද යහපත් කර්ම ඇතිවේ. 4) අලෝභය නිධාන කොට හටගන්නා කර්ම, ලෝභය සම්පුර්ණයෙන්ම පහවීමෙන් නැතිවී යයි, මතු විපාක ඇතිනොවන ලෙසට විනාශවී යයි. එසේම අදොසය...අමෝහය නිධාන කොට හටගන්නා කර්ම අදොසය...අමෝහය සම්පුර්ණයෙන්ම පහවීමෙන් නැතිවී යයි, මතු විපාක ඇතිනොවන ලෙසට විනාශවී යයි. උපමාව: ** කෙනෙක් තමා ළඟ ඇති නරක් නොවූ බීජ, ගින්නෙන් පුළුස්සා දමයි, අලුබවට පත්කරයි. සුළග හෝ දියපහරක් එම අලු ගෙනයයි. එම අලු මගින් පැල හට නොමගනී, අස්වැන්නක් නොලැබේ. (5) අනුවණ පුද්ගලයා ලෝභය නිසා හෝ දෝසය නිසා හෝ මෝහය නිසා සුළුවූ හෝබොහෝවූ කර්ම රැස් කරයි, ඔහු කළ කර්මයන්හි විපාක (සසර සැරිසරන තෙක්) ඔහු විසින් විඳිය යුතුවේ. (6) නුවණැති භික්ෂුව, අරහත් මාර්ග ඥානය උපදවා, ලෝභ දෝස හා මෝහයෙන් උපන් කර්ම හා සියලු දුගතියන් (යළි උපත-මතු ඉපදිම) දුරලයි. මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාත:දේවදුතවග්ග: 3.1.4.4 සූත්‍රය, පි. 286, EAN:3: Divine Messengers: 34.4 Causes, p.90.

▼කම්ම ක්‍රියාවලිය සිදුවන ආකාරය: කම්ම ක්‍රියා තුන්දොරින් සිදුවේ. තුන්දොර යනු කය, වචනය හා සිතය, එමගින් අකුසල කර්ම හා කුසල කර්ම සිදුවේ: අකුසල කර්ම: (1) කාය කර්ම 3කි: සතුන්මැරීම, සොරකම හා කාමයේ වරදවා හැසිරීම (2) වචී කර්ම 4 කි: එනම්, බොරුකීම, කේලාම්කිම, සැරවචන කතාකිරීම, හිස්වචන කතා කිරීම (3) මනෝ කර්ම 3 කි: දැඩිලෝභය, ක්‍රෝධය හා මිථ්‍යා දිට්ඨිය. කුසල කර්ම: (1) කාය කම්ම 3කි: සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයේ වරදවා නොහැසිරීම. (2) වචී කම්ම 4 කි: සත්‍යකතාකිරීම, කේලාම් නොකියා සමගිය ඇතිකරන කතාකිරීම, ප්‍රසන්න, කාරුණික, මෘදු වචන කතාකිරීම, ඵලදායක, ධර්මයට අනුකුල කතාකිරීම. 3) මනොකමම 3 කි: නිර්ලෝභය, තරහ නැති, හොඳ යහපත් හිත. යහපත් හෝ අයහපත් කර්ම ඇතිවන්නේ චේතනා පහළ කිරීමෙන්ය. අකුසල කර්ම කෙනෙක් දුගතියට ද කුසල කර්ම කෙනෙක් සුගතියටද ගෙනයයි. මේ පිළිබඳව යොදාගත් උපමාව-දාදු කැටය .බලන්න: උපග්‍රන්ථය5 : කෙනෙක් උඩට විසිකරන දාදු කැටය, පතිත වන තැන ස්ථිර ලෙසින් පිහිටනසේ, නරක ක්‍රියාකරණ අය නියතලෙසින්ම දුගතියකට වැටේ, හොඳ ක්‍රියාකරණ අය, නියතලෙසින්ම සුගතියේ පහළවේ. මූලාශ්‍ර: අංගු.නි:(6) 10 නිපාත: කරජකාය වගග,10.5.1.7.පඨම සඤ්චෙතනික සූත්‍රය හා 10.5.1.8 දුතිය සඤ්චෙතනික සූත්‍රය, පි.566, EAN: 10:The Deed Born Body:Volitional 1 & 2, p.558.

▼ කම්ම ක්‍රියාවේ ස්වභාවය :කර්ම ක්‍රියා වකුටු හෝ ඍජු ස්වභාවය ගනී. වකුටු කම්ම ක්‍රියා: දස අකුසලයේ යෙදන කෙනෙක් ගේ අකුසල ක්‍රියා, ඇද, වකුටු ස්වභාවයකින් යුක්තය. මරණින් මතු නිරයේ හෝ තිරිසන් ලෝකයේ ඔවුන් උපත් ලබති. ඔවුන් තිරිසන් ලෝකයේ උපත ලබන්නේ බඩගාගෙන, වකුටුව බිම ඇදීයන සතුන් ලෙසය. ඍජු කම්ම ක්‍රියා: දස කුසලයේ යෙදන කෙනෙක් ගේ කුසල ක්‍රියා ඍජුය, මරණින් මතු දෙව්ලොව හෝ මිනිස්ලොව ධනවත්, ගුණවත් කුලවල ඔවුන් යලි උපත ලබති. බලන්න: සංසප්පනිය ධර්ම පරියාය. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත: කරජකාය වගග,10.5.1.6. සංසප්පනිය පරියාය සූත්‍රය, පි.560, EAN:10: 216.6 Creeping , p.558.

▲ කම්ම විපාක - Karma vipaka: රැස්කරගත් කර්ම, විපාක නොදී අවසන් නොවේ, අවස්ථා තුනකදී විපාක ලබාදෙයි: 1 මේ ජීවිතයේදීම විඳිමට සිදුවන කර්මවිපාක: දිට්ඨධම්මවේදනීය කර්ම 2 ඊළඟ ජීවිතයේදී විඳිමට සිදුවන කර්මවිපාක : උප්පජ්ජවේදනීය කර්ම 3 සසර සැරිසරන ඕනෑම අවස්ථාවක විපාක ඵල දෙන කර්මවිපාක: අපරාපරියවේදනීය කර්ම. එසේම, චේතනාකර සිදුකළ කර්මයන්ගේ විපාක නො විඳ දුකේ කෙලවරවීමක් ඇතය යයි තමන් වහන්සේ ප්‍රකාශ නොකරන බව බුදුන් වහන්සේ වදාළහ: “ නාහං භික‍්ඛවෙ සඤෙචතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා ව්‍යන‍්තිභාවං වදාමි. තඤෙච ඛො දිට‍්ඨෙ වා ධම‍්මෙ උප‍්පජ‍්ජෙ වා අපරෙවා පරියායෙ. නතෙත්‍වාහං භික‍්ඛවෙ සඤෙචතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා දුක‍්ඛස‍්සන‍්තකිරියං වදාමි” ( Bhikkhus, I do not say that there is a termination of volitional kamma that has been done and accumulated so long as one has not experienced [its results], and that may be in this very life, or in the [next] rebirth, or on some subsequent occasion. But I do not say that there is making an end of suffering so long as one has not experienced [the results of] volitional kamma that has been done and accumulated). සටහන්: * ඉහත කරුණ පිළිබඳව භික්ඛු බෝධිගේ අදහස පිළිබඳව බලන්න: EAN: note: 2181, p. 684. ** මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා චේතෝ විමුක්තිය වර්ධනයකර අනාගාමී වූ ආරිය පුද්ගලයන් කාමලෝකයේ සිදුකල කර්ම, මරණින් මතු සුද්ධාවාසය කරා නොයයි. එතෙක්, විඳීමට ඇති කර්ම විපාක ඇත්නම් ඒවා මෙලොවදී විපාක දෙන බව මේ සූත්‍රයේ විස්තර කර ඇත. ** යම් කර්ම විපාක නොදී අහෝසිවේ. බලන්න: අහෝසිකර්ම. ** අනාගාමීවූ උතුමන් කාමලෝකයේ සිදුකල කර්ම, කාමලෝකයට පමණක් ප්‍රමානවේ. බලන්න: අනාගාමී. අයහපත් කර්ම විපාක ඵල දෙන නිරයන්: බලන්න: උණු අළු නිරය. මූලාශ්‍ර:අංගු.නි:( 6) :10 නිපාත: කරජකායවග්ග,10.5.1.9. කරජකාය සූත්‍රය, පි.582 , EAN: 10: The Deed Born Body, p.561.

▼ කම්ම විපාක වෙනස්කම් : (1) මෙලොව දී දසඅකුසල් කරන පුද්ගලයෙක් මරණින් මතු දුගතියේ පහලවේ. එයට හේතු: එමපුද්ගලයා: පෙර කාලයකදී වේදනා සහගත අකුසල ක්‍රියාවක් කර ඇත හෝ පසුකාලයක වේදනා සහගත අකුසල ක්‍රියාවක් කර ඇත හෝ මරණය සිදුවන අවස්ථාවේ මිථ්‍යා දිට්ඨිය වැළඳ ගෙන ඇත. එමනිසා, මරණින් මතු ඒ පුද්ගලයා දුගතියේ යළි උපත ලබා ඇත. ඔහු, මෙලොවදී දස අකුසලයේ යෙදුන නිසා, එහි අයහපත් විපාක, මේ භවයේදී හෝ ඊළඟ භවයේදී හෝ පසුව ඇතිවෙන භවයකදී හෝ ඔහුට විඳීමට සිදුවේ. 2) මෙලොව දී දසඅකුසල් කරන පුද්ගලයෙක් මරණින් මතු සුගතියේ පහලවේ. එයට හේතු: එම පුද්ගලයා: පෙර කාලයකදී සුඛ වේදනා ඇති යහපත් ක්‍රියා සිදු කර ඇත හෝ පසු කාලයක සුඛ වේදනා ඇති යහපත් ක්‍රියා සිදු කර ඇත හෝ මරණය සිදුවන අවස්ථාවේ සම්මා දිට්ඨිය වැළඳ ගෙන ඇත. ඒ හේතුවෙන් ඔහු සුගතියේ යළි උපත ලබා ඇත. එහෙත්, ඔහු, මෙලොවදී දස අකුසලයේ යෙදුන නිසා, එහි අයහපත් විපාක, මේ භවයේදී හෝ ඊළඟ භවයේදී හෝ පසුව ඇතිවෙන භවයකදී හෝ ඔහුට විඳීමට සිදුවේ. (3) මෙලොව දී දසඅකුසල් නො කරන පුද්ගලයෙක් මරණින් මතු සුගතියේ පහලවේ. එයට හේතු: එමපුද්ගලයා: පෙර කාලයකදී සුඛ වේදනා ඇති යහපත් ක්‍රියා සිදු කර ඇත හෝ පසු කාලයක සුඛ වේදනා ඇති යහපත් ක්‍රියා සිදු කර ඇත හෝ මරණය සිදුවන අවස්ථාවේ සම්මා දිට්ඨිය වැළඳ ගෙන ඇත. ඒ හේතුවෙන් ඔහු සුගතියේ යළි උපත ලබා ඇත. ඔහු, මෙලොවදී දස අකුසලයේ නො යෙදුන නිසා, එහි යහපත් විපාක, මේ භවයේදී හෝ ඊළඟ භවයේදී හෝ පසුව ඇතිවෙන භවයකදී හෝ ඔහුට විඳීමට සිදුවේ. (4) මෙලොව දී දසඅකුසල් නො කරන පුද්ගලයෙක් මරණින් මතු දුගතියේ පහලවේ. එයට හේතු: එමපුද්ගලයා: පෙර කාලයකදී වේදනා සහගත අකුසල ක්‍රියාවක් කර ඇත හෝ පසුකාලයක වේදනා සහගත අකුසල ක්‍රියාවක් කර ඇත හෝ මරණය සිදුවන අවස්ථාවේ මිථ්‍යා දිට්ඨිය වැළඳ ගෙන ඇත. ඒ හේතුවෙන් ඔහු දුගතියේ යළි උපත ලබා ඇත. ඔහු, මෙලොවදී දස අකුසලයේ නො යෙදුන නිසා, එහි යහපත් විපාක, මේ භවයේදී හෝ ඊළඟ භවයේදී හෝ පසුව ඇතිවෙන භවයකදී හෝ ඔහුට විඳීමට සිදුවේ. මේ සූත්‍රය අවසානයේදී බුදුන් වහන්සේ මෙසේද වදාළහ: “ මෙලෙසින්, අකුසලය මැඩලන අකුසල කර්මයක් ඇත. අකුසලය මැඩලන කුසල කර්මයක් ඇත. කුසලය මැඩලන කුසල කර්මයක් ඇත. කුසලය මැඩලන අකුසල කර්මයක් ඇත” . “ ඉති ඛො ආනන්‍ද, අත්‍ථි කම‍්මං අභබ‍්බං අභබ‍්බාභාසං, අත්‍ථි කම‍්මං අභබ‍්බං භබ‍්බාභාසං, අත්‍ථි කම‍්මං භබ‍්බඤෙචව භබ‍්බාභාසඤ‍්ච, අත්‍ථි කම‍්මං භබ‍්බං අභබ‍්බාභාසන‍්ති” (Thus, Ānanda, there is action that is incapable and appears incapable; there is action that is incapable and appears capable; there is action that is capable and appears capable; and there is action that is capable and appears incapable)මූලාශ්‍ර: මනි: (3): 3.4.6 මහාකම්ම වීභංග සූත්‍රය, පි. 460, EMN: 136 : The Greater Exposition of Action, p. 968.

▼ වෙනත් මූලාශ්‍ර: 1. දිට්ඨධම්මවේදනීය කර්ම මේ අත්බවේ විපාකයට නො පැමිණියේ නම්, උප්පජ්ජවේදනීය කර්ම ඊළඟ අත්බවේ විපාකයට නො පැමිණියේ නම්, ඒවා අහෝසි කර්ම වේ. විපාක දෙන කර්මයන් හි ගරුක හා අගරුක අතරින් අකුසල පක්ෂයේ ආනන්තරික කර්ම හෝ කුසල පක්ෂයේ ප්‍රථම ජාන ආදී මහද්ගත කර්ම හෝ වේනම් ඒවා ගරුක කර්මයන්ය , ප්‍රථම කොට විපාක දේ. බහුල-අබහුල කර්ම අතරින් යමක් බහුල නම් එය ප්‍රථම කොට විපාක දේ. මරණාසන්න කාලයෙහි කල කර්ම ආසන්න කර්මවේ, ඒවා මතුභවයෙහි පළමු කොට විපාක දේ. පෙරකී කර්ම නැතිකළ කටත්තා කර්ම විපාකදේ. ජනකකර්ම, කුසල හෝ අකුසල වේ. ඒවා ප්‍රතිසන්ධියේද, ප්‍රවෘත්තියෙහි ද රූප- අරූප (ලෝක) වල විපාක උපදවයි. උපස්තම්භක කර්මයට විපාක ඉපදවිය නො හැකිය. අන්‍යකර්මයකින් උපන් සුව හෝ දුක් විපාක වලට රුකුල් දීමට හැකිය. උපපිඩක කර්මය අන්‍ය කර්මයකින් උපන් සුව හෝ දුක් විපාක වලක්වාලයි. උපඝාතාක කර්මය කුසල් හෝ අකුසල්වේ. දුර්වල කර්මය නිසා එහි විපාකයට අවකාශය ඇති කරයි. මේ 12 ස් වැදෑරුම් කර්ම, එහි ප්‍රභේද හා විපාක බුදුවරයන්ගේ කර්මවිපාක දන්නා ඥානය ය. සිංහල විසුද්ධිමාර්ගය, 19 පරිඡේදය, පි. 952. 2. Kamma and its Fruit: Selected Essays: Edited by Nyanaponika Thera, BPS: 2006. 3. Good, Evil and Beyond: Kamma in the Buddha’s Teaching: by Bhikkhu P.A. Payutto, BuddhaDhamma Education Association. Inc. 4. කර්මවිපාක: සම්පාදක: පුජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි. 5. Volition: An Introduction to the Law of Kamma: by Sayadaw U Silananda, BuddhaDhamma Education Association. Inc. 6 Karma & Rebirth in Early Buddhism: Course of study & workshop by Bhante Sujato & Ajahn Brahmali, Presented by The Buddhist Society of Western Australia (BSWA).

▲කම්ම විපාක ඥානය -Knowledge of Kammavipaka: ලෝක සත්ත්‍වයන් ගේ සියලු කර්ම පිලිබඳ: කර්ම විපාක දන්නා නුවණ, තථාගතයන්ට ඇති එක් විශේෂ ඥාන බලයකි. බලන්න: තථාගත දසබල.

▲ කම්ම විවිධාකාරය- Diversity of karma :බුදුන් වහන්සේ, විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කරගත් කර්ම 4 ක් පෙන්වා ඇත: 1) කළු කර්ම- අඳුරු කර්ම-අකුසල විපාක කර්ම (කෘෂණ-dark): කයෙන්, වචනයෙන් හා මනසින් (තුන් දොරින්) කරණ අයහපත් ක්‍රියා කළු කර්මයන්ය. එම කර්ම නිසා අයහපත් විපාක ලැබේ: මෙලොව ඇතිවන දුක් වේදනා, පරලොව: දුගතියේ උපත ලැබීමට, නිරයේ දරුණු දුක් වේදනා විඳීමට සිදුවේ. කළු කර්ම මොනවාද? පරපණනැසීම, සොරකම, කාමයේ වරදවා හැසිරීම, මුසාවාදය, පිශුනාවාචාය, පරුෂා වාචාය, හිස්වචන කතා කිරීම, ධර්මයේ ප්‍රමාදය ඇතිකරන මත්ද්‍රව්‍ය හා මත් පැන් භාවිතය, මව්පිය ඝාතනය, රහතතුන්ගේ ජිවිත නැතිකිරීම, වෛරය ඇතිව තථාගතයන් ගේ ලේ සෙලවීම, සංඝභේදය කිරීම කළු කර්මයෝය.බලන්න: ආනන්තරික කර්ම. 2) සුදු කර්ම- දීප්තිමත් කර්ම-කුසල විපාක කර්ම (ශුකල-bright) :තුන් දොරින් කරණ යහපත් ක්‍රියා සුදු කර්මයන්ය. එම කර්ම නිසා යහපත් විපාක ලැබේ: සුගතියේ -දෙව්ලොව උපත ලැබීමට, සුභකින්න දෙවියන් ලෙසින් ප්‍රසන්න වේදනා විඳීමට හැකිවේ. සුදු කර්ම මොනවාද? : 1. ඉහත දක්වා ඇති කළු කර්මයන් නොකිරීම 2 දැඩිආසාවන් නොමැතිබව 3 සැමදෙනා කෙරෙහි යහපත් සිතින් සිටීම 4 සම්මා දිට්ඨිය තිබීමය. සටහන: දසකුසල කිරීම හා ජාන සමාපත්ති ලැබීම සුදුකර්ම ලෙසින් පෙන්වා ඇත-බලන්න: EAN: note: 943, p. 630. 3) කළු හා සුදු කර්ම- කුසල විපාක හා අකුසල විපාක කර්ම: කෙනෙක් තුන්දොරින් කළු කර්ම මෙන්ම සුදු කර්මද කරයි. විපාක වශයෙන් ඔහුට දුක් වේදනා ද සැප වේදනා විඳීමට ලැබේ. 4) කළුත් නොවන සුදුත් නොවන කර්ම- මෙහිදී කර්ම විපාක ඇතිනොවේ. මේ කර්ම මගින් කර්මවිපාක ක්‍ෂය කරගත හැකිය. කෙනෙක් ඉහත දැක්වූ කර්ම 3 ම පහකරගැනීමට චේතනා කර, ඒ අනුව කටයුතු කරයි. එනම්, සසර වටය නැතිකරගැනීම පිණිස චේතනා කර අධ්‍යාත්මික මග වඩාගැනීමය, අරහත්වයට පත්වීමය. කර්මක්‍ෂය කරගැනීමේ ක්‍රමවේදය: ආරිය අටමග, සප්ත බොජ්ඣංග ධර්ම වර්ධනය කරගැනීම මගින්. සටහන: අටුවාවට අනුව කර්ම විපාක ක්‍ෂය කරගැනීම යනු අදිටන්කර- චේතනා කර සසර නිමා කරගැනීමට කටයුතු කිරීමය. ‘විවට‍්ඨ ගාමිණී මග‍්ග චෙතනා’- බලන්න: EAN: note: 946, p. 630. කර්ම විපාක ඵල: කුසල කර්ම විපාක මගින් සුගතියක යළි උපතඇතිවේ. අකුසල කර්ම විපාක නිසා දුගතියක යළි උපතඇතිවේ. මූලාශ්‍ර: අංගු.නි: (2):4 නිපාත: කම්ම වග්ග සූත්‍ර, පි. 468, EAN:4: Kamma: p. 227.

▼ කම්ම විවිධ බව: පාපික හා කල්‍යාන කම්ම: පාපික කර්ම: ඇතිවීමට බලපාන කරුණු 5 කි: a) ලෝභය-greed b) දෝෂය- hatred c) මෝහය-delusion d) අයෝනිසෝමනසිකාරය-Careless attention e) අසති අසම්ප්‍රජන්‍යය - wrongly directed mind කල්‍යාන කම්ම: ඇතිවීමට බලපාන කරුණු 5කි a) අලෝභය b)අදෝෂය c) අමෝහය d) යෝනිසෝමනසිකාරය e) සති සම්ප්‍රජන්‍යය. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ඉහත දැක්වූ කරුණු 10 ලෝකයේ පවතින නිසා අධර්මිෂ්ඨ හැසිරීම- ධර්මයට එරෙහිව හැසිරීම හා ධර්මිෂ්ඨ හැසිරීම- ධර්මයට අනුකූලව හැසිරීම, ලෝකයේ දැකිය හැකිබවය. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 5 අකෝෂ වග්ග, 10.1.5.7.මහාලි සූත්‍රය,පි.182, EAN:10: 47.7 Mahali, p. 511.

▼කම්ම විවිධය : අලූත් හා පැරණි කම්ම ඇස ආදීවූ සළායතන හේතුවෙන් කරනලද, චේතනාව විසින් පිළියෙළ කරනලද වේදනාවට වස්තුවූ වූ (වේදනාවක් ඇතිකළ) දේ පැරණි කර්මයන්ය. වර්තමානයේ කයින් වචනයෙන් හා සිතින් යම් කර්මයක් කරයි නම් ඒවා අලුත් කර්මයන්ය. කෙනෙක්, තුන්දොරින් කරන කර්මයන්ගෙන් නිරෝධවී, විමුක්තිය ස්පර්ශ කරන්නේනම් එය කර්ම නිරෝධයය. ඒ පිලිබඳ ඇති මාර්ගය-කර්ම නිරෝධ ගාමිණී ප්‍රතිපදාව නම් ආරියඅටමග සම්පුර්ණ කරගැනීමය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි:(4 ): සළායතනවග්ග:වේදනාසංයුත්ත: නවපුරාණ වග්ග: 1.15.1 කම්ම සූත්‍රය, පි. 292, ESN: 36: Vedanasamyutta: V: 146.1 Kamma, p. 1291.

▼ කම්ම සත්ත්‍වයන් පසුපසින් එයි- Kamma that follow the beings. යහපත් කර්ම, යහපත් විපාක ගෙනදෙමින්, අයහපත් කර්ම අයහපත් විපාක ගෙනදෙමින් සත්ත්‍වයන් පසුපස එයි. සටහන: ධම්මපදය: 1 යමකවග්ග: අයහපත් කර්ම විපාක ගොනා ගේ පය පසුපස එන කරත්ත රෝදය ලෙසින් ද 2 යහපත් කර්ම විපාක, පසුපස එන සෙවනැල්ල මෙන් ද පසුපසින් එයි. බලන්න:උපග්‍රන්ථය: 5.

▼ නිර්දෝෂී, පිරිසිදු ජීවිතයක් ඇති, කෙළෙස් රහිත පුද්ගලයෙකුට කෙනෙක් ද්වේශ කරන්නේ නම් වැරදි කරන්නේ නම්, එමගින් අයහපත් කර්ම විපාක ඇතිවේ. යම්කෙනක් සියුම් දූවිලි උඩුසුළඟට විසිකළවිට ඒ දූවිල්ල ඒ තැනැත්තා ගේ කයටම පතිතවන ලෙසින් කෙනෙක් සිදුකරණ අයහපත් ක්‍රියා නිසා අයහපත් කර්ම විපාක ඇතිවේ. දුවිලි උපමාව, බලන්න:උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග:දේවතාසංයුත්ත: 1.3.2 ඵුසතිසූත්‍රය,පි. 50, ESN:1:Devatasamyutta: 22.2. It Touches, p. 84.

▲කම්ම හා භවය-Existence & kamma: කර්මය හා භව පැවැත්ම අතර දැඩි සම්බන්ධයක් ඇත. බුදුන් වහන්සේ, මේසේ වදාළහ: “ කර්මය නම් කෙතය (පොළවය), විඥාණය බීජය (ඇටය) වේ, තණ්හාව එම බීජය පෝෂණය කරන ජලය (උදක) වේ. අවිද්‍යාවෙන් වැසුන, තණ්හාවෙන් බැඳුන, සත්ත්‍වයන්ගේ විඥානය,කාම ලෝකයේ (කාම ධාතුවේ) පිහිටයි. එලෙස සත්ත්‍වයන්ගේ පුනර්භවය ඇති කරණ භවය සකස්වේ” “ ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො. අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ‍්ඤාණං පතිට‍්ඨිතං. එවං ආයති පුනබ‍්භවාහිනිබ‍්බත‍්ති හොති” (Thus, Ānanda, for beings hindered by ignorance and fettered by craving, kamma is the field, consciousness the seed, and craving the moisture for their consciousness to be established in a superior realm. In this way there is the production of renewed existence in the future). බලන්න: බීජ උපමාව:උපග්‍රන්ථය:5. මූලාශ්‍ර:අංගු.නි: (1): 3 නිපාතය: 3.2.3.6 සූත්‍රය, පි. 432, EAN:3: 76.6 Existence, p. 119.

▲ කම්ම හා විඥානය- Karma & Consciousness : විඥානය පිහිටි කල්හි තණ්හාව ඇතිවේ, තණ්හාව ඇති කල, කර්ම අරමුණු ඇතිවේ, එය විඥානයේ පැවත්මය. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: අභිසමය සංයුත්ත:කළාරඛත්තිය: චේතානා සූත්‍ර 3කි. පි. 124, ESN:12: Nidanasamyutta: IV: The Karakhattiya: Volition 3 suttas p. 665.

▲ කම්සැපය- Sensual happiness: කම්සැපය ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ ස්ත්‍රී පුරුෂ අතර ඇති බැඳීම නිසා ලබන සැපයය. බලන්න: ඉත්ථිබන්ධන,පුරිෂබන්ධන.

▲ කාමය: පාලි: කාමො-sensual pleasures: ධර්මයේ කාමය ලෙසින් පෙන්වා ඇත්තේ කාමලෝකයට ඇති ඇල්මය- රාගයය. එම බැඳීම නිසා මිනිසුන් සසරේ ගමන් කරයි. කාමය නිසා කෙළෙස් ඇතිවේ, මෙය නීවරණ ධර්මයකි බලන්න: නීවරණ. ශබ්දකෝෂ: B.D: p: 73: “Kāma: may denote 1.subjective sensuality- sense desire 2 objective sensuality- the 5 sense objects…”

▼ කාමය හඳුන්වන විවිධ නාම: භය, දුක,රෝග, ගඩුව (ගන්ඩ), ඇලීම (සඬග), මඩ (පංක). විස්තර පිණිස බලන්න: අංගු.නි: (4) 6 නිපාත: අනුත්තරියවග්ග: භය සුත්‍රය.

▼ මහා ධන සම්පත් ඇති අයද කම්සැප සොයයි, කාමයන් නො සොයන්නේ කව්රුද? යයි දෙවියෙක් බුදුන් වහන්සේ විමසුහ. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ ගිහිගෙය හැර, සියලු කාමවස්තුන් හැර පැවිදිව, රාග දොස මෝහ දුරුකළ රහතුන් -රහතන්වහන්සේ කාමය සොයා නොයති” මූලාශ්‍ර:සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.3.8 මහද්ධන සූත්‍රය, පි. 56, ESN: 1: Devatasamyutta: 28.8 Those of Great Wealth, p. 91. සටහන: අංගු.නි: (1) 3 නිපාත: 1 කම්මපථ පෙය්‍යාලය සූත්‍ර, පි. 576: කම්මපථ පිලිබඳ විස්තර දක්වා ඇත.

▲ කාමආස්වාදය- Sensual Pleasures : වස්තුකාමයේ හා කෙළේස කාමයේ ආස්වාදය: හීන, මධ්‍යම, උසස්-ප්‍රනීත යයි ත්‍රිවිධ ආකර වේ. හීනකුලයන් විඳින කාම ආස්වාදය හීනකාමයෝය,මධ්‍යම සත්වයෝ විඳින කාම ආස්වාදය මධ්‍යම කාමයෝය, රජවරු ආදීන් විඳින කාම ආස්වාදය ප්‍රණීත කාමයෝය. මේ සියල්ල කාම ආස්වාදයන්ය. ගිහිකම් සැප හැර පැවිද්ද ලැබුවන්, සෝතාපන්න බව ලබන තෙක් ඔවුන්, තමන්වහන්සේ විසින් රැකබලාගත යුතුවේ යයි බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත. ඒ පිලිබඳ යොදාගත් උපමාව: අතදරුවෙක්, ඔහු ගේ කිරිමවගේ ප්‍රමාදයක් නිසා යම්කිසි දෙයක් මුවේ බහාගනී. ඒ දුටු කිරිමව ආදරය හා අනුකම්පාව නිසා වහා එය බැහැරට ගැනීම පිණිස හැකි හැම ක්‍රමයක්ම යොදයි. පසුකල ඒ දරුවා තරුණවියට පත්වූ කල ඔහුට තමාව බලාගැනීමට හැකි බව කිරිමව දනී. එලෙස, පබ්බජා, කුසලධර්මයේ ප්‍රමාද නම්, ඔහු කෙරේ ඇති අනුකම්පාවෙන්: ‘මා විසින් ඒ මහණ රැකිය යුතුය යි’ බුදුන් වහන්සේ වදාළහ. එහෙත්, ධර්ම මාර්ගයේ ඔහු අප්‍රමාදව කටයුතු කරනවිට ඔහුට, තමා රැක ගැනීමට හැකිවේ. මූලාශ්‍ර: අංගු.නි :(3 ) : 5 නිපාත:සේඛබලවග්ග: 5.1.1.7 කාමේසුපලාලිත සූත්‍රය, පි.30.

▲ කාමආසව-Kamaasava: සසරට බැඳ තබන ආසවයකි (ආශ්‍රව). ආසව ක්‍ෂය කළ භික්ෂුව, කාමයට ඇති කැමත්ත, ගිණිඅඟුරු වලකට වැටීම ලෙසින්, ඇතිසැටියෙන්- යථාබවින්, සම්මා ප්‍රඥාවේන් දකින බවත්, එම අවබෝධය, ආසවක්‍ෂය කිරීම නිසා ලැබෙනබලය, දසබලයන් ගෙන් එකක් ය යි සැරියුත් මහා තෙරුන් වදාළහ, බලන්න: සේඛබල, ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම, ගිනිඅඟුරු වල උපමාව-උපග්‍රන්ථය:5.

▲කාම ඔඝය- the flood of sensuality: කාම ඔඝය යනු, සත්‍වයා සසර ඇදගෙනයන ජල ප්‍රවාහ 4 න් එකකි. බලන්න: ඔඝ සතර.

▲ කාමගුණ:පාලි: කාමගුණා -five strands of sense-desire : කාමගුණ -පංචකාමගුණ ලෙසින්ද හඳුන්වයි. බලන්න: පංච කාමගුණ.

▲ කාමගුණ උපධි- five strands of sense acquisitions : කාමගුණ උපධි ලෙසින් පෙන්වා ඇත්තේ පංච කාම වස්තුන් අල්වා ගැනීමය. බලන්න: උපධි.

▲ කාමචන්දය-Sensuous desire : කම්සැපට ඇති ආශාව, පංච කාමයට ඇති කැමත්ත. මෙය නීවරණයකි. කාමසංකල්පනා නිසා කාමච්ඡන්දය ඇතිවේ. කාමච්ඡන්දය ඇතිවිට කාමපරිදාහය ඇතිවේ. කාමචඡන්දය පහකර ගැනීමට අසුභනිමිත්ත වැඩිය යුතුය. බලන්න: අසුභනිමිත්ත, නීවරණ, කාමධාතුව.

▲ කාමතණ්හාව- Sensuous craving : කාම තණ්හාව, ත්‍රිවිධ තණ්හාවෙන් (කාම-භව-විභව) එකකි. කම්සැපයට ඇති ඇල්මය. මෙය නිසා සත්‍වයෝ නැවත නැවත සසරට පැමිණේ.බලන්න: තණ්හා.

▲ කාමධාතුව- the sensual desire element: කාමධාතුව, සය ධාතුවලින් එකකි. බලන්න: ධාතු. බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: “ කාම විතර්ක (කාමවස්තු ගැන සිතීම) හේතු සහිතව ඇතිවේ, හේතු නොමැතිව නූපදී...කාමධාතුව නිසා කාම සංඥාව උපදී. කාම සංඥාව නිසා කාම සංකල්පනා උපදී. කාම සංකල්පනා නිසා කාමච්ඡන්දය උපදී. කාමච්ඡන්දය නිසා කාමපරිදාහය (කාමයේ ගිලීම) උපදී. කාම පරිදාහය නිසා කාම පර්යේෂණය (කාමය සෙවීම) උපදී. කාමය සොයායන නුගත් ( ධර්මය නොදත්) පුහුදුන්-පෘතග්ජන මිනිසා කයින්, වචනයෙන් හා සිතින් -තුන්දොරින් අයහපත් දේ කරයි, පිළිපදි. මූලාශ්‍ර: සංයු.නි: ( 2 ): නිදානවග්ග: ධාතුසංයුත්ත: 2.2.2 සනිදාන සූත්‍රය,පි. 258, ESN: 14: Dathusamyutta: 12.2 With a source, p. 751.

▲ කාම නිබිද්දා ප්‍රතිපදාව- Kama Nibidda Partipada : ඒ සඳහා ඇති පිළිවෙත 6 ආකාරය: 1) කාමය දත යුතුය- Sensual pleasures should be understood: කාමගුන පහ : රූප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ, ආරිය විනයේ කාමය ලෙසින් හඳුන්වන්නේ නැත, ඒවා කාමගුනයන්ය (objects of sensual pleasure) . කාමය නම්, යම්කෙනකුට ඇතිවෙන කාම සංකල්පනාවය- සංකල්පරාගයය-කාමචේතනාවය ((A person’s sensual pleasure is lustful intention): “සඬකප‍්පරාගො පුරිසස‍්ස කාමො-නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ, සඬකප‍්පරාගො පුරිසස‍්ස කාමො- තිට‍්ඨන‍්ති චිත්‍රානි තථෙව ලොකෙ, අථෙත්‍ථ ධිරා විනයන‍්ති ඡන්‍දන‍්ති”. ලෝකයේ ඇති විසිතුරු දේ කාමය නොවේ, කෙනෙක්ගේ සිතේ ඇතිවන රාග චේතනාව, කාමයය. ලෝකයේ විසිතුරු දේ එලෙසින්ම පවතී, එහෙත්, ප්‍රඥාවන්තයා ඒවාට ඇති ඇල්ම පහකරගනී. 2) කාමයේ නිදාන සම්භවය (උත්පත්ති කරුණ) දත යුතුය (the source and origin of sensual pleasures should be understood) කාමයේ උත්පත්ති කරුණ, ස්පර්ශයය. සටහන:අටුවාව මෙය ‘සහාජාතඵස්ස- coexistent contact ලෙසින් දක්වා ඇත. 3) කාමයේ විවිධත්වය (වෙමත්තතාව) දත යුතුය (the diversity of sensual pleasures should be understood) රූපය පිලිබඳ කාමය එකකි, එලෙස, ශබ්දය...ගන්ධය... රසය... ස්පර්ශය ආදියේ කාමය එකිනෙකට වෙනස්ය.( Sensual desire for forms is one thing... for sounds is another...etc.) 4) කාමයේ විපාකය දත යුතුය (the result of sensual pleasures should be understood) තමන් කැමති දෙයක් කෙරහි ඇති කාමයට අනුරූපව කෙනෙක්, යහපත් (පුණ්‍ය) හෝ අයහපත් (අපුණ්‍ය) ආත්මභාවයක් ඇතිකරගනි. (One produces an individual existence that corresponds with whatever [sense pleasures] one desires and which may be the consequence either of merit or demerit) සටහන: දේවලෝක සැප පතන කෙනක් යහපත් කටයුතු කිරීමෙන් සුගතියේ උපත ලබා තමන් කල කර්මය අනුව විපාක විඳි. තවකෙනෙක් අයහපත් ක්‍රියා නිසා දුගතියේ උපත ලබා තමන් කල කර්මය අනුව විපාක විඳි. (One produces an individual existence that corresponds with whatever [sense pleasures] one desires and which may be the consequence either of merit or demerit) 5) කාමයේ නිරෝධය දත යුතුය (the cessation of sensual pleasures should be understood) ස්පර්ශයේ නිරෝධය, කාමයේ නිරෝධයය. 6) කාම නිරෝධ ගාමිණි ප්‍රතිපදාව දත යුතුය දත යුතුය (the way leading to the cessation of sensual pleasures should be understood) එනම්, ආරියඅටමගය. මේ කරුණු 6 යහපත් ලෙසින් දන්නා ආරිය ශ්‍රාවකයා, නිබ්බෙදික බ්‍රහ්මචරියාවැවු කාම නිරෝධය දන්නේය. මූලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාත: 6.2.1.9 නිබ්බේධිකසූත්‍රය,පි.220,EAN:6: 63.9 Penetrative,p.355.

▲ කාමපරිදාහය-sensual passion: කාමපරිදාහය යනු, සිත පංච කාමයන්ට යටවිමය, වශිවියාමය. කාමච්ඡන්දය නිසා කාමපරිදාහය ඇතිවේ. බලන්න: කාමධාතුව.

▲ කාම පර්යේෂණය- sensual quest: කාම පර්යේෂණය යනු කාම වස්තුන් සොයා යෑමය. කාමච්ඡන්දය නිසා කාමපරිදාහය ඇතිවේ. එම සෙවීම නිසා ආධ්‍යාත්මික මග දියුණු කරගැනීමට නොහැකිවේ.බලන්න: කාමධාතුව.

▲ කාමභවය- Sensuous existence: යළි උපත ලබන භව තුනෙන් එකකි. බලන්න: භව.

▲ කාමභෝගී පුද්ගලයෝ-kamabhogi puggala: කාමභෝගී බව නිසා සතුටට පත්වෙන පුද්ගලයන් දසදෙනෙකු මේ ලෝකයේ සිටිනබව බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) කෙනෙක් අධර්මයෙන් ධනය උපයාගනී. එහෙත්, ඔහුගේ සිතේ සතුට නැත, සිත පිනායාමක් ද නැත; තම ධනය අනුන් හා බෙදා නොගනි; ඔහු පින් නොකරයිඔහුට අවගුණ 3කි: i අධාර්මිකව ධනය ඉපයීම ii සිතේ නොසතුටුබව iii ධනය බෙදා නොගැනීම හා පින් නොකිරීම. 2) කෙනෙක් අධර්මයෙන් ධනය උපයාගනී. ඔහුට සතුට ඇත, සිත පිනා ගොස්ය, එනමුත් ඔහු තම ධනය අනුන් හා බෙදා නොගනි; ඔහු පින් නොකරයි. ඔහුට අවගුණ 2කි: i අධාර්මිකව ධනය ඉපයීම ii ධනය බෙදා නොගැනීම හා පින් නොකිරීම. ඔහුට ගුණ 1 කි: සිතේ සතුට තිබීම. 3) කෙනෙක් අධර්මයෙන් ධනය උපයාගනී. ඔහුට සතුට ඇත, සිත පිනා ගොස්ය, ඔහු තම ධනය අනුන් හා බෙදා ගනි; ඔහු පින් කරයි. ඔහුට අවගුණ 1 කි: අධාර්මිකව ධනය ඉපයීම. ඔහුට ගුණ 2 කි:i සිතේ සතුට තිබීම ii ධනය බෙදා ගැනීම හා පින් කිරීම 4) කෙනෙක් අධර්මයෙන් හා ධර්මයෙන් ධනය උපයාගනී. එහෙත්, ඔහුගේ සිතේ සතුට නැත, පිනායාමක් ද නැත; තම ධනය අනුන් හා බෙදා නොගනි; ඔහු පින් නොකරයි. ඔහුට ගුණ 1 කි: ධාර්මිකව ධනය ඉපයීම. ඔහුට අවගුණ 3 කි: i අධාර්මිකව ධනය ඉපයීම ii සිතේ නොසතුටුබව iii ධනය බෙදා නොගැනීම හා පින් නොකිරීම. 5) කෙනෙක් අධර්මයෙන් හා ධර්මයෙන් ධනය උපයාගනී. ඔහුට සතුට ඇත, සිත පිනා ගොස්ය, එනමුත් ඔහු තම ධනය අනුන් හා බෙදා නොගනි; ඔහු පින් නොකරයි. ඔහුට ගුණ 2 කි: i ධාර්මිකව ධනය ඉපයීම ii සිතේ සතුට තිබීම. ඔහුට අවගුණ 2 කි: i අධාර්මිකව ධනය ඉපයීම ii ධනය බෙදා නොගැනීම හා පින් නොකිරීම. 6) කෙනෙක් අධර්මයෙන් හා ධර්මයෙන් ධනය උපයාගනී. ඔහුට සතුට ඇත, සිත පිනා ගොස්ය, ඔහු තම ධනය අනුන් හා බෙදා ගනි; ඔහු පින් කරයි. ඔහුට අවගුණ 1 කි: අධාර්මිකව ධනය ඉපයීම. ඔහුට ගුණ 3 කි: i ධාර්මිකව ධනය ඉපයීම ii සිතේ සතුට තිබීම iii තම ධනය අනුන් හා බෙදාගැනීම හා පින් කිරීම. 7) කෙනෙක් ධර්මයෙන් ධනය උපයාගනී. එහෙත්, ඔහුගේ සිතේ සතුට නැත, පිනායාමක් ද නැත; තම ධනය අනුන් හා බෙදා නොගනි; ඔහු පින් නොකරයි. ඔහුට ගුණ 1 කි: ධාර්මිකව ධනය ඉපයීම. ඔහුට අවගුණ 2 කි: ii සිතේ නොසතුටුබව iii ධනය බෙදා නොගැනීම හා පින් නොකිරීම. 8) කෙනෙක් ධර්මයෙන් ධනය උපයාගනී. ඔහුට සතුට ඇත, සිත පිනා ගොස්ය, එනමුත් ඔහු තම ධනය අනුන් හා බෙදා නොගනි; ඔහු පින් නොකරයි. ඔහුට ගුණ 2 කි: i ධාර්මිකව ධනය ඉපයීම ii සිතේ සතුට තිබීම. අවගුණ 1 කි: තම ධනය අනුන් හා බෙදානොගැනීම හා පින් නොකිරීම. 9) කෙනෙක් ධර්මයෙන් ධනය උපයාගනී. ඔහුට සතුට ඇත, සිත පිනා ගොස්ය, ඔහු තම ධනය අනුන් හා බෙදා ගනි; ඔහු පින් කරයි. එහෙත්, ඔහු තම ධනය භාවිතා කරන්නේ එයට ඇලිය; ඔහු ධනය නිසා මත්වී සිටි, අන්ධ (අනුවණ) ලෙසින් ධනයේ ගිලි සිටි. එහි ඇති ආදීනවය (අනතුර) ඔහු නොදකී, ඉන් මිදියාම (නිස්සරනය) ගැන ඔහුට අවබෝධයක් නැත. ඔහුට ගුණ 3 කි: i ධාර්මිකව ධනය ඉපයීම ii සිතේ සතුට තිබීම iii තම ධනය අනුන් හා බෙදාගැනීම හා පින් කිරීම. අවගුණ 1 කි: ඔහු තම ධනය භාවිතා කරන්නේ එයට ඇලි, ඒ නිසා මත්වී, අනුවණ ලෙසින් එහි ගිලි, ආදීනවය හා නිස්සරනය ගැන අවබෝධයක් නැතිනිසාය. 10) කෙනෙක් ධර්මයෙන් ධනය උපයාගනී. ඔහුට සතුට ඇත, සිත පිනා ගොස්ය, ඔහු තම ධනය අනුන් හා බෙදා ගනි; ඔහු පින් කරයි. ඔහු ධනය භාවිතා කරන්නේ එයට නොඇලිය, ඉන් මත්නොවිය,අනුවණ ලෙසින් එහි නොගැලිය. ඔහු එහි ඇති ආදීනවය දකියි, ඉන් මිදෙනඅයුරු දනී. ඔහුට ගුණ 4 කි: i ධාර්මිකව ධනය ඉපයීම ii සිතේ සතුට තිබීම iii තම ධනය අනුන් හා බෙදාගැනීම හා පින් කිරීම iv ඔහු තම ධනය භාවිතා කරන්නේ එයට නොඇලි, ඒ නිසා මත්නොවී, නුවණින් එහි නොගිලි, ආදීනවය හා නිස්සරනය ගැන අවබෝධයක් ඇතිනිසාය. ඔහු අග්‍ර පුද්ගලයකි. බලන්න: අග්‍රමිනිසුන්. සටහන: කාමභෝගීවීම නිසා මිනිසුන් දිළිඳු බවට පත්වේ, එනිසා ණයගැතිවී බෝහෝ දුක් විඳිති. බලන්න: ඉණ. මූලාශ්‍ර: අංගු.නි : (6 ): 10 නිපාත: 10.2.5.1. කාමභොගි සූත්‍රය, පි. 344, EAN:10: 91.1 One who enjoys sensual pleasures, p. 531.

▲ කාම-මිථ්‍යාචාරය: පාලි: කාමෙසුමිච‍්ඡාචාරා - Sexual misconduct කාම-මිථ්‍යාචාරය- කාමයෙහිවරදවා හැසිරීමදස අකුසලයන් ගෙන් එකකි. මෙය පරදාරසේවනය ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: දස අකුසල, පරදාරසේවනය.

▼කාමයෙහි වරදවා හැසිරෙන අය නිරයට යයි: බුදුන් වහන්සේ කාමයෙහි වරදවා හැසිරෙන කෙනෙකුගේ ස්වභාවය මෙසේ දක්වා ඇත: මේ ලෝකයේ කෙනෙක් කාමමිථ්‍යාචාරයේ යෙදෙයි. මව විසින් රකින, පියා විසින් රකින, මව්පියන් විසින් රකින, සහෝදරයෙක් විසින් රකින, සහෝදරියක් විසින් රකින ගෝත්‍රය (කුලය) විසින් රකින, ස්වාමි පුරුෂයෙක් සිටින, වරදක්කර දඬුවමකට යටත්වූ, මල්මාලා හුවමාරුකර විවාහ ගිවිසගත් ආදී වශයෙන් වූ ස්ත්‍රීයක් සමග වැරදි කාම සේවනය කරයි, එවැනි අය ඒකාන්තයෙන්ම නිරයට යයි. “ඉධ භික‍්ඛවෙ එකච‍්චො කාමෙසුමිච‍්ඡාචාරි හොති. යා තා මාතුරක‍්ඛීතා, පිතුරක‍්ඛීතා, මාතා පිතුරක‍්ඛීතා, භාතුරක‍්ඛීතා, භගිනීරක‍්ඛීතා, ඤාතිරක‍්ඛීතා, ගොත‍්තරක‍්ඛීතා, ධම‍්මරක‍්ඛීතා, සස‍්සාමිකා, සපරිදණ‍්ඩා, අන‍්තමසො ගුලපරික‍්ඛීත‍්තාපි, තථා රූපාසු චාරිත‍්තං ආපජ‍්ජිතා හොති” සටහන:මේ නිසා කම්ම සිව් ආකාරයකට රැස්වේ: 1) තමන් එම අකුසලය කිරීම, 2) අනුන්ලවා කරවීම 3) අනුමත කිරීම 4) වර්ණනා කිරීම. බලන්න: අංගු:4 නිපාත: කම්මපථවග්ග:4.7.3 සූත්‍රය. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: කරජකාය වග්ග: 10.5.1.1. පඨම නිරය සූත්‍රය, පි. 548, ජානුසොණි වගග, 10.4.2.10,චුන්ද සූත්‍රය,පි.508EAN:10: The Deed-born body: 211.1 Hell, p. 556, Jāṇussoṇī: 176.10, Cunda, p.553.

▼වෙනත් මුලාශ්‍ර: 1. “කාමමිථ්‍යාචාරය: මෛථුන ධර්මය- ඒකාන්තයෙන් නින්දිතවූ හැසිරීමකි. පරස්ත්‍රී-පරපුරුෂ සේවනය -වරදවා මෙවුන්දම් සෙවුම යයිද කියයි. මෙයට අංග 4කි: නොඑළඹිය යුතු ස්ත්‍රී පුරුෂයන් අතරෙන් කෙනෙක් වීම, සේවනය කරන සිත්, ඒ සඳහා කරන උපක්‍රමය, එය යෙදීම”: සද්ධර්ම කෝෂය, පි. 113.

▲කාමයොගය: පාලි: කාමයොගො- the bond of sensuality: කාම යොගය යනු ලෝක සත්ත්‍වයා සසරට බැඳ තබන බැමි- කෙලෙස් බැඳීම් 4 න් එකකි. මෙය ධර්ම මාර්ගයට හානි කරන කරුණකි. බලන්න: සතර යොග, හානභාගිය ධර්ම.

▲ කාම රාගය- sensual desire: පංචකාමයට ඇලීම- කාම රාගයය. අනිච්චසංඥාව වඩා ගැනීමෙන් කාම රාගය ප්‍රහීණ කර ගත හැකිය. බලන්න: නීවරණ, අනිච්චසංඥාව.

▲ කාමරාග අනුසය:පාලි: කාමරගානුසා- underlying tendency to sensual desire: ධර්මයට අනුව පංචකාමය පිළිබඳව සිත යට ඇති ආශාව කාමරාග අනුසය වේ, සත් අනුසයන්ගෙන් එකකි. බලන්න: අනුසය.

▼වෙනත් මුලාශ්‍ර: 1. “කාමරාගඅනුසය නම්: සොම්නස හා එක්ව පවත්නා කාමසේවනාදියෙහි දොස් නැත යන මිථ්‍යා දෘෂ්ටිය හා යෙදුන අනුන් විසින් මෙහෙයිමක් නොකරනලද සිතය. එසේම, කාම සේවනාදියෙහි දොස් නැත යන මිථ්‍යා දෘෂ්ටිය හා යෙදුන අනුන් විසින් මෙහෙයවනලද සිත ආදි සිත් 8 ය. මේ සිත් ලෝභ මූලික අකුසල් සිත්වේ”. සද්ධර්ම කෝෂය, පි. 234.

▲ කාමලෝකය -Sensuous world: කාමයට ලැදිවූ සත්ත්‍වයන් යළි උපත ලබන භවයකි. සතර අපාය, මිනිස්ලෝකය හා කාමාචාර දේවලෝක මෙයට ඇතුලත්වේ .බලන්න: භවය, දේවලෝක, සතරඅපාය.

▲ කාමවිතක්ක- sensual thought: කාමවිතක්ක යනු පංචකාමයන් පිලිබඳව සිතමින් එහි ඇලි සිටීමය. කාමවිතක්ක ඇතිවන්නේ හේතු නිසාය, හේතු නොමැතිව කාම විතක්ක නූපදී යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන: ධර්මයේ අන්ධවීමට කාමවිතක්ක හේතුවේ. බලන්න: අන්ධකරණ හා අන්ධනොකරණ.

▲ කාමසංඥාව- sensual perception: කාමසංඥාව යනු, කාමවස්තූන් පිලිබඳ, හඳුනාගැනීමය. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ කාම ධාතුව නිසා කාමසංඥාව ඇතිවන බවය. කාමසංඥාව ඇතිවීම නිසා කාමසංකල්පනා ඇතිවේ. බලන්න: කාම ධාතුව.

▲ කාමසංකල්පනා- sensual intention: කාමසංකල්පනා යනු කාමවස්තුන් පිලිබඳ සිතිවිලි ඇතිකරගැනීම. කාම සංඥාව නිසා කාමසංකල්පනා ඇතිවේ. කාමසංකල්පනා නිසා කාමච්ඡන්දය ඇතිවේ. බලන්න: කාමධාතුව.

▲ කාමසුඛය- sensual happiness : ගිහියන් විඳින සුඛය මින් අදහස් කෙරේ. මේ සුඛය හීනය, නෙක්ඛම්ම සුඛය අග්‍රය. බලන්න: සුඛය.

▲ කාමාවචර- Sensuous sphere: කාමයට බැඳීම නිසා යළි උපත ලබන භවයකි, කාමලෝකය හඳුන්වන පදයකි. බලන්න: කාමලෝකය, භව.

▲ කාමාවචරධර්ම- Kamavachara Dhmma: කාමාවචර ධර්ම, අර්ථසන්දර්ශන ඥානයට ඇතුලත් කරුණකි. බලන්න: අර්ථසංදර්ශන ඤාණය.

▲ කාමසුඛල්ලිකානු යෝගය- pursuit of sensual pleasures කාමසුඛල්ලිකානු යෝගය- කාමයට ඇලිම, ආධ්‍යාත්මික වර්ධනය පිණිස අත් හැරදැමිය යුතු එක් අන්තයක් ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත .බලන්න: අන්ත දිට්ඨි සතර, සතර අන්ත, ආරියඅටමග. සටහන: ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේ ගැන දක්වා ඇත.

▲ කිම්බිල තෙර- Kimbila Thera:බලන්න: උප ග්‍රන්ථය:1.

▲ කුම්භ-Pots: කුම්භ යනු වළඳය (හැලිය). බුදුන් වහන්සේ කුම්භ 4 ක් පෙන්වා ඇත: 1) ඇතුලත හිස්ය, වසා ඇත 2) ඇතුලත පිරුන, නොවැසූ 3) ඇතුලත හිස්ය, වසා නොමැත 4) ඇතුලත පිරුන වැසූ. එවැනි ස්වභාවය ඇති පුද්ගලයන් 4 දෙනක් ලෝකයේ සිටිති. බලන්න: කුම්භ වැනි පුද්ගලයෝ.

▲ කුම්භවැනි පුද්ගලයෝ- Persons similar to pots: කුම්භ හෙවත් වළං බඳු පුද්ගලයෝ සිව් දෙනක් (කුම‍්භොපම)ගැන බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) එක් පුද්ගලයෙක් කය හැසිරවීම, සිව්රු දැරීම ආදී බාහිර ක්‍රියා මානව කරයි, එහෙත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොමැත. ඔහුගේ පිටත වැසි ඇත, ඇතුලත හිස්ය 2) එක් පුද්ගලයෙක් කය හැසිරවීම, සිව්රු දැරීම ආදී බාහිර ක්‍රියා මානව නොකරයි, එහෙත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඇත. ඔහුගේ පිටත විවෘතය, ඇතුලත වැසි ඇත 3) එක් පුද්ගලයෙක් කය හැසිරවීම, සිව්රු දැරීම ආදී බාහිර ක්‍රියා මානව නොකරයි, එසේම, චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොමැත. ඔහුගේ පිටත විවෘතය, ඇතුලත හිස්ය. 4) එක් පුද්ගලයෙක් කය හැසිරවීම, සිව්රු දැරීම ආදී බාහිර ක්‍රියා මානව කරයි, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඇත. ඔහුගේ ඇතුලත පිරිඇත, පිටත වැසි ඇත. කුම්භ-වලං වල ස්වභාවය උපමා කරමින් පුද්ගල විවිධබව පෙන්වා ඇත. කුම්භ උපමාව:බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත: 4.3.1.3 කුම්භ සූත්‍රය, පි. 222, EAN:4: 103.3 Pots, p. 185.

▲කුමාරකාශ්‍යප තෙර-Kumarakasyapa Thera: බලන්න: උපග්‍රන්ථය:1

කය

▲ කය: පාලි: කාය-body/form: ධර්මයේ කය ලෙසින් පෙන්වා ඇත්තේ ශරීරයය, පංච උපාදානස්කන්ධයේ රූප ස්කන්ධයය: සතර මහා භූතයන් ගෙන් සකස්වූ භෞතික ස්වරුපයය (physical form). අංගු.නි: (6) 10 නිපාත: කරජකාය සූත්‍රයේ දී, මේ කය: කරජකාය- මරණ ස්වභාවය ඇතිදෙයක් ලෙස, කර්ම නිසා සකස්වූ දෙයක් ලෙස පෙන්වා ඇත. කය පිලිබඳ භාවනාව- කායාගතා සතිය ආවර්ජනය කිරීමේදී පෙන්වා ඇත්තේ කයේ ඇති 31-32 කොටස් ගැනය. කයෙන් කරන කර්ම ලෙසින් පෙන්වා ඇත්තේ ශරීරය ආධර කරගෙන කරන ක්‍රියා ගැනය. බලන්න: කායගතා සතිය, පංච උපාදානස්කන්ධය, ශරීරය. සටහන්: * කයේ පවැත්ම පිණිස ආහර මූලිකවේ. බලන්න: ආහාර.** කයට ඇති ඇල්ම නැතිකර ගැනීමට - කයේ අසුභය දැකීමට අට්ඨික සංඥාව වැඩිය යුතුය. බලන්න: අට්ඨික සංඥාව. **කයේ නියම ස්වභාවය ගැන බලන්න: ශරීරයානය. **කයේ පැහැය අනුව කුල- පංති බෙදා ඇත. බලන්න: ශරීරවර්ණය. **කය නිසා පවතින ධර්මතා ගැන බලන්න: ශරීරස්ථ ධර්ම ** බුදුන් වහන්සේ ඇතුළු ආරිය උතුමන්, පිරිනිවන් පා සිදුකරන ආදාහනයෙන් පසු ඉතිරිවන කාය කොටස් ධාතු ලෙසින් පෙන්වා ඇත. බලන්න: ශාරීරික ධාතු. **කයේ වේදනා ගැන බලන්න: වේදනා, අට්ඨසත ධම්මපරියාය. **කයේ ඉන්ද්‍රියන් ගැන බලන්න: ඉන්ද්‍රිය. ** කය, අභන්තර ආයතනයකි. බලන්න: ආයතන. ** භාවනාව පිණිස කාය විවේකය අවශ්‍යයය. බලන්න: සුඛසෝමනස්ස,හුදකලාවිවේකය.

▼ කය මෙලොවට පමණි-Body is only for this world :බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ හෝ මේ කය පරලොව ගෙන යා නොහැකිය, මරණස්වභාවය ඇති අයට සිත හරය ලෙසින් ඇත ( චිත්ත ක්‍ෂණාන්තරයක් ඇත)”. “ඉත්‍ථියා වා භික‍්ඛවෙ පුරිසස‍්ස වා නායං කායො ආදාය ගමනීයො. චිත‍්තන‍්තරො අයං භික‍්ඛවෙ මච‍්චො” (A woman or a man cannot take this body with them when they go. Mortals have mind as their core). සටහන්: * කය පරලොව නොගියද සිතින් කරනලද කම්ම විපාක, යළි උපත ඇති කරයි බලන්න: කම්ම. ** අටුවාවට අනුව: They have mind as their cause, or their interior is due to mind -cittakāraṇo, atha vā citten’eva antariko. For with the mind at rebirth that follows without interval the mind at death, one becomes a deva, a hell-being, or an animal. බලන්න: EAN: Note: 2189, p. 685. මූලාශ්‍ර: අංගු.නි:( 6):10 නිපාත: කරජකාය වග්ග,10.5.1.9. කරජකාය සූත්‍රය, පි.582 , EAN: 10: The Deed Born Body, p.561.

▲ කාය කම්ම- Bodily Kamma: භවය සකස් වීමපිණිස (සසර පැවැත්මට) කර්ම ඇතිකරණ කරුණු 10ක්, කය උපකාර කරගෙන (කයනිසා සිදුවන) ඇතිවන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1 ශිත-Cold 2 උෂ්ණය- heat, 3 බඩගින්න- hunger 4 පිපාසය- thirst 5 මලපහකිරීම- defecation 6 මූත්‍රාකිරීම-urination 7 කාය සංවරය- bodily restraint 8 වචීසංවරය- verbal restraint 9 ජිවිත පැවැත්මේ සංවරය- restraint in one’s livelihood 10 කම්ම ඇති කරණ චේතනා -volition. බලන්න: කම්ම. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10: නිපාත: 5 අකෝෂ වග්ග, 10.1.5.9. ශරිරට්ඨධමම සූත්‍රය,පි.186, EAN:10 : V,49.9. Subsisting through the body, p. 512.

▲ කායගතාසතිය - mindfulness of the body: කායගතා සතිය (Mindfulness directed to the body) ලෙසින් ධර්මයේ පෙන්වා ඇත්තේ සතර සති පට්ඨානයේ කායානුපස්සනාවට අනුව කය පිලිබඳ සිහිය පැවැත්වීමය. කායානුපස්සනාවේ, කායගතා සතිය පවත්වාගැනීම විස්තරාත්මකව පෙන්වා ඇත. කායගතාසති භාවනාව නිවනට මගකි. කායගතා සතිය වැඩීමෙන් බොහෝ ප්‍රතිලාභ ඇතිවෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: භාවනාව, සතරසතිපට්ඨානය. සටහන: පසුපස කඩුගත් මිනිසේක්, තම හිස සිඳීමට සැරසි සිටින විට, මුවවිට තෙක් පිරුණ තෙල් බඳුනක් නොසොල්වා, ජනපද කල්‍යාණිය රඟදෙන ස්ථානයක සිටින මහාජන සමුහයක් මැදීන් ගමන් කරන පුද්ගලයෙක් ලෙසින්, සිත යහපත් ලෙසින් පවත්වා ගත යුතුබව මෙහිදී පෙන්වා ඇත. උපමාව: ජනපදකල්‍යාණි:බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍රය: සංයු.නි: (2) නිදානවග්ග: සතිපට්ඨානසංයුත්ත: නාලන්දවග්ග: 3.2.10 ජනපදකල්‍යාණි සූත්‍රය, පි.331.

▼ සුඛ වේදනාව සහිතවූ කාය ගතා සතිය, ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීම පිණිස වැඩියයුතු ධර්මතාවකි (භාවේතබ්බ ධම්ම ). බලන්න: භාවෙතබ්බ ධමම හා නභාවෙ තබ්බ ධමම. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ කායගතාසතිය වැඩීමෙන්, බහුල කරගැනීමෙන් : සසරට කලකිරේ, සසරට නොඇලේ, කෙළෙස් ප්‍රහිණයවේ, අනුසය ධර්ම ප්‍රහීණය වේ, විරාගය ඇතිවේ, නිවන පිණිස පවතී. මූලාශ්‍ර:අංගු.නි: (1): 1 නිපාතය: 16 එකධම්මපාලිය, පි. 100, EAN:1:One thing, p. 47, කායගතාසති වග්ග සූත්‍ර, පි. 125, EAN:1: Mindfulness Directed to the Body, p.52. සටහන්: * අරතිය පහ කරගැනීමට කායගතා සතිය වැඩිය යුතුවේ. බලන්න: අරතිය. ** අවිද්‍යාව -අවිජ්ජාව පහ කර ගැනීමට කායගතා සතිය වැඩිය යුතුවේ. බලන්න: අවිද්‍යාව. ** කායගතා සතිය වඩා ගැනීමෙන් අස්මිමානය පහකර ගත හැකිය. බලන්න: අස්මිමානය ** අසාමන්ත ප්‍රඥාව ඇතිකර ගැනීමට කායගතා සතිය වැඩිය යුතුවේ: බලන්න: අසාමන්ත ප්‍රඥාව. ** සියලු කුසල ධර්මයන්ට කායගතා සතිය ඇතුලත්වේ. බලන්න: අෂ්ටවිද්‍යා ඥාන. ** කායගතා සතිය සසර කලකිරීම පිණිස ඇති එක් භාවනාවකි: බලන්න: එක ධර්මය. ** කායගතා සතිය වැඩීමෙන් සීඝ්‍ර ප්‍රඥාව ඇතිවේ. බලන්න: සීඝ්‍ර ප්‍රඥාව. ** කායගතා සතිය වැඩීමෙන් හාසුප්‍රඥාව ඇතිවේ. බලන්න: හාසූ ප්‍රඥාව.

▼කායගතාසතිය නිවන් මගය- අසංඛත මගය :මූලාශ්‍ර: සංයු.නි: (4):සළායතනවග්ග: අසංඛත සංයුත්ත: 9.1.1 කායගතාසති සූත්‍රය, පි. 659, ESN:43: Asankatasamyutta: p. 1493.

▼ කායගතා සතියේ ප්‍රතිලාභ- Fruits of Mindfulness: ආධ්‍යාත්මික වර්ධනය ඇති කරගැනීමට ඉමහත් ලෙසින් උපකාරවන කායගතා සතිය වැඩීමෙන්, විපුල කරගැනීමෙන් විවිධ ප්‍රතිලාභ ඇතිවෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: සතර සති පට්ඨානය.

▼ කායගතා සතියේ ප්‍රතිඵලය සත්‍ය ඥාණ අවබෝධය පිණිසය. “යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ මහාසමුද‍්දො චෙතසා ඵුටො, අන‍්තොගධා තස‍්ස කුන‍්නදියො යා කාචි සමුද‍්දඬගමා. එවමෙව ඛො භික‍්ඛවෙ යස‍්ස කස‍්සචි කායගතාසති භවිතා බහූලීකතා, අන‍්තොගධා තස‍්ස කුසලා ධම‍්මා, යෙ කෙචි විජ‍්ජාභාගියා” . යම්කිසිකෙනෙක්, මහාසමුද්‍රය ගැන සිතා බලන්නේ නම්, මහමුහුදට ගලා බසින සියලුම කුඩා ගංගාවන් ද මහාසමුද්‍රයට ඇතුළත් බව ඔහු දනී. එලෙස, කෙනෙක්, කායගතාසතිය වඩන්නේ ද, බහුල කරගන්නේද, විද්‍යාව ඇතිකරන කුසල ධර්මතා (සත්‍යඥාන අවබෝධය පිණි ඇති ධර්ම කොටස්- විජ‍්ජාභාගියා ධම‍්මා) කායගතා සතියට ඇතුලත් වේ. (as one who encompasses with his mind the great ocean includes thereby all the streams that run into the ocean, just so, whoever develops and cultivates mindfulness directed to the body includes all wholesome qualities that pertain to true knowledge).බලන්න: සත්‍ය ඥානය, විජජාභාගීය ධර්ම. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග: 1.16.7.1 සූත්‍රය. පි. 125, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▼කායගතා සතිය වැඩීමේ ප්‍රතිලාභ: 1) මහා සංවේගය ඇතිකරයි. බලන්න: මහා සංවේගය, මහත්ඵල මහාආනිසංස. 2) මහා අර්ථය -මහත් ඵල පිණිස පවතී (මහතො අත්‍ථාය සංවත‍්තති- leads to great good): සතර මගඵල ලැබීම පිණිස පවතී (සෝතාපන්න මග - අරහත් මග). 3) මහත්වූ යොගකේෂමය පිණිස පවතී (යොගක‍්ඛෙමාය සංවත‍්තති- leads to great security from bondage): සසර බැමි ක්‍ෂයකර ආරක්ෂාව ලැබීම -නිවන පිණිස: කාමයොග, භවයොග, දිට්ඨියොග හා අවිජ්ජායොග යන බැමි වලින් නිදහස්වීම, සතර සමණ ඵල පිණිස: සෝතාපන්න- අරහත් ඵල ලැබීමට. බලන්න: සතර යොග, සතර ශ්‍රමණ ඵල). 4) සති සම්ප්‍රජන්‍යය පිණිස පවතී (සතිසම‍්පජඤ‍්ඤාය සංවත‍්තති- leads to mindfulness and clear comprehension .බලන්න: සතිසම්ප්‍රජන්‍යය. 5) ඤාණදර්ශනය ලැබීම පිණිස පවතී (ඤාණදස‍්සනපටිලාභාය සංවත‍්තති- leads to the attainment of knowledge and vision) දිවැස් නුවණ ලැබීම පිණිස. 6) මේ භවයේදීම සැප විහරණය ඇතිව වාසය කිරීමට ලැබීම (දිට‍්ඨධම‍්මාසුඛවිහාරාය සංවත‍්තති- leads to a pleasant dwelling in this very life). 7) විද්‍යාවිමුක්තිය පිණිසවේ (විජ‍්ජාවිමුත‍්තිඵල සච‍්ඡීකිරියාය සංවත‍්තති- leads to realization of the fruit of knowledge and liberation) බලන්න: විජ්ජා විමුක්තිය. 8) කයේ සංන්සිඳීම, සිතේ සංන්සිඳීම, විතර්ක හා විචාර සංන්සිඳීම මගින් භාවනාව (සමාධිය ලැබීම) පරිපූර්ණව, විද්‍යාවිමුක්තිය පිණිසවූ කුසල ධර්ම සම්පුර්ණබවට පත්වේ. (කායොපි පස‍්සම‍්භති... චිත‍්තම‍්පි පස‍්සම‍්භති... විතක‍්කවිචාරාපි වූපසම‍්මන‍්ති...කෙවලාපි විජ‍්ජාභාගියා ධම‍්මා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති- the body becomes tranquil, the mind becomes tranquil, thought and examination subside, and all wholesome qualities that pertain to true knowledge reach fulfillment by development) 9) නුපන් අකුසල ඇතිනොවේ, උපන් අකුසල ප්‍රහීණයවේ ...නුපන් කුසල ඇතිවේ, උපන් කුසල වැඩිවී විපුල බවට පත්වේ (අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා නුප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා පහීයන‍්ති... අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා භියෙය්‍යාභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති - unarisen unwholesome qualities do not arise and arisen unwholesome qualities are abandoned... unarisen wholesome qualities arise and arisen wholesome qualities increase and expand) 10) අවිද්‍යාව පහවේ, විද්‍යාව ඇතිවේ (අවිජ‍්ජා පහීයති, විජ‍්ජා උප‍්පජ‍්ජති-ignorance is abandoned, true knowledge arises) 11) අස්මිමානය පහවේ (අස‍්මිමානො පහීයති- the conceit ‘I am’ is abandoned) බලන්න: අස්මිමාන. 12) අනුසය ධර්ම සහමුලින්ම ඝාතනයවේ (අනුසයා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති -underlying tendencies are uprooted) බලන්න: අනුසය. 13) සංයෝජන ප්‍රහීණය වේ (සඤෙඤාජනා පහීයන‍්ති -fetters are abandoned). බලන්න: සංයෝජන. 14) ප්‍රඥාප්‍රභේදය පිණිස පවතී (පඤ‍්ඤාපභෙදාය සංවත‍්තති- leads to differentiation by wisdom) 15) අනුපාදා පරිනිර්වානය පිණිස පවතී (අනුපාදා පරිනිබ‍්බාණාය සංවත‍්තති- leads to nibbāna through non-clinging) 16) අටළොස්-18 ක්වූ අනේක ධාතුන්ගේ ලක්ෂණ, විවිධබව අවබෝධවේ, ධාතුන්ගේ විවිධත්වය අවබෝධවේ අනේක ධාතුන්ගේ පටිසම්භිදා නුවණ පහලවේ.(අනෙකධාතුපටිවෙධො හොති...නානාධාතු පටිවෙධො හොති ... අනෙකධාතුපටි සම‍්භීදා හොති -penetration of numerous elements occurs …penetration of the diversity of elements occurs … analytical knowledge of numerous elements occurs). බලන්න: ධාතු. 17) සෝතාපන්න සිට අරහත්වය දක්වාවූ මගඵල ලැබීම පිණිස හේතුවේ (සොතාපත‍්තිඵල සච‍්ඡීකිරියාය... සකදාගාමි ඵලසච‍්ඡීකිරියාය... අනාගාමිඵලසච‍්ඡීකිරියාය... අරහත‍්තඵලසච‍්ඡීකිරියාය සංවත‍්තති- realization of the fruit of stream-entry … fruit of once-returning … fruit of non-returning … fruit of arahantship) 18) ප්‍රඥාව ලැබීම පිණිස වේ: 1. ප්‍රඥා පටිලාභය පිණිස 2. ප්‍රඥා වෘද්ධිය පිණිස 3. ප්‍රඥා විපුලබව පිණිස 4. මහා ප්‍රඥාව පිණිස 5. පුථු ප්‍රඥාව පිණිස 6 විපුලවූ ප්‍රඥාව පිණිස 7 ගාම්භීර ප්‍රඥාවපිණිස 8 අසාමන්ත ප්‍රඥාව පිණිස 9 භූරි ප්‍රඥාව පිණිස 10 ප්‍රඥා බහුලත්වය පිණිස 11 සීඝ්‍ර ප්‍රඥාව පිණිස 12 ලහුප්‍රඥාව පිණිස 13 හස ප්‍රඥාව පිණිස 14 ජවන ප්‍රඥාව පිණිස 15 තීක්ෂණ ප්‍රඥාව පිණිස 16 නිබ්බෙදික ප්‍රඥාව පිණිස.බලන්න: ප්‍රඥාව. (පඤ‍්ඤාපටිලාභා... පඤ‍්ඤා වුද‍්ධියා... පඤ‍්ඤාවෙපුල‍්ලාය... මහාපඤ‍්ඤතාය... පුථුපඤ‍්ඤතාය ... විපුලපඤ‍්ඤතාය... ගම‍්භීරපඤ‍්ඤතාය... අසාමන‍්තපඤ‍්ඤතාය... භූරිපඤ‍්ඤතාය... පඤ‍්ඤා- බාහුල‍්ලාය...සීඝපඤ‍්ඤතාය... ලහුපඤ‍්ඤතාය... හාසුපඤ‍්ඤතාය...ජවනපඤ‍්ඤතාය... තික‍්ඛපඤ‍්ඤතාය... නිබ‍්බෙධිකපඤ‍්ඤතාය... සංවත‍්තති-) leads to the obtaining of wisdom … to the growth of wisdom … to the expansion of wisdom … to greatness of wisdom … to extensiveness -diversity of wisdom …to vastness of wisdom … to depth of wisdom … to a state of unsurpassed wisdom … to breadth of wisdom… to abundance of wisdom … to rapidity of wisdom … to buoyancy of wisdom … to joyousness of wisdom … to swiftness of wisdom … to sharpness of wisdom … to penetrativeness of wisdom) 19) කායගතා සතිය වඩාගැනීම, විපුල කරගැනීම, එහි ප්‍රමාදනොවීම ආදීය මගින් අමතය හෙවත් නිවන් මග සාක්ෂාත් කර ගැනීමට හැකිවේ. සටහන: කායගතා සතිය අතපසු කිරීමෙන් නිවන අතපසුවීම ආදීවූ අයහපත්විපාක පිළිබඳවව අමතවග්ගයේ විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි:(1):1 නිපාත:කායගතාසති වග්ග, පි. 125 හා අමත වග්ග, පි. 130, EAN:1: Mindfulness Directed to the Body, p.52 & The Deathless, p. 53.

▲කායගන්ථ: පාලි: කායගනෙත්‍ථා -The bodily knots :කායගන්ථ (කායගැට, බැඳතබන- ගොතාදමන) ලෙසින් ධර්මයේ පෙන්වා ඇත්තේ, යළි උපතට හේතුවන, සසර දික්කරන කෙළෙස්වලටය. කායගන්ථ 4 කි: 1) අබිජ්ජාව (තණ්හාව-covetousness), 2) ව්‍යාපාදය (ක්‍රෝධය- ill will) 3) සීලබ්බතපරාමාස (ධර්මයට බාහිර සීල හා ව්‍රත පිළිපැදීම- distorted grasp of rules and vows) 4) මෙයම සත්‍යය යයි ගැනීම ( දිට්ඨි මත වලින් බැඳීම: මෙය පමණක් නිවැරදිය ආදී ලෙසින්- adherence to dogmatic assertion of truth). මේ ගැටසතර ගැන අවබෝධ කරගැනීමට හා ඒවා ප්‍රහීණය කිරීම පිණිස ආරිය අටමග මනාව වැඩිය යුතුයයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: සංයු.නි: (5-1 කාණ්ඩය): මහාවග්ග: මග්ගසංයුත්තල ඕඝවග්ග: 1.16 ගන්ථ සූත්‍රය, පි. 162, ESN: 45: Maggasamyutta: 17.4. Knots, p. 1721.

▲ කායසක්ඛි: පාලි: කායසක‍්ඛී - body-witness :කායසක්ඛි යනු සත් ආරිය පුද්ගලයන්ගෙන් කෙනෙකි, සිව්ජාන, අරූප සමාපත්ති ලබා, ප්‍රඥාවෙන් චතු සත්‍ය දැක, ඇතම් ආසවයන් ක්‍ෂය කරගත් ආරිය ශ්‍රාවකයාය. බලන්න: සත් ආරිය පුද්ගලයෝ, උත්තම දසපුද්ගලයෝ. ශබ්දකෝෂ: B.D: p: 82: “Kāya-sakkhi: He is one who ‘in his own person (body) has attained the 18 deliverances (vimokkha) and after wisely understanding the phenomena, the cankers have partly come to extinction …”

▼කායසක්ඛි ආරිය ශ්‍රාවකයා, අරූපසමාපත්ති ඇතිව, ප්‍රඥාවෙන් ආරිය සත්‍ය දැක, ඇතැම් ආසවයන් ප්‍රහීණයකර වාසයකරති. අරහත්වය ලබා නොමැතිනිසා ඔවුන් අප්‍රමාදව කටයුතු කළයුතුවේ යයි බුදුන් වහන්සේ වදාළහ. ඒ සඳහා ඔවුන් සුදුසු සෙනසුන්වල වාසය, කලණමිතුරු සේවනය, අධ්‍යාත්මික ඉන්ද්‍රිය වර්ධනය කළයුතුවේ. ( Here some person contacts with the body and abides in those liberations that are peaceful and immaterial, transcending forms, and some of his taints are destroyed by his seeing with wisdom. This kind of person is called a body-witness). සටහන: අටුවාවට අනුව මේ ගණයට වැටෙන්නේ සෝතාපන්න, සකදාගාමී, අනාගාමී හා අරහත්මර්ගය ලබාගත් උතුමන්ය, ඔවුන්, පසුව මාර්ගය සම්පුර්ණ කර අරහත්වය ලබයි. බලන්න: EMN: note: 704, p. 1129. මූලාශ්‍ර: ම.නි: ( 2): 2.2.10 කීටාගිරි සූත්‍රය, පි. 252, EMN: 70: Kīṭāgiri Sutta, p. 536.

▼ බුදුන් වහන්සේ කායසක්ඛි ආරිය ශ්‍රාවකයා හඳුන්වා ඇති අන්දම, ආනන්ද තෙරුන්, මෙසේ පෙන්වා ඇත: 1) සිව් ජාන සමාපත්ති ලැබූ පුද්ගලයෝ: මේ සසුනේ මහණ, පළමු...දෙවෙනි...තෙවෙනි... සිව්වෙනි ජාන සමාපත්තියට පැමිණ, එය නාමකායෙන් ස්පර්ශ කර වාසය කරයි. මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේ විසින් පර්යායෙන් (කාලීන ලෙසින්) කායසක්ඛි පුද්ගලයා හඳුන්වා ඇත. (Here, friend, secluded from sensual pleasures … a bhikkhu enters and dwells in the first jhāna …fourth jhāna… He dwells having contacted that base with the body in whatever way [it is attained].To this extent the Blessed One has spoken of a body witness in a provisional sense) 2) සිව් අරූපසමාපත්ති ලැබූ පුද්ගලයෝ: මේ සසුනේ මහණ: ආකාසාන ඤචායතන ... විඤඤානඤචායතනය ...ආකිඤචඤඤායතනය... නෙවසඤඤානාසඤඤායතනය යන අරූප සමාපත්තියට පැමිණ, එය නාමකායෙන් ස්පර්ශ කර වාසය කරයි. මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේ විසින් පර්යායෙන් (කාලීන ලෙසින්) කායසක්ඛි පුද්ගලයා හඳුන්වා ඇත. සටහන: පර්යායෙන් (කාලීන ලෙසින්) කායසක්ඛි පුද්ගලයා හඳුන්වා ඇත්තේ, ඔහු එතෙක් අරහත්වයට නොපැමිණි නිසාය. මූලාශ්‍ර:අංගු.නි: (5) : 9 නිපාත: 9.1.5.2 කායසක්ඛි සූත්‍රය, පි. 557, EAN:9: 43.2 Body Witness, p. 484.

▲ කාය සංඛාර -bodily formations : කාය සංඛාර යනු ත්‍රිවිධ සංඛාර (කාය වචී මනෝ) වලින් එකකි; කයෙන් කරන කටයතු නිසා ඇතිවන කුසල හෝ අකුසල චේතනාය. බලන්න: සංඛාර.

▲ කාය සංඛාර පස්සද්දිය: පාලි: පස‍්සද‍්ධකායසඬඛාරො-tranquilization of bodily activity : සිව්වෙනි ජාන සමාපත්තිය ලබා කය සංසුන්විම, කාය සංඛාර පස්සද්දිය ලෙසින් පෙන්වා ඇත. එම තත්වය ලබන ආරියෝ,ආරිය වාසස්ථාන හිමි කරගනී.බලන්න:ආරියවාසස්ථාන

▼ සුඛ හා දුක් වේදනා පහකර, සොම්නස හා දොම්නස නොමැතිව, දුකනැති, සුඛ නැති, උපේක්ඛාවෙන් පිරිසුදුවූ සිත ඇති, සිව්වෙනි ජානය ඇතිව සිටීම කාය සංඛාර පස්සදිය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: “කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු පස‍්සද‍්ධකායසඬඛාරො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්ස දොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුදධිං චතුත්‍ථඣානං උපසම‍්පජ‍්ජ විහරති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු පස‍්සද‍්ධකායසඬඛාරො හොති” ( Here, with the abandoning of pleasure and pain, and with the previous passing away of joy and dejection, a bhikkhu enters and dwells in the fourth jhāna, neither painful nor pleasant, which has purification of mindfulness by equanimity. It is in this way that a bhikkhu has tranquilized bodily activity). මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය, 10.1.2.10 හා දෙවෙනි අරියවාස සූත්‍රය, පි.82-84, EAN:10:19.9 & 20.10 Abodes of the Noble Ones, p. 498-499.

▲ කාය සංවරය- Restrain of bodily activities: කාය සංවරය ලෙසින් පෙන්වා ඇත්තේ කය පදනම් කරගෙන කරන ක්‍රියා-කටයුතු යහපත් ලෙසින් කිරීමය. ආධ්‍යාත්මික මාර්ගය දියුණු කරගැනීමට උපකාරීවේ. බලන්න: ඉන්ද්‍රිය සංවර, තුන්දොර.

▲ කාය සුචරිතක්‍රියා හා කාය දුශ්චරිත ක්‍රියා- Bodily Good conduct & Miscondut: කාය සුචරිතක්‍රියා: කය ඇසුරුකොට කරන යහපත් කුසල ක්‍රියාය. කාය දුශ්චරිතක්‍රියා: කය ඇසුරුකොට කරන අයහපත් අකුසල ක්‍රියාය. විස්තර පිණිස බලන්න: සුචරිතක්‍රියා හා දුශ්චරිත ක්‍රියා.

▲ කායානුපස්සනාව- Kayanupassana: කායානුපස්සනාව යනු කය පිලිබඳව සිහිය පවත්වා ගැනීමය, අනුසති භාවනාවකි. සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ ගැන විස්තර දක්වා ඇත. බලන්න: භාවනා, ඉරියාපථ.

▲ කයේ ගිලන්බව- affliction of the body: බුදුන් වහන්සේ කය පිළිබඳව මෙසේ වදාළහ: “ මේ කය ලෙඩදුක් සහිතය, සියුම් සිවියකින් වැසි ඇති නිසා බිත්තරයක් මෙන් දුබලය- වහා බිඳීයන සුළුය. එවැනි කයක් ඇතිවිට, තම කය නිරෝගී යයි මොහොතකට හෝ කෙනෙක් සිතන්නේනම් එය අනුවණ කමකි. එමනිසා, නුවණැති පුද්ගලයා මෙසේ හික්මිය යුතුය: ‘ මගේ කය ගිලන්වුවද, මම මගේ සිත ගිලන් නොකර ගනිමි’ ”. “ ...ආතුරො භයං ගහපති කායො, අණ‍්ඩභුතො පරියොනද‍්ධො ... ඉමං කායං පරිහරන‍්තො මුහුත‍්තම‍්පි ආරොග්‍යං පටිජානෙය්‍ය කීමඤ‍්ඤත්‍ර බාලය්‍යා. තස‍්මාතිහ තෙ ගහපති, එවං සික‍්ඛිතබ‍්බං: ආතුරකායස‍්ස මෙ සතො චිත‍්තං අනාතුරං භවිස‍්සතිති” සටහන්: * බුදුන් වහන්සේ මේ අවවාදය වදාළේ නකුලපිතා උපාසකටය. ** කය ගිලන්වු වත් සිත ගිලන් නොකරගන්නා විධිය පිණිස බලන්න: සිත ගිලන් නොකරගැනීම. ** නකුලපිතා උපසක, බුදුන් වහන්සේගේ අග්‍රතම උපාසකයෙකි. බලන්න: උපග්‍රන්ථය:3. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධ සංයුත්ත: 1.1.1.1. නකුල පිතු සූත්‍රය, පි 30, ESN:22: Khandasamyutta: 1.1 nakulapita, p. 1007.

▲කයේ ස්වභාවය- Nature of the body: කය යානයක් වැනිය: සක් 4 ක් ඇත, දොරවල් 9 කි, අශුචියෙන් පිරිඇත, ලෝභයෙන් යුක්තය, මඩ වලක උපත ලබා ඇත, එවන් කයකින් මිදෙන්නේ කෙසේද? යයි දෙවියෙක්, බුදුන් වහන්සේ විමසුහ. බුදුන්වන්සේ මෙසේ වදාළහ: “ ශරීරයානයේ රැහැන හා වරපට ගලවා, ලාමක ආසාව හා ලෝභය සිඳ දමා, තණ්හාව සහමුලින්ම උදුරාදැමීමෙන්, කයෙන් නිදහස්විය හැකිවේ”. සටහන: * අටුවාවට අනුව සක් 4 යනු කය හැසිරෙන ආකාර 4: ඇවිදීම, සිටගැනීම, හිඳගැනීම හා ඇලවීසිටීම. නව දොර: කයේ වැගිරීම් ඇති දොරටු 9 -ඇස් 2, කන් 2, නාස්පුඩු 2, කට, ලිංගය, මල මාර්ගය, අශුචි: 32ක්වු කාය කොටස්, මඩවල: ගර්භාසය, ලෝභයෙන් බැඳී ඇත යනු තණ්හාවෙන් කය බැඳගැනීමය. ** රැහැන: වෛරය, වරපට: ඉතිරි කෙළෙස්ය, පාපික-ලාමක ආසාව: නැතිගුණ පෙන්වීමට ඇති ආසාව, ලෝභය: අවිජ්ජාව පදනම් කරගත් තද ආසාවය .බලන්න: ESN: notes 55 & 56, p. 509. බලන්න: යානය උපමාව-උපග්‍රන්ථය 5. සටහන: ඛු.නි:සුත්තනිපාත: උරගවග්ග:1-11 විජය සූත්‍රය, පි.80 දී කය පිලිබඳ මේ සමාන විස්තරයක් දක්වා ඇත. මූලාශ්‍ර:සංයු.නි: (1 ): දේවතාසංයුත්ත: 1.3.9 චතුචක්ක සූත්‍රය, පි. 56, ESN: 1: Devatasamyutta: 29.9 Four Wheels, p. 91.

▲ කායික ශක්තිය-Body energy: කය යහපත් ලෙසින් පවත්වා ගැනීමෙන් කායික ශක්තිය ඇතිවේ. මෙය ආධ්‍යාත්මික මග වඩාගැනීමට උපකාරී කරුණකි. බලන්න:ශක්තිය.

▲ කායික සුඛ-Bodily joy: කායික සුඛ ලෙසින් පෙන්වා ඇත්තේ කය නිසා ලබන සුවයය, මෙය හීනය, පහත්ය, මානසික සුඛය අග්‍රය. බලන්න:සුඛය.

▲ ක්‍රියාවාදය හා අක්‍රියාවාදය: පාලි: කිරියවාදී, අකිරියවාදී-doctrine of deeds & doctrine of non-doing.: ක්‍රියාවාදයය හා අක්‍රියවාදයය, බුදුන් වහන්සේ වැඩසිටි කාලයේ පැවති මතයකි, දිට්ඨියකි. එක් සමයක, බමුණෙක් බුදුන් වහන්සේ ගෙන්, උන්වහන්සේගේ වාදය (පිළිගැනීම) කුමක්ද ? යයි විමසුහ. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ වදාළේ: “මම ක්‍රියාවාදය හා අක්‍රියාවාදය පිලිගනිමි’: “ කිරියාවාදී චාහං බ්‍රාහ‍්මණ අකිරියාවාදී වාති” (I assert a doctrine of deeds and a doctrine of non-doing). ධර්මයට අනුව ක්‍රියාවාදය යනු: කයෙන්, වචනයෙන් හා සිතින් කරන යහපත් ක්‍රියා, විවිධවූ කුසල ක්‍රියා කිරීමය. ධර්මයට අනුව අක්‍රියාවාදය යනු: කයෙන්, වචනයෙන් හා සිතින් අයහපත් ක්‍රියා නොකිරීම, විවිධවූ අකුසල ක්‍රියා නොකිරීමය. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.4.3 සූත්‍රය, පි. 160, EAN: 2: 34.3 Sutta, p.61.

කර

▲ කිර්තිය- Fame කිර්තිය-යසස, අටලෝදහමකි. ලෝකයා අනුමත කිරීම නිසා කෙනෙක්ගේ කිර්තිය පැතිරේ. එහෙත්, අටලෝදහම අනුව එය වෙනස්වේ. කිර්තිය අයහපත් ලෙසින් ගැනීමෙන් සංඝයා, මාර්ගයට අනතුරු ඇතිකර ගනී. බලන්න: ලාභ සත්කාර.

▲ කර්මන්‍යසිත -wieldy mind : ජාන අවස්ථාවන්හිදී සිත පිවිතුරුව මුදුබවට පත්වීම නිසා සිත කර්මන්‍යබවට පත්වේ. එනම්, යෝගියාට කැමති පරිදි සිත හික්මවා ගැනීමට හැකිවීමය. එසේ සිත කර්මන්‍යවූ විට ත්‍රිවිධ ඥාණ-තෙවිජ්ජා ලබාගැනීමට සිත මෙහෙයවූ බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: අංගු.නි: (5): 8 නිපාත: වෙරඤජසූත්‍රය, සිව්ජාන, සමාධිය. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: අකර්මන්‍ය වග්ග:සූත්‍ර, පි. 48, EAN: 1: III Unwieldy: 21.1 Sutta, p. 37.

▲ කරුණාව: පාලි: කරුණා- Compassion: කරුණාව (දයාව) යනු සියලු ලෝක සත්ත්‍වයන් ගේ දුක පිළිබඳව සිතේ ඇති අනුකම්පාවය-සහකම්පනය. කරුණාවෙන් ජිවත්වීමෙන්, හිංසාකාරී සිතුවිලි ඇති නොවේ. එම ගුණය ආධ්‍යාත්මික වර්ධනය පිණිස අවශ්‍යම සාධකයක් වේ. කරුණාව, බ්‍රහ්මවිහාර වලින් එකකි, භාවනා අරමුණකි. බුදුන් වහන්සේ “මහා කාරුණිකයන් වහන්සේ” ලෙසින් හඳුන්වන්නේ, සියලු ලෝක සත්ත්‍වයා කෙරහි උන්වහන්සේ තුල ඇති අසීමිත දයාව නිසාය, එය බුදුවරුන්ට පමණක් ඇති විශේෂ ගුණයකි. බලන්න: බ්‍රහ්මවිහාර. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 245: “කරුණා: දයාව, අනුන්ගේ දුකෙහි හිත කම්පාවීම”. B.D: p. 80: “Karuṇā: Compassion is one of the 4 sublime abodes- brahma-vihāra”

▼ විහිංසාවෙන් (අනුන්ට හිංසා කිරීම) මිදීමට කරුණාව වඩා ගත යුතුවේ. බලන්න: සල්ලේඛ පරියාය. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාතය: 6.1.2.3 නිස්සාරණිය සූත්‍රය, පි. 40, EAN:6: 13.3 Escape, p. 321.

▲ කරුණා චේතෝ විමුක්තිය: පාලි: කරුණා චෙතොවිමුත‍්තී- liberation of the mind by compassion : කරුණා චේතෝ විමුක්තිය ලෙසින් පෙන්වා ඇත්තේ කරුණා භාවනාව වර්ධනය කර ගැනීමෙන් සිත විහිංසාවෙන් (හිංසා කිරීමෙන්) මුදවා ගැනීමය. මේ විමුක්තිය කරුණා නිස්සාරණිය ධාතුව ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: බ්‍රහ්ම විහාර, නිස්සාරණිය ධාතු. සටහන: විස්තර පිණිස බලන්න: සිංහල විසුද්ධි මාර්ගය, 3 පරිච්ඡේදය.

▲ කුරු ජනපදය-Kuru janapadaya: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ උතුරු භාරතයේ පිහිටි සාරවත් ප්‍රදේශය මෙ නමින් හඳුන්වා ඇත. සතර සති පට්ඨාන සූත්‍රය දේශනා කළේ මෙහිදීය. මාගන්දිය, රට්ඨපාල ආදී බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගෙ උත්පත්ති භුමිය මෙ ජනපදයය. බුදුන් වහන්සේ කුරු ජනපදයේ චාරිකාවක යෙදන අවස්ථාවේ මාගන්දිය බ්‍රාහ්මණ හා බ්‍රාහ්මණිය, එතුමන් හමුව, බුදුන් සරණ ගිය උපාසකයන්විය. බලන්න: සති පට්ඨාන සූත්‍රය, උපග්‍රන්ථය:1,3.

▲ කුරරඝරවැසිකාලි උපාසිකා-Kuraraghara Kali upasika:බලන්න: උපග්‍රන්ථය: 3

▲ කොරක්ඛත්තිය නිරුවත් තවුසා-Korakkhathtiya naked ascetic බලුව්‍රතය-බල්ලෙක් ලෙසින් වාසය කල මේ තවුසා, මියයෑමෙන් පසු කාලකඤ්ජ නම් අසුර නිකායේ උපත ලැබූබව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: දීඝ.නි: (3 ): පාථික සූත්‍රය, 8 ඡෙදය, පි. 26 , EDN: 24 Pāṭika Sutta, section 1.7, p. 287.

කල

▲ කල්‍යාන කථා- Kalyana speech: කල්‍යාන කථා, යහපත් මිත්‍රශීලි, අන්‍යයන්ට ප්‍රිය ඇතිකර කථාය. බුදුන් වහන්සේගේ සසුනේ, සෝණකුටිකන්න තෙරුන් කලනබස් තෙපලන භික්ෂුන් අතර අග්‍රවුහ. බලන්න:උපග්‍රන්ථය: 1

▲ කල්‍යාන කම්ම- Kalyana kamma: මෙ කම්ම ඇතිවීමට බලපාන කරුණු: අලෝභය, අදෝෂය , අමෝහය යෝනිසෝමනසිකාරය, සති සම්ප්‍රජන්‍යය.බලන්න: කම්ම විවිධාකාරය.

▲ කල්‍යාණධර්මය- Kalyana Dhamma : කල්‍යාණධර්මය නම් දස කුසලයය, සම්මාදිට්ඨය... සම්මා විමුක්තිය ඇතුළු දස අංග -නිවැරදි මග අනුගමනය කිරීමය. කල්‍යාණධම්මතරයා නම් තමන් නිවරදි ධර්ම කරමින් අනුන්ටද ඒවා කිරීමට අනුබල දෙන පුද්ගලයාය.බලන්න: දසකුසලය. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: කල්‍යාණධර්ම සූත්‍ර 2කි, පි.448.

▼ කල්‍යාණධර්මය ඇති භික්ෂුව ගැන බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “කල්‍යාණධර්මය (කලණ දහම්) ඇති මහණ කෙබඳු වේද? ...හෙතෙම, බෝධිපාක්ෂික ධර්මයන් පිලිබඳ භාවනායෝගීව වාසය කරයි... ආර්යමාර්ග ඥානයට පමුණුවන බෝධි බෝධිපාක්ෂික ධර්මයන් වඩනලද, රාග ආදී කෙළෙස් රහිතවූ ඔහුට කල්‍යාණධර්මය ඇත...” සටහන: මෙයින් දක්වා ඇත්තේ රහතන්වහන්සේය. මූලාශ්‍ර:ඛු.නි: ඉතිවුත්තකපාලිය: 3.5.8 කල්‍යාණශිල සූත්‍රය, පි. 478.

▲කල්‍යාණප්‍ර ඥාව- Good wisdom : කල්‍යාණප්‍රඥාව- උතුම් ප්‍රඥාවය, රහතන්වහන්සේ සතු ප්‍රඥාවය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “කල්‍යාණප්‍රඥාව ඇත්තේ කෙබඳු වේද? ... මහණ තෙමේ ආසවයන් ක්‍ෂය කිරීමෙන් ආසව රහිත වූ ඵලසමාධියත්, ඵලප්‍රඥාවත් මේ අත්බවෙහිම, විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට වාසය කරයි... ඔහු මේ අත්බවයේදීම දුකනැතිකිරීම මැනවින් දනී, ආසව රහිතවූ ඔහුට කල්‍යාණප්‍රඥාව ඇත”. මූලාශ්‍ර:ඛු.නි: ඉතිවුත්තකපාලිය: 3.5.8 කල්‍යාණශිල සූත්‍රය, පි. 478.

▲ කල්‍යාණ මිත්‍ර සේවනය: පාලි: කල්‍යාණමිත‍්තො- good friendship ධර්ම යට අනුව කල්‍යාණ මිත්‍රයා- කලනමිතුරු යනු ධර්මානුකූල ජිවිතයක් ගත කරන යහපත් පුද්ගලයා ය. ඔහු තමන් සමග සිටින සෙසු අය, ධර්ම මාර්ගයේ ගමන් කරවීමට උනන්දු කරයි, උපකාර කරයි. සත්පුරුෂයන් ලෙසින්ද ඔවුන් හඳුන්වයි. එවැනි කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීම යහපත්වේ. සටහන්: * විස්තර පිණිස බලන්න: අංගු.නි:1 නිපාත: කල්‍යානමිත්‍රවග්ග. ** කල්‍යාන මිත්‍රයන් ලබා ගැනීම ලෝකයේ දුර්ලභ ධර්මයකි. දෙපිටකාට්ටුබව- ඍජු නැතිබව කලන මිතුරන් ලබාගැනීමට බාධාවකි. බලන්න: ඉෂ්ඨධම්ම. ** කලනමිතුරු සේවනය නිසා අයහපත් ගුණ නැතිකර ගත හැකිවේ. බලන්න: අවදඤඤුතාවය. ** සේඛ පුහුණුව සාර්ථක කරගැනීමට කලනමිතුරන් සිටීම උපකාරයකි. බලන්න: සේඛ. ආරියඅටමග දියුණු කරගැනීමට කලන මිතුරු සේවනය අවශ්‍යතාවයකි. බලන්න:ආරියඅටමග. ** අශ්‍රද්ධාව පහකරගැනීමට කලනමිතුරු සේවනය උපකාරිවේ. බලන්න: අශ්‍රද්ධාව මූලාශ්‍රය: අංගු.නි: (6) 10 නිපාත:10.2.8.3 ඉෂ්ඨධම්ම සූත්‍රය, පි.270,EAN:10: 73.3 Wished for, p.522.

▼ කලණ මිතුරු සේවනය නිසා ධර්ම මාර්ගය වැඩේ: කලණ මිත්‍රයන් සේවනය කිරීම නිසා කෙනකුට තෙරුවන් පිලිබඳ ඇති අශ්‍රද්ධාව, ත්‍යාගශීලි නැති බව (අවදඤඤුතාවය un-charitableness) හා කුසිතබව- අලසකම පහකරගත හැකිය. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.2.3.6 තයෝධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▼ කලණ මිතුරු සේවනය නිසා සද්ධර්මය ඇසීමට හැකිවේ: යම් කෙනකුට සද්ධර්මය ඇසීමට ඉඩ ලැබෙන්නේ, ධර්මය අනුගමනය කරණ යහපත් මිතුරන් ඇති විටය. අවිජ්ජාව නැතිවී විජ්ජාව ඇතිවීමට, ආධ්‍යාත්මික මග සාර්ථක කර ගැනීමට කලණ මිතරු සේවනය මූලිකවේ. “...ඉති ඛො භික‍්ඛවෙ සප‍්පුරිසංසෙවො පරිපූරො සදධම‍්ම සවනං පරිපූරෙති”. කලණ මිතුරු සේවනය- සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්මය ශ්‍රවනය පෝෂණය වේ. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: යමක වග්ග: 10.2.2.1 අවිද්‍යා සූත්‍රය, පි.232, EAN:10: II Pairs: 61.1.Ignorance, p. 517.

▼ කලන මිතුරු සේවනය ආධ්‍යාත්මික මාර්ගයට විශේෂත්වයක් ගෙන දෙන ධර්මයකි: බලන්න: විශේෂභාගිය ධර්ම. මූලාශ්‍ර:දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ මුළු බඹසර ජීවිතය ගෙනයාමට කලණ මිතුරු සේවනය අවශ්‍යමය එක්සමයක, ආනන්ද තෙරුන් විසින්, කලණ මිතුරු සේවනය බඹසර ජීවිතයේ හරි අඩක්ය යි පැවසු විට බුදුන් වහන්සේ වදාළේ, එසේ නො පැවසිය යුතුබවය. කලණ මිතුරු සේවනය- මුළු බඹසර ජීවිතයම පිණිස පවතින බවය: “...මා හෙවං ආනන්‍ද...සකලමෙව හිදං ආනන්‍ද, බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඬකතා...” (...Not so, Ānanda! This is the entire holy life, Ānanda, that is, good friendship, good companionship, good comradeship...) බුදුන් වහන්සේ මෙසේද වදාළහ: “…ආනන්ද, කලණ මිත්‍රවූ මා කරා පැමිණිමෙන් උපත... ජරාව... මරණය... ශෝකය ... පරිදේවය...දුක් දොම්නස් ස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ...ඒවායින් මිදේ” ඒ අනුව කලණ මිතුරු සේවනය මුළු මග බඹසර ජීවිතය වේ. සටහන: සංයු. නි.(5-1) මග්ගසංයුත්ත:සාරිපුත්‍ර සූත්‍රයේ දී සැරියුත් මහා තෙරුන් විසින්: මුළු බඹසර ජීවිතය පිණිස කලණ මිතුරු සේවනය අවශ්‍යබව පැවසු විට බුදුන් වහන්සේ එම ප්‍රකාශය අනුමත කර ඇත. බලන්න: බ්‍රහ්මචරියාව. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: 1.1.2 උපඩ්ඩ සූත්‍රය හා 1.1.3 සාරිපුත්‍ර සූත්‍රය, පි.32, ESN: 45: Magga samyutta: 2.2 Half the Holy life, p. 1604 & 3.3 Sariputta, p. 1604.

▼ ස්වාක්ඛාත ධර්මය කලණ මිත්‍රයන් පිණිසය: බුදුන් වහන්සේ යහපත් ලෙසින් වදාළ ධර්මය, කලණ මිතුරන් ඇති අයටය, පවිටු මිතුරන් ඇති අයට නොවේ යයි පසේනදී කොසොල් රජතුමා ගේ ප්‍රකාශය අනුමත කළ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහරජ, මා විසින් වදාළ ධර්මය ස්වාක්ඛාතය. එය කලණ මිතුරන්, යහළුවන් ඇති අයටය, කලණයන් කෙරහි නැමුණු අයටය. පවිටු මිතුරන් සේවනය කරන අයට නොවේ” මූලාශ්‍ර: සංයු.නි: (1):සගාථවග්ග: කෝසලසංයුත්ත, 3.2.8 කල්‍යාණ මිත්‍ර සූත්‍රය, පි.186, ESN: 3: Kosalasmayutta: 18.8 Diligence -2, p. 242.

▼ බුදුන් වහන්සේ කල්‍යාන මිත්‍ර සේවනය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මය සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු යයි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3 ):10 සංගිති සූත්‍රය, පි. 372, 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362 & Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ කල්‍යාණශිලය- Good virtue: කල්‍යාණ ශිලය ලෙසින් පෙන්වා ඇත්තේ රහතන්වහන්සේ සතු උතුම් පිරිසිදු ශිලයටය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ කෙසේ නම් මහණ කල්‍යාණශිලය (කලණ සිල්) ඇත්තේවේද? ...හෙතෙම සිල්වත් වූයේ, ප්‍රාතිමොක්ෂසංවරයෙන් යුක්තව වාසය කරයි, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව අනුප්‍රමාණ වූ ද වරදෙහි භය දක්නා සුලූය, ශික්ෂාපදයන්හි මනාකොට සමාදන්ව හික්මි වාසය කරයි...ඔහුට කයින් හෝ වචනයෙන් හෝ මනසින් වන අකුශලයක් නැත, හිරිඔතප්ප ඇත, ඔහු ඒකාන්තයෙන්ම කලණ සිල් ඇත්තේය...”. බලන්න: ශිලසම්පන්න. මූලාශ්‍ර:ඛු.නි: ඉතිවුත්තකපාලිය: 3.5.8 කල්‍යාණශිල සූත්‍රය, පි. 478.

▲ කලය - the pot: පුද්ගලයන් දහම අසන ආකාරයේ විවිධ බව පෙන්වීම ට කලය උපමා කරගෙන ඇත. 1) අවකුජ්ජ පඤඤා-යටිකුරු ප්‍රඥාව Inverted wisdom ඇති අය දහම ඇසුවද, කරුණු සිතේ නො පිහිටයි. එය හරියට කලයකට වතුර පුරවා, එය මුණින් නමා හිස්කරන ලෙසය. 2) විපුල ප්‍රඥාව ඇති අය -පුථුපඤඤා- wide wisdom: යහපත් ධර්මය මැනවින් අවබෝධ කරගනි. උඩුකුරුව තැබූ කලයකට දැමු වතුර එහි රඳා පවතින ලෙස ඔවුන් ඇසු දහම මැනවින් සිතේ රැඳී සිටි.බලන්න: කල උපමා-උපග්‍රන්ථය:5 මූලාශ්‍ර:අංගු.නි: (1): 3 නිපාත: 3.1.3.10 සූත්‍රය, පි. 277, EAN: 3: 30.10 sutta, p. 88.

▲කලහ විවාද- Disputes & Debates: තම මතය පමණක් ඇතිව සෙසු අයගේ මත ඉවතට දැමීම කලහ විවාද ඇතිවීමට හේතුවේ. කැමති අකමැති දේ ගැන විතර්ක කිරීම කලහ විවාද වලට හේතුවන බව ම.නි. මධුපිණ්ඩික සූත්‍රයේ පෙන්වා ඇත.

▼ කලහ විවාද ප්‍රිය වස්තුන් නිසා උපදී, මසුරුකම නිසා ඇතිවේ, කේලාම්කිම- පිසුනුබස් නිසා ඇතිවේ. මූලාශ්‍ර: ඛු.නි: සුත්තනිපාත: අට්ඨකවග්ග: 4-11 කලහවිවාද සූත්‍රය, පි.292.

▼ලෝක සත්ත්‍වයෝ අසමගියෙන්- විවාද කරමින් ජිවත්වීමට හේතු මසුරුබව හා ඉරිසියාව යයි මේ සූත්‍ර යේ පෙන්වා ඇත. මූලාශ්‍ර: දීඝ.නි: (2): සක්කපඤ්හ සූත්‍රය- ඡෙදය 12, පි. 430, EDN: 21: Sakkapanha Sutta- Sakka’s questions, section 2.1 , p. 241.

▼ කලහයට පෙර, විවාද ඇතිවේ. සියලු දෙනා එකිනෙකා හා විවාද කර, අනතුරුව කලහ, සංඩු කරගන්නා ආකාරය මෙහිදී විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: ඛු.නි: මහානිද්දේසපාලි: කලහවිවාද සුත්ත නිද්දේස:පි. 369.

▲ කලිඬග - Block of wood: කලිඬග- දැව කොටයක්-ශක්තිමත් ලි කොටයක් උපමා කරගනිමින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සංඝයාගේ වීරිය ය. බුදුන් වහන්සේ වැඩවසන සමයේ සංඝයා, දැව කොටයක් මෙන් සවිමත්ව ප්‍රධන් වීරිය කිරීම නිසා, මාරයාහට ඔවුන් තම වසඟයට ගැනීමට නොහැකිය. එහෙත්, අනාගතයේ, සංඝයා ගේ ප්‍රධන් වීරිය අඩුය, ඔවුන් හිරු උදාවනතෙක් සයනය කරයි. එවිට, මාරයාහට පහසුවෙන් ඔවුන් වසඟ කරගත හැකිවේ. බලන්න: උපග්‍රන්ථය:5. සටහන: සවිමත් දැව කොටයක සිදුරු නැත. එලෙස සවිමත් ලෙසින් සිටීම නම් ප්‍රධන් වීරිය ඇතිව මාර්ගය වඩා ගැනීමය. එම උපමාව යොදාගනිමින් බුදුන් වහන්සේ ලිච්ඡවි රාජකුමාරයන් ගේ පරිහාණිය පෙන්වා ඇත. ඔවුන්, වීරිය ඇතිව කටයුතු කරනතෙක්, අජාසත් රජුට ලිච්ඡවි රාජකුමාරයන් පැරදිය නොහැකිය. එහෙත්, ඔවුන්, අලසව කටයුතුකරනවිට ඔවුන්ගේ පරිහානිය සිදුවේ. මේ පිලිබඳ විස්තර, මහා පරිනිර්වාණ සූත්‍රයේ දක්වා ඇත. මූලාශ්‍ර:සංයු.නි: (2) නිදානවග්ග :ඔපම්මසංයුත්ත:8.1.8 කලිඬගරූප සූත්‍රය,පි.436, ESN:20: Opammasamyutta: 8 Blocks of wood, p.915.

▲ කාලකඤ්ජ අසුර නිකාය- Kalakanna Asura: යළිඋපත ලබන දුගතියකි. බලන්න: අසුර.

▲ කාලදාන- Timely gifts: කාලදාන ලෙසින් පෙන්වා ඇත්තේ සුදුසු කාලයේදි දන්දීමය. බුදුන් වහන්සේ කාලදාන 5 ක් පෙන්වා ඇත: 1) ආගන්තුකයෙකුට දීම 2) ගමනක් යෑමට පිටත්වෙන කෙනෙකුට දීම 3) රෝගියෙකුට දීම 4) සාගත කාලයේදී දීම 5) තමන්ගේ වතු පිටි වලින් ලැබුන අලුත් අස්වැන්න ශිල්වත් උතුමන්ට පිරිනැමීම. මසුරුබව නැති කරගෙන, නුවණැති මිනිසුන් දෙන එවැනි දානයන්හි ඵල, මෙලොව හා පරලොව සැප පිණිස වේ. පහන්සිතින් ආරිය උතුමන්ට දෙන දානය බොහෝ පින් සහිතවේ. මූලාශ්‍ර:අංගු.නි: (3):5 නිපාත: 5.1.4.6 කාලදාන සූත්‍රය,පි.84,EAN:5: 36.6 Timely, p. 249.

▲ කාලය- Time: කාලය ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මයේ නිරත වීමට අවස්ථාව ලැබීමය. බලන්න: අක්‍ෂණය හා ක්‍ෂණය.

▲ කාලපරියන්ත සීලය-Kalapariyantha sila: පොහෝදිනයේ රකින අටසිල් මෙන් කාලසීමාවක් ඇතිව රකින සීලය මින් අදහස්වේ. බලන්න: ශිලය. සටහන: විස්තර පිණිස බලන්න: විසුද්ධිමාර්ගය, පරිච්ඡේදය1.

▲ කාල සීමා- Time periods: කාල සීමා යනු අතීත, අනාගත හා වර්තමාන කාලයන්ය. බලන්න: අද්ධව

▲ කල්පවිනාශය හා කල්ප ඇතිවීම- Dissolving of an eon & Evolving of an eon: කල්පය යනු ලෝක ඇතිවී නැතිවී යන, මැනීමට නොහැකි දීර්ඝ කාලපරිච්ඡේදයක්ය. බ්‍රහ්මලෝක දෙවිවරුන්ගේ ආයුෂ මහාකල්ප ගණන්ය. බලන්න: බ්‍රහ්මලෝක. කල්ප විනාශය හා කල්ප ඇතිවීම- Dissolving of an eon & Evolving of an eon ලෙසින් පෙන්වා ඇත්තේ ගිණිය නොහැකි, මැනිය නොහැකි කාලයක් තුල ලෝකය නැතිවී- සංකෝචන වියාම හා ඇතිවී- ප්‍රසාරණය වියාමය්. එම කාල සිමා ගිණිය නොහැකි, මැනිය නොහැකි නිසා ඒවා අසඬෙඛය්‍ය කාල ( incalculable time) ලෙසින්හඳුන්වයි. සටහන: * අටුවාවට අනුව : කල්ප විනාශය සිදුවන්නේ ජලය, ගින්න, සුළං මගින්ය. කල්පයක් ගින්නෙන් විනාශවනවිට එම ගින්න ආභස්සර දේවලෝකය තෙක් පැතිරේ; කල්පයක් ජලයෙන් විනාශවනවිට එම ගින්න සුභකින්න දේවලෝකය තෙක් පැතිරේ; කල්පයක් සුළඟින් විනාශවනවිට එම සුළං වෙහප්ඵල දේවලෝකය තෙක් පැතිරේ. බලන්න: EAN: Note: 839, p. 624. ** සංසාරයේ දීර්ඝබව ගැන බලන්න: සංයු.නි: අනමතග්ග සංයුත්තය.

▼ කල්පයක් තුල සතර අසඬෙඛය්‍යක් ඇතිබව බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) කල්පයක් නැතිවී යනවිට, එම කාලසිමාව දස දහස්ගණන් කාලයක් යයි මැනීමට නොහැකිය. 2) කල්පයක් නැතිවීයන අවස්ථාව තුල එම කාලසිමාව දස දහස්ගණන් කාලයක් යයි මැනීමට නොහැකිය 3) කල්පයක් ඇතිවනවිට, එම කාලසිමාව දස දහස්ගණන් කාලයක් යයි මැනීමට නොහැකිය 4) කල්පයක් ඇතිවෙන අවස්ථාව තුල එම කාලසිමාව දස දහස්ගණන් කාලයක් යයි මැනීමට නොහැකිය. මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත: 4.4.1.6 අසඬෙඛය්‍ය සූත්‍රය, පි. 298, EAN: 4: 156.6 Eon, p. 199.

▼ කල්පයක දීර්ඝබව බුදුන් වහන්සේ මේ උපමා වලින් පෙන්වා ඇත: 1) යොදුනක් උස, දිග හා පළල ඇති ගල්පර්වතයක් ඇත. සෑම වසර 100ක් ගිය විට, පුද්ගලයෙක් පැමිණ ඒ පර්වතය කසිසලුවකින් පිරිමදි. එසේ සෑම සියවසක් ඇවැමෙන් ඒ මහා පර්වතය ගෙවී අවසන්වේ, එහෙත්, කල්පය අවසන් නොවෙන්නේය. ගල් පර්වත උපමාව. 2) අබඇට ගොඩ උපමාව: යොදුනක් උස, දිග හා පළල ඇති , යකඩ පවුරකින් වටවුන නුවරක් ඇත. එහි, අබ ඇට පුරවා ඇත. සෑම වසර 100ක් ගිය විට, පුද්ගලයෙක් පැමිණ ඒ නුවරින් අබ ඇටයක් ගනී, එසේ සෑම සියවසක් ඇවැමෙන් ඒ මහා අබඇට ගොඩ අවසන්වේ, එහෙත්, කල්පය අවසන් නොවෙන්නේය.බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: ( 2):නිදානවග්ග: අනමතග්ගසංයුත්ත: 3.1.5 පර්වත සූත්‍රය හා 3.1.6 සාසප සූත්‍රය, පි. 302, ESN:15: Anamataggasamyutta: 5.5 The Mountain & 6.6 The Mustard seed, p. 791.

▼ අතීත බුදුවරු වැඩ වාසය කල කල්ප ගැන විස්තර පිණිස බලන්න: දීඝ.නි: ( 2 ): 1: මහාපදාන සූත්‍රය,ඡෙදය18, පි. 18, EDN: 14 Mahâpadāna Sutta: The Great Discourse on the Lineage, p. 151.

▼ යම්කලක කල්ප (ලෝක) විනාශය සිදුවනවිට, බොහෝ සත්ත්‍වයෝ ආභස්සර බඹලොව උපත ලබන බව බුදුන් වහන්සේ වදාළහ. බලන්න: බ්‍රහ්මලෝක. මූලාශ්‍ර: අංගු.නි (6) 10-නිපාත: මහා වග්ග, 10.1.3.9. ප්‍රථම කෝසල සූත්‍රය,පි. 134 , EAN-10: The Great Chapter, 29.9 Kosala-1, p. 505.

▼ තමන්වහන්සේ සත්වසක් මෙත්සිත වැඩීමෙන් ලැබූ පුණ්‍ය විපාක ලෙසින්, නෑසියන, වැඩෙන කප් සතක් තුල මෙලොව උපතක් නොලබා බ්‍රහ්ම ලෝකවල උපත් ලැබූ බව බුදුන් වහන්සේ මේ සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (4): 7 නිපාත: 7.2.1.9 මාපුඤඤාභායි සූත්‍රය, පි. 432, EAN: 7: 62.9. Donot be afraid of merit, p. 391.

▲ කොලංකොල- Kolangkola: කොලංකොල යනු සෝතාපන්න ආරිය පුද්ගලයා අරහත්වයට පත්වන එක් ආකාරයකි (උත්පත්ති 2-3 අතරදී) . බලන්න: සෝතාපන්න.

▲ කේලාම්කීම- Divisive speech: කේලාම්කීම - පිසුණාවාචා, පන්සිල් කඩාගැනීමකි.මෙය දස අකුසලයකි, මිථ්‍යා වාචාය. නිරයේ උපතට හේතුවේ. බලන්න: පිසුණාවාචා.

▲ කුලය-Cast: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ඉන්දියාවේ ප්‍රධාන කුල ගෝත්‍ර 4 ක් විය. බලන්න:ගෝත්‍රය.

▲කුලපති-Leader of a clan: කුලපති ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ කුලයක- පව්ලක ප්‍රධානියාය, ඔහුට ශ්‍රද්ධාව තිබේනම් ඔහුගේ කුලය ධර්මයේ දියුණුවට පත්වේ. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: සුමනාවග්ග: 5.1.4.10 මහාසාල සූත්‍රය, පි.90.

▲කෝලිත-Kolitha: මුගලන් මහා තෙරුන්ගේ ගිහිනම, පව්ලේ නම කෝලිතය. බලන්න: උපග්‍රන්ථය:1

▲ කල දරනුව-the Potholder: කළදරනුව නිසා කලය බිමට පතිත නොවේ. එලෙස ආරියඅටමග, සිතට ආධාරයක්ය. බලන්න: උප ග්‍රන්ථය:5.

කළ

▲ කෙළෙහිගුණ- Gratitude: කෙළෙහිගුණ යනු කෘතඥබවය. බලන්න: අකෘතඥ හා කෘතඥ.

▲ කෙළෙස්: පාලි: කිලෙස- Defilements: සිත කෙළෙසන - කිලිටි කරන, කයින්, වචනයෙන් හා සිතින් කරන අයහපත් ක්‍රියා කෙළෙස් ය. ලෝභ දෝස හා මෝහය යන අකුසල මුල් කෙළෙස් ඇතිවීමට හේතුවේ. ආධ්‍යාත්මික මග පරිපුර්ණ කර ගැනීමට සියලු කෙළෙස් දුරු කර ගතයුතුවේ. නිකෙළෙස් යනු කෙළෙස් නොමැතිබවය, සිත නිර්මල- පිරිසුදු බවය. ‘නිකෙළෙස් මුණි’ යනු බුදුන් වහන්සේ හඳුන්වන පදයකි. බලන්න: කුසල අකුසල,සල්ලේඛ පරියාය. සටහන්: * දැඩිකෙළෙස්, අංගන ලෙසින් පෙන්වා ඇත, දැඩිකෙළෙස් නොමැති බව අනංගණය. බලන්න: අංගන හා අනංගණ .** ආතාපි, කෙළෙස් ප්‍රහීණය කරගැනීමට අවශ්‍ය විරියය. බලන්න:ආතාපි. * සිතතුල ඇති කෙළෙස් අන්තරාමල ලෙසින් පෙන්වා ඇත. බලන්න: අන්තරාමල. ** කෙළෙස් ඇතිවිට ආධ්‍යාත්මික මග බිඳ වැටේ: බලන්න: අභබ්බ. ** කෙළෙස් පහවී අරහත්වය ලැබීම ගැන බලන්න:අරහත්. ** කෙළෙස් සංසිඳීම උපසමය ය. බලන්න: උපසමය, ඉන්ද්‍රිය සම්පන්න. ** සකදාගාමී ආරියෝ යම් පමණකට කෙළෙස් බිඳ ඇත. බලන්න: සකදාගාමි.** කෙළෙස්, උපධි 4 න් එකකි. බලන්න: උපධි. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 253: “කිලෙස: කෙලෙස්, ලෝභ දෝස හා මෝහය. කිලෙසකාම:කෙළෙස් කාමය, වත්ථු කාමය”. B.D: p. 86: “Kilesa: defilements are mind-defiling, unwholesome qualities…”

▼ බුදුන් වහන්සේ වදාළේ සිත ස්වභාවයෙන්ම පිරිසිදු- පබාසර බවය (ප්‍රභාස්වර- දීප්තිමත්- luminous). බාහිර කෙළෙස් (රාග, දෝස හා මෝහ) එම සිත කිලිටිවේ. ධර්මය නොදත් පුහුදුන් මිනිසාට කෙළෙස් ගැන අවබෝධයක් නොමැත. එමනිසා, කෙළෙස් පහකර ගැනීමට ඔහුට නොහැකිය. එහෙත්, ධර්මය දන්නා අරිය ශ්‍රාවකයා, කෙළෙස් නිසා සිත අපිරිසිදුවන බව නුවණින් අවබෝධකර, කෙළෙස් පහකර ගැනීමට සමත්වේ. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාතය:ප්‍රභාස්වර වග්ග සූත්‍ර, පි. 58, EAN: 1: Luminous, p. 39.

▼ බුදුන් වහන්සේ පහකරගතයුතු කෙළෙස් 44 ක් පෙන්වා ඇත. බලන්න :සල්ලේඛ පරියාය.මූලාශ්‍ර: ම.නි. (1)1.1.8 සල්ලේඛ සූත්‍රය, පි. 112, EMN: 8-Effacement, p.108.

▼ සප්ත බොජ්ඣංග ධර්ම වැඩීමෙන්, සිත කෙළෙස් වලින් මුදා ගත හැකිවේ. එමගින්, සිත පවිත්‍රවේ, සිත පිරිසිදු වූ විට විජ්ජා විමුත්තිය ලබා ගත හැකිය.බලන්න: සප්ත බොජ්ඣංග ධර්ම. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත: 2.4.4. අනාවරණ සූත්‍රය, පි. 216, ESN: 46: Bojjanghangasamyutta: 34.4. Non- corruptions, p. 1768.

▼සිත කෙළෙසන ධර්මතා: වත්ථුපම සූත්‍රයේ සිත කෙළෙසන ධර්මතා 17ක් පෙන්වා ඇත: 1) අභිජ්ජා (තණ්හාව-Covetousness) තමාගේ වස්තුගැන ඇති තණ්හාව 2) විෂම ලෝභය (unrighteous greed) අනුන්ගේ වස්තුගැන ඇති ආශාව) 3) ව්‍යාපාදය (ill will) 4)ක්‍රෝධය (තරහ-anger) 5) වෛරය (උපනාහය-එදිරිය- අමනාපය-resentment) 6) ගුණමකුබව (මකඛය- contempt) 7) අහංකාරය-පළාසය- යුගග්‍රාහය-insolence) 8) ඉරිසියාව (envy) 9) මසුරුකම (avarice) 10) මායාව (රැවටිල්ල-deceit) 11) කපටිබව (වංචාව-fraud) 12) මුරණ්ඩුබව (තදබව-ථමභය-හිතුවක්කාර-obstinacy) 13) එකටඑක කිරීම (සාරමභය-තරඟය- rivalry) 14) මානය (conceit) 15) අතිමානය- අධිමානය (arrogance) 16) මදය (මත්වී ම-අහම්මානය-vanity) 17) ප්‍රමාදය (negligence). මූලාශ්‍ර:ම.නි: (1):1.1.7. වත්ථුපම සූත්‍රය, පි. 102, EMN:7:Vatthūpama Sutta, p. 102.

▼ සියලු කෙලෙස් මලවලට වඩා වැඩිම කෙලෙස් මලය අවිද්‍යාවය. අවිද්‍යාව පහකරගත් විට සිත නිමල වේ. රන්කරුවා, රිදියෙ ඇති මල ක්‍රමයෙන් ඉවත්කර ගෙන රන් බවට පත්කරගන්නා ලෙසින්, නුවණැත්තා ක්‍රම ක්‍රමයෙන් කෙළෙස් පහකර ගැනීමට දක්‍ෂයයි බුදුන් වහන්සේ වදාළහ: “...අනුපුබ්බෙන මෙධාවී - ථොක ථොකං ඛණේ ඛණේ- කම්මාරෝ රජතස්සෙව -නිද්ධමෙ මල මත්තනො”. මූලාශ්‍ර: ධම්ම පදය, මල වග්ගය, 239, 243 ගාථා.

▼ රාගය දෝසය හා මෝහය යන කෙලෙස් මුල් ප්‍රහාණය නොකරන්නේ නම් දුක නැතිකර ගත නොහැකිය, කෙලෙස් නිමා නොවේ. එම කෙළෙස් ප්‍රහීණය කරගැනීමේ මාර්ගය නම් ආරිය අටමග සාක්ෂාත් කරගැනීමය. මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාත, ආනන්දවග්ග: 3.2.3.1 සූත්‍රය, පි. 420, EAN:3: Ananda vagga, 71.1. Channa, p. 117.

▼කෙළෙස් ප්‍රහීණය: කයෙන් පහකළහැකි අකුසල්, වචනයෙන් පහකළහැකි අකුසල්, කයෙන් හා වචනයෙන් නොව ප්‍රඥාවෙන් ප්‍රහිණය කළහැකි අකුසල්: 1 කයෙන් පහකලහැකි වචනයෙන් පහකළ නොහැකි කෙලෙස්: යම් භික්ෂුවක් අතින් අයහපත් කාය කර්මයක් සිදුවී ඇත. ඒ බව දැනගත්, ඔහුගේ සබ්‍රහමචාරින්, එවැනි අයහපත් කාය කර්ම නැතිකර, යහපත් කාය කර්ම දියුණු කරගන්නා ලෙස ඔහුට අවවාද කරති. එම අවවාද පිළිගත් භික්ෂුව කාය අකුසල අත්හැර කාය කුසල ධර්ම දියණුකරගනී. 2 වචනයෙන් පහකලහැකි කයෙන් පහකළ නොහැකි කෙලෙස්: යම් භික්ෂුවක් අතින් අයහපත් වචීකර්මයක් සිදුවී ඇත. ඒ බව දැනගත්, ඔහුගේ සබ්‍රහමචාරින්, එවැනි අයහපත් වචී කර්ම නැතිකර, යහපත් වචී කර්ම දියුණු කරගන්නා ලෙස ඔහුට අවවාද කරති. එම අවවාද පිළිගත් භික්ෂුව වචනයෙන් සිදුවන අකුසල අත්හැර වචනයෙන් සිදුවන කුසල ධර්ම දියණුකරගනී. 3 කයෙන් හෝ වචනයෙන් පහකල නොහැකි, නිතර නුවණින් විමසමින්, ප්‍රඥාවෙන් පහකළ හැකි කෙලෙස්-මනෝකම්ම: 1 ලෝභය-තණ්හාව 2 ද්වේශය-වෛරය 3 මෝහය- අවිජ්ජාව 4 ක්‍රෝධය-කිපීම 5 උපනාහසස- එදිරිකිරීම- hostility6 අවමන්කිරීම-ගුණමකාදැමීම-මක්ඛසස- denigration 7 අහංකාරය-පලාසය- insolence 8 මච්චරියසස-මසුරුබව-miserliness 9 පාපික ඊර්ෂ්‍යාව-ඉසසාය-evil envy 10 පාපික ආසාව- මනදොල- evil desire. මේ සියලු කෙලෙස් මැඩ ගැනීමට භික්ෂුව දක්‍ෂ වේනම්, කෙළෙස් වැඩීමක් නොවේ, ප්‍රහිනවීම සිදුවේ. බලන්න: ඊර්ෂ්‍යාව, පාපික ආසාව. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10 නිපාත: මහා වග්ග, 10.1.3.3. කාය සූත්‍රය,පි.100, EAN: 10: The Great Chapter, 23.3. Body, p. 500.

▲ කෙළෙස් කටු- Keleskatu: රාගය, දෝසය හා මෝහය කෙළෙස්, කටුය, ඒවා ජානසමාපත්ති වලට බාධාකරයි. එමනිසා, කටු රහිතව වාසය කරනලෙස, බුදුන් වහන්සේ සංඝයාට අවවාද වදාළහ. මූලාශ්‍ර: අංගු.නි: (6 ) : 10 නිපාත: 10.2.3.2 කණ්ටක සූත්‍රය,පි. 267, EAN:10: 72.2 Thorns, p. 521.

▲ කෙළෙස් භුමි - Kelesbhumi: තණ්හාව, අවිද්‍යාව, ලෝභය, ද්වේශය, මෝහය, සතර විපර්යාස - විපල්ලාස :සුභ, සුඛ, නිච්ච, අත්ත සඥා යන නව පදයෝ කෙලෙස් භුමි ය”. මූලාශ්‍රය:ඛු.නි: නෙත්තිප්‍රකරන, පි 26.

▲ කෙළේස පරිනිබ්බානය - Keles Parinibbana: කෙළේස පරිනිබ්බානය සිදුවන ආකාර 4 ක් බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) මෙලොවදීම සිදුවන සසංඛාර පරිනිබ්බානය: මේ සසුනේ මහණ කයේ අශුභය පිලිබඳ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව, සියලු ලෝකයේ අනභිරත සංඥාව නුවණින් වඩා, සියලු දේ පිලිබඳ අනිත්‍ය සංඥාව ඇතිව, මරණසංඥාව වඩා ඇත. ඔහු සේඛබල පහ (ශ්‍රද්ධා බලය, හිරිබලය, ඔත්ප්ප බලය, විරියබලය හා ප්‍රඥා බලය) සහිතව වාසය කරයි. ඔහුගේ පංච ඉන්ද්‍රිය ධර්ම අධිකව ඇත, එමනිසා වෙරවඩා ඔහු මෙලොවදීම සසංඛාර පරිනිබ්බානයට පත්වේ (අරහත්වය ලබයි). 2) කයබිඳි යාමෙන් පසු සිදුවන සසංඛාර පරිනිබ්බානය: මේ සසුනේ මහණ කයේ අශුභය පිලිබඳ සංඥාව... මරණසංඥාව වඩා ඇත. ඔහු සේඛබල පහ සහිතව වාසය කරයි. ඔහුගේ පංච ඉන්ද්‍රිය ධර්ම අධිකව නැත. එමනිසා ඔහු වෙරවඩා, කය බිඳී යාමෙන් පසුව (මරණයෙන්) සසංඛාර පරිනිබ්බානයට පත්වේ. 3) මෙලොවදීම සිදුවන අසසංඛාර පරිනිබ්බානය: මේ සසුනේ මහණ සිව් ජාන සමාපත්ති ලබාගනී. ඔහු සේඛබල පහ සහිතව වාසය කරයි. ඔහුගේ පංච ඉන්ද්‍රිය ධර්ම අධිකව ඇත. එමනිසා ඔහු වෙහෙස නොවී, මේ ජිවිතයේදීම අසසංඛාර පරිනිබ්බානය ලබයි. 4) කයබිඳි යාමෙන් පසු සිදුවන අසසංඛාර පරිනිබ්බානය: මේ සසුනේ මහණ සිව් ජාන සමාපත්ති ලබාගනී. ඔහු සේඛබල පහ සහිතව වාසය කරයි. ඔහුගේ පංච ඉන්ද්‍රිය ධර්ම අධිකව නැත. ඔහු වෙහෙස නොවී, කය බිඳී යාමෙන් පසුව අසසංඛාර පරිනිබ්බානය ලබයි. බලන්න: අනාගාමි. මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත: 4.4.2.9 කෙළෙස පරිනිබ්බාන සූත්‍රය, පි. 322, EAN:4: 169. 9 Through exertion, p. 203.

▲කැළල-Blemish: කැළල යනු අපවිත්‍ර-නරක දෙයකි. අහිරික හා අනොත්තප්පය, පුද්ගලයාට කැළැලකි. බලන්න: අහිරික හා අනොත්තප්පය. කළු

▲ කළුකම්ම- Dark kamma:කළුකර්ම -පාපී කර්ම අයහපත් අකුසල කර්මයන්ය.බලන්න:කම්ම

▲ කළුධම්ම- Dark Dhamma: කළුධර්ම -පාපී ධර්ම නම් අහිරිකය හා අනොත්තප්පය. බලන්න: අහිරිකය හා අනොත්තප්පය. මූලාශ්‍ර:අංගු.නි: (1 ): 2 නිපාත: 2.1.1.7 කණ්හ සූත්‍රය, පි.140, EAN:2 : 7.7 Dark, p. 57.

▲ කාළුදායි තෙර-Kaludai Thera: බලන්න: උපග්‍රන්ථය:1

කව

▲ කවියෝ- Poets: කවියෝ යනු ගිපැදි සකස්කරන අයය. මෙහි කවියෝ 4 දෙනක් ගැන පෙන්වා ඇත. සටහන: වංගිස තෙරුන්, ධර්මය පිළිබඳව ප්‍රමෝදය දනවන කවි පද සකස් කිරීමේ අග්‍ර බව දැරුහ. බලන්න: උප ග්‍රන්ථය:1 මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: සුචරිතවග්ග: 4.5.3.11 කවිසූත්‍රය, පි.466.

▲ කෙවඩ්ඩ ගහපති - Householder Kewadda:බලන්න: උප ග්‍රන්ථය:3

කස

▲ කස්සක -Farmer: කස්සක යනු ගොවියාය. මෙහිදී පෙන්වා ඇත්තේ, බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්ථාවකදී, මාරයා කස්සක- ගොවියෙක්ගේ ස්වරුපය ගෙන බාධා කිරීමට පැමිණීමය. බලන්න: මාරයා. මූලාශ්‍රය: සංයු.නි: (1): මාරසංයුත්ත:4.2.9 කස්සකසූත්‍රය, පි.236.

▼ බුදුන් වහන්සේ ගොවියෙක් ලෙසින් දහම වැපිරීම: තමන් වහන්සේ ගොවියක් ලෙසින් ධර්ම කෙත වපුරා ඇතයයි බුදුන් වහන්සේ මෙහි විස්තර කර ඇත: “කෙතේ වපුරන බිජු නම් ශ්‍රද්ධාවය, වැස්ස නම් තපසය, ප්‍රඥාව වියදණ්ඩ හා නගුලය, හිරිය (ලජ්ජාව) නම් රිටය, සිහිය යොත-නගුල්දත හා කෙවිටය. කාය වචී සුචරිතය ඇතිව, ආහරයේ සංවරය ඇතිව, සත්‍ය නම් අංකුසයෙන් වල් උදුරා දමමි, අරහත්වය මගේ විමුක්තියය ( වියගහෙන් මිදීම). ප්‍රධන් වීරිය (නගුල ඇදගෙන යන) ගොනුන්ය, එය නොනැවතීම නිවනවෙතට ගෙනයයි. එලෙසින් ධර්ම කෙත සානලදී, වපුරන ලදී, ව අස්වැන්න අමත ඵලයය, ඒ සීසෑම සියලු දුකින් මිදීමය”.සටහන්: * සු.නි: උරගවග්ග: 1-4 කසීභාරද්වාජ සූත්‍රය, පි.42 හි මේ සමාන විස්තරයක් ඇත. ** මේ සූත්‍රය දේශනා කර ඇත්තේ කසීභාරද්වාජ බමුණාටය. බලන්න: ගොවියා උපමාව: උපග්‍රන්ථය:5. මූලාශ්‍රය:සංයු.නි: (1) බ්‍රාහමණසංයුත්ත: උපාසකවග්ග: 7.2.1 කසීසූත්‍රය: පි.332.

▲ කසිණ-kasiṇa: කසිණ ලෙසින් හඳුන්වන්නේ යම් මූල ධාතුවක් හෝ වර්ණයක් නිරුපනය කරණ දෙයකටය. භාවනාව පිණිස අරමුණු කරගත හැකි කසිණ 10ක් ඇත. එම බාහිර අරමුණක් යහපත් ලෙසින් වඩා ගැනීමෙන්- සමාධියට පත් කරගැනීමෙන් රූප හා අරූප සමාපත්ති ලබා ගත හැකිය. බලන්න: භාවනා, අභිභායතන. සටහන්: * කසිණ පිළිබඳ විස්තර පිණිස බලන්න: සිංහල විසුද්ධිමග, පරිච්ඡේද: 4 හා 5.. ** ආකාශ ධාතුව කසිණ භාවනා අරමුණකි. බලන්න: ආකාශ ධාතුව. ** ආලෝක කසිණය, ඕදාත කසිණය ලෙසින්ද දක්වා ඇත. බලන්න: ආලෝක කසිණය. ශබ්දකෝෂ: B.D: p: 80: “kasiṇa: …purely external device to produce and develop concentration of mind and attain the 4 absorptions…”

▼ කසිණ ආයතන 10 කි: 1) පඨවී කසිණආයතනය (earth kasiṇa) 2) ආපො කසිණආයතනය (water kasiṇa) 3) තෙජෝ කසිණආයතනය( fire kasiṇa) 4) වායො කසිණආයතනය (air kasiṇa) 5) නීල කසිණ ආයතනය (blue kasiṇa) 6) පීත කසිණආයතනය yellow kasiṇa 7) ලොහිත කසිණආයතනය(red kasiṇa ) 8) ඔදාත කසිණආයතනය (white kasiṇa) 9 ) ආකාස කසිණආයතනය (space kasiṇa) 10) වීඤඤාණ කසිණආයතනය (consciousness kasiṇa). සටහන: විසුද්ධිමාර්ගය: 5 පරිච්ඡේදය: ඔදාත කසිණය, ආලෝක කසිණය ලෙසින් විස්තර කර ඇත. බලන්න: ආලෝක කසිණය. මූලාශ්‍ර:අංගු.නි: (6):10 නිපාත: 10.1.3.5. කසිණ සූත්‍රය,පි.112, EAN: 10: 25.5 Kasinas, p. 502.

▼ දස කසිණ අතුරින් විඥාන කසිණය අග්‍ර බව බුදුන් වහන්සේ වදාළහ. එහෙත්, එම සංඥාව ඇති සත්ත්‍වයෝ ද අනිච්ච ස්වභාවය දරයි, විපරිනාමයට පත්වේ. මුලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: 10.1.3.9.ප්‍රථම කෝසල සූත්‍රය,පි. 134 , EAN: 10: The Great Chapter: 29.9 Kosala-1, p. 505.

▲ කාසි කෝසල දේශය- Kasi & Kosala country: මෙය පසේනදී කෝසල රජුගේ රාජ්‍යයය, විජිතයය. බලන්න: අග්‍ර දේ විනාශවීම. සටහන: කාසි රට-කසීරට, අනගි කසිසලු වලට ප්‍රසිද්ධයය.

▲ කුසලතා- skills: යම් දෙයක්, කටයුත්තක් යහපත් ලෙසින් කරගැනීමට ඇති දක්ෂතාවය- නිපුන බව කුසලතාවය. වැඩියයුතු විවිධ කුසලතා: 1) ආපත්ති කුසලතාවය (Skill in knowing offences): ධර්ම විනයට අනුව සිදුවියහැකි වරද- ඇවත් පිලිබඳව ඇති නිපුණත්වය- ඇවත් දැනීම 2) ආපත්ත්‍යයුත්ථාන කුසලතාව (skill in rehabilitation from offences): ඇවත් වලින් නැගීසිටීම පිණිස - පුනරුත්ථාපනය පිණිස ගතයුතු ක්‍රියා මාර්ගය පිලිබඳ නිපුණතාවය. 3) සමාපත්ති කුසලතාව (skill in entering jhāna): ජානයන්ට ඇතුළුවීමට ඇති දක්‍ෂබව. 4) සමාපත්තිවූට්ඨාන කුසලතාවය (skill in returning from jhāna): ජානයෙන් එළියට පැමිණීමට ඇති දක්‍ෂබව. 5) ධාතු කුසලතාවය (skill in knowing the 18 elements) : 18 ක්වූ ධාතු කවරේද යයි දන්නාබව 6) මනසිකාර කුසලතාවය (skill in paying attention to the 18 elements) ධාතු 18 පිලිබඳ සිත යෙදවීමට ඇති නිපුණතාවය. මූලාශ්‍ර: දිඝ.නි: (3): 10 සංගිති සූත්‍රය, පි. 374, EDN: 33 Sangīti Sutta: The Chanting Together, from p. 363.

▲ කුසල ධර්ම හා අකුසල ධර්ම: පාලි: කුසලා ධම‍්මා, අකුසලා ධම‍්මා Wholesome & Unwholesome: ධර්මයේ කුසල ධර්මය ලෙසින් හඳුන්වන්නේ ආධ්‍යාත්මික මග වර්ධනය කිරීමට උපකාරීවන යහපත් ක්‍රියාවන්ටය, එනම් තුන්දොරින් සිදුකරන යහපත් ක්‍රියා-සදාචාරාත්මක ක්‍රියාවන්ටය. කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා, යහපත් කම්ම, පින්, නිපුණ ක්‍රියා ලෙසින් ද හඳුන්වති (meritorious, good, clever, skillful actions).කෙනෙකුට අලෝභය, අදෝසය හා අමෝහය ඇතිවිට ඔහු කුසල ක්‍රියා කිරීමට උනන්දුවේ. කුසලය, සුගතියේ උපත ලැබීමට හේතුවේ. අකුසල ධර්මය යනු ආධ්‍යාත්මික මග අවුරන, තුන්දොරින් කරණ අයහපත් ක්‍රියාවන්ටය, සදාචාරයට විරුද්ධ දේටය. අකුසලය: පාප ක්‍රියා, පාප කර්ම, පව්, අයහපත් - නරක ක්‍රියා ලෙසින් හඳුන්වති (bad actions, bad kamma, de-meritorious, evil actions). අකුසල් ක්‍රියා සිත කෙළසයි. අකුසලය දුගතියේ යළි උපතට හේතුවේ. බලන්න: ත්‍රිවිධ සුචරිතය හා ත්‍රිවිධ දුෂ්චරිතය, කෙළෙස්. සටහන්: සියලු කුසල, අප්‍රමාදය පිහිටකොට ඇත, අකුසලය, ප්‍රමාදය මුල් කොට ඇත. බලන්න: අප්‍රමාදය, ප්‍රමාදය.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “The Simile of the Cloth and the Discourse on Effacement” by Nyanaponika Thera, BPS :Wheel 61-62, 2008. 2.“ The Roots of Good and Evil” by Nyanaponika Thera, BPS: Wheel 251-253, 2008.

▼ කුසල ධර්ම කුමක්ද? අකුසල ධර්ම කුමක්ද?: කුසල: 1) අක්‍රෝධය 2) එදිරි නැතිබව 3) අනුන්ට අවමන් නොකිරීම 4) අහංකාරනොවීම, 5) ඉරිසියා නොවීම 6) නොමසුරුකම 7) අමායාව 8) කපටිනැතිබව 9) හිරිය 10) ඔත්තප්පය. (non-anger, non-hostility, non-denigration, non-insolence, non-envy, non-miserliness, non-deceitfulness, non- craftiness, moral shame, moral dread). අකුසල : 1) ක්‍රෝධය 2) එදිරිය 3) අනුන්ට අවමන් කිරීම 4) අහංකාරය, 5) ඉරිසියාව 6) මසුරුකම 7) මායාව 8) කපටිබව 9) හිරි නැතිබව 10) ඔත්තප්ප නැතිබව. සියළු අකුසල් දහම්- වැරදි ධර්මයය, ඒ නිසා දුක ඇතිවේ, දුක්විපාක (දුගතිය) ඇතිකරයි. සියළු කුසල් දහම් - නිවැරදි ධර්මවේ, එමගින් මෙලොව සැපසේ වාසය කලහැකිවේ, සැප විපාක (සුගතිය) ඇතිවේ. මූලාශ්‍ර: අංගු.නි: (1):2 නිපාත:17: 1 අකුසල පෙය්‍යාලය සූත්‍ර, පි.230, EAN:2: XVII, Unwholesome, p. 74.

▼ කුසල ධර්ම යනු සම්මා දිට්ඨිය පෙරටු කරගත්, නිවැරදිමගය. අකුසල ධර්ම යනු මිචඡා දිට්ඨිය පෙරටු කරගත්, වැරදිමගය. මූලාශ්‍ර: සංයු.නි: (5-1); මහාවග්ග: මග්ගසංයුත්ත: 1.3.2 අකුසලධම්ම සූත්‍රය, පි. 58, ESN: 45: Maggasamyutta: 22.2 Unwholesome states, p. 1628, අංගු.නි: (6) :10 නිපාත: 10.3.4.3 කුසල සූත්‍රය, පි. 468, EAN:10: IV: 135.2 Wholesome, p. 548.

▼ කුසල හා අකුසල ඇතිවීමට හේතු:සියලු කුසල ධර්මතා ඇතිවීමට මූලික කරුණු: ධර්මයේ අප්‍රමාදවිම හා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමය. එමගින්, සප්ත බොජ්ඣංග ධර්ම වර්ධනයවේ, නිවන ලඟාවේ. ප්‍රමාදය හා අයෝනිසෝමනසිකාරයෙන් කටයුතුකිරීම අකුසල ධර්ම ඇතිවීමට මුලිකවේ. මූලාශ්‍ර:සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංග සංයුත්ත: 2.4.1 හා 2.4.2 කුසල සූත්‍ර, පි. 212, ESN: 46: Bojjanga samyutta: 31.1 & 32.2.Wholesome, p.1766, අංගු.නි: (6): 10 නිපාත :10.1.2.5 අප්‍රමාද සූත්‍රය, පි.68,EAN:10: 15-5 Heedfulness, p. 497.

▼පහකලයුතු අකුසල හා වැඩිය යුතු කුසල: බුදුන් වහන්සේ ප්‍රහාණය කළයුතු අකුසල් 44 ක් හා ඇතිකරගතයුතු කුසල් 44 ක් පෙන්වා ඇත. අකුසල හැර කුසල ධර්මයේ යෙදීම මගින් බොහෝ අනුසස්‌ ලැබේ: මේ ජීවිතයේදීම සුවපත්ව වාසය කිරීමට හැකිවීම, සුගතියක යළිඋපත ලබාගැනීමේ වාසනාව, ධර්ම මාර්ගය වර්ධනය කර නිවන සාක්ෂාත් කරගැනීමට හැකිවීම. විස්තර පිණිස බලන්න: සල්ලේඛ පරියාය. මූලාශ්‍ර: ම.නි: (1): 1.1.8 සල්ලේඛ සූත්‍රය, පි. 112, EMN: 8. Sallekha Sutta- Effacement, p.108.

▼ අකුසල් ප්‍රහිණය හා කුසල් ඇතිකරගැනීම: අකුසල්, කයෙන්, වචනයෙන් හා මනසින් සිදුවේ. යහපත් කාය කර්ම (කාය සුචරිතය) මගින්, කයෙන් සිදුවන අකුසල නැතිකරගත හැකිය. යහපත් වචී කර්මමගින් (වාක් සුචරිතය), වචනයෙන් සිදුවන අකුසල නැතිකරගත හැකිය. එහෙත්, මනසින් සිදුවෙන අකුසල ප්‍රහීණය කරගත හැක්කේ නිතර නුවණින් විමසමින් ප්‍රඥාවෙන් කටයුතු කිරීමෙන් (මනෝ සුචරිතය ඇතිකර ගැනීමෙන්) යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. නුවණින් සලකා බලමින් පහකර ගතයුතු අකුසල්: 1) තණ්හාව-ලෝභය 2) දෝසය - ව්‍යාපාදය 3) අවිජ්ජාව (මොහය) 4) ක්‍රෝධය 5) අමනාපය (උපනාහ) 6) ගුණමකුබව 7) අහංකාරය (පළාස) 8) මසුරුකම 9) පාපික/ලාමක ඊර්ෂ්‍යාව (පාපිකා ඉස‍්සා), 10) පාපික/ලාමක ආසාව (පාපිකා ඉච‍්ඡා) බලන්න: පාපික ඊර්ෂ්‍යාව, පාපික ආසාව. මූලාශ්‍ර:අංගු.නි :(6):10 නිපාතය: 10.1.1.3 කාය සූත්‍රය, පි. 100, EAN:10: 23.3 Body, p. 500.

▼ කුසල් හා අකුසල් පිලිබඳ බුද්ධ අනුසාසනා: සියලු බුදුවරුන්ගේ අනුසාසනය වුවේ අකුසලය හැර කුසලය වැඩිය යුතුබවය. පව්කම්-අකුසල් හැර කුසලය වඩා සිත පිරිසිදු කරගන්න: “සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා- සචිත්ත පරියො දපනං- එතං බුද්ධානුසාසනං”. මූලාශ්‍රය: ධම්ම පදය, බුද්ධ වග්ග, 183නි ගාථාව.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “අකුසලය දුරුකරගන්න, අකුසලය දුරුකර ගත හැකි නිසා මම එසේ කියමි, එය දුරු කරන්නට නොහැකි නම් මම එසේ නොකියමි. අකුසලය ප්‍රහීණය මගින් අහිතක් (විපතක්) , දුකක් ඇති වේ නම් අකුසලය දුරුකරගන්න යයි මම නොකියමි. අකුසල ප්‍රහීණය හිතබව පිණිස, සුව පිණිස වේ, එමනිසා අකුසලය දුරුකරගන්න යයි මම කියමි” (අකුසලං භික‍්ඛවෙ පජහථ- Bhikkhus, abandon the unwholesome!). “කුසලය වඩන්න, කුසලය දියුණුකර ගත හැකි නිසා මම එසේ කියමි, එය දියුණු කරන්නට නොහැකි නම් මම එසේ නොකියමි. කුසලය වැඩීමෙන් මගින් අහිතක් (විපතක්) , දුකක් ඇති වේ නම් කුසලය වඩාගන්න යයි මම නොකියමි. කුසල්වැඩිම හිතබව පිණිස, සුව පිණිස වේ, එමනිසා කුසලය වඩාගන්න යයි මම කියමි” (කුසලං භික‍්ඛවෙ භාවෙථ- Bhikkhus, develop the wholesome!) මූලාශ්‍ර: අංගු.නි: (1):2 නිපාත: 2.1.2.9 සූත්‍රය, පි.152, EAN:2:19.9 Sutta, p. 59.

▼ කුසල් හා අකුසල් පිළිබඳ ක්‍රම විධිය: අකුසල් මග හැරදැමීමට කුසල් මගක් ඇත, ඒ මග ගත යුතුය: විෂම මගක් දුටුවිට එය හැරදැමීමට සමමගක් ඇතිලෙසින්, විෂම තොටුපළක් දුටුවිට එය හැරදැමීමට සම තොටුපළක් ඇතිලෙසින්, අකුසල හැර දැමීමට කුසල් මගක් ඇතය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: “සෙය්‍යාථාපි චුන්‍ද විසමො මග‍්ගො,තස‍්සාස‍්ස අඤ‍්ඤා සමො මග‍්ගො පරික‍්කමනාය. සෙය්‍යාථාපි පන චුන්‍ද විසමං තිත්‍ථං, තස‍්සාස‍්ස අඤ‍්ඤං සමං තිත්‍ථං පරික‍්කමනාය”. එලෙස, හිංසා කරන පුද්ගලයාට එයින් දුරුවීම පිණිස අහිංසා ව ඇත... එලෙසින් සෙසු අකුසල්ද එයට ප්‍රති විරුද්ධ කුසලය භාවිතා කර ගැනීමෙන් හැර දැමිය හැකිවේ. අකුසල් කෙනෙක් පහළටද (දුගතියට) කුසල් කෙනෙක් ඉහළටද (සුගතියට) ගෙනයති, එමනිසා අකුසල හැර කුසලයේ යෙදිය යුතුවේ: “ යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අධොභාවං ගමනියා , යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ උපරිභාවං ගමනියා”. කුසලයේ යෙදෙන කෙනෙකුට, අකුසලයේ යෙදෙන කෙනෙක් ඉන් මුදා ගත හැකිවේ. මඩෙහි එරුණ කෙනෙකුට එම මඩ වලේම සිටින වෙනත් කෙනෙක් ඉන් එළියට දැමීමට හැකියාව නොමැත. එලෙසින් අකුසලහි යෙදෙන කෙනෙකුට වෙනත් කෙනක් කුසලයට ගැනීමට හැකියාව නොමැති යයි බුදුන් වහන්සේ වදාළහ. කුසලයේ යෙදෙන පුද්ගලයාට තව කෙනෙක් කුසලයට ඇදගැනීමට හැකියාව ඇත. මූලාශ්‍ර: ම.නි: (1): සල්ලේඛ සූත්‍රය, පි. 112, EMN: 8-Effacement (Inclination of mind), p.108.

▼ කුසලයට හා අකුසලයට හේතු: කුසල දහම යනු යහපත් වූ කායික, වාචික, මානසික ක්‍රියාකාරකම්ය, එයට විරුද්ධ දේ අකුසලයය. කුසල දහම වැඩිවීමට හා අකුසල් පිරිහීමට හේතු : ධර්මයේ අප්‍රමාදවීම, අලසකම නොමැතිවීම, වීරිය, අල්පෙච්චඡතාව, ලදදෙයින් සතුටුවීම, යෝනිසෝමනසිකාරය, සම්ප්‍රජන්‍යය, කල්‍යාණ මිත්‍ර සේවනය. කුසල් පිරිහීමට හා අකුසලයට හේතු: ධර්මයේ ප්‍රමා වීම, ධර්මයේ යෙදීමට අලසවීම, වීරිය නැතිකම, මහෙච්චඡතාව, ලද දෙයින් නොසතුටුවීම, අසම්ප්‍රජන්‍යය, අයෝනිසෝමනසිකාරය, පාපමිත්‍ර සේවනය. යහපත් කුසලක්‍රියා කරණවිට, අකුසල් පිරිහී, කුසල් වැඩේ, එහෙත්, කෙනෙක් අයහපත් අකුසල් ක්‍රියා වල යෙදෙන්නේනම්, කුසල් පිරිහි, අකුසල් වැඩේ. සියලු කුසල ධර්මතා... අකුසල ධර්මතා... සිත පෙරටු කරගෙන ඇත, සිත ඒ ධර්මතා වලට පළමුව ඇතිවෙන බව බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: අංගු.නි: (1) 1 නිපාත, කල්‍යාණ මිත්‍ර වග්ග, පි. 58, EAN:1: 56.6 & 57.7, p. 39.

▼ කුසල හා අකුසල අවබෝධ කරගැනීම - Knowledge of wholesome & unwholesome: කුසල හා අකුසල මූලයන් පිලිබඳ යහපත් අවබෝධය ලබන ආරිය ශ්‍රාවකයා (සේඛ), සම්මා දිට්ඨියට පැමිණ, සියලු අනුසය ප්‍රවණතා පහකර ගෙන සත්‍ය ඥානය අවදි කර, සියලු දුක නිමා කරගනි. බලන්න: අනුසය, සම්මා දිට්ඨිය. සටහන: අටුවාවට අනුව ඔහු එම අවබෝධය ලබා ගන්නේ චතුසත්‍ය තුළින්ය: සියලු ක්‍රියාවන් නිසා දුක ඇතිවේ (දුක්ඛ සත්‍ය) කුසල් හා අකුසල මූල ඇතිවෙන්නේ දුක නිසාය (දුක්ඛ සමුදය සත්‍ය), අකුසල හා කුසල මූල අවසන් කිරීමෙන් දුක නැතිවේ (දුක්ඛ නිරෝධ සත්‍ය), ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය නම් ආරිය අටමග වඩා ගැනීමය (මාර්ග සත්‍ය). බලන්න: EMN: note: 118, p. 1074. මූලාශ්‍ර:ම.නි: (1 ): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ කුසල ධර්ම වර්ධනය - Developing the wholesome: තමන් තුල ඇති කුසල, නිශ්චලව (standstill) තබාගැනීම හෝ හානියට පත්කර ගැනීම නොකර ගත යුතු යයි බුදුන් වහන්සේ අවවාද කර ඇත. කුසල් නිශ්චලව තබා ගැනීම යනු, තමා තුල ඇති යහපත් කුසල් දියුණු නොකර, එලෙසම තබා ගැනීමය. කුසල් හානියට පත්කර ගැනීම යනු තමා තුල ඇති යහපත් කුසල් ආරක්ෂා කර දියණු නොකර ගැනීමය. කුසල් දියුණුවට පත්කර ගැනීම යනු, තමා තුල ඇති: ශ්‍රද්ධාව, ශිලසම්පන්නබව, බහුශ්‍රැතබව, නෙක්ඛම්මය, ප්‍රඥාව , ප්‍රතිභානය- සියුම්නුවණ (discernment) ආදී ගුණ වඩාගෙන, ආසාව ක්‍ෂය කිරීමට කටයුතු කිරීමය. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: සචිත්තවග්ග: 10.2.1.3 ධීති සූත්‍රය, පි. 200 , EAN:10: 53.3 Standstill, p. 513.

▲ කුසල ධර්මයේ ප්‍රතිලාභ- Gains due to wholesome: බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “...මම, කුසල ධර්මතා කිරීම පිණිස සිත උපද්දවා ගැනීම බොහෝ උපකාර යයි කියමි. කයින් හා වචනයෙන් කුසල කර්ම කිරීම හා කරවීම පිලිබඳ අනුසස් ගැන කියනුම කවරේද?” “චිත‍්තුප‍්පාදම‍්පි ඛො අහං චුන්‍ද, කුසලෙසු ධම‍්මෙසු බහුකාරං වදාමි. කො පන වාදො කායෙන වාචාය අනුවිධීයනාසු” (Cunda, I say that even the inclination of mind towards wholesome states is of great benefit, so what should be said of bodily and verbal acts conforming [to such a state of mind). සටහන: අටුවාවට අනුව සිත කුසල් කිරීමට නැඹුරුකිරීම මහා ලාභයකි-The inclination of mind is of great benefit because it entails exclusively welfare and happiness, and because it is the cause of the subsequent actions that conform to it. බලන්න: EMN: note: 110, p. 1073 මූලාශ්‍ර:ම.නි: (1): 1.1.8 සල්ලේඛ සූත්‍රය, පි. 112, EMN: 8. Sallekha Sutta- Effacement, p.108.

▲ කුසලනදී- Streams of Wholesome: කුසල නදී ලෙසින් පෙන්වා ඇත්තේ ආරිය ශ්‍රාවකයා තුළ ඇති උතුම් ගුනයන්ය. බලන්න: පුණ්‍යනදී.

▲ කුසලමග හා අකුසල මග- Kusala maga & Akusala maga සම්මාදිට්ඨිය මුල්කරගත් අංග 10කින් යුත් සම්මත්වය කුසල මගය, එම මගට විරුද්ධවූ මිථ්‍යාත්වය අකුසල මගය. මූලාශ්‍ර:අංගු.නි: ( 6) : 10 නිපාත:සාධුවග්ග,පි. 468, EAN:10:Good, p. 548,සංයු.නි:(5-1) මග්ගසංයුත්ත: 1.3.2 අකුසල ධම්ම සූත්‍රය, පි. 58, ESN:45: Magga samyutta: 22.2 Unwholesome States, p. 1628.

▲ කුසල මූලිකය-Base for wholesome: කුසලයට මුලික වන්නේ සම්මාදිට්ඨියය. බුදුන් වහන්සේ වදාළේ උදාවන හිරුට පෙර නිමිත්ත නම් අරුනෝදයය. එලෙස, සියලු කුසල ධර්මයනට පෙරනිමිත්ත- පෙරටුව සිටින්නේ සම්මා දිට්ඨියය. සම්මා දිට්ඨිය ඇතිවිට සම්මා සංකප්පය ඇතිවේ. එලෙසින් සම්මා විමුක්තිය දක්වා, ආධ්‍යාත්මික මග (සම්මා මග) වර්ධනය වේ. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 10.3.2.9 පුබ්බංගම සූත්‍රය, පි.458, EAN:10: 121.9 Forerunner, p. 547

▲ කුසල මුල් හා අකුසල මුල්- wholesome roots and unwholesome roots: කුසල මුල් 3කි: අලෝභය, අදෝසය හා අමෝහය (none lust, none- hate, and none delusion). සියලුම කුසල ඇතිවන්නේ කුසල් මුල් නිසාය. අකුසල මුල් 3 කි: ලෝභය, දෝසය හා මෝහය (lust, hatred, and delusion). සියලුම කෙළෙස් ඇතිවන්නේ අකුසල මුල් නිසාය.

▼ ජාති ජරා මරණ ආදීවූ සසර පවත්වන හේතු නැතිකර ගැනීමට අකුසල මූල ප්‍රහීණය කරගත යුතුවේ. සක්කායදිට්ඨිය, විචිකිච්චාව, සීලබ්බත පරාමාස නැතිකරගැනීම මගින් අකුසල මූල නැතිකර ගැනීමට හැකිවේ. සටහන: ම.නි: සම්මාදිට්ඨි සූත්‍රයට අනුව කුසල හා අකුසල මූලයන් ගැන පුර්ණ අවබෝධය ලබන ආරිය ශ්‍රාවකයා (සේඛ) සියලු උපාදාන හැර, සත්‍ය අවබෝධකර මේ ජීවිතයේදීම නිවන සාක්ෂාත් කරගනී. මූලාශ්‍ර: දිඝ.නි: (3 ): 10 සංගිති සූත්‍රය-ඡෙදය 10 , පි. 377, EDN: 33 Sangīti Sutta: The Chanting Together-section 10.1, p. 365, ම.නි: (1 ): 1.1.9 සම්මාදිට්ඨි සූත්‍රය, පි.130, EMN: 9: Sammādiṭṭhi Sutta-Right View, p.121, අංගු.නි:(6): 10 නිපාත: 10.2.3.6 තයෝධම්ම සූත්‍රය, පි.284, EAN: 10: 76-6.Incapable, p. 524.

▲ කුසල් ලැබීම-නොලැබීම- not getting or getting the wholesome අංග 3 ක් ඇති භික්ෂුව නොලත් කුසල් දහම් ලබා ගැනීමට හෝ ලැබූ කුසල් දහම් දියුණු කර ගැනීමට අසමත්වේ: 1) ඔහු උදෑසන, සමාධිය ලබාගැනීම පිණිස භාවනා අරමුණේ අනලස්ව, උත්සාහවන්තව කටයුතු නොකරයි 2) දිවාකල, සමාධිය ලබාගැනීම පිණිස භාවනා අරමුණේ අනලස්ව, උත්සාහවන්තව කටයුතු නොකරයි 3) සවස්කළ, සමාධිය ලබාගැනීම පිණිස භාවනා අරමුණේ අනලස්ව, උත්සාහවන්තව කටයුතු නොකරයි. එහෙත්, වෙනත් අංග 3 ක් ඇති භික්ෂුව නොලත් කුසල් දහම් ලබා ගැනීමට හෝ ලැබූ කුසල් දහම් දියුණු කර ගැනීමට සමත්වේ: 1) ඔහු උදෑසන, සමාධිය ලබාගැනීම පිණිස භාවනා අරමුණේ අනලස්ව, උත්සාහවන්තව කටයුතු කරයි 2) දිවාකල, සමාධිය ලබාගැනීම පිණිස භාවනා අරමුණේ අනලස්ව, උත්සාහවන්තව කටයුතු කරයි 3) සවස්කළ, සමාධිය ලබාගැනීම පිණිස භාවනා අරමුණේ අනලස්ව, උත්සාහවන්තව කටයුතු කරයි. මූලාශ්‍ර:අංගු.නි: (1):3 නිපාත, 3.1.2.9 සූත්‍රය, පි. 256, EAN:3 : 19.9 sutta, p. 84.

▲ කුසලශිලය හා අකුසලශිලය: පාලි: කුසලානි සීලානි අකුසලානි සීලානි -wholesome virtuous behavior & Un virtuous behaviorකුසල සීලය යනු යහපත් ලෙසින් ශීලසම්පන්න වීමය. තුන්දොරින් කරන සියලු ක්‍රියා යහපත් බවය. මෙය ආධ්‍යාත්මික වර්ධනය පිණිස අවශ්‍යතම සාධකයකි. අකුසල සීලය අයහපත් චරියාවය, මාර්ගය අවහිර කරණ මුලික කරුණකි. බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: 1. කුසලශිලය ඇති පුද්ගලයා ගේ ස්වභාවය: යම්කිසි පුද්ගලයෙක්හට, දස ධර්ම ගුණ තිබේනම්, ඔහු කුසලශිලයෙන් සමන්විත (පිරිපුන් කුසල් ඇත), උත්තරීතර, අනභිභවනිය ශ්‍රමණයෙක්ය: “ දසහි ඛො අහං ථපති, ධම‍්මෙහි සමන‍්නාගතං පුරිසපුග‍්ගලං පඤ‍්ඤාපෙමි සම‍්පන‍්නකුසලං පරමකුසලං උත‍්තමපත‍්තිපත‍්තං සමණං අයොජ‍්ඣං...”. (When a man possesses ten qualities, carpenter, I describe him as accomplished in what is wholesome, perfected in what is wholesome, an ascetic invincible attained to the supreme attainment) සටහන: සමණං අයොජ‍්ඣං: අනභිභවනීය= පරාජය කළනොහැකි, එනම්, රහතන් වහන්සේය. කූසල ශිලය ඇති ශිලසම්පන්න පුද්ගලයාට ඇති ගුණ 10: 1-8. අසේඛ සම්මා දිට්ඨිය - අසේඛ සම්මා සමාධිය (ආරිය අටමග) 9. අසේඛ සම්මා ඥාණය (the right knowledge of one beyond training 10. අසේඛ සම්මා විමුක්තිය (right deliverance of one beyond training) සටහන: * අසේඛ: රහතන්වහන්සේ හඳුන්වන ආකාරයකි. කුසල ශිලය කුමක්ද? 1.යහපත් කාය කර්ම 2. යහපත් වචී කර්ම හා 3. පිරිසිදු ආජිවය ඇතිබව. කුසල ශිලය ඇතිවන්නේ (සමුදය) කෙසේද? සිත නිසා (චිත්ත සමුත්ථානය) -රාග දෝස හා මෝහයෙන් මිදුන සිතේ (වීත රාග, වීත දෝස වීත මෝහ) කුසල ශිලය ඇතිවේ. කුසල ශිලය අවසන්වෙන්නේ (නිරෝධය) කුමන අවස්ථාවේද? භික්ෂුව සිල්වත්ය, එහෙත් එම ශිලය තමාගේ යයි නොගනී. ඔහුට චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය පිලිබඳ නුවණ ඇත. එමගින්, කුසල ශිලය ඉතිරි නොමැතිව අවසන්වේ (අරහත්වයට පත්වීම). කුසල ශිලය නිරෝධවන ප්‍රතිපදාව කුමක්ද? : අකුසල ඇතිනොවීම පිණිස, උපන් අකුසල පහ කර ගැනීම පිණිස, නූපන්කුසල ඇතිකර ගැනීම පිණිස, උපන් කුසල වැඩි දියුණු කර ගැනීම පිණිස සිතේ උනන්දුව ඇතිකර ගැනීම (කුසල ඡන්දය- zeal). ප්‍රධාන වීරිය ඇතිව කටයුතු කිරීම. කුසල සංකල්පනා යනු කුමක්ද?: නෙක්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා කුසල සංකල්පනා ඇතිවෙන්නේ කෙසේද? සංඥාව නිසා විවධ කුසල සංකල්පනා ඇතිවේ: නෙක්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. කුසල සංකල්පනා නිරෝධය වෙන්නේ කෙසේද? දෙවෙනි ජාන සමාපත්තිය ලැබීමෙන්. කුසල සංකල්පනා නිරෝධය පිණිස ඇති ප්‍රතිපදාව කුමක්ද? අකුසල සංකල්පනා ඇතිනොවීම පිණිස, උපන් අකුසල සංකල්පනා පහ කර ගැනීම පිණිස, නූපන්කුසල සංකල්පනා ඇතිකර ගැනීම පිණිස, උපන් කුසල සංකල්පනා වැඩි දියුණු කර ගැනීම පිණිස සිතේ උනන්දුව ඇතිකර ගැනීම, ප්‍රධාන වීරිය ඇතිව කටයුතු කිරීම. 2 කුසලශිලය නොමැති පුද්ගලයා දුෂ්ශිල ලෙසින් හඳුන්වයි. (මිථ්‍යා මග ගමන් කරන පුද්ගලයාය) අකුසල ශිලය යනු කුමක්ද? අයහපත් කාය කර්ම, අයහපත් වචී කර්ම, අයහපත් ජිවිත පැවැත්ම. අකුසල ශිලය ඇතිවන්නේ (සමුදය) කෙසේද? සිත නිසා: රාග දෝස හා මෝහයෙන් වැසුන සිතේ අකුසල ශිලය ඇතිවේ. අකුසල ශිලය සම්පුර්ණයෙන්ම අවසන්වෙන්නේ (නිරෝධය) කුමන අවස්ථාවේද? කායදුශ්චරිතය පහකර කායසුචරිතය වැඩීමෙන්, වාක්දුශ්චරිතය පහකර වාක් සුචරිතය වැඩීමෙන්, මනෝ දුශ්චරිතය පහකර මනෝ සුචරිතය වැඩීමෙන්, මිථ්‍යා ආජීවය හැර සම්මා ආජීවය ඇතිකර ගැනීමෙන්. සටහන: අටුවාවට අනුව මේ අවස්ථාව යනු සෝතාපන්න වීමය. බලන්න: EMN: note: 773, p. 1136. අකුසල ශීලයේ නිරෝධය පිණිස ඇති ප්‍රතිපදාව කුමක්ද? ලාමක අකුසල ඇතිනොවීම පිණිස, උපන් අකුසල පහ කර ගැනීම පිණිස, නූපන්කුසල ඇතිකර ගැනීම පිණිස, උපන් කුසල වැඩි දියුණු කර ගැනීම පිණිස සිතේ උනන්දුව ඇතිකර ගැනීම (කුසල ඡන්දය- zeal). ප්‍රධාන වීරිය ඇතිව කටයුතු කිරීම. අකුසල සංකල්පනා යනු කුමක්ද? කාම සංකල්පනා (කාමඡන්දය) , ව්‍යාපාද සංකල්පනා, හිංසාකාරී සංකල්පනා (විවිහිංසාව). අකුසල සංකල්පනා ඇතිවෙන්නේ කෙසේද? අකුසල සංකල්පනා ඇතිවන්නේ සංඥාව නිසාය (perception). සංඥාව විවිදාකාරය: කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විවිහිංසා සංකල්පනා මගින් අකුසල සංකල්පනා උපදී. අකුසල සංකල්පනා නිරෝධය වෙන්නේ කෙසේද?: ප්‍රථම ජාන සම්පත්තිය ලැබීමෙන්.අකුසල සංකල්පනා නිරෝධය පිනිස ඇති ප්‍රතිපදාව කුමක්ද? ලාමක අකුසල සංකල්පනා ඇතිනොවීම පිණිස, උපන් අකුසල සංකල්පනා පහ කර ගැනීම පිණිස, නූපන්කුසල සංකල්පනා ඇතිකර ගැනීම පිණිස, උපන් කුසල සංකල්පනා වැඩි දියුණු කර ගැනීම පිණිස සිතේ උනන්දුව ඇතිකර ගැනීම, ප්‍රධාන වීරිය ඇතිව කටයුතු කිරීම. මූලාශ්‍ර: ම.නි: (2): 2.3.8. සමනමණ්ඩික සූත්‍රය, පි. 382, EMN: 78: Samaṇamaṇḍikā Sutta,p.593.

▲ කුසල් පද හා අකුසල් පද- Base of wholesome & base of unwholesome: කුසලයට හේතු, පදනම්වන කරුණු 9 කි ඒවා කුසල පදවේ. කුසල භුමි ලෙසින්ද පෙන්වා ඇත. කුසල් පද 9කි: 1) සමථ භාවනාව 2) විදර්ශනා භාවනාව 3) අලෝභය 4) අද්වේෂය 5) අමෝහය 6) අසුභ සංඥාව 7) දුක්ඛ සංඥාව 8) අනිත්‍ය සංඥාව 9) අනාත්ම සංඥාව.අකුසලයට හේතුව, පදනම්වන කරුණු 9කි. ඒවා අකුසල පද වේ. මේවා අකුසල භුමි ලෙසින්ද පෙන්වා ඇත: අකුසල් පද 9 කි: 1) තණ්හාව 2) අවිද්‍යාව 3) ලෝභය 4) ද්වේෂය 5) මෝහය 6) සුභ සංඥාව 7) සැප සංඥාව 8) නිත්‍ය සංඥාව 9) ආත්ම සංඥාව. මූලාශ්‍ර: ඛු.නි: නෙත්තිප්ප්‍ර කරණය: විභාගවාරෝ.

▲ කුසල් භුමිය හා අකුසල් භුමිය- Plane of wholesome & Plane of Unwholesome කුසල් භුමිය යනු: සමථ, විදර්ශනා භාවනා 2, අලෝභය, අද්වේශය,අමෝහය යන කුසල් මුල් 3 හා සතර සතිපට්ඨානයය. මේව ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ පදනම හෙවත් කුසල් භුමියවේ. අකුසල් භුමිය යනු: තණ්හාව, අවිද්‍යාව, ලෝභය, දෝෂය, මෝහය හා සතර විපල්ලාසයන්ය. මේ 9 කෙලෙස්වල පදනම හෙවත් කෙළෙස් භුමිය වේ. මූලාශ්‍ර: ඛු.නි: නෙත්තිප්ප්‍රකරණය: විභාගවාරෝ.

▲ කුසලයේ අපරිමාණවීම - Wholesome to be measureless අංග තුනක් ඇති භික්ෂුව නොබෝකලකින් කුසලධර්මයේ අපරිමානබවට, මහත්බවට, විපුලබවට පත්වනබව බුදුන් වහන්සේ වදාළහ:1) ඔහුට නුවණැස ඇත (චකඛුමා හොති) 2) ප්‍රඥාව ඇත - කළයුතු නිසි දේ දනී ( විධුරො) 3) උපකාරය පිණිස හිතවතුන් ඇත ( නිස්සයසමපනෙනා).. ඔහුට කෙසේ නුවණැස තිබේද? හෙතෙම, යථාපරිද්දෙන් ‘මේ දුක’ බව දනී, ... ‘මේ දුක නැතිකිරීමේ ප්‍රතිපදාව’ බව දනී -සිව්සස් අවබෝධ කරගනී. ඔහුට කෙසේ ප්‍රඥාව තිබේද? අකුසල ධර්ම පහ කරීම පිණිස ඔහු වීරිය වඩයි; කුසල් දහම් ඇතිකරගැනීමට, වැඩිකරගැනීමට වීරිය කරයි; ඔහු ශක්තිමත්ය, ඔහුගේ විරිය-උත්සාහය ස්ථාවරය, කුසල ධර්ම වර්ධනය පිණිස කළයුතු දේ අතහැර නොදමයි. ඔහුට කෙසේ උපකාර කරන හිතවතුන් සිටීද? මේ භික්ෂුව, කලින් කලට බහුශ්‍රැත , ධර්මය දායදකරගත් (ආගතාගමා), ධර්මයේ (ධම්මධර) හා විනයේ නිපුනවූ (විනය ධර) , පාතිමොක්ඛ (භික්ෂු හා භික්ෂුණි පාතිමොක්ඛ) පිලිබඳ දක්ෂවූ (මාතිකාධර ) ජේෂ්ඨ භික්ෂුන් හමුවී, තමනට නොපැහැදිලි, නොතේරුම් ගිය ධර්මතා පිළිබඳව අරුත් විමසයි. එවිට, ඒ උතුම් භික්ෂුන් ඔහුට යහපත් ලෙසින් අවවාද අනුසාසනා කරති. එම අනුසාසනා ඇසීමෙන්- කලින් අප්‍රකට ධර්ම කරුණු ප්‍රකටවේ; අපැහැදිලි ධර්ම කරුණු පැහැදිලිවේ, කලින් විමතිය-සැකය ඇතිකළ කරුණු පිළිබඳව, විමතිය -සැකය දුරුවේ. මේ ධර්මතා තුන ඇති භික්ෂුව නොපමාව කුසල ධර්මතා මහත්කොට, විපුල බවට පත්වේ. මූලාශ්‍ර:අංගු.නි: (1):3 නිපාත:3.1.2.10. සූත්‍රය,පි.256,EAN: 3: 20.10 sutta, p. 84.

▲ කුසීතබව - laziness: කුසිතබව- අලසකම නිවරණයකි, ධර්ම මාර්ගයට අවහිරයකි. කුසීත පුද්ගලයාට, උද්දච්චය, අසංවරබව හා දුසිරිතය නැතිකරගැනීමට නොහැකිය. අගෞරවය -ගරුනොකිරීම, දොවචස්සතාවය-මුරණ්ඩුබව, නරක මිතුරු (පාපමිත්‍ර) සේවනය නැතිකර ගැනීමෙන් - කලණ මිතුරු සේවනයෙන් කුසීතබව පහවේ. බලන්න: අලසකම. සටහන්: * බුදුන් වහන්සේ වදාළේ උපන් කුසල ධර්ම පිරිහීමට,අකුසල ධර්ම ඇතිවී, වැඩිවියාමට, කුසිතබව තරම් වෙනත් ධර්මයක් දැකනැතිබවය. අලසකම නීවරණ ධර්මයකි. බලන්න: අංගු.නි: (1) 1නිපාත සුත්‍ර, පි. 60, ** කුසිතබව අසද්ධර්මයකි. බලන්න: අසද්ධර්මය. ** කුසිතබව නැතිවීම උද්දච්චය නැතිකරගැනීමට උපකාරිවේ, බලන්න: උද්දච්චය. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාතය: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▲ කුසිනාරා-Kusinara: බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවු මේ ස්ථානය ‘මල්ල රජ දරුවන්ගේ සල් උයන’, උතුරු ඉන්දියාවේ පිහිටි ස්ථානයකි. සැදැහැති කුලපුත්‍රයෙක් විසින් දැකියයුතු සංවේග කටයතු ස්ථානයකි. බලන්න: මහා පරිනිර්වාණ සූත්‍රය,පුජනිය සිව් ස්ථාන. මූලාශ්‍රය: අංගු.නි: (2 ):4 නිපාත: 4.3.2.8. සංවේජනීය සූත්‍රය, පි. 254, EAN:4: 118.8 Inspiring, p. 191.

▲ කිසාගෝතමී තෙරණිය-Kisagothami Therani:බලන්න: උප ග්‍රන්ථය:2

▲ කේසකම්බිලි පොරෝනාව - Matted hair blanket: මේ උපමාව යොදාගෙන ඇත්තේ මක්ඛලිගෝසාල නම් අන්‍ය ආගමික නායකකගේ දහමේ අයහපත පෙන්වා දීමටය. කේසකම්බිලි නම් පොරෝනය- කෙස්වලින් ගොතා ඇති වස්ත්‍රයකි, එය සියලු වස්ත්‍ර අතුරින් නරකම වස්ත්‍රයවේ. එය ශිතකාලයේ ශිතය, උෂ්ණ කාලයේ උෂ්ණය, දුගඳය, දුරුවර්ණය. එලෙසින් මක්ඛලිගෝසාල ගේ ඉගැන්වීම් සෑම කාලයකම අයහපත ගෙනදේ.බලන්න: මක්ඛලිගෝසාල, උපග්‍රන්ථය:5. මූලාශ්‍රය: අංගු.නි: (1): 3 නිපාත:3.3.4.5 සූත්‍රය, පි.554.

▲ කෙසල්ගස- Banana tree: කෙසෙල්ගසේ ඵලය නිසා ඒ ගස විනාශයට පත්වේ, එලෙස ලාභ සත්කාර වලට යටවීම නිසා සංඝයා විනාශයට පත්වීම මෙහි දක්වා ඇත. බලන්න:නිදානවග්ග: ලාභසත්කාර සංයුත්ත: 5.4.5 අත්තවධ සූත්‍රය.

▲ කැසබුවා-Turtle : කැසබුවා -කුම්ම-කච්චප ලෙසින්ද පෙන්වා ඇත. බුදුන් වහන්සේ, පෙර කාලයක විලක ජිවත්වූ කැසබුවන් පිලිබඳ කතාවක් වදාළ බව මෙහි විස්තර කර ඇත. කැසබු පියා, එම විලෙන් බැහැරට නොයන ලෙස කැසබු පුතාට අවවද කළද, ඒ නො ඇසු පුතා විලෙන් බැහැරට ගොස් මස් වැද්දකුට හසුවිය. වැද්දා යකඩකටුවක් සහිත හූයකින් (ලනුව) ඒ කැසබු පුතාට විද ඌ විනාශට පත් කරන ලදී. ලාභසත්කාර ආදියට යටවීමෙන්, සංඝයා විනාශයට පත්වීම පෙන්වා දීමට බුදුන් වහන්සේ මේ කථාව පවසා ඇත. මෙහි වැද්දා යනු මාරයාය, යකඩ කටුව ලාභ සත්කාර ආදියය, හූය තණ්හාවය. තණ්හාව නිසා ලාභසත්කාර ආදියට ගිජුවන මහණ මාර්ගයේ පරිහානියට පත්වේ. බලන්න: කැසබුවා උපමාව. උපග්‍රන්ථය:5. උපමා. මූලාශ්‍රය:සංයු.නි: (2): නිදානවග්ග: ලාභසත්කාරසංයුත්ත:5.1.3 කුම්මසූත්‍රය, පි.368.

▲ කොසඹෑනුවර-Kosamba Nuwara: කොසඹෑනුවර, ඝෝසිතආරාමය, එ නුවරේ වැසියෙක් වූ ඝෝසිත ගහපති බුදුන් වහන්සේ ඇතුළු සංඝයාට පුජා කර ඇත. බලන්න:උපග්‍රන්ථය:3.

කශ

▲ කාශ්‍යප බුදුන් වහන්සේ- The Buddha Kassapa: ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි බුදුන් වහන්සේය. ගෝතම බුදුන්වහන්සේ පෙර ජිවිතයක, කාශ්‍යප වහන්සේ ගේ සසුනේ පැවිදිව වාසය කල විස්තරය මෙහි දක්වා ඇත. බලන්න: ඛු.නි: බුද්ධවංශ, ඝටිකාර බ්‍රහ්ම. මූලාශ්‍ර: සංයු.නි: (1 ): දේවපුත්ත සංයුත්ත: 2.3.4. ඝටිකාර සූත්‍රය, පි. 140, ESN: 2: Devaputtasamyutta: 24.4 Ghatikāra, p. 201.

▲කාශ්‍යප දේවපුත්‍ර- Kassapa Devaputtha: මේ දේවපුත්‍රයන් බුදුන් වහන්සේ හමුවීමට පැමිණීම මෙහි විස්තර කර ඇත. සටහන: උදයවය නුවණ දැක ධ්‍යාන වඩා අරහත්වය ලබන අන්දම මෙහි සඳහන් කර ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1 ): දේවපුත්ත සංයුත්ත:සුරියවග්ග: කස්සප සූත්‍ර2කි, පි.112.

▲ කාශ්‍යප මහා තෙර-Kassapa mahathera: බලන්න: උප ග්‍රන්ථය:1

කෂ

▲ ක්‍ෂත්‍රියන්- khattiyas: ක්‍ෂත්‍රිය (ඛත්තිය) යනු ශාක්‍ය වංශයට අයත් පිරිසය. බුදුන් වහන්සේ ශාක්‍යවංශයේ උපත ලද හෙයින් උන්වහන්සේ “ශාක්‍යමුණි”ලෙසින් හඳුන්වයි. උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන්, “ශාක්‍යපුත්ත” ලෙසින් දක්වා ඇත. එක් සමයක ජානුස්සෝනි බ්‍රාහමණයා විසින් විමසානු ලැබුව බුදුන් වහන්සේ ක්‍ෂත්‍රියන් ගැන මෙසේ පවසා ඇත:“ඔවුන්ගේ අභිප්‍රාය (අරමුණ-aim) නම් ධනයය (භෝග-Wealth).ඔවුන්ගේ සෙවීම (ගවේශනය-quest) ප්‍රඥාවයය, ඔවුන්ට ඇති ආධරය (support) බලයය (power), ඔවුන්ගේ කැමැත්ත රට-දේශය ලබා ගැනීමය, ඔවුන්ගේ අවසාන ඉලක්කය රාජ්‍යත්වයය”. මූලාශ්‍රය: අංගු.නි: (4): 6 නිපාත:ධම්මිකවග්ග: 6.1.5.10 ඛත්තිය සූත්‍රය, පි.154.

▲ කෘෂ්ණමග-Black way: කෘෂ්ණමග-කළුමග- දුක්දෙන මග ලෙසින් පෙන්වා ඇත්තේ මිථ්‍යාදිට්ඨිය සහිත වැරදි මගය. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත: අරියවග්ග: 10.3.5.2 සුඛමග සූත්‍රය, පි. 474.

▲ ක්‍ෂණය - opportunity: ක්‍ෂණය යනු අවකාශය: යමක් කරගැනීමට හැකිවීමය. ධර්මය ලබාගැනීමට කාලය ලැබීම, අවස්තාව ලැබීමය. බලන්න: අක්‍ෂණය හා ක්‍ෂණය.

▲ ක්‍ෂණසම්පත්තිය -opportune moment: ධර්මය ලෝකයේ පවතින විට එය අවබෝධ කරගැනීමට කෙනෙකුට ඇති වාසනාව, අවස්ථාව ක්‍ෂණසම්පත්තිය ය. බලන්න: අක්‍ෂණය හා ක්‍ෂණය. මූලාශ්‍ර:අංගු.නි: (5): 8 නිපාත: 8.1.3.9 අක්ඛණ සූත්‍රය, පි. 150, EAN: 8: 29.9 Inopportune Moments, p. 427.

▲ ක්‍ෂණික අභිඥා-Kshanika Abhinna: ක්‍ෂණික අභිඥා - ඛිප්පාභිඤඤා -ක්‍ෂණිකව අවබෝධය යනු ධර්මය ඇසු පමණින් අවබෝධ කර අරහත්වය ලැබීමය. බුදුන් වහන්සේගේ සසුනේ ක්‍ෂණික අභිඥා ලැබූ සංඝයා අතුරින් අග්‍ර ස්ථාන ගෙන ඇත්තේ: බාහිය දාරුචිරිය රහතුන් හා භද්‍රා කුණ්ඩල කේසි තෙරණිය. බලන්න: උපග්‍රන්ථය:1,2

▲ ක්‍ෂය නුවණ-Knowledge of the destruction of defilements: ක්‍ෂය නුවණ- ක්‍ෂය ඥානය යනු සියලු කෙළෙස් ප්‍රහින කරගත් බව- ආසවක්‌ඛය - දන්නා නුවණ. මෙය ඇතිවන්නේ අරහත්වයට පත් විමෙන්ය. තෙවිජ්ජා - ත්‍රිවිධ විද්‍යා අතුරින් අවසාන නුවණය. මෙය උත්පාදයිතව්‍ය ධර්ම යකි. බලන්න: ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම, උත්පාදයිතව්‍ය ධර්ම, තෙවිජ්ජා.මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ ක්‍ෂාන්තිය:පාලි:ඛන‍්තී- Patience: ධර්මයේ ක්‍ෂාන්තිය ලෙසින් පෙන්වා ඇත්තේ කුමන කාරණයක් උදෙසාවත් නොකිපී, ඉවසීම ඇතිව කටයුතු කිරීමය. බුද්ධත්වය ලබාගැනීමට පතන බෝසත්වරු විසින් සම්පුර්ණ කරගත යුතු උතුම් ගුණයකි-පාරමිතාවකි.බලන්න: අක්‍ෂාන්තිය.

▼ ඉවසීම උතුම් තපස යයි බුදුන් වහන්සේ වදාළහ:“ඛන‍්තී පරමං තපො තිතික‍්ඛා...” සටහන්: * දීඝ.නි: මහාපාදන සූත්‍රයේ ද ක්ෂාන්තිය උතුම් තපස යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත.** ම.නි: කකචුපම සූත්‍රයේදී ඉවසීම පුරුදු පුහුණු කරන අන්දම විස්තර කර ඇත. මූලාශ්‍ර:ඛු.නි : (1): ධම්මපද: බුද්ධ වග්ග: 6 නි ගාථාව, පි. 99.

▼ බුදුන් වහන්සේ ක්ෂාන්තිය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතාවය සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා රුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3):10 සංගිති සූත්‍රය, පි. 372, EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▼ ක්‍ෂාන්තිය - ලෝකයා කෙරහි ඉවසීම ඇති පුද්ගලයා බොහෝදෙනාට ප්‍රියමනාප කෙනක් බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. මේ ගුණය සුගතියට මගකි. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.5.2.5 හා 5.5.2.6 අක්ඛන්ති සූත්‍ර, පි. 432, EAN: 5: 215.5 & 216.6 Impatience, p. 306.

▲ කුෂ්ඨ සැදුන සිවලා-the fox with skin disease: බලන්න: සිවලා උපමාව: උපග්‍රන්ථය:5

කහ

▲ කහවනු - kahawanu: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ මුදල් ලෙසින් භාවිතා කර ඇත්තේ කහවනුය. ඒවා පිළිගැනීම සංඝයාට අකැපය. බලන්න: විනය.

▲ කුහකබව: පාලි: කුහනං- duplicity: කුහකබව යනු ඍජු නැතිබවය, දෙපිටකාට්ටු ලෙසින්ද හඳුන්වයි, අකුසලයකි. මේ ගුණය ඇතිවිට ආධ්‍යාත්මික මර්ගය වඩා ගැනීමට නොහැකිවේ.බලන්න:උත්තරීය මනුස්ස ධම්ම.

▼ කුහකගති ඇති සංඝයා බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් නොවේ, ඔවුන්හට ආධ්‍යාත්මික මග වඩා ගත නොහැකිය. එහෙත්, එම ගති නැති සංඝයා ඒකාන්තයෙන්ම සද්ධර්මයේ වැඩිමට පත්වේ. මූලාශ්‍ර: ඛු.නි: ඉතිවුත්තක: 4.1.9 කුහ සූත්‍රය, පි. 500.

▼ කුහකගති ඇති භික්ෂුව, ඔහු සමග වසන සෙසු සංඝයාට අප්‍රියවේ, අගරුවේ. එහෙත්, එම ගති නොමැති මහණ සෙසු අයට ප්‍රියවේ, ගරුවේ. මූලාශ්‍ර: අංගු.නි: ( 3 ): 5 නිපාත: 5.2.4.3 කුහක සූත්‍රය, පි. 200, EAN:5: 83.3 A Schemer, p. 269.

ඛ කොටස:

ඛග, ඛජ, ඛත, ඛන, ඛණ, ඛප, ඛම, ඛය, ඛල

ඛග

▲ ඛග‍්ග (පාලි): කඟවේනා- the Rhinoceros: කඟවේනා ගේ අඟ (විසාණ) ලෙසින් හුදකලාව (ඒකචාරීව) හැසිරීමේ යහපත් වේ. වනයේ සිටින තිත්මුවා නොබැඳි (වැද්දාටහසුනොවී) , ගොදුරු පිණිස සුදුසු තැනකට යන්නේද, එලෙස, නුවණැති මිනිසා, සෛවරීත්වය (නිදහස- නිවන) පිණිස කඟවේනා ගේ අඟ ලෙසින් එකලාව හැසිරෙන්නේය: “මිගො අරඤ‍්ඤම‍්හි යථා අබද‍්ධො- යෙනිච‍්ඡකං ගච‍්ඡති ගොචරාය, විඤ‍්ඤු නරො සෙරිතං පෙක‍්ඛමානො- එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො” .බලන්න:කඟවෙනා උපමාව:උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: ඛු.නි: සුත්ත නිපාත: උරගවග්ග: 1-2 ඛග්ගවිසාණ සූත්‍රය, පි. 31, Khaggavisanasutta: Translated by Bhikkhu Sujato: Suttacetral.

ඛජ

▲ ඛජ‍්ජනීය(පාලි): බිඳීයාම - Being devoured : ඛජ‍්ජනීය ලෙසින් පෙන්වා ඇත්තේ විනාශවීයාම, බිඳීයාමය. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ රූපය -කය බිඳීයන ස්වභාවය ඇතිබවය. ශිතය, උෂ්ණය, බඩගින්න, පිපාසය මගින්ද, මැසි මදුරු ආදී ලේ උරාබොන සතුන් නිසාද, සුළං, හිරුඑළිය, සර්පයන් දෂ්ඨ කිරීම නිසාද රූපය බිඳී යයි. බලන්න: පංචඋපාදානස්කන්ධය. මූලාශ්‍ර: සංයු.නි: (3) ඛන්ධසංයුත්ත: 1.2.3.7 ඛජ‍්ජනීය සූත්‍රය, පි. 176, ESN:22: 79.7 Being Devoured, p. 1059.

ඛත

▲ ඛත්තිය-khattiya: ඛත්තිය යනු ක්‍ෂත්‍රියන්ය, ශාක්‍ය වංශයට අයත් පිරිසය. බලන්න: ක්‍ෂත්‍රියන්

▲ ඛත්තිය රජ-khattiya king: ඛත්තිය (ක්‍ෂත්‍රිය) රජ කෙනෙක් හට ගුණ අංග 5 ක් ඇත: 1) පරම්පරා සතක් පුරාම මව හා පියාගේ පාර්ශ්වයන් ගේ පිරිසිදු කුලය ඇතිව උපත ලබා ඇතිබව 2) ඔහුට මහා ධන ස්කන්ධයක් ඇත 3) සිව් යුද සේනා සහිත ඔහු මහා බලසම්පන්නය 4) ඔහුගේ උපදේශක- පුරෝහිත මහා ප්‍රඥාවන්තයෙකි 5) එම ගුණ 4 සහිතව මහා යසස් කීර්තියක් ඇතිව, ඛත්තිය රජ ජයග්‍රාහිව තමන්ගේ රාජ්‍යයේ, කැමති දිසාවක වාසය කරයි. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: රාජවග්ග: ඛත්තිය රාජ සූත්‍රය, පි.268

ඛන

▲ ඛන්ති Khanti: ඛන්ති: 1) ක්‍ෂාන්තිය -ඉවසීම ලෙසින් ද, 2) යම් දෙයක් පිලිබඳ විමසා ලබන නුවණ, අවබෝධය ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: ක්‍ෂාන්තිය, දිට්ඨිනිජ්ජානඛන්ති.

▲ ඛන්තිඥානය-Khanti Nana: ඛන්තිඥානය (ක්‍ෂාන්ති ඥානය) නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන (පංච උපාදානස්කන්ධය) අනිත්‍ය ලෙසින්, දුක ලෙසින්, අනාත්ම ලෙසින් දැකීමය. මූලාශ්‍රය:ඛු.නි: පටිසම්භිදා 1: මහාවග්ග: ඥාණකථා: 41 ඛන්තිඥානය, පි. 222.

▲ ඛන්ධ- aggregates: ධර්මයේ ඛන්ධ ලෙසින් පෙන්වා ඇත්තේ පංච උපාදානස්කන්ධයට ඇතුලත් පංච ස්කන්ධයන්ය:රූප, වේදනා, සංඥා, සංඛාර,විඥාන යන උපාදානස්කන්ධයන්ය. සියලු ඛන්ධ -ස්කන්ධ යන්ගේ යථාබව අවබෝධ කරගැනීම විමුක්ති මාර්ගය බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. විස්තර පිණිස බලන්න: සංයු.නි: (3) ඛන්ධසංයුත්තය.

▼ සියලු ඛන්ධ (පංචඋපාදානස්කන්ධය) අනිත්‍ය බව අවබෝධ කරගැනීමෙන් කලකිරීම ඇතිවේ. කිසිවකට නො ඇලි, දුකින් මිදේ, මග බඹසර අවසාන කරගනී. සටහන: මේ සූත්‍රය දේශනා කර ඇත්තේ, රාහුල තෙරුන්හටය. මූලාශ්‍රය:සංයු.නි: (2) නිදානවග්ග: රාහුලසංයුත්ත: 6.1.10 ඛන්ධසූත්‍රය, පි.402.

▼ ඛන්ධ විස්තර කරන වෙනත් සුත්‍ර:: සංයු.නි: (3) ඛන්ධසංයුත්ත: අත්තදීපවග්ග: 1.1.5.6 ඛන්ධසූත්‍රය, පි.112, ඔක්කන්තිසංයුත්ත: 4.1.10 ඛන්ධසූත්‍රය, පි.476, උප්පාදසංයුත්ත: 5.1.10 ඛන්ධසූත්‍රය, පි.482, කෙළෙසසංයුත්ත:කෙළෙසවග්ග: 6.1.10, ඛන්ධසූත්‍රය,පි.492.

▲ ඛිනාසවබල- Powers of destroying taints: ඛිනාසවබල ලෙසින් පෙන්වා ඇත්තේ, ආසාව පහකර ගත් භික්ෂුවට (අසේඛ- රහතන් වහන්සේ) ඇති බලයන්ය: 1) සියලු සංඛාර අනිච්චබව යථා භූත නුවණින් දැනීම 2) සියලු කාම ආසා ගිනිඅඟුරු වලක් ලෙසින් යථා භූත නුවණින් දැනීම 3) හුදකලා විව්කයට බරවී නෙක්කම්ම සුවය විඳීම 4) සතර සති පට්ඨානය මනාව පිහිටුවා ගැනීම 5)- 8) සතර ඉද්දිපාද, ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ඣංග, ආරිය අටමග යහපත් ලෙසින්ම වර්ධනයවීම. මූලාශ්‍ර: අංගු.නි: ( 5): 8 නිපාත: 8.1.3.8 ඛිනාසවබල සූත්‍රය, පි. 148, EAN:8: 28.8 Powers-2, p. 426.

ඛණ

▲ ඛීණාසවො (පාලි): අසවක්‍ෂය- destroyed the taints: ඛීණාසවො යනු සියලු ආසව පහ කරගත් පුද්ගලයාය, එනම් රහතන්වහන්සේය. මෙය රහතුන් හඳුන්වන පදයකි. බලන්න: රහතන්වහන්සේ.

ඛප

▲ ඛිප්පාභිඤඤා -Kippabinna: ඛිප්පාභිඤඤා ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මය ශ්‍රවනය කළ විගසින්ම, අවබෝධ කරගැනීමේ හැකියාවය. බලන්න: උග්ඝටිතඤඤු, බාහිය දාරුචාරි රහතුන්, භද්‍රා කුණ්ඩලකේසි තෙරණිය, අභිඥා.

▲ ඛිප්පනිසන්ති-Khippanisanti: ඛිප්පනිසන්ති යනු කුසල් දහම වහා දකිනාසුළුබවය. බලන්න: අලං.

ඛම

▲ ඛේම-Security: ඛේම: රැකවරණය-ආරක්ෂාව, සුරක්ෂිත බව, නිරුපද්‍රව බව ය. මෙය නිවන හඳුන්වන පදයකි. සිව්ජාන සමාපත්තියට සම වැදීම, සංඥාවේදිත නිරෝධ සමාපත්තියට සම වැදීම සුරක්ෂිත බවය. ඛේමපත්ත (attained security) : නිරුපද්‍රැබව ලැබීම- නිවනලැබීමය. මූලාශ්‍ර: අංගු.නි: (5): 9 නිපාත, ඛේමවග්ග සූත්‍ර, පි. 568, EAN: 9: I Security- suttas. p. 485.

▲ ඛේමතෙර- Khema Thera: බලන්න: උපග්‍රන්ථය:1.

▲ ඛේමාතෙරණිය-Khema Thersaniya බලන්න: උපග්‍රන්ථය:2

▲ ඛේමදේවපුත්‍ර- Khema Devaputhra: මේ දේවපුත්‍රයා, බුදුන් වහන්සේ බැහැදැක, අයහපත් කම්ම විපාක පිලිබඳ ව කළ සාකච්ඡාව මේ සූත්‍රයේ දක්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (1) සගාථවග්ග:දේවපුත්‍ර සංයුත්ත:2.3.2 ඛෙමසූත්‍රය, පි.136.

▲ ඛේමකතෙර- Khemka Thera:බලන්න: උපග්‍රන්ථය:1

▲ ඛේමිය අඹවනය-Khemiya Mango grove: බරණැස්නුවර පිහිටි, සංඝයා වැඩසිටි අරණකි. උදේන තෙරුන් මෙ වනයේ වැඩසිටි බවසූත්‍ර දේශනාවල පෙන්වා ඇත. බලන්න: උදේන තෙර: උපග්‍රන්ථය 1.

▲ ඛෝමදුස්ස ගම-Khomaduss village: මෙ ගම ශාක්‍ය ජනපදයේ ගමකි. බුදුන් වහන්සේ දෙසු දහම අසා මෙ ගම් වැසියෝ උපාසකයන් විය. බලන්න: උපග්‍රන්ථය:3

ඛය

▲ ඛය-Khaya: ඛය ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ ක්‍ෂය කිරීමය, ආසව නැතිකරගනිමය. බලන්න: ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම මූලාශ්‍රය:සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත:2.3.6 ඛයසූත්‍රය, පි.204

▲ ඛයඤාණං (පාලි): ක්‍ෂය නුවණ - Knowledge of the destruction of defilements: ධර්මයේ ඛය ඤාණං ලෙසින් පෙන්වා ඇත්තේ අරහත් මාර්ගය ලැබීමෙන්, සියලු කෙළෙස් නැති කර ගත් බව දන්නා අවබෝධයය. ආසවක්ඛය ලෙසින්ද පෙන්වා ඇත. එම නුවණ, උත්පාදයිතව්‍ය ධර්මයකි- උපදවාගතයුතු ධර්මතාවයකි. බලන්න: උත්පාදයිතව්‍ය ධර්ම, ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ ඛයධම්ම-Khayadhamma: ඛයධම්ම යනු නැතිවීයන බවය. සියල්ල ක්ෂය-ඛය වැනසුළුය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (4): සළායතනවග්ග:වේදනාසංයුත්ත:ජාතිධම්මවග්ග: 1.4.7 ඛයධම්ම සූත්‍රය, පි.84.

▼ රූප...විඥාන ආදි ඛන්ධ 5, ඛයධම්ම යයි මෙහි පෙන්වා ඇත. ඒවා නැසෙනසුළුබව අවබෝධ කිරීම අරහත්වය ලැබීමය. නැසෙනසුළු සියල්ල කෙරහි කැමැත්ත පහ කර ගත යුතුවේ. සටහන: මේ දේශනා කර ඇත්තේ රාධ තෙරුන්හටය. මූලාශ්‍රය:සංයු.නි: (4): සළායතනවග්ග :රාධසංයුත්ත:2.2.9 ඛයධම්මසූත්‍රය, පි.384,2.3.9 ඛයධම්මසූත්‍රය, පි.394, 2.4.9 ඛයධම්මසූත්‍රය, පි.401

ඛල

▲ ඛලුපච්ඡාභත්තිකයෝ- who observe the later-food-refuser’s practice: ධුතාංග පුහුණුව ලෙසින්, වලඳා අවසන්වූ පසුව ලබන බොජුන් පිළිනොගෙන වාසය කරන සංඝයා ඛලුපච්ඡාභත්තිකයෝ ලෙසින් පෙන්වා ඇත.බලන්න:අංගු.නි: (3) 5 නිපාත: ආරඤඤකවග්ග: 5.4.4.10 ඛලුපච්ඡාභත්තික සූත්‍රය, පි.380.

▲ ඛීල (පාලි): උල- spike: ඛීල යනු උල හෝ හුල හෝ කටුවය. ධර්මයේ උල් ලෙසින් පෙන්වා ඇත්තේ දුක ගෙනදෙන ධර්මතාවයන්ටය. සටහන: ඛීල, නිසරු, ශුන්‍ය (barren) ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: ESN: p.1711: දුක ඇතිකරන උල් 3 කි: රාග ඛීල, දෝසඛීල හා මෝහ ඛීල. මේ උල්- කෙළෙස්, අවබෝධ කරගැනීමට, ඒවා ප්‍රහිණය කර ගැනීමට අරියඅටමග යහපත් ලෙසින් වර්ධනය කරගත්යුතුවේ. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග:මග්ගසංයුත්ත: 1.15 ඛීල සුත්‍රය, පි.154, ESN: 45: Maggasamyutta: 166.6 Barrenness, p. 1711.