ද සහ ධ කොටස්



ද කොටස:

දක, දග, දඟ, දඝ, දඩ, දට, දත, දන, දණ, දප, දබ, දඹ, දම, දය, දර, දල, දළ, දව, දස, දශ, දෂ, දහ

දක

▲ දක‍්ඛිණාව(පාලි): දක්‍ෂිණාව-Dakkina: දක්‍ෂිණාව යනු උතුම් දානයය. බුදුන් වහන්සේ ඇතුළු සංඝයාට පිරිනමන සිව්පස දක්‍ෂිණාව ය. බලන්න: දානය. දක්‍ෂිණාව, පුජා පිළිගැන්වීම, එහි ඵල විපාක-ආනිසංස ආදී විස්තර පිණිස බලන්න: ම.නි: දක‍්ඛිණාවිභංග සූත්‍රය. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි: 313: “දක‍්ඛිණ: සත්කාර සහිතව දෙන දානය, උත්තම දානය, චීවරාදී සිව්පසය”.

▼ දක්ෂිණාවට සුදුසු උතුමන් දෙදෙනක් බුදුන් වහන්සේ පෙන්වා ඇත: “දානය පිළිගැන්වීමේ නිරත පුද්ගලයන්ට-ත්‍යාගශීලි අයට, දාන මාන පිළිගැන්වීමට සුදුසු දෙදෙනක් මේ ලෝකයේ සිටි: සේඛ හා අසේඛය. කයින් වචනයෙන් හා සිතින් ඍජුව හැසිරෙන ඔවුන්, ත්‍යාගශිලින්ට, පින් ඇතිකරන කෙතකි, ඔවුන්ට කරන පුජා මහා ඵල ඇතිකරයි”. “ සෙඛො අසෙඛො ච ඉමස‍්මිං ලොකෙ - ආහුණෙය්‍යා යජමානා නං හොන‍්ති, තෙ උජ‍්ජුභූතා කායෙන වාචාය උද චෙතසා- ඛෙත‍්තං තං යජමානානං එත්‍ථ දින‍්නං මහප‍්ඵලන‍්ති” In this world the trainee and one beyond training are worthy of the gifts of those practicing charity; upright in body, speech, and mind, they are the field for those practicing charity; what is given to them brings great fruit) .බලන්න: සේඛ හා අසේඛ. සටහන්: * ම.නි: දක‍්ඛිණාවිභංග සූත්‍රයේ මේ පිලිබඳ විස්තරාත්මකව පෙන්වා ඇත.** සේඛ:පුහුණුවේ යෙදීසිටින, අසේඛ: රහතන්වහන්සේ. මූලාශ්‍ර:අංගු.නි:(1):2 නිපාත:2.1.4.4 සූත්‍රය, පි. 162 , EAN: 2: 35.5 Sutta, p.61.

▲ දක‍්ඛිණෙය්‍යා (පාලි): දක්ශිනාවට සුදුසු - worthy of offerings දක‍්ඛිණෙය්‍යාලෙසින් පෙන්වා ඇත්තේ දාන මාන පුජා කිරීමට සුදුසු, සිල්වත් ගුණවත් උතුම් පුද්ගලයන් ගැනය. මෙය සංඝයා සතු ගුණයකි. බලන්න: සංඝ ගුණ. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.1.2.6 ආහුණෙය්‍ය සූත්‍රය,පි.70, 11 නිපාත 11.2.1 හා 11.2.2. මහානාම සූත්‍ර, පි.645.

▲ දක‍්ඛිණෙය්‍ය අග්නි-Dakkinwyya agni: ධර්ම ගුරුවරු නමැති ගින්න. මේ ගින්නටද -ගුරුවරුන්ටද පුද සත්කාර කලයුතුබව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3): 10 සංගිති සූත්‍රය- පි. 381 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 367.

▲ දක්ෂිණාගර්හ ගින්න-Dakkinagarha ginna: මින් පෙන්වා ඇත්තේ උතුම් සංඝයාට නින්දා පරිභව කිරිමෙන් ඇතිවෙන දුක-අයහපත් කම්මවිපාක ගැනය. බලන්න: ආරියඋපවාද. මූලාශ්‍ර:අංගු.නි: (4): 7 නිපාත:මහායඤඤවග්ග: 7.1.5.3 අග්ගි සූත්‍රය, පි.364.

▲ දක්ඛිණගිරිය-Dakkinagiri: මගධ දේශයට දකුණින් පිහිටි කඳු ප්‍රදේශයකි. මහා සැරියුත්, මහා මුගලන් ඇතුළු බුදුන් වහන්සේගේ සංඝයා, දහම් චාරිකාව සඳහා මෙහි වැඩම කර ඇත. මෙහිදී, උත්තරා නන්ද මාතා උපාසිකාව, අගසව් දෙනම ඇතුළු සංඝයාට මහා දනක් පිරින්මනලදී. බුදුන් වහන්සේ එම දානය ප්‍රසංසා කර වදාළ බව මෙහි පෙන්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:3. බුදුන් වහන්සේ පරිනිබ්බානයෙන් පසු ආනන්ද තෙරුන්, නවක සංඝ පිරිසක් සමග මේ ප්‍රදේශයේ සංචාරය කළ බව මෙහි දක්වා ඇත.බලන්න: උපග්‍රන්ථය:4 මූලාශ්‍රය: සංයු.නි: (2) කස්සපසංයුත්ත: 4.1.11 චීවර සූත්‍රය, පි.352.

▲ දක‍්ඛිණාවිසුද‍්ධි- Purification of offerings: දක‍්ඛිණාවිසුද‍්ධි ලෙසින් පෙන්වා ඇත්තේ දක්ෂිනාව- බුදුන්වහන්සේ ඇතුළු සංඝයාට පිරිනමන දාන පිරිසුදුබවට පත්වන ක්‍රමයය: 1) දායකයා නිසා පිරිසුදු වන, ප්‍රතිග්‍රාහකයා නිසා පිරිසුදු නොවන දානය: දායකයා සිල්වත්ය, ප්‍රතිග්‍රාහකයා දුසිල්වත්වීම. 2) ප්‍රතිග්‍රාහකයා නිසා පිරිසුදුවන, දායකයා නිසා පිරිසුදු නොවන දානය: ප්‍රතිග්‍රාහකයා සිල්වත්ය, දායකයා දුසිල්වත්වීම. 3) දායකයා හා ප්‍රතිග්‍රාහකයා යන දෙදෙනාම නිසා පිරිසුදු නොවන දානය : දෙදෙනාම දුසිල්වත්වීම.4) දායකයා හා ප්‍රතිග්‍රාහකයා යන දෙදෙනාම නිසා පිරිසුදුවන දානය දෙදෙනාම සිල්වත්වීම. බලන්න: ම.නි: දක‍්ඛිණාවිභංග සූත්‍රය, දාන මූලාශ්‍ර: අංගු.නි: (2 ): 4 නිපාත: 4.2.3.4 පඨම අග්‍ර හා 4.2.3.5 දුතිය අග්‍ර සූත්‍ර, පි. 170, EAN: 4: 74.4 & 75.5 foremost suttas, p. 178.

▲ දක්ෂිණ දේශය-Southern Province: බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ දක්ෂිණ දේශය ලෙසින් විස්තර කර ඇත්තේ වර්තමාන ඉන්දියාවේ දකුණු ප්‍රදේශයය- දකුණු ඉන්දියාව.එම ප්‍රදේශයේ පැවති මළවුන් අනුස්මරණය ක්‍රමයක් ගැන මෙහි විස්තර කර ඇත. බලන්න: ආරියධෝවනය හා ආනාරියධෝවනය.

▲ දුක: පාලි: දුක‍්ඛං- suffering: දුක්ඛ හෙවත් දුක (කායික හා මානසික වේදනා) බුදුදහමේ ත්‍රිලක්‍ෂණය ලෙසින් පෙන්වා ඇති මුලික සිද්ධාන්තයේ දෙවන ධර්මතාවය. සියලුදේ දුකය (සබ‍්බං... දුක‍්ඛං) යයි බුදුන් වහන්සේ වදාළහ. දුක සත්‍යයකි, චතුරාර්ය සත්‍යයේ පළමු සත්‍යයය. එය යහපත් ලෙසින් අවබෝධ කරගැනීමෙන් (පරිඥෙය්‍ය) දුකින් මිදිය හැකිබව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පෙන්වා ඇත. බලන්න: අනිච්ච දුක්ඛ අනාත්ම. සටහන්: දුක අවබෝධ කිරීම පිළිබඳව බලන්න: සංයු.නි: (4 ): සළායතන වග්ග: ජම්බූඛාදක සංයුත්ත: 4.1.14 දුක්ඛ සූත්‍රය, පි. 510, ESN: 35: Salayathanasamyutta: 38 Jambukhādaka-Saṃyutta: 14 Suffering, p. 1409. මූලාශ්‍ර: සංයු.නි: ( 4): සළායතනවග්ග: වේදනා සංයුත්ත: 1.5.2 දුක්ඛසූත්‍රය, පි.87.ESN:35: Vedanasamyutta: 23.1 All, p. 1225.

▼ දුකේ උපත: සියලු දුක් තණ්හාව මුල් කර ඇත, අනුවණ පුද්ගලයා ඒ නිසා පුනපුනා සසරට පැමිණේ. එහෙත්, සංඛාරයන්හි අනිත්‍යබව දකින, සසර දුක ජාතිය ප්‍රභව කොට ඇතය දකින ප්‍රඥාවන්තයා, උපධි හැර සසරෙන් මිදේ (දුක්ඛනිරෝධය). මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-4 පුන්නක මානවක, පි.340.

▼ දුක තුන්ආකාරවේ - Three kinds of sufferings: බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“තිස‍්සො ඉමා භික‍්ඛවෙ, දුක‍්ඛතා. කතමා තිස‍්සො: දුක‍්ඛදුක‍්ඛතා, සඬඛාරදුක‍්ඛතා විපරිණාම දුක‍්ඛතා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං දුක‍්ඛතානං අභිඤ‍්ඤාය, පරිඤ‍්ඤාය, පරික‍්ඛයාය, පහානාය අරියො අට‍්ඨිඬගීකො මග‍්ගො භාවෙතබ‍්බො...” . තුන් ආකාර දුක: 1) දුක්ඛදුක්ඛ - as pain (කායික හා මානසික වේදනා නිසා ඇතිවෙන දුක) 2) සංඛාර දුක්ඛ -(as inherent in formations) (චේතනා-සකස්කිරීම් නිසා ඇතිවෙන දුක) 3) විපරිනාම දුක්ඛ (as due to change) (වෙනස්වීම- විපරිනාමය නිසා ඇතිවෙන දුක). දුක පිලිබඳ විශේෂ දැනුම පිණිස (අභිඤ‍්ඤාය - direct knowledge ), දුක පරිපුර්ණලෙසින් අවබෝධ කරගැනීම පිණිස(පරිඤ‍්ඤාය- full understanding), දුක මුළුමනින්ම විනාශ කිරීම පිණිස (පරික‍්ඛයාය- utter destruction) දුක සහමුලින්ම ප්‍රහිණය කරගැනීම පිණිස, (පහානාය -abandoning ) ආරිය අටමග යහපත් ලෙසින් වඩා ගතයුතුවේ. සටහන: සැප වේදනා අවසන්වීම විපරිනාම දුකකි, සකස්කිරීම් ඇතිව නැතිවීම සංකාර දුකකි. බලන්න: ESN: note: 274, p. 1560, ත්‍රීවිධ දුක. සටහන: සංයු.නි: (4) සළායතනවග්ග:ජම්බුඛාදාකසංයුත්ත: 4.1.14 දුක්ඛ සූත්‍රය, පි.510, සැරියුත් තෙරුන් ත්‍රිවිධ දුක පෙන්වා ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3): 10 සංගිති සූත්‍රය- ඡෙදය 10, පි. 380 , EDN: 33 Sangīti Sutta: The Chanting Together-section 10, p. 366, සංයු.නි: (5-1): මහාවග්ග:මග්ගසංයුත්ත: 1.15 දුක්ඛතා සූත්‍රය, පි.156, ESN: 45: Maggasamyutta: 165.5 Suffering, p. 1710.

▼ දුකට මුල-Root cause for suffering: දුක, අඝ ලෙසින්ද පෙන්වා ඇත. දුක යනු රූපය, වේදනාව, සංඥාව, සංස්කාර හා විඥාණය ය (පංචඋපාදානස්කන්ධය). “...කතමඤ‍්ච භික‍්ඛවෙ, අඝං: රූපං... වෙදනා... සඤ‍්ඤා... සඬඛාරා... විඤ‍්ඤාණං අඝං”. දුකට මුල (අඝමූලඤ‍්ච): තණ්හාවය: පුනර්භවය ඇතිකරන, නන්දිරාග සහගත, ඒ ඒ භවයන් ගැන අභිනන්දනය කරණ තණ්හාවය. එනම්: කාම, භව හා විභව තණ්හාවය:

“...කතමඤ‍්ච භික‍්ඛවෙ, අඝමූලඤ‍්ච: යායං තණ‍්හා පොනොභවීකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභි නනන්‍දනී, සෙය්‍යථිදං:කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා. ඉදං වූච‍්චති භික‍්ඛවෙ, භිකඛවෙ අඝමුලන‍්ති...” සටහන: දුක ඇතිවීමට හේතුව පංච ස්කන්ධය උපාදාන කිරීමය. මූලාශ්‍ර: සංයු.නි: (3) ඛන්ධසංයුත්ත:1.1.3.10 අඝමූල සූත්‍රය, පි. 84, ESN: 22: Khandasamyutta: 30.10 The Root of Misery, p. 1025.

▼ දුක ඇතිවීම හා නැතිවීම: සළායතන මගින් බාහිර අරමුණු අලවාගැනීමෙන් ඇතිවන වේදනාව පිලිබඳ ඇති තණ්හාව, දුක ඇතිවීමය. එම තණ්හාව සහමුලින්ම අවසන්කිරීම නිසා ඇතිවන උපාදාන නිරෝධය, ඒ නිසා ඇතිවන භව නිරෝධය දුක නැතිවීම යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන්: * මෙහිදී පෙන්වා ඇත්තේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හා එය අවසන්වීමය. ** සංයු.නි: ඛන්ධසංයුත්තය: අරහත්තවග්ගය: දුක්ඛ සූත්‍රය: යමක් පිලිබඳ ඇති තණ්හාව අවසන් කරගැනීම දුක නැතිවීමයයි පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදානවග්ග: අභිසමයසංයුත්ත: 1.5.3 දුක්ඛ සූත්‍රය, පි. 134, ESN:12 Nidanasamutta: V Householders: 43.3 Suffering, p. 672.

▼ දුක හා දුක ඇතිවීම චතුරාර්ය සත්‍යයේ 1 නි හා 2 නි සත්‍යයන්වේ. දුක යනු: ඉපදීම... මහලුවීම...ලෙඩරෝග ඇතිවීම..මියයාම...අප්‍රියන් හා එක්වීම ...ප්‍රියයන්ගෙන් වෙන්වීම...පතන දේ නොලැබීම දුකය. කෙටියෙන් පවසන්නේ නම් මේ මුළු පංචඋපාදානස්කන්ධ යම දුකය:

“ ඉද ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං: ‘ජාතිපි දුක‍්ඛා ජරාපි දුක‍්ඛා ව්‍යාධිපි දුක‍්ඛා මරණම‍්පි දුක‍්ඛං අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො පියෙහි විප‍්පයොගො දුක‍්ඛො යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං සඬඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා’...” (Now this, bhikkhus, is the noble truth of suffering: birth is suffering, aging is suffering, illness is suffering, death is suffering; union with what is displeasing is suffering; separation from what is pleasing is suffering; not to get what one wants is suffering; in brief, the five aggregates subject to clinging are suffering). දුක ඇතිවීම යනු තණ්හාවය: යළිඋපත ඇති කරන, කාමය හා ඒ පිලිබඳ ඇල්ම ඇති, ඒතැන හා මේ තැන සතුට සොයායන, ඒ ඒ භවයන් හි ඇල්ම ඇති කරන තණ්හාවය: කාමතණ්හාවය, භවතණ්හාවය, විභව තණ්හාවය:

“ ඉද ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛසමුදයො අරියසච‍්චං: ‘යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනනන්‍දිනී, සෙය්‍යථිදං: කාම තණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා’...” සටහන්: * කාමතණ්හාව: කාම වස්තුන් පිලිබඳ ඇති ඇල්ම **භවතණ්හාව: ශාශ්වත දිට්ඨි සහගත තණ්හාවය- සසර පැවැත්ම ගෙනයාමට ඇති ඇල්ම **විභවතණ්හාව: සහමුලින්ම නැතිවීමට ඇති ඇල්ම- උච්චේද දිට්ඨි සහගත තණ්හාවය. (Now this, bhikkhus, is the noble truth of the origin of suffering: it is this craving which leads to renewed existence, accompanied by delight and lust, seeking delight here and there; that is, craving for sensual pleasures, craving for existence, craving for extermination). මූලාශ්‍ර: වින.පි: මහාවග්ග: 1: 22 : පි. 101, සංයු.නි: (5-2): සච්චසංයුත්ත: 12.2.1 ධම්මචක්ක ප්පවත්තන සූත්‍රය, පි. 294, ESN: 56: Saccasamyutta: 11.1 Setting in Motion the Wheel of the Dhamma, p. 2276.

▼ සළායතන නිසා දුක ඇතිවේ: අභ්‍යන්තර සළායතන 6 ක්‍රියාත්මකවීම දුක ඇතිවිමය: ඇසෙහි, කණෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි, සිතෙහි යම් ඉපදවීමක්, පැවැත්මක්, නිපදවීමක්, පහළවීමක් වේ නම් එය දුක ඇතිවීමය, රෝගයන්ගේ ඇතිවීමය, ජරාමරණය පහළවීමය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“යො භික‍්ඛවෙ චක‍්ඛුස‍්ස... සොතස‍්ස... ඝානස‍්ස... ජිව‍්හාය...කායස‍්ස... මනස‍්ස උප‍්පාදොධීති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො රොගානං ධීති ජරාමරණස‍්ස පාතුභාවො”. සටහන්: ඉපදවීම යනු නිමිති ගැනීම: ඇසෙන් රූප, කණෙන් ශබ්ද ආදී වශයෙන්. සළායතන සමනය වීම දුක නිමාවීමය: ඇසෙහි, කණෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි, සිතෙහි යම්, නිරෝධයක්, සමනයවීමක් (වූපසම), රෝග නැතිවීමක්, ජරාමරණය අවසන්වීමක් වේනම් එය දුක නිමාවිමය. බාහිර නිමිති නිසා දුක ඇතිවේ: බාහිර නිමිති -අරමුණු 6:රූපයේ, ශබ්දයේ, ගඳසුවඳේ, රසේ, පහසේ, සිතුවිලි වල යම්, යම් ඉපදවීමක්, පැවැත්මක්, නිපදවීමක්, පහළවීමක් වේ නම් එය දුක ඇතිවීමය, රෝගයන්ගේ ඇතිවීමය, ජරාමරණය පහළවීමය. බාහිර නිමිති සමනය වීමෙන් දුක නිමාවේ: රූපයේ, ශබ්දයේ, ගඳසුවඳේ, රසේ, පහසේ, සිතුවිලි වල යම්, නිරෝධයක්, සමනයවීමක් (වූපසම), රෝග නැතිවීමක්, ජරාමරණය අවසන්වීමක් වේනම් එය දුක නිමාවිමය. මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතන වගග: 1.2.9 හා 1.2.10 උප්පාද සූත්‍ර, පි. 54, ESN: 35: Salāyatanasamyutta: 21.9 & 22.10 Arising of suffering, p. 1224.

▼ සයඅංග පිලිබඳ ඇල්ම ප්‍රහීණය දුකින් මිදීමය-Terminating the pleasures for six factors is end of suffering: පස්කම් සැපය (පංචකාම ගුණ) හා මනස යන සයඅංග -ආයතන පිලිබඳ ඇති ඇල්ම දුරු කර ගැනීම දුකෙන් මිදීමය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“පඤ‍්ච කාම ගුණාලොකෙ මනොඡට‍්ඨා පවෙදිතා එත්‍ථ ඡන්‍දං විරාජෙත්‍වා එවං දුක‍්ඛා පමුච‍්චතී ති”. බලන්න: පංචකාම ගුණ මූලාශ්‍ර:සංයු.නි: (1):සගාථවග්ග:දේවතාසංයුත්ත: 1.3.10 එණිජන්ඝ සූත්‍රය, පි. 58, ESN: 1: Devatasamyutta: 30.10 Antelope Calves, p. 93.

▼ දුක කෙරෙහි නිබිද්දාව ඇතිකරගැනීම-:ඒ සඳහා ඇති පිළිවෙත 6 ආකාරය: 1) දුක දත යුතුය- Suffering should be understood.ජාතිය-උපත... ජරාව-මහළුවීම... ව්‍යාධිය-ලෙඩවීම... මරණය... ශෝකය... පරිදේව-විලාපදිම... දුක්වේදනා...දොම්නස, උපායාස, කැමති දේ නොලැබීම දුකය. කෙටියෙන් පවසන්නේ නම් , පංච උපාදාන ස්කන්ධයම දුකය.

“ජාතිපි දුක‍්ඛා ජරාපි දුක‍්ඛා ව්‍යධිපි දුක‍්ඛා මරණම‍්පි දුක‍්ඛං සොක පරිදෙව දුක‍්ඛදොමනස‍්සුපයාසපි දුක‍්ඛා යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, සඬඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා” 2) දුකේ නිදාන සම්භවය (උත්පත්ති කරුණ) දත යුතුය (the source and origin of -Suffering should be understood) තණ්හාව දුකේ නිදානයය.

3) දුකේ විවිධත්වය (වෙමත්තතාව) දත යුතුය (the diversity of Suffering be understood). අධිමාත්‍රදුක (extreme suffering) අල්පමාත්‍රදුක (slight suffering) සෙමින් පහවෙන දුක (දන්ධවිරාගී - suffering that fades away slowly) ඉක්මනින්ම පහවෙන දුක ( ක්ෂිප්‍රවිරාගී -suffering that fades away quickly).

4) දුකේ විපාකය දත යුතුය (the result of suffering should be understood): දුකේ විපාක දෙආකාරය: සම්මෝහ විපාක- දුකට පැමිණි කෙනක් විලාප කියමින්, සෝකකරමින් සිහිමුලාවට පත්වේ. පර්යේෂණ විපාක; දුකට පත් කෙනක්, ඒ දුක නැතිකර ගැනීමට කවරෙක් පිහිට වේද කියා සොයයි. 5) දුක්ඛ නිරෝධය දත යුතුය (the cessation of suffering should be understood) තණ්හාවේ නිරෝධය, දුක්ඛ නිරෝධයය. 6) දුක්ඛ නිරෝධගාමිණි ප්‍රතිපදාව දත යුතුය දත යුතුය (the way leading to the cessation of suffering should be understood) එනම්, ආරියඅටමගය. මේ කරුණු 6 යහපත් ලෙසින් දන්නා ආරිය ශ්‍රාවකයා, නිබ්බෙදික බ්‍රහ්මචරියාවවු දුක්ඛ නිරෝධය දන්නේය. මූලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාත: 6.2.1.9 නිබ්බේධිකසූත්‍රය,පි.220,EAN:6: 63.9 Penetrative,p.355.

▼ අනභිනිවෘතිය-යළි උපතක් නොවීම දුක නැතිවීයාමය. බලන්න: අභිනිවෘතිය.

▼ අභිඥෙයිය ධර්මතා ඇතිකර ගැනීම දුක කෙළවර කරගැනීමේ මගය. බලන්න:අභිඥෙයිය ධර්ම.

▼ පංචඋපාදානස්කන්ධය මගේ යයි අභිනන්දනය නොකරන්නේ නම් ඔහු දුකින් මිදී ඇත. බලන්න: අභිනන්දනය.

▼ ආයතන ඇතිවීම දුකය. බලන්න:ආයතන.

▼ දුක ගෙනදෙන මග ( කෘෂ්ණමග) වැරදි මගය. බලන්න:සුඛ මාර්ගය-දුක්ඛ මාර්ගය.

▼ දුකට මුල නම් තණ්හාවය. මූලාශ්‍රය: සංයු.නි (3): ඛන්ධසංයුත්ත: භාරවග්ග: 1.1.3.10 අඝමූල සූත්‍රය, පි.84

▼ දුක යනු සසර ගමනය. බලන්න:සුඛ හාදුක.මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 10.2.2.5 පඨම සුඛ සූත්‍රය, පි. 246, EAN:10: 65.5 Happiness 1,p. 519.

▼ අටලෝදහම යථා ලෙසින් අවබෝධ කිරීමෙන් දුක අවසන්කරගත හැකිය. බලන්න: අටලෝදහම. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 10.1.3.7. ප්‍රථම මහාපඤ්හ සූත්‍රය, පි. 116, EAN: 10: 27.7 Great Questions -1, p. 503.

▼ දුක අවබෝධය විමුක්තිය පිණිසය: දුක, යථා පරිදි අවබෝධ කරගැනීම විමුක්තිය පිණිසය.

“රූපං භික‍්ඛවෙ දුක‍්ඛං,වෙදනා ... සඤ‍්ඤා... සඬඛාරා... විඤ‍්ඤාණං දුක‍්ඛං. එවං පස‍්සං ...සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි ...වෙදනායපි... සඤ‍්ඤායපි... සඬඛාරෙසුපි... විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති: ඛිණා ජාති වූසිතං බ්‍රහ‍්මචරියං කතං කරණියං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති” .රූපඋපාදානස්කන්ධය...වේදනා... (මුළු පංච උපාදානස්කන්ධයම) දුක යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. ඒ දැක කළකිරීම ඇතිකරගන්නා ආරිය ශ්‍රාවකයා, ඒවාට නොඇලි විමුක්තිය ලබා ගනී. බලන්න:අනත්තලක්ඛණ සූත්‍රය. මූලාශ්‍ර: සංයු.නි: ( 4): සළායතනසංයුත්ත: අනිත්‍ය වග්ග: 1.1.2.2 දුක්ඛ සූත්‍රය, පි. 66, ESN:35: Salayatanasamyutta: 13.2 Impermanent, p. 1018.

▼ පංච උපාදානස්කන්ධයම දුකය: තණ්හාවෙන් පංච උපාදානස්කන්ධය, මමය, මගේය, මගේ ආත්මය (මමංකාරය) යයි අල්වාගැනීම දුකය. එම තණ්හාව දුරුකර ගත යුතුය. ඒ සඳහා ඇති පටිපදාව නම් ආරිය අටමගය.සටහන: පංචඋපාදානස්කන්ධයම දුක බව විදසුන් නුවණින් දැනගනිම අරහත්වය ලැබීම බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: සංයු.නි: (3) ඛන්ධසංයුත්ත:අනිච්චවග්ග. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.3.1.2 දුක්ඛ සූත්‍රය, පි. 302, ESN: 22: Khanda samyutta: 104.2 suffering, p. 1096.

▼ සතර මහා ධාතු දුකය: සතර මහා ධාතු (මහාභූත) ඇතිවීම, ඒවාට ඇලීම දුකයයි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: ධාතුසංයුත්ත: 2.4.5, 2.4.6 . 2.4.7 සූත්‍ර, පි. 291, ESN:14: Dhatusamutta: 34.5, 35.6, 36.7 suttas, p. 778.

▼ යළිඋපත නිසා දුක ඇතිවේ: සැරියුත් මහා තෙරුන්, වදාළේ යළි උපත දුක බවය. යළි උපතක් නැතිනම් දුක් විඳීමක් නොමැත. යළි උපතක් ඇතිවිට දුක ඇතිවීම අපේක්ෂා කළයුතුවේ. ශිතය, ග්‍රීෂ්මය, බඩගින්න, පිපාසය, මළපහකිරීම, මුත්‍රාපහකිරීම, ගින්නෙන් අපදාවීම, පොලු, පිහි, වලින් අපදාවිම, නැදෑ මිතුරන්ගේ බැණුම් ඇසීමට සිදුවීම ආදිය දුකකි. එහෙත්, යළිඋපතක් නොවේ නම් පෙරකී දුක් ඇතිනොවේ. එය සැපයකි. බලන්න:යළි උපත. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.2.2.5 පඨම සුඛ සූත්‍රය, පි. 246, EAN:10: 65.5 Happiness 1,p. 519.

▼ දුක කෙළවර කිරීම: දුක කෙළවර කරගැනීමට පිහිටවන ධර්මතා 10 ක් බුදුන් වහන්සේ පෙන්වා ඇත. ඒ එක් ධර්ම කරුණක්, යහපත් ලෙසින් දන්නා දකිනා භික්ෂුවට දුක අවසන් කර නිවන සාක්ෂාත් කරගත හැකිවේ: 1සියලු සත්ත්‍වයෝ අහාරනිසා පෝෂණයවේ 2 නාමරූප 3 ත්‍රිවිධ වේදනා 4 සිව් ආකාර (ආහාර) පෝෂණය 5 පංච උපාදාන ස්කන්ධය 6 සළායතන 7 විඥාණය ස්ථාන හත 8 අටලෝදහම 9 සත්ත්‍වාවාස නමය 10 දස අකුසල්. බලන්න: මහා දස ධර්ම ප්‍රශ්න.මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.1.3.7. ප්‍රථම මහාපඤ්හ සූත්‍රය,පි. 116 ,EAN: 10: 27.7 Great Questions -1, p. 503.

▲ දුක්ඛානුපස්සි- Mindful reflection of suffering: මෙය අනුසති භාවනාවකි. සැදැහැයෙන් පැවිදිවූ කුල පුත්‍රයන්ට සුදුසු භාවනාවක් යයි බුදුන් වහන්සේ වදාළහ. පංච උපාදානස්කන්ධයේ දුක මෙනෙහි කරමින් කරන භාවනාවකි, එම අනුසතිය යහපත් ලෙස දියුණු කරගැනීමෙන් සියලු දුකෙන් මිදේ යයි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (3) ඛන්ධසංයුත්ත:කුක්කුලවග්ග: 1.3.4.13 දුක්ඛානුපස්සි සූත්‍රය, පි.348.

▼ දුක්ඛානුපස්සි වඩන ලෝකයාට ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය වන උතුම් පුද්ගලයන් 7 ක් ගැන මෙහි විස්තර කර ඇත. මූලාශ්‍රය:අංගු.නි: (4) 7 නිපාත:අනුසයවග්ග: 7.1.2.7 දුක්ඛානුපස්සි සූත්‍රය, පි.318.

▲ දුක්ඛ ආරිය සත්‍ය-Dukka Ariya saccha: චතුරාර්යසත්‍යයේ පළමු සත්‍යයය. බලන්න: චතුරාර්යසත්‍ය

▲ දුක්ඛ සමුදය ආරියසත්‍ය-Dukkasamudaya Ariya saccha: දුක ඇතිවීම මින් පෙන්වා දේ. බලන්න: චතුරාර්යසත්‍ය

▲ දුක්ඛ නිරෝධ ආරියසත්‍ය-Dukka nirodha Ariya saccha: දුක නැතිවීම මින් පෙන්වා දේ. බලන්න: චතුරාර්යසත්‍ය

▲ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආරියසත්‍ය-Dukka nirodhagaamini patipada Ariya saccha: දුක නැතිකිරීමේ ප්‍රතිපදාව මින් පෙන්වා දේ. බලන්න: චතුරාර්යසත්‍ය,ආරියඅටමග.

▲ දුකඉන්ද්‍රිය-Duka indriya: ඉන්ද්‍රිය 22න් එක් ඉන්ද්‍රියක් ලෙස දුක ඉන්ද්‍රිය පෙන්වා ඇත. බලන්න:ඉන්ද්‍රිය.

▲ දුක්ඛුද්‍රය ධම්ම- Dukkhudraya Dhamma : දුක්ඛුද්‍රය ධම්ම (දුකගෙනදන) ලෙසින් පෙන්වා ඇත්තේ: ප්‍රාණඝාතය. සොරකම-අදත්තාදනය, කාමයේ වරදවා හැසිරීම- කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පිසුණාවාචය, පරුෂාවාචය, සම්ප්‍රප්ඵලාප, ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යා දිට්ඨිය. මේවා මිථ්‍යා දස ධම්ම, මිථ්‍යාමග ලෙසින්ද පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (6) 10 නිපාත: සාධුවග්ග: 10.4.3.10 දුක්ඛුද්‍රය සූත්‍රය, පි.534.

▲ දුක්ඛධම්මය- Nature of suffering:දුක්ඛධම්මය යනු දුකේ ස්වාභාවයය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “රූපය...වේදනාව...සංඥාව...සංඛාර...විඥානය දුක් ස්වභාවය ඇත්තේය” (Form...Feeling … Perception … Volitional formations … Consciousness is of a painful nature). මූලාශ්‍ර:සංයු.නි: (3): ඛන්ධවග්ග: රාධසංයුත්ත: 2.2.6 දුක්ඛධම්ම සූත්‍රය, පි.382, ESN: Radhasamyutta: 16.6 Painful nature, p. 1123.

▲දුක්වේදනා-Dukvedana: දුක් වේදනා ලෙසින් පෙන්වා ඇත්තේ කායික වේදනාය. බලන්න: ත්‍රිවිධ වේදනා, ඉන්ද්‍රිය.

▲ දුකින් විසීම හා සැපෙන් වීසීම- Dwell in suffering & dwell in happiness: දුකින් වාසය කිරීමට හේතුවන ධර්මතා : ක්‍රෝධය, උපනාහය, මකඛය, පළාසය, ඊෂ්‍යාව, මසුරුබව, මායාව , සටකපටබව, අහිරිකය හා අනොත්තප්පය. මේ කෙළෙස් ඇති පුද්ගලයා දුකසේ වාසය කරණ කෙනෙක්ය. එහෙත්, ඒවා අත හැර: අක්‍රෝධය, අනුපනාහය, අමක්ඛය, අපළාසය, අනීෂ්‍යාව, නොමසුරු-මසුරු නැතිකම, අමායාව, සටකපට නැතිබව, හිරි හා ඔත්තප්ප ආදී කුසල ධම්ම ඇතිකර ගන්නේ නම් ඔහු සැපසේ වාසය කරණ කෙනෙකි. මූලාශ්‍ර: අංගු.නි: (1) 2 නිපාත: ක්‍රෝධ වග්ග-සූත්‍ර,පි. 226, EAN:2: XVI Anger: Suttas, p. 73.

▲ දුක‍්කථා කථා- Dukkatha katha: දුක‍්කථා කථා ලෙසින් පෙන්වා ඇත්තේ කිසියම් කතාවක් නිසා අසතුටට පත්වීම, අප්‍රසාදය ඇතිවීම හා කතා කරන කෙනා ගැන කිපිමට පත්වීමය. 1) අශ්‍රද්ධාවත් කෙනෙකුට ශ්‍රද්ධාව ගැන කතාකිරීම 2) දුසිල්වත් කෙනෙකුට ශිලය ගැන කතාකිරීම 3) අල්පශ්‍රැත (අඩු දැනුම) කෙනෙකුට බහුශ්‍රැතබව ගැන කතාකිරීම 4) මසුරු කෙනෙකුට ත්‍යාගශීලිබව ගැන කතාකිරීම 5) ප්‍රඥාව නැති කෙනෙකුට ප්‍රඥාව ගැන කතාකිරීම. බලන්න: සුකථා කථා. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.4.1.7 දුක‍්කථා සූත්‍රය, පි. 316, EAN: 5: 1567.7 Wrongly Addressed Talk, p. 288.

▲ දුක‍්ඛාපටිපදා දන්‍ධාභිඤ‍්ඤා - Practice that is painful with sluggish direct knowledge: ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීම පිණිස අනුගමනය කරන ප්‍රතිපදා 4 න් එකකි. අවබෝධය කල්ගතවන, දුක් පිළිවෙතය. බලන්න: සතර මාර්ග ප්‍රතිපදා.

▲ දුක‍්ඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා- practice that is painful with quick direct knowledge: ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීම පිණිස අනුගමනය කරන ප්‍රතිපදා 4 න් එකකි. අවබෝධය ඉක්මන්-ක්‍ෂණික, එහෙත් පිළිවෙත දුකය. බලන්න: සතර මාර්ග ප්‍රතිපදා.

▲ දුක්විපාක- Dukvipaka: දුක් විපාක ලෙසින් පෙන්වා ඇත්තේ තුන් දොරින් අයහපත් ක්‍රියා කිරීම නිසා මෙලොව හා පරලොව විඳීමට සිදුවන දුක් වේදනාය. දුක්ඛ විපාක ධර්මය නම් මිථ්‍යාදිට්ඨිය මුල් කරගත් මිථ්‍යාමගය. බලන්න: කම්ම්. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.3.4.112 දුක්විපාක සූත්‍රය, පි. 472, EAN:10: 135.2 The Noble Dhamma, p. 548.

දග

▲ දාගැබ-Dagaba: උතුම් පුද්ගලයන් සිහිපත් කිරීමට, වන්දනා මාන කිරීම පිණිස බෞද්ධයන් සදා ඇති ථුප ආදිය දාගැබ් ලෙසින්ද හඳුන්වයි. බලන්න: ස්තුප.

▲දුගතිය-bad destinations: දුගතිය ලෙසින් පෙන්වා ඇත්තේ අයහපත් කර්ම විපාක ඵල දීම පිණිස -දුක්විඳීමට සිදුවන, යළි උපත ලබන නරක ස්ථානයන්ය: නිරය, තිරිසන්ලෝකය, ප්‍රේත ලෝකය, අසුරනිකාය ආදීයය. කෙනක් තුන්දොරින් අකුසලක්‍රියා කරන්නේනම්, මිථ්‍යාදිට්ඨිය ඇත්නම් ඔහු ගේ යළි උත්පතිය දුගතියය. බලන්න: සතර අපාය, අසුරනිකාය, ප්‍රේත, තිරිසන්ලෝකය, නිරය. සටහන: බරපතල අකුසල නිසා කෙනක් දුගතියේ- අවීචිනිරයේ බොහෝ දුක් විඳි. බලන්න: අවීචිනිරය. මූලාශ්‍ර: අංගු.නි: (2 ) 4 නිපාත: කම්ම වග්ග සූත්‍ර, පි. 468, EAN:4: Kamma: p. 227, අංගු.නි (1) 3 නිපාත: දේවදුතවග්ග: 3.1.4.6 සුත්‍රය, පි. 292, EAN:3: Divine Messengers: 36. 6 Messengers, p.92, මනි: (3) 3.3.10, දේවදුත සූත්‍රය, පි. 400, EMN:130: The Divine Messengers, p.941.

▼දස අකුසල කිරීම නිසා දුගතියේ යළි උපත සකස්වනබව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි:( 6):10 නිපාත: ජානුසොණි වග්ග: 10.4.2.10,චුන්ද සූත්‍රය, පි.508, EAN: 10: Jāṇussoṇī: 176.10, Cunda,p.553.

▼අයහපත් ධර්ම චරියාව -අධම්ම චරියා, දුගතියට මගකි.මූලාශ්‍ර:අංගු.නි:( 6):10 නිපාත: කරජකාය වග්ග:10.5.1.10. අධම්ම චරියා සූත්‍රය, පි.588, EAN: 10: 220.10 Conduct contrary to the Dhamma, p.561

▼සතර ධර්මය ඇති ආරිය ශ්‍රාවකයා (සෝතාපන්න) සියලු දුගතියෙන් මිදී ඇත. මුලාශ්‍ර:සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපත්තිසංයුත්ත:11.2.4 දුග්ගති සූත්‍රය, පි.196, ESN:55 Sithapatthisamyutta:14.4.Bad destination, p.2200.

▼ඉවසීම නැතිකම, ක්‍රෝධය, අමනාපය, හිරිඔතප් නැතිවීම, උපකෙළෙස නිසා ඇතිවන කෙළෙස්, කෙනෙක් දුගතියට පත්කරයි. ආර්යන්ට නින්දා කිරීමද (ආර්යඋපවාදය) දුගතියට හේතුවේ. බලන්න: අක්‍ෂාන්තිය, ආර්ය උපවාද, ක්‍රෝධ, අමනාපය, අහිරිකය හා අනොත්තප්පය, උපකෙළෙස.

▲දුගීබව-Poverty: දුගීබව-දිළිඳුබව-දුප්පත්කම- දළිද්ද, කාමභෝගී ලෝකයාට දුකකි. ණයගැතිබව, දුගීබවට හේතුවේ. බලන්න: කම්ම, ඉණ,දළිද්ද සටහන්: * මසුරුකම, ලෝභය නිසා කෙනෙක් මතු භවයේ දී දුගීබවට පත්වේ. ** මිනිස්ලොව දී කෙනෙක්, පුජා කලයුතු ශ්‍රමණ බ්‍රහ්මණ ආදී උතුමන්ට පුජා නොකිරීම -දන්නොදීම දුගී බවට හේතුවකි: බලන්න: මනි: (3): 3.4.5 චූළකම්ම වීභංග සූත්‍රය, පි. 448. ** කාම භෝගීවීම නිසා මිනිසුන් දිළිඳු බවට පත්වේ. බලන්න: කාමභෝගී පුද්ගලයෝ. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත:ධම්මිකවග්ග: 6.1.5.3 ඉණසූත්‍රය, පි.138.

දඟ

▲ දෑඟුල් නුවණ- Two finger wisdom: එක්සමයක මාරයා, සෝමා තෙරණිය අසලට පැමිණ දෑඟුල් නුවණ ඇති ස්ත්‍රීන්ට උත්තම බව ලබාගැනීමට නොහැකිය යයි පවසා ඇත. බලන්න:උපග්‍රන්ථය:2:සෝමා තෙරණිය,පි.10 සටහන: කාන්තාවන්, බත් පිසනවිට, ඇඟිලි දෙකක් ඔබා බත් පිසි තිබේද යයි බලන නිසා සාමන්‍ය සමාජයේ දෑඟුල් නුවණ, කාන්තවකගෙ ප්‍රඥාව දක්වීමට යොදාගෙන ඇත.

දඝ

▲ දීඝ චාරිකා- Lengthy Wandering: දීඝ චාරිකා ලෙසින් පෙන්වා ඇත්තේ සංඝයා ධර්ම මාර්ගය වඩාගැනීම පිණිස, ගිහියන්ට ධර්මය දේශනා කිරීම පිණිස යන දුර ගමන්ය. ලෝකයාගේ සුවය සැපය පිණිස දහම් චාරිකාවල යෙදීමට බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට අනුසාසනා වදාළහ. නියම අරමුණ නොමැතිව, නුසුදුසු අවස්ථාවේ (අවස්ථිත), චාරිකාවේ යෙදීමෙන් විපත්-ආදීනව ඇතිවෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) නොඇසූ ධර්මය ඇසීමට නොලැබීම 2) ඇසු ධර්මයේ නො පැහැදිලි තැන් පිරිසිදු කරගැනීමට නොහැකිවීම 3) ඇසු ධර්මය පිලිබඳව විසාරද නොවීම 4) දරුණු රෝගාබාධ ඇතිවීම 5) මිත්‍රයන් නොසිටීම 6) මෙතක් නො ලැබූ අධිගමය නොලැබීම 7) ලැබූ අධිගමයක් ඇත්නම් එය වැටියාම 8) තමන් යම් අධිගමයක් ලැබුවේ නම් ඒ පිලිබඳ ස්ථිර බව- විසාරද බව නොමැතිකම. එහෙත්, අවස්ථානුරූපව (සමවස්ථිත) චාරිකාවේ යෙදන සංඝයාට එම කරුණු ඇති නොවීම නිසා චාරිකාවේ යහපත් ප්‍රතිඵල - ආනිසංස ලබා ගත හැකිවේ. මූලාශ්‍ර: අංගු.නි: ( 3 ): 5 නිපාත, 5.5.3.1 හා 5.5.3.2 දීඝචාරික සූත්‍ර, පි. 438, EAN:5 : 221.1 & 222.2 Lengthy wanderings, p. 307.

▲ දීඝායු උපාසක-Digayu upasaka: බලන්න: උපග්‍රන්ථය:3

▲දීඝජානු කෝලිය පුත්‍ර-Dighajanu Koliyaputtha: බලන්න: උපග්‍රන්ථය:3

▲දීඝනක පරිබ්‍රාජක-Diganaka paribrajaka: බලන්න: උපග්‍රන්ථය: 3

▲ දීඝපරාජන යක්සෙනවි-Dighaparajana Yakka: අනුරුද්ධ, නන්දිය හා කිම්බිල තෙරුන්, අරහතත්වයට පත්වීම ගැන මෙතුමා බුදුන් වහන්සේට පැවසීම පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:නන්දිය තෙර.

දඩ

▲දැඩි ආශාව- strong desires: මෙය ලෝභය, අබිජ්ජා, මහේච්ඡතාවය ලෙසින්ද පෙන්වා ඇත. අකුසලයකි. බලන්න: ලෝභය, ත්‍රිවිධ ධම්මතා.

දට

▲දට‍්ඨබ‍්බා -To see: දට‍්ඨබ‍්බා යනු දැකිමය -ධර්මයට අනුකුලව දැකීමය. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, ධර්මතා පිලිබඳ යථාබව - ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතු බවය. එමගින්, සත්‍ය අවබෝධ වේ. බලන්න: යථාභුතඥානය.

▼ ත්‍රිවිධ වේදනා දැකිම පිළිබඳව බලන්න: සංයු.නි: සළායතන වග්ග: වේදනාසංයුත්ත: සගාථාවග්ග: 1.20.5 දට‍්ඨබ‍්බ සූත්‍රය.

▼පංචඋපාදානස්කන්ධය,සළායතන හා බාහිර අරමුණු දැකීම පිළිබඳව බලන්න: අනත්තලක්ඛණ සූත්‍රය, ආදිත්තපරියාය සූත්‍රය.

▼ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ආදීවූ ඉන්ද්‍රිය 5 දැකිම පිළිබඳව බලන්න: සංයු.නි: මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත: 4.1.8 දට‍්ඨබ‍්බ සූත්‍රය.

▲දිට්ඨි: පාලි: දිට‍්ඨි- Views: දිට්ඨි යනු මිනිසුන්තුල ඇති විවිධ මත, විශ්වාස, දර්ශන (දැකීම), අදහස්, ආකල්ප ආදියය. ධර්මයට අනුව ඇති කරගතයුතු දිට්ඨිය නම් සම්මා දිට්ඨියය. සම්මා දිට්ඨිය තිබීම සසරින් ගැලවීමට මගය, මිථ්‍යා දිට්ඨිය සසර ගමන දික් කරයි. සටහන: දිට්ඨි පිලිබඳ වැඩිවිස්තර පිණිස බලන්න:ම.නි: (1) චූළ වෙදල්ල සූත්‍රය, ම.නි: (2) මහාමාලුන්කය සූත්‍රය හා අග්ගිවච්චගොත්ත සූත්‍රය, ම.නි.(3 ) පඤචත්තය සූත්‍රය, දීඝ.නි: (1) බ්‍රහ්මජාල සූත්‍රය.

▼අලාමක දිට්ඨි අනර්ථය පිණිසවේ: අලාමක දිට්ඨි නිසා කුසල් සිතක් ඇති නොවේ. එම දිට්ඨි: 1) වැඩදායක නොවේ 2) මගබඹසරට මුල් නොවේ 3) නිර්වේදය පිණිස නොවේ 4) විරාගය පිණිස නොවේ 5) නිරෝධය පිණිස නොවේ 6) උපසමය-කෙළෙස් හැර දැමීම පිණිස නොවේ 7) අභිඥාණය- විශේෂ දැනුම පිණිස නොවේ 8) සම්බෝධිය පිණිස නොවේ 9) නිවන- සසරින් ගැලවීම පිණිස නොවේ. එම නිසා, යමක් ගැන සිතන්නේ නම් චතුසත්‍ය මෙනෙහි කරන්න, විරිය වඩා නිවන ලබා ගැනීමට කටයුතු කරන්න යයි බුදුන් වහන්සේ සංඝයාට අවවාද කර ඇත. මූලාශ්‍ර: සංයු.නි: (5-2):මහාවග්ග: සච්චසංයුත්ත: 12.1.8 චින්තා සූත්‍රය, පි. 290, ESN: 56: Sacchasamyutta: 8.8 Reflection, p. 2272.

▼ පහකරගත යුතු දිට්ඨි :අපණ්ණක ධර්මය-දුකින්මිදීමේ මග-වඩාගැනීම පිණිස පහකරගතයුතු දිට්ඨි හා මත: 1) ශුන්‍යවාදය/ නාස්තික දිට්ඨි (doctrine of nihilism 2) අකිරියවාදය (The doctrine of non-doing) ක්‍රියාවන් පිළිනොගැනීම 3) අහේතුක වාදය- හේතුඵල ධර්මය පිළිනොගැනීම (doctrine of non-causality) 4) අරූප බ්‍රහ්ම ලෝක නැතය යන පිළිගැනීම 5) භව නිරෝධය- නිවන පිළිනොගැනීම. බලන්න: අපණ්ණක ධර්මය. සටහන: ඉහත මත පිලිබඳ වැඩිදුර විස්තර පිණිස බලන්න: දීඝ.නි: ශ්‍රමණඵල සූත්‍රය. මූලාශ්‍ර: ම.නි: (2 ): 2.1.10 අපණ්ණක සූත්‍රය, පි.124, 2.1.1 හා කන්දරක සූත්‍රය පි. 18, EMN: 60: Apaṇṇaka Sutta- The Incontrovertible Teaching, p. 478 & EMN: 51: Kandaraka Sutta, p. 425.

▼ දිට්ඨි පහකර ගැනීමේ ක්‍රමය: බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ ලෝකය හෝ ආත්මය පිළිබඳව නොයක් ආකාර දිට්ඨි උපදියි. යම් දෙයක් ආශ්‍රිත එම දිට්ඨි ඇතිවෙන්නේ නම්, එහි ලැග සිටින්නේ නම්, ඒවා භාවිතා කරන්නේ නම්, ඒ බව යථා නුවණින් යුතුව දැකිය යුතුය (යථාභුත ඥානයෙන්): ‘මෙය මගේ නොවේ, මෙය මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ ය’ යි දැකීමෙන් එම දිට්ඨි පහ කර ගත හැකිය, විසිකර දැමිය හැකිය” (... as to those various views that arise in the world associated either with doctrines of a self or with doctrines about the world: if [the object] in relation to which those views arise, which they underlie, and which they are exercised upon is seen as it actually is with proper wisdom thus: ‘This is not mine, this I am not, this is not myself,’ then the abandoning and relinquishing of those views comes about). සටහන්: * අටුවාවට අනුව ‘යම් දෙයක්’ ලෙසින් පෙන්වා ඇත්තේ පංචස්කන්ධය ය. එනම්, ජිවත්වන පුද්ගලයෙක්: රූපය, වේදනාව, සංඥාව, සංස්කාර හා විඥානය යන ස්කන්ධ 5 තමායයි - පුද්ගලයෙක් යයි සැලකීමය. ** එම ප්‍රකාශයෙන් පෙන්වා ඇත්තේ: පංචස්කන්ධය, ආත්මය නොවේ (මගේ නොවේ ආදී) යයි විදසුන් නුවණ පහළ වන්නේ සෝතාපත්ති මගඵල සාක්ෂාත් කරගැනීමෙන් බවය. බලන්න:EMN: notes: 104 & 105, p. 1072. මූලාශ්‍ර: ම.නි:(1): 1.1.8 සල්ලේඛ සූත්‍රය, පි. 111, EMN: 8 Effacement, p. 108.

▼ බුද්ධ අනුගාමිකයන්ගේ දිට්ඨිය:අන්‍ය ආගමික පිරිසක් විමසනු ලදුව අනේපිඬු (අනාථපිණ්ඩික) මහසිටානන්, බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන කෙනෙක් ලෙසින් තමා දරන දිට්ඨිය මෙසේ පෙන්වා ඇත: 1) අන්‍ය ආගමිකයන් දිට්ඨි 10 ක් දැරීමට හේතුව එම කරුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් බැලීම හෝ වෙනත් කෙනක් පැවසු දෙයක් නිසා මතයක් ඇති කරගැනීම නිසාය: ‘දැන් ඒ දිට්ඨි ඇතිවී තිබේ, එය හෙතුභුතය (හෙතුවක් නිසා ඇතිවිය), චේතනා නිසා ඇතිවිය, හේතුඵල සම්බන්ධයක් නිසා හටගෙන ඇත, එනිසා, ඒවා අනිච්ච ස්වභාවය දරයි. අනිච්ච ස්වභාවය ඇති ඕනෑම දෙයක් දුකකි. මේ දුක, තමාගේ මතය යයි ඔබ හැම අල්ලා ගෙන සිටී’ 2) සිටුතුමා තමා දරන දිට්ඨිය මෙසේ පවසා ඇත:

“ඇතිවූ ඕනෑම දෙයක් හේතුභුතය, චේතනා නිසා ඇතිවිය, හේතුඵල සම්බන්ධයක් නිසා හටගෙන ඇත, අනිච්චය. අනිච්චදේ දුකය. දුක ගනදෙන දේ මගේ නොවේ. මම එය නොවේ, මෙය මගේ අත්තමය නොවේ’. මේ තමා’ මගේ දිට්ඨිය.” සටහන්:* ඉන්පසුව පරිබ්‍රාජකයෝ මෙසේ ඇසුහ: “ගහපතිය, ඇතිවූ ඕනෑම දෙයක් හේතුභුතය, චේතනා නිසා ඇතිවිය, හේතුඵල සම්බන්ධයක් නිසා හටගෙන ඇත, අනිච්චය. අනිච්චදේ දුකය. මේ දුකටද ඔබ ඇලි සිටින්නේ? අල්ලාගෙන සිටින්නේ?’ ** පිළිතුර: “භාන්තේ, ඇතිවූ ඕනෑම දෙයක් හේතුභුතය, චේතනා නිසා ඇතිවිය, හේතුඵල සම්බන්ධයක් නිසා හටගෙන ඇත, අනිච්චය. අනිච්චදේ දුකය. දුක පිළිබඳව ඇති සැටියෙන්, පැහදිළිලෙසින්ම, ප්‍රඥාවෙන් මෙසේ දැක්කෙමි: මෙය මගේ නොවේ, මම මෙය නොවේ, මෙය මගේ ආත්මය නොවේ’. මේ තමා උතුම් ලෙසින්ම ඉන් මිදීම, එය මම අවබෝධකළෙමි”.

“ යං ඛො භන‍්තෙ කිඤ‍්චි භූතං සංඛතං චෙතයිතං පටිච‍්චසමූප‍්පන‍්නං තදනිච‍්චං යදනිච‍්චං, තං දුක‍්ඛං, යං දුක‍්ඛං තං ‘නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තාති’. එවමෙතං යථාභූතං සම‍්මාප‍්පඤඤාය සුදිට‍්ඨං තස‍්ස ච උත‍්තරිං නිස‍්සරණං යථාභූතං පජානාමිති”. ( Bhante, whatever has come into being and is conditioned, a product of volition, dependently originated, is impermanent. Whatever is impermanent is suffering. Having clearly seen what is suffering as it really is with correct wisdom thus: ‘This is not mine; I am not this; this is not my self,’ I understand as it really is the superior escape from it.” ** සිටුවරයා එම සිදුවීම බුදුන් වහන්සේට පැවසු අවස්ථාවේ, උන්වහන්සේ, සිටුවරයාට ප්‍රසංසා කොට ඔහුගේ පිළිතුරු අනුමත කළහ. මූලාශ්‍ර: අංගු.නි:(6 ):10 නිපාත, 10.2.5.3. කිංදිට්ඨික සූත්‍රය, පි.360, EAN:10: 93-3 View, p. 534.

▼ අන්‍යආගමික දිට්ඨි -Views of other sectors: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ අන්‍ය ආගමිකයන් අතර පැවති දිට්ඨි දහයකි: 1 ලෝකය සදාකාලිකය 2 ලෝකය සදාකාලිකය නොවේ 3 ලෝකය අසීමිතය, 4 ලෝකය අසීමිත නොවේ 5 ආත්මය හා කය එකමදෙයකි, 6 ආත්මය එකකි, කය වෙනත් එකකි, 7 තථාගතයන් මරණින් පසු සිටි, 8 තථාගතයන් මරණින් පසු නොසිටි,9 තථාගතයන් මරණින්පසු සිටි හා නොසිටි, 10 තථාගතයන් මරණින්පසු සිටින්නේ ද වේ නොසිටින්නේද වේ. “සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා, අන‍්තවා ලොකොති වා අනන‍්තවා ලොකොති වා, තං ජිවං තං සරීරන‍්ති වා අඤ‍්ඤං ජිවං අඤ‍්ඤං සරීරන‍්ති වා හොති, තථාගතො පරම‍්මරණාති වා න හොති තථාගතො පරම‍්මරණාති වා හොති ච න හොතිච තථාගතො පරම‍්මරණාති වා නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා” (The world is eternal’or ‘The world is not eternal’ ‘The world is finite’ or ‘The world is infinite’, ‘The soul and the body are the same’ or ‘The soul is one thing and the body another’,’The Tathāgata exists after death’ or ‘The Tathāgata does not exist after death’ or ‘The Tathāgata both exists and does not exist after death’ or ‘The Tathāgata neither exists nor does not exist after death’)

සටහන: සංයු.නි (3) ඛන්ධවග්ග:දිට්ඨිසංයුත්තයේ, මේ දිට්ඨි 10 ගැන විස්තරාත්මකව පෙන්වාඇත.මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය, 10.1.2.10 හා දෙවෙනි අරියවාස සූත්‍රය, පි.82-84, 10.2.5.3. කිංදිට්ඨික සූත්‍රය,පි.360, EAN:10:19.9 & 20.10 Abodes of the Noble Ones, p. 498-499, 93-3 View, p. 534.

▼ අන්‍යආගමික දිට්ඨි 10 පිලිබඳ බුද්ධ දේශනාව: එක් සමයක උත්තිය පරිබ්‍රාජික, දිට්ඨි 10 ගැන විමසුවිට, බුදුන් වහන්සේ මෙසේ වදාළහ: ඒ කරුනු 10 ගැන තමන්වහන්සේ ප්‍රකාශ කර නොමැත. එයට හේතුව: “ උත්තිය, මම විශිෂ්ඨ ඥානයෙන් දැන, සත්ත්‍වයන් විශුද්ධිය පිණිස, සෝක විලාප මැඩපවත්වා ගැනීම පිණිස, දුක්වේදනා හා දොම්නස අහවරකරගැනීම පිණිස, මාර්ග ය ලැබීම පිණිස, නිවන සාක්ෂාත් කරගැනීම පිණිස, ශ්‍රාවකයනට ධර්මය දේශනා කරමි” “අභිඤ‍්ඤාය ඛො අහං සාවකානං ධම‍්මං දෙසෙමි සත‍්තානං විසුද‍්ධියා සොකපරිද‍්දවානං සමතික‍්කමාය දුක‍්ඛදොමනස‍්සනං අත්‍ථඬගමාය ඤායස‍්ස අධිගමාය නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායාති” සටහන්: * ඉන්පසුව, උත්තිය, බුදුන් වහන්සේගෙන් මෙලෙස විමසුහ: “ ගුරු ගෝතම, එසේ ... ශ්‍රාවකයනට ධර්මය දේශනා කරනවිට, මුළු ලෝකයම, එහෙමත් නැත්නම් ඉන් අඩක් නැත්නම් තුනෙනේ එක් පංගුවක් වත් නිවන් දකිනවාද?” . ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ පිළිතුරු නොදී නිශ්බ්දවුහ. ** එවිට, ආනන්ද තෙරුන්, බුදුන් වහන්සේගේ නිහඬ වීම පිළිබඳව උත්තිය වැරදි ලෙසින් සිතා ඔහුට අයහපතක් වේ යයි දැන මෙසේ වදාළහ:

“ උත්තිය, ඔබගේ ප්‍රශ්නය පිළිබඳව මම උපමාවක් කියන්නම්, සමහර නුවණැති පුද්ගලයෙක් උපමාවකින් පැවසූ විට ඒ පිලිබඳ තේරුම් ගනී: රජෙක් සතු ප්‍රාන්ත නුවරක් ඇත. එම නුවර-නගරය සවිමත් පවුරු ප්‍රාකාර, ආදියෙන් වටකර ඇත; ඇතුල්වීමට ඇත්තේ එක් දොරටුවක් පමණි. එහි දොරටුපාලකයා නුවණැති, දක්‍ෂ, බුද්ධිමත් කෙනෙකි. නුවර ප්‍රකාරය පරික්ෂා කරණ ඔහුට, බළලෙක් වැනි කුඩා සතෙකුට උවත් ඇතුළුවීමට නොහැකි, විවර නැතිබව පෙනේ. නුවරට කොපමණ සෙනගක් ඇතුළුවෙනවාද, පිට වෙනවාද යයි ගණනක් කීමට ඔහු නොදනී. එහෙත්, යම්කිසි ලොකු සත්ත්‍වයෙක් නුවරට ඇතුළු වෙනවානම් හෝ පිට වෙනවානම්, එම සතා නුවර දොරකඩින් ඇතුළුවී හෝ පිටවිය යුතු බව ඔහු දනී. එලෙස, උත්තිය, මුළුලොවම හෝ ඉන් අඩක් හෝ තුනෙනේ දෙකක් හෝ විමුක්ත්තියට පත්වෙනවා ද යන්න ගැන තථාගතයන්ට අදාළ නොවේ. එහෙත් තථාගතයන් මේ පිළිබඳව නියතවම දනී:

“විමුක්තිය ලැබූ හෝ ලබන හෝ මතුවට ලබාගන්නා ලෝකයේ ඕනෑම පුද්ගලයෙක් පළමුව ප්‍රඥාව දුර්වල කරන පංච නිවරණ ප්‍රහීණය කලයුතුය; ඉන්පසු සතර සතිපට්ඨානය මනාව පිහිටුවාගත් සිතකින්, නිවැරදි ලෙසින් සප්ත බොජ්ඣංග ධර්ම වැඩිය යුතුය. මේ ක්‍රමයට සත්ත්‍වයෝ ලෝකයෙන් නිකුත්ව (සසරින්) විමුක්තිය ලබාගති, ලබති, (මතුවට) ලබාගනි. උත්තිය, ඔබ පළමුව ඇසු ප්‍රශ්නයම, නැවත වෙනත් ආකාරයකින්, භාග්‍යවතුන්වහන්සේගෙන් විමසුහ; එමනිසා, උන්වහන්සේ ඔබට පිළිතුරු නොවදාළහ”. බලන්න: උපග්‍රන්ථය:5-උපමා:ප්‍රඥාවන්ත දොරටු පාලයා, මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත, 10.2.5.5. උත්තිය සූත්‍රය,පි.374, EAN:10: 95-5 Uttiya, p.536.

▼දිට්ඨි 10 පිළිබඳ ආනන්ද තෙරුන් ගේ ප්‍රකාශය: එක් සමයක, කොකනද පරිබ්‍රාජක, දිට්ඨි 10 පිළිබඳව විමසු විට, ආනන්ද තෙරුන් පැවසුවේ: තමන්හට එම දිට්ඨි නොමැතිබවය. එවිට, පරිබ්‍රාජකයා නැවත මෙසේ ඇසුහ: “එයට හේතුව එම දේ ගැන ඔබ නොදන්න නිසාද? දකින්නේ නැති නිසාද?’ තෙරුන් මෙසේ වදාළහ:

‘මිත්‍රය, මම නොදන්නවා නොවේ, නොදකිනවා නොවේ, මම දනිමි, මම දකිමි’. එසේ දන්නා දකිනා අයුරු කෙසේද? යයි පරිබ්‍රාජකයා විමසුවිට තෙරුන් මෙසේ වදාළහ:

“ ඒ දිට්ඨි (10) , මනසින් ඇතිකරගත් දේය; ඒවා දිට්ඨි ඇතිකරණ පදනම්ය (මුලය), ඒවා දිට්ඨි ඇතිකරණ අඩිතාලමය, ඒවා සිත උන්මාදකරන දිට්ඨියන්ය, ඒවා දිට්ඨි ඇතිකරයි, ඒවා දිට්ඨි ගලවාදායි. ඒ බව මම දනිමි, දකිමි. ඒ ගැන මම දන්නා දකිනා නිසා “මම නොදනිමි නොදකිමි’ යයි මම කියන්නේ මන්ද?’”. “යාවතා ආවූසො දිට‍්ඨිගතා යාවතා දිට‍්ඨිටඨානං දිට‍්ඨාධිට‍්ඨානං දිට‍්ඨිපරියුට‍්ඨානං දිට‍්ඨිසමුට‍්ඨානං දිට‍්ඨිසමුග‍්ඝාතො. තමහං ජානාමි, තමහං පස‍්සාමී, තමහං ජානන‍්තො, තමහං පස‍්සන‍්තො ක්‍යාහං වක‍්ඛාමී ‘නජානාමි, නපස‍්සාමී’ ති. ‘ජානාමහං ආවූසො පස‍්සාමී’ති’” සටහන: තෙරුන්ගේ ප්‍රකශය අසා, උන්වහන්සේ ආනන්ද තෙරුන් බව දැනගත් පරිබ්‍රාජයාක මෙසේ පැවසුහ: “ ඇත්තවශයෙන්ම, මා දැන සිටියේ නැහැ, මම ඔබ වහන්සේ වැනි මහා ඇදුරුතුමෙක් ගෙන් ප්‍රශ්න අසන බව; ඒ බව දැන සිටියා නම් මෙතෙක් දුරට මම කතා කරන්නේ නැහැ. ඔබ වහන්සේ මා කමාකරන සේක්වා” මූලාශ්‍ර: අංගු.නි:(6): 10 නිපාත: 10.2.5.6.කොකනද සූත්‍රය, පි.378, EAN: 10: 96-6. Kokanada, p. 536.

▼බුද්ධ දේශනා පිලිබඳ අන්‍යආගමිකයන් ගේ දිට්ඨි හා මත-Views of other sectarians on the teaching of the Buddha.: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ විසු අන්‍ය ආගමිකයන්, බුද්ධ දේශනා පිළිබඳව මෙවැනි මත පළකර ඇත: 1) ශ්‍රමණ ගෝතම, හැම තපස්බවක්, හැම දුෂ්කරවූ තවුස්දමක් ගරහයි. 2) ශ්‍රමණ ගෝතම, සෑමදෙයක්ම අහෝසිකරන්නෙකි (වෙනයිකො -abolitionist), ඔහු නිශ්චිත ප්‍රකාස කිරීමෙන් වැලකිසිටි.සටහන්: ඔවුන්ගේ ඒ මත පිළිබඳව චම්පා නුවර, වජ්ජියමාහිත ගහපති මෙසේ කරුණු දක්වා ඇත: 1) “ ...භාග්‍යවතුන්වහන්සේ, හැම තපස්බවක්, හැම තවුස්දමක් ගරහන්නේ නැත. යමක් ගැරහිය යුතුනම්, උන්වහන්සේ ඒදේ ගරහති; යමක් පැසසිය යුතු නම් උන්වහන්සේ ඒදේ පසසති. ගැරහියයුතු දේ ගරහන, පැසසිය යුතු දේ පසසන ,භාග්‍යවතුන් වහන්සේ, විභජ්ජවාදීය, එක් පසක් පමණක් ගෙන කටයුතු නො කරන්නේය”. 2) “... භාග්‍යවතුන්වහන්සේ නියතලෙසින්ම, ‘මේ කුසල ධර්මය’ ‘මේ අකුසල ධර්මය’ යයි ප්‍රකාශකර ඇත; එලෙස, භාග්‍යවතුන්වහන්සේ, කුසල දහම කුමක්ද අකුසල දහම කුමක්ද ? යයි ප්‍රශ්න කලවිට, උන්වහන්සේ, ඒ ගැන නිශ්චිතවම පෙන්වා ඇත. උන්වහන්සේ අහෝසි කරන්නෙක් හෝ නියත ප්‍රකාශ නොකරන කෙනෙක් නොවේ”. සටහන: වජ්ජියමාහිත ගහපතිගේ ප්‍රකාශය බුදුන් වහන්සේ අනුමත කර ඇත. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත:10.2.5.4. වජ්ජියමාහිත සූත්‍රය,පි.368, EAN:10: 94-4 Vajjiyamāhita, p.535.

▼ දිට්ඨි -බුදුසසුනට බාහිර -Views external to Buddhasasana බුදු සසුනෙනේ බැහැර විවිධවූ දිට්ඨි ඇති පුද්ගලයන් අතුරින් මෙබඳු දිට්ඨියක් ඇති අය අග්‍ර බව බුදුහිමි වදාළහ:

“අතීතයෙහි නොසිටියේ නම්, වර්තමානයේ කර්ම සකස් කරන ආත්මභාවයක් විය නොහැකිය. වර්තමානයේ නොසිටීනම්, අනාගතයක් සඳහා කර්ම සකස්වීමක් නැත, අනාගතයේ ඇතිවීමක් නොවේ”.එවැනි දිට්ඨියක් ඇතිකෙනෙකුට භවපැවැත්ම (සසර) පිළිබඳව පිළිකුළක් නොමැත, එසේම භවනිරෝධය පිළිබඳව ද පිළිකුලක් නැත”. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.1.3.9.ප්‍රථම කොසල සූත්‍රය,පි.134, EAN:10: The Great Chapter, 29.9 Kosala-1, p. 505.

▲ දිට්ඨිගතවීම-Established in views: දිට්ඨිගතවීම ලෙසින් පෙන්වා ඇත්තේ මිථ්‍යාදර්ශන 2ක් ඇතිව භවයට ඇලීමය. 1) ලෝකය ශාශ්වත යන දිට්ඨිය -ආත්මය හා ලෝකය ස්ථිරයයි සැලකීම 2) උචේඡවාද දිට්ඨිය (ආත්මය හා ලෝකය මරණින් මතු නැතය යයි සැලකීම). එහෙත් නුවණැස ඇති ප්‍රඥාවන්තයෝ එම අන්ත දෙක්ට නොපැමිණ, පංච උපාදානස්කන්ධයේ යථා තත්වය අවබෝධ කර දිට්ඨිවලට නොපැමිණ සිටිති. මූලාශ්‍රය:ඛු.නි: ඉතිවුත්තක: 2.2.12 දිට්ඨිගත සූත්‍රය, පි.402.

▲දිට්ඨි අනුසය - diṭṭhānusayo: මෙය අනුසය ධර්මයකි, විවිධ මත ගැන සිත යට පවතින කෙළෙස්ය. බලන්න: අනුසය.

▲දිට්ඨි ආස්‍රව-Ditti asrava: ආස්‍රව -ආසව 4 න් එකකි, සිත කෙළෙසන කරුණකි. බලන්න: ආස්‍රව.

▲ දිට්ඨි ඔඝය- the flood of views:සසර ඇද ගෙනයන, අකුසල් ජලප්‍රවාහ 4න එකකි. බලන්න: ඔඝ සතර.

▲ දිට්ඨධම්ම: පාලි: දිට‍්ඨධම‍්ම-in the present life-dițțha-dhamma දිට්ඨධම්ම යනු මෙලොව දී දැකිය හැකි ධර්මතාවයන්ය. උදාහරණයක් ලෙසින් මෙලොව දී ඵල දෙන කර්ම දිට්ඨධම්ම වේදනීය කර්ම ලෙසින් පෙන්වා ඇත. පරලොව දී විපාක දෙන කර්ම සම්පරායික ලෙසින් පෙන්වා ඇත. නිවන මේ ජීවිතයේදීම දැකිය හැකි ධර්මයකි. බලන්න: කම්ම, සම්පරායික ධර්ම.

▲දිට්ඨධම්ම වේදනීය කර්ම-Dițțha-Dhamma-Vedaniya-Kamma කර්ම විපාක ඇතිකරන එක අවස්ථාවක් ලෙසින් දිට්ඨධම්ම වේදනීය කර්ම බුදුන් වහන්සේ පෙන්වා ඇත. තමන් විසින් කරනලද යහපත් හෝ අයහපත් කර්ම වල ප්‍රතිවිපාක මේ ජීවිතයේදීම විඳීමය. බලන්න: කම්ම, කම්මවිපාක.

▲ දිට්ඨධම්ම නිබ්බාන: පාලි: දිට‍්ඨධම‍්ම නිබ‍්බානප‍්පත‍්තො - Nibbāna in this very life: දිට‍්ඨධම‍්ම නිබ‍්බානප‍්පත‍්තො යනු මේ ජීවිතයේදීම නිවන ලබාගැනීමය- නිවීමය. දිට්ඨධම්ම නිබ්බානය පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇතිබව ආනන්ද තෙරුන් වදාළහ:

“ඇවැත්නි, මේ සසුනේ මහණ...ප්‍රථම ජානයට පැමිණ වාසය කරයි…( එලෙස සිව් ජාන) එපමණකින්ම, මේ ජීවිතයේදීම නිවන ලබාගැනීම යයි අවස්ථානුරූපව (පර්යායෙන්බුදුන් වහන්සේ දෙසනා කරන ලදී” “ මේ සසුනේ මහණ... ආකාසානඤචායතන සමාපත්තියට පැමිණ වාසය කරයි... (එලෙස සිව් අරූප) එපමණකින්ම, මේ ජීවිතයේදීම නිවන ලබාගැනීම යයි අවස්ථානුරූපව, බුදුන් වහන්සේ දෙසනා කරන ලදී” “...මේ සසුනේ මහණ මුළුමනින්ම, නෙවසඤඤානාසඤඤායතනය ඉක්මවා සඤඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. නෙවසඤඤානාසඤඤා විපස්සනා ප්‍රඥාවෙන් දැකීමෙන් ඔහුගේ ආසව ක්‍ෂයවේ. එපමණකින්ම, මේ ජීවිතයේදීම නිවන ලබාගැනීම යයි අවස්ථානුරූපව, බුදුන් වහන්සේ දෙසනා කරන ලදී”.මූලාශ්‍ර: අංගු.නි: (5 ): 9 නිපාත: සාමඤඤවග්ග: 9.1.5.10 දිට්ඨධම්ම නිබ්බාන සූත්‍රය, පි. 566, EAN:9: 51.10. Nibbāna in this very life, p. 485.

▼ රහතන්වහන්සේ මේ ජීවිතයේදීම නිවන ලබාඇත. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ධර්මතා ( පංච උපාදානස්කන්ධය) පිලිබඳ කළකිරි, නොඇලි, නිරෝධවී, උපාදාන රහිතව විමුක්තිය ලබා, මේ ජීවිතයේදීම නිවන ලබාගත් ආරිය උතුමානම් රහතන්වහන්සේය. ( if one, through revulsion towards form… feeling … perception … volitional formations … consciousness, through its fading away and cessation, one is liberated by non-clinging, one can be called a bhikkhu who has attained Nibbāna in this very life) මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.3.2.3 හා 1.3.2.4. සූත්‍ර, පි. 312, ESN: 22: Khandasamyutta: 115.3 & 116.4 A speaker on the Dhamma, p. 1101.

▲ දිට්ඨධම්මසුඛ විහරණය: පාලි: දිට‍්ඨධම‍්මාසුඛවිහාරා- pleasant abiding here and now. ආරිය විනයේ දිට්ඨධම්මසුඛ විහරණය- මෙලොවදීම සුවපත්ව වාසය කිරීම ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, සිව් ජාන සමාපත්ති (1-4 ජාන) ලබා ගැනීමය.බලන්න: අෂ්ඨ සමාපත්ති, සිව් ජාන. සටහන්: * රහතන්වහන්සේ මේ ජීවිතයේදීම දිට්ඨධම්මසුඛ විහරණය ඇතිව සිටි. ** මේ ජීවිතයේම සුවය සැපය ඇතිව වාසයකිරීම පිණිස-දිට්ඨධ්ම්මසුඛවිහරණය පිණිස බුදුන් වහන්සේ දුර ආරණ්‍යසේනාසන වල වැඩ වාසය කලබව මෙහි පෙන්වා ඇත. බලන්න: ආරඤඤ සේනාසන, අංගු.නි: (1): 2 නිපාත: 2.1.3.10 සූත්‍රය,පි. 157. මූලාශ්‍ර: ම.නි: (1): 1.1.8 සල්ලේඛ සූත්‍රය, පි. 112, EMN: 8. Sallekha Sutta- Effacement, p.108.

▼ආරියවිනයේ, සිව්ජාන සමාපත්ති හඳුන්වා ඇත්තේ මේ ජීවිතයේදීම විඳිනා සුඛ විහරණ ලෙසින්ය- දිට‍්ඨධම‍්මාසුඛවිහාරා. බලන්න: අෂ්ඨ සමාපත්ති.

▼කායගතා සතිය වැඩි දියුණු කරගැනීමේ ඵලයක් ලෙස මේ භවයේදීම සැප විහරණය ඇතිව වාසය කිරීමට ලැබේ (දිට‍්ඨධම‍්මාසුඛවිහාරාය සංවත‍්තති).බලන්න:කායගතාසතිය.

▲ දිට්ඨිනිජ්ජානඛන්ති:පාලි: දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්ති- reflective acceptance of a view :දිට්ඨිනිජ්ජානඛන්ති යනු, යම්දෙයක් යහපත් ලෙසින්ම පිළිගැනීම පිණිස භාවිතා කළයුතු ධර්මතා 5 න් එකකි. මෙය ධර්මය ක්‍රමානුකූලව පුහුණුකිරීම පිණිස අවශ්‍ය අංගයකි. සටහන:* දිට්ඨි=යම්කිසි කරුණක් ගැන සිතේ ඇති මතය-විශ්වාසය, නිජ්ජාන= ඒ පිළිබඳව විමසා බැලීම, ඛන්ති= එසේ විමසා බලා ඇති කරගන්නා නුවණ. මෙය අවබෝධයකි. එහෙත්, ප්‍රත්‍යවෙක්ෂ ඥානය නොවේ. බලන්න: පංච ධර්මතා-ක්‍රමානුකූල පුහුණුව පිණිස. මූලාශ්‍ර: ම.නි: ( 2 ): 2.5.5. චඬකී සූත්‍රය, පි. 672, EMN: 95 Cankī Sutta, p. 704.

▲දිට්ඨිනිස්සය-Dittinissaya: දිට්ඨිනිස්සය ලෙසින් දක්වා ඇත්තේ සීලය මගින් පාරිශුද්ධ බව පැතීමය.බලන්න: ශිලය.

▲ දිට්ඨිප්‍රාප්ත:පාලි: දිට‍්ඨප‍්පත‍්තො -the one attained to view: දිට්ඨියට පැමිණි ආරිය උතුමාය (vision attainer). සත් ආරිය පුද්ගලයන් ගෙන් කෙනෙකි. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්ය. තථාගත ධර්මය ප්‍රඥාවෙන් විමසා බලා විභාගකර ආරිය සත්‍ය නුවණින් දැක ඇත. අප්‍රමාදව කටයුතු කරන්නේ නම මේ භවයේදීම අරහත්වය ලබාගත හැකිය. බලන්න. උත්තම දස පුද්ගලයෝ,සත් ආරිය පුද්ගලයෝ. සටහන: බුදුන් වහන්සේ, සැරියුත් මහා තෙරුන්හට දිට්ඨිප්‍රාප්ත පුද්ගලයා පිලිබඳ වදාළ විස්තරය පිණිස බලන්න: අංගු.නි: (1) 3 නිපාත: 3.1.3.1සූත්‍රය ,පි. 260, EAN:3: 21.Saviṭṭha, p. 85. මූලාශ්‍ර: ම.නි: (2) 2.2.10 කිටාගිරි සූත්‍රය, පි. 251, අංගු.නි: (6) 10 නිපාත: 10.1.2.6 ආහුණෙය්‍ය සුත්‍රය, පි.70,

▲ දිට්ඨි යොගය: පාලි: දිට‍්ඨියොගො- the bond of views: දිට්ඨි යොගය යනු ලෝක සත්ත්‍වයා සසරට බැඳ තබන බැමි- කෙලෙස් බැඳීම් 4 න් එකකි, හානභාගිය ධර්මයකි.බලන්න: සතර යොග, හානභාගිය ධර්ම.

▲ දිට්ඨිසම්පන්න: පාලි: දිට‍්ඨිංසම‍්පන‍්නානං- attend to certainty: දිට්ඨිසම්පන්න ලෙසින් ධර්මයේ පෙන්වා ඇත්තේ, යම් පුද්ගලයෙකුට බුදුන් වහන්සේ කෙරහි ඇති විශ්වාසය තහවුරුවීමය, ශ්‍රද්ධාවෙන් පිලිගැනීමය, සම්මා දිට්ඨියට පැමිණීමය- දිට්ඨිය සම්පුර්ණවීමය. දිට්ඨිසම්පන්නබව පළමුවම ඇතිවන්නේ සෝතාපන්න වූ විටය. සටහන: දිට්ඨිසම්පන්නවීම හා අවෙච්චාසහගත ප්‍රසාදය ඇතිවීම සමානය. බලන්න: අවෙච්චාසහගත ප්‍රසාදය, සෝතාපන්න.

▼ යම් කෙනෙක් මා කෙරෙහි නිසැකබවට- නියතබවට පත්වේද, ඔවුන් හැම දිට්ඨි සම්පන්න ය යි බුදුන් වහන්සේ වදාළහ:

“ යෙ කෙචි භික‍්ඛවෙ, මයි නිට‍්ඨංගතා, සබ‍්බෙ තෙ දිට‍්ඨිසම‍්පන‍්නා නං...” . සටහන: සෝතාපන්න- අරහත්වයට පත්වන සියලු ආරිය පුද්ගලයෝ දිට්ඨි සම්පන්නය. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.2.2.3 නිට්ඨඬගත සූත්‍රය, පි.244, EAN:10: 63.3 Certainty, p. 519.

▼ දිට්ඨි සම්පන්න සෝතාපන්න පුද්ගලයාගේ ස්වභාවය: ඔහු ධර්මතා 6 ක් ප්‍රහීණය කර ඇත: සක්කායදිට්ඨිය, විචිකිච්චාව, සීලබ්බතපරාමාස, අපායගමනිය රාගය, දෝසය හා මෝහය. ඔහුට කළනොහැකිදේ (අභබ්බදේ): 1 තමාගේ ගුරුවරයාට ගෞරවනොකර, සමාදරය නොකර සිටීම 2 ධර්මයට ගෞරවනොකර, සමාදරය නොකර සිටීම 3 සංඝයාට ගෞරව නොකර, සමාදරය නොකර සිටීම 4 ශික්ෂා පුහුණුවට ගෞරවනොකර, සමාදරය නොකර සිටීම 5 පන්සිල් හැරදැමීමට හා 62ක්වු දිට්ඨිටිවලට පැමිණීමට 6. කාමාවචර ලෝකයේ අටවැනි උපතක් ලැබීමට, කිසිම සංඛාරයක්: 7 නිත්‍ය 8 ශුභ ලෙසින් ගැනීමට 9 කිසිම ධර්මයක් ආත්ම ලෙසින් ගැනීමට 10 ආනන්තරිය කර්ම කිරීමට 11 අන්ධවිශ්වාස හා භක්තිය මගින් ආධ්‍යාත්මික පිරිසිදුබව ලැබේ යයි කටයුතු කිරීමට 12 බුදුසසුනට බාහිර පුද්ගලයෙක් ගුරුවරයා කර ගැනීමට. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.2.4.6 සිට 6.2.4.10 සූත්‍ර, පි. 268, EAN:6: 90.6 to 94.10 p. 362.

දත

▲ දූත කර්ම- Missionary: දූත කර්ම ලෙසින් පෙන්වා ඇත්තේ, ධර්ම දූතසේවයය. සංඝයා, පිරිස- සමුහය වෙතට පැමිණ ධර්මය යහපත් ලෙසින් දේශනා කිරීමය. දූත කර්මය පිලිබඳ තිබිය යුතු ගුණ:1) යහපත් ලෙසින් ඇසීමට හැකිබව 2) යහපත් ලෙසින් අනුන් (ධර්මය) ඇසීමට පොලඹවා ගැනීමට හැකිබව 3) යහපත් ලෙසින් ඉගෙනීමට හැකිබව 4) යහපත් ලෙසින් අනුන්ට උගැන්වීමට හැකිබව 5) යහපත් ලෙසින් අවබෝධ කරගැනීමට හැකිබව 6) යහපත් ලෙසින් අනුන්ට අවබෝධ කරවීමට හැකිබව 7) අදාළ දේ හා අදාළ නොවන දේ කුමක්ද යන්න දැනගැනීමේ හැකියාව තිබීම 8) සන්ඩු සරුවල්-කළහ ආදිය නොකරන කෙනක් වීම. මේ කරුණු 8 සමන්විත සැරියුත් තෙරුන් ධර්ම දූත සේවයට අනගියයි බුදුන් වහන්සේ වදාළහ. “යමෙක්, විවාදසුළු පිරිස අතරට පැමිණ නොසැලී සිටීද, වචන අතනොහරිද, දහම් පණිවිඩය නොසඟවයිද, සැකනැතිව (දෙගිඩියාව) කතා කරයිද, ප්‍රශ්න අසනවිට අවිනිශ්චිත නොවේද- නොකිපේද, එවැනි මහණ ඒකාන්තයෙන්ම දූතකර්මයට සුදුසුවේ, අනගිවේ”. මූලාශ්‍ර: අංගු.නි: (5) 8 නිපාත: 8.1.2.6 දුතෙය්‍ය සූත්‍රය, පි.100, EAN:6: 16.6.Mission, p.421.

▲ දූත සේවය- Messenger service: දූතසේවය ලෙසින් පෙන්වා ඇත්තේ පණිවිඩ ආදීය කිරීමය. ගිහියන්ගේ පණිවිඩ පත් ආදී සේවයේ වැලකුණ සංඝයා ස්වල්පයය, එහෙත්, එසේ කරණ අය බොහෝය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (5-2 ) මහාවග්ග: සච්චසංයුත්ත:12.10.3 දුතෙය්‍ය සූත්‍රය, පි.370, ESN:56: Saccha samyutta: 93.3 Messages, p. 2369.

▲ දුතිය ජානය-The second jhana: සතර ජානයන් ගෙන් දෙවැනියට එළඹෙන ජානය දුතිය-ද්විතිය ජානය ලෙසින් පෙන්වා ඇත. බලන්න: ජාන,සිව්ජාන.

▲ දුතියා- The second: දුතියා යනු දෙවැන්නාය- සහකාරයා/ සහායිකාවය.මේ දීර්ඝ සසරේ, එක් භවයක සිට තවත් භවයකට ආදී වශයෙන්, ගමන් කරන මිනිසාගේ (පෘතග්ජන) සහායිකාව - දෙවෙනියා ලෙසින් ගමන් කරන්නේ තණ්හාව යයි බුදුන් වහන්සේ වදාළහ:

“තණ‍්හාදුතියො පුරිසො දීඝමද‍්ධාන සංසාරං...” .මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත: 4.1.1.9 තණ්හා සූත්‍රය, පි. 42, EAN:4: 9.9 Craving, p. 150.

▼මිනිසාගේ සහයිකාව-දෙවැන්නිය කව්රුද? යයි දෙවියෙක් ඇසු පැණයට, පිළිතුරු ලෙසින් බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“ශ්‍රද්ධාව, පුරුෂයාට දෙවැන්නියවේ...”

සටහන: * මෙහිදී පුරුෂයා ලෙසින් පෙන්වා ඇත්තේ සත්පුරුෂයාය ** එම පුද්ගලයාට අනුසාසනා කරන්නේ ප්‍රඥාවය,නිවනට මැනවින් ඇලුන ඔහු සියලු දුකින් මිදේ. මූලාශ්‍ර:සංයු.නි: (1): සගාථවග්ග: දේවතා සංයුත්ත:1.6.9 දුතියා සූත්‍රය, පි. 96, ESN:1: Devatasamyutta: 59.9 Partner,p.139.

▲ දෙතිස් මහාපුරිස ලක්ෂණ-Thirty two marks of the great man සියලු මහා පුරුෂයන්හට ඇති උතුම් කායික ලක්ෂණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලෙසින් පෙන්වා ඇත.උත්තම පුරුෂයන්ට 32 ක් වූ මහා පුරිස ලක්ෂණ ඇතිබව, බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ඉන්දියානු සමාජයේ පැවති පිළිගැනීමකි. සූත්‍රදේශනාවන්ට අනුව එබඳු ලක්ෂණ ඇත්තේ බුදුවරු හා සක්විති රජවරුන්ටය. බලන්න: බුදුන් වහන්සේ, ලක්‍ෂණ, මහාපුරුෂ ලක්ෂණ. සටහන :දීඝ.නි: (1) අම්ඛට්ඨ සූත්‍රය, ම.නි:සේලසූත්‍රය ආදි සූත්‍ර ගණනාවකම මහා පුරිස ලක්ෂණ විස්තර කර ඇත.

▼ බාවෙරි බ්‍රහ්මණයා, තම සිසුන්ට බුදුන් වහන්සේ හඳුනා ගන්නා ආකාරය මෙසේ පවසා ඇත:"පිලිවෙලින් විස්තර කරණ ලද පරිපුර්ණවූ දෙතිස් මහපුරිස් ලකුණු වේදයෙහි ආයේය.යම් පුරුෂයකු ගෙ ශරිරාවයන්හි තෙල මහපුරිස් ලකුණු වෙත් නම්, ඔහුට දෙගතියක් ම එයි, තෙවැන්නක් නොවේ. ඉදින් හේ ගිහිගෙයි වෙ නම්...සක්විති රජය. ඉදින් ගිහිගෙයින් නික්ම සසුන් වැඩි නම්...අරහත් අනුත්තර සම්බුද්ධ වේ"සටහන: බාවෙරි බ්‍රහ්මණ හට මහා පුරිස ලක්ෂණ වලින් 3 ක් ඇතිබව් බුදුන් වහන්සේ වදාළහ, බලන්න: 1023 ගාථාව්. මූලාශ්‍රය: ඛු.නි:සුත්තනිපාත:පාරායනවග්ග:වස්තු ගාථා: 1004-1007.

දද

▲ දාදු කැටය උපමාව-Simile of the gambling cube: බලන්න:උපග්‍රන්ථය:5

දන

▲ දානය- offerings: දානය යනු දීමය, ත්‍යාගශීලි බවය, මසුරුකම නැතිබවය. අහාර, පාන,ඇඳුම්, නිවාස, බෙහෙත් -සිව්පසය ආදිය ලෝභය නැතිව, තව කෙනෙකුගේ යහපත තකා දීමය. දානය කුසලය ක්‍රියාවකි, යහපත් විපාක ඇතිකරයි. දානපාරමිතාව, බෝසතුන්ගේ දස පාරමිතාවන් ගෙන් එකකි. බලන්න: දක‍්ඛිණා, ත්‍යාගශීලි. සටහන්: * අංගු.නි: 5: නිපාත: දානවග්ගයේ දාන පිළිබඳව විස්තරාත්මකව පෙන්වා ඇත. ** දානය, චාගය ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: චාගය. ** දානය දීම හා නොදීම නිසා දෙව්ලොව හා මිනිස් ලොව ලැබෙන විපාක වල වෙනස හා පැවිදිබවට පත්වුවිට ලැබෙන විපාක වල වෙනස මෙහිදී විස්තරකර අත. ඒ පිළිබඳව කරුණු 5 ක් බුදුන් වහන්සේ වදාළහ. බලන්න: අංගු.නි: (3): 5 නිපාත: සුමණාවග්ග:5.1.4.1. සුමණා සූත්‍රය, පි.72.

▼ දානය, ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තුවලින් එකකි, උතුම් සැප විපාක ලැබේ. බලන්න: ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තු

▼දානය පිරිනමන ආකාරය හා එහි යහපත් විපාක මේ සූත්‍ර යේ පෙන්වා ඇත. බලන්න: මහා දානය. මූලාශ්‍ර:අංගු.නි: (5): 9 නිපාත:9.1.2.10 වේලාම සූත්‍රය, පි.456, EAN:9:20.10 Velāma, p.469.

▼ දානය පිරිනැමීමේදී අංග 6 ක් සම්පුර්ණ විය යුතුවේ. බලන්න: ඡළඅංග දානය.

▼දානය පිරිනැමිම යහපත් විපාක -ආනිසංස ඇති කරයි: කප් 91 ක කාලය බලනවිට දන් දුන් කුලයක් පිරිහීමට පත් නොවූ බව බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත. එසේම, සිල්ඇතිව, බොහෝ දන්දුන් ධනවත් කුලයන්ද, දාන අනුසස් නිසා මහත්වයට පත්වී ඇත. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග:ගාමිණිසංයුත්ත: 8.1.9 කුල සූත්‍රය, පි.610

▼ බුදුන් සරණගිය, සිල්වත්, ප්‍රඥාවන්ත කෙනෙක් දාන පුජා කරයි, එවැනිම වෙනත් පුද්ගලයෙක් දාන පුජා නොකරයි. ඔවුන්ට මෙලොව හා පරලොව ලැබෙන විපාකයන්හි වෙනස මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය:අංගු.නි: (3) 5 නිපාත: සුමණාවග්ග: 5.1.4.2 චුන්දීසූත්‍රය, පි.76.

▼ දානය පිරිනැමීමෙන් පසු සුදුසු අනුමෝදනා කල යුතුය. බලන්න: ත්‍රිවිධ අනුමෝදනා.

▼ දානය පිරි නැමීමේ ඵල: යහපත් ලෙසින් උතුමන්ට දානය දෙන පුද්ගලයාට මේ ජීවිතයේදීම දැකිය හැකි ඵල - සාන්දෘෂ්ටික, හතරක් ( සතර සාන්දෘෂ්ටික දාන ඵල) මෙහි දක්වා ඇත: ඒ දානපතියා: බොහෝ දෙනාට ප්‍රියවේ, සත්පුරුෂයෝ ඔහු ඇසුරු කරති, සමාජයේ ඔහු ගැන කිර්තිය පැතිරේ, ඔහුට ඕනෑම සභාවකට බිය රහිතව එළඹීමට හැකියාව ඇත. මරණින් මතු සුගතියේ උපත ලබයි. මූලාශ්‍රය:අංගු.නි: (3) 5 නිපාත: සුමණාවග්ග: 5.1.4.4 සිහසේනාපති සූත්‍රය, 5.1.4.5 දානආනිසංස සූත්‍රය,පි.82,

▼ කවරෙකුට දනය දීම සුදුසුද? පසේනදී කෝසල රජු කල විමසීම පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: යම් කෙනෙක් කෙරේහි සිත පහදින්නේ නම් ඔහුට දීම සුදුසුය. කවරෙකුට දෙන දානය මහත්ඵල වේද? : සිල්වතාට දන් දීමෙන් මහාඵල ලැබේ, පංච නීවරණ පහ කළ උතුමාට දෙන දානය මහා ඵල ඇතිකරයි. අසේඛවූ රහතුන්ට දෙන දානය මහා ඵල ඇතිකරයි. සටහන: අසපු, පැන්පොකුණු , සක්මන්මලු , වනසේනාසන, අහාර පැන් ආදියද රහතුන් කෙරෙහි පහන් සිතින් දීම අග්‍ර බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (1) කෝසල සංයුත්ත: 3.3.4 ඉස්සත්ථ සූත්‍රය, පි.206.

▼ කුමක් දිය යුතුද? එක්සමයක දෙවියෙක්, බුදුන් වහන්සේගෙන් මෙසේ ඇසුහ: 1) කුමක් දීමෙන්, කෙනෙක් බලය දෙන්නේද? 2) කුමක් දීමෙන්, කෙනෙක් වර්ණය දෙන්නේද? 3) කුමක් දීමෙන්,කෙනෙක් සැපය දෙන්නේද? 4) කුමක් දීමෙන්, කෙනෙක් ඇස් දෙන්නේද? 5) සියල්ල දෙන තැනැත්තා කවුද? බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ ආහාර දෙනකෙනා බලය දෙයි. වස්ත්‍ර දෙනකෙනා වර්ණය ( අලංකාරය) දෙයි. යාන දෙන කෙනා සැප දෙයි. පහන් -ආලෝක දෙනකෙනා (පහන්පුජා) ඇස් (පෙනීම) දෙයි. යමෙක් ආවාස දෙන්නේනම් හෙතෙම සියල්ල දෙන්නෙක්වේ (සබ්බ දාන) . යමෙක් ධර්මය අනුශාසනා කරන්නේ නම් ඔහු අමෘතය (deathless- නිවන) දෙන්නේය”. මූලාශ්‍ර: සංයු.නි: (1) : සගාථවග්ග: දේවතා සංයුත්ත: ආදිත්ත වර්ගය, කිංදද සූත්‍රය , පි. 82, ESN: 1: Devathasamyutta: 42.2 Giving what ? , p. 117.

▼ දාන දීමට හේතු: පුදගලයන් විවිධ හේතුමත දාන පිරිනමන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) පළමුව නින්දා අපහාස කර දෙන දානය 2) බිය නිසා දෙන දානය 3) පෙරදී කෙනක් තමාට දුන්බව සිහිකර දෙන දානය 4) දන්දීම නිසා, ලබන තැනැත්තා තමාටත් පෙරලා දෙයි යන සිත ඇතිව දෙන දානය 5) දීම යහපත්බව සිතා දෙන දානය 6) ඉවුම් පිහුම් නොකරන මිනිසුන් ගැන සිතා, තමන් උයන පිහන නිසා ඔවුනට දියයුතුය යයි සිතා දෙන දානය 7) දීම නිසා තමන්ට නම්බුනාම ලැබේ යයි සිතා දෙන දානය 8) තමන්ගේ සිත පිරිසුදු කරගැනීමට, පහන් කර ගැනීමට දෙන දානය 9) කැමැත්ත නිසා දෙන දානය 10) තරහ සිතින් දෙන දානය 11) අවිද්‍යාව නිසා දෙන දානය 12) අනුන් විවේචනය කරයි යන බිය නිසා දෙන දානය 13) පරම්පරාවේ පුරුද්ද තබාගැනීම පිණිස දෙන දානය 14) දෙව්ලොව සැප පතා දෙන දානය. මූලාශ්‍ර: අංගු.නි: ( 5): 8 නිපාත: 8.1.4.1 දාන සූත්‍රය හා 8.1.4.3 දානවස්තු සූත්‍රය, පි. 172, EAN:8: 31.1 Giving & 33.3 Grounds, p. 430.

▼ ගුණවත් සිල්වත් සංඝයාට දන්දීම නිසා දේවලෝක උත්පත්තිය ලබන බව මෙහි පෙන්වා ඇත. දානය පිරිනැමීමට සුදුසු ගුණ 6 ක් මෙහි මෙහි විස්තර කර ඇත. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: මහාවග්ග:6.2.1.5 දාරුකම්මික සූත්‍රය,පි.194.

▼අහාර දාන: කෙනෙක් මසුරුකම දුරුකර පහන් සිතින් හා සැදැහැයෙන් ආහාර දෙන්නේද, එමගින් ලබන පින් මෙලොව හා පරලොව යහපත පිණිස වේ. මූලාශ්‍ර:සංයු.නි:( 1 ): සගාථවග්ග: දේවතා සංයුත්ත: අන්න සූත්‍රය, පි. 84, ESN:1: Devatha samyutta : 43-3 food, p. 118.

▼ කැඳබත් දන්දීමේ අනුසස්- Offering of Rice porridge: කැඳබත් අවුසදයක් යයි බුදුන් වහන්සේ වදාළහ, එම දානයේ දීමේ අනුසස් 10 ක්වේ: කැඳබත් දෙන තැනැත්තා 1) ආයුෂ දෙයි 2) වර්ණය දෙයි 3) සැපය දෙයි 4) බලය දෙයි 5) නුවණ දෙයි 6) පානය කළ කැඳ බඩගිනි නසයි 7) පිපාසාව දුරු කරයි 8) වාතය අනුලොම් කරයි 9) වස්තිය පිරිසිදු කරයි 10) නොපැසි ඉතිරිවූ (කුසේ) අහාර පැසවයි. මිනිස් සම්පත් හෝ දෙව් සම්පත් ලබනු කැමැත්තා නිති කැඳ දන්දීම සුදුසුය. මූලාශ්‍රය:වින.පි: මහා වග්ග පාළි 2 , පි 56.

▼ දානයේ අනුසස්: උතුමන්ට, සතුටු සිතින් දාන පිරිනැමීම නිසා අනුසස්- පින් ඇතිවෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. ම.නි: දක‍්ඛිණාවිභංග සූත්‍රයේ, දානය පිරිනැමීමේ අනුසස් විස්තරාත්මකව දක්වා ඇත. දානය දෙන තැනත්තා, ප්‍රතිග්‍රාහකයාට (ලබන තැනැත්තාට) කරුණු 5 ක් දෙයි: ආයුෂ, ශරීර වර්ණය, සැපය (කායික හා මානසික), බලය (ශක්තිය) හා ප්‍රතිභානය (නුවණ).

“ආයුං දෙති, වණ‍්ණං දෙති, සුඛං දෙති, බලං දෙති, පටිභාණං දෙති” ( One gives life, beauty, happiness, strength, and discernment)

යහපත් සිතින් දානය දෙන පුද්ගලයන්හට: මෙලොව හා පරලොව සැප ලැබේ, දීර්ඝ ආයුෂ හා කීර්තිය ලැබේ. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත:5.1.4.7 භෝජන සූත්‍රය, පි.86, EAN: 5: 37.7 Food, p. 249.

▼ යහපත් සිතෙන් දෙන දානයේ යහපත් විපාක මෙලොව මෙන්ම පරලොවදී ද විඳීමට හැකිවේ. බලන්න: පින්දීම. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත:10.4.2.11 ජාණුස්සොණි සූත්‍රය, පි. 518, EAN:10: Jāṇussoṇī,177.11, p.554.

▼ යහපත් ලෙසින් දෙන දානය නිසා යහපත් උත්පත්ති -දානුපත්ති 8 ක් ලැබීම මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (5): 8 නිපාත:දානවග්ග: 8.1.4.5 දානුපත්ති සූත්‍රය, පි.178.

▼ දානයේ අනුසස් 5 ක්: 1) බොහෝදෙනාට ප්‍රියවීම 2) සත්පුරුෂ ආශ්‍රය ලැබීම 3) පන්සිල් නොකඩා සිටිමට හැකිවීම 4) කිර්තිය පැතිරීම 5) මරණින් මතු ස්වර්ගයේ උපත ලැබීම. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත:5.1.4.5 දානආනිසංස සූත්‍රය, පි. 84, EAN:5: 35.5 The Benefits of giving, p. 249.

▼ බ්‍රහ්මචාරින්ට දන් පිරිනැමීම: බුදුන් වහන්සේ ඇතුළු සංඝයාට, සුනිධ හා වස්සකාර යන අජාසත් රජුගේ, මහා ඇමතියන් විසින් දෙනලද දාන යේ අනුසස්, බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත:

“යම් පෙදෙසක පණ්ඩිත අය වාසය කරනවිට, ඔවුන් සිල්වත්වූ බ්‍රහ්මචාරින් හට දන් දී, එහි සිටින යම් දෙවිවරුනට පිං පුදයි. ඒ පින් ලද දෙවියෝ ඔවුනට බුහුමන් කරති. මවකු තම ඇකයෙහි සිටින පුතුට මෙන් දෙවියන් ඔවුනට අනුකම්පා කරති. එලස දෙවියන්ගේ දයාව ලත් ඔවුන්හට සැම කල්හිම යහපත ඇතිවේ”. මූලාශ්‍ර: වින.පි: මහාවග්ග 2: පි 70 හා දීඝ.නි: (2): මහාපරිනිර්වාන සූත්‍රය, පි.156, EDN : 16 Maha parinibbana Sutta, p 175.

▼ සංඝයාට දන්දීම: එක්සමයක, විසාඛා සිටුදුව-විසඛා මහා උපාසිකාව, ආහාර දාන, කැඳ දාන, වස්ත්‍ර දාන සංඝයාට පුජාකිරීමට අවසර ලබාගත් අවස්ථාවේ, බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“සුගතයන්වහන්සේගේ ශිල සම්පන්නවූ යම් ශ්‍රාවිකාවක් ප්‍රමුදිතව ආහාර පාන දේද, මසුරුමල මැඩ ස්වර්ගයට හිතවු, ශෝක දුරු කරන්නාවූ, සුව එලවන්නාවූ දන් දේද, ඕ තෝමෝ දිව්‍යමය ආයුෂ (පරලොවදී) ලබයි. පහවූ රාගාදී රජස් ඇති, පව් නැති මාර්ගයට පැමිණ, පින් කැමති ඕ තොමෝ සුවපත්ව රෝග රහිතව ස්වර්ග ලෝකයෙහි බොහෝ කලක් සතුටු වෙයි”. මූලාශ්‍රය:වින.පි: මහාවග්ග 2: පි. 214.

▼ දෙවියන් දාන වර්ණනා කිරීම: එක්සමයක සතුල්ලප්කායික දෙවිවරු සමුහයක්, බුදුන් වහන්සේ වෙත පැමිණ දානය පිරිනැමීමේ අනුසස් පැවසුහ: 1) පින් කැමති අය දන්දීම මැනවි 2) ස්වල්පයක් ඇති කල්හිද දීම මැනවි 3) ශ්‍රද්ධාවෙන් දෙන දානය මැනවි 4) දැහැමින් ලත් දෙයක් ආරියන්හට දීම මැනවි 5) දීමට සුදුසු අය තෝරාගෙන දීම මැනවි 6) දනය දීමේදී ප්‍රාණඝාතයෙන් වැලකිම මැනවි. ඒ දෙවිවරුන්ගේ ප්‍රකාශ මානාව පවසන ලදබව පැවසු බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“ සැදැහැයෙන් දෙන දානය නන් අයුරින් පසසන ලදී. දානයට වඩා ධර්ම පදය හෙවත් ‘නිවන’ ශ්‍රේෂ්ඨය. පෙරද, ඉතා පෙරද, නුවණැති සත්පුරුෂයෝ නිවනම අවබෝධ කලාහුය”. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: සාධු සූත්‍රය. පි. 64, ESN: 1 Devatha samyutta: 33.3 Good, p 100.

▼ දන් දීම හා නොදීම: එක්සමයක සතුල්ලප්කායික දෙවිවරු සමුහයක් බුදුන් වහන්සේ බැහැදැක දානය නොදීම හා දීම පිලිබඳ ගුණ හා අගුණ පැවසුහ: 1) මසුරුකම හා අප්‍රමාදය නිසා කෙනෙක් දන් නොදේ, පින් කැමති අය දන් දියයුතුය. 2) දන් දීමනිසා -තමන් දුගිබවට පත්වේ, බඩගින්න හා පිපාස දුක ඇතිවෙය- යන බියෙන් මසුරු පුද්ගලයා දන් නොදේ. ඒහෙත්, නොදෙන නිසා ඔහුට මෙලොවද පරලොවද බඩගින්න හා පිපාස දුක ඇතිවේ. 3) මසුරුකම දුරුකොට දන් දෙන්නේනම් මෙලොවද, පරලොවද යහපත් විපාක විඳීමට හැකිවේ. 4) සමහර මිනිසුන් තමනට ස්වල්පයක් තිබුනද, තමාසමග සිටින අය සමග ඒදේ බෙදාගනී-බෙදාදී වැළඳීම, එය පැරණි චාරිත්‍රයකි. ඔවුන් මසුරුකමින් මියගිය මිසුන් අතර නොමළ මිනිසුන්ය. සටහන: අටුවාවට අනුව මසුරුමිනිසුන් තමන් සතුදේ බෙදාහදා නොගන්නා නිසා එම දේ මැරුන දේ වැනිය. බලන්න: ESN: note 64, p. 510. 5) බොහෝසම්පත් ඇති සමහර මිනිසුන් දන් නොදේ, එහෙත් දුප්පත් මිනිසා තමනට ඇති දෙයින් දන් දේ, එවැනි දානය, දහස් ගුණයකින් වටින්නේය. 6) ස්වල්පයක් ඇතිකළ දීම දුෂ්කරවුවද සත්පුරුෂයා යහපත් දේ කරයි, එහෙත්, අසත්පුරුෂයා එසේ නොකරයි. සත්පුරුෂයා සුගතියේ උපත ලබයි, අසත් පුරුෂයා දුගතියට යයි. බුදුන් වහන්සේ දෙවියන්ගේ ප්‍රකාශ අනුමතකර මෙසේ වදාළහ:

“යමෙක් දුකසේ උපයා ගන්නා දෙයින් තම පවුල නඩත්තුකර, ස්වල්ප දෙයින් වුවද දන්දෙමින් දහමේ හැසිරේ. ඒ දුගී මිනිසාගේ දානයේ අගය, ධනවත් කෙනෙකුගේ මහා දානයකට වඩා දසදහස් ගුණයකින් වැඩිය”. ධනවතා දහස්ගණන් වැය කර දෙන දානය දුගියාගේ දනය තරම් අගය නොවීමට හේතුව කුමක්ද? යයි දෙවියෙක් බුදුන් වහන්සේ විමසුවිට උන්වහන්සේ මෙසේ වදාළහ: “ කෙනෙක් අධර්මයෙන් වෙනත් අය පෙලා, දඬුවම්කර, ඔවුනට දුක ඇතිකර දෙන මහා දානය ‘දැහෙමින් සෙමින්’ කළ දානයේ’ (දැහැමිදානය) නො ගැනෙන්නේ එය අධාර්මික දානයක් (අදැහැමි දානය) නිසාය” සටහන: ‘දැහෙමින් සෙමින් කළදානය’: ධාර්මිකව, තමන් සතු ස්වල්පදෙයින්, ධාර්මිකව දෙන දානයවේ. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.4.2 මචඡරි සූත්‍රය, පි. 62, ESN: Devatasamyutta: 32.2 Stinginess, p. 97.

▼ ධර්මදානය අග්‍රය: බුදුන් වහන්සේ, දාන අතුරින් ධර්මය තකා දෙන දාන අග්‍ර යයි වදාළහ.බලන්න: අග්‍ර ධර්ම දාන.

▼ මනාප දේ දන්දීම: එක් සමයක, විසල්පුරවැසි උග්ග ගෘහපති, ඔහු කැමති ආහාර ආදිය දේ බුදුන් වහන්සේට සතුටු සිතින් පිළිගැන්වුහ. එම පුණ්‍යකර්මය නිසා මරණින් මතු දෙව්ලොව උපත ලැබුහ. සටහන: දෙව්ලොව උපත ලබා, බුදුන් වහන්සේ වෙත පැමිණ තමන් මනාප දේ පුජා කළ නිසා තමන් මනාපවු දෙව්සැප ලැබූ බව පැවසුහ. බලන්න: උපග්‍රන්ථය:3. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.1.5.4 මනාපදායි සූත්‍රය, පි. 98, EAN:5: 44.4 The Giver of the Agreeable, p. 252.

▼ ආමිෂ දානය හා ධර්ම දානය: ආමිෂ දානය හා ධර්ම දානය අතුරින් ධර්ම දනය අග්‍රයයි බුදුන් වහන්සේ වදාළහ.බලන්න: අග්‍රදාන. මූලාශ්‍ර:ඛු.නි: ඉතිවුත්තක: 3.5.9 දාන සූත්‍රය, පි. 480.

▼ ආරියන්ට දානය පිරිනැමීම: ආරියන්: සේඛ හා අසේඛ උතුමන්ට දානය දීම මහත් ඵල මහා ආනිසංස ලැබීමට හේතුවන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: දක‍්ඛිණා. සිල්වත්, පහකළ රාගය ඇති යහපත් පුද්ගලයන්, ආරියන්ට දෙන දාන නිසා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල යලි උපත ලැබෙන අන්දම අංගු.නි: 8 නිපාත, දානවග්යේ විස්තරාත්මකව පෙන්වා ඇත. සරුබිමක වැපිරු බිජ නිසා සරු අස්වැන්නක් ලැබේ, එලෙස, ආරිය අටමග පරිපුර්ණ කරගත් ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමන්ට දන්දීම මහත් ඵලයක් මහා ආනිසංස ලැබීමට හේතුවේ. බලන්න" බීජ උපමාව්: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: අංගු.නි: ( 5): 8 නිපාත: 8.1.4.4 ඛෙත්තූපම සූත්‍රය, පි. 174, EAN:8: 34.4 The Field, p. 430.

▼ සංඝ දානය බුදුන් වහන්සේ ප්‍රමුකකොටගෙන සංඝයාට පිරිනමන දානයය. බලන්න: සංඝ දානය.

▼ මළවුන් අනුස්මරණ දාන: මළවුන් අනුස්මරණය කිරීමට දෙන දානයේ යහපත් විපාක ඇත. බලන්න: මළවුන් අනුස්මරණය.

▼ සත්පුරුෂයන්ගේ දානය: ශ්‍රද්ධාව, හිරිඔතප්ප හා කුසල සිත ඇතිව සත්පුරුෂයන් දෙන දාන නිසා ඔවුන්ට දෙව්ලොව සැප ලැබේ. බුදුන් වහන්සේ සත්පුරුෂ දාන 8ක් පෙන්වා ඇත: 1) පිරිසුදු දේ දෙයි 2)ප්‍රණීත දේ දෙයි 3) සුදුසුකල දෙයි 4) කැප දේ දෙයි 5) පරික්ෂා කර දෙයි 6) නිරතුරුවම දෙයි 7) පහන් සිතින් දෙයි 8) සතුටු සිතින් දෙයි. මූලාශ්‍ර: අංගු.නි: ( 5): 8 නිපාත: 8.1.4.2 ද්විතිය දාන සූත්‍රය, පි.172 හා 8.1.4.7 සප්පුරිස දාන සූත්‍රය, පි. 186 , EAN:8: 32.2 Giving, p. 430 & 37.7 Good person’s gift, p. 432.

▼ බෙදාදී වැළඳීම: බෙදාදී ආහාර වැළඳීම බොහෝ අනුසස් ගෙනෙදෙන බව බුදුන් වහන්සේ මේ සූත්‍රයේ දී පෙන්වා ඇත. මූලාශ්‍රය : ඛු.නි: ඉතිවුත්තක: 1.3.6 දානසංවිභාග සූත්‍රය, පි. 372.

▼ දැහැමිදානය අග්‍රයයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: අග්‍ර දැහැමිදානය.

▼ යහපත් ගුණ ඇති උපාසක/උපාසිකා දානශිලිය. බලන්න: ගිහිඋපාසක උපාසිකා.

▼ කාලදානය: කාලදානය ලෙසින් පෙන්වා ඇත්තේ සුදුසු අවස්ථාවේ තෑගි, දාන ආදිය පිරිනැමීමය: 1) ආගන්තුකයන්ට දීම 2) චාරිකාවක යන අයට දීම 3) ගිලන් අයට දීම 4) සාගත කාලයෙහි දීම 5) තමන් ගේ වතුපිටිවලින් ලැබුණ ධාන්‍ය, පලතුරු ආදී වූ පළමු අස්වැන්න අන්‍යයන් හා බෙදාගැනීම. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.1.4.6 කාලදාන සූත්‍රය, පි. 84, EAN:5: 36.6 Timely, p. 249.

▲ දන්ඩපාණි ශාක්‍ය-Dandapaani Sakkya: බුදුන් වහන්සේ, කපිල්වත්තු නුවර, මහා වනයේ වැඩසිටින අවස්ථාවක, දන්ඩපාණි සාක්‍යයන්, බුදුන් වහන්සේගෙන්, එතුමන්ගේ වාදය-ඉගැන්වීම පිලිබඳ විමසුහ. බලන්න: බුදුන්වහන්සේ. ඒ විමසීම, මධුපිණ්ඩික සූත්‍රය දේශනා කිරීමට හේතුව විය. සටහන: අටුවාවට අනුව ඔහු, දේවදත්ත භික්ෂුවගේ පක්‍ෂය ගත් කෙනෙකි. තරුණයෙක් වුවද, ඔහු රන් හැරමිටික් ඇතිව, ව්‍යායාම පිණිස වනයේ ඇවිදියි. බලන්න:EMN: note: 226, p.1085. බලන්න: ම.නි: මධුපිණ්ඩික සූත්‍රය.

▲ දාන්ත- Tamed: දාන්ත- දමනය ලෙසින් පෙන්වා ඇත්තේ, සිත ධර්මයේ දමනය වීමය. දැමුණු සිත මහා අර්ථය පිණිස පවතී යයි බුදුන් වහන්සේ වදාළහ. අදාන්ත වග්ගයේ මේ පිළිබඳව විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: ( 1 ): 1 නිපාත: 4 අදන්ත වග්ග: පි. 50, EAN:1 : IV Untamed. p. 38.

▼ බුදුන් වහන්සේ ශ්‍රාවකයන් දමනය කරන ආකාරය- ක්‍රමානුකූල පුහුණුව අනුව, මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. මැනවින් දමනය කරන ලද හස්තියෙක් සුවිනීතවන ලෙසින්, එම පුහුණුව යහපත් ලෙසින් පිළිපදින මහණ, තරුණ හෝ වේවා, මධ්‍යම වයසේ හෝ වේවා, මහලුවියේ හෝ වේවා, ක්ෂීණාශ්‍රව ලබා, දාන්තව, කාලක්‍රියා කරන්නේය යයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍රය: ම.නි: (3) 3.3.5 දන්තභුමි සූත්‍රය, පි.320.

▲ ද්‍රෝන බ්‍රාහමණ-Brahmin Doṇa: බලන්න: උප ග්‍රන්ථය:3

දණ

▲ දණ්ඩ-Punishment: දණ්ඩ යනු ලීය-පොල්ල, මුගුර වැනි අවියකි. අනුන්ට ගැසීමට භාවිතා කරන ආයුධයක්ය. අනුන්ට දඬුවම් කිරීම වධ හිංසා කිරීමද දණ්ඩ ලෙසින් පෙන්වා ඇත. කෙනෙක් යම්කිසි අපරාධයක්, වැරද්දක් කළවිට රටේ පාලකයන් හෝ සමාජය විසින් ඒ පුද්ගලයාට නිසි දඬුවම් පමුණුවයි. ඇතැම් අවස්ථාවල බලවත් මිනිසුන්, නිරපරාදේ බලහින මිනිසුන්ට දඬුවම් හිංසා කරයි. ඒවා අකුසල කර්මවේ, අයහපත් විපාක ඇති කරයි. ධම්ම පදයේ: දණ්ඩ වග්ගයේ: රහතන්වහන්සේ හැර සෙසු සියලු සත්ත්‍වයෝ (මිනිසුන් මෙන්ම තිරිසන් සතුන්ද) දණ්ඩනයට බිය බව දක්වා ඇත. තමන් දඬුවම්වලට බිය නිසා, වෙනත් අයද දඬුවම්වලට බියනිසා වධ හිංසා නොකළ යුතුවේ. එසේ හිංසා පිඩා කරන අය, නිවන් සුවය ලබන්නේ නැත, ඔවුන් අපායගාමිය. විස්තර පිණිස බලන්න: ධම්මපදය: දණ්ඩවග්ග.

▼ සසර බිය පෙන්වීම පිණිස බුදුන් වහන්සේ දණ්ඩ උපමාව යොදාගෙන ඇත. උඩට විසිකළ දණ්ඩ, බිමට පතිත වන ආකාරය වරින් වරට වෙනස්වේ. යම් අවස්ථාවක මුලින් වැටේ, සමහර විටක අගින් වැටේ. එලෙස දීර්ඝ සසරේ ගමන් කරන සත්ත්‍වයෝ වරක මෙලොවින් පරලොවට යයි, වරක පරලොවින් මෙලොවට පැමිණේ. සටහන: මේ උපමාව: සංයු.නි: මහාවග්ග:සච්චසංයුත්තයේ:සිංසපාවග්ගයේ: දණ්ඩසූත්‍රයේ ද දක්වාඇත.බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර:සංයු.නි (2): නිදානවග්ග: අන්මතග්ගසංයුත්ත:3.1.9 දණ්ඩ සූත්‍රය, පි. 306,ESN:15: Anamataggasamyutta:9.9. The stick, p. 795.

▼ දණ්ඩ භාවිතා කරමින් සතුන්ට හිංසා කිරීම දුගතියේ කම්ම විපාක ලැබීමට හේතුවන බව බුදුන් වහන්සේ වදාළහ. එසේ හිංසා නොකරන අයට (දඬු මුගුරු නොගන්නා අය) සුගතියේ සැප කම්ම විපාක ලැබේ. සටහන:මේ සූත්‍රයට මුලික වි ඇත්තේ, නයෙකුට හිංසා කරන දරුවන් පිරිසක් සම්බන්ධවය. මූලාශ්‍ර:ඛු.නි:උදානපාලිය:2.3 දණ්ඩ සූත්‍රය, පි.178.

දප

▲ දීප්තිමත් කම්ම- Bright kamma: දීප්තිමත් කම්ම ලෙසින් පෙන්වා ඇත්තේ යහපත් කුසල විපාක ඇතිකරන ක්‍රියාය. මේවා සුදුකම්ම ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: කම්ම.

▲ දීප්තිමත් ධම්ම- Bright Dhamma: හිරි ඔත්තප්ප යන ධර්මතා දීප්තිමත් ධම්ම යයි පෙන්වා ඇත. බලන්න: හිරි ඔත්තප්ප.

▲ දීප්තිමත් මග හා අඳුරු මග: පාලි: සුකකමගග-කණහමගග- bright path & dark path: ධර්මයට අනුව දීප්තිමත් මග කුසල මගය, අඳුරු මග අකුසල මගය. දීප්තිමත් මග ලෙසින් බුදුන්වහන්සේ පෙන්වා ඇත්තේ සම්මා දිට්ඨිය පෙරමුණ කරගත් ධර්මතා 10යය. අඳුරු මග නම් මිථ්‍යා දිට්ඨිය පෙරමුන කරගත් ධර්මතා 10යය. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාතය:10.3.5.2 සුක්ක මග්ග සූත්‍රය, පි. 474, EAN:10: Noble,p. 548.

▼ දීප්තිමත් මග -ශුක්ලමග- සුදු මග ලෙසින් ද හඳුන්වයි, දසකුසලයේ යෙදීම ඒ මගය. අඳුරු මග: කණ්හමග්ග - කෘෂ්ණ මග ලෙසින් ද හඳුන්වයි, දසඅකුසලයේ යෙදීම ඒ මගය. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත:10.4.4.2 කණ්හමග්ග සූත්‍රය, පි. 536, EAN:10: 190-2 bright path, p. 556.

▲ දීපය- An Island: දීපය ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ නිවනය. දීපයට යන මග අරිය අටමගය. මූලාශ්‍ර: සංයු.නි: (4 ): සලායතනවග්ග: අසංඛතසංයුත්ත: 9.2-සූත්‍රය, පි. 689, ESN: 43: Asankathasamyutta: 14.3 sutta, p. 1513.

▼ බුදුන් වහන්සේ සංඝයාට අවවාද කර ඇත්තේ දීපයක් ලෙසින් තමා සරණ කොටගෙන, වෙනත් සරණක් නොමැතිව, ධර්මය, දීපය ලෙසින් ගෙන, ධර්මය, සරණය කොටගෙන ජිවත්වෙන ලෙසය. එසේ ජීවත්වීම පිණිස, සතර සතිපට්ඨානයට අනුව කටයුතු කලයුතු බව, බුදුන් වහන්සේ පෙන්වා ඇත.

“ එවං ඛො ආනන්‍ද, භික‍්ඛු අත‍්තදීපො විහරති අත‍්තසරණො අනඤ‍්ඤාසරණො, ධම‍්මදීපො ධම‍්මසරණො අනඤ‍්ඤාසරණො...” (Therefore, Ananda, you should live as islands unto yourselves, being your own refuge, with one else as your refuge, with the Dhamma as an island, with the Dhamma as your refuge, with no other refuge). මූලාශ්‍ර: දීඝ.නි: (2): 3 මහාපරිනිබ්බාන සූත්‍රය, පි. 126, ඡෙදය-52, EDN: 16 Mahāparinibbāna Sutta: The Great Passing , p. 171, para 2.26, සංයු.නි: ඛන්ධසංයුත්ත: 1.1.5.1 අත්තදීප සූත්‍රය, පි.104, ESN: 22:Khandasamyutta: 43.1 Wirth yourselves as an Island, p. 1031.

▲ දීපංකර බුදුන්වහන්සේ - Buddha Dipankara: දීපංකර බුදුන්වහන්සේ වෙතින් සුමේධ තාපසයෝ (ගෝතම බුදුන්වහන්සේ), මතු බුද්ධත්වය පතා විවරණ ගැනීම මෙහි විස්තරාත්මකව දක්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි: බුද්ධවංස පාලි: 1 දීපංකරබුද්ධවංසො, පි.81.

▲ දුප‍්පඤ‍්ඤ - Unwise: දුප‍්පඤ‍්ඤ යනු අනුවණ බව- ප්‍රඥාව දුබල බවය. සප්ත බොජ්ඣංග ධර්මයන් වර්ධනය නොකරගැනීම නිසා කෙනක් අනුවණවේ. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: බොජ්ඣංග සංයුත්ත: 2.5.4 දුප‍්පඤ‍්ඤ සූත්‍රය, පි. 226,ESN: 46: Bojjanghasamyutta: 44.4 Unwise, p. 1780.

▲ දුප‍්පටිවිනොදය- Hard to dispel: දුප‍්පටිවිනොදය ලෙසින් පෙන්වා ඇත්තේ, වරක් ඇතිවූ පසු හැරදැමීමට අපහසු දේය. ධර්මයේ හැරදැමීමට අපහසු කරුනු ලෙසින් පෙන්වා ඇත්තේ: රාගය, දෝසය, මෝහය, ප්‍රතිභානය - අවබෝධය හා ගමික චිත්තය (සංචාරය-ගමන් යෑමට ඇති තද ආශාව). (once arisen, are hard to dispel: Lust, Hatred, Delusion,Discernment ,The urge to travel). මූලාශ්‍ර: අංගු.නි: ( 3): 5 නිපාත: 5.4.1.10 දුප‍්පටිවිනොදය සූත්‍රය, පි. 322, EAN:5: 160.10 Hard to dispel, p. 289.

▲ දෙපිටකාට්ටු- duplicity: දෙපිටකාට්ටු බව- වංචාසහගත බව-කුහනං ලෙසින්ද පෙන්වා ඇත. අව ගුණයක්වූ මේ කරුණ පහ නොකර උත්තරීමනුස්සධම්ම ලෙසින් පෙන්වා ඇත්තේ ආරියභාවය ලබාගැනීමට නොහැකිය. මූලාශ්‍ර: අංගුනි: (4): 6 නිපාත: අරහත්වග්ග: 6.2.3.3 උත්තරීමනුස්සධම්ම සූත්‍රය, පි.254, EAN:6: 77.3 Superior, p.360.

▲ දෙපත් කියත- double edge Saw: බුදුන් වහන්සේ අනුගමනය කරන පිරිස තරහ නොගෙන වාසය කලයුතු අන්දම පෙන්වීම් පිණිස මේ දෙපත් කියත උපමාව පෙන්වා ඇත. බලන්න: කකචූපම උපමාව-උපග්‍රන්ථය:5

දබ

▲ දබ්බමල්ල පුත්ත තෙර- Dabbamalla Thera:බලන්න: උපග්‍රන්ථය:1

▲ දිබ්බචක්ඛු ඥාණය- divine eye element: දිබ්බ චක්ඛු හෙවත් දිවැස්, විශිෂ්ඨ ඥාන (අභිඥා) 6 න්එකකි. මිනිස් ඇස ඉක්මවා ගිය තැන් බැලීමට හැකි බලයකි. චුතුප්පාතඤාණය-චුතිඋත්පත්ති නුවණ ලෙසින්ද පෙන්වා ඇත. මෙය බුදුවරු සතු දසබල ඥානයෙන් එකකි. සත්ත්‍වයෝ ඔවුන් කළ කුසල හෝ අකුසල කර්මයන්ගේ විපාක වශයෙන්, සුගතියේ හෝ දුගතියේ යළි උපතලබති: පහත් හෝ උසස් ස්ථානවල, රූපිව හෝ අරූපීව, වාසනාවන්තව හෝ අවාසනාවන්තව උපත් ලබන අන්දම බුදුන් වහන්සේ ඒ ආකාරයෙන්ම (තත්වාකාරයෙන්ම) දකී. බුදුන් වහන්සේට, විශ්වයම දැකිය හැක්කේ දිවැස් නිසාය. සටහන්: * ම.නි: මහාසකුලදායි සූත්‍රයේ බුදුන් වහන්සේ, තම ශ්‍රාවකයන්ට දිවැස් ලබාගැනීම පිණිස උපදෙස් දෙන බව පෙන්වා ඇත. ** The divine eye (dibbacakkhu) is the ability to see objects at remote distances, including distant world systems; to see other realms of existence; and to see beings dying and being reborn in accordance with their kamma. බලන්න: EAN, note no 78, p. 584. ** විස්තර පිණිස බලන්න: සංයු.නි. (5-2) ඉද්දිපාද සංයුත්තය හා පටිසම්භිදා 1: ඥානකතා: 54. දිව්‍යචක්ෂු ඥානය, පි. 238. ශබ්දකෝෂ: B.D: p. 3: “Divine eye: dibba chakkhu- he sees being vanishing and re-appearing, low & noble ones, beautiful & ugly…”

▼ සතර සතිපට්ඨානය වැඩු බැවින්, බහුල කළ බැවින්, තමන් වහන්සේට දිවැස් ලැබූ බව අනුරුද්ධ තෙරුන් පෙන්වා ඇත. සටහන: බුදුන් වහන්සේගේ දිවැස් ලැබූ ශ්‍රාවකයන් අතුරින් අනුරුද්ධ තෙරුන් අග්‍රය බලන්න: අග්‍ර ශ්‍රාවකයන්. මූලාශ්‍ර: සංයු.නි: ( 5-2): මහාවග්ග: අනුරුද්ධසංයුත්ත: 8.2.13 දිබ්බචක්ඛු සූත්‍රය, පි. 106 , ESN: Mahavagga: 52: Anuruddhasamyutta: 23.13 Divine Eye, p. 2135.

▲ දිබ්බසෝත ඥාණය- divine ear element: දිබ්බසෝත ඥාණය හෙවත් දිවකන, ඉද්දිපාද වඩා ගැනීමෙන් ලැබෙන ත්‍රිවිධ අභිඥා වලින් එකකි. දිවකණ ඇතිවිට ළඟක හෝ වේවා, දුරක හෝ වේවා ඇති කතා, ශබ්ද ඇසීමේ හැකියාව ලැබේ. සටහන්: * ම.නි: මහාසකුලදායි සූත්‍රයේ බුදුන් වහන්සේ, තම ශ්‍රාවකයන්ට දිවකන් ලබාගැනීම පිණිස උපදෙස් දෙන බව පෙන්වා ඇත. ** විස්තර පිණිස බලන්න: සංයු.නි. ඉද්දිපාද සංයුත්තය. ශබ්දකෝෂ: B.D: p. 3: “Divine ear: with the divine ear -dibbasota he hears sounds both heavenly and human, far and nearer”

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ මහණෙනි, මම යම් තාක් කැමති වේ නම්, ඒ තාක් විසුද්ධ වූ මිනිස් විෂය ඉක්මවා ඇති දිව කණින්, දිව්‍ය වූ, මිනිස්වූ, දුරවූ ළඟවූ ශබ්ද අසමි” ( Bhikkhus, to whatever extent I wish, with the divine ear element, which is purified and surpasses the human, I hear both kinds of sounds, the divine and human, those that are far as well as near...) මූලාශ්‍ර: සංයු.නි: ( 2): නිදානවග්ග: කස්සපසංයුත්ත: 4.1.9 ජාන අභිඥා සූත්‍රය, පි. 342, ESN: 16: Kassapa samyutta: 9 Jhānas and Direct Knowledges, p. 817.

▼ අනුරුද්ධ තෙරුන් මෙසේ වදාළහ: “...සතර සතිපට්ඨානය වැඩු බැවින්, බහුල කළ බැවින් මම මිනිස්බව ඉක්මවා පැවති විශුද්ධ වූ දිව්‍යමය ශ්‍රෝතධාතුවෙන් දුරවූද ලඟවූද දෙව් මිනිස් ශබ්ද අසමි...” මූලාශ්‍ර: සංයු.නි: ( 5-2): මහාවග්ග: අනුරුද්ධසංයුත්ත: 8.2.3 දිබ්බසෝත සූත්‍රය, පි. 102, ESN:Mahavagga: 52: Anuruddhasamyutta: 13.3 Divine Ear, p. 2126.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “ ඒ යොගාවචර භික්ෂුව... චතුධ්‍යාන සමාධින් සමාධිමත් වූ කල්හි... පිරිසුදු වූ, මිනිස් කන්හි ශබ්ද ඇසීමේ ශක්තිය ඉක්මා ඇති, දෙවියන්ගේ සෝතය වැනි හෙයින් දිබ්බසෝත යයි කියන නුවණ ලබයි. දිව්‍යමය වූ ද මනුෂ්‍යමය වූ ද ශබ්ද ඇසීම...”.සිංහල විශුද්ධීමාර්ගය: 13 පරිඡේදය: පි. 593.

▲ දුබ්බන්ණිය මිටියක්ෂයා-Ugly yakka: සක්දෙවිඳුගේ උතුම් ගුණයක් වන නොකිපෙන බව පෙන්වීමට, බුදුන් වහන්සේ මේ දේශනාව වදාළහ: “දුබ්බණිය (දුර්වර්ණවූ), මිටිවූ, එක්තරා යක්ෂයෙක්, සක්දෙවිඳුගේ අසුනේ වාඩිවී සිටියේය. ඒ බව දුටු තව්තිසා වැසි දෙවියෝ, ඔහුට දොස් පැවසුහ, අවමන් කළහ. දෙවියන් එසේ අවමන් කරනවිට යක්ෂයාගේ රූපය අලංකාර බවට පත්විය. එබව දුටු දෙවියෝ, පුදුමයට පත්ව සක්දෙවිඳුවෙත පැමිණ ‘ක්‍රෝධය බුදින’ යකෙක්, සක්දෙවිඳුගේ අසුනේ වාඩිවී සිටින බව සැලකළහ. අනතුරුව, ඒ යක්ෂයා ඉදිරියට පැමිණි සක්‍රදෙවි, ඔහුට නමස්කාර කර, ‘නිදුකානෙනි, මම සක්දෙවිඳු වෙමි’ යයි තෙවරක් පැවසිය. එසේ පවසනවිට, ඒ යක්ෂයා අතිශයෙන් දුර්වර්ණව, මිටිව අතුරුදහන්විය. ඉන්පසු, සක්දෙවිඳු තම අසුනේ වැඩසිට මෙසේ පැවසුහ: “...මම නොගැටුණු සිත් ඇත්තෙමි, නො කිපෙමි, මා කෙරහි ක්‍රෝධය නො පිහිටයි”. සටහන්: * සක්දෙවිඳුගේ ආසනය ‘පාණ්ඩුකම්බල ශෛලාසනය’ වේ. අටුවාවට අනුව, බ්‍රහ්මදෙවිකෙනක්, සක්දෙවිඳු ගේ ඉවසීම ගැන අසා, ඒ බව පරික්ෂා කිරීම පිණිස, දුර්වර්ණ යක්ෂයෙක් ලෙසින් එහි පැමිණියහ. මූලාශ්‍ර:සංයු.නි: (1): සගාථවග්ග: සක්ඛසංයුත්ත:11.3.2 දුබ්බන්ණිය සූත්‍රය,පි.448, ESN: 11: Sakkasamyutta:22.2 Ugly, p. 494.

දඹ

▲ දඹදිව: පාලි: ජම‍්බුදීප- Jambudipa- India: බුදුසමයේ, වර්තමාන ඉන්දියාව හැඳින්වූවේ දඹදිව ලෙසින්ය (ජම්බුද්වීපය- Rose-Apple Continent), දඹනම්වූ පලතුරුගස් බොහොමයක් පැවති නිසා ජම්බුදීපය යයි කියයි. බුදුන් වහන්සේ උපත ලැබූවේ මේ රටේය. එවක, මහාදීප 4 ක් ගැන දක්වා තිබේ. දකුණු මහාදීපය, ජම්බුද්වීපය ලෙසින්ද, බටහිරින් පිහිටි මහාදීපය අපරගොයාන ලෙසින්ද, උතූරේ පිහිටි මහාදීපය උත්තරකුරු ලෙසින්ද, නැගෙනහිරින් පිහිටි මහාදීපය පුබ්බවිදේහ ලෙසින්ද සඳහන්වේ. අටුවාවට අනුව හිමාල කඳු අසල මහා විශාල ජම්බු ගස් නිසා, ජම්බුද්වීපය ලෙසින් හඳුන්වා ඇත. බලන්න: EAN: Note: 183, p. 589, ජම්බුදිපය.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ:“...මේ දඹදිව ආරණ්‍ය, වන, බිම් පොකුණු රමණියය, අල්පය. කඳු, බැවුම්, ගංගා, කටු හා ලඳු බිම්, රළු උස් බිම් බොහෝය...”. සටහන: දඹදිව පිලිබඳ විස්තර පිණිස බලන්න: අංගු.නි: (1) :1 නිපාත: ජම්බුද්වීපපෙය්‍යාලවග්ග. මූලාශ්‍ර: අංගු.නි: (1) : 1 නිපාත: ජම්බුද්වීපපෙය්‍යාලය: 1.16.4.1 සූත්‍රය, පි. 11, EAN: 1: Jambudīpa Repetition Series, 333.1, p. 49.

▼ බුදුසමයේ දඹදිව පැවතී ගණිත ක්‍රමය: 1) එක කෝටිය=දස ලක්‍ෂ 10කි 2) එක් කෝටි ඒවා කෝටියක් = එක ප්‍රකෝටියකි. 3) ප්‍රකෝටි ඒවා කෝටියක්= කෝටිප්‍රකෝටියකි 4) කෝටිප්‍රකෝටි ඒවා කෝටියක්= එක නහුත යකි 5) නහුත කෝටියක්= නින්නාහුත එකකි 6) නින්නාහුත කෝටියක් = එක් අබ්බුද යකි 7) අබ්බුද 20ක් = එක නිබ්බුද යකි. බලන්න:EAN:note: 2115, p. 682. සටහන: බුදුන් වහන්සේ එම ගණිත ක්‍රමය පෙන්වා ඇත්තේකෝකාලික භික්ෂුවට නිරයේ විඳීමට ඇති දීර්ඝ කාලය පෙන්වාදීමටය. මූලාශ්‍ර: අංගු.නි:(6):10 නිපාත: ථෙර වග්ග, 10.2.4.9. කොකාලික සූත්‍රය,පි.331, EAN:10: The Elders: 89.9. Kokalika, p. 530.

දම

▲ දුම-Smoke: ගින්නට සලකුණ-සංකේතය දුමය. බලන්න: සංකේතය.

▲ දෝමනස්ස ඉන්ද්‍රිය-Domanassa indriya: සිතට සුවයක් නොදැන, සැප ඇති නොකරන, යම් පහසක් නිසා සිතට ඇතිවෙන දුක් වේදනාව දෝමනස්ස ඉන්ද්‍රියවේ. මෙය ඉන්ද්‍රිය 22න් එකකි. බලන්න: ඉන්ද්‍රිය.

දය

▲ දයාව-Dayawa: දයාව, අන්‍යයන් කෙරෙහි ඇති අනුකම්පාව දයාව ලෙසින් පෙන්වා ඇත. සතර බ්‍රහ්මවිහරණයක් වන කරුණාව, දයාව ලෙසින්ද හඳුන්වයි. බලන්න:කරුණාව.

▲ දායකයා- Dayakaya: බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට, සිව්පස පිරිනමන, සේවාවන් කරන පුද්ගලයා දායකයාය. අනාථපිණ්ඩික සිටුවරයා, විශාකා මහා උපාසිකාව, වෙළුකන්ට නන්දමාතා උපාසිකාව, පසේනදී කෝසල රජ, සේනිය බිම්බිසාර රජ ආදීන් බුදුන් වහන්සේගේ අග්‍ර දායක පිරිස ලෙසින් සූත්‍ර පිටකයේ පෙන්වා ඇත. බලන්න: උප ග්‍රන්ථය:3. දායකයා ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ දානය පිරිනමන පුද්ගලයාය. ඔහුට, දානයට පෙරද, දන් දෙන අවස්ථාවේද, දානය පිරිනැමීමෙන් පසුවද සිතේ සොම්නස, සතුට, පහන්බව තිබීම මගින් දානය දීමේ කුසලය සම්පුර්ණවේ. බලන්න: සංඝදානය, දානය. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.1.4.7 ඡළාඬගදාන සූත්‍රය, පි. 112, EAN:6: 37.7 Giving, p. 332.

▲ දියනෑම-Bathing: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සමහර බ්‍රාහ්මණ නිකායන්, දිය නෑමේන් විසුද්ධිය ඇතිවේ යන දිට්ඨිය දැරුහ. බලන්න: ජල ස්නානය.

▲ දියබුබුල උපමාව-Similes of Water drop: බලන්න: උපග්‍රන්ථය:5

▲ දියේ ඇඳි ඉර උපමාව-Similes of drawing a line on the water: බලන්න: උපග්‍රන්ථය:5

දර

▲ දර්ශන අනුත්තර -unsurpassed sight: බුදුන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයන් දැකීම උතුම් දර්ශනයක් බව මෙහි පෙන්වා ඇත. එයට වඩා උතුම් දර්ශනයක් නොමැත. මූලාශ්‍ර: අංගු.නි: ( 4 ): 6 නිපාත: 6.1.3.10 අනුත්තරිය සූත්‍රය, පි. 92, EAN:6: 30.10 Unsurpassed Things, p. 329.

▲ දර්ශනවිසුද්ධි ඤාණය-Darshnavisuddhi nana: සියළු සංඛත අසංඛත ධර්මයන්ගේ ඒකසංග්‍රහත්වයද, කාමච්ඡන්ද ආදියේ නානත්වයද, නෙක්ඛ්ම්ම ආදියේ ඒකත්වය ද ප්‍රතිවේධ- අවබෝධ කිරීමේ ප්‍රඥාව දර්ශනවිසුද්ධි ඤාණය ය. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 40 දර්ශනවිසුද්ධි ඤාණය, පි.220.

▲ දාරුකම්මික ගහපති- Householder Darukammika: බලන්න: උපග්‍රන්ථය: 3.

▲ දාරුක්ඛන්ධ-large block of wood: දාරුක්ඛන්ධ යනු මහා දැවකඳක්ය. සැරියුත් තෙරුන්, මහා දැවකඳක් මුල් කරගෙන, ඉද්දිබල ඇති සිත වසඟයට පත්කරගත් භික්ෂුවක්, එම දැවකඳ සලකා බලන අයුරු පෙන්වා වදාළහ: (භික‍්ඛු ඉද‍්ධිමා චෙතසොවසිප‍්පත‍්තො- a bhikkhu possessing psychic potency who has attained mastery of mind). සටහන: එම දැවකඳ: සතර මහා ධාතු ලෙසින් (පඨවි ආදී), සුභ ලෙසින්, අසුභ ලෙසින් සැලකිය හැකිය. එම දැවකඳේ ඒ ලක්ෂන 6 ඇතුළත්ව තිබේ. මූලාශ්‍ර:අංගු.නි: (4 ): 6 නිපාත:6.1.4.11 දාරුක්ඛන්ධ සූත්‍රය, පි.120, EAN:6: 41.11 A block of wood, p. 334.

▼ දාරුක්ඛන්ධ උපමාව: එක්සමයක, බුදුන් වහන්සේ, අයෝධ්‍යා නුවර අසල, ගංගා නදී (ගංගානම් ගඟේ) ඉවුරේ වැඩවසන කල, ගඟේ පාවියන මහා දැවකඳක් උපමා කොට මේ සූත්‍රය වදාළහ. යම් බාධාවන්ට හසු නොවී යන්නේ නම්, ඒ දරකඳ මහා මුහුදටම පාවීයන්නේය. එයට හේතුව නම්, නදියේ සැඩපහර මුහුද වෙතට නැමී ඇති නිසාය. එලෙසින්, සම්මාදිට්ඨිය ඇතිවිට, වෙනත් බාධා වලට හසු නොවන්නේ නම්, ඒකාන්තයෙන්ම,නිවනට පැමිණෙන්නේය. එම ගමනේදී හසුවන බාධා -මාර්ගබාධා 8 උපමාවෙන් මෙසේ පෙන්වා ඇත: 1) ගඟේ මේ ඉවුරට ගසාගෙන ඒම: - සළායතන වලට හසුවීම වැනිය 2) ගඟේ එහා ඉවුරට ගසාගෙන ගසාගෙන යාම - බාහිර අරමුණු 6 ට (බාහිර ෂඩායතන) හසුවීම වැනිය. 3) ගඟ මැද කිමිදීම-නන්දිරාගයට හසුවීම වැනිය.4) පාවී යන්නේ නැතිව ගොඩට ගැසීම- අස්මිමානයට හසුවීම වැනිය. 5) පාවියන කොටය, මිනිසුන් ගැනීම- ගිහියන් හා බැඳීමට පත්වීම වැනිය 6) නො මිනිසුන් ගැනීම- දේවනිකායක් පතමින් මග බඹසර කිරීම වැනිය. 7) සුළියකට හසුවීම නිසා ගමන නතරවීම - පස්කම් සැපයට යටවීම වැනිය 8) පාවීයන්නේ නැතිව ගඟේ රඳා සිටීම නිසා කොටයේ ඇතුළත කුණුවීම- කෙළෙස්වලට යටවීම නිසා මග බඹසර අයහපත්වීම වැනිය. එ බාධා සැම ජය ගත්තේ නම් විමුක්තිය සටහන:* මේ සූත්‍රය අසා, අවබෝධය ලැබූ නන්ද නම් ගොපල්ලා, බුදුන් වහන්සේ වෙත පැවිදිව, අරහත්වයට පත්වූහ. ** දුතිය දාරුක්ඛන්ධ උපමා සූත්‍රයේදී, බුදුන් වහන්සේ කිම්බිල තේරුන්හට එම උපමාව විස්තර කර වදාළහ. එහිදී, භික්ෂුවගේ ඇතුළත කුණුවීම ලෙසින් පෙන්වා ඇත්තේ, යම් ඇවතකට පැමිණි මහණ, එම ඇවත පිරිසිදු නොකර වාසය කිරීමය.බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: (4 ): සළායතනවග්ග:වේදනා සංයුත්ත: 1.19.4 දාරුක්ඛන්ධ උපමා සූත්‍රය, පි.1.19.4,ESN:33: Vedanasamyutta:IV Vipers:241.4 The simile of the great log, p.1317.

▲ දරුණුබව-Dreadful: සංඝයාට ලැබෙන, ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා ආදිය, දරුණුයයි (දාරුණ) බුදුන් වහන්සේ පෙන්වා ඇත. ඒවා අරහත්වය ලැබීම වලක්වයි. එමනිසා, මාර්ගයේ පුහුණුවන සංඝයා, ලාභ ආදිය මගින් සිත වසඟ නොකරගෙන-යට නොකරගෙන වාසය කලයුතුවේ. සටහන:ලාභ යනු සිව්පසයය, සත්කාර (honor) යනු සම්මාන, ගෞරව ලැබීමය. මූලාශ්‍ර: සංයු.නි: ( 2): නිදානවග්ග: ලාභසත්කාර සංයුත්ත: දාරුණවග්ග: 5.1.1. දාරුණ සූත්‍රය, පි. 366, ESN:17: Labhasatkarasamyutta: 1.1 Dreaful, p.829.

▲ දුර්භාෂිතය-badly spoken speech: දුර්භාෂිතය යනු අයහපත් කතාවය, අකුසලයකි, කරුණු 5 ක් නිසා දුර්භාෂිතයක් වේ: 1) නුසුදුසු අවස්ථාවේ කතාකිරීම 2) අසත්‍ය කතා කිරීම 3) රළු වචන භාවිතය 4) අන්‍යන්ට අයහපත සැලසෙන ලෙස කතා කිරීම 5) ක්‍රෝධ සහගත කතා කිරීම. එවැනි කතාව, වැරදිය, ප්‍රඥාවන්තයන් ඒ ගැන දොස් පවසති. බලන්න: සුභාෂිතය. මූලාශ්‍රය: අංගු:නි: (3): 5 නිපාත: සොනවග්ග: 5.4.5.8 සුභාෂිත වාචා සූත්‍රය, පි.414.

▼ අසත්‍ය කතා කිරීම දුර්භාෂිතයකි. එය අලික ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: අලික. මූලාශ්‍රය: ඛු.නි:සුත්තනිපාත: 3-3- සුභාසිත සූත්‍රය, පි.150.

▲ දුර්ලභ දේ-Rare things: ලෝකයේ දුර්ලභ දේ ලෙසින් සලකනකරුණු 6කි: සම්මා සම්බුදුවරුන්ගේ පහළවීම, තථාගත ධර්මවිනය දේශනා කරන පුද්ගලයන් ඇතිවීම, ආරියආයතනය- ආරියන් පහළවන ප්‍රදේශයක ඉපදීමට ලැබීම, ඉන්ද්‍රිය අවිකාලභාවය-ඉන්ද්‍රිය විකලාංගනොවීම, (unimpaired faculties), බුද්ධිමත්බව හා නිපුනබව තිබීම, යහපත් ධර්මය පිණිස කැමැත්ත- කුසල ඡන්දය තිබීම. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.2.5.1 පාතූභාව සූත්‍රය, පි. 272, EAN:6: V: 96.1 Manifestation, p.362.

▼ ලෝකයේ ලබාගැනීමට දුර්ලභ ධර්මතා 10 ක් මෙහි පෙන්වා ඇත.බලන්න: ඉෂ්ඨධම්ම. මූලාශ්‍රය: අංගු.නි: (6) 10 නිපාත::10.2.8.3 ඉෂ්ඨධම්ම සූත්‍රය, පි.270.

▼ තථාගතයන් ලෝකයේ පහළවීම දුර්ලභ කරුණකි. බලන්න: තථාගතයන්වහන්සේ.

▼ යහපත් සෞඛ්‍යයය, ලෝකයේ ලබාගැනීමට දුර්ලභ දෙයකි. බලන්න: ආරෝග්‍ය.

▼ ලෝකයේ දුර්ලභ පුද්ගලයෝ තිදෙනෙකි:1) සෙසුඅයට උපකාර කිරීම පිණිස පළමුව ඉදිරිපත් වන තැනැත්තා- පුබබකාරී 2)කෘතඥ හා කෘතවේදී පුද්ගලයා- කෙළෙහිගුණ ඇති, ස්තුතිවන්ත තැනැත්තා (grateful & thankful) 3) තෘප්තිමත්- සංතෘප්ත පුද්ගලයා -තිතෙතා 4) තෘප්තිය සලසන -පමුණුවන පුද්ගලයා- තපෙපතා. සටහන්: * දුර්ලභ පුද්ගලයන් 2ක් ගැන මෙහිදී පෙන්වා ඇත; 1) තෘප්තිමත් (satisfied) බව ලැබූ තැනැත්තා හා අන්‍යන් තෘප්තිමත් කිරීමට කටයුතු කරන තැනැත්තා ලෝකයේ දුර්ලභය. මූලාශ්‍රය: අංගු.නි: (1) 2 නිපාතය,ආසාවග්ග: 2.3.11.2 සූත්‍රය,පි. 206.

▲ දුර්වචභාවය-Durvacahabhavaya: දුර්වචභාවය- දෝවචස්සතාවය නම් ධර්මයේ කීකරු නොවීමය. මෙය හානභාගිය ධර්මයකි.බලන්න: දෝවචස්සතාවය, හානභාගිය ධර්ම.

දල

▲ දෙලොව- Two worlds: මෙලොව හා පරලොව යන දෙක දෙලොව ලෙසින් පෙන්වා ඇත. අයහපත් හෝ යහපත් කම්ම විපාක දෙලොවදීම විඳීමට සිදුවේ. බලන්න: මෙලොව හා පරලොව. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 1.3.3. උභෝඅර්ථ සූත්‍රය, පි. 370.

දළ

▲ දළචීවර- coarse robes : දළචීවර යනු රළු සිව්රුය. පාංශුකූල වස්ත්‍ර, ඉවත විසිකළ රෙදි, මිනීඔතා තැබූ රෙදි ආදීයෙන් සකස් කරගත් මුදුනොවන සිව්රු දැරූ සංඝයා, බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අතර වුහ.දළචීවර දරන භික්ෂුන් අතරෙන් අග්‍ර මොඝරාජ තෙරුන්ය, භික්ෂුණියන් අතරෙන් අග්‍ර: කිසා ගෝතමි තෙරණියය. බලන්න: අග්‍රතම ශ්‍රාවකයන්. මහා කාශ්‍යප හා උන්වහන්සේගේ ශිෂ්‍ය සමුහයද, ධුතාංග පුහුණුවේ යෙදීසිටි හෙයින් රළු චීවර දැරුහ. විස්තර පිණිස බලන්න: සංයු.නි: කාශ්‍යප සංයුත්තය.

▲ දළිද්ද- Poor: දළිද්ද- දිළිඳු යනු දුගී බවය. සප්ත බොජ්ඣංග යහපත් ලෙසින් වඩා නොගන්නේ නම් කෙනෙක් ධර්මයේ දුගී බවට පත්වේ. බලන්න: අදළිද්ද මූලාශ්‍ර: සංයු.නි: (5-1 කාණ්ඩය): මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත: 2.5.6 දළිද්ද සූත්‍රය, පි.226, ESN: Bojjangha samyutta: V: 46.6 Poor , p. 1783.

දව

▲ දෙවන ශ්‍රමණ-Second ascetic: දෙවන ශ්‍රමණ ලෙසින් පෙන්වා ඇත්තේ සකදාගාමි ආරිය ශ්‍රාවකයාය. බලන්න: ආරිය අටමග.

▲ දෙවහිත බමුණා-Brahamin Devahitha: බලන්න: උපග්‍රන්ථය:3

▲ දේවඅසුර සංග්‍රාමය - Deva & Asura war: පෙර කල ඇතිවූ දේව හා අසුර සටන් පිලිබඳ විස්තර මෙහි පෙන්වා ඇත. බලන්න: අසුර, සංයු.නි: ධජග්ග සූත්‍රය, සංයු.නි: (1) සක්කසංයුත්ත. මූලාශ්‍ර: අංගු.නි: ( 5): 9 නිපාත: 9.1.4.8 දේවඅසුර සංග්‍රාමය, පි. 524, EAN: 9: 39.8 Devas, p. 479.

▲ දේවචුති- Passing away of Devas: දේවචුති යනු දෙවියන්, දේව ආයුෂ ඉක්මවා ගිය පසු දේවලෝකයෙන් චුත වීමය- යළි උපතකට පැමිණීමය. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, එලෙස චුතවන දෙවියන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයක් පමනක් නැවත දෙවලෝකයේ පහළ වනබවය. බොහොමයක් දුගතියේ යළි උපත ලබයි, සුළු කොටසක් මිනිස්ලොවට පැමිණේ. මූලාශ්‍ර: සංයු.නි: (5-2) මහාවග්ග: සච්චසංයුත්ත: 12.11.7 සිට දේවචුති සූත්‍ර 4 කි, පි. 200, ESN: 56: Sacchasamyutta: 108.7 to 4 suttas: Passing away as Devas, p. 2378.

▼ දෙවියන් චුතවන අවස්ථාවේ, අනිකුත් දෙවියෝ, ඔහුට මිනිස්ලොවට යෑමට උපදෙස් දෙන බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි:ඉතිවුත්තක: චතුවග්ග:3.4.4 පුර්වනිමිත්ත සූත්‍රය,පි.450.

▲ දේවචාරිකා- Visiting the Devas: දේවචාරිකා ලෙසින් පෙන්වා ඇත්තේ, මිනිස් ලෝකයේ සිට දේවලෝකවලට සංචාරය කිරීමය. මේ සූත්‍රයන්හි පෙන්වා ඇත්තේ මුගලන් මහා තෙරුන්, ඉද්ධිබලයෙන් තව්තිසා දෙව්ලොවට පැමිණීම හා දෙවියන්හට තිසරණ ගුණ මහිම විස්තර කිරීම ගැනය. මූලාශ්‍ර: සංයු.නි: (5-2) මහාවග්ග: සෝතාපන්න සංයුත්ත: 11.2.8, 11.2.9, 11.2.10 දේවචාරිකා සූත්‍ර, පි. 200, ESN: 55: Sotapatthisamyutta: 18.8, 19.9, 20.10 Visiting the Devas, p. 2204.

▲ දේවතානුසතිය-Devathanusati : දෙවියන්ගේ ගුණ සිහිකර කරන අනුසති භාවනාවකි. මෙය එය සසර කලකිරීම පිණිස, නිවන පිණිස පවතී යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: භාවනා. මූලාශ්‍රය: අංගු.නි: (1) නිපාත: ඒකධම්මපාලිය සූත්‍ර, පි.100.

▲ දේවදත්ත භික්ෂුව- Devadatta Bhikkhu: බලන්න: උපග්‍රන්ථය:4

▲ දේවදුතයෝ-divine messengers: ධර්මයේ දේවදුතයන් ලෙසින් පෙන්වා ඇත්තේ ලෝක සත්ත්‍වයාට සසර බිය පෙන්වා අප්‍රමාදය ඇතිකරගනිමට උපකාරීවන දහම්කරුණුවලටය. විස්තර පිණිස බලන්න: අංගු.නි: (1): 3 නිපාත: දේවදූත වග්ග.

▼ දේවදුතයන් පස් දෙනෙකි: 1) තමාගේ අශුචි හා මුත්‍රා තැවරී උඩුකුරුව වැතිර සිටින අලුත උපන් දරුවා 2) මහලුව වයසට ගිය, දුබලව දුකට පත් මිනිසා 3) රෝගීව දරුණු කායික හා මානසික වේදනා විඳින මිනිසා 4) සොරකම් කිරීමේ වරදට රජතුමාවිසින් බොහෝ වධ පීඩාවන් ආදී දඬුවම් ලබන සොරා 5 ) මිගිය කෙනෙක්- කුණුවී ගිය මළ සිරුරක්. සටහන්: * එම කරුණු දේවදුතයන් ලෙසින් දක්වා ඇත්තේ ඒවා දකින නුවණැති පුද්ගලයෙකුට තමාටද එම දේ සිදුවනබව: යළිඋපතක් ඇතිවනබව, මහළුවනබව, ලෙඩවෙනබව, වැරදි කිරීමෙන් මහා දඬුවම් ලබනබව, මරණයට පත්වෙන බව අවබෝධවී, අප්‍රමාදව සසරින් එතෙර වීමට කටයුතු කිරීමට පෙළඹෙන නිසාය. ** තුන්දොරින් අකුසල කර්ම කළ කෙනෙක් මියගියපසු නිරය ආදී දුගතියක යළි උපත ලබයි. මරණයට අධිපති යමරජු එවැනි, පුද්ගලයන් අමතා දේවදුතයන් මිනිස් ලෝකයේ දී දැක තිබේද? යයි ප්‍රශ්ණකරණ බව හා අපායේ විඳීමට සිදුවන විවධ දුක්වේදනා පිලිබඳ මේ සූත්‍රවල විස්තරකර ඇත. බලන්න: නිරය. මූලාශ්‍ර: අංගු.නි: (1 ):3 නිපාත: දේවදුතවග්ග: 3.1.4.6 සූත්‍රය, පි. 292, EAN:3: Divine Messengers: 36. 6 Messengers, p.92, මනි: (3): 3.3.10, දේවදුත සූත්‍රය, පි. 400, EMN:130: The Divine Messengers, p.941.

▲ දේවධම්ම- Deva Dhamma:හිරිඔත්තප්ප ධර්මතා දේවධම්ම යයි හඳුන්වයි. බලන්න: හිරි ඔත්තප්ප.

▲ දේවධම්මික -devadhammika: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ පැවති අන්‍යආගමික නිකායකි. බලන්න: අන්‍යආගමික නිකායන්.

▲ දේවනිකාය-Devanikaya: දේවනිකාය ලෙසින් පෙන්වා ඇත්තේ, සදෙව්ලෝකයට වඩා පහත් නිකායන්වල උපත ලැබූ දේව පිරිසය. බලන්න: ගාන්ධර්ව දේව නිකාය, ගන්ධබ්බකායික දේව නිකාය, වලාහක දේව නිකාය.

▲ දේවපාද- Deva pada:දේවපාද ලෙසින් පෙන්වා ඇත්තේ දෙවියන් ගමන් කරන මාර්ගයට පැමිණීමට ඇතිකරගත යුතු ගුණය. එම ගුණ ඇතිවිමෙන්, ආධ්‍යාත්මික පිරිසිදු බව නොලත් අය පිරිසුදුබවට පත්වේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1-3: ත්‍රිවිධ රත්නය පිලිබඳ ඇති අචල විශ්වාසය 4 ආරිය කාන්ත ශිලය තිබීම. 5 කරුණ ලෙසින්: අවිහිංසාවෙන් ජිවත්වීම පෙන්වා ඇත ( දෙවියන් අවිහිංසාව උතුම් යයි පිළිගන්නා බව නුවණින් වටහා ගන්නා ආරිය ශ්‍රාවකයා තමන් තුල එම ගුණය ඇති කරගනි). මූලාශ්‍ර: සංයු. නි: (5-2 ): මහාවග්ග: සෝතාපන්න සංයුත්ත: 11.4.4. හා 11.4.5 දේවපාද සූත්‍ර, පි. 244, ESN:55: Sacchasamyutta: 34.4 & 35.5 Divine Tracks, p. 2228.

▲ දේවප්‍රසාද-Devaprasada: සිව්දහමින් යුත් ආරිය ශ්‍රාවකයෝ ගැන දෙවියෝ ප්‍රසාදයට පැමිණේ යයි බුදුන් වහන්සේ වදාළහ. දෙවියෝ දේව සභාවේදී මෙසේ පවසති:

“අපද, මිනිස් ලොවේ වාසය කරනවිට බුදුන් කෙරේ, දහම කෙරේ, සංඝයා කෙරේ අචල ප්‍රසාදයකින් යුතුව වාසය කළෙමු, අපහට ආරිය කාන්ත ශිලයද තිබිණි. එම නිසා, අපි දැන් දෙව්ලොව වෙසෙමු. මේ අරිය ශ්‍රාවකයාද, මියගිය පසු දෙවියන් ගේ සභාවට පැමිණෙනු ඇත” මූලාශ්‍රය:සංයු.නි: (5-2) මහාවග්ග: සෝතාපත්තිසංයුත්ත: සභාගත සූත්‍රය, පි.246.

▲ දේවප්‍රිය-Devapriya: ධර්මානුකූලව හැසිරෙන ගිහි හා පැවිදි පිරිස දෙවියන්ට ප්‍රිය බව සූත්‍ර දේශනාවල දක්වා ඇත. දෙවියන්ට ප්‍රිය සංඝයා අතුරින් පිළින්දවච්ඡ තෙරුන් අග්‍රය. බලන්න: උපග්‍රන්ථය: 1

▲ දේවලොක-Devaloka: දේවලොක, ස්වර්ගය ලෙසින්ද හඳුන්වයි, යළි උපත ලබන සුගතියකි. යහපත් කර්ම විපාක නිසා දේවලෝකවල උත්පත්තිය ලබයි. කාමාවචර දේවලෝක 6 කි, සදෙව්ලෝකය ලෙසින් ද හඳුන්වයි. මේ දේවලෝකවලට ඉහළින් ඇත්තේ බ්‍රහ්ම දේව ලෝකයන්ය, සදෙව්ලෝකයට පහළින් ඇත්තේ මිනිස්ලෝකය හා සතර අපායය. තිසරණ සරණ ගිය, සිල්වත්වූ මිනිසුන් මරණින් මතු සදෙව්ලොව උපත ලබයි. බලන්න: බ්‍රහ්මලෝක. සටහන: දීඝ.නි: ජනවසභ සූත්‍රයේ දේවලෝක ගැන විස්තර දක්වා ඇත.

▼ දේවලෝක හය: මිනිස්ලොවට ඉහලින් ඇති දේවලෝක 6: සදෙව්ලෝකය,කාමවාචාර දේවලෝක ලෙසින්ද හඳුන්වයි. සටහන: සදෙව්ලොව පහලවූ සෑම දෙවියෙක්ම දුගතියේ උපත අවසන් නොකර ඇත. සෝතාපන්නවූ දෙව්යෝ දුගතිය-නිරයේ උපත අවසන් කර ඇත. බලන්න:අංගු.නි: 6 නිපාතය:දේවතාවග්ග:6.1.4.4 මොග්ගල්ලාන සුත්‍රය.

1) චාතුර්මහාරාජික දෙව්ලොව (devas ruled by the four great kings) මේ දේවලෝකයට අධිපති දෙවියෝ 4 කි, සිව්වරම් දෙවියෝ (සතර දිශාවන් පාලනය කරන) ලෙසින්ද පෙන්වා ඇත. එම දෙව්ලොවේ ආයුෂ දිව්‍යවසර 500 කි. එහි එක් දිනක්, මිනිස්ලෝකයේ වසර 50 ට සමානය. සටහන්: * සිව්වරම් මහා රජවරු: ධෳතරාෂ්ට්‍ර- නැගෙනහිර පාලක, විරුඪක- දකුණුදිග පාලක, විරූපාක්ෂ - බටහිර පාලක, වෙසවුණු- වෙසමුනි - උතුරු දිග පාලක, ඔවුන්ගේ නායකයා සක්දෙවිදුන්ය (ඉන්ද්‍ර). බලන්න: දීඝ:නි: ජනවසභ සූත්‍රය. ** අංගු:නි: (1): 3 නිපාත:3.1.4.7 සූත්‍රයේ: පොහෝදිනයන්හි, සිව්මහා රජුන්ගේ ඇමතිවරු, මිනිසුන් යහපත් ලෙසින් වාසය කරනවාද: දෙමාපියන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්, කුලදෙටුවන් ආදීන් පුදනවාද? උපෝසතදීන සිල් ගන්නේද? පින් කරන්නේද යයි මිනිස් ලෝකය සිසාරා සොයාබලා, ඒ බව තව්තිසා දෙවියන්ට පවසන බව පෙන්වා ඇත. 2) තාවතිංස දේවලෝකය (Tāvatiṃsa devas) තව්තිසා- දෙව්ලොවේ ආයුෂ දිව්‍යවසර 1000 කි, එහි එක් දිනක්, මිනිස්ලෝකයේ වසර 100 ට සමානය. සක්දෙවිඳු මේ දෙව්ලොවට අධිපතිය .බලන්න:සක්දෙවිඳු. 3) යාමදේවලෝකය (Yāma devas): එම දෙව්ලොවේ ආයුෂ දිව්‍යවසර 2000 කි, එහි එක් දිනක්, මිනිස්ලෝකයේ වසර 200 ට සමානය. 4) තුසිත දේවලෝකය (Tusita devas) එම දෙව්ලොවේ ආයුෂ දිව්‍යවසර 4000 කි, එහි එක් දිනක්, මිනිස්ලෝකයේ වසර 400 ට සමානය. සටහන: මතු බුදුබව පතන බෝසතුන් මිනිස් ලොවට පැමිණීමට පෙර තුසිත දේවලෝකයේ වැඩසිටි. 5) නිර්මාණරති දේවලෝකය (devas who delight in creation) එම දෙව්ලොවේ ආයුෂ දිව්‍යවසර 8000 කි, එහි එක් දිනක්, මිනිස්ලෝකයේ වසර 800 ට සමානය. 6) පරනිර්මිතවසවත්ති දේවලෝකය (devas who control what is created by others) එම දෙව්ලොවේ ආයුෂ දිව්‍යවසර 16,000 කි, එහි එක් දිනක්, මිනිස්ලෝකයේ වසර 1600 ට සමානය. සටහන්: * සදෙව්ලෝකයට ඉහළින් බ්‍රහ්මකායික දෙවියෝ වසති, ඉන් මතුයෙහිද දෙවියෝ වාසය කරති. බලන්න: ධම්මචකප්පවත්වන සූත්‍රය.** දේවලෝක වල වසන දෙවියන්ගේ ගුණ සිහිකිරීම අනුසති භාවනාවකි.බලන්න: භාවනා. ** මනෝමය කය ඇති, අරහත්බව ලැබූ දෙවියන්ගේ ගුණ සිහිපත් කිරීම යහපත්ය. බලන්න: නන්දිය සූත්‍රය ** වැඩි විස්තර පිණිස බලන්න: දීඝ.නි: (2 ) 5. ජනවසභ සූත්‍රය, පි,322 හා දීඝ.නි: (3 ) 9.ආටානාටිය සූත්‍රය, පි. 328, EDN: 18 Janavasabha Sutta (17), p. 209 & 32 Āṭānāṭiya Sutta, p.353. මූලාශ්‍ර: අංගු.නි: (5): 8 නිපාතය: උපෝසථ වග්ග: උපෝසථ සූත්‍ර, පි.196, EAN:8:Uposatha: 41.1 & 42.2 , p. 434, අංගු.නි: (6): 11-නිපාත: 2 අනුසති වගග, 11.2.1, මහානාම සූත්‍රය, 11.2.2 දුතිය මහානාම සූත්‍රය, පි.645-654, 11.2.3, නන්දිය සූත්‍රය, පි.658, EAN: 11: Elevens: Recollection, 11.1 Mahanama, 12.1 Mahanama (2), p.570, 13.3. Nandiya, p.571.

▼ දේවලෝක උත්පත්ති: දේවලෝක උත්පත්තිය යනු මෙලොව යහපත් කුසල කර්මයේ යෙදීම නිසා මරණින් මතු කාමාවචර දේවලෝකයන්හි යළි උපත ලැබීමය. බලන්න: සුගතිය. අනාගාමීව මියයන ආරිය පුද්ගලයෝ සුද්ධාවාස නම්වූ ඉහළ බ්‍රහ්ම දේවලෝකවල පහළවේ. අරූපසමාපත්ති, සතරබ්‍රහ්මවිහාර වර්ධනය කරගත් උතුමන් බ්‍රහ්මලෝකවල උත්පත්තිය ලබයි. බලන්න: අනාගාමි, බ්‍රහ්මලෝක.

▼ දේවලෝක උත්පත්තියට මග දසකුසලයය: දසඅකුසලයෙන් වැලකි, දසකුසල් කරණ මිනිසුන් දේවලෝකයේ යළි උපත ලබති. මූලාශ්‍ර: අංගු.නි:(6) 10: නිපාතය:10.4.2.11 ජාණුස්සොණි සූත්‍රය, පි. 518, 10.5.1.1. පඨම නිරය සූත්‍රය හා 10.5.1.2.දුතිය නිරය සූත්‍රය , පි. 548EAN:10: Jāṇussoṇī,177.11, p.554, The Deed Born Body, 211.1 Hell (1) & (2) , p.556.

▼ දේවලෝක සැප: ඒකාන්තයෙන්ම: පැතියයුතු, ප්‍රසන්නවූ, ප්‍රියකරවූ දෙයක් ගැන කතා කරනවා නම් එය දේවලෝක සැපයය. රත්න 7ක් සතු මහා සැප සම්පත් විඳින සක්විතිරජුට වඩා අප්‍රමාණවූ සැප සම්පත්, දෙවියන්ට ඇත. බලන්න: සක්විතිරජ. සටහන: බිඳුන සංඝයා එකමුතුකිරීමේ අනුසස් දෙව්ලොව සැපට හේතුවේ. එවැනි පුද්ගලයෙක් දිව්‍ය පුණ්‍ය (divine merit) ලබාගනී; කල්පයක් දෙව් සැප විඳි. මූලාශ්‍ර: ම.නි:(3 ):3.3.9 බාල පණ්ඩිත සූත්‍රය, පි. 376, EMN: 129: Fool & Wise Men, p. 929, අංගු.නි: (6): 10 නිපාත: 10.1.4.10. ද්විතිය ආනන්ද සූත්‍රය,පි.164, EAN:10: 40.10 Ananda -2,p. 509.

▼ දෙව්ලොව සැපට වඩා බඹසර උතුම්ය: අන්‍යආගමිකයන්, බුදුන් වහන්සේ වෙත බඹසර වසන්නේ දෙව්ලොව උපත පිණිසද? යයි අසන්නේ නම් සංඝයා ඒ ගැන ලජ්ජාවිය යුතුයයි බුදුන් වහන්සේ වදාළහ. දෙවලෝක සැප ගැන කලකිරීම ඇතිකර ගත යුතුය. එයටත් වඩා තුන් දොරින්, අකුසල කිරීම ගැන කලකිරීම ඇතිකර ගත යුතුය. බුදුන් වහන්සේ වෙත බඹසර වසන්නේ (දෙව්ලොව සැපට වඩා අනගි) උතුම් නිවන් සුවය පිණිසය.මූලාශ්‍ර: අංගු.නි: (1 ): 3 නිපාත: 3.1.2.8 දේවලෝකඋත්පත්ති සූත්‍රය, පි. 254, EAN: 3: 18.8 Deva, p. 84.

▲ දේවසත්වත පද- Deva’s 7 vows: දේවසත්වත පද ලෙසින් පෙන්වා ඇත්තේ, සක්දෙවිඳු, මිනිස් ලෝකයේ උපත ලබා සිටි කාලයේ රකින ලද උතුම් සත්පදයන් පිලිබඳවය. එම පදයන් රැකීමේ විපාක ලෙසින් සක්දෙවිඳු බවට පත්වූහ. එනම්: දිවිහිමියෙන්: 1) මව් පියන් රකින බව 2) කුලදෙටුවන් පුදන බව 3) මිහිරි වචන භාවිතා කරන බව 4) කේලාම් නොකියන බව 5 ) දානශීලිබව 6) සත්‍ය කතා කරන බව 7) තරහ නොගන්නා බව, යම් හෙයකින් තරහක් ඇති වුවහොත් වහා එය නැති කරගන්නා බව. බලන්න: සක්දෙවිඳු. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: සක්ඛසංයුත්ත: 11.2.1 දේවසත්තවතපද සූත්‍රය, පි. 432, ESN: 11: Sakkasamyutta: 11.1 Vows, p. 477.

▲ දේවශබ්ද- The Deva sounds: දෙවියන් අතර ප්‍රීතිරාවයන් තුනක් ඇතයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) ගිහිගෙය හැර පබ්බජාවට පැමිණෙන බුද්ධ ශ්‍රාවකයකු දැකීමෙන් දෙවියන් මෙසේ ප්‍රීති ශබ්ද කරති: “ මේ අරිය ශ්‍රාවකයා මාරයා සමග සටන් කිරීම ආරම්භ කර ඇත”.

2) යම් කලක අරිය ශ්‍රාවකයා බෝධිපාක්ෂික ධර්මතා වඩමින් වාසය කරනවා දැකීමෙන් දෙවියන් මෙසේ ප්‍රීති ශබ්ද කරති: “ මේ අරිය ශ්‍රාවකයා මාරයා සමග සටන්කරයි”. 3) යම් කලක අරිය ශ්‍රාවකයා, අරහත්වයට පත්වූවිට, දෙවියන් මෙසේ ප්‍රීති ශබ්ද කරති: “ මේ අරිය ශ්‍රාවකයා මාරයා සමග වූ සටනින් ජය ගත්තේය” මූලාශ්‍ර: ඛු.නි: ඉතිවුත්තක: 3.4.3 දේවශබ්ද සූත්‍රය, පි. 446, The Itivuttaka: translated by Peter Masefield: PTS: 82 The Deva sounds sutta, p.67.

▲ දේවියෝ-Deities: දෙවිවරු ලෙසින් පෙන්වා ඇත්තේ මෙලොව දී කුසලයේ හැසිරී, එහි යහපත් විපාක ලෙසින් දේවලෝකවල පහලවූ උතුම් පුද්ගලයන්ය. දෙවිවරු, දේවතා, දේවපුත්‍ර ලෙසින්ද හඳුන්වයි. දෙවිවරු, බුදුන් වහන්සේ හමුවට පැමිණ නොයක් දහම් කතාවන්හි යෙදුන බව සූත්‍ර දේශනාවන්හි දක්වා ඇත. බලන්න: මංගල සූත්‍රය, පාරභව සූත්‍රය ආදී. සටහන්: * සංයු.නි: දේවපුත්ත සංයුත්ත හා සක්කසංයුත්ත යේ දෙවියෝ බුදුන් හමුවීමට පැමිණීම ගැන විස්තරාත්මකව දක්වා ඇත. **දී.ඝ.නි: මහාසමය සුත්‍රයේ, මහා දේවසභාවක එක්වීම, හා බුදුන් වහන්සේ බැහැදැකීම දක්වා ඇත. ** දෙවියන්ගේ ආයුෂ දීර්ඝය, එහෙත් සසර දුක නැති නොකරගත් දෙවියන්ට බුදුන් වහන්සේ අනුසාසනා කර ඇත්තේ භව පැවැත්මෙන් මිදිය යුතු බවය. ** මහා මොග්ගල්ලාන රහතුන්, තව්තිසාවට වැඩි අවස්ථාවේදී, සක්දෙවිඳු හා දේවපිරිස එතුමන් හමුවීම, නන්දන දේව, සුයාම දේව, සන්තුසිත දේව,සුනිම්මිත දේව, වසවත්ති දේව, මහා තෙරුන් හා ධර්මය සාකච්ඡා කිරිම ගැන විස්තර පිණිස බලන්න: සංයු.නි: (4) සළායතනවග්ග: මොග්ගල්ලාන සංයුත්තය. මූලාශ්‍ර: සංයු.නි: ( 1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.1.3 උපනියති සූත්‍රය හා 1.1.4 අචෙචන්ති සූත්‍රය,පි.30,ESN: 1:Devatasamyutta:3.3 Reaching & Time Flies by, p.60

▼ බ්‍රහ්ම, ඉන්ද්‍ර ආදී දෙවියෝ, ජාන සමාපාත්ති ලද උතුමන්ට නමස්කාර කරන බව මෙහි දක්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 11 නිපාත: නිසසය වගග,11.1.9, සන්ධ සූත්‍රය, පි.636, EAN: 11: I Dependence, 9.9 Sandha, p.568

▼සතුල්ලප්කායික දෙවිවරු බුදුන් වහන්සේ බැහැදැකීම: එක්සමයක සතුල්ලප්කායික දෙවිවරු (බ්‍රහ්මදෙවිවරු) සමුහයක් බුදුන් වහන්සේ බැහැදැක සත්පුරුෂ සේවනයේ අගය පවසාඇත .බලන්න: සත්පුරුෂ හා අසත්පුරුෂ සටහන: අටුවාවට අනුව සතුල්ලප්කායික දෙවිවරු මිනිස්ලොවදී ධර්මය අගය කළ නිසා, මරණින් මතු බ්‍රහ්ම දෙව්ලොව උපත ලදහ.බලන්න: ESN:note: 59, p. 509, බ්‍රහ්මලෝක. මූලාශ්‍ර: සංයු.නි: (1):සගාථවග්ග: දේවතාසංයුත්ත:1.4.1 සබ්භි සූත්‍රය, පි. 58, ESN: Devatasamyutta, 31.1. With the Good, p. 95.

▼ එක්සමයක සතුල්ලප්කායික දෙවිවරු සමුහයක් බුදුන් වහන්සේ බැහැදැක මසුරුමිනිසුන් දන් නොදීම නිසා ඔවුනට අයහත සිදුවන බව පවසා ඇත. බලන්න: මසුරුකම, දානය. මූලාශ්‍ර: සංයු.නි: (1 ): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.4.2 මච්ඡරිය සූත්‍රය, පි. 62, ESN: Devatasamyutta: 32.2 Stinginess, p. 97.

▼ දෙවිවරු දහමට ප්‍රියය: එක් සමයක සැරියුත් මහා තෙරුන්, ආධ්‍යාත්ම සංයෝජන හා බාහිර සංයෝජන ගැන සංඝයාට වදාළ දේශනාව අසා දෙවිවරු සතුටුවූ බව මේ සූත්‍රයේ දක්වා ඇත. බලන්න: ආධ්‍යාත්ම සංයෝජන හා බාහිර සංයෝජන ඇති පුද්ගලයෝ. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 2 නිපාත: 2.1.4.5 සූත්‍රය, පි. 162 , EAN: 2: 36.5 Sutta, p.61. සටහන්: * දීඝ:නි: ජනවසභ සූත්‍රයේ දෙවිවරු ධර්මය ඇසීමට ප්‍රිය බව පෙන්වා ඇත.

▼සක්දෙවිඳු ධර්මය ඇසීම පිණිස, ධර්මකරුණු නිරවුල්කරගැනීම පිණිස බොහෝ බුදුන් වහන්සේ හමුවීමට පැමිණි බව, සංයු.නි.(1) සක්ඛ සංයුත්තයේ දක්වා ඇත. දීඝ.නි: සක්ඛපඤහ සූත්‍රයේ සක්දෙවිඳු ඇසු ප්‍රශ්න මාලාව විස්තරාත්මකව දක්වා ඇත.

▲ ද්වයධර්ම- the dyad: ද්වයධර්ම යනු - දෙකොටසක් ලෙසින් ධර්මය සලකා බැලීමය. ද්වයධර්මයේ එක් කොටසක් ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ: අභ්‍යන්තර ඉන්ද්‍රිය 6 ය, ඇස ආදීවූ (සළායතන). දෙවනි කොටස වන්නේ: බාහිර අරමුණුය: එනම් රූපය ආදීවූ. විඥානය මේ ධර්ම කොටස් 2 ම මත පවතී: එනම්: ඇස හා රූපය නිසා චක්ඛු විඥානය ඇතිවේ (එලෙස සෙසු ධර්මතාද). මූලාශ්‍ර: සංයු.නි: (4 ): සළායතනසංයුත්ත: 1.9.9 හා 1.9.10 ද්වය සූත්‍ර 2කි. පි. 172, ESN:35: Vedanasamyutta: 92.9 & 93.10 - The dyad, p. 1254.

▲ද්වයතානුපස්සනාව- Observation of Dualities: ද්වයතානුපස්සනාව ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ ධර්මතා 2 ක් ගැන ආවර්ජනය කිරීමය-භාවනා කිරීමය- අනුපස්සනා කිරීමය. එම අනුපස්සනාව මගින් යථාභූත ඥාණය පහළවේ. එලෙස යහපත් ලෙසින් ද්වයධර්මතා ආවර්ජනා කරන්නේනම් ඵල 2ක් ඇතිකර ගත හැකිවේ: මේ භවයේදීම අරහත්වය ලැබීම, කිසියම් කෙලෙසක් ඉතිරිවූයේ නම් අනාගාමි ඵලය ලැබීම.මේ සූත්‍රයේ ද්වයතානු ධර්මතා 16 ක් පෙන්වා ඇත: 1: i මේ දුකය මේ දුක ඇතිවීමය ii මේ දුක නිවීමය, මේ දුක නිවීමේ මගය. සටහන: දුක ඇතිවීම පංච උපාදානස්කන්ධය පහළවීමය. 2: i උපධි නිසා (attachments) දුක ඇතිවේ ii උපධි ක්‍ෂය කිරීම දුක නැතිවීමය. 3: i අවිද්‍යාව නිසා දුක ඇතිවේ ii අවිද්‍යාව ක්‍ෂය කිරීම දුක නැතිවීමය. 4: i සංඛාර නිසා දුක ඇතිවේ (චේතනා නිසා) ii සංඛාර අවසන් කරගැනීම දුක නැතිවීමය. 5: i විඥාණය නිසා දුක ඇතිවේ ii විඥාණය අවසන් කරගැනීමෙන් දුක නැතිවේ. 6: i ස්පර්ශය නිසා දුක ඇතිවේ ii ස්පර්ශය අවසන් කරගැනීමෙන් දුක නැතිවේ. 7: i වේදනා නිසා දුක ඇතිවේ ii වේදනා අවසන්කරගැනීමෙන් දුක නැතිවේ. 8: i තණ්හාව නිසා දුක ඇතිවේ ii තණ්හාව අවසන් කරගැනීමෙන් දුක නැතිවේ . 9: i උපාදාන නිසා දුක ඇතිවේ ii උපාදාන අවසන් කරගැනීමෙන් දුක නැතිවේ . 10: i කාර්මික ක්‍රියා- කර්ම ඇතිකරන (ආරම‍්භපච‍්චයා) නිසා දුක ඇතිවේ ii කාර්මික ක්‍රියා අවසන් කර ගැනීමෙන් දුක නැතිවේ 11: i ආහාර -පෝෂණය (ආහාර පච‍්චයා) නිසා දුක ඇතිවේ ii ආහාර පිලිබඳ යථා අවබෝධය ඇති කරගැනීම මගින් දුක නැතිවේ. 12: i කැළඹීම නිසා (ඉඤ‍්ජිත පච‍්චයා) දුක ඇතිවේ ii කැළඹීම අවසන්වීම දුක නැතිවීමය. සටහන: ඉඤ‍්ජිත පච‍්චයා යනු තණ්හා, දිට්ඨි, මාන, කම්ම, කෙළෙස වේ. 13: i පරායත්ත- අනෙකුගෙන් යැපීම නිසා (නිස‍්සිතස‍්ස චලිතං- dependent are vulnerable) අනතුරුසහගතබවට පත්වේ ii ස්වාධිනත්වය නිසා අනතුරුබව නැතිවේ (independent are not vulnerable). සටහන: පරායත්ත ලෙසින් පෙන්වා ඇත්තේ තණ්හා, දිට්ඨි, මාන ආදිය ඇසුරු කිරීම නිසා භය, චංචල බව ඇතිවේ. අනිශ්චිත වූ විට සැලීමක් නැත, සසර බිය නැත. 14: i අරූපලෝක, රූප ලෝකවලට වඩා යහපත්වේ (non-physical realms are better than the physical realms) ii අරූපලෝකයට වඩා නිරෝධය උසස්ය. සටහන: රූප අරුප ලෝක භව පැවැත්මය. සියලු භව නිරෝධය උතුම්ය. 15: i ලෝකසත්‍ය (සැමදේ ස්ථිරය, ශුභය, සුඛය, ආත්මය ඇත- සතර විපල්ලාස) ලෙසින් සාමාන්‍ය ලෝකයා පිළිගන්නා දේ සත්‍ය නොවේ ii ආරියන් පිළිගන්නා සත්‍ය : (සැමදේ අස්ථිරය, අශුභය, දුඛය, ආත්මයක් නොමැත) නිවන සත්‍යයය. බලන්න: විපල්ලාස. 16: i ලෝකයා සුඛය යයි ගන්නා දේ ( රූප, ශබ්ද ආදී පස්කම් සැප) සුඛ නොවේ ii ආර්යන් ඒ දේ දුක යයි අවබෝධ කර ඇත. මූලාශ්‍ර: ඛු.නි:සුත්තනිපාත: 3-12 ද්වයතානුපස්සනා සූත්‍රය, පි.244, Sutta Nipata: Translated by Laurence Khantipalo Mills: 3.12 Observation of dualities, p. 227.

▲ ද්විපාද-Dvipada : ද්විපාද යනු දෙපාඇති බවය. දෙපා ඇති අය අතුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රය.බලන්න: අග්‍රතම පුද්ගලයා.

▲ ද්විධාපථ-Two roads: ද්විධාපථ යනු මාර්ග දෙකය. නිවැරදි මග හා වැරදි මගය. එක් සමයක බුදුන් වහන්සේ, අතවැසි නාගසමාල තෙරුන් හා කොසොල් රට සැරිසරන අවස්ථාවේ, දෙමංසන්ධියකට පැමිණියහ. නාගසමාල තෙරුන් එහි ඇති මාර්ග දෙකින් එක් මගක් පෙන්වා එම මගින් යෑම පිණිස බුදුන් වහන්සේට ඇරයුම් කළහ. බුදුන් වහන්සේ වදාළේ: “යායුතු මග නම් අනෙක් මග බවය’.

බුදුන් වහන්සේගේ ප්‍රකාශය පිළිනොගත්, ඒ තෙරුන්, බුදු පාත්‍ර සිව්රු බිම තබා ඔහු කැමති මග ගියේය. ඒ මග සිටි සොරු පිරිසක්, තෙරුන් හට වධ හිංසා කළේය. ඉන්පසු තෙරුන් බුදුන් වහන්සේ වෙත පැමිණ සිදුවූ කරදර පැවසුහ. එම අවස්ථාවේ බුදුන් වහන්සේ උදානයක් වදාරා පෙන්වා ඇත්තේ: සත්‍ය අවබෝධ කළ ප්‍රඥාවන්තයෝ, අනුවණ ජනයා හා එක්ව හැසිරෙන නමුදු, ඔවුන්ගේ ලාමක ක්‍රියා හා එක් නොවේ. හරියට කොස්වාලිහිණියා, දියමුසු කිරි දුන්විට, දිය හැර කිරි පමණක් පානය කරන ලෙසින්ය. බලන්න: කොස්වාලිහිණියා උපමාව.උපග්‍රන්ථය5. සටහන්: * බුදුන් වහන්සේ සත්‍යම පෙන්වන නිසා උන්වහන්සේ පෙන්වන මග පිළිගැනීම යහපත පිණිසය. බුදුන් වදාළ අවවාද නොඇසු කෝකාලික භික්ෂුව, සුනක්ඛත්ත ලිච්චවී භික්ෂුව ආදීන් විපතට පත්වූ ආකාරය සූත්‍ර දේශනා වල පෙන්වා ඇත: බලන්න: කෝකාලික භික්ෂුව, දීඝ.නි: පාටික සූත්‍රය ** බුදුන් වහන්සේගේ අතවැසි භික්ෂුවක්, උන්වහන්සේගේ පාසිවුරු බිම දමා යෑමේ සිද්ධිය සංවේගය ඇති කරයි. බලන්න: උපග්‍රන්ථය:1 මූලාශ්‍ර:ඛු.නි: උදාන පාලි: 8.7 ද්විධාපථ සූත්‍රය, පි.338.

▲ ද්විදා විතක්ක-Two kinds of thoughts: ද්විදා විතක්ක යනු සිතිවිලි වර්ග 2ක්ය- විතක්ක දෙකක්: අකුසල විතක්ක හා කුසල විතක්ක. මේ සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ බුදුවීමට පෙර, බෝධිසත්වයන් ලෙසින් තමන් වහන්සේ සිතට එන සිතිවිලි කොටස් දෙකකට බෙදා වාසය කළබවය. පළමු වර්ගය: කාමවිතක්ක, ව්‍යාපාදවිතක්ක, විහිංසාවිතක්ක. දෙවන වර්ගය: නෙක්ඛම්මවිතක්ක, අව්‍යාපාද විතක්ක,අවිහිංසාවිතක්ක. පළමු වර්ගයේ විතක්ක නිසා සිදුවන හානිය ගැනද දෙවන වර්ගයේ විතක්ක නිසා මාර්ගය වැඩෙන අන්දම- සිව්ජාන සමාපත්ති ලැබීම, ආදිය මේ සූත්‍රයේ විස්තරාත්මක දක්වා ඇත. සටහන: අකුසල විතක්ක මැඩලීම හරියට ගොපල්ලා, ගවයන්ට, පැසුන ධාන්‍ය ඇති කෙතකට යන්නට නොදී රකින ලෙසින් වලක්වා ගත් බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. කුසල විතක්ක වර්ධනය කරගත් පසු සිතට ඇති විවේකය, හරියට ගිම්හානයේ අස්වැන්න කපා ගත් පසු ගවයන්ට නිදහසේ හැසිරීමට ඉඩදී ගොපල්ලා ලබන නිදහස වැනිය. බලන්න: ගොපල්ලා උපමාව:උපග්‍රන්ථය:5 මූලාශ්‍ර:ම.නි: (1): 1.2.9 දෙවධාවිතක්ක සූත්‍රය, පි. 308, EMN: 19: Dvedhāvitakka Sutta-Two kinds of thoughts, p.201.

▲ ද්වේශය- anger: ද්වේශය- දෝසය (දෝසා) අකුසල මූලයකි, සසර දික් කරයි. බලන්න: අකුසල මූල.ද්වේශය අවබෝධ කරගැනීම හා පහ කරගැනීමට සමත හා විදර්ශනාව වැඩිය යුතුවේ. බලන්න: සමත හා විදර්ශනා. කරුණු 2 ක් නිසා ද්වේශය ඇතිවේ: පටිඝනිමිත්ත හා අයෝනිසෝමනසිකාරය. බලන්න: අංගු.නි: (1) 2 නිපාත: 2.3.11.6 සූත්‍රය, පි. 208.

▼ වෙනත් මුලාශ්‍ර:1. “ද්වේශය: නම් අන්‍යයා කෙරෙහි උපදනා චිත්තදුෂණ ලක්‍ෂණ- දුෂ්ටවූ - ක්‍රෝධ චිත්තය වේ... දසවිධි ක්‍රෝධයෝ ය. බලන්න: ආඝත වත්තු හා ආඝත පටිවිනය. සද්ධර්ම කෝෂය, පි. 104.

▲ දිවකණ- divine ear element: ඉදීධිපාද වඩාගැනීමෙන් ලබන බලයකි. බලන්න: දිබ්බසෝත ඥාණය.

▲ දිවැස්- Divine Eye: ඉදීධිපාද වඩාගැනීමෙන් ලබන බලයකි, දිබ්බචක්ඛු ඥාණය, චුතිඋත්පත්ති නුවණ ලෙසින්ද පෙන්වා ඇත. මෙය තථාගතයන්වහන්සේගේ එක් දසබල ඥානයකි. දිවැස් ලැබු භික්ෂුන් අතරෙන් අග්‍ර අනුරුද්ධ තෙරුන්ය, භික්ෂුණියන් අතරින් අග්‍ර සකුලා තෙරණිය. බලන්න: උපග්‍රන්ථය:1. කායගතාසතිය වැඩීමේ ඵලයක් ලෙසින් දිවැස් ලැබේ: බලන්න:කායගතාසතිය.

▼ ධර්ම මාර්ගය වඩාගැනීම පිණිස සාක්ෂාත් කලයුතු ධර්මයක්-සච්චිකාතබ්බ ධම්මයක් ලෙස දිවැස් ලැබීම පෙන්වා ඇත. බලන්න:සාක්ෂාත් කරගතයුතු ධර්මතා.

▼ බුදුන් වහන්සේ පෙන්වා දී ඇති ඇති චක්ඛු 3න්, දිවැස ද එකකි. බලන්න: චක්ඛුතුන, ත්‍රිවිධ චක්ෂු.

▲ දිව්‍යයානය- Divine vehicle: ධර්ම විනයේ දිව්‍යයානය ආරිය අටමගය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: ආරියඅටමග. මූලාශ්‍ර: සංනි: (5-1):මහාවග්ග:මග්ගසංයුත්ත:1.1.4 බ්‍රාහ්මණ සූත්‍රය, පි. 36, ESN: 45: Maggasamyutta: 4.4 The Brahmin, p. 1606.

▲ දෝවචස්සතාවය: පාලි: දොවචස‍්සතා- difficult to correct. ධර්මයට අනුව දෝවචස්සතාවය- දුර්වචභාවය, අකීකරුබව, හිතුවක්කාරබව (අවවාද පිළිගැනීමට ඇති අකමැත්ත) නුගුණයකි. ආධ්‍යාත්මික මාර්ගයට හානි ගෙනදෙන කරුණකි, අකුසලයකි. ශබ්දකෝෂ: පා.සි.ශ: පි. 325: “දොවචස‍්සතා: දුර්වචභාවය”.

▼ දුර්වචභාවය (අකීකරුබව) නුගුණයකි. එය අතහැර ගැනීම පිණිස සුවචබව (කිකරුබව) වඩා ගත යුතුවේ: “දොවචස‍්සතා පහානාය සොවචස‍්සතා භාවෙතබ‍්බො...” මූලාශ්‍ර: :අංගු.නි: (4 ):6 නිපාත: තිකවග්ග: 6.1.9 දෝවචස්සතා සූත්‍රය, පි. 285, EAN: 6: 115.9. Difficult to correct, p. 365.

▼ දෝවචස්සතාවය, හානභාගිය ධර්මයකි: දෝවචස්සතාවය, ආධ්‍යාත්මික මගට හානිය ඇති කරයි. බලන්න: හානභාගිය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ ධර්මයේ ප්‍රමාද පුද්ගලයාට දොවචස්සතාවය නැතිකරගැනීම අපහසුය. හිරිඔත්තප්ප තිබීම, අප්‍රමාදය මගින් දොවචස්සතාවය නැතිවේ.

මුලාශ්‍ර: අංගු.නි:(6):10 නිපාත: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▼ බුදුන් වහන්සේ දොවචස්සතාවය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතා සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු යයි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3):10 සංගිති සූත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▼ දොවචස්සතාවය- දුර්වචභාවය සංඝයා තුළ ඇතිවීමට බලපාන මූලික හේතු මුගලන් තෙරුන් විසින් විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: ම.නි: (1): 1.2.5 අනුමාන සූත්‍රය, පි. 248, EMN:15: Inference, p.184.

▼ දොවචස්සතාවය නැතිකර ගැනීම පිණිස, කිකරුබව-සුවචභාවය වැඩිය යුතුය. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.9 දොවචස්සතා සූත්‍රය, පි.286.

▲ දැවකොටය උපමාව-Simile of Block of wood: දැව කොටයක් උපමා කරගනිමින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සංඝයාගේ වීරිය ය. බලන්න: උපග්‍රන්ථය:5, කලිඬග.

දස

▲ දස අංග හා කම්මපථ-Ten factors & kammapatha: දස අංග ලෙසින් පෙන්වා ඇත්තේ 1) මිථ්‍යාදිට්ඨි... මිථ්‍යාවිමුක්ති යන අංග 10 .2) සම්මා දිට්ඨි....සම්මාවිමුක්ති යන අංග 10. සමාන අදහස් ඇති සත්ත්‍වයෝ, සමාන අදහස් ඇති අය හා එක්ව කටයුතු කරමින් කර්ම මාර්ගය- කම්මපථය සකස් කරගන්නා අන්දම මෙහිදී පෙන්වා ඇත. මිථ්‍යාදිට්ඨි... මිථ්‍යාවිමුක්ති යන අංග 10 අනුගමනය කරන අය එක්වී අයහපත් කර්ම සකස්කරගනි. එසේම, සම්මා දිට්ඨි....සම්මාවිමුක්ති යන අංග 10 අනුගමනය කරන අය එක්වී යහපත් කර්ම සකස්කරගනි. මූලාශ්‍ර:සංයු.නි: ( 2 ): නිදාන: ධාතුසංයුත්ත: 2.3.7 දසඅංගික සූත්‍රය, පි. 284, ESN: 14: Dhatusamyutta: 29.7 Ten Factors, p. 771.

▲ දස අසේඛියධම්ම: පාලි: දස අසෙඛියා ධම‍්මා- Ten Dhammas of one beyond training: අසේඛිය ධම්ම ලෙසින් පෙන්වා ඇත්තේ, උසස ධර්ම පුහුණුව අවසන් කළ, අසේඛ යයි හඳුන්වන රහතන්වහන්සේ සතු ගුණයන්ය. බලන්න: සේඛ හා අසේඛ. අසේඛිය ධර්මතා 10:

“දස ඉමෙ භික‍්ඛවෙ අසෙඛියා ධම‍්මා. කතමෙ දස: අසෙඛා සම‍්මාදිට‍්ඨි, අසෙඛො සම‍්මාසඬකප‍්පො, අසෙඛා සම‍්මාවාචා, අසෙඛො සම‍්මාකම‍්මන‍්තො, අසෙඛො සම‍්මාආජීවො, අසෙඛො සම‍්මාවායාමො, අසෙඛො සම‍්මාසති, අසෙඛො සම‍්මාසමාධි, අසෙඛො සම‍්මාඤාණං, අසෙඛා සම‍්මා විමුත‍්තී...”. එනම්: රහතන්වහන්සේ පුර්ණකරගත් ආරිය අටමග හා සම්මා ඥානය හා සම්මා විමුක්තය යන දස ධර්මයය.මූලාශ්‍ර: අංගු.නි: ( 6): 10 නිපාත: සමණසඤ්ඤා වගග: 10.3.1.12. අසේඛියධම්ම සූත්‍රය, පි.428 , EAN: 10: 111.11 One beyond training 2, p.543.

▲ දසකටු- Ten Thorns : ධර්මයේ දසකටු ලෙසින් පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික මග වඩා ගැනීමට, ජාන සමාපත්ති ආදිය ඇතිකර ගැනීමට බාධා කරන කරුණුය. බුදුන් වහන්සේ එවැනි, කටු 10ක් පෙන්වා ඇත: 1) අන්‍යයන් ගේ ඇසුර-ආශ්‍රය, විවේකසුවයට බාධාවකි 2) අසුභාවනාවට සුභනිමිත්ත බාධාවකි 3) විසුළු දර්ශන, ඉන්ද්‍රිය සංවරය ඇතිකරගැනීමට බාධාවකි 4) කාන්තාවන් ඇසුරුකිරීම, බ්‍රහ්මචරියාවට බාධාවකි 5) ශබ්ද, පළමු ජානයට බාධාවකි 6) විතක්ක හා විචාර, දෙවන ජානයට බාධාවකි 7) ප්‍රීතිය,තෙවෙනි ජානයට බාධාවකි 8) හුස්ම ගැනීම හා පිටකිරීම, සිව්වෙනි ජානයට බාධාවකි 9) සංඥා හා වේදනා, සංඥාවේදිත නිරෝධසමාපත්තියට බාධාවකි 10) රාගය, දෝසය හා මෝහය, අරහත් මගඵලයට බාධාවකි. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: ආකඞඛ වග්ග, 10.2.3.2 කණ්ටක සූත්‍රය, පි.268. EAN: 10: 71.2. Thorns, p. 521.

▲ දසකතා වස්තු- Ten subjects to talk: ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් විසින් කතා කිරීමට සුදුසු -යහපත් කතා, දසකතා වස්තු ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: කතාව.

▲ දසකම්මපථ- Ten courses of Kamma: කම්මපථ යනු කර්මය සකස්වන මාර්ගයය. දස කම්මපථ යනු දස කුසල් හා දස අකුසල් ය. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සත්ත්‍වයෝ අදහස් වශයෙන් සමාන අදහස් ඇති අය හා එක්වේ: පරපණ නසන අය එකතුවේ, එකතුවී අයහපත් කර්ම මාර්ගය සකස් කරගනි. එලෙසින්, පරපණ නො නසන අය එකතුවේ, එකතුවී යහපත් කර්ම මාර්ගය සකස් කරගනි. මූලාශ්‍ර:සංයු.නි: ( 2 ): නිදාන: ධාතුසංයුත්ත: 2.3.5 දසකම්මපථ සූත්‍රය, පි. 282, ESN: 14: Dhatusamyutta: 27.5 Ten courses of Kamma, p. 769.

▲ දස කුමාර ප්‍රශ්න- Dasa kumara prashna: බුදුන් වහන්සේ, සෝපාක සාමණේරයන් ගෙන් ඇසු ප්‍රශ්ණ 10, දස කුමාර ප්‍රශ්න වේ: 1) එක කුමක්ද? සියලු සත්ත්‍වයෝ ආහාරයෙන් පෝෂණය වේ 2) දෙක කුමක්ද? නාමය හා රූපය.3) තුන කුමක්ද? ත්‍රිවිධ වේදනා 4) සතර කුමක්ද? චතු සත්‍ය 5) පහ කුමක්ද? පංච උපාදානස්කන්ධය 6) සය කුමක්ද? සළායතන 7) සත කුමක්ද? සප්ත බොජ්ඣංග 8) අට කුමක්ද? ආරිය අට මග 9) නමය කුමක්ද? සත්තාවාස 9ය. බලන්න:සත්ත්‍වයන් උපත ලබන ස්ථාන. 10) දහය කුමක්ද? අසෙඛ ගුණ 10. බලන්න: දස අසේඛියධම්ම, උපග්‍රන්ථය:1 මූලාශ්‍රය: ඛු.නි: ඛුද්දකපාඨ පාළි, 4 කුමාර ප්‍රශ්න, පි. 31.

▲ දසකසිණ - 10 kasiṇa: භාවනාව පිණිස අරමුණු කරගන්නා කසිණ ආයතන 10 කි. බලන්න: කසිණ.

▲ දසකුසල හා දසඅකුසල -10 wholesome actions & 10 unwholesome actions: දස කුසල යනු, සුගතිය ඇතිකරණ යහපත් කර්ම (තුන්දොරින් සිදුකරන) ක්‍රියාය. දස අකුසල, දුගතිය ඇතිකරන අයහපත් ක්‍රියාය. මේවා සාධු ධර්ම හා අසාධු ධර්ම ලෙසින්ද හඳුන්යි. බලන්න: සාධු හා අසාධු ධර්ම, කුසල හා අකුසල. සටහන: දසකුසල හා දසඅකුසල පිලිබඳව, අංගු.නි: 10 නිපාත: සාමඤඤ වග්ගයේ විස්තරාත්මකව පෙන්වා ඇත.

▼ දස කුසල හා දස අකුසල ධර්ම: දස කුසල් යනු: 1) පරපන වැනසීමෙන් වැළකීම-ප්‍රාණඝාතය 2) නුදුන්දේ ගැනීමෙන් වැළකීම-සොරකම 3) කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම- කාමමිච්චාචාරය 4) බොරුකීමෙන් වැළකීම 5) කේලාම් කීමෙන් වැළකීම 6) සැර පරුස වචන කීමෙන් වැළකීම-පරුෂකතා 7) හිස්වචන කථා කිරීමෙන් වැළකීම-සම්ප්‍රප්ඵලාප 8) අබිජ්ජාව නැතිබව - අලෝභය 9) හොඳහිත ඇතිව සිටීම (අක්‍රෝධය-අද්වේශය - good will) 10) සම්මා දිට්ඨිය ඇතිව සිටීම. දස අකුසල් යනු: 1) පරපන වැනසීම 2) නුදුන්දේ ගැනීම 3) කාමයෙහි වරදවා හැසිරීම 4) බොරුකීම 5) කේලාම් කීම 6) සැර පරුස වචන කීම 7) හිස්වචන කථා කිරීම 8) අභිජ්ජාව 9) ක්‍රෝධය 10) මිථ්‍යාදිට්ඨිය. සටහන: කුසල් හා අකුසල් ක්‍රියා ත්‍රිවිධාකාරය: 1-3 කායික ක්‍රියා, 4-7 වාචික ක්‍රියා 8-10 මානසික ක්‍රියා. බලන්න: කුසල හා අකුසල. මූලාශ්‍ර: ම.නි:(1 ):1.1.9 සම්මාදිට්ඨි සූත්‍රය, පි. 130, EMN:9: Sammādiṭṭhi Sutta-Right View, p. 121, අංගු.නි: (6): 10 නිපාත: ජානුසොණි වගග: 10.4.2.8 කම්ම නිදාන සූත්‍රය, පි. 506, EAN:10: Jāṇussoṇī: 174.8 Causes of Kamma, p.552.

▼ දසකුසල ධර්මානුකූලවේ, දසඅකුසල අධර්මානුකූලය: ධර්මානුකූලව ජීවත්වීම යනු තුන් දොරින් යහපත් ක්‍රියා කිරීමය. එම පිළිවෙත අනුව ක්‍රියාකරන මිනිසුන් සුගතියේ උපත ලැබීමට වාසනාව ඇත. ධර්මයට අනුකූල නොවන ලෙසින් ජීවත්වීම යනු තුන් දොරින් අයහපත් ක්‍රියා කිරීමය, එම පිළිවෙත අනුගමනය කරන්නෝ දුගතියට යති.සටහන: ධර්මානුකූලව ජීවත්වන පුද්ගලයාට මේ ජීවිතයේදීම නිවන සාක්ෂාත් කරගැනීමට හැකිබව මේ සූත්‍රයේදී පෙන්වා තිබේ. මූලාශ්‍ර: ම.නි: (1):1.5.1 සාලේයිය්‍යක සූත්‍රය, පි.682, EMN:41: Sāleyyaka Sutta-The Brahmins of Sālā, p.358.

▼ දසකුසලය වැඩිය යුතු ධර්මයෝය- භාවේතබ්බ ධර්ම -වර්ධනය කරගතයුතු ධර්මයය. දසඅකුසලය පහකර ගත යුතු ධර්මයෝය -නභාවේ තබ්බ ධර්මය වර්ධනය නොකර ගතයුතු ධර්මයය. බලන්න: භාවෙතබ්බ ධමම හා නභාවෙ තබ්බ ධමම. මූලාශ්‍ර: අංගු.නි: (6) :10 නිපාතය:10.4.4.7. භාවේතබ්බ ධර්ම සූත්‍රය, පි. 540, EAN: 10: 194, p. 556.

▼ වෙනත් මුලාශ්‍ර:1. “අකුසල චිත්ත (ලෝභ දෝස මෝහ නිසා) වශයෙන් දස අකුසල පහළවේ.එමගින්, අයහපත් දුක් විපාක ලැබේ. එනිසා, සැප කැමති සත්පුරුෂයන් අකුසල ධර්ම දැන, ඉන් වෙන්ව කුසල ධර්ම පිරිය යුතුය...” : සද්ධර්ම කෝෂය, පි. 113.

▲ දසධර්ම- Ten Dhammas: විවිධ දස ධර්ම පිලිබඳ සූත්‍ර දේශනාවල සඳහන්වේ. සටහන: සංඝයා පිළිබඳව පෙන්වා ඇති දස ධර්ම පිළිබඳව බලන්න: සංඝයා

▼ සුගත විනයේ දස ධම්මය:: සුගත විනයේ දස ධම්මය ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ සම්මා දිට්ඨිය...සම්මා විමුක්තිය යන දස අංගයන්ය. එම දස ධම්ම ඇතිවන්නේ හා එමගින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන්නේ සුගත විනයේ පමණක් යයි මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. සටහන: මේවා දස සම්‍යක්තවය ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: මිථ්‍යාත්වයට පැමිණීම හා සම්‍යක්තවයට පැමිණීම. මූලාශ්‍රය:අංගු.නි: ( 6): 10 නිපාත: පරිශුද්ධ වග්ග: 10.3.3.1-10.3.3.9 සූත්‍ර, පි.462.

▼ පබ්බජා විසින් ආවර්ජනය කලයුතු දසධර්ම ඇත. බලන්න: පබ්බජා.

▼ තථාගතයන්ගේ විමුක්ති සුවයට හේතුවූ, උන්වහන්සේ පහකළ දස ධර්ම ඇත: විමුක්තිය පිණිස අත්හල දස කරුණු. බලන්න: තථාගතයන්වහන්සේ.

▼ දසධර්ම ප්‍රශ්න- අන්‍ය ආගමික පරිබ්‍රාජකයන්, ධර්මය ගැන ප්‍රශ්න විමසනවිට ඔවුනට පිළිතුරු දීම පිණිස, බුදුන් වහන්සේ විසින් සංඝයාට මේ දස ධර්ම ප්‍රශ්ණ උගන්වා වදාළහ. බලන්න: මහා දසධර්ම ප්‍රශ්න.

▲ දස පාරමිතා - Ten Parami: මතු බුදුබව පතන බෝධිසත්‍වයන් විසින් සම්පුර්ණ කරගතයුතු උතුම් ගුණ දස පාරමිතාවන්ලෙසින් චරියාපිටකයේ පෙන්වා ඇත. දස පාරමිතා පිලිබඳ සූත්‍ර දේශනාවන්හි විස්තර නොමැත. බොහෝ බෞද්ධයන් තුල දසපාරමිතා පිලිබඳ විස්වාසය ඇත. මෙය මහායානයේ බලපෑමක් විය හැකිය යන මතය ප්‍රචලිතය. දසපාරමිතා විස්තරය: 1) දාන-giving 2) ශිල -morality 3) නෙක්කම්ම - renunciation 4) ප්‍රඥා -wisdom 5) වීරිය- energy 6) ඛන්ති -patience 7) සච්ච -Truthfulness 8) අධිට්ඨාන-Resolution 9) මෙත්තා -Loving-kindness 10) උපේක්ඛා -equanimity. බලන්න:බෝධිසත්‍ව. ශබ්දකෝෂ: B.D: p: 125: “Parami-Paramita: 10 qualities leading to Buddha-hood…” මූලාශ්‍රය: ඛු.නි: බුද්ධවංස පාලි-චරියා පිටක පාලි: පි.278.

▲ දස පුණ්‍ය ක්‍රියා වස්තු- Dasa punnakriyavasthu: පිං ලැබෙන ක්‍රියා පුණ්‍ය වස්තුය. බලන්න: පුණ්‍යක්‍රියා හා පුණ්‍යක්‍රියා වස්තු. ලෝකයාට පින් ලබගත හැකි ක්‍රියා 10 ක් අටුවාවේ විස්තර කර ඇත: 1) දානය: දානමය පූජා හෝ අනුග්‍රහයන් 2) සීලය: බුදුන් වහන්සේ පෙන්වා ඇති සිල්පද-සිඛපද රැකගැනීමෙන් පාපී කියා හැර දැමීම 3) භාවනාව 4) ගරුකලයුතු අයට ගරුබුහුමන් දක්වීම- ගෞරව (අපචායනය) 5) තෙරුවන් පිදීම, දෙමාපියන් ට සැලකීම, වැඩිහිටි හා රෝගීන් රැක බලාගැනීම - ගිලානසේවය- (වෙය්‍යාවච්චය) 6) පින්දීම: තමන් විසින් සිදුකළ දානමය පිං සෙසු අයට අනුමෝදන් කිරීම 7) පින් අනුමෝදන්වීම: අනුන් සිදුකළ දානමය පින්කම් ගැන සතුටට පත්වීම- මුදිතාව ඇතිකර ගැනීම 8) දහම් සවනය-ධර්ම ශ්‍රවනය: බැතියෙන් හා ඕනෑකමින් යුතුව ධර්මය ඇසීම 9) දහම් දේශනය-ධර්ම දේශනා: තමා හෝ අනුන්ලවා යහපත් ලෙසින්, ධර්මය අනුන්ගේ යහපත පිණිස දේශනා කිරීම හා කරවීම 10) දිට්ඨිය ඍජු කරගැනීම: සම්මා දිට්ඨියට පැමිණීම. විස්තර පිණිස බලන්න: බෞද්ධයාගේ අත්පොත: රේරුකානේ චන්දවිමල මහානාහිමි: දසපුණ්‍යක්‍රියාවස්තු පි. 104.

▲ දසබලඥාන: පාලි: දසබලානි-Ten powers: තථාගතයන් සතු විශේෂ නුවණ, බල දසය, ‘දසබල ඥාන’ ලෙසින් දක්වා ඇත. බලන්න: තථාගතයන්වහන්සේ.

▲ දසබල මාර සේනාව -Mara’s 10 force: දසබල මාර සේනාව යනු, මාරයාගේ සේනාවය. බලන්න: මාරයා.

▲ දසවාසස්ථාන-Ten dwellings :අතීතයේ වැඩ සිටි හෝ අනාගතයේ පහළවන හෝ වර්තමානයේදී වැඩ සිටින (තුන් කාලය) ආරියබව ලැබූ පුද්ගලයන් වාසය කරන ස්ථාන 10, දසවාසස්ථානවේ. බලන්න: ආරිය වාසස්ථාන.

▲ දස සංඥා: පාලි: දසසඤ‍්ඤා- Ten Perceptions: සසර කලකිරීම පිණිස වඩාගතයුතු සංඥා, දස සංඥාවේ. මේවා වඩා ගැනීම නිවන පිණිස වේ. දසසංඥා: අනිච්චසංඥාව, අනාත්මසංඥාව, අශුභසංඥාව, ආදීනවසංඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව, සබ්බලෝකේ අනභිරතිසංඥාව, සබ්බසංඛාරයෙහි අනිච්ච සංඥාව හා ආනාපාන සතිය. විස්තර පිණිස බලන්න: සංඥා. සටහන්: * මේ භාවනා වැඩිම පිළිබඳව බලන්න: භාවනා. **රෝග ආබධ සුවපත් කරගැනීම පිණිස දස සංඥා මෙනෙහිකිරීම සුදුසු ය. ගිරිමානන්ද සූත්‍රයේ දී දස සංඥා පිලිබඳ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ආනන්ද, ගිරිමානන්ද තෙරුන් වෙත එළඹ දසසංඥා සජ්ජායනා කරන්න, එය ඇසීමෙන්, ගිරිමානන්ද තෙරුන්ගේ ආබාධයට හේතු සන්සිඳී යනු ඇත”.

“සචෙ ඛො ත්‍වං ආනන්‍ද ගිරිමානන්‍දස‍්ස භික‍්ඛුනො උපසංකමිත්‍වා දසසඤ‍්ඤා භාසෙය්‍යාසි, ඨානං ඛො පනෙතං විජ‍්ජතී යං ගිරිමානන්‍දස‍්ස භික‍්ඛුනො දසසඤ‍්ඤා සුත්‍වා සො ආබාධො ඨානසො පටිප‍්පස‍්සම‍්භෙය්‍ය”. ( If, Ānanda, you visit the bhikkhu Girimānanda and speak to him about ten perceptions, it is possible that on hearing about them his affliction will immediately subside). මූලාශ්‍ර: අංගු.නි: ( 6 ): 10 නිපාත: 10.2.1.10 ගිරිමානන්ද සූත්‍රය, පි. 221, EAN: 10: 60.10. Girimānanda, p. 516.

▲ දස සංයෝජන-10 Fetters: සසරට බැඳ තබන ධර්මතා සංයෝජන වේ. සංයෝජන10: 1) සක්කායදිට්ඨිය- personal-existence view 2) විචිකිච්චාව- doubt 3) සීලබ්බතපරාමාසය- wrong grasp of behavior and observances 4) කාමචන්දය- sensual desire 5) ව්‍යාපාදය- ill will. 6) රූපරාග- lust for form 7 ) අරූපරාග- lust for the formless 8 ) මානය-conceit 9 ) උද්ධච්චය-restlessness 10 ) අවිජ්ජා- ignorance. බලන්න: සංයෝජන, ඔරම්භාගිය සංයෝජන, උද්ධම්භාගිය සංයෝන. මූලාශ්‍ර: අංගු.නි: ( 6 )10 නිපාත: නාථ වග්ග, 10.1.2.3 සංයෝජන සූත්‍රය, පි.60, EAN:10: Protector: 13.3. Fetters, p. 496.

▲ දසසිල්: පාලි: දසසික‍්ඛාපදං-Ten Precepts: දස සිල්, දස සිඛ පද ලෙසින්ද සාමණෙර- සාමණෙර සීලය ලෙසින්ද හඳුන්වයි. සමහර ගිහි උපාසක උපසිකාවන් පෝය දිනයේ දස සීල් සමදන්වේ. දස සිල් පද: 1) ප්‍රාණ ඝාතයෙන් වැළකීම 2) සොරකම් කිරීමෙන් වැළකීම 3) මෙවුන්දම් සේවනයෙන් වැළකීම 4) බොරුකීමෙන් වැළකීම 5) මත්පැන්, මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීම -සුරාපානය 6) විකාලයේ ආහාර ගැනීමෙන්-විකාල භෝජනය වැළකීම 7) නැටුම්, ගැයුම්, වැයුම්, විසුළු දර්ශන ආදියේ යෙදීමෙන් වැළකීම 8) සැරසීලි හා මල් සුවඳ විලවුන් ආදිය දැරීමෙන් වැළකීම 9) උස් අසුන් හා මහා අසුන් පරිහරණයෙන් වැළකීම 10) රන් රිදී හා මුදල් පිළිගැනීමෙන් වැළකීම. මූලාශ්‍ර:ඛු.නි: ඛුද්දකපාඨ: 2. දසසිකපද, පි. 30.

▲ දසසූත්තර ධර්මය: පාලි: දසුත‍්තරං ධම‍්මං- Dhamma under ten headings: එකේ සිට දහය දක්වා, ගණනින් වැඩිවී යන පරිදි දක්වා ඇති ධර්මසමුදාය, දසසූත්තර ධර්මය වේ. මේ ධර්ම සමුදාය දේශනා කොට සැරියුත් මහා තෙරුන් වදාළේ, එම ධර්මතා නිවනට පැමිණීම පිණිස, දුක කෙළවර කරගැනීම පිණිස, සියලු කෙළෙස් ගැට ලිහා ගැනීම පිණිස පවතින බවය: “දසුත‍්තරං පවක‍්ඛාමි ධම‍්මං නිබ‍්බාන පතත‍්තියා දුක‍්ඛස‍්සන‍්තකිරියාය සබ‍්බගන‍්තප‍්පමොචනං” සටහන්: * මේ ධර්ම සමුදායට ධර්ම කරුණු 550 ක් පමණ ඇතුළත් වේ (1: 10, 2: 20, 3:30, 4:40, 5:50, 6:60, 7:70, 8: 80, 9:90, 10: 100. එම සියලු ධර්මතා, සත්‍ය ධර්මයෝ ය, තථාගතයන් විසින් යහපත් ලෙසින් අවබෝධ කරන ලද ධර්මතාවන්ය. ආධ්‍යාත්මික වර්ධනය පිණිස උපකාරීවන එම ධර්මතා කණ්ඩායම් 10 ට බෙදා පෙන්වා ඇත: 1) බහු උපකාර ධර්මතා 2) භාවේතබ්බ ධර්මතා (වැඩියයුතු) 3) පරිඥෙය්‍ය ධර්මතා (පිරිසිඳ දැන ගතයුතු) 4) පහාතබ්බ ධර්මතා (පහ කල යුතු) 5) හානභාගිය ධර්මතා (හානිකාරී) 6) විශේසභාගිය ධර්මතා (විශේෂ ගුණ පිණිස) 7) දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්මතා (අවබෝධය දුෂ්කර) 8) උත්පාදයිතව්‍ය ධර්මතා (උපදවාගතයුතු) 9) අභිඥෙයිය ධර්ම (විශේෂ නුවණින් දතයුතු) 10) සාක්ෂාත් කරගතයුතු ධර්මතා. ** This is largely a rearrangement of Dhamma under ten heads found in DN 33, Sāriputta gives the systematic instruction බලන්න: EDN: note: 1133, p. 475. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ දස්සනආධිපත්‍ය -Dassana adhipaththiya: මෙය ප්‍රඥාවකි, ගැටීම් රහිතව ආධ්‍යාත්මික මග ගෙනයාමට උපකාරීවන නුවණක්ය, බලන්න: අරණවිහාර ඥාණය.

▲ දාසදාසි- Male & female slaves: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ධනවත් පවුල්, තමන්ගේ බැල මෙහෙවර පිණිස, දාස දාසින් යොදවාගති. විනයට අනුව, සංඝයාට දාස දාසින් පිළිගැනීම කැප නොවේ. මේ සූත්‍රයේ, බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, දාස හා දාසින් පිළිගන්නා අය ලෝකයේ බහුලබවය. එසේ පිළිනොගන්නා අය ඉතා ටික දෙනෙකි. සටහන: පුන්ණා -පුන්ණිකා තෙරණිය, ගිහිකල, අනේපිඬුමහසිටානන් ගේ නිවසේ දාසියක් ලෙසින් සේවය කළහ. දහම අසා සෝතාපන්නවූ පුන්ණා ගැන ප්‍රසාදයට පත්වූ සිටුතුමා, ඇය දාසිබවින් මුදවා පැවිදිවීමට අවස්ථාව සලසා දුන්හ. විස්තර පිණිස බලන්න: ථෙරිගාථා, උපග්‍රන්ථය:2 මූලාශ්‍ර: සංයු.නි: (5-2 ):මහාවග්ග: සච්චසංයුත්ත:9: 12.9.7 දාසිදාස සූත්‍රය, පි. 368, ESN:56: Sacchasamyutta: 87.7 Slaves, p.2362.

▲ දුසිරිතය හා සුසිරිතය- wrong conduct and right conduct: දුසිරිතය- දුෂ්චරිතය යනු ධර්මයට පටහැනි ජිවිතයක් ගෙන යාමය. සුසිරිතය- සුචරිතය යනු ධර්මානුකූල ජිවිතයක් ගෙන යාමය. කයෙන්, වචනයෙන් හා සිතෙන් (තුන්දොරින්) කරන අයහපත් ක්‍රියා- වැරදි ක්‍රියා දුසිරිතයවේ. කයෙන්, වචනයෙන් හා සිතෙන් කරන යහපත් ක්‍රියා- නිවැරදි ක්‍රියා සුසිරිතයවේ. මූලාශ්‍ර: දිඝ.නි: (3 ) 10 සංගිති සූත්‍රය- ඡෙදය 10 , පි. 378 , EDN: 33 Sangīti Sutta: The Chanting Together-section 10, p. 365.

▲ දුසිල්වතා හා සුසිල්වතා -immoral person & moral person දුසිල්වතා: ශිලසම්පන්න නැති පුද්ගලයාය. සුසිල්වතා: ශිලසම්පන්න පුද්ගලයාය. දුසිල්වතාට- දුශ්ශිලයාට, ආරිය දර්ශනයට ඇති අකමැත්ත, සද්ධර්මය ශ්‍රවණයට ඇති අකැමැත්ත හා උපාරම්භ චිත්තය (අනුන් විවේචනයට ඇති කැමැත්ත mind bent on criticism) නැතිකරගැනීමට නොහැකිය. අශ්‍රද්ධාව,අවදඤඤුතාවය (un-charitableness) අවදඤඤුතාවය නැතිකරගැනීමෙන් දුසිරිතය පහවේ. ආරබ්ධ විරිය ඇති පුද්ගලයාට දුසිරිතය පහ කර ගත හැකිවේ. මූලාශ්‍ර: අංගු.නි: ( 6): 10 නිපාත: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▼ දුසිල්වතා, ශිලසම්පන්න නොවීම නිසා ඔහුට සමාධිය ඇතිනොවේ. සමාධිය නොමැතිනිසා යථාභූතඥානදර්ශනය ලබා ගත නොහැකිය, එමනිසා නිබිද්දාව හා විරාගය ඇතිනොවේ. නිබිද්දාව හා විරාගය නොමැතිවිට විමුක්තිඥානදර්ශනය ඇතිනොවේ. මේ පිළිබඳව බුදුන් වහන්සේ දැක්වූ උපමාව: අතු කොළ නොමැති ගසක පොත්ත හරය ආදිය මානව නොවැඩේ, එලෙසින් දුසිල්බව මාර්ගය වර්ධනය අවහිර කරයි. සුසිල්වතා, ශිලසම්පන්න වීම නිසා ඔහුට සමාධිය ඇතිවේ, සමාධිය නිසා යථාභූතඥානදර්ශනය ලබා ගත හැකිවේ. එමනිසා නිබිද්දාව හා විරාගය ඇතිවේ. නිබිද්දාව හා විරාගය ඇතිතිවිට විමුක්තිඥානදර්ශනය ඇතිවේ. මේ පිළිබඳව බුදුන් වහන්සේ දැක්වූ උපමාව: අතු කොළ සරුවට ඇති ගසක පොත්ත හරය ආදිය මානව වැඩේ, එලෙසින් ශිලසම්පන්නවූවිට මාර්ගය වර්ධනය වේ. මූලාශ්‍ර: අංගු.නි: (3 ): 5 නිපාත: 5.1.3.4 දුස්සීල සූත්‍රය, පි. 52, EAN:5: 24.4 Immoral, p. 243.

▲ දෝසය- hate: දෝසය - ද්වේෂය -තරහ-ව්‍යාපාදය අකුසල මූලයකි. බලන්න: අකුසල මූල. කෙනෙක් දෝසය නම්වූ සංකෙලේස ධර්මය (සිත කෙලෙසන) පහ කර ගන්නේ නම්, තමන් වහන්සේ ඒ පුද්ගලයාට අනාගාමීබව ලැබීම පිණිස ඇප වෙන බව බුදුන් වහන්සේ වදාරාඇත. දෝසය නිසා ලෝකයා දුගතියට යයි, සම්මා ප්‍රඥාවෙන් දැක ඒ දෝසය සහමුලින්ම පහකරගත් විට, මේ ලෝකයට නැවත පෙරලා නොඑයි. සටහන්: *දෝසය ගින්නක් -දෝසගින්න ලෙසින් පෙන්වා ඇත. බලන්න: ගින්න, ආදිත්තපරියාය සූත්‍රය ** දෝසය නැතිකරගැනීම දෝසවිනයය. බලන්න: ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 1.1.2 දෝසසූත්‍රය, පි. 346, 1.1.10 දෝසපරිඤඤා සූත්‍රය, පි.353.

▼ දෝසය ඇතිවීමට හේතු 2 කි: පටිඝමිත්ත හා අයෝනිසෝමනසිකාරය.: මූලාශ්‍රය: අංගු.නි: (1) 2 නිපාතය, ආසාවග්ග: 2.3.11.7 සූත්‍රය,පි. 208.

දශ

▲ දශ්සන විසුද්ධි ඥානය- Dassana visuddhi Nana: සියලු සංඛත අසංඛත ධර්මතාවල ඒකීයබව හා විවිධ බව අවබෝධ කරගැනීමේ නුවණ, දශ්ශන විසුද්ධි ඥානය ය. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්බිදා-1: ඤාණකතා: 40 දශ්ශන විසුද්ධි ඥානය, පි. 220.

▲ දේශනා වාර-Types of discourses: දේශනා වාර ලෙසින් මේ සූත්‍රයේ පෙන්වා ඇත්තේ, බුදුන් වහන්සේ ධර්මය දේශනා කරණ වාර- නොහොත් කාරණා වශයෙන් වර්ග 2 ක් බවය:1) “පාපය ලාමක වශයෙන් බලන්න”. 2) “ පාපය ලාමක වශයෙන් දැක ඒ ගැන කලකිරෙන්න, නො ඇලෙන්න, මිදෙන්න”. මූලාශ්‍ර: ඛු.නි: ඛුද්දකපාඨ: ඉතිවුත්තක: 2.2.2 දේශනා සූත්‍රය, පි.390.

▲ දුශ්චරිත-Dushcarita: දුශ්චරිත (දුච්චරිත) යනු තුන් දොරින් කරන අයහපත් ක්‍රියාය: කාය, වචී හා මනෝ දුශ්චරිත. මේවා නැතිකර ගැනීම පිණිස ත්‍රිවිධ සුචරිතය: කාය, වචී හා මනෝ සුචරිත වඩා ගත යුතුය. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.2 දුච්චරිත සූත්‍රය, පි.280.

දෂ

▲ දුෂ්කර දේ- Difficult things: කිරීමට අපහසු දේ දුෂ්කර දේය. මහණදම පිරිම දුෂ්කර දෙයකි. අනුවණ පුද්ගලයාට මහණදම පිරිම දුෂ්කරයයි දෙවියෙක්, බුදුන් වහන්සේට පැවසුහ. සිතේ ඇති අකුසල් සිතුවිලි (රාගය දෝෂය හා හිංසාව) පහකර ගැනීමට ඔහු අසමත්ය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ:“කෙනෙකුට සිත අකුසලයෙන් වළකා ගැනීමට නොහැකිනම් මහණදම කෙසේ කරයිද? පාප විතර්ක නිසා ඔහු මාර්ගයේ පසුබසී. එහෙත්, ඉදිබුවා සිය අවයව ඉබිකටුව තුලට ගන්නා ලෙසින් අකුසල සිත අස්කර, භාවනාවට සිත ඇතුළුකරගෙන, ස්වාධීනව, වෙනත්, අය නොපෙළමින්, කිසිවෙකුට දොස් නොපවරන මහණ, සියලු ආසව සන්සිඳුවා අරහත්වයට පත්වේ (මහණදම සම්පුර්ණකරගනී)” බලන්න: ESN: note: 27, p. 503. මූලාශ්‍ර:සංයු.නි: සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.2.7 දුෂ්කර සූත්‍රය, පි.40, ESN: 1: Devatasamyutta: 17.7 Difficult to Practice, p.76.

▲ දුෂ්කර ක්‍රියා- Difficult actions : දුෂ්කර ක්‍රියා ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ බෝධිසත්වයෝ, බුදුවීමට පෙර වසර 6-7 ක් පමණ කාලය තුල කරනලද දුෂ්කර තපස් ව්‍රත පිලිබඳවය-අත්තකිලමතානු යෝගය. ඒවායේ අවැඩදායක බව ප්‍රඥාවෙන් අවබෝධ කර, මධ්‍යම ප්‍රතිපදාවට එළඹී, බෝසතුන් සම්බුද්ධත්ව සාක්ෂාත්කරගති. බලන්න: තපස්කර්ම, බුදුන්වහන්සේ. සටහන: ම.නි. ආරියපරියේෂණ සූත්‍රයේ එම දුෂ්කර ක්‍රියා විස්තරාත්මකව පෙන්වා ඇත.

▲ දුෂ්ප්‍රඥා-Dushpranna: ධර්මය දැකීමට ප්‍රඥාව නොමැතිබව දුෂ්ප්‍රඥා ලෙසින් පෙන්වා ඇත. බලන්න: අසද්ධර්මය. මූලාශ්‍රය: අංගු.නි: (4) 7 නිපාත:සමණවග්ග:7.2.4.9 අසද්ධර්ම සූත්‍රය, පි.512.

▲ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම: පාලි: දුප‍්පටිවිජෙඣා- Dhamma that are hard to penetrate: විනිවිදව අවබෝධ කරගැනීමට දුෂ්කර (පහසු නැති) ධර්ම, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම යන්ය. සටහන: මේ ධර්මතා දුකසේ අවබෝධ කර ගත යුතුවේ. දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්මතා: 1) ආනන්තරික චිත්ත සමාධිය (ආනන‍්තරිකො චෙතො සමාධි) බලන්න: ආනන්තරික චිත්ත සමාධිය. 2) අකුසල මූල- සත්ත්‍වයන් තුල කෙළෙස් ඇති වීමට බලපාන කරුණු හා ඒවාට හේතු (මූලය හා හේතු- පච්චයා) ( යො ච හෙතු යො ච පච‍්චයො සත‍්තානං සංකිලෙසාය - That which is the root, the condition of the defilement of beings) 3) කුසල මූල: සත්ත්‍වයන් ගේ පිරිසිදු භාවය ඇති වීමට බලපාන කරුණු හා ඒවාට හේතු (මූලය හා හේතු) ( යො ච හෙතු යො ච පච‍්චයො සත‍්තානං විසුද‍්ධියා- that which is the root, the condition of the purification of beings).4) ත්‍රිවිධ නිස්සාරණිය ධාතු (තිස‍්සො නිස‍්සරණියා ධාතුයො): නෙක්ඛම්මය, අරූපය, නීරෝධය (නෙක‍්කම‍්මං, ආරූප‍්පං, නිරොධො).5) සතර සමාධිය: හානභාගිය, ඨිතිභාගිය, විසේසභාගිය හා නිබ්බේදකභාගිය සමාධි. බලන්න: සතර සමාධිය. 6) පංච නිස්සරණිය ධාතු: 1) නෙක්ඛම්ම නිස්සාරණිය ධාතුව 2) මෛත්‍රිය -මෙත්තා නිස්සාරණිය ධාතුව 3) කරුණා නිස්සාරණිය ධාතුව 4) අරූප නිස්සාරණිය ධාතුව 5) නිරෝධ නිස්සාරණිය ධාතුව. බලන්න: නිස්සරණිය ධාතු. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

දහ

▲ දහම්කතා-Dhamma talks: ධර්මය පිළිබඳව, බුදුන් වහන්සේ හෝ ශ්‍රාවකයන් පවසන කතා-සාකච්චා මින් අදහස්‌ කෙරේ. මංගල සුත්‍රයේ කාලීනව ධර්මය සාකච්ඡා කිරීම සුභයයි පෙන්වා ඇත. දහම් කථා ඇසීමට තමන් කැමති ලෙසින් අවස්ථා ලැබීම, අකුප්පබව- අරහත්වය ලැබීමට උපකාරීවන කරුණකි. බලන්න: අක්කුප්ප.

▲ දහම් කැඩපත-Dhamma mirror: දහම් කැඩපත ලෙසින් පෙන්වා ඇත්තේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ධම්ම න්‍යායකටය. යම් අරිය ශ්‍රාවකයෙක් සෝතාපන්නවී නම් ඔහු, සතර අපාය දුරු කළ බවද, ඒකාන්තයෙන්ම සම්බෝධිය පිහිටකර ගෙන ඇතිබව දන්නේය. එනිසා ඔහු ගේ පරලොව සුගතියක් බව ඔහු දන්නේය. සටහන: මියගිය සංඝයා හා උපාසක උපාසිකා වන්ගේ පරලොව ගමන ගැන ආනන්ද තෙරන් කළ විමසීමක් මත, බුදුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. බලන්න: ගති. සටහන: මහාපරිනිබ්බාන සූත්‍රයේ දීද දහම් කැඩපත ගැන විස්තරකර ඇත. මූලාශ්‍රය:සංයු.නි: (5-2) මහාවග්ග: සෝතාපත්තිසංයුත්ත:11.1.8 හා 11.1.9 ගිඤ්ජකාවස්ථ සූත්‍ර, පි.184.

▲ දහර-Young: දහර යනු තරුණ බවය. තරුණ හෙවත් ලාබාලවියේ පසුවන සිව්දෙනක් ලදරු යයි අවමන්-පරිභව නොකොට (පරිභව නොකළයුතු සිව් දෙනා) යුතුයයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) තරුණ ක්‍ෂත්‍රිය: යම් කලක රජබවට පත්වන්නේය. යම්හෙයකින් කෙනක් ලාබාල යයි ඔහුට අවමන් කළේ නම්, පසු කල රාජ දණ්ඩනයට පත්විය හැකිය. 2) ලදරු සර්පයා - ලාබලවුවත් සර්පයා විෂ සහිතය. සර්පයෝ නන් වැදෑරුම් වෙසින් හැසිරේ, කෙනක් එම සතාට අවමන්-හිරිහැර කළේනම් ඌ ඒ පුද්ගලයාට දෂ්ටකර දිවි තොර කරනු ඇත. 3) ලදරු-කුඩා ගින්න, පසුව මහා ගින්නක් බවට පත්වේ. එම ගින්නට කෙනක් අවමන් කරයි නම්, ගින්න ඒ පුද්ගලයාට අනතුරු කරනු ඇත. 4) තරුණ-ලාබාල මහණ: වයසින්, පැවිද්දෙන් ලාබාලවුවත්, භික්ෂුව සියලු කෙළෙස් දවා අරහත්වය ලබා ඇත. එබඳු කීර්තිමත් මහණ මැනවින් ඇසුරු කිරීම යහපත පිණිසය. එමනිසා මේ සතර දෙනා පිළිබඳව නුවණැති ලෙසින් කටයුතු කළයුතුවේ. සටහන්: * මේ සූත්‍රය දේශනා කළේ පසේනදී කෝසල රජතුමා බුදුන් වහන්සේ වයසින් හා පැවිද්දෙන් තරුණ නිසා සම්මා සම්බෝධිය ලැබුවේ යන විමසීම පදනම් කර ගෙනය. බලන්න: සම්මා සම්බුද්ධ. ** ඉන්දියානු සම්ප්‍රදායට අනුව, සර්පයන්ට තමන් කැමති වෙසක් ගත හැකිය. අටුවාව පෙන්වා ඇත්තේ, ගොදුරු සොයා යන සර්පයා, කැමති වෙසක්- ලේනෙක් ලෙසින් හෝ- ගැනීමට හැකිබවය **සිල්වත් භික්ෂුව තමන්ට පරිභව කරණ අය ඉවසයි, පෙරළා පළි නොගනී. එහෙත්, එසේ කළ පුද්ගලයාට අයහපත් කර්ම විපාක විඳීමට සිදුවේ. බලන්න: ESN:note :202, p.530.බලන්න: වැඩිහිටිබව හා තරුණබව.මූලාශ්‍ර: සංයු.නි: (1 ): කෝසලසංයුත්ත:3.1.1. දහර සූත්‍රය,පි. 156, ESN:3: Kosalasamyutta: 1.1 Young, p. 216.

▼ එක්තරා තරුණ මහණෙක්, පිණ්ඩපාතයෙන් පසු වෙහරට පිවිස නිහඬව වාසය කරයි, අන්‍යයන්ගේ කටයුතු වලට සහභාගී නොවේ. සංඝයා ඒ පිළිබඳව බුදුන් වහන්සේට සැලකළහ. බුදුන් වහන්සේ ඒ මහණ කැඳවා, ඔහුගේ සිත, උන්වහන්සේගේ සිතින් පරික්ෂාකර සෙසු සංඝයාට මෙසේ වදාළහ: “ඒ දහර (යොවුන්) මහණ, උතුම්ය, මාර සේනාව දිනා අන්තීම ශරිරය දරයි”. මූලාශ්‍රය: සංයු.නි: (2) නිදාන්වග්ග: භික්ඛුසංයුත්ත: 9.1.4 නවභික්ඛු සූත්‍රය, පි. 450.

▲ දහසක් ලෝක ධාතුව: පාලි: සහස‍්සධා ලොකො- thousand fold world system: දහසක් ලෝක ධාතුව-ලෝකධාතු 1000- සහශ්‍ර ලෝක මණ්ඩලයන්ය. සටහන: ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන අවස්ථාවේ දහසක් ලෝක ධාතුව සැලි ගිය බව ද, දෙවියන්ගේ ආනුභාවයට වඩා මහත්වූ ආලෝකධරාවක් පැතිර ගිය බව පෙන්වා ඇත.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ:: සඳ හා හිරු යම්තාක් දුර බ්‍රමනය වන්නේද, යම් තාක් දුරට ආලෝකය පතුරන්නේද, ඒතාක් දුරට දහසක් ලෝක ධතුව පැතිර ඇත:

“යාවතා භික‍්ඛවෙ චන්‍දිමසුරියා පරිහරන‍්ති, දිසා භන‍්ති විරොචනා, තාව සහස‍්සධා ලොකො...”. (Bhikkhus, as far as sun and moon revolve and light up the quarters with their brightness, so far the thousandfold world system extends). සටහන්: * ඒ ලෝක ධාතුවේ 1000, සඳ හිරු ආදී දේ 1000 බැගින් ඇතිබව මෙහි විස්තර කර ඇත ** අංගු: 3 නිපාත:ආනන්දවග්ගයේ: 3.2.3.10 සූත්‍රයේදී බුදුන් වහන්සේ, දහසක් ලෝක ධාතු තුල ඇති සහසසි චූලනීය ලෝක ධාතුව (thousandfold minor world system) ගැන විස්තර කර ඇත. එම ලෝකධාතුවේ, ද්විසහස්සි, ත්‍රිසහස්සි, මහාසහස්සි ආදී ලෝක ධාතු ඇත .බලන්න: EAN:3: 80.10 Abhibhu, p. 120. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 10.1.3.9.ප්‍රථම කොසල සූත්‍රය,පි. 134 , EAN: 10: The Great Chapter, 29.9 Kosala-1, p. 505.

▼ අනුරුද්ධ තෙරුන්, සතර සතිපට්ඨානය යහපත් ලෙසින් වඩාගැනීම නිසා, දිවැස් ලැබූ බවද, දිවැස් නිසා, එතුමන්හට, දහසක් ලෝක ධාතුව බැලිය හැකිබව මේ සූත්‍රයේ විස්තර කර ඇත. මූලාශ්‍ර: සංයු.නි: ( 5-1 කාණ්ඩය):මහාවග්ග: සතිපට්ඨාන සංයුත්ත: 3.3.8 ලෝක සූත්‍රය, පි. 342, ESN:47: Satipatthanasamutta: III: 28.8 The World, p. 1888.

▲ දැහැටි: පාලි: දන‍්තකට‍්ඨ-tooth wood: බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ, ජනයා (මෙන්ම සංඝයාද), දත් හා මුව පිරිසිදු කරගත්තේ, බෙහෙත් පැළෑටි හා ගස් වලින් ගත් දැහැටි වලිනි. වර්තමානයේද, ආසියාතික රටවල මේ ක්‍රමය දැකිය හැකිය. සංඝයාට ගිලන්පස පුජා කරන අවස්ථාවේ දැහැටි පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අතර ඇති චාරිත්‍රයකි.

▼බුදුන් වහන්සේ, දැහැටි භාවිතා නො කිරීමෙන් (මුව හා දත් පිරිසිදුකර නොගැනීම) සිදුවන අයහපත පෙන්වා ඇත: 1) ඇසට හිතකර නොවේ 2) මුව දුගඳ වේ 3) රසනහර පිරිසිදු නොවේ 4) පිත හා සෙම, ගන්නා ආහාරයට බාධා කරයි 5) ගත් ආහාරය රිසිනොවේ. දැහැටි භාවිතය මගින් ඒ අයහපත් වලකා ගත හැකිය. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.5.1.8 දන්තකට්ඨ සූත්‍රය, පි.424, EAN:5: 208.8 Brushing, p. 305.

▲ දැහැමි හා අදැහැමි - Well behaved & Not well behaved: දැහැමි ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මයේ කිකරුබව- දමනයවී සිටීමය. අදැහැමි යනු ධර්මයේ දමනය නොමැතිබවය. දැහැමි පෙසල ලෙසින්ද, අදැහැමි පාපී ලෙසින්ද පෙන්වා ඇත. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, යම්කලක අදැහැමි භික්ෂුන් බලවත්වනවිට දැහැමි භික්ෂුන් දුබලවී යනබවය. එවිට දැහැමි භික්ෂුන් වෙන පළාත් වලට යයි. එය බොහෝදෙනාගේ අයහපත පිණිස වේ. බුමේ පිළිබඳව දැක්වූ උපමාව වුවේ, රටක, සොරුන් බලවත්වනවිට, රජතුමා දුබලවන බවය. එය රටවැසියාට හිතකර නොවේ. එහෙත්, රජතුමා බලවත් නම්, සොරුන් දුබලවේ. එය රට වැසියාට හිතකරය. එලෙසින්, යම්කලක, දැහැමි භික්ෂුන් බලවත් නම් අදැහැමි භික්ෂුන් දුබලවේ. එවිට අදැහැමි භික්ෂුන් වෙන පළාත් වලට යයි එය බොහෝදෙනාගේ යහපත පිණිස වේ. මූලාශ්‍රය: අංගු.නි: (1 ) 2 නිපාතය, 2.1.4.8 සූත්‍රය,පි. 172.

ධ කොටස:

ධජ,ධත,ධන,ධම,ධය,ධර,ධව

ධජ

▲ ධජය-Flag: ධජය ලෙසින් පෙන්වා ඇත්තේ කොඩියය. යම් කිසි සටනක් සිදුවන විට ඒ ඒ පක්ෂයේ නායකයන් ගේ ධජය අනුගමනය කිරීමට සේනාව පුරුදුවීඇත. ධජග්ග සූත්‍රයේදී, සක්දෙවිඳු, (සුර අසුර සටනේදී) දෙවියන්ගේ ධජ -දේවධජ-විස්තර කර ඇත. බුදුන් වහනසේගේ ධජය, ධර්මයය- දහම් කොඩිය. බලන්න: කොඩිය, ස.නි: (1) ධජග්ග සූත්‍රය.සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත:1.8.2. රථ සූත්‍රය, පි.104. ** සක්විතිරජ, ධර්මය ධජය කොටගෙන, ධර්මය ආධිපත්‍ය කොටගෙන දැහැමින් රජකරයි. බලන්න: සක්විතිරජ.

▲ ධජ පුජා- Offering flags: බුදු පසේබුදු ආදී උතුමන් වෙනුවන් ගොඩනගනලද ස්ථුප ආදිය කොඩිවලින් සැරසීම, ශ්‍රද්ධාවෙන් පුජාකිරීම, ආදියෙන් යහපත් කම්ම විපාක ඇතිවේ. සටහන්: * උපවාන තෙරුන්ගේ අපදානයේ, පදුමුත්තර බුදුන්ගේ පිරිනිවන් සෑයට ධජයක් පුජාකිරීම නිසා ලැබූ ආනිසංස විස්තර කර ඇත. ** බුදුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබූ අන්තිම ශ්‍රාවක භික්ෂුව වූ සුභද්‍ර තෙර, එතුමන්ගේ අපදානයේදී, පදුමුත්තර බුදුන්ගේ පිරිනිවන් සෑයට ධජයක් පුජාකර ලැබූ යහපත් විපාක පෙන්වා ඇත. බලන්න:උප ග්‍රන්ථය:1

ධත

▲ ධෳතරාෂ්ට්‍ර දෙව්රජ -Drutharashtra Devaputta: මෙතුමා, චාතුර්මහාරාජික දෙවලෝකයේ අධිපති සතරවරම් රජවරුන්ගෙන් (සතරවරවරම් දෙවියෝ) කෙනෙකි, ලෝකයේ නැගෙනහිර දිසාව පාලනය කරයි. බලන්න: චාතුර්මහාරාජික දෙව්ලොව.

▲ ධෘතිමත්- resolute: ධෘතිමත්- ධිතිමත්තාන ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මය පිලිබඳ නිශ්චිත බව තිබීමය. මේ කරුණ ඇති බුද්ධ ශ්‍රාවකයන් අතුරින් ආනන්ද තෙරුන් අග්‍රය. බලන්න: උපග්‍රන්ථය:1

▲ ධාතු: පාලි: ධාතුයො- elements -dhātu: ධාතු ලෙසින් දක්වා ඇත්තේ ධර්මතාවන්හි ඇති ස්වභාවයය. ධාතු පිලිබඳ යථා අවබෝධය ලබාගැනීම, ධර්ම මාර්ගය වර්ධනය කරගැනීමට උපකාරීවේ. සටහන්: * අටළොස් වැදෑරුම් අනෙක ධාතුන්ගැන හා නානා ධාතුන්ගැන විනිවිද යන අවබෝධය ඇතිවෙන්නේ තථාගතයන් ගේ පහළවීම නිසාය. බලන්න: තථාගත, ** ධාතු පිලිබඳ විස්තර පිණිස බලන්න: සංයු.නි: ධාතුසංයුත්තය. ** බුදු, පසේබුදු, අරහත් ආදී උතුමන්ගේ අභාවයෙන් පසු, ඉතිරිවන ඇට ආදියද ධාතු ලෙසින් දක්වයි. දීඝ.නි: මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව බුදුන් වහන්සේගේ ධාතු තැන්පත්කර ස්ථුප ගොඩනගන ලද බව සඳහන්වේ. ශබ්දකෝෂ: B.D: p. 99: “dhātu: elements are the ultimate constituents of a whole... 4 physical elements…18 physical & mental elements…”. P.T.S: p. 774: “dhātu: a primary element, of which the usual set comprises the four paṭhavī, āpo, tejo, vāyo (earth, water, fire, wind), otherwise termed cattāro mahābhūtā…”

▼ දී.ඝ:නි. සංගිති සූත්‍රයේ විවිධ ධාතු දක්වා ඇත: 1) කුසල ධාතු 3කි: 1නෙක්කම්ම ධාතුව 2 අව්‍යාපාද ධාතුව 3 අවිහිංසා ධාතුව (renunciation, non-enmity, of non-cruelty). 2) අකුසල ධාතු 3කි: 1කාම ධාතුව 2 ව්‍යාපාද ධාතුව 3 වීහිංසා ධාතු (sensuality, enmity, cruelty),3) ලෝක ධාතු 3 කි: තුන්ලෝකය (ත්‍රිවිධ භව):1 කාම ධාතුව (කාම ලෝකය- කාමාවචර) 2 රූප ධාතුව (රූප බ්‍රහ්ම ලෝක ) 3 අරූප ධාතුව (අරූප බ්‍රහ්ම ලෝක) (element of sense-desire, the element of form, the formless element) 4) නිරෝධ ධාතුව (element of cessation) : ලොකොත්තර ධාතුව (supramundane): නිවනය. 5 ) ධාතු 3 කි: 1 හීන ධාතු 2 මධ්‍යම ධාතු 3 ප්‍රණීත ධාතු (the low element, the middling element, the sublime element) 6) භෞතික ධාතු 4 කි: ශරීරිය සකස්වී ඇත්තේ ධාතු 4 කින්ය: 1) පඨවි ධාතුව (පෘතුවිය), 2 ආපෝ ධාතුව (ජලය) 3 තෙජෝ ධාතුව (උණුසුම) 4 වායෝ ධාතුව (වායුව-සුළං) ලෝකය සකස්වී ඇත්තේ මේ සතර ධාතු වලින්ය. මේවා මහාභූත ලෙසින්ද හඳුන්වයි. 7) නිස්සරණිය ධාතු 5 කි: 1කාම නිස්සරණිය ධාතුව : කාම වස්තු කෙරෙහි සිත නොයෙදවා ඉන් මිදීමට ඇති හැකියාව හා නෙක්ඛම්ම සහගත සිතක් වඩා ගැනීමට හැකියාව ඇතිවීම (අසුභ භාවනාව වැඩිම මගින් සිත කාමයෙන් මුදා ගත හැකිය) 2 ව්‍යාපාද නිස්සරණිය ධාතුව: ක්‍රෝධය තරහ ආදී පටිඝයෙහි සිත නොයෙදවා ඉන් මිදීමට ඇති හැකියාව හා මෛත්‍රිය සහගත සිතක් වඩා ගැනීමට හැකියාව ඇතිවීම (මෛත්‍රි භාවනාව වැඩිම මගින් සිත ව්‍යාපාදයෙන් මුදා ගත හැකිය). 3 වීහිංසා නිස්සරණිය ධාතුව: හිංසාව, පිඩා කිරීමආදී නපුරු සිතිවිලි කෙරෙහි සිත නොයෙදවා ඉන් මිදීමට ඇති හැකියාව හා කරුණා සහගත සිතක් වඩා ගැනීමට හැකියාව ඇතිවීම ( කරුණා භාවනාව වැඩිම මගින් සිත වීහිංසාවෙන් මුදා ගත හැකිය) 4 රූප නිස්සරණිය ධාතුව: රූපයට නො ඇලි, ඒවා කෙරෙහි සිත නොයෙදවා ඉන් මිදීමට ඇති හැකියාව (අරූප සමාපත්ති වැඩිම මෙහිදී උපකාරිවේ) 5 සක්කාය නිස්සරණිය ධාතුව: පංච උපාදානස්කන්ධය පිලිබඳ නො ඇලි, එහි සිත නොයෙදවා ඉන් මිදීමට ඇති හැකියාව. සටහන: * නිස්සරණිය- අකුසලයෙන් මිදීම, නිදහස් වීම (elements making for deliverance) ** නිස්සරණිය ධාතු 5 ගැන විස්තර පිණිස බලන්න: නිස්සරණිය ධාතු 8) ධාතු 6 කි: ඉහත 1.6 දක්වා ඇති භෞතික ධාතු 4 හා 5 ආකාශ ධාතුව හා 6 විඥාන ධාතුව. 9) නිස්සරණිය ධාතු 6 කි: 1 චේතෝ විමුක්ති නිස්සරණිය ධාතුව (emancipation of the heart) : මෛත්‍රිය වඩා සිත විමුක්ත කර ගැනීම, 2 කරුණා විමුක්ති නිස්සරණිය ධාතුව (emancipation of the heart through compassion) 3 මුදිතා විමුක්ති නිස්සරණිය ධාතුව (emancipation of the heart through sympathetic joy) 4 උපේක්ඛා විමුක්ති නිස්සරණිය ධාතුව (emancipation of the heart through equanimity) 5 අනිමිත්ත චේතෝ විමුක්ති නිස්සරණිය ධාතුව the signless emancipation of the heart): නිමිති අල්වා නොගෙන සිත මුදා ගැනීම- රහත් ඵල සමාපත්තිය 6 අසමිමාන විමුක්ති නිස්සරණිය ධාතුව: මම මාගේ යන අසමි මානය නැතිකර ගැනීම. සටහන: විස්තර පිණිස බලන්න: නිස්සරණිය ධාතු. මූලාශ්‍ර: දිඝ.නි: (3) : 10 සංගිති සූත්‍රය, පි. 368, EDN: 33: Sangīti Sutta: The Chanting Together, p. 362.

▼ ධාතුහත විස්තරය- Sevan Elements: ධාතුහත-සප්ත ධාතු ගැන බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: 1) ආලෝක ධාතුව (අභාධාතු- light element) 2) සුභ ධාතුව (beauty element) 3) ආකාසානඤචායතනධාතු 4) විඤඤානඤචායතන ධාතු 5) ආකිඤචඤඤායතන ධාතු 6) නෙවසඤඤානාසඤඤායතන ධාතු 7) සංඥාවේදිතනිරෝධ ධාතු. එම ධාතු තේරුම් ගන්නා ක්‍රමය: අඳුර නිසා ආලෝක ධාතුව අවබෝධ කරගත හැකිය. අසුභය නිසා සුභ ධාතුව අවබෝධ කරගත හැකිය. රූපය නිසා ආකාසානඤචායතන ධාතුව අවබෝධ කරගත හැකිය. ආකාසානඤචායතනධාතුව නිසා විඤඤානඤචායතනධාතුව අවබෝධ කරගත හැකිය. විඤඤානඤචායතනධාතුව නිසා ආකිඤචඤඤායතන ධාතුව අවබෝධ කරගත හැකිය. ආකිඤචඤඤායතන ධාතුව නිසා නෙවසඤඤානාසඤඤායතන ධාතුව අවබෝධ කරගත හැකිය. නාමස්කන්ධය නිරෝධවීම නිසා සංඥාවේදිතනිරෝධ ධාතුව අවබෝධ කරගත හැකිය. එම ධාතු සමාපත්ති ලබන ආකාරය: 1-5 දක්වාවූ ධාතු සමාපත්ති ලබන්නේ සංඥාසමාපත්ති මගින්ය. නෙවසඤඤානාසඤඤායතන ධාතු සමාපත්ති ලබන්නේ සංස්කාරාවශේෂ සංඥාසමාපත්ති මගින්ය. සංඥාවේදිතනිරෝධ ධාතු සමාපත්ති ලබන්නේ නිරෝධ සංඥාසමාපත්ති මගින්ය. සටහන්: * 3-6 අරුප බ්‍රහ්ම ලෝක ** විස්තර පිණිස බලන්න: ESN: Notes: 231 - 233, p. 972. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: ධාතුසංයුත්ත: 2.2.1 සත්ත ධාතු සූත්‍රය, පි. 256, ESN: 14: Dhathusamyutta,11.1 seven elements, p. 750.

▼ ධාතු සතර විස්තරය- Four elements:ධාතු සතර ලෙසින් පෙන්වා ඇත්තේ සතර මහා භූතයන්ය. බලන්න: චතුධාතු.

▼ ධාතු සය විස්තරය- Six elements: ෂඩ්ධාතු-පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස ධාතුව හා විඥාන ධාතුව පිලිබඳ බුදුන් වහන්සේ වදාළ ධර්මය- සත්‍යය, කිසිවෙකුට වෙනස් කිරීමට, බැහැර කිරීමට නොහැකි ධර්මතාවයකි. මූලාශ්‍ර: අංගු.නි : ( 1): 3 නිපාතය: මහාවග්ග: 3.2.2.1 සූත්‍රය, පි. 348, EAN:3: The Great Chapter, 61.1 Sectarian, p. 104

▼ කාමධාතුව, ව්‍යාපාද ධාතුව, විහිංසා ධාතුව ප්‍රහාණය: කාම ධාතුව ප්‍රහීණය පිණිස නෙක්කම්ම ධාතුව වැඩිය යුතුය. ව්‍යාපාද ධාතුව ප්‍රහීණය පිණිස අව්‍යාපාද ධාතුව වැඩිය යුතුය. විහිංසා ධාතුව ප්‍රහීණය පිණිස අවිහිංසා ධාතුව වැඩිය යුතුය. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.5 ධාතු සූත්‍රය, පි.282.

▼ සියලු ලෝක ධාතු පිළිබඳව බුදුන් වහන්සේගේ අවබෝධය දසබල නුවණින් එක නුවණකි. බලන්න: තථාගතයන්වහන්සේ.

▼ සියලු ධාතු (පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ) අනිත්‍යය ය. එලෙස, දකිනා පුද්ගලයා ‘සද්ධානුසාරි’ ය, .ඒබව, විදසුන් නුවණින්, ජානසමාපත්ති ලබා අවබෝධ කරගන්නා පුද්ගලයා ‘ධම්මානුසාරි’ ය. ඔවුන් සම්බෝධිය පිහිට කරගෙන ඇත. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධවග්ග: ඔක්කන්තිසංයුත්තය: චක්ඛුවග්ගය: 4.1.9 ධාතු සූත්‍රය, පි.474.

▲ ධාතු කුසලතාවය: පාලි: ධාතුකුසලො හොති- skilled in the elements: ධර්මයට අනුව ධාතු කුසලතාවය යනු සියලු ධාතු (බහු ධාතු) පිලිබඳව ඇති යහපත් අවබෝධයවේ. එම කුසලතාවය තිබීම පණ්ඩිතයන් සතු ගුණයක් ය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: බාලයා හා පණ්ඩිතයා.

▼ 18 ක්වු ධාතු පිලිබඳ කුසලතාවය (අටළොස් ධාතු- skilled in the 18 elements): 1) ඇසධාතුව-චක‍්ඛු 2) රූප ධාතුව 3) චක‍්ඛු විඥාන ධාතුව 4) කණධාතුව- සොත 5) ශබ්දධාතුව 6) සෝත විඥාන ධාතුව 7 ) නාසය ධාතුව- ඝාන 8 ) ගඳ සුවඳ ධාතුව- ගන්‍ධ 9) ඝාන විඥාන ධාතුව 10) දිව ධාතුව-ජිව‍්හා 11) රසධාතුව ධාතුව 12) ජිව‍්හා විඥාන ධාතුව 13) කාය ධාතුව 14 ) කායසප්ර්ෂ ධාතුව-ඵොට‍්ඨබ‍්බ ධාතුව 15) කාය විඥාන ධාතුව 16) මනෝ ධාතුව 17) මනසට දැනෙන කරුණු- ධම්ම ධාතුව 18) මනෝ විඥානධාතුව. (the eye element, the form element, the eye consciousness element; the ear element, the sound element, the ear-consciousness element; the nose element, the odor-element, the nose-consciousness element; the tongue element, the flavor element, the tongue- consciousness element; the body element, the tangible element, the body-consciousness element; the mind element, the mind-object element, the mind-consciousness element). සටහන: විස්තර පිණිස බලන්න: EMN: note: 1017, p. 1161.

▼ සයධාතු පිලිබඳ කුසල තාවය: පෘතුවි ධාතුව: පඨවි ධාතුව,ජල- ආපො ධාතුව, ගිනි -තේජෝ, වායු-වායො ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව. (the earth element, the water element, the fire element, the air element, the space element, and the consciousness element)

▼ අතිරේක සය ධාතු පිලිබඳ කුසල තාවය: සුඛ ධාතුව, දුක්ඛ ධාතුව, සෝමනස්ස ධාතුව, දෝමනස්ස ධාතුව, උපේක්ඛා ධාතුව, අවිද්‍යා ධාතුව

(the pleasure element, the pain element, the joy element, the grief element, the equanimity element, and the ignorance element). සටහන: විභංගයට අනුව: සුඛ ධාතුව හා දුක්ඛ ධාතුව යනු කායිකවූ සුඛ හා දුක වේදනාය. සෝමනස්ස ධාතුව හා දෝමනස්ස ධාතුව:ප්‍රීතිය හා දොම්නස යනු මානසික හා කායික සුඛ හා දුක වේදනාය. උපේක්ඛා ධාතුව: දුකත් නැත සැපත් නැති මධ්‍යස්ත වේදනාවය. බලන්න: EMN: note: 1078, p. 1161.

▼ අතිරේක සය ධාතු පිලිබඳ කුසල තාවය: කාම ධාතුව,නෙක්ඛම්ම ධාතුව, ව්‍යාපාද ධාතුව, අව්‍යාපාද ධාතුව, විහිංසා ධාතුව, අවිහිංසා ධාතුව (the sensual desire element, the renunciation element, the ill will element, the non-ill will element, the cruelty element, and the non- cruelty element).සටහන: විභංගයට අනුව මේවා සය ආකාර විතක්කයන්ය. බලන්න: EMN: note: 1079, p. 1161.

▼ තුන් ධාතු පිලිබඳ කුසල තාවය: කාමලෝක ධාතුව, රූපලෝක ධාතුව, අරූපලෝක ධාතුව (the sense-sphere element, the fine material element, and the immaterial element). සටහන: අටුවාවට අනුව කාමලෝක ධාතුව යනු පංච උපාදානස්කන්ධයට, කාමලෝකයට බැඳීම- (කාමාවචාර), රූපලෝක ධාතුව යනු, රූපලෝකයට බැඳීම- (රූපාවචාර), අරූපලෝක ධාතුව යනු සිව් උපාදානස්කන්ධය (රූපය හැර) අරූපලෝකයට බැඳීම(අරූපාවචාර) බලන්න: EMN: note: 1080, p. 1161.

▼ ධාතු 2 පිලිබඳ කුසල තාවය: සංඛත ධාතුව හා අසංඛත ධාතුව (the conditioned element and the unconditioned element). සටහන: සංඛත ධාතුව යනු හේතු ප්‍රත්‍ය නිසා ඇතිවූ සියලු දේය, අසංඛත ධාතුව යනු නිවනය. බලන්න: EMN: note: 1081, p. 1162. මූලාශ්‍රය: ම.නි: ( 3): 3.2.5 බහුධාතුක සූත්‍රය, පි.209, EMN: 115: The Many Kinds of Elements, p. 840.

▲ ධාතු නානත්වය- Diversity of Elements: ධාතු නානත්වය ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා වදාළේ: 18 ක්වූ ධාතු පිලිබඳ ඇති විවිධ බව අවබෝධ කරගැනීමය. සටහන: ධාතු 18: චක්ඛුධාතුව, රූපධාතුව, චක්ඛුවිඥානධාතුව,සෝතධාතුව,සද්ධධාතුව, සෝත විඥානධාතුව, ඝානධාතුව, ගන්ධධාතුව, ඝානවිඥානධාතුව,ජිව්හාධාතුව, රසධාතුව, ජිව්හා විඥානධාතුව, කායධාතුව, ඵොට්ඨබ්බධාතුව, කායවිඥානධාතුව, මනෝධාතුව, ධම්මධාතුව, මනෝ විඥානධාතුව. 1) ධාතු වල විවිධබව නිසා ස්පර්ශයේ විවිධත්වයක් ඇතිවේ. මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ:

“ධාතුවල විවිධාකාර බව නිසා ස්පර්ශයේ විවිධාකාර බව ඇතිවේ. එහෙත්, ධාතුවල විවිධබව, ස්පර්ශයේ විවිධ බව නිසා ඇතිනොවේ”. (...it is in dependence on the diversity of elements that there arises the diversity of contacts. The diversity of elements does not arise in dependence on the diversity of contacts). 2) ස්පර්ශයේ විවිධ බව නිසා, වේදනා වල විවිධබවක් ඇතිවේ, වේදනාවන්හි විවිධබව නිසා ස්පර්ශයේ විවිධබව ඇති නොවේ.

3) ධාතුවල විවිධත්වය නිසා සංඥාවේ විවිධ බව ඇතිවේ; සංඥාවේ විවිධ බව නිසා සංකල්පනා (චේතනා) වල විවිධත්වය ඇතිවේ. සංකල්පනා වන්හි විවිධබව නිසා ඡන්දයේ (කැමැත්ත) විවිධබව ඇතිවේ. ඡන්දයේ විවිධබව නිසා ලැදියාව-ඇල්ම (රාගය-passion) විවිධබව ඇතිවේ. ලැදියාවේ විවිධබව නිසා, සොයාගෙනයෑමේ (සෙවිම-quest) විවිධබව ඇතිවේ. සොයාගෙනයෑමේ විවිධබව නිසා ලැබීමේ (ලාභ- gain) විවිධබව ඇතිවේ. සටහන්: *ධාතු නානාත්වය පිළිබඳව ආනන්ද තෙරුන්, ඝෝසිත උපසකහට විස්තරකර ඇත. බලන්න: සංයු.නි: (4): සළායතනසංයුත්ත: ගහපතිවග්ග: 1.13.6 ඝෝසිත සූත්‍රය, පි.260. ** මහාකච්චායන තෙරුන්, හාලිද්දකානි උපාසකහට, ධාතු නානාත්වය පිලිබඳ විස්ත්රකිරීම මෙහි දක්වා ඇත: බලන්න: සංයු.නි: (4): සළායතනසංයුත්ත: ගහපතිවග්ග: 1.13.7 හාලිද්දකානි සූත්‍රය, පි.262. ** ඉසිදත්ත තෙරුන්, චිත්ත ගහපතිට බුදුන් වහන්සේ වදාළ ධාතු නානාත්වය විස්තර කර ඇත.බලන්න: සංයු.නි: (4) සළායතනවග්ග:චිත්තසංයුත්ත: 7.1.2 ඉසිදත්ත සූත්‍රය, පි.550. මූලාශ්‍ර: සංයු.නි : ( 2): ධාතුසංයුත්ත සූත්‍ර 2.1.1. සිට, පි. 244, ESN: 14: Dhathusamyutta, p. 738.

▲ ධුතාංග පුහුණුව -Ascetic Practice: ධුතාංග යනු තපස් පුහුණුවය. අල්ප අසාව (fewness of desires), පහසුවෙන් යැපීම (being easy to support) හා ආත්මසංවරය ( self-restraint) ඇතිකරගැනීම පිණිස භික්ෂුන් ධුතාංග පුහුණුවේ යෙදේ. ඔවුන් වනයේ, ගස් මුල, එළිමහනේ, සුසාන භුමියේ ආදී හුදකලා තැන්වල වාසය කරයි. ඔවුන් තුන් සිවුර පමණක් භාවිතා කරයි. ඒවාද රළු සිවුරු -රළු චීවර (ඉවත විසිකළ රෙදි කෑලි මුට්ටු කර සකස් කරගත් හෝ පාංශුකුල චීවර) වේ. ඔවුන් වළදන්නේ පිඬු සිගා ලබාගත් ආහාර -පිණ්ඩපාතය පමණි. නිදන්නේ (නිදන ඉරියව්ව) ඉඳගන්නා ඉරියව්වෙනි. බලන්න: EAN: note 77, p. 584. සටහන: සිංහල විසුද්ධි මාර්ගය: පරිච්ඡේදය 2 හි මේ පිළිබඳව විස්තරාත්මකව දක්වා ඇත.

▼ බුදුන් වහන්සේ ධුතාංග පුහුණුව පසසා ඇත. එම පුහුණුවේ යෙදන, භික්ෂූන්: ආරණ්‍ය පරිහරණය, පංසුකූලික චීවර දැරීම, පිංඩපාතයෙන් පමණක් යැපීම, රුක්මුල්හි විසීම, සොහනෙහි විසීම, එළිමහන් බිමේ විසීම, ඉඳීම ඉරියව්ව පමණක් ඇතිව වාසය කිරීම ආදී ධුතාංග පුහුණුව පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. එම පුහුණුවේ අරමුණවිය යුත්තේ අල්පබව, සන්තුෂ්ටිය, කෙළෙස් ප්‍රහීණය, හුදකලා විවේකය, සරලජීවිතය ආදී උතුම් ගුණ සහිතව වාසය කරමින්, විමුක්තිය ලබා ගැනීමය. සටහන්: * ධුතාංග පුහුණුවේ යෙදී ඇති භික්ෂුන් අතරෙන් අග්‍ර, මහා කාශ්‍යප තෙරුන්ය බලන්න: අග්‍රතම ශ්‍රාවක භික්ෂූන් ** මහා කාශ්‍යප තෙරුන්, තමන්වහන්සේ ධුතාංග පුහුණුවේ යෙදීමට හේතු ප්‍රයෝජන 2 ක් දැකීමෙන් බව පවසා ඇත: 1 මේ ජිවිතයේ පහසු විහරණය පිණිස 2 මතු ජනතාවට (පශ්චිම ජනතාව) අනුකම්පා පිණිස. මතු ජනතාව, බුදුවරු, බුදුසව්වන් ආරණ්‍යවාසය කිරීම ආදීවූ කරුණු ගැන ප්‍රසාදයට පත්වීම ඔවුන්ගේ හිත සුව පිණිසවේ. බලන්න: සංයු.නි: නිදානවග්ග: කස්සප සංයුත්තය. ** ධුතාංග පුහුණුව ලෙසින් එළිමහණෙ වාසය කරන සංඝයා අබ්බහෝකාසික ලෙසින් පෙන්වා ඇත. බලන්න: අබ්බහෝකාසික. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: අරඤඤ වග්ග සූත්‍ර, පි. 378, EAN:5: IV Forest Dwellers, p. 297.

▼ මහා කාශ්‍යප තෙරුන් , බුදුන්වහන්සේට තමන් ධුතාංග පුහුණුවේ යෙදීමට ඇති කැමැත්ත මෙහි දක්වා ඇත. මුලාශ්‍රය: සංයු.නි: (2) නිදානවග්ග: කස්සපසංයුත්ත: 4.1.5 ජින්ණසූත්‍රය, පි.330.

▲ ධොතක තෙර- Dothaka Thera:බලන්න: උපග්‍රන්ථය:1

▲ ධොතක මානවක:Dothaka manawaka:බලන්න: උපග්‍රන්ථය:3

ධන

▲ ධනංන්ජනි උපාසිකාව- Dhānañjānī the layfollower: බලන්න: උපග්‍රන්ථය:3

▲ ධනඤජානි බ්‍රාහ්මණි -Dananjani Brahamini: බලන්න: උපග්‍රන්ථය:3

▲ ධනඤජානි බ්‍රාහ්මණ- Dananjani Brahamana: බලන්න: උපග්‍රන්ථය:3

▲ ධනය: පාලි: ධනං - Wealth: ධනය ආකාර 2 කි: 1) භෞතික ධනය-සම්පත්: කෙනෙක් සතු: අඹුදරුවන්, නෑදෑ හිත මිතුරන්, සේවකපිරිස, ගවසම්පත් ආදිය, වතුපිටි, මිල මුදල්, රන්, රිදී ආදී වස්තුන්ය. මෙලොව සැපවත්ව වාසය කිරීමට ධනය උපකාරිවේ.ධනය යහපත් ලෙසින්ද, අයහපත් ලෙසින්ද රැස්කරගත ගැකිය. ධර්මයට අනුව යහපත් ලෙසින් ධනය රැස්කරගැනීම කුසලයකි. යහපත් ලෙසින් ධනය ලබාගෙන, එය යහපත් අන්දමට පරිහරණය කිරීම (දන්දීම ආදී) මෙලොව හා පරලොව සැප පිණිස පවතින බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: දානය. 2) ආධ්‍යාත්මික ධනය: සසර දුකින් මිදීම පිණිස මාර්ගය වඩා ගැනීමට උපකරිවන දහම් කරුණු පිළිපැදීම. බුදුන්වහන්සේ පෙන්වා ඇත්තේ: භෞතික ධනය ගින්නෙන්, ජලයෙන් විනාසවේ, රජවරු හෝ සොරු අත්කරගැනීමෙන් නැතිවේ, අකීකරු දරුවන් නිසා වැනසී යයි. එහෙත් ආධ්‍යාත්මික ධනය කෙනෙක් සතුනම් ඒවා පෙරකි පරිදි වෙනත් අයට අත්පත් කරගැනීමට හැකියාවක් නැත. එම ධනය සතු පුද්ගලයා කිසිකලක දිළිඳු නොවේ, ඔහුගේ ජීවිතය හිස්බවට පත්නොවේ. බලන්න: ගිහිජීවිතය යහපත්ව ගතකිරීම. ආධ්‍යාත්මික ධන 7කි: ශ්‍රද්ධා ධනය, ශිල ධනය, හිරි ධනය, ඔතප්ප ධනය, සුත ධනය, චාග ධනය හා ප්‍රඥා ධනය. 1. ශ්‍රද්ධා ධනය (wealth of faith) : ආරිය ශ්‍රාවකයා සැදැහැත්ව බුදුන්වහන්සේගේ නවගුණ, බෝධිය ප්‍රසාදයෙන් පිළිගනී. 2. ශිල ධනය (wealth of virtuous behavior): ආරිය ශ්‍රාවකයා සිල්වත්ය, ඔහු පංචශිලය මනාව රකීයි. 3. හිරිධනය (wealth of moral shame): ආරිය ශ්‍රාවකයා පව් කිරීමට ලැජ්ජාවේ: ඔහු කයෙන් වචනයෙන් හා මනසින් දුසිරිත් නොකරයි, ලාමක අකුසල් ක්‍රියා බැහැරකර යහපත් ජීවිතයක් ගත කරයි 4. ඔත්තප්ප ධනය (wealth of moral dread): ආරිය ශ්‍රාවකයා පව් කිරීමට බියය. ඔහු කයෙන් වචනයෙන් හා මනසින් දුසිරිත් කිරීමට බියය. ලාමක අකුසල් ක්‍රියා බැහැරකර යහපත් ජීවිතයක් ගත කරයි 5. සුත ධනය (wealth of learning): ආරිය ශ්‍රාවකයා බහුශ්‍රැතය: ඔහු ධර්මය මනාව අසයි, හදාරයි, මතකයේ තබාගනී, නිතර සජ්ජායනා කරයි, ධර්ම අර්ථ විමසා බලයි, ප්‍රඥාවෙන් අවබෝධ කර සම්මා දිට්ඨියට පැමිණේ 6. චාග ධනය (wealth of generosity): ආරිය ශ්‍රාවකයා දාන ශිලිය, මසුරුකම බැහැර කර සිටි, දාන දීම ඔහුට සතුටකි 7. ප්‍රඥා ධනය (wealth of wisdom): ආරිය ශ්‍රාවකයා නුවණැතිය, දුක ඇතිවීම හා නැතිවීම පිලිබඳ උතුම් අවබෝධය ඔහුට ඇත. තමාගේ ප්‍රඥාවෙන් දුක නැති කරගැනීමට ඔහු සමත්ය. සටහන්: * යම් කෙනෙකුට මේ ධන 7 ඇත්නම් ඔහු ලෝකයේ “නො දිළිඳු පුද්ගලයාය, ජිවිතය නොහිස් පුද්ගලයය යි මෙහි දක්වා ඇත. ** උග්ග මහාඇමති (කෝසල රජුගේ), බුදුන් වහන්සේ බැහැදැක, රෝහණ සිටුවරයාගේ මුනුපුරු, මිගාර සිටුවරයා මහා ධනසම්පත් (රන් රිදී ආදී) ඇතිබව පවසා ඇත. ඒ අවස්ථාවේදී, බුදුන් වහන්සේ වදාළේ ඒවා පහසුවෙන්ම විනාශවනබවය. එහෙත්, පෙරකී ධන 7 එසේ විනාශයට නොයන බවය. **විස්තර පිණිස බලන්න: “Treasures of the Noble’: by Soma Thera, Bodhi Leaves: Vol II (B), BPS, 1965. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 7 නිපාත: 7.1.1.5. හා 7.1.1.6 ධන සුත්‍ර හා 7.1.1.7.උග්ග සූත්‍රය, පි.303, EAN: 7: 5.5 &6.6 Wealth & 7.7. Ugga, p. 370.

▼ ධනය (භෝග- භෞතිකදේ) ලබාගැනීමට දුර්ලභ කරුණකි. උදාසීනබව (අලසකම- ආලස්‍යය) හා ඒ පිලිබඳ කටයුතු ආරම්භ කිරීමට (මුල් පිරීමට- අනුත්ථානය) ශක්තිය නොමැති බව, ධනය ලබාගැනීමට බාධා කරයි. බලන්න: ඉෂ්ඨධම්ම. මූලාශ්‍රය: අංගු.නි: (6) 10 නිපාත:10.2.8.3 ඉෂ්ඨධම්ම සූත්‍රය, පි.270,EAN:10: 73.3 Wished for, p.522

▼ ධනය ආරක්ෂා කිරීම: ගිහි ජීවිතය යහපත් ලෙසින් පවත්වා ගැනීම පිණිස, තමන් නිවැරදි ලෙසින් ලබාගත් ධන සම්පත් ආදිය 1.සල්ලාල හැසිරීම 2. සුරාවට ගිජුවීම 3. සූදුකෙළිම 4. පාපමිත්‍රසේවනය යන උවදුරු 4 කින් ආරක්ෂා කරගතයුතුවේ. බලන්න: ගිහිජීවිතය යහපත්ව ගතකිරීම. මූලාශ්‍ර: අංගු.නි: (5) අට නිපාත: 8.2.6.4 ව්‍යාගපජ්ජ සූත්‍රය, පි 256,EAN: 8: 54 .4 Dīghajāṇu, p 441.

▼ ධනය උපයාගැනීම: ධර්මයෙන් ධනය උපයාගන්නා පුද්ගලයන් දස දෙනෙක් (ධාර්මික පුද්ගලයෝ) ගැන හා අධර්මයෙන් ධනය උපයාගන්නා පුද්ගලයන් දස දෙනෙක් (අධාර්මික පුද්ගලයෝ) ගැන බුදුන් වහන්සේ මේ සූත්‍රයේ විස්තර කර ඇත.මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: 10.2.5.1. කාමභොගි සූත්‍රය, පි.344, EAN:10: V, 91.1 One who enjoys sensual pleasures, p. 531.

▼ ශ්‍රේෂ්ඨ ධනය: ලෝක සත්ත්‍වයාට ඇති ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රද්ධාව යයි බුදුන් වහන්සේ වදාළහ:

“සද‍්ධීධ විත‍්තං පුරිසස‍්ස සෙට‍්ඨං”

මූලාශ්‍ර: අංගු.නි: (1):දේවතාසංයුත්ත:1.8.3 විත්ත සූත්‍රය, පි. 104, ESN:1: Devatasmyutta: 1: 73.3.Treasure, p.155.

▼ ධනය භාවිතා කිරීම: ධනය භාවිතා කලයුතු ආකාර හා ඉන් ලැබෙන ප්‍රතිලාභ බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: 1) තමාත්, තමාගේ පවුලේ අය, සේවකයන් ආදීන් සුවපත්කිරීම පිණිස යෙදවීම, ඒ නිසා ලැබෙන සතුට 2) තමාගේ මිතුරන් සුවපත්කිරීම පිණිස යෙදවීම ඒ නිසා ලැබෙන සතුට 3) සොර සතුරු අපදා ආදියෙන්, තමන් සොයාගත් ධනය නැතිවීයාමට නොදීම පිණිස කටයුතු කිරීමට හැකිවීම 4) ධනය යහපත් ලෙසින් භාවිතා කිරීම නිසා ඔහුට, ඥාතිලාභ, ආගන්තුක ලාභ, මියගිය ඥාතීන්ට පින් ලබාදීමට හැකිවීම, රජුන්ගේ ප්‍රසාදය ලැබීම, දෙවියන්ගේ ආශීර්වාදය ලැබීම ට හැකිවීම 5) මෙලොව හා පරලොව සුවය සැපය ලැබීමට හේතුවන දාන, ධර්මයේ යහපත් ලෙසින් හැසිරෙන උතුමන්ට පුජාකිරීමට හැකිවීම. එලෙස, ධනය පරිහරණය කෙනෙක් ගේ ධනය, ඉහතකී ලෙසින් යහපත් කටයුතු පිණිස යෙදවීමෙන් පසු අවසන්වූවත් ඔහුට තැවීමක් නැත යයි බුදුන් වහන්සේ වදාළහ. එසේම, ඔහුගේ ධනය වැඩිදියුණුවේ නම් තමා යහපත් ලෙසින් ධනය පරිහරණය කළබව සිතා ඔහුට සතුටුවිය හැකිය. එවැනි පුද්ගලයා ආරිය ධර්මයේ පිහිටි කෙනෙකි. ප්‍රඥාවන්තයෝ ඔහු පසසති, සුගතියේ යහපත් විපාක ලබයි. සටහන: මේ සූත්‍රය දේශනා කරන ලද්දේ අනාථපිණ්ඩික සිටුවරයාටය. මූලාශ්‍ර: අංගු.නි: ( 3): 5 නිපාත: 5.1.5.1 භෝගආදිය සූත්‍රය, පි. 92, EAN: 5: 41.21 Utilization, p. 251.

▲ ධනවත්-Wealthy: ධනවත්- පෝසත් යනු භව බෝග සම්පත් අධිකව ඇතිබවය. සූත්‍ර දේශනාවලට අනුව අනාථපිණ්ඩික සිටුවරයා, විශකා සිටුදෙවිය ආදී දායකයන්ට මහා ධන සතුව තිබිණි. මෙලොව, යහපත් ලෙසින් දානකටයුතු කරන පුද්ගලයෝ, මිනිස් ලොව යළි උපතක් ලබන්නේ නම් ඔවුන් මහා ධනවතුන් වේ. බලන්න: මනි: (3): 3.4.5 චූළකම්ම වීභංග සූත්‍රය, පි. 448

▲ ධ්‍යාන-Dyana: ධ්‍යාන-ජාන ලෙසින් පෙන්වා ඇත්තේ භාවනා අරමුණක් අනුව සිත සමාධියට පත්කර ගැනීමය. රූප ධ්‍යාන -රූපජාන ලෙසින් පෙන්වා ඇත්තේ සිව් ජානයන්ය. අරූප ධ්‍යාන නම්, අරූප සමාපත්ති - රූපජාන ඉක්මවා ලබන ශාන්ත විහරණයන්ය. බලන්න: සිව්ජාන, අරූප සමාපත්ති. ධ්‍යාන විෂය (ජානවිෂය) අචින්ත ධර්මතා 4න් එකකි. බලන්න: අචින්ත ධර්මතා. සටහන්: * ධ්‍යායි පුද්ගල ලෙසින් පෙන්වා ඇත්තේ ධ්‍යාන ලබාගැනීමේ දක්ෂ පුද්ගලයාය. බලන්න: ගොචරකුසලතා.** ධ්‍යානයෙහි ඇලුන- භික්ෂුන් අතරෙන් අග්‍ර කංඛාරේවත තෙරුන්ය, භික්ෂුනියන් අතරෙන් අග්‍ර නන්දා තෙරණිය. බලන්න: උපග්‍රන්ථය:1,2. ** සංයු.නි: (3) ඛන්ධවග්ගයේ: ජාන සංයුත්තය, සංයු.නි: (5-2) මහාවග්ගයේ: ජානසංයුත්තය: ධ්‍යාන පිලිබඳ විස්තරාත්මකව දක්වා ඇත. ** ධ්‍යානයෝ ශබ්දකණ්ටකය- ශබ්ද ධ්‍යාන වඩාගැනීමට බාධාවකි. බලන්න: කටුව.

▲ ධ්‍යාන විෂය- Subject on Jana: මෙය අචින්ත ධර්මයකි. බලන්න: අචින්ත ධර්ම

▲ ධනිය ගොපල්ලා-Dhaniya cowherd: බලන්න:උපග්‍රන්ථය:3

▲ ධනුශිල්පින්- Dhanusilpi: ඊතල හැසිරවීමේ දක්ෂ ධනුශිල්පින්-දක්ෂ දුනුවායෝ පිලිබඳ උපමාව ඇසුරු කොට බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ ආයුසංස්කාර ඉතා වේගයෙන් ක්‍ෂය වී යාමය. බලන්න: ආයුසංස්කාර, උපග්‍රන්ථය:5.

ධම

▲ ධම්මික උපාසක- Dhammika upasaka:බලන්න: උපග්‍රන්ථය:3

▲ ධම්මික තෙර-Dhammika Thera: බලන්න:උපග්‍රන්ථය:1

▲ ධම්ම හා අධම්ම - Dhamma & Non- Dhamma: ධම්ම- ධර්මය යනු බුදුන් වහන්සේ වදාළ ඉගැන්විම්ය. එයට පටහැනි ඉගැන්වීම් අධම්ම- අධර්මය වේ.

“ මහණෙනි, අධර්මය හා අනර්ථය (හානිය) දතයුතුය, ධර්මය හා අර්ථය (ඵල-ලාභය) දතයුතුය... ධර්මය යම් පරිදි වේනම්, අර්ථය යම් පරිදිවේනම් ඒ අනුව පිළිපැදිය යුතුය” යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන්: * ධර්මය යනු සම්මා දිට්ඨිය පෙරටු කරගෙන සම්මා විමුක්තියෙන් අවසන්වන නිවැරදි මගය, සසර දුක නිවන මගය. අධර්මය නම් අකුසල වැඩිකර, සසර දික් කරන මිථ්‍යා දිට්ඨිය පෙරටු කරගත් වැරදි මගය. ** බුදුන් වහන්සේ වදාළ ධර්මය ඉන්ද්‍රකීලයක් ලෙසින් ස්ථිර ලෙසින් ස්ථාපනය කර ඇත. බලන්න: ඉන්ද්‍රකීලය. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත 10.3.2.1 හා 10.3.2.2 හා 10.3.2.3 අධම්ම සූත්‍ර, පි. 430 හා 10.3.2.4. අජිත සූත්‍රය, පි. 444 හා 10.3.4.5. ධම්ම සූත්‍රය, පි.470, , EAN:10: 113.1 and 114.2 and 115.3 p. 543, and 116.4 Ajitha, p.545 and Good: p.548.

▲ ධම්මය හා අර්ථය - Dhamma & Benifits: ධම්ම-ධර්මය හා අර්ථය ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මානුකූල වීම හා ඉන් සිදුවන යහපතය. ධර්මය නිසා බොහෝ කුසල ඇතිවේ, සසරින් එතර වීමට හැකිවේ. ධර්මය හා අර්ථය යනු සම්මාමග ගැනීම යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. ධර්ම මාර්ගයේ යනවිට, ධර්මය හා අර්ථය ගැනද, අධර්මය හා අනර්ථය ගැනද අවබෝධය තිබිය යුතුය, එවිට, අධර්මය හැර දමා ධර්මයට පැමිණිය හැකිවේ. බලන්න: අධර්මය හා අනර්ථය. සටහන: ධර්මය, ධර්මය ලෙසින් ප්‍රකාශ කිරීමේ යහපත් විපාක, අංගු.නි: 1 නිපාත, අධම්ම වග්ගයේ විස්තර කර ඇත. මූලාශ්‍ර: අංගු.නි: ( 6): 10: නිපාත: 10.3.2.1, 10.3.2.2, 10.3.2.3 අධම්ම සූත්‍ර, පි. 430, EAN:10: 113.1, 114.2 & 115.3 Non-Dhamma suttas, p. 544.

▲ ධම්ම අනුග්‍රහය- Support with Dhamma: බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ ආමිෂ අනුග්‍රහයට (help with material things) වඩා ධම්ම අනුග්‍රහය අග්‍ර බවය. බලන්න: අග්‍ර දේ. මූලාශ්‍ර:ඛු.නි: ඉතිවුත්තක: 3.5.9 දාන සූත්‍රය, පි. 480, The Itivuttaka: 98 The Gift sutta, p. 83, Translated by Peter Masefield, PTS, 2001.

▲ ධම්ම අනුසාසනා- Dhamma anusasana: ධම්ම අනුසාසනා කරන උතුමන්, අන් අයට අමෘතය- නිවන දෙනබව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1) : සගාථවග්ග: දේවතා සංයුත්ත: ආදිත්ත වර්ගය, කිංදද සූත්‍රය , පි. 82, ESN: 1: Devathasamyutta: 42.2 Giving what ? , p. 117.

▲ ධම්ම අනුශ්‍රවනය- Dhamma hearsay: ධම්ම අනුශ්‍රවනය කිරීම යනු, වෙනත් අය ධර්මය ගැන කරන කථාවන් ඇසීම, ඒ පිලිබඳ ප්‍රීතියට පත්වීමය. බුදුන් වහන්සේගේ උපාසිකාවක්වූ, කුරරඝර වැසි කාලි උපාසිකාව, ධර්මය අනුශ්‍රවනය මගින් මාර්ග ඵල ලබා ඇත. බලන්න: උපග්‍රන්ථය:3

▲ ධම්ම ආයතනය- Dhmmayatana: බාහිර ආයතන 6 න් එකක් ලෙස ධම්ම ආයතනය පෙන්වා ඇත. බලන්න: ආයතන.

▲ ධම්ම අසිරිය - Dhamma is wonderful: තථාගත ධර්මයේ අසිරිමත් බව නිසා තණ්හාවෙන් බැඳුන, මානයෙන් පිම්බුණ, උද්වේගයට යටවූ ලෝකයා දහමට නැඹුරුවන අන්දම මෙහි පෙන්වා ඇත. බලන්න: තථාගතයන්වහන්සේ. මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 4.3.3.8 දුතිය තථාගත අච්ඡරිය සූත්‍රය, පි. 274 , EAN:4: 128.8 Astounding- 2 , p. 195.

▲ ධම්ම ඉගෙනීම- Learning the Dhamma: ධර්මය ඉගෙනගැනීමේදී අනුගමනය කලයුතු ක්‍රමය: 1) ධර්මය: සූත්‍ර, ගෙයිය, ව්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භුතධම්ම, වේදල්ල (the discourses, mixed prose and verse, expositions, verses, inspired utterances, quotations, birth stories, amazing accounts, and questions-and-answers) යහපත් ලෙසින් ඉගෙනගැනීම 2) තමන් ඇසු, ඉගෙනගත් ධර්මය අන්‍යයන්ට උගැන්වීම 3) අන්‍යන් ඉගෙනගත් හා ඇසු ධර්මය විස්තරවශයෙන් ඔවුන්ගෙන් අසා දැනගැනීම 4) තමන් ඇසු, ඉගෙනගත් ධර්මය නිතර සජ්ජායනා කිරීම 5) තමන් ඇසු, ඉගෙනගත් ධර්මය ගැන මනසින් විමසා බැලීම, පරික්ෂාකිරීම 6) වස්සාන සමයේදී, ධර්මය උගත්, ජේෂ්ඨ භික්ෂුන් වාසය කරන ආරාමයක පැමිණි එහි වස්වසා, ධර්මය ගැන නොදත්, නොපැහැදිලි, සැකසහිත කරුණු ආදිය ගැන විමසා, ප්‍රශ්නකර, ඒවා ගැන පැහැදිලි අවබෝධය ඇතිකර ගැනීම. සටහන: සැරියුත් තෙරුන් හා ආනන්ද තෙරුන් අතරවූ කතාබහක් නිසා ආනන්ද තෙරුන් මේ දේශනාව වදාළහ. සූත්‍රය අවසානයේදී, සැරියුත් තෙරුන්, ආනන්ද තේරුන් ඉහත ගුණ අංග 6ක් සහිතව වැඩසිටින්නේ යයි, සැරියුත් තෙරින් ප්‍රසංසා වදාළහ. මූලාශ්‍රය: අංගු.නි: (4): 6 නිපාත:ධම්මිකවග්ග: 6.1.5.9 ආනන්ද සූත්‍රය, පි.152.

▲ ධම්ම උගැන්වීම - Teaching the Dhamma:ධර්මය උගැන්වීමේදී අනුගමනය කලයුතු පිළිවෙල: යම්කෙනක්, මෙසේ සිතන්නේ නම්: “ අන්‍යයෝ මගේ ඉගැන්වීම අසත්වා, එයින් ප්‍රසදයට පත්වෙත්වා, ඒ බව මට ප්‍රකාශ කරත්වා”. එලෙස සිතා කරන ඉගැන්වීම අපිරිසිදුය. කෙනෙක් මෙසේ සිතන්නේනම්: “ බුදුන් වහන්සේ දෙසු ධර්මය ස්වාක්ඛාතය... (දහම්ගුණ)... මවිසින් උගන්වන දහම, අන්‍යයන්, අසයිනම්, ඒ අනුව පිළිපදින්නේ නම් ඉතා මැනව”. එලෙස සිතා, ධර්මයේ සුධර්මත්වය-පිරිසිදුබව සලකා, දයාව, කරුණාව, අනුකම්පාව ඇතිව කරන ඉගැන්වීම පිරිසිදුය. මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා වදාළේ මහා කාශ්‍යප තෙරුන්ගේගේ දහම් ඉගැන්වීම ඒ ආකාරබවය. බලන්න: උපග්‍රන්ථය:1. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: කස්සප සංයුත්ත: 4.1.3 චන්දුපම සූත්‍රය, පි. 324, ESN: Kassapasamyutta: 3 Like the Moon, p. 809.

▼ බුදුන් වහන්සේ ධර්මය උගැන්වීම: යම් භික්ෂුවක් ගුණ 10කින් සමන්විත නම් ඔහුට ධර්මය උගැන්වීමට, දේශනා කිරීමට තථාගතයන් නැඹුරුවේ, එහෙත්, භික්ෂුවකට එම ගුණ නොමැතිනම් ඔහුට ධර්මය උගැන්වීමට, තථාගතයන් නැඹුරුනොවේ. මූලාශ්‍ර: අංගු.නි: (6)10 නිපාත: ථෙර වග්ග: 10.2.4.3. පුන්ණිය සූත්‍රය,පි.302, EAN: 10: The Elders: 83.3. Punniya, p. 526.

▲ ධම්ම කථික: පාලි: ධම‍්මකථිකො-A Speaker on the Dhamma: රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන උපාදාන ස්කන්ධ-පංච උපාදාන ස්කන්ධය, යන ධර්මතා පිලිබඳ කළකිරිම පිණිස, නොඇල්ම පිණිස, නිරෝධය පිණිස ධර්මය දේශනා කරණ භික්ෂුව ‘ධම්මකථික’ යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: ධර්ම කථික භික්ෂුන් අතරෙන් අග්‍ර: පුණ්ණ මන්තානිපුත්ත තෙරුන්ය, භික්ෂුණියන් අතරෙන් අග්‍ර ධම්මදින්නා තෙරණියය. බලන්න: උපග්‍රන්ථය:1,2. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.3.2.3 හා 1.3.2.4. සූත්‍ර, පි. 312, ESN: 115.3 & 116.4 A speaker on the Dhamma, p. 1101.

▼ ජරා මරණ පිලිබඳ කළකිරිම පිණිස දහම් දෙසන භික්ෂුව/භික්ෂුණිය ධම්ම කථික යයි මෙහි දක්වා ඇත. එසේම උපත, භවය, උපාදාන, තණ්හාව, වේදනාව, ස්පර්ශය,සළායතන, නාමරූප, විඥානය, සංඛාර, අවිජ්ජාව ආදීවූ පරිච්චසමුප්පන්න ධර්මතා ගැන කළකිරිම පිළිබඳව දහම් දේශනා කරයිනම්, ඒ මහණ, ධම්ම කථික යයි කීමට සුදුසුය. මූලාශ්‍රය: සංයු.නි: (2): නිදානවග්ග:අභිසමයසංයුත්ත:1.2.6 ධම්මකථික සූත්‍රය, පි.50.

▼ ඇස, කණ ආදී 6 ඉන්ද්‍රියන්හි නිර්වේදය ... විරාගය පිණිස දහම් දෙසන භික්ෂුව/භික්ෂුණිය ධම්ම කථික යයි කීමට සුදුසුය. මූලාශ්‍රය: සංයු.නි: (4 ):සළායතනවග්ග: වේදනාසංයුත්ත:නවපුරාණවග්ග: 1.15.10 ධම්ම කථික සූත්‍රය, පි. 306.

▼ මෙහිදී ධම්ම කථිකයන් වර්ග 4ක් පෙන්වා ඇත.: 1) අදක්‍ෂ පිරිසට, කෙනෙක් අදක්ෂ වශයෙන්, අල්පලෙසින් ධර්මය දේශනා කරණවිට, ඒ පිරිස ඔහු ධම්ම කථිකයෙක් යයි සිතති 2) දක්‍ෂ පිරිසට, කෙනෙක් අල්ප ලෙසින්, අර්ථය පෙන්වමින් ධර්මය දේශනා කරණවිට, ඔහු දක්ෂ පිරිසෙහි ධම්ම කථිකයෙක් ගණයට වැටේ 2 අදක්‍ෂ පිරිසට, කෙනෙක් අදක්ෂ වශයෙන් බොහෝකොට ධර්මය දේශනා කරණවිට, ඒ පිරිස ඔහු ධම්ම කථිකයෙක් යයි සිතති, 4) දක්‍ෂ පිරිසට, කෙනෙක් බොහෝ ලෙසින් ලෙසින්, අර්ථය පෙන්වමින් ධර්මය දේශනා කරණවිට, ඔහු දක්ෂ පිරිසෙහි ධම්ම කථිකයෙක් ගණයට වැටේ. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: 4.3.4.9 ධම්ම කථික සූත්‍රය, පි.288.

▲ ධම්ම කාමය: පාලි: ධම‍්මකාමො- Dhamma kamaya: ධම්ම කාමය ලෙසින් පෙන්වා ඇත්තේ, ධම්මවිනය පිලිබඳව කෙනෙක් තුල ඇති අධික කැමැත්ත- රුචියය. ධම්ම කාමය තිබීම ආධ්‍යාත්මික වර්ධනයට ආරක්ෂාවක් යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“...භික‍්ඛු ධම‍්මකාමො හොති පියසමුදාහාරො අභිධම‍්මෙ අභිවිනයෙ උළාර පාමොජ‍්ජො”. භික්ෂුවහට, ධර්මය පිලිබඳ කැමැත්ත ඇත, ධර්මවිනය පිලිබඳ නිශ්චිතවූ ප්‍රිය බව ඇත, ප්‍රමෝදබව ඇත (a bhikkhu loves the Dhamma and is pleasing in his assertions, filled with a lofty joy pertaining to the Dhamma and discipline). මේ ගුණය නාථකරණ ධර්මයකි .බලන්න: නාථකරණ ධර්ම. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10-නිපාත: 2 නාථ වග්ග, 10.1.2.7 ප්‍රථම නාථකරණ සූත්‍රය, EAN:10: II Protector: 17.7 Protector I, p.497.

▲ ධම්මය ක්‍රමානුකූලව පුහුණුවීම- Gradual Dhamma training : ධම්ම පුහුණුවේ අවසාන ඉලක්කය සසර දුකින් මිදීමය- විමුත්තිය-නිවන සාක්ෂාත් කරගැනීමය, සත්‍ය අවබෝධ කරගැනීමය. ඒ සඳහා ක්‍රමානුකූලව, දහම පුහුණු කරගැනීම අවශ්‍යයයි බුදුන් වහන්සේසංඝයාට අනුසාසනා වදාළහ. බලන්න: අසේඛ.

▼ ක්‍රමානුකූලව පුහුණුවීම ලබාගන්නා ආකාරය: අවසාන අවබෝධය (අඤ‍්ඤා - final knowledge) මුදුන්පත් කර ගැනීම, එක්වරම සිදුවන දෙයක් නොවේ, ඒ සඳහා භික්ෂුව ධර්ම මාර්ගය, ක්‍රමානුකූල ශික්ෂාව (සේඛ ලෙසින්) ඇතිකරගතයුතුය, ක්‍රමානුකූලව පුහුණුවේ යෙදිය යුතුය (ක්‍රියාමාර්ගය), ක්‍රමානුකූලව පටිපදාවේ ප්‍රගතිය (දියුණුව) ඇතිකර ගතයුතුය:

“ නාහං භික‍්ඛවෙ ආදීකෙනෙච අඤ‍්ඤාරාධනං වදාමි. අපි ච භික‍්ඛවෙ අනුපුබ‍්බසික‍්ඛා, අනුපුබ‍්බකිරියා, අනුපුබ‍්බපටිපාදා අඤ‍්ඤාරාධනා හොති”. ( Bhikkhus, I do not say that final knowledge is achieved all at once. On the contrary, final knowledge is achieved by gradual training, by gradual practice, by gradual progress). ක්‍රමානුකූල ධම්ම පුහුණුව, ප්‍රතිපදාව හා ප්‍රගතිය ඇති කරගන්නා ක්‍රමය:

“කතඤ‍්ච භික‍්ඛවෙ අනුපුබ‍්බසික‍්ඛා, අනුපුබ‍්බකිරියා, අනුපුබ‍්බපටිපාදා අඤ‍්ඤාරාධනා හොති? ඉධ භික‍්ඛවෙ සද‍්ධාජාතො උපසඬ‍්කමති, උපසඬ‍්කමන‍්තො පයිරුපාසති, පයිරුපාසන‍්තො සොතං ඔදහති, ඔහිතසොතො ධම‍්මං සුණාති, සුත්‍වා ධම‍්මං ධාරෙති, ධතානං ධම‍්මනං අත්‍ථං උපපරික‍්ඛති, අත්‍ථං උපපරික‍්ඛතො ධම‍්මා නිජ‍්ඣානං ඛමන‍්ති, ධම‍්මානිජ‍්ඣානක‍්ඛන‍්තියා සති ඡන්‍දො ජායති, ඡන්‍දජාතො උස‍්සහති, උස‍්සහිත්‍වා තුලෙති, තුලයිත්‍වා පදහති, පහිතත‍්තො සමානො කායෙන චෙව පරමං සච‍්චං සච‍්ඡිකරොති; පඤ‍්ඤාය ච නං පටිවිජ‍්ඣ පස‍්සති”. කවර ආකාරයකින්, (අරහත්වය පිණිස) ක්‍රමානුකූල පුහුණුව, ප්‍රතිපදාව, ප්‍රගතිය ඇතිවේද? “කිසියම් කෙනෙක් (ගුරුවරයා පිලිබඳ) ශ්‍රද්ධාව ඇතිවීමෙන් ඔහු කරා එළඹේ, එසේ ගුරුවරයා හමුවී ඔහුට ගරුබුහුමන් කරයි, සේවනය කරයි (සමීපයේ හිඳීයි). එසේ සිටිනවිට ධර්මය ඇසේ, එසේ ඇසෙන ධර්මයට කන් යොමු කරයි. ඇසු ධර්මය ඔහු මතකතබා ගනී (සිහියේ තැන්පත් කර ගනී- දරා ගනී). සිහියේ තබාගත් ධර්මයේ අර්ථ නුවණින් මෙනෙහි කරයි. එසේ අරුත් විමසන ඔහුට ධර්මයේ අර්ථ වැටහේ. ධර්මයේ අර්ථ පිළිගන්නා ඔහු තුල ධර්මය ගැන කැමැත්තක් (කුසල ඡන්දයක්) ඇතිවේ. කුසල ඡන්දය ඇතිවූ විට ඔහු (දහම් මගේ ගමන් කිරීමට) වෙර ඇතිකරගනී (උත්සාහවන්ත වේ). එසේ වෙරදරන ඔහු ධර්මය තුලනය කර බලයි (තිරණප්‍රඥාවෙන් අනිච්ච, දුක්ඛ හා අනාත්ම ධර්මතා ගැන). එසේ ධර්මය තුලනය කරනවිට ඔහුතුල වීරිය (ප්‍රධන්වීරිය) ඇතිවේ. එබඳු වීරිය ඇති ඔහු (නිවනට මෙහයවූ සිත් ඇතිව) කයෙන් පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගනි (සමාධිය). එම සත්‍යය, ප්‍රඥාවෙන් (තියුණු නුවණින් බලමින්) ඔහු දැක ගනී”.

සටහන්: * අටුවාවට අනුව: With the mental body he realises Nibbāna, the ultimate truth, and he penetrates it with the wisdom pertaining to the supra-mundane path. බලන්න: EMN: note: 708, p. 1129 ** සමාධිසමාපත්ති ලැබීමෙන් නිවන් මග ඔහු දකියි, ප්‍රඥාවෙන් නිවන සාක්ෂාත් කර ගත් බව අවබෝධ කරගනී.මූලාශ්‍ර: ම.නි: ( 2 ): 2.2.10 කීටාගිරි සූත්‍රය, පි. 252, EMN: 70: Kīṭāgiri Sutta, p. 536.

▼ ක්‍රමානුකූල පුහුණුවේ යෙදෙන ආකාරය: ම.නි. කීටාගිරි සුත්‍රයේදී හා චඬකී සුත්‍රයේදී බුදුන්වහන්සේ අරහත්වය ලබාගැනීම- සත්‍යඅවබෝධය පිණිස කටයුතු කලයුතු ආකාරය පෙන්වා ඇත. “අනුපුර්වශික්ෂාවෙන්, අනුපුර්වක්‍රියාවෙන්, අනුපුර්වප්‍රතිපදාවෙන් කටයුතු කර අරහත්බව ලබයි”

“කතඤ‍්ච භික‍්ඛවෙ අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපාදා අඤ‍්ඤාරාධනා හොති: ඉධ භික‍්ඛවෙ සද‍්ධාජාතො උපසඬකමති, උපසඬකන‍්තො පයිරුපාසති, පයිරුපාසන‍්තො සොතං ඔදහති, ඔහිතසොතො ධම‍්මං සුණාති, සුත්‍වා ධම‍්මං ධාරෙති, ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති, අත්‍ථං උපපරික‍්ඛතො ධම‍්මා නිජ‍්ඣානං ඛමන‍්ති, ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා සති ඡන්‍දො ජායති, ඡන්‍දජාතො උස‍්සහති, උස‍්සහිත්‍වා තුලෙති, තුලයිත්‍වා පදහති, පහිතත‍්තො සමානො කායෙන චෙව පරමං සච‍්චං, සච‍්ඡිකරොති, පඤ‍්ඤා ච නං පටිවිජ‍්ඣ පස‍්සති”. 1) ශ්‍රද්ධාව ඇතිකරගැනීම (faith): සුදුසු ගුරුවරයකු සොයාගතයුතුය. කරුණු 3 ක් පිළිබඳව දිගු කලක් ඔහුව පරික්ෂා කළයුතුය: ඔහු කායිකව හා වාචිකව, ලෝභ, දෝස හා මෝහ යන අකුසල් කරන්නේද? නැද්ද? එසේ පරික්ෂාකරන විට එම අකුසල ඔහු තුල නොමැතිබව, ඔහු ධර්මය යහපත් ලෙසින් පිළිපදින බව, උගන්වන බව අවබෝධවේ. එම අවබෝධය නිසා ශ්‍රද්ධාව පිහිටයි. (he places faith in the teacher) 2) බැහැදැකීම: ශ්‍රද්ධාව නිසා නිතර ගුරුවරයා හමුවට යයි (filled with faith he visits the teacher) 3) සේවනය හා ගරුකිරීම: නිතර ගුරුවරයා බැහැදැකීම නිසා ඔහු සේවනය කරයි, ඔහුට ගරුකරයි (he visits and pays respect to the teacher) 4 ) කන්දීම: ගුරුවරයාට ගරුකරන නිසා ඔහු පවසන දේ අසයි having paid respect to the teacher he gives ear) 5) දහම ඇසීම: ගුරුවරයාට කන්දීම නිසා ධර්මය ඇසේ (when he gives ear to the teacher, he hears the Dhamma-teaching) 6) මතකයේ තබාගැනීම: ඇසු ධර්මය සිහියේ දරාගැනීම (having heard the Dhamma, he memorises it)7) අරුත් පිරික්සීම- විභාගකිරීම: සිහියේ රඳවා ගත් ධර්ම කරුණුවල අර්ථය පරික්ෂාකිරීම (he examines the meaning of the teachings he has memorised) 8) පිළිගැනීම: අර්ථ විමසනවිට ධර්මය වැටහී ධර්මය පිළිගනි (when he examines their meaning, he gains a reflective acceptance of those teachings) 9) කැමැත්ත-ඡන්දය:ධර්මය වැටහුනවිට එහි යෙදීමට විශාල කැමැත්තක්, උනන්දුවක් ඇතිවේ (when he has gained a reflective acceptance of those teachings, zeal springs up) 10) උත්සාහය- වෑයම්කිරීම : ධර්මයේ යෙදීමට සිත කැමතිවීම නිසා වෑයම්කරයි (when zeal has sprung up, he applies his will) 11) විමර්ශනය-තුලනය කිරීම-විභාගකිරීම: උත්සාහ කරනවිට ධර්මය විමර්ශනය කරයි. ( having applied his will, he scrutinizes) .

සටහන: අටුවාවට අනුව මෙහි ධර්ම විමර්ශනය ලෙසින් දක්වන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ම ආදී ත්‍රි ලක්ෂණ විමසා බැලීමය: බලන්න: EMN: note 889, p. 1146. 12) ප්‍රධාන වීරිය: තුලනය කර විරිය වඩයි-සම්මා ප්‍රධාන විරිය-ප්‍රධන් විරිය (having scrutinised, he strives). සටහන: බලන්න: EMN: note 890, p. 1146: Although applying the will (ussahati) appears similar to striving (padahati), the former may be understood as the exertion undertaken prior to insight contemplation, the latter as the exertion that brings insight up to the level of the supra-mundane path. 13) සත්‍ය දැකීම: නිවනට මෙහෙයවූ සිත්ඇතිව- දැඩි විරිය කරමින් නාම කයෙන් නිවන-සත්‍ය දකියි, ප්‍රඥාවෙන් කෙළෙස් විනිවිද දැක නිවන දකී (resolutely striving, he realises with the body the supreme truth and sees it by penetrating it with wisdom) . සටහන්: * අටුවාවට අනුව: “He realises Nibbāna with the mental body (of the path of stream-entry), and having penetrated the defilements, he sees Nibbāna with wisdom, making it clear and evident” බලන්න: EMN: note 891, p. 1146, ** නාම කයෙන් නිවන-සත්‍ය දකියි: මූලාශ්‍ර: ම.නි: (2): 2.2.10 කීටාගිරි සූත්‍රය, පි. 252 හා 2.5.5. චඬකී සූත්‍රය, පි. 672, EMN: 70: Kīṭāgiri Sutta, p. 536, 95-Cankī Sutta, p. 704.

▼ ම.නි: කන්දරක සූත්‍රයට අනුව: ධර්මය ඇසීම: නිසා ශ්‍රද්ධාව ඇතිකරගැනීම පබ්බජ්ජාව ලබාගැනීම: ගිහිගෙය හැරදැමීම ශිලසම්පන්නවිම: තුන්දොරින් සිදුකරන සියලු අකුසල පහකරගැනීම සිව්පසය පිලිබඳ සන්තුෂ්ටිය: ලැබෙන දෙයින් සැහැයිමට පත්වීම ඉන්ද්‍රිය සංවරය: සය ඉඳුරන් මගින් අකුසල ඇතිනොවීමට පරික්ෂාකාරීවීම සම්පජානකාරීවීම: කයේ හැසිරීම සිහිනුවණින් පවත්වාගැනීම විවේකසම්පන්නවීම: කාය හා චිත්ත විවේකය ලබාදෙන හුදකලාවාසයට ප්‍රියවීම සමාධිය ලැබීම: පංචනිවරණ පහකර සිත එකඟකර ගැනීම සිව්ජාන සමාපත්ති ලැබීම: සමාධිමත් සිත දියණුකරගැනීම ත්‍රිවිධ ඥාන ලබාගැනීම: සිත සහමුලින්ම එකඟව පිරිසිදුව ස්ථාවර බවට පත්වූ විට පෙරවිසු කඳ පිළිවෙත, චුතප්පත්ති ඥානය හා ආසවක්ක ඥානය ලබාගැනීම (recollection of past lives, divine eye: knowledge of the passing away and reappearance of beings, knowledge of the destruction of the taints). ආසවක්ඛය ඥාණය මගින් චතුසත්‍ය අවබෝධවේ: එමගින් කාමයට, භවයට ඇති බැඳීම පහවේ, අවිද්‍යාව නැතිවේ. සිත විමුක්තියට පත්වූ බව අවබෝධවේ. අරහත්වයට පත්වේ. මූලාශ්‍ර: ම.නි: (2 ): 2.1.1 කන්දරක සූත්‍රය, පි. 18, EMN:51 Kandaraka Sutta, p. 425

▼ ක්‍රමානුකුල පුහුණුවට උපකාරීවන සාධක:: ක්‍රමානුකූල පුහුණුව සම්පුර්ණ කර සත්‍ය ලබාගැනීමට උපකාරීවන කරුණු බුදුන් වහන්සේ මෙසේ පෙන්වා වදාළහ: පළමුව ප්‍රධාන විරිය කලයුතුය, වීරිය නිසා මාර්ගය සම්පුර්න කරගැනීමට හැකිවේ; විරිය ඇතිකරගැනීමට තුලනය- ධර්ම විමංසනය කලයුතුය, එවිට ධර්මය දැකීම නිසා ප්‍රධාන විරිය ඇතිකරගනී. විමංසනය ඇතිකරගැනීමට උපකාරිවන්නේ සිතේ ඇතිවන උත්සහායය. උත්සහාය කරනවිට ධර්මය විමසා බැලීමට සිත පෙළඹේ. උත්සහායට උපකාරිවන්නේ ඡන්දයය. ධර්මයට ඇති කැමැත්ත නිසා උත්සාහකරයි. ඡන්දය ඇතිකරගැනීමට උදව්වෙන්නේ ධර්මය පිළිගැනීමය. පිළිගැනීම නිසා ධර්මය කෙරෙහි ඡන්දයක් ඇතිවේ. ධර්මය පිළිගැනීමට උපකාරිවන්නේ අරුත් විමසා බැලීමය. ධර්මයේ අර්ථ අවබෝධවීම නිසා පිළිගැනීම වේ. අරුත් විමසා බැලීමට සහායවන්නේ ධර්මයේ සිහියේ දරාගැනිමය. මතකතබාගැනීම නිසා දහම් අරුත් විමසීමට කැමත්තක් ඇතිවේ. ධර්මය සිහියේ දරා ගැනීමට උපකාරිවන්නේ ධර්ම ශ්‍රවණයය. ධර්මය අසා පැහදි දහම් කරුණු සිතේ දරා ගනී. ධර්ම ශ්‍රවණය කිරීමට උපකාරිවන්නේ කන්යෝමුකිරීමය. ගුරුවරයා පවසන කරුණු ගැන ඇහුම්කන්දීම නිසා දහම ඇසේ. දහම ඇසීමට කන් යොමුකිරීමට උපකාරීවන්නේ ගුරුවරයා කෙරෙහි ඇති ගෞරවයය. ගරුකිරීම නිසා, ගුරුවරයා කියන දේ ඇසීමට සිත පෙළඹේ. ගෞරවය ඇතිවන්නේ නිතර නිතර හමුවීමට යන නිසාය. නිතර සේවනය කරනවිට ගුරුවරයා පිලිබඳ ගරුත්වය ඇතිවේ. ගුරුවරයා නිතර සේවනය කිරීමට සිත දෙන්නේ ඔහු කෙරෙහි ශ්‍රද්ධාව - විස්වාශය ඇතිවීමය. බුදුන්වහන්සේ පෙන්වා ඇත්තේ ධර්මය අවබෝධය පිණිස ශ්‍රද්ධාව මුලික පදනමබවය. මූලාශ්‍ර: ම.නි: (2):2.5.5. චඬකී සුත්‍රය, පි. 661, EMN:95-Cankī Sutta, p. 704.

▲ ධම්මානුකූලවාසය- Living in accordance with the Dhamma ධම්මානුකූල වාසය-ජිවිතය ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ කායික, වාචික හා මානසික- (තුන් දොරින්) කුසල ක්‍රියාවන්හි හැසිරිමය (දසකුසලයේ හැසිරීම). එසේ ධර්මයට අනුව යහපත්ලෙසින් හැසිරෙන පුද්ගලයාට මේ ජිවිතයේදීම නිවන සාක්ෂාත් කරගැනීමට හැකියාව ඇත.බලන්න: දස කුසල. සටහන: ධර්මයට අනුව වාසය කිරීම පිණිස ධම්මානුකූල මගවඩාගත යුතුවේ. බලන්න:අංගු.නි: (1): 3 නිපාත: 3.1.2.6.සූත්‍රය, පි. 252, ආධ්‍යාත්මික මග. මූලාශ්‍ර: ම.නි: (1) 1.5.1 සාලෙය්‍යක සූත්‍රය, පි.682, EMN:41: Sāleyyaka Sutta-The Brahmins of Sālā, p.358

▲ ධම්ම ගුණ-Qualities of Dhamma: ත්‍රිවිධරත්න අතුරින්, දෙවැනි රත්නය වන්නේ ධර්ම රත්නයය. පළමු රත්නය බුද්ධරත්නය වේ, තෙවැන්න සංඝරත්නයය. ධම්ම ගුණ යනු බුදුන් වහන්සේ වදාළ සත්‍ය- ධර්මයේ ඇති උතුම් ලක්ෂණයන්ය.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “An Introduction to the Teaching of the Buddha Gotama” by Subhadra Bhikshu: BPS: Wheel: 152 -154, 2008 (On line edition) (ධර්මය හඳුන්වාදීම, මුලික ධර්ම කරුණු විස්තර කර ඇත)

▼ ධම්මයේ මූලික ගුණ 6 කි:: 1) සවාක්ඛාතෝ (svākkhāto ) : ධර්මය, බුදුන් වහන්සේ මනාව දේශනා කරඇති හෙයින්, මුල මැද අග යන තුන් තැනේදීම යහපත්වන බැවින් ස්වාක්ඛාතවේ. සටහන: ආධ්‍යාත්මික මගේ මුල මැද හා අග යන සෑම තැන්හිම, මාර්ගඵල සාක්ෂාත් කරගැනීමට ධර්මය පදනම්වේ. මුල ලෙසින් ශිලයද, මැද ලෙසින් භාවනාවද, අග ලෙසින් ප්‍රඥාවද දක්වා තිබේ. 2) සන්දිට්ඨිකො (sandiṭṭhiko): ධර්මයට අනුව පිළිපදින පුද්ගලයාටම වර්තමාන ජිවිතයේදීම ආධ්‍යාත්මික මග ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උපකාරීවන ගුණ ධර්මයේ ඇතිබව, සංන්දිට්ඨික ගුණයය. තමා විසින්ම දැකිය යුතුය තමන්ම, තම අභ්‍යන්තරහි පවතින කෙලෙස්, ආරියමග වර්ධනය නිසා ප්‍රහීණවූ බව අවබෝධ කර ගැනීම/ දැක ගැනීම සංදිට්ඨිකය. 3) අකාලිකො (timeless, directly visible, immediately effective): ධර්මය එක් කලයකයට සීමිත නොවේ, ධර්ම ගුණ සෑම කාලයන්ටම ගලපා ගත හැකිය, ඕනෑම කාලයකදී යහපත ගෙනදේ, එමනිසා ධර්මය අකාලිකය. නුවනැත්තාට ධර්ම ගුණ අප්‍රමාදව-කල්නොයවා දිස්වේ, එමනිසා අකාලිකය. ධර්ම මාර්ගයේ ගමන් කරනවිට තමන් විසින් කරන ලෞකික කුසල් කල්නොයවා විපාක දෙනබව තමන් විසින්ම දකින්නේය, කල් නොයවා විපාක දෙන, වහා විපාක දෙන ස්වභාවය පෙන්නුම් කරයි. ධර්මයේ ඇති ලෝකෝත්තර බව (supra-mundane state) නිසා, මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට, කල් නොයාවම තම උත්සාහයේ ප්‍රතිඵල දැක ගත හැකිවේ.බලන්න: අකාලික. 4) එහිපස්සිකො (inviting one to come and see): ධර්මය ඇවිත් බලන්න යයි කීමට සුදුසුය, ඕනෑම කෙනකුට ධර්මයට පැමිණිය හැකිය, ප්‍රශ්නකල හැකිය, එය සත්‍ය යය. 5) ඕපනයිකො (applicable): වෙනත් දේට වඩා ධර්මය පළමුකොටම සිතෙහි දැරීමට සුදුසු බව ඔපනයික ගුණයෙන් පෙන්වාදේ. ධර්මය භාවිතා කර තමාගේ සිතෙහි උපදවා ගැනීමටද, අරමුණු කිරීමට ද සුදුසුය. එසේ යෙදියහැකි ගුණය ඔපනයික ගුණයවේ. ධර්මයේ සිත පිහිටුවා ගත්විට, ධර්මය විසින්ධර්මයේ ගමන්කරන්නා ධර්මය තුලට කැඳවාගෙනයන ගුණය ඔපනයිකය. 6) පච්චත්තං වේදිතබ්බො විඤඤුහීති (to be personally experienced by the wise): නුවණැත්තන් විසින් තමා විසින්ම ධර්මය වඩන ලද බව ද, ඵල ලබා ගත් බවද අවබෝධ කරගන්නා බව මේ ගුණයෙන් පෙන්වාදෙයි. ධර්මය අනුව පිළිපදින පුද්ගලයාට, තම සිත් තුලින්ම ධර්මයේ යහපත්බව වැටහේ. තම තමන්ගේ ප්‍රඥාවේ මට්ටම අනුව, කර්ම ශක්තිය අනුව ධර්ම අවබෝධය සිදුවේ. සටහන: දහම් ගුණ : විස්තර පිණිස බලන්න: සුවිසි මහ ගුණය, සම්පාදක: රේරුකානේ චන්දවිමල මහනාහිමි, 2005. මූලාශ්‍ර: සංයු.නි: (4 ): සලායතවග්ග: 1.7.8. උපවාණ සූත්‍රය, පි. 118, ESN: Saļāyatana saṃyutta:70.8.Upavāṇa sutta, p.1240, අංගු.නි: (6):11-නිපාත: 11.2.1. හා 11.2.2.මහානාම සූත්‍ර,පි.645, EAN:11- II Recollection, 11.1 & 12.1 Mahanama, p.570.

▼ ධම්මගුණ-සළායතන තුලින් අවබෝධකිරීම: බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ යම්කිසි භික්ෂුවක් ඇසින් රුප දැක ඒවාට ඇලුන බව දන්නවා, ඒ නිසා සිත තුල රූප කෙරහි රාගයක් ඇතිවූ බව දන්නවා... ‘රූපය දැකීම නිසා මා තුල රාගයක් හටගත්තා’ කියා ඔහු අවබෝධ කරගනි. ‘රූපය දැකීම නිසා මා තුල රාගයක් හටගත්තේ නැහැ’ කියා ඔහු අවබෝධ කරගනි . එලෙසින් සිතේ රාගය ඇතිවූ බව දැනගැනීම ... හෝ රාගයක් ඇතිනොවූ බව දැනගැනීම නිසා ධර්මය සන්දිට්ඨික, අකාලික, එහිපස්සිකය, ඔපනයික හා නුවණැත්තන් තමන් විසින්ම අවබෝධකර ගැනීම ආදීවූ ගුණයන්ගෙන් යුක්තය...”. සටහන්: * සෙසු සලායතන නිසා :කණ නිසා ඇසෙන ශබ්ද... ආදීයෙන් ඇතිවෙන හෝ ඇතිනොවන රාගය, ඇල්ම ගැන ඉහත පරිදි අවබෝධ කරගතයුතුවේ.** මේ සූත්‍රය දේශනා කළේ උපවාන තෙරුන්ටය. මූලාශ්‍ර:සංයු.නි: (4 ): සලායතන සංයුත්ත: 1.7.8. උපවාන සූත්‍රය, පි. 118, ESN: Salayatnasamyutta, 70.8 Upavāṇa sutta, p. 1240.

▼ ධම්මය අකාලිකබව: ලොවුතුරු දහම ආකාලිකය, කම්සැප කාලික බව මේ සූත්‍රයේ පෙන්වා ඇත. එක්සමයක මාරයා, බමුණු වෙසක් ගෙන, භාවනාවේහි යෙදුන භික්ෂු සමුහයක් වෙත පැමිණ මෙසේ පැවසුහ: “...භවත්වූ මිනිස් කම්සුව විඳිත්වා. මේ අත්බවේ වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතුවූ සුව කරා නොදුවත් වා” එවිට භික්ෂුන් මෙසේ පිළිතුරු දුන්හ: “...අපි මේ අත්බවේදීම විඳින්නට ඇති සුව හැර, කල්ගෙවා විඳින්නට ඇති සුව කරා නොදුවමු... අපි කල්ගෙවා විඳින්නට ඇති සුව හැර මේ අත්බවේම විඳින්නට ඇති සුව විඳින්නෙමු ...කාමයෝ කාලිකය... බොහෝ දුක් ඇත, මේ ලොවුතුරු දහම (අකාලිකය) කල් නොයවා විපාක දෙන සුළුය...”. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: මාරසංයුත්ත: 4.3.1 සම්බහුල සූත්‍රය, පි. 240, ESN: Mārasamyutta: 21.1.A Number, p. 290.

▼ ධම්මගුණ බල සම්පන්නය: ධම්මගුණ සිහිපත් කරනවිට, කෙනෙක්තුල ඇතිවන බිය, තැතිගැනීම ආදී අප්‍රසන්න තත්වයන් මග හරවා ගත හැකිබව බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: සංයු.නි: (1): සක්ඛ සංයුත්ත: 11.1.3. ධජග්ග සූත්‍රය, පි. 414, ESN: 11: Sakkasamyutta: 3.3. The Crest of the Standard-dhajagga, p. 461.

▼ ධර්මයේ සත්‍යගුණ සිහිකිරීමෙන් ලෝක සත්ත්‍වයාට සෙතක්, ශාන්තියක් ලැබෙනබව රතන සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර:ඛු.නි: ඛුදදකපාඨ: 6- රතන සූත්‍රය, පි. 35, ඛු.නි: සුත්තනිපාත: චුල වග්ග, රතන සූත්‍රය, පි. 87, Sutta Nipatha, The Minor Chapter: The Threefold Gem, p. 76, Translated by L Khantipalo Mills, Published by SuttaCentral, 2015.

▼ ධම්මගුණ ආවර්ජනය සමාධිය පිණිසය: ධර්මගුණ ආවර්ජනය කිරීම-අනුසතිය, සමාධියට හිතකර බව බුදුන් වහන්සේ පෙන්වා ඇත: යම් පුද්ගලයෙක් ධර්මගුණ සිහිපත්කරන අවස්ථාවේදී, ඔහුගේ සිතේ ඇති රාග දෝස හා මෝහ යන කෙළෙස් පහවියයි. එමගින් ඔහුගේ සිත ඍජුවී ධර්මය පිලිබඳ අර්ථවේදය (අර්ථ වැටහීම), ධර්මවේදය (ධර්මය නිසා සතුට ලැබීම) ඔහුට ලැබේ. එවිට ඔහුගේ සිත ප්‍රමෝදවේ. ප්‍රමෝදමත් සිතේ ප්‍රීතිය ඇතිවේ. ප්‍රීතිය නිසා කාය පස්සදිය ලැබේ, එමනිසා සිත සුවපත්වේ. සුවපත් සිත සමාධිය ලබාදෙයි. එම අවස්ථාවේ දී ඒ පුද්ගලයා, විෂමසහගත සිත් ඇති අය අතර ශාන්ත සිතක් ඇති, දුකට පත් අය අතර නිදුක් සිතක් ඇති කෙනෙක්වේ. ඒ ආරිය ශ්‍රාවකයා ධර්මය ප්‍රවාහයට ඇතුළුවූ, ධම්මානුසතිය වඩන කෙනෙක් බවට පත්වේ:

“...යස‍්මිං මහානාම සමයෙ අරියසාවකො ධම‍්මං අනුස‍්සරති, නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහ පරියුට‍්ඨිතං චිත‍්තං හොති, උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති ධම‍්මං ආරබ‍්භ, උජුගතචිත‍්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්‍ථවෙදං ලභති ධම‍්මවෙදං ලභති ධම‍්මුපසංහිතං පාමොජ‍්ජං, පමුදිතස‍්ස පීති ජායති, පීතමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත‍්තං සමාධියති, අයං වූච‍්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප‍්පත‍්තො විහරති, සඛ්‍යාපජ‍්ඣාය පජාය අබ්‍යාපජ‍්ඣා විහරති, ධම‍්මසොතසම‍්පන‍්නො ධම‍්මානුස‍්සතිං භාවෙති”

සටහන්: * මේ සූත්‍රය වදාළේ මහානාම ශාක්‍යයන්ටය. අනුරුද්ධ තෙරුන් ගේ සහොදරයාවූ ඔහු බුදුන් වහන්සේගේ අග්‍රතම උපාසකයෙක්ය. බලන්න: උපග්‍රන්ථය:3 මූලාශ්‍ර:අංගු.නි: (6): 11-නිපාත: 2 අනුසති වගග, 11.2.1, 11.2.2. මහානාම සූත්‍ර,පි.645, EAN-11: Recollection, 11.1 & 12.1, Mahanama , p.570.

▼ ධම්මගුණ ආවර්ජනය කුසලය පිණිසය: ධර්මගුණ සිහිකර ඒ ගුණ සිතතුළ දාරණය කරගන්නා ශ්‍රාවකයෙක්, ලාමක අකුසල් පහ කරගැනීමට හා කුසල් සිත වඩා ගැනීමට සමත්වන බව බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර:අංගු.නි: (6): 11 නිපාත: අනුසති වගග:11.2.3. නන්දිය සූත්‍රය,පි.658, EAN-11: Recollection, 13.3, Nandiya, p.571.

▼ ධම්මගුණ දෙවියෝ අගයකරයි: ජනවසභ සූත්‍රයේදී, සනංකුමාර බ්‍රහ්මරාජයා විසින් දේවසභාවට ධර්ම ගුණ විස්තර කර, බුදුන් වහන්සේ වදාළ ධර්මය මනාව දේශනාකර ඇතිබව ද අමරණියබව - නිවන පිණිස දොරටුව වීවෘත කරන ලද බවද පවසා ඇත. මූලාශ්‍ර: දීඝ.නි: (2 ): 5. ජනවසභ සූත්‍රය, පි,322, EDN: 18 Janavasabha Sutta (17), p. 209.

▼ ධම්ම ගුණ විස්තර කරන වෙනත් සූත්‍ර: බලන්න: අංගු.නි: (4) 6 නිපාත: ධම්මිකවග්ග: සන්දිට්ඨික සූත්‍ර 2කි, පි.144.

▲ ධම්ම ගුරුවරු- Dhamma teachers: දහම උගන්වන මහා ගුරුවරයා- ශාස්තෘන් වහන්සේ නම් බුදුන් වහන්සේය. ධම්ම ගුරුවරු -පුදපුජා කලයුතු ගින්නක්ය- දක‍්ඛිණෙය්‍ය අග්නි. බලන්න: දක‍්ඛිණෙය්‍ය අග්නි.

▲ ධම්ම චක්‍රය-Dhamma wheel: තථාගත සම්බුදුරජාණන් වහන්සේ කරුනු 5 ක් සහිතව නවලෝකෝත්තර ධම්ම චක්‍රය පවත්වන සේක. ඒ ශ්‍රේෂ්ඨ චක්‍රය ලෝකයේ බ්‍රහ්ම, දේව, මාර, මිනිස් ආදීවූ කිසිවෙකුට ආපසු පෙරලිය නොහැකිය (ප්‍රතිවර්තනය): 1) අර්ථය දන්නේය (අත්‍ථඤ‍්ඤු ච හොති). කුමක් යහපත්ද ? යන්න පස් ආකාරයකින් අවබෝධ කර ඇත (පංචවිධ අර්ථ): තමාගේ අර්ථය, අන්‍යයන්ගේ අර්ථය, දෙපක්ෂයේම අර්ථය, වර්තමානය පිණිස ඇති අර්ථය, අනාගතය පිණිස ඇති අර්ථය. 2) ධර්මය දන්නේය (ධම‍්මඤ‍්ඤු ච හොති). සතර ධර්මය අවබෝධ කර ඇත: චතුසත්‍ය. 3) මාත්‍රය දන්නේය (මත‍්තඤ‍්ඤු ච හොති ) සිව්පසය ගැනීම පිලිබඳ පමණ දන්නේය. 4) කාලය දන්නේය (කාලඤ‍්ඤු ච හොති ): එනම් විවෙකසුවයෙන් වාසය කලයුතු කාලය, ජානසමාපත්ති ඇතිව වැඩසිටීමේ කාලය, ධර්මය දේශනා කිරීමේ කාලය, චාරිකාවේ යෙදීමේ කාලය. 5) පිරිස (පර්ෂදය) දන්නේය (පරිසඤ‍්ඤු ච හොති ): එනම් තමන්වහන්සේ හමුවට එන පිරිස කවරේද යන්න: ශාක්‍ය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, ශ්‍රමණ ආදී ලෙසින්. සටහන්: * මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, තමන් වහන්සේගේ දෙටු පුත්වැනි, සැරියුත් තෙරුන් (ජේෂ්ඨ ශ්‍රාවක) ඉහත කරුණු 5 සහිතව, ධම්ම චක්‍රය පවත්වන බව පෙන්වා ඇත. ** ධම්මරාජවූ බුදුන් වහන්සේ, ධර්මය ඉහලින් තබාගෙන, ධර්මයට පුද සත්කාර කරමින්, ධර්මය ධජය ලෙසින් ගෙන, ධම්ම චක්‍රය පවත්වන සේක. ** උන්වහන්සේ භික්ෂු භික්ෂුණින් හට, උපාසක, උපාසිකාවන්ට, මග පෙන්වා දෙමින් ඔවුන්ට යහපත් රැකවරණය ලබාදේ. සෙවිය යුතු දහම සෙවීමට, නො සෙවියයුතු දහම නො සෙවීමට, වාසය සුදුසු හා නුසුදුසු තැන් ආදිය ගැන අවශ්‍ය උපදෙස් ලබාදේ.

සටහන: බුදුසසුනේ ප්‍රථමවරට ධම්ම චක්‍රය පැවැත්වුවේ බුදුන් වහන්සේගේ ප්‍රථම ධම්ම දේශනාවේදිය. බලන්න: ධම්මචක්කප්පවත්තන සූත්‍රය, සංයු.නි: (5-2), පටිසම්භිදා 2: ධම්මචක්ක කථා. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත:රාජවග්ග: 5.3.4.1, 5.3.4.2, 5.3.4.3 සූත්‍ර, පි.264.

▼ ධම්මචක්‍රය ලෙසින් පෙන්වා ඇත්තේ බුදුන් වහන්සේ වදාළ ධර්මයය. එය, ඉතා උතුම් නිසා, ශ්‍රෙෂ්ඨනිසා අනර්ඝනිසා, බ්‍රහ්මචක්‍රය (The Wheel of Brahmā) ලෙසින්ද හඳුන්වයි. සටහන: බුදුන් වහන්සේ ධම්ම චක්‍රය හැරවීම පිලිබඳ විස්තර: බලන්න: ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.1.3.1 සිංහනාද සූත්‍රය, පි. 90, EAN:10: 21.1. The Lion, p. 499, ම.නි: (1 ): 1.2.2. මහාසීහනාද සූත්‍රය, පි. 184, EMN: 12: The Greater Discourse on the Lion’s Roar, p.160.

▼ ධම්මචක්‍රය පැවත්වීම “...මහණෙනි, සැරියුත් තෙමේ, තථාගතයන් විසින් පවත්වන ලද අනුත්තරවූ ධම්මචක්‍රය, මනා කොටම පවත්වයි”. (Sāriputta properly continues to keep in motion the unsurpassed wheel of the Dhamma set in motion by the Tathāgata.). මූලාශ්‍ර:අංගු.නි: (1):1 නිපාත: එතග්ගපාළිය:1.13.26 සූත්‍රය, පි.84, EAN:1: 187.18: sutta,p.44.

▲ ධම්ම චක්ඛු:පාලි: ධම‍්මචක‍්ඛුං-Eye of the Dhamma: ධම්මචක්ඛු -දහම්ඇස ලෙස පෙන්වා ඇත්තේ සෝතාපත්ති මාර්ගඵල ලැබීමය. පංචනීවරණ පහවීමෙන් පිරිසුදුවූ සිත, චතුසත්‍ය අවබෝධය පිණිස යහපත් ලෙසින් යොමු කරන පුද්ගලයාහට ධර්මයේ මුලික න්‍යායයක් වූ ‘හටගැනීමේ ස්වභාවය ඇති දේ, නැතිවියාමේ ස්වභාවය ඇත’ ය යන නුවණ පහළවේ. එම නුවණ ඇතිවීම - හේතු ප්‍රත්‍ය පිලිබඳ ඥානය ඇතිවීම දහම් ඇස පහළවීමය, දහම් මගේ පළමු පියවරවූ සෝතාපන්න වීමය. සටහන: බුදුන් වහන්සේගේ ප්‍රථම දහම් දේශනාව වූ, ධම්මචක්ක ප්පවත්වන සූත්‍රයේ දී චතුසත්‍ය අවබෝධ වීම මගින් තමන්වහන්සේට පෙර නො ඇසු ධර්මය පිලිබඳ දහම් ඇස පහළවූ බව වදාරා ඇත. එලෙස, බුදුන් වහන්සේ, සියලු කෙළෙස් පහකර උතුම් සම්බෝධිය සාක්ෂාත් කරගත්හ.

▼ ධම්මචක්කප්පවත්වන සුත්‍රය ශ්‍රවනය කල ආයුෂ්මත් කොණ්ඩඤඤ තෙරුන්හට, ‘යම්කිසි ධර්මයක් ප්‍රත්‍යයෙන් උපන්නේ වේ ද, ඒ සියලු ධර්මතා නිරුද්ධවීමේ ස්වභාවය කොට ඇතය’යි රාගාදී රජස් රහිතවූ, පහවූ (දිට්ඨිවිචිකිච්ඡා) මල ඇති සෝතාපත්ති මාර්ග ඥානය -දහම් ඇස පහල වුයේය: “ඉමස‍්මිඤච පන වෙය්‍යාකරණස‍්මිං භඤ‍්ඤමානෙ ආයස‍්මතො කොණ‍්ඩඤ‍්ඤස‍්ස විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්ම’ න‍්ති” (And while this discourse was being spoken, there arose in the Venerable Kondañña the dust-free, stainless vision of the Dhamma: ‘Whatever is subject to origination is all subject to cessation’)මූලාශ්‍ර: වින.පි: මහාවග්ග 1: 22 : පි. 101, සංයු.නි: (5-2): මහාවග්ග: සච්චසංයුත්ත: 12.2.1 ධම්මචක්කප්පවත්තන සූත්‍රය, පි. 294, ESN: Saccasamyutta: 11.1 Setting in Motion the Wheel of the Dhamma, p. 2276.

▼ චතුරාර්ය සත්‍ය ධර්මය බුදුන් වහන්සේ, යසකුලපුත්‍රයාහට (පසුව යසකුලපුත්‍ර තෙර) දේශනා කල අවස්ථවේදී, ඔහුට දහම් ඇස පහළවිය. බලන්න: අනුපූර්ව කථා. මූලාශ්‍රය: වින.පි: මහාවග්ග 1: 8: පි. 110.

▼ උග්‍ග විසාලානුවර ගහපති හා උග්‍ග හත්ථිගාම ගහපති යන ගිහි උපාසකයන්හට, බුදුන් වහන්සේ පළමු හමුවීමේදීම, දේශනා කල ධර්මය අසා දහම් ඇස පහලවූහ. එම ගුණය ඔවුන්ට ඇති අෂ්ඨ ආශ්චර්ය අද්භූත ගුණයන්ගෙන් එකකි. බලන්න: අෂ්ඨ ආශ්චර්ය අද්භූත ගුණ.

▼ වෙනත් මුලාශ්‍ර:1. ධම්මචක්ඛු- දහම් ඇස : “ධම්මචක්ඛු හෙවත් දහම් ඇස පහළවීම යනු මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව තත්වය අවබෝධවීමය- යථාබව (සෝතාපන්න විමය) එනම් ඉදපපචචයතා - හේතු ප්‍රත්‍ය ධර්මතාව අවබෝධ වීම. “ යං කිඤචි සමුදයධම්මං සබ්බං තං නිරෝධ ධම්මං- යම් හේතුවක් නිසා ඇතිවන දේ ඒ හේතුව නැතිවිමෙන් නැතිවී යනවා”. “දිය සුලිය: පි.7: කටුකුරුන්දේ ඤාණනන්ද භික්ඛු, පහන්කනුව ධර්ම දේශනා, ධර්මග්‍රන්ථ මුද්‍රණ භාරය, 2005.

▲ ධම්ම චේතිය- Dhamma chetiya: ධම්ම චේතිය ලෙස මෙහිදී පෙන්වා ඇත්තේ, ත්‍රිවිධ රත්නයේ අනගිබවය. පසේනදී කෝසල රජ, මෙහිදී ධම්ම චේතිය ගුණ වර්ණනා කර ඇත. එම චම්ම චේතිය, ඉගෙනගැනීමට, සිහියේ දරාගැනීමට, පුහුණු කිරීමට බුදුන් වහන්සේ සංඝයාට අවවාද වදාළහ. ධම්ම චේතිය, අර්ථසහිතය, ආදී බ්‍රහ්මචාරිකය යි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: ම.නි: (2): 2.4.9 ධම්මචේතිය සූත්‍රය, පි.566.

▲ ධම්ම චරියාව හා අධම්ම චරියාව- conduct in accordance with the Dhamma & conduct contrary to the Dhamma: ධම්මචරියාව යනු ධර්මයට අනුකුලව හැසිරිමය, කුසල් සහගතය. අධම්මචරියාව යනු ධර්මයට එරෙහිව- පටහැනිව හැසිරිමය, අකුසල් සහගතය. කය වචන හා සිත යන තුන් දොරින් යහපත් ක්‍රියාවන්හි යෙදීම ධම්මචරියාව යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. එසේම, තුන් දොරින් කරන අයහපත් ක්‍රියා- විෂම ක්‍රියා වන්හි යෙදීම අධම්මචරියාව වේ. ධම්මචරියාව මගින් කෙනෙක් සුගතියට පමුණුවන අතර අධම්මචරියාව නිසා කෙනෙක් දුගතියට යයි. බලන්න: දසකුසල හා දස අකුසල. මූලාශ්‍ර: අංගු.නි: ( 6):10 නිපාත: කරජකාය වගග: 10.5.1.10. අධම්ම චරියා සූත්‍රය, පි.586, EAN:10: 220.10: Conduct contrary to the Dhamma, p. 561.

▼ ගිහිගෙය හැර පැවිදිවූ සංඝයා විසින් අධම්ම චරියාව හැර ධම්ම චරියාවට අනුව වාසය කලයුතු ආකාරය මෙහි දක්වා ඇත.මූලාශ්‍රය: ඛු.නි: සුත්තනිපාත: චූලවග්ග: 2-6 කපිලසූත්‍රය, පි.104.

▼ මෙහිදී සැරියුත් මහා තෙරුන්, කෙනෙක් අධම්ම චරියාවේ හැසිරීමට හේතු හා කෙනෙක් ධම්ම චරියාවේ හැසිරීමට හේතු විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍රය: ම.නි: (2): 2.5.7 ධනඤජානි සූත්‍රය, පි.696

▲ ධම්ම ඤාණය- Dhammanana: ධම්ම ඤාණය (ධම්මේඥානය-ධම‍්මෙ ඤාණං) යනු ධර්මය පිලිබඳ ඇති පුර්ණ අවබෝධයය. මෙය ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීම පිණිස උපදවගතයුතු සතර ඥානයන්ගෙන් එකකි. බලන්න: උත්පාදයිතව්‍ය ධර්ම.

▲ ධම්මඤඤු- Dhammannu: ධම්මඤඤු ලෙසින් පෙන්වා ඇත්තේ බුදුන් වහන්සේ දේශනා කර වදාළ සූත්‍ර, ගෙයිය... ආදීවූ නව අංග ධම්මයන් යහපත් ලෙසින් අවබෝධ කරගත මහණ/මෙහිණිය ධම්මඤඤු ලෙසින් හඳුන්වයි. බලන්න: නවාංග ශාසතෘශාසනය. මූලාශ්‍රය: අංගු.නි: (4) 7 නිපාත: 7.2.2.4 ධම්මඤඤු සූත්‍රය, පි.464

▲ ධම්මට්ඨිති ඤාණය- Dhammattihi nana: හේතුප්‍රත්‍ය ධර්මතා පිලිබඳ පිරිසිඳ දැනගැනීමේ නුවන ධම්මට්ඨිති ඤාණයය. විස්තර පිණිස බලන්න: ඛු.නි: පටිසම්භිදා 1:ඥාණකථා: 4 ධම්මට්ඨිති ඤාණය, පි.116.

▲ ධම්ම තණ්හාව- craving for mental phenomena: සිතින් සිතන සිතුවිලි පිලිබඳ ඇති ඇල්ම, ධම්ම තණ්හාවය. විඥාණය නිසා හටගන්නා තණ්හාවය- ආශාවන්ය-(පස් ඉඳුරන්ගෙන් අල්ලා ගන්නා දේ පිලිබඳ ඇති ඇල්මය-විඥාණ හැර). අපුර්වදේ ගැන, මනස්කල්පිත දේ ගැන, දුරඅවබෝධ-භවාත්මක කරුණු, බුද්ධිමය පර්යාය, වේදනා හා චිත්තවේගී අවස්ථා ආදිය පිලිබඳ විඥාණයේ ඇතිවන ආශාවන්ය. බලන්න: තණ්හාව.

▲ ධම්මස්ථ-Dhammastha:සත්‍යකථා කරණ, ධම්ම විනිශ්චය යහපත් ලෙසින් පිහිටි පුද්ගලයා ධම්මස්ථය යි මෙහි දක්වා ඇත.මූලාශ්‍රය:ඛු.නි: ධම්මපදය: 19: ධම්මස්ථ වග්ග: පි.116.

▲ ධම්ම දූතසේවය- Missionary: ධම්ම දූතසේවය ලෙසින් පෙන්වා ඇත්තේ සංඝයා පිරිස අතරට පැමිණ ධර්මය දේශනා කිරීමය, ප්‍රචලිත කිරීමය. බලන්න: දූත කර්ම

▲ ධම්මදින්න උපාසක-Dhammadinna upasaka:බලන්න: උපග්‍රන්ථය:3

▲ ධම්මදින්නා තෙරණිය-Dhammadinna Therani: බලන්න: උපග්‍රන්ථය:2

▲ ධම්මමගේ දියුණුව- Progress in the Path: වෙළඳාමේ දක්ෂ වෙළෙන්දා, මහා ධන සම්පත් ලබා තමාගේ ජිවිතමග දියුණු කරගනී. ගුණ 3 ක් ඇති භික්ෂුව මහා කුසල් ඇතිකර දහම් මග දියුණු කරගැනීමට සමත්වේ. 1) තීක්‍ෂණ ඇස: චතු සත්‍ය යහපත් ලෙසින් දැකීමේ හැකියාව ඇතිබව 2) වගකීම: අකුසල පහ කර ගැනීමට හා කුසල් ඇතිකර ගැනීමට අවශ්‍ය වීරිය උපදවා ගැනීමේ වගකීම අවබෝධකිරීම 3) අනුග්‍රාහකයන් ලැබීම- ධර්මයේ බහුශ්‍රැත, ධර්මයේ දක්ෂ උතුම් භික්ෂුන් නිතර හමුවූ, ධර්ම කාරණා පිලිබඳ කරුණු පහදා ගැනීමට හැකිවීම. එම ගුණ නැති කෙනා, අදක්‍ෂ වෙළෙන්දා නො දියුණුවන ලෙසින්, දහම් මගේ පිරිහිමට පත්වේ. බලන්න: වෙළෙන්දා උපමාව:උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: අංගු.නි: (2): 3 නිපාත: 3.1.2.9 -10 සූත්‍ර 2කි, පි. 256, EAN:3: 19.9 & 20.10 Shopkeeper, p. 84.

▼ ධම්මමග ආරක්ෂා කරගැනීමට උපකාරීවන ධර්මතා 10ක් මෙහිදී පෙන්වා ඇත. බලන්න: නාථකරණ ධම්ම. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.1.2.7 ප්‍රථම නාථකරණ සුත්‍රය.

▼ ධම්ම මග අවහිර කරන ධර්මතා 10ක් මෙහිදී පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.1.2.3 චෙතොඛිල සුත්‍රය.

▲ ධම්ම දායාදය-Heirs in Dhamma: ධම්ම දායාදය ලෙසින් පෙන්වා ඇත්තේ බුදුන් වහන්සේ වදාළ ධම්මවිනය උරුම කරගෙන වාසය කිරීමය.

“මහණෙනි, මගේ ධර්මයට දායාද වන්න, ආමිෂයට දායාද නොවන්න”. සටහන්: * ආමිෂය යනු සිව්පසයය. ** භික්ෂුව, ධර්මය දායාද කරගන්නා පිළිවෙත, සැරියුත් තෙරුන් මේ සූත්‍රයේදී පෙන්වා ඇත. මූලාශ්‍ර:ම.නි: (1): 1.1.3 ධම්මදායාද සූත්‍රය, පි. 50,EMN:3 Heirs in Dhamma, p.85.

▲ ධම්මදේශනාව- Discoursing Dhamma: බුදුන් වහන්සේ, ධර්මය දේශනාකොට වදාළේ, ලෝක සත්ත්‍වයන් හට සසරින් ගැලවීමේ මාර්ගය පෙන්වා දීම පිණිසය. තථාගතයන් ධර්මය දේශනා කරන ක්‍රම 2කි: 1) සැකෙවින් 2) විස්තරාත්මකව. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.2.4 සූත්‍රය, පි. 144, EAN: 2: 14.4 Sutta, p. 58.

▼ නිවැරදි අර්ථයද නිවැරදි ධර්මයද සහිතව, භික්ෂුන් ධර්මය දේශනා කරන්නේ නම්, ඔවුන් බොහෝ දෙනාගේ හිත සුව පිණිස, අර්ථය පිණිස කටයුතු කරන බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. එලෙස කටයුතු කරණ සංඝයා බොහෝ කුසල් රැස්කරගනී, සසුන පවත්වා ගැනීමට, ආරක්ෂා කිරීමට කටයුතු කරයි. එහෙත්, වැරදි අර්ථයද වැරදි ධර්මයද සහිතව, සංඝයා ධර්මය දේශනා කරන්නේ නම්, ඔවුන් බොහෝ දෙනාගේ හිත සුව පිණිස, අර්ථය පිණිස කටයුතු නො කරයි. එසේ කිරීමෙන් ඔවුනට බොහෝ අකුසල සිදුවේ, සසුනට හානි ඇතිවේ, සසුන අතුරුදහන් වීමට කටයුතු සිදුවේ. මූලාශ්‍ර: අංගු: (1): 2 නිපාත:2 .1.4.10 සූත්‍රය, පි.172, EAN: 2 : 41.10 Sutta, p. 63.

▼ ධර්මය දේශනා කිරීමේ පරමාර්ථය වන්නේ, මෙලොවදී ඇතිවන ආසව සංවරකරගැනීමට හා පරලොව විපාක දෙන ආසව විනාශ කිරීම පිණිස බව බුදුන් වහන්සේ වදාළහ. බලන්න: ආසව. මූලාශ්‍ර: දීඝ.නි: (3): 6 පාසාදික සූත්‍රය-(16), පි. 210, EDN: 29.The delightful discourse-(22), p. 318.

▲ ධම්මදස්සි බුදුන් වහන්සේ- Buddha Dhammadassi: ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි ධම්මදස්සි බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. බලන්න:බුද්ධවංශ පාලි:15: ධම්මදස්සි බුදුන්වහන්සේ.

▲ ධම්ම ධාතුව: පාලි:ධම‍්මධාතු:Dhamma Dhathu- penetration of the principles of Dhamma: තථාගතයන් වහන්සේ සතු ‘සියල්ල දක්නා නුවණ’ ධම්මධාතුව ලෙසින් පෙන්වා ඇත.

“ යම් ධර්ම ධාතුවක් යහපත් ලෙසින් පිළිසිඳ දන්නා නිසා තථාගතයන් වහන්සේ, පෙර විසු බුදුවරු මෙබඳු උපත් ඇත්තෝවුහ, මෙබඳු නම් ඇත්තෝවුහ, මෙබඳු ගෝත්‍ර ඇත්තෝවුහ, මෙබඳු සිල් ඇත්තෝවුහ,මෙබඳු දහම් ඇත්තෝවුහ, මෙබඳු නුවණ ඇත්තෝවුහ, මෙබඳු විහරණ ඇත්තෝවුහ...” ආදී ලෙසින් තමන්වහන්සේට පෙර වැඩ විසු බුදුවරු පිලිබඳ දැනගතයුතු සියලු දේ දැකිය හැකිබව, දත හැකි බව බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“තථාගතස‍්සෙවෙසා භික‍්ඛවෙ ධම‍්මධාතු සුප‍්පටිවිද‍්ධා යස‍්සා ධම‍්මධාතුයා සුප‍්පටිවිද‍්ධත‍්තා තථාගතො අතීතෙ බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ ඡින‍්නපපඤෙච ඡින‍්නවටුමෙ පරියාදීන‍්නවටෙට සබ‍්බදුක‍්ඛවීතිවත‍්තෙ ජාතිතොපි අනුස‍්සරති, ගොත‍්තතොපි අනුස‍්සරති, සාවකසන‍්නිපාතතොපි අනුස‍්සරති....”. (The Tathāgata understands these things...by his own penetration of the principles of Dhamma) සටහන්: * මෙහිදී විපස්සි සිට කාශ්‍යප තෙක් පෙර බුදුවරු සත්දෙනා පිලිබඳව විස්තර දක්වා ඇත. බලන්න: අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුවරු. මූලාශ්‍ර: දීඝ.නි: (2): 1.මහාපදාන සූත්‍රය, 14 ඡෙදය, පි. 18, EDN: 14 Mahâpadāna Sutta, p. 150.

▼ බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ තථාගතයන් පහළවුවද, පහළ නොවුවද: සියලු සංඛාර අනිත්‍ය...දුකය...අනාත්මය යන ධම්මධාතුව එලෙසම පවතින බවය. මූලාශ්‍රය:අංගු.නි: (1)3 නිපාත:යොධාජීවවග්ග:3.3.4.4. සූත්‍රය, පි.552.

▲ ධම්ම නානත්වඥානය- Dhamma Nanathwanana: ධම්ම නානත්වඥානය ලෙසින් පෙන්වා ඇත්තේ නවධර්මයන් පිරිසිඳ දැනගැනීමේ ප්‍රඥාවයය. මූලාශ්‍රය: ඛු.නි. පටිසම්භිදා 1: 19 ධම්ම නානත්වඥානය, පි.184.

▲ ධම්මානුසාරී: පාලි: ධම‍්මානුසාරි-Dhamma-follower/devotee: ධර්මය යහපත්ලෙසින් දැක පිළිගත් ආරිය ශ්‍රාවකයා ධම්මානුසාරී ය. ඔහු උත්තම දසපුද්ගලයන්ගෙන් කෙනෙකි, ආරිය පුද්ගලයන් සත්දෙනාගෙන් කෙනෙකි. ඔහුගේ දහම් මග තියුණුය, ධර්මය නිරුත්සාහයෙන් අවබෝධවේ. ඔහුට මාර්ගය ඉක්මනින් සාක්ෂාත් කර ගැනීමට හැකිය. මුවහත් පිහියකින් කෙසෙල් බඩයක් කපන ලෙසින් පහසුවෙන් කෙළෙස් කපාදැමිය හැකිය. බලන්න: ESN: note: 198, p. 2412. සටහන්: * සෝතාපන්න බවට වඩා ටිකක් අඩුවෙන් පංච ඉන්ද්‍රිය පරිපුර්ණ පුද්ගලයා ධම්මානුසාරීය. බලන්න: ආධ්‍යාත්මික පංචඉන්ද්‍රිය, ඉන්ද්‍රියනානත්වය.

▼ අභ්‍යන්තර ආයතන 6 (චක්ඛු ආදී) -අනිත්‍යය, වෙනස්වේ, විපරිනාමවේ. ඒ බව යථා ලෙසින් දකින ආරිය පුද්ගලයෝ සෝතාපන්න නොවී කලුරිය නොකරයි, ඔහු ධම්මානුසාරී ආරිය පුද්ගලයෙකි. බලන්න: සෝතාපන්න. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධවග්ග: ඔක්කන්තිසංයුත්ත: 4.1.1. චක්ඛු සූත්‍රය, පි. 470, ESN: 25: Okkantisamyutta: 1 The eye, p. 1140.

▲ ධම්මානුස්සති භාවනාව- Recollection of the qualities of Dhamma ධම්මානුස්සති (අනුසති) භාවනාව (ධම්මානු සතිය) දහම් ගුණ සිහිපත්කර සිත එකඟ කර ගැනීමය- සමාධිය ලැබීමය. මේ භාවනාව නිවන පිණිස පවතී. බලන්න: අනුසති භාවනා, ධම්මගුණ. සටහන: කටයුතු බහුල ජිවිතයක් ඇති ගිහියන්ට සුදුසු භාවනාවකි. බලන්න: ගිහියන්ට උපදෙස්. මූලාශ්‍රය: අංගු.නි: (1) නිපාත: ඒකධම්මපාලිය සූත්‍ර, පි.100.

▲ ධම්මානුපස්සනාව-Dhammanupassana: දීඝ.නි: හා ම.නි: සතිපට්ඨාන සූත්‍රයන්හි, දහම් කරුණු විමසා බැලීම ධම්මානුපස්සනාව බව පෙන්වා ඇත. බලන්න: චතුසතිපට්ඨාන.

▼ ධම්මවිනයේ දක්ෂ භික්ෂුව කරුණු 11ක් සපුරා ගෙන ධම්මානුපස්සනා සාක්ෂාත් කරගන්නා බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (6) 11 නිපාත:සාමඤඤවග්ග සූත්‍ර, පි.704.

▲ ධම්මානුධම්ම පටිපන්න: පාලි: ධම‍්මානුධම‍්මපටිපන‍්නො- Dhmmanudamma patipanna: රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ධර්මතා පිලිබඳ කළකිරිම පිණිස, නොඇල්ම පිණිස, නිරෝධය පිණිස පුරුදු පුහුණුව ලබන භික්ෂුව ‘ධම්මානුධමමපටිපන්න- ධම්මානුධම්ම ප්‍රතිපන්න’ යයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.3.2.3 හා 1.3.2.4. සූත්‍ර, පි. 312, ESN: 115.3 & 116.4 A speaker on the Dhamma, p. 1101.

▲ ධම්මානුධම්ම ප්‍රතිපදාව: පාලි: ධම‍්මානුධම‍්මප‍්පටිපත‍්ති -Dhammanu Dhamma patipada: ධර්මයට අනුකුලව, දුකින් මිදීමට කටයුතු කිරීම, ධම්මානුධම්ම ප්‍රතිපදාවයය (practising in accordance with the Dhamma). එම ප්‍රතිපදාවට බැසගත් පුද්ගලයා “ධම්මානුධම්මප්‍රතිපන්න” යයි හඳුන්වයි. එවැනි පුද්ගලයා කතා කරන්නේ නම්: දසධර්ම කතා පමණක් කතා කරයි, සිතන්නේ නම් නෙක්කම්ම ආදී ධර්ම විතක්ක පමණක් මෙනෙහි කරයි. උපෙක්කා සහගතව, සිහි ඇතිව, නුවණ ඇතිව වාසය කරයි. එවැනි මහණ, ධර්මය අරමුණු කොට ඇති සමථ හා විදර්ශනාව වඩයි, ඔහුට 37ක්වු බෝධි පාක්ෂික ධර්මතා පිහිටයි. සෑම ඉරියව්වකදීම,කෙළෙස් සන්සිඳවීම ගැන සිත යොදන ඔහු ඒකාන්තයෙන්ම නිවන ලබයි යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: අටුවාවට අනුව: “when he is practising the preliminary portion of the practice thatis in conformity with the ninefold supramundane Dhamma (the four paths, their fruits, and Nibbāna)”. බලන්න: ESN:note 51: p.1177. මූලාශ්‍ර:ඛු.නි:ඉතිවුත්තක:3.4.6 අශුභානුදර්ශි සූත්‍රය, පි. 45, 3.4.7 ධම්මානුධම්මප්‍රතිපන්න සූත්‍රය, පි.456.

▼ ධම්මානුධම්මප්‍රතිපන්න පුද්ගලයා, පංචඋපාදානස්කන්ධය (රූපය ආදී) ගැන නිබිද්දාව ඇතිකරගනිමින්, ඒවායේ අනිත්‍යබව මෙනෙහි කරමින්, ඒවා නිසා ඇතිවන දුක දකිමින්, ඒවායේ අනාත්මබව දකිමින් වාසය කලයුතුය යි මෙහි දක්වා ඇත. එය, දුකින් මිදීමේ මගය. මූලාශ්‍ර:සංයු.නි (3) ඛන්ධසංයුත්ත: නතුම්හාකවග්ග: 1.1.4.7-10 අනුධම්ම සූත්‍ර, පි.98, ESN: Khandasamyutta: 39.7 - 42.10 suttas 4, In accordance with the Dhamma, p. 1029.

▼ ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය, සෝතාපන්න වීමට අවශ්‍ය අංග 4 න් එකකි. බලන්න: සෝතාපන්න.

▼ ආධ්‍යාත්මික වර්ධනය පිණිස ධම්මානුධම්ම ප්‍රතිපදාව බොහෝ උපකාරීවේ-බහු උපකාර ධර්මයකි. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ ධම්මපරියාය: පාලි: ධම‍්මපරියායං- Dhamma Theme: ධම්ම පරියාය ලෙසින් මෙහිදී දක්වා ඇත්තේ ධර්ම දේශනාවය, දේශනාවට ඇතුලත් ධර්ම කරුණුය-තේමාවය. බලන්න: සංසප්පනිය ධර්ම පරියාය.

▼ බහුධාතුක සූත්‍රයේ දී බුදුන් වහන්සේ 1) ධාතු කුසලතාවය 2) ආයතන කුසලතාවය 3) පටිච්චසමුප්පාදය පිලිබඳ කුසලතාවය 4) ස්ථාන අස්ථාන දන්නා කුසලතාවය පිලිබඳ විස්තරකර ඇත. සූත්‍රය අවසානයේදී ආනන්ද තෙරුන් එම දේශනාවේ-පරියායේ නම-තේමාව ඇසු විට බුදුන් වහන්සේ වදාළේ එම ධර්මකරුණු: “බහුධාතු” , “චතුචක්‍ර” (චතුපරිවටෙටා), “දහම් කැඩපත”(ධම‍්මාදාසොති), “අමත බෙරය”(අමතදුන්‍දුභිතිපි) , “අනුත්තර සංග්‍රාමවිජය” (අනුත‍්තරො සඬගාමවිජයො) ලෙසින් සිහියේ දරා ගත යුතුබවය. (The Many Kinds of Elements, The Four Cycles, The Mirror of the Dhamma, The Drum of the Deathless, The Supreme Victory in Battle). මූලාශ්‍ර: ම.නි: ( 3): 3.2.5 බහුධාතුක සූත්‍රය, පි.209, EMN: 115: The Many Kinds of Elements, p. 840.

▲ ධම්ම පරියාය -ඉන්ද්‍රිය පිලිබඳ - Method of exposition of faculties: මේ ධම්ම පරියාය ලෙසින් පෙන්වා ඇත්තේ ඉන්ද්‍රිය පහ හා බලපහ (පංච ඉන්ද්‍රිය හා පංච බල) අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධයය. එනම්, පංච ඉන්ද්‍රිය, පංච බල බවට පත්වීම හා පංචබල, පංච ඉන්ද්‍රිය බවට පත්වීමය. පංච බල ඇත්නම් පංච ඉන්ද්‍රිය ඇත, පංච ඉන්ද්‍රිය ඇත්නම් පංච බල ඇත. සටහන: භික්ඛු බෝධි හිමිට අනුව මේ දෙක අතර ඉතා වැදගත් වෙනස්කමක් නැත. බලන්න: ESN: note: 230, p.2415. මේ පිලිබඳ දැක්වූ උපමාව: එක් ගංගාවක් නැගෙනහිරට බරව ගලයයි, එහි මැද දුපතක් වේ. එම ගංගාව එකක් ලෙසින් හෝ ගංගා 2ක් ලෙසින් හෝ පෙන්විය හැකිය. පළමු ක්‍රමයට අනුව දුපතේ නැගෙනහිර ඇති ජලය හා දුපතේ බටහිරට ඇති ජලය එකම ගංගාව ලෙසින් සැලකීම. දෙවන ක්‍රමයට අනුව: දුපතේ උතුරින් ඇති ජලය එක් ගඟක් ලෙසින්ද, දුපතට දකුණින් ඇති ජලය දෙවන ගඟ ලෙසද සැලකීම. එලෙස සලකන විට සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බලයය (ආදීවශයෙන්). බලන්න: දුපත උපමාව:උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත: ජරාවග්ග: 4.5.3 සාකෙත සූත්‍රය, පි.414.ESN:48: Indriyasamyutta: 43.3. Saketha, p.1975.

▲ ධම්මපරියාය සෝකසල්ලහරණ- Method of exposition of extraction of the dart of sorrow: මේ ධම්ම පරියාය භාවිතා කරන්නේ සිතේ ඇතිවන මහා දුක්-ශෝකය නැතිකර ගැනීම පිණිසය. එක්සමයක්, නාරද තෙරුන්, මුණ්ඩ රජුගේ ශෝකය පහ කිරීම් පිණිස වදාළ දේශනය, සෝකසල්ලහරණ ධම්ම පරියාය බව මෙහි දක්වා ඇත. බලන්න:උපග්‍රන්ථය:1,3. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: 5.1.5.10 සෝකසල්ලහරණ සූත්‍රය, පි.112.

▲ ධම්ම ප්‍රවාහය- Dhamma Stream: ධම්ම ප්‍රවාහය -ධම්ම සෝතය- දහම නැමති දිය පහර, ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, යම් කෙනෙක් ශිලය පරිපුර්ණ කරගත්විට, එම ගුණය සෙසු ධර්ම ගුණ පුර්ණ කරමින් ක්‍රම ක්‍රමයෙන් එම පුද්ගලයා විමුක්තිය දෙසට ගෙනයෑමය.

“ධර්මය විසින්, ධර්මය අනුක්‍රමයෙන් සපුරාගත්විට, ධර්ම ප්‍රවාහය විසින් මෙතෙර (සසර) සිට එතෙරට (නිවන) දක්වා ගෙනයයි”: “ඉති ඛො භිකඛවෙ ධම‍්මා ච ධම‍්මෙ අභිසනන්‍දන‍්ති. ධම‍්මා ච ධම‍්මෙ පරිපූරෙන‍්ති අපරා පාරඞගමනායාති” ( Thus, bhikkhus, one stage flows into the next stage, one stage fills up the next stage, for going from the near shore to the far shore.). මූලාශ්‍ර: අංගු.නි:(6):11 නිපාත:නිසසය වග්ග: 11.1.2 න චෙතනාය කරණිය සූත්‍රය,පි.614, EAN: 11 : Dependence:2.2 Volition p.566.

▼ කෙනෙක් බුදුගුණ, දහම්ගුණ, සඟගුණ, ශිලයේ ගුණ, චාගගුණ, දේවගුණ ආවර්ජනාකරනවිට (අනුසති භාවනා) , ඔහු, අසමවූ ජනයා (රාග දෝස මෝහයෙන් මැඩුන මිනිසුන්) අතර සමතුලිතව වාසය කරයි, දුකින් පෙළෙන ජනයා අතර නිදුකින් වාසය කරයි. ඔහු ධර්ම ප්‍රවාහයට (ධර්ම සොතයට) ප්‍රවිෂ්ඨව ඇතිබව බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: අනුසති භාවනා. මූලාශ්‍ර: අංගු.නි: (6 ):11 නිපාත: අනුසති වග්ග: 11.2.1 මහානාම සූත්‍රය,පි.645, EAN: 11: Recollection: 11.1 Mahanama , p.570.

▲ ධම්ම යුගල- Pairs of Dhamma: ධම්ම යුගල (ද්වම ධම්ම) ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ දහම් කාරණා දෙකක් යුගලයක් ලෙසින් ගැනීමය. බලන්න: යුගල ධම්ම කරුණු .

▲ ධම්මයෝගි-Dhamma specialists: ධමමයෝගින් ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මයේ විශාරදබව ඇති ධම්ම කථික භික්ෂූන්ය. ඔවුන් විස්මය දනවන (astounding) පුද්ගලයන්ය, ඔවුන් ධර්මයේ ගැඹුර- ස්කන්ධධාතු, අර්ථ, විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාව විනිවිද දුටු උතුමන්ය. ඔවුන් දුර්ලභය.එමනිසා, ධ්‍යායි භික්‍ෂුන් (භාවනායෝගී) පමණක්නොව, ධර්මයෝග (ධම්මකථික) භික්‍ෂුන් කෙරෙහිද පැහැදී , ඔවුන්ගේ ගුණ පවසමින් වාසය කලයුතුය. මේ හැම ලෝකයාගේ සුව සෙත පිණිස කටයුතු කරති. සටහන: මහාචුන්ද තෙරුන්, මේ අවවාද අනුසාසනා වදාළේ ඇතැම් සංඝයා, භවනා යෝගීන් පමණක් පසසන නිසා එම වැරදි ආකල්පය නිවැරදි කිරීම පිණිසය. බලන්න:ධ්‍යායි මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: ධම්මිකවග්ග:1.6.5.4 මහාචුන්ද සූත්‍රය, පි.142.

▲ ධම්ම යානය-Dhamma vehicle: ධම්ම යානය නම් ආරියඅට මගය. බලන්න: ආරියඅටමග.

▲ ධම්මරාජ- King od the Dhamma: තථාගතයන්වහන්සේ ධම්ම රාජයාය, දහමේ ස්වාමියාය. බලන්න: තථාගතයන්වහන්සේ, බුද්ධනාම. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: රාජවග්ග: 5.3.4.3 ධම්මරාජ සූත්‍රය, පි.266.

▲ ධම්මරත්නය-Dhammarathna: ධම්මරත්නය, ත්‍රිවිධ රත්නයේ දෙවෙනි රත්නයය. රතනසූත්‍රයේ, ධම්ම රත්නයේ ගුණ පෙන්වා ඇත.බලන්න: ත්‍රිවිධරත්නය.

▲ ධම්මාරාම-Dhammaraama: ධම්මාරාම ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මය ආරාමයක්- වාසස්ථානයක් කරගෙන ජිවත්විමය. එවැනි පුද්ගලයෝ, මේ ජීවිතයේදීම සුවයෙන් හා සැපයෙන් සිටිති. මූලාශ්‍ර: අංගුනි: (4): 6 නිපාත: අරහත්වග්ග: 6.2.3.4 සුඛ සෝමනස්සසූත්‍රය, පි.254.

▲ ධම්මරසය- Flavor of Dhamma: බුදුන් වහන්සේ වදාළ ධර්මයේ ඇත්තේ එක් රසයකි, එනම් විමුක්ති රසය. මාර්ග ඵල සාක්ෂාත් කරගැනීම නිසා ආරියෝ ලබන විමුක්ති රසය අග්‍රතම රසයවේ. මාර්ගය සාක්ෂාත් වීම නිසා ලබන අර්ථරසය හා ඵල සාක්ෂාත් වීම නිසා ලබන ධම්ම රසය, මගින් විමුක්ති රසය ඇතිවේ. මූලාශ්‍රය: අංගු.නි: (1) 1 නිපාත:එකධම්මපාළිය: 1.16.4.15 සූත්‍රය, පි. 114.

▲ ධම්මය වරදවා ගැනීම- Taking the Dhaama in wrongway: ධම්මය වරදවා ගැනීම ලෙසින් පෙන්වා ඇත්තේ, දහම පිලිබඳ හරි අවබෝධය නොමැති අය, එය විකෘති කර දැක්වීමය. මෙය ධර්මයේ පරිහානියට බලපායි. එහෙත්, දහම නිවැරදි ලෙසින් අවබෝධ කරගත් අය ධර්මයේ දියුණුව ඇති කරයි. බලන්න: තථාගතයන්වහන්සේ. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 2 නිපාත: 2.1.3.2- 2.1.3.5 සූත්‍ර, පි. 154 , EAN: 2: 22.2-25.5, Suttas, p.60.

▲ ධම්ම විග්‍රහය-analysis of Dhamma: ධම්ම විග්‍රහය යනු ධර්මය විභාග කර බැලීමය. ධර්ම විග්‍රහයේ මුලික පරමාර්ථය වන්නේ, ධර්මය යහපත් ලෙසින් අවබෝධ කරගැනීමට උපකාරිවීමය, ධර්මය රැගෙන යාමය. ධර්මය රැගෙන යාම ‘හාරය’ වේ. ධර්ම හාරය කොටස් 16 ක් සහිතව මහා කච්චාන මහා රහතන්වහන්සේ විසින් වදාරා ඇත: 1) දේශනා හාරය- ධර්මය දේශනා කිරීම: ආස්වාදය, ආදීනවය, නිස්සරණය හා උතුම් ඵලය (නිවන) හා ඒ පිණිස ඇති මාර්ගය පෙන්වාදීම පිණිස බුදුන් වහන්සේගේ උපදේශය, ධර්මය රැගෙන යාම පිණිස වූ ධර්ම දේශනාව, දේශනා හාරය වේ. 2) විචය හාරය- එම දේශනාව පිලිබඳ විමසීම: ධර්ම දේශනාව තුළ ප්‍රශ්නයෙන් අසන ලද කරුණු හා එම ප්‍රශ්න විසඳිම, සුත්‍රයේ ඇති පද, ගාථා, විමසීම් විචය හාරය වේ. 3) යුත්ති හාරය- එම දේශනාවේ කරුණු ගලපා බැලීම: දේශනාවේ ඇතුලත් අර්ථ ව්‍යංජන පිළිබඳව ගැලපීම-නොගැලපීම ආදීය බැලීම යුක්තිහාරය වේ. 4) පදට්ඨාන හාරය-එම දේශනාවට ආසන්න කරුණු සොයා බැලීම: දේශනාව ට ආසන්නවූ කරුණු ගැන බැලීම. 5) ලක්ඛණ හාරය- එම දේශනාවේ ලක්ෂණ බැලීම: සූත්‍රයේ දක්වා ඇති ධර්මයට සමානවූ ධර්ම පිලිබඳ ලක්ෂණ මතුකර පෙන්වා දීම. 6) චතුබහය්‍යුහ- එම දේශනාව 4 ආකාරයකින් බෙදා දැක්වීම: 1.නිරුක්තිය (පද ව්‍යංජන විග්‍රහය) 2. සුත්‍රයේ අදහස්කල කාරනාව 3. සුත්‍රයට පසුබිම 4. පෙර අපර සන්ධි ගැලපීම. 7) ආවට්ට හාරය- එම දේශනාවට අනුව කුසල් අකුසල් නැවත විමසා බැලීම: යම්කිසි කුසල ධර්මයකට ආසන්න කරුණ එක් දහම් පදයකින් පෙන්වා ඇතිවිට, එයට සහායවන හා විරුද්ධ වන ධර්මයන්ගේ ආසන්න කරුණු පිළිබඳව කැරකි බැලීම. 8) විභත්ති හාරය- දේශනාවේ ඇතුලත් කරුණු විග්‍රහ කර දැක්වීම: දේශනාවේ ඇති ධර්මය, එය වැඩි දියුණුවට ආසන්න කරුණු, එයට අදාළ භුමිය ආදිය විග්‍රහකර දැක්වීමය. 9) පරිවර්තන හාරය- දේශනාවේ කුසල හා අකුසලයන් දක්වා ඇති විට, දියුණු කරගත යුතු කුසල්, ප්‍රහීණය කරගත යුතු අකුසල් හා ඒවාට විරුද්ධව ඇති කරුණු පෙන්වා දීම. 10) වේවචන හාරය: දේශනාවේ ඇති වචන පිළිබඳව සමාන අරුත් ඇති වචන දැක්වීම. 11) පඤඤ්ත්ති හාරය- දේශනාවේ පැනවීම් විග්‍රහ කිරීම: දේශනාවේ ඇතුලත් එක් ධර්මයක් පිළිබඳව බොහෝ සමාන වචන අරුත් පෙන්වා විග්‍රහ කිරීම. 12) ඕතරණ හාරය-දේශනාවේ අර්ථ අවබෝධයට බැසගැනීම: දේශනාවේ යම් පටිච්ච සමුප්පන්න ධර්ම, ඉන්ද්‍රිය, ස්කන්ධ, ධාතු, ආයතන ඇත්නම් ඒ ඒ ධර්මතා තුලින් දහම් මගට බැසගැනීමක් තිබේද යායි බැලීම. 13) සෝධන හාරය-දේශනාවේ අර්ථ පිරිසිදුකර බැලීම: යමක් අරභයා ඇසු කරුණු ගැන ඇති විසඳුම- ලබාදීතිබේද යන්න විමසීම.14) අධිට්ඨාන හාරය: දේශනාවේ-සුත්‍රයේ අර්ථ දරා ගැනීම: තනිව හෝ විවිධ ලෙසින් හෝ දක්වා ඇති ධර්ම සැක නොකරයුතු බව පෙන්වීම. 15) පරික්ඛාර හාරය- හේතු ප්‍රත්‍ය ධර්මයෝ එකිනෙකට උපකාරීවීමෙන් ධර්මතා ඇතිවීම, ඒ හේතු ප්‍රත්‍ය වලට මුල්වන කරුණු සොයා බැලීම. 16) සමාරෝපණ හාරය-දේශනාවේ ඇතුලත් ධර්ම කාරනා වල අර්ථ මතුකර පෙන්වා දීම: යම් කුසල ධර්ම, ඊලඟ කුසල ධර්මවලට මුල්වේද, ඒවා සියල්ල තුලින් එකම අර්ථයක් ලබාදෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇතිබව, ඉස්මතු කර පෙන්වාදීම. බලන්න: නෙත්තිප්ප්‍රකරණය: විභාගවාරය: පි. 17, පරිවර්තනය: පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ. මූලාශ්‍ර: ඛු.නි: නෙත්තිප්ප්‍රකරණය: විභාගවාරය: 1.උද්දේසවාරය,පි.22,

▲ ධම්මවාදීන්-Proponents of Dhamma: ධම්මවාදීන් යනු ධර්මයට පක්ෂපාතිව කථාකරණ, කෙළෙස් ප්‍රහිණය ගැන උගන්වන ආරිය උතුමන්ටය.රාග, දෝස හා මෝහ යන අකුසල ප්‍රහාණය පිණිස දහම්දෙසන උතුමෝ ලෝකයේ ධම්මවාදීන්ය යි සැරියුත් තෙරුන් දක්වා ඇත. සටහන: තථාගතයන් හා රහතුන් ධම්මවාදීන්ය. මූලාශ්‍ර: සංයු.නි: (4 ): සළායතන වග්ග: ජමබූඛාදක සංයුත්ත: 4.1.3 ධමමවාදී සූත්‍රය, පි. 502, ESN: Salayatanasamyutta: IV: 38 Jambukhādaka : 3 Proponents of Dhamma, p. 1398.

▲ ධම්මවේදය-Dhmmavedaya: ධම්මවේදය ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මය යහපත් ලෙසින් අවබෝධ කරගැනීමය, එවැනි පුද්ගලයා ධම්මවේදීයාය. ධර්මය දේශනා කරනවිට ඔහු ධර්මයේ අර්ථය (අර්ථවේදය), තේරුම්ගනී, ඉන්පසු ධර්මය මැනවින් අවබෝධ කර (, ධම්මවේදය) ප්‍රමෝදමත් සිතක් ඇතිව සිටි. මේ ගුණය, ධර්ම මරේගය දියුණු කරගැනීමට උපකාරීවන කරුණකි. මූලාශ්‍රය: අංගු.නි: (6) 11 නිපාත: අනුස්සතිවග්ග: 11.2.7 ගෝපාලක සූත්‍රය, පි.682.

▲ ධම්මවිනය-The Dhamma and discipline: බුදුන් වහන්සේ සංඝයාට වදාළ උගැන්වීම, අවවාද අනුසාසනා විනය උපදෙස්, ධම්ම විනයවේ. සුගත විනය ලෙසින්ද පෙන්වා ඇත. ලෝකයේ ධර්ම විනය පවත්නා තෙක් බුදුසසුන චිරාත් කාලයක් වැජඹේ යයි බුදුන් වහන්සේ වදාළහ.බලන්න: විනය.

▼ තථාගතයන් වහන්සේ ලෝකයේ පහළව ධර්ම විනය ප්‍රකාශ කරයි ජාති ජරා මරණ යන ත්‍රිවිධ ධර්මතා ලෝකයේ පවතිනවිට තථාගතයන් පහලවේ, ධමම විනය ඇතිවේ, බැබලේ. මූලාශ්‍ර:අංගු.නි: (6) : 10 නිපාත: 10.2.3.6 තයෝධම්ම සූත්‍රය,පි.284, EAN:10: 76-6.Incapable, p. 524.

▼ ධම්ම විනයේ අට ආකාර අසිරිමත් ගුණ ඇතිබව මෙහිදී පෙන්වා ඇත. බලන්න: අෂ්ඨ ආශ්චර්ය ධම්මගුණ. මූලාශ්‍රය: අංගු.නි: (5) 8 නිපාත: මහවග්ග:8.1.2.9 පහාරද සූත්‍රය, පි.104.

▼ අනාවරණය කලවිට ධම්ම විනය බබලයි: බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “...තථාගතයන් වහන්සේ විසින් වදාළ ධම්මවිනය විවෘතවූ විට බබලයි. වැසුන විට නො බබලයි”.“තථාගප‍්පවෙදිතො ධම‍්මවිනයො භික‍්ඛවෙ විවටො විරොවති නො පටිච‍්චනෙනා”. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 3 නිපාතය: 3.3.3.9 සූත්‍රය, පි. 510, EAN:3: 131.9. Concealed, p. 137.

▼ ධම්ම විනය සත්‍යයය: බුදුන් වහන්සේ වදාළ ධර්මවිනය සත්‍යයය:

“ අයං ඛො පන භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහිතො අසඬකිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤුහි”. (මා විසින් (බුදුන් වහන්සේ විසින්) උගන්වා වදාළ ධර්මය: වැරදිය යි (අසත්‍යයයි) ඔප්පු කල නොහැකිය, නොකිළිටිය (කෙළෙස් රහිතය), කෙනෙකුට නින්දා කිරීමට (ගැරහීමට) නොහැකිය, නුවණැති ශ්‍රමණබ්‍රහ්මණයන් විසින් විවේචන නොකළ (සංසෝධනය නොකල ) ධර්මයකි. (the Dhamma taught by the Buddha is unrefuted, undefiled, irreproachable, and un censured by wise ascetics and brahmins). සටහන: ඒ ධර්මතා නම්: සය ධාතු, ස්පර්ශ ආයතන සය, මනෝ උපවීචාර 18, චතුරාර්ය සත්‍යය යි මේ සූත්‍රයේ පෙන්වා ඇත. බලන්න: ධර්මයේ සද්භාවය. මූලාශ්‍ර: අංගු.නි: ( 1): 3 නිපාත: මහාවග්ග: 3.2.2.1 සූත්‍රය, පි. 348, EAN:3: The Great Chapter, 61.1 Sectarian, p. 104.

▼ ධම්ම විනය දසධර්මයෙන් යුක්තය: ධම්ම විනයේ දස ධර්මය ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ 1-8 සම්මාදිට්ඨිය මුල් කරගත් ආරිය අටමග හා 9 සම්මා ඥානය 10 සම්මා විමුක්තිය යන දස ධර්මතාය. 1) එම දස ධර්ම ඇත්තේ... 2) දස ධර්ම නිර්මලව හා පවිත්‍රව ඇත්තේ ... 3) නුපන් දසධර්ම උපදින්නේ...4 ) ඒවා නිසා මහත් ඵල මහා ආනිසංස ලැබෙන්නේ... 5) ඒවා නිසා රාග දෝස හා මෝහය යන අකුසල් ප්‍රහාණය වන්නේ... 6) ඒවා නිසා ඒකාන්ත නිබිද්දාව, විරාගය, නිරෝධය, උපසමය, අභිඤඤාය, සම්බෝධිය හා නිවන සාක්ෂාත් වන්නේ... 7) ඒවා භාවිතය මගින්, නිතර දියුණු කිරීම මගින්, නුපන් ධර්මතා උපදින්නේ... 8) ඒවා වර්ධනය කර ගැනීමෙන් මහා අර්ථලාභ උපදින්නේ... 9) ඒවා වර්ධනය කිරීමෙන් අකුසල මුල් නැති කර ගැනීමට හැකිවන්නේ... 10) ඒවා වඩා ගැනීමෙන් මාර්ගය වැඩි විමුක්තිය සාක්ෂාත් වන්නේ සුගත්යන්ගේ ධම්ම විනයේ පමණි. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාතය: පාරිශුද්ධ වග්ග සූත්‍ර, පි. 462, EAN:10: III Purified, p. 547.

▼ ධම්ම විනයට ඇති අනාගත භය: ධම්ම විනයට අනාගතයේදී සිදු විය හැකි භය 5 ක් (ධර්ම විනය පිරිහීයාමට හේතුවන කරුණු) පෙන්වා දුන් බුදුන් වහන්සේ සංඝයාට වදාළේ, එම කරුණු දැන, ඒවායේ ප්‍රහාණය පිණිස විරිය ඇතිව කටයුතු කලයුතු බවය: 1 හා 2 : අනාගතයේදී අධි ශිලය, අධි චිත්තය, අධි ප්‍රඥාව නොමැති භික්ෂුන්, සංඝයා උපසම්පදා කරයි.ආධුනික සංඝයා රැකබලාගන්නා ගුරුවරුන් මෙන් කටයුතු කරයි, නිස්සය දෙයි. ගුරුවරුන් යහපත් ලෙසින් ධම්ම විනය අනුගමනය නොකරන නිසා ඔවුන්ගේ ශිෂ්‍ය පරම්පරාව ද දිගින් දිගටම ධර්මානුකූලව කටයුතු නොකිරීමට නැඹුරුවේ.3 අනාගතයේදී අධි ශිලය, අධි චිත්තය, අධි ප්‍රඥාව නොමැති භික්ෂුන් ධර්ම කථාවල යෙදේ. යහපත් ධර්මය නොදන්නා නිසා ඔවුන්ගේ දේශනා අධර්මය දෙසට බරවේ.4 අනාගතයේදී අධි ශිලය, අධි චිත්තය, අධි ප්‍රඥාව නොමැති භික්ෂුන් තථාගතයන් වහන්සේ දෙසු දහම් කරුණු අවබෝධ කරගැනීමට උත්සාහය නොකරයි, සසුනට බාහිරවූ පුද්ගලයන්ගේ ප්‍රකාශන ගැන සිතඅලවයි.5 අනාගතයේදී අධි ශිලය, අධි චිත්තය, අධි ප්‍රඥාව නොමැති භික්ෂුන් සිවුපස ලැබීම ආදී කරුණු කෙරේ සිත යොමුකරයි. අධිගමය (නිවන) ලබා ගැනීමට කටයුතු නොකරයි. ඔවුන්ගේ ශිෂ්‍ය පරම්පාරවන්ද එලෙසින් කටයුතු කිරීමට නැඹුරුවේ. මූලාශ්‍ර: අංගු.නි: ( 3): 5 නිපාත: 5.2.3.9 අනාගත භය සූත්‍රය, පි.192, EAN:5: 79.9 Future Perils, p. 268.

▼ ධම්මවිනය පරිහාණිය හා වර්ධනය-Dhamma vinaya decline & growth: ආරිය ශිලය, ආරියසමාධිය,ආරිය ප්‍රඥාව, ආරිය විමුක්තිය නොමැති විට කෙනෙක් ධර්ම විනයේ පිරිහිමට පත්වේ. එහෙත්, එම ගුණ සතු පුද්ගලයා ධර්මවිනයේ වර්ධනයට පත්වේ. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත:භන්ඩාගමවග්ග:4.1.1.2 පප්තිත සූත්‍රය, පි.26.

▼ ධම්මවිනය පැවතීම හා පරිහානිය: ධම්මවිනය පැවතීමට කරුණු: අප්‍රමාදය, වීරිය, අල්පබව, සන්තුෂ්ටිය, යෝනිසෝමනසිකාරය, සම්පජඤඤය, කල්‍යාණ මිත්‍ර සේවනය, කුසල් කිරීම, ධර්මය යහපත් ලෙසින් දේශනා කිරීම. ධම්මවිනය පරිහානියට කරුණු: ප්‍රමාදය, කුසිතකම, මහා ලෝභය, අසන්තුෂ්ටිය, අයෝනිසෝමනසිකාරය, අසම්පජඤඤය, පාප මිත්‍ර සේවනය, අකුසල් කිරීම. වැරදි ධර්මය දේශනා කිරීම. මූලාශ්‍රය: අංගු.නි: (1) 1 නිපාත: 1.10.21 සූත්‍රය, පි. 76.

▼ ධම්ම විනයේ දිව්‍ය යානය -උතුම් යානය ආරිය අටමගය. බලන්න: ආරියඅටමග.

▼ ධම්ම විනයේ දුෂ්කර දේ- Difficult things in Dhamm Vinaya: ධම්ම විනයේ දුෂ්කර කරුණු සැරියුත් මහා තෙරුන් මෙසේ දක්වා ඇත: 1) පැවිදී ජීවිතයට පැමිණීම- (පබ්බජා- Going forth) 2) පැවිදිජීවිතය ගෙනයාමට ඇල්ම ඇතිකරගැනීම 3) පැවිදි ජිවිතයට ඇල්ම ඇති අයට ධර්මානු ධමම ප්‍රතිපත්තිය ගෙනයාම දුෂ්කරය. එහෙත් ධර්මානු ධමම ප්‍රතිපත්තිය යහපත් ලෙසින් ගෙනයන්නේ නම් නොබෝකලකින් අරහත්මගඵල ලබාගත හැකිය. මූලාශ්‍ර: සංයු.නි: ( 4 ): සළායතන වග්ග: ජම්බුඛාදකසංයුත්ත: 4.1.1. දුක්කර සූත්‍රය, පි. 512, ESN: Salayathnasamyutta: IV: 38 Jambukhādaka: Difficult to do: Suffering, p. 1411.

▼ භික්ෂුවක් ධම්ම විනයෙහි පිරිහීමට පත්වන අන්දම මහා මුගලන් තෙරුන් පෙන්වා ඇත: 1) ක්‍රෝධයෙන් සිටීම (anger) 2) බද්ධ වෛරයෙන් සිටීම (උපනාහ- hostile) 3) ගුණමකුබව (මකඛ- denigration) 4) අහංකාරය -ගරුසරු නැතිබව (යුගග්‍රාහ- insolent) 5) ඊර්ෂ්‍යාව-ඉරිසියාව ඇතිබව (envious) 6) මසුරුබව (miserliness) 7) කපටිබව (ශඨ-craftiness) 8) මායා සහිත බව (වංචනික-deceitful) 9) පාපික ඉචඡා (ලාමක ආශා- evil desires) 10) මුළා සිහිය ඇති නිසා මතු ආධ්‍යාත්මික දියුණුවට- අධිගමයට කටයුතු කිරීමට උත්සාහ නොගැනීම.

“...සො වතාවුසො භික‍්ඛු ඉමෙ දස ධම‍්මෙ අප‍්පහාය ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළහිං වෙපුල‍්ලං ආපජ‍්ජස‍්සතීති නෙතං ඨානං විජ‍්ජතී. සො වතාවුසො භික‍්ඛු ඉමෙ දස ධම‍්මෙ පහාය ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළහිං වෙපුල‍්ලං ආපජ‍්ජස‍්සතීති ඨානමෙතං විජජති” එම අකුසල ධර්ම 10 ය, පහ නොකර, ධම්ම විනයේ දියුණුව ලබාගැනීමට, වර්ධනය ඇතිකර ගැනීමට, පරිණතබවට පත්වීම ට හැකියාව නැත. එහෙත්, ඒවා පහකර ගැනීමෙන් ධම්ම විනයේ දියුණුව ලබාගැනීමට, වර්ධනය ඇතිකර ගැනීමට, පරිණතබවට පත්වීම ට හැකියාව ඇත, එය විද්‍යමාන කරුණකි. සටහන්: * අධිමාන සූත්‍රයේ ධම්ම විනයේ පරිහානිය ඇතිවන තවත් කරුණු 10 ක් මහා කාශ්‍යප තෙරුන් පෙන්වා ඇත: 1) දැඩි ආශාව (අබිජ්ජා) 2) ව්‍යාපාදය 3) අලසකම හා නිදිමත 4) සිතේ ඇති නොසන්සුන්බව -උද්දච්චය 5) විචිකිච්චාව-සැකය 6) වැඩ බහුල කර ගැනීම හා වැඩට ඇලීම-කර්මාරාමතාව 7) කථාවට ඇලුම් කිරීම- දොඩමළුබව 8) නින්දට ඇලුම් කිරීම 9) සෙසු අය හා නිතර ආශ්‍රය කිරීම ඇලුම් කිරිම 10) මාර්ගයේ සුළු වූ අත්දැකීම් ලබා ඉන් සෑහීමට පත්වී දුක කෙළවර කරගැනීමට උනන්දු නොවීම. එම කරුණු පහ කරගත්විට ආධ්‍යාත්මික වර්ධනය පරිණත කරගත හැකිවේ. ** කත්ථි සූත්‍රයේදී මහා චුන්ද තෙරුන් ධම්ම විනයේ පරිහානිය ඇති කරණ අතිරේක කරුණු පෙන්වා ඇත: 1) දුශ්ශිල බව 2) අශ්‍රද්ධාව 3) දහම් දැනුම අල්ප බව හා අයහපත් හැසිරීම 4) අකීකරුබව - අවවාද පිළිගැනීමට ඇති අකමැත්ත 5) පාපමිත්‍ර සේවනය 6) කුසීත බව- අලසකම 7)මුලාවූ සිහිය ඇති බව - සිත අවුල් කර ගෙන සිටීම 8) කුහකබව 9) නඩත්තු කිරීම අපහසුබව- දුබ්භරො 10) ප්‍රඥාව නොමැතිබව- දුප්ප ප්‍රඥා. ධම්ම විනය වර්ධනය කරගැනීමට නම් මේ අකුසල පහ කර ගත යුතුවේ. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 10.2.4.4. ව්‍යාකරණ සූත්‍රය, පි. 304, 1.2.4.6 අධිමාන සූත්‍රය, 316, 10.2.4.5 කත්ථි සූත්‍රය, පි. 308 EAN: 10: 84.4 Declaration p. 526 & 86.6. Final Knowledge, p. 528, 85.5 The Boaster, p. 527.

▼ ධම්ම විනයේ සුඛ හා දුක: ධම්ම විනය පිලිබඳ අනභිරතිය (ඇල්ම නැතිබව) දුකය, අභිරතිය (ඇල්ම) සුඛය යයි සැරියුත් මහා තෙරුන් පෙන්වා ඇත. ධර්ම මාර්ගය වඩන භික්ෂුව: (භාවනාව පිණිස) ඇවිදීම, ඉඳීම, සිටීම, හා සයනය-ඇලවීම-සතර ඉරියව්ව, (පිණ්ඩපාතය පිණිස) ගමට ගියවිට, (හුදකලා විවේකය පිණිස) වනයට, රුක්මුලකට, හිස් කුටියකට, එළිමහන් තැනකට ගියවිට, සංඝයා සමග හැසිරෙනවිට, ඔහුට සතුටක්, සැපයක් ඇති නොවීම ධම්ම විනයේ දුකය. එහෙත්, එම කටයුතු වල යෙදන භික්ෂුවට ඒ පිලිබඳ සතුටක්, සැපක් ඇතිවේනම් එය ධම්ම විනයේ සුඛය වේ. මූලාශ්‍ර: අංගු.නි: (6) 10 නිපාත: දුතිය සුඛසූත්‍රය, පි.246, EAN:10: 66.6 Happiness ,p. 519.

▼ ධම්ම විනය වර්ධනය කරගැනීමට භික්ෂුව, කරුණු 11ක් සපුරා ගතයුතු යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) රූපය අවබෝධකිරීම -රුපඥ: සියලු රූප සතර මහා ධාතුන් ගෙන් හටගෙන ඇතිබව 2) ලක්ෂණ අවබෝධකිරීම- බාල පණ්ඩිත බව හඳුනාගැනීම 3) අකුසල විතක්ක පහකරගැනීමේ හැකියාව 4) මනා ඉන්ද්‍රිය සංවරය තිබීම 5) ධර්මය ප්‍රගුණ කර, දේශනා කිරීමේ හැකියාව තිබීම 6) ජේෂ්ඨ, බහුශ්‍රැත භික්ෂුන් නිතර හමුවී දහම් කරුණු විමසීම 7) ධර්මය අසනවිට එහි අර්ථයද, ධර්මයද මැනවින් දැන සතුටට පත්වීම (අර්ථවේදී-ධම්මවේදී) 8) ආරිය අටමග ගැන යහපත් අවබෝධය තිබීම 9) සතර සති පට්ඨානයේ දක්‍ෂවීම 10) සිව්පස පමණ දැන පිළිගැනීමේ දක්‍ෂවීම 11) වැඩිහිටි සංඝයා කෙරෙහි ගරු සැලකිලි කිරීම-ගෞරවය. සටහන: එම කරුණු 11 න් සමන්විත භික්ෂුව දක්‍ෂ ගොපල්ලවයෙක් යයි බුදුන් වහන්සේ උපමා කර ඇත.බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: ම.නි: (1 ) 1.4.3 මහා ගෝපාලක සූත්‍රය, පි.546, EMN:33: The greater discourse on the cowherd, p.292.

▲ ධම්මයේ විශේෂභාවය- Specialty in Dhamma: ධම්ම 6 කින් සමන්විතතවීම මගින්, භික්ෂුවට ධම්මයේ විශේසභාවය ඇතිවේ:1) හානභාගිය ධර්ම යථා භූත ලෙසින් දැනගැනීම (qualities that pertain to deterioration) 2) ස්ථිතිභාග ධර්ම යථා භූත ලෙසින් දැනගැනීම (qualities that pertain to stabilization) 3) විශේෂභාගිය ධර්ම යථා භූත ලෙසින් දැනගැනීම (qualities that pertain to distinction) 4) නිබ්බේදභාගිය ධර්ම ධර්ම යථා භූත ලෙසින් දැනගැනීම (qualitiesthat pertain to penetration) 5) යපත් ලෙසින් පුහුණුවීම (practices carefully) 6) සුදුසු දේ කිරීම (does what is suitable). සටහන: විශේසභාවය ලෙසින් පෙන්වා ඇත්තේ අනාගාමීබව ලැබීමය. මූලාශ්‍ර: අංගු.නි: (4): 6 නිපාත:අනාගාමිවග්ග: 6.2.2.7 සක්ඛිහබ්බ සූත්‍රය, පි.246, EAN:6: 71.7 Capable of Realizing, p.359.

▲ ධම්ම විහාරි-Dhamma vihara: ධම්මවිහාරි ලෙස මෙහිදී පෙන්වා ඇත්තේ, සූත්‍ර ආදී නවඅංග සාසන ධර්මය ප්‍රගුණ කරන, එහෙත්, ඒ ධර්ම පරියාපත්තියෙන් දවස නො ගෙවන, ප්‍රඥාවෙන් ඒ ධර්මතාවල අර්ථය දන්නා, ඒකීය භාවය ඇති, ආධ්‍යාත්ම චිත්ත සමථයෙහි යෙදන භික්ෂුව/ භික්ෂුණිය ය. සටහන: 1. පර්යාප්ති බහුල පුද්ගලයා 2. සංඥාප්ති බහුල පුද්ගලයා 3. සජ්ජායනා බහුල පුද්ගලයා4. විතක්ක බහුල පුද්ගලයා , මොවුන් ධම්මවිහාරින් නොවේ යයි මෙහිදී පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: අනාගතභය වග්ග: 5.2.3.3 හා 5.2.3.4 සූත්‍ර, පි.160.

▲ ධම්ම සාකච්ඡා- Dhamma Discussions: ධම්ම සාකච්ඡා කිරීම සුභ කරුණක්යයි මංගල සූත්‍රයේ පෙන්වා ඇත. ධර්මය සාකච්ඡාවක් කිරීමට සුදුසු පුද්ගලයෙක් සතු ගුණ මෙහි දක්වා ඇත. බලන්න: සාකච්ඡා. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත: ආඝාතවග්ග: 5.4.2.3 සාකච්ඡා සූත්‍රය, පි.330.

▲ ධම්ම සංචේතනා -Dhamma sanchethana: ධර්මය පිලිබඳ ඇතිකරගන්නා යහපත් චේතනා ධම්ම සංචේතනා ලෙසින් පෙන්වා ඇත. බලන්න: චේතනා.

▲ ධම්ම සජ්ජායනා: පාලි: ධම‍්මො සඬගායිතබ‍්බං Chanting the Dhamma: ධම්ම සජ්ජායනය යනු, සංඝයා එක්ව හිඳ ධර්මය ගායනය කිරීම, පිරිත් මෙන් දේශනා කිරීමය.තමන් වහන්සේ විශේෂ නුවණින් අවබෝධකළ ධර්මය: 37ක්වු බෝධිපාක්‍ය ධර්මය- සංඝයා එක්රැස්ව, අර්ථ, ව්‍යංජන සසඳා බලමින් සජ්ජායනය කලයුතුයයි බුදුන් වහන්සේ සංඝයාට අනුසාසනා කර ඇත. ධර්මය සජ්ජායනා කිරීම, සසුන දිගුකලක් පවත්වා ගැනීම පිණිස, දෙව්මිනිසුන්ගේ හිතසුව පිණිස, වැඩ පිණිස පවතී.බලන්න: සජ්ජායනා. මූලාශ්‍ර: දීඝ.නි: (3): 6 පාසාදික සූත්‍රය- ඡෙදය14, පි. 228, EDN: 29 Pasadika Sutta: The Delightful Discourse -section 17, p. 320.

▼ සම්මා සම්බුදුවූ භාග්‍යවතුන් වහන්සේ වදාළ ස්වක්ඛාත ධර්මය, සංඝයා එක්ව, සමගියෙන් යුතුව සජ්ජායනා කලයුතුවේ යයි මහා සැරියුත් තෙරුන් වදාළහ: ධර්මය සජ්ජායනා කිරීමේ අරමුණු: බ්‍රහ්මචාරී ජීවිතය යහපත් ලෙසින් පවත්වා ගැනීම පිණිස, ධර්මයේ චිරස්ථිතිය බව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, සුවය හා සැපය පිණිස, ඔවුනට අනුකම්පාව දක්වීම පිණිසය ය. මූලාශ්‍ර: දිඝ.නි: (3 ):10 සංගිති සූත්‍රය- ඡෙදය7, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together-section 1.7, p. 362.

▲ ධම්මපද සතර- Four Dhammas: ධම්මපද 4 ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ: 1) අනභිධ්‍යා ධම්මපදය 2) අව්‍යාපාද ධම්මපදය 3) සම්‍යක් සති ධම්මපදය 4) සම්‍යක් සමාධි ධම්මපදය. මේවා දිගුකලක් තිස්සේ පැවැතඑන, ආර්යවංශය ලෙසින් හඳුන්වන, පුරාණික-පෙර බුදුවරුන්ද දේශිත, තුන් කලයේ බැහැර නොකරන ලද, නුවණැතියන් නොගරහන ලද ධර්මය වේ. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: උරුවෙලවග්ග: 4.1.3.9 ධම්මපද සූත්‍රය, පි.80.

▲ ධම්මයේ යේ සද්භාවය- Truthfulness of Dhamma: ධම්මය සද්භාවය සහිතය- සත්‍යයය, කිසිවෙකුට අසත්‍යයයි ඔප්පු කළ නොහැකිය.බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“ අයං ඛො පන භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහිතො අසඬකිලිටෙඨා අනුපවජෙජා අප‍්පතිකූටෙඨා සමණෙහි බ්‍රහාමණෙහි විඤ‍ඤුහි”. ‘මහණෙනි, ශ්‍රමනයන් විසින් හෝ බමුණන් විසින් හෝ නුවණැත්තන් විසින් හෝ නිග්‍රහ කළ නොහැකි, කෙලෙසන්නට නොහැකි, උපවාද කරන්නන්ට නොහැකි, බැහැර කරන්නට නොහැකි මේ ධර්මයක් මා විසින් දෙසන ලද්දේය’ (...bhikkhus, this Dhamma taught by me is unrefuted, undefiled, irreproachable, and uncensured by wise ascetics and brahmins).ඒ ධර්මතා : 1) ධාතු සය (six elements) 2) ස්පර්ශ ආයතන සය (six bases for contact) 3) මනෝ උපවිචාර 18 (eighteen mental examinations) 4) සතර ආර්ය සත්‍ය (the four noble truths). බලන්න: ධාතු, ස්පර්ශ ආයතන සය, මනෝ උපවිචාර, චතුරාර්ය සත්‍ය. මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාතය: මහාවග්ග: 3.2.2.1 සූත්‍රය, පි. 348, EAN:3: The Great Chapter, 61.1 Sectarian, p.104.

▲ ධම්ම සැපය: කම්සැපට වඩා දහම් සැපය අග්‍රබව මේහි පෙන්වා ඇත: එක්සමයක දේවතාවියක් සමිද්ධි තෙරුන්හට: මෙලොව දැකිය හැකි පස්කම් සුවය විඳීම සුදුසුයයි පැවසුහ. එවිට සමිද්ධි තෙරුන් මෙසේ පැවසුහ:

“ කම්සැප කාලික බව (කෙටිබව) එහි බොහෝ දෝස ඇතිබව, මේ ධර්මය තමන් විසින්ම දැකිය යුතුය, කල්නොයවා විපාක දෙන සුළුය, එව බලව යයි කීමට සුදුසුය, තමන්ගේ සිතේ දරාගෙන සිටීමට සුදුසුය. නුවණැත්තන් විසින්ම අවබෝධ කරගතයුතුය’ යි බුදුන් වහන්සේ වදාළහ’, එමනිසා තමන්-මම මොලොවදීම ලැබෙන දහම් සැප හැර කෙටි කම් සැප ලුහුබඳින්නේ නැත”.සටහන: සමිද්ධ තෙරුන්-බලන්න: උපග්‍රන්ථය:1 මූලාශ්‍ර:සංයු.නි:(1 ):සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.2.10 සමිද්ධි සූත්‍රය, පි. 44, ESN: Devatasamyutta: 20.10 Samiddhi, p. 79.

▼ යහපත් ලෙසින් ධර්මය පුරුදු පුහුණු කරනවිට සතුට සැපය ලැබේ යයි බුදුන් වහන්සේ වදාළහ: “ධම‍්මො සුචිණෙණා සුඛමාවහාති” (Dhamma practiced well, brings happiness).මූලාශ්‍ර: සංයු.නි: ( 1): සගාථවග්ග:දේවතාසංයුත්ත: 1.8.3 විත්ත සූත්‍රය, පි. 104, ESN: Devatasmyutta: 1: 73.3. Treasure, p.155.

▲ ධම්ම සමාදානය-ways of undertaking things: ධම්ම සමාදානය ලෙසින් පෙන්වා ඇත්තේ ධර්ම කරුණු පිලිබඳ කටයුතු කල යුතු ආකාරයය. මේ සූත්‍රයේ ධර්ම සමාදාන 4 ක් පෙන්වා ඇත. යම් ලෙසකින් කටයුතු කිරීමෙන්: 1. මෙකල දුක් විපාක ඇතිවේ, මතු කලද දුක් විපාක ඇතිවේ: 1) අනුවණ, දහම නොදත් පුද්ගලයා අවිද්‍යාව නිසා යථාබව නොදැන, වර්ධනය නොකළ යුතු අකුසල වර්ධනය කරයි. ඒ නිසා යහපත් ධර්මතා පිරිහේ, අයහපත වැඩේ. 2) එහෙත්, නුවණැති දහම දත් පුද්ගලයා යම් ලෙසකින් කටයුතු කිරිමෙන්: මෙකලද දුක ඇතිවේ, මතුකලද දුක ඇතිවේ යයි යථා බව දැන අකුසලයේ නොයෙදේ. ඔහුගේ අයහපත් අකුසල පිරිහේ, යහපත් කුසල වැඩේ. සටහන: මෙහිදී පෙන්වා ඇත්තේ දස අකුසලයේ යෙදීමය. ඒ පිලිබඳ උපමාව: වස යොදා ඇති කරවිල වැනි තිත්ත පානයක් ඇත. ජිවත්වීමට කැමති, සැප ලැබීමට කැමති, දුක් වේදනා නැතිකර ගැනීම ට කැමති කෙනෙක් සිටිති. එම පානය ගතහොත් එහි විස නිසා ඔහු ට බොහෝ වේදනා ඇතිවේ, මරණයට පත්වේ යයි අන් අය ඔහුට කියති. ඒ අවවාද නො අසන ඔහු ඒ පානය ගැනීම නිසා මෙලොව දුක් විඳ මරණයට පත්වේ. බලන්න:උපමා. උපග්‍රන්ථය:5 2. මෙකල සුඛ විපාක ඇතිවේ, මතු කල දුක් විපාක ඇතිවේ. 1) අනුවණ, දහම නොදත් පුද්ගලයා අවිද්‍යාව නිසා යථාබව නොදැන- වර්තමානයේ සුඛ ඇතිකරන, එහෙත්, අනාගතයේ දුක ඇතිකරන අකුසල ධර්මයේ යෙදේ. ඒ නිසා යහපත් ධර්මතා පිරිහේ, අයහපත වැඩේ. 2) එහෙත්, නුවණැති දහම දත් පුද්ගලයා යම් ලෙසකින් කටයුතු කිරිමෙන්: මෙකල සුඛ ඇතිවේ, මතුකලද දුක ඇතිවේ යයි යථා බව දැන අකුසලයේ නොයෙදේ. ඔහුගේ අයහපත් අකුසල පිරිහේ, යහපත් කුසල වැඩේ. සටහන: කෙනෙක් දස අකුසලය කිරීමනේ සතුට ලබයි. එනිසා මතුකළ දුක් විපාක විඳි. ඒ පිලිබඳ උපමාව: වස ඇති එහෙත් මිහිරිවූ පානයක්, ලස්සන බඳුනක ඇත. ජිවත්වීමට කැමති, සැප ලැබීමට කැමති, දුක් වේදනා නැතිකර ගැනීම ට කැමති කෙනෙක් සිටිති. අන් අය ඒ පානය විස සහිත යයි පැවසුවද, ඒ නොසලකා ඔහු එම පානය ගනී. දැන් මිහිරි රස විඳ, වස නිසා මතුවේ ඔහු මියයයි. 3. මෙකල දුක් විපාක ඇතිවේ, මතු කල සුඛ විපාක ඇතිවේ . 1) අනුවණ, දහම නොදත් පුද්ගලයා අවිද්‍යාව නිසා යථාබව නොදැන- යම් දේ කිරීමෙන් දැන් දුක ඇතිවුවත්, අනාගතයේ සුඛ ඇතිවේ යන්න නොදැන කටයුතු වල දේ. ඒ නිසා යහපත් ධර්මතා පිරිහේ, අයහපත වැඩේ. 2) එහෙත්, නුවණැති දහම දත් පුද්ගලයා යම් ලෙසකින් කටයුතු කිරිමෙන්: මෙකල දුක ඇතිවේ, මතුකලද දුක ඇතිවේ යයි යථා බව දැන කුසලයේ යෙදේ. ඔහුගේ අයහපත් අකුසල පිරිහේ, යහපත් කුසල වැඩේ. සටහන: දසඅකුසලයේ නොයෙදීම නිසා, දසකුසලයේ හැසිරීම නිසා කෙනක් හට දුක් වේදනා මෙකල ඇතිවේ, එහෙත්, මතුවේ සුඛ විපාක ලැබේ. ඒ පිලිබඳ උපමාව: පාණ්ඩු රෝගය ඇති කෙනෙක් සිටි. අරළු ආදී තිත්ත පානයක් ඇත, එහෙත් එය පානය කරයි නම් ඔහු සුවපත්වේ යයි කෙනෙක් කියයි. අමිහිරි නිසා මෙකල දුක් වේදනා ඇතිවුවත්, ගුණය නිසා මතු කල ඔහු සුව පත්වේ. 4. මෙකල සුඛ විපාක ඇතිවේ, මතු කලද සුඛ විපාක ඇතිවේ. 1) අනුවණ, දහම නොදත් පුද්ගලයා අවිද්‍යාව නිසා යථාබව නොදැන- යම් දේ කිරීමෙන් දැන් සැප ඇතිවේ, අනාගතයේ සැප ඇතිවේ යන්න නොදැන කටයුතු වල දේ. ඒ නිසා යහපත් ධර්මතා පිරිහේ, අයහපත වැඩේ. 2) එහෙත්, නුවණැති දහම දත් පුද්ගලයා යම් ලෙසකින් කටයුතු කිරිමෙන්: මෙකල සුඛ ඇතිවේ, මතුකලද සුඛ ඇතිවේ යයි යථා බව දැන කුසලයේ යෙදේ. ඔහුගේ අයහපත් අකුසල පිරිහේ, යහපත් කුසල වැඩේ. සටහන: මෙකල දසකුසලයේ හැසිරීම නිසා සුඛ ඇතිවේ, මතු කල යහපත් විපාක නිසා සුඛ ඇතිවේ. ඒ පිලිබඳ උපමාව: මි ගිතෙල් පැණි ආදිය යෙදු රස පානයක් ඇත. රක්තඅතීසාරය ඇති පුද්ගලයෙක් හට ඒ පානය රස බවද, ගුණ බවද කෙනෙක් පවසයි. ඒ පානය ගත් පුද්ගලයට මෙවක එහි රස දැනේ, මතුවේ ඔහු සුවපත්වේ. බලන්න:වස හා මිහිරි පාන උපමා: උපග්‍රන්ථය: 5 සිව්වෙනි, ධර්ම සමාදානයට පිළිපන් පුද්ගලයා - බුදු සසුන පිළිගත් කෙනා, වර්ෂා කාලයේ අවසානයේ, අඳුර දුරුකර, නිල්වන් අහසේ දීලෙන හිරු මෙන්, අන්‍ය ආගමිකයන් අතර බැබලේ ය යි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: උපග්‍රන්ථය:උපමා. මූලාශ්‍රය:ම.නි: (1) මහා ධම්ම සමාදාන සූත්‍රය.

▼ ම.නි. චූල ධම්ම සමාදාන සුත්‍රයේ ද සමානවූ ධර්ම සමාදාන 4 ක් පෙන්වා ඇත. 1) මෙකල සුඛ විපාක ඇතිවේ, මතු කල දුක් විපාක ඇතිවේ: සමහර ආගමික නිකායන් හි පුද්ගලයන්: කම්සැප විඳීම හානියක් නොවේ යන දිට්ඨිය ඇතිවසිටිති. මෙලොව කාමසැප විඳින ඔවුන් හට පරලොව දුගතියක දුක් විඳිමට සිදුවේ. ඒ පිලිබඳ උපමාව: මලුවා වැල, ගසක එතියන මුල් කාලයේ, එය මෘදුය. පසුව, මුලු ගසම වෙලාගෙන ගස විනාශ කරයි. බලන්න: උපග්‍රන්ථය:5 2) මෙකල දුක් විපාක ඇතිවේ, මතු කලද දුක් විපාක ඇතිවේ කෙනක්, අත්තකිලමතානු යෝගයේ යෙදී බොහෝ කායික දුක් වේදනා මෙකලද විඳි, මරණින් මතු දුගතියේ උපත ලබා දුක් විඳි. 3) මෙකල දුක් විපාක ඇතිවේ, මතු කල සුඛ විපාක ඇතිවේ කෙනෙක්හට, රාගය, ද්වේශය හා මෝහය ඇත. ඒවා නිසා ඔහුට දුක් වේදනා ඇතිවේ. එහෙත්, දුක්වේදනා විඳිමින් ඔහු යහපත් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරයි. මරණින් මතු සුගතියේ සැප ඔහුට ලැබේ. 4) මෙකල සුඛ විපාක ඇතිවේ, මතු කලද සුඛ විපාක ඇතිවේ කෙනෙක්හට, දැඩි ලෙසින් රාගය, ද්වේශය, මෝහය නැත. එමනිසා ඔහු නිතරම දුකට පත්නොවේ. ඔහු සිව් ජාන සමාපත්ති ලබා ගැනීමට සමත්වේ. එමනිසා, මරණින් මතු සුගතියේ සැප ඔහුට ලැබේ. මූලාශ්‍රය:ම.නි: (1) චූල ධම්ම සමාදාන සූත්‍රය.

▲ ධම්ම ශ්‍රවනය-Dhamma shravanaya: පළමුව, බුදුන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවනය කළ පිරිස වුවේ පස්වග-තවුසන් (පස්වග මහණුන්)ය. බලන්න: උපග්‍රන්ථය:1 සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස දහම ඇසීම අවශ්‍යම කරුණකි. බලන්න: සම්මා දිට්ඨිය.

ධර්මයේ බහුශ්‍රැත වීම පිණිස දහම ඇසීම අවශ්‍යතාවයක් බව සූත්‍ර දේශනා වල දක්වා ඇත.මංගල සූත්‍රයේ, ධර්ම ශ්‍රවනය සුභ කරුණක් යයි පෙන්වා ඇත. ක්‍රමානුකූලව දහම පුහුණු කිරීම පිණිස ධර්ම ශ්‍රවණයය අවශ්‍යතාවයක් බව පෙන්වා ඇත. බලන්න: ධම්මය ක්‍රමානුකූලව පුහුණුවීම. ධර්මශ්‍රවනය මගින් සිතේ අවුල්සහගත බව නැතිකර ගත හැකිවේ. බලන්න: චිත්ත වික්ෂෙපය යහපත් ලෙසින් ධර්මය ශ්‍රවනය කිරීම සෝතාපන්නබව ලබාගැනීමට උපකාරිවේ. බලන්න: සෝතාපන්න.

▼ ධම්ම ශ්‍රවනය නිසිකල කිරීම, නිසිකල අර්ථ පරික්ෂාකිරීම නිසා ඵල 6 ක් ලැබේ: 1) මෙතක් විමුක්තිය නොලැබූ , පංචඔරම්භාගිය සංයෝජන වලින් නොමිදුන භික්ෂුව හට මරණය ආසන්නයේදී තථාගතයන් වහන්සේගෙන් දහම ඇසීමට ලැබේ. ඒ අවස්ථාවේදී, පංචඔරම්භාගිය සංයෝජන වලින් මිදීමට ඔහුට හැකිවේ. සටහන: ඵග්ගුන තෙර, මරණාසන්නයේදී, බුදුන්වහන්සේ වෙතින් දහම ඇසීමට ලැබුන නිසා එතුමන් අනාගාමිව අපවත්වුහ. බලන්න: උපග්‍රන්ථය:1. 2) මෙතක් විමුක්තිය නොලැබූ , පංචඔරම්භාගිය සංයෝජන වලින් නොමිදුන භික්ෂුව හට මරණය ආසන්නයේදී, තථාගතයන්ගේ ශ්‍රාවක උතුමෙක් වෙතින් දහම ඇසීමට ලැබී අනාගාමිව අපවත්වීමට ලැබීම.3) මෙතක් විමුක්තිය නොලැබූ , පංචඔරම්භාගිය සංයෝජන වලින් නොමිදුන භික්ෂුව හට මරණය ආසන්නයේදී ආරිය උතුමෙක් ගෙන් දහම ඇසීමට නොලැබේ, එහෙත්, තමන් ඇසු, දන්නා දහම සිතින් අවර්ජනා කිරීම මගින්, අනාගාමිව අපවත්වීමට ලැබීම.4) පංචඔරම්භාගිය සංයෝජන වලින් මිදුන භික්ෂුව හට මරණය ආසන්නයේදී, බුදුන්වහන්සේ වෙතින් දහම ඇසීමට ලැබී, සියලු උපධි හැර අපවත්විමට (පිරිනිවන්පෑමට) ලැබීම.5) පංචඔරම්භාගිය සංයෝජන වලින් මිදුන භික්ෂුව හට මරණය ආසන්නයේදී, තථාගතයන්ගේ ශ්‍රාවක උතුමෙක් වෙතින් දහම ඇසීමට ලැබී, සියලු උපධි හැර අපවත්විමට (පිරිනිවන්පෑමට) ලැබීම. 6) පංචඔරම්භාගිය සංයෝජන වලින් මිදුන භික්ෂුව හට මරණය ආසන්නයේදී, ආසන්නයේදී ආරිය උතුමෙක් ගෙන් දහම ඇසීමට නොලැබේ, එහෙත්, තමන් ඇසු, දන්නා දහම සිතින් අවර්ජනා කිරීම මගින්, සියලු උපධි හැර අපවත්විමට (පිරිනිවන්පෑමට) ලැබීම. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: මහාවග්ග: 6.2.1.2 ඵග්ගුන සූත්‍රය, පි.178.

ධය

▲ ධ්‍යායි-meditator: ධ්‍යායින් ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ භාවනාවේ යෝගි භික්ෂුන්ය. ඔවුන් විස්මය දනවන (astounding) පුද්ගලයන්ය, ඔවුන් නිර්වාන ධාතුව නාමකයින් ස්පර්ශ කර වාසය කරන උතුමන්ය, ඔවුන් දුර්ලභය, එමනිසා, ධර්මයෝග (ධම්මකථික) භික්‍ෂුන් පමණක්නොව, ධ්‍යායි භික්‍ෂුන් කෙරෙහිද පැහැදී , ඔවුන්ගේ ගුණ පවසමින් වාසය කලයුතුය. සටහන: මහාචුන්ද තෙරුන්, මේ අවවාද අනුසාසනා වදාළේ ඇතැම් සංඝයා, ධම්මකථිකයන් පමනක් පසසන නිසා හා ඇතැම් සංඝයා, භවනායෝගීන් පමණක් පසසන නිසා එම වැරදි ආකල්පය නිවැරදි කිරීම පිණිසය.බලන්න: ධම්මයෝග මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: ධම්මිකවග්ග:1.6.5.4 මහාචුන්ද සූත්‍රය, පි.142.

ධර

▲ ධර්මය අතුරුදහන්වීම- Disappearing the Dhamma: ධර්මය නොදත් සංඝයාගේ හැසිරීම ධර්මයේ- සද්ධර්මයේ අතුරුදහන්වීමට හේතුවන ආකාරය මෙහිදී විස්තරාත්මකව පෙන්වා ඇත. සටහන: අටුවාවට අනුව සද්ධර්මය අතුරුදහන් දහන් වීමට කරුණු 5 ක් හේතුවේ; භික්ඛු බෝධි හිමි ඒවා මෙසේ සාරාංශ කර දක්වා ඇත: 1) අධිගමය ලැබීම අතුරුදහන් වීම (අධිගම අන්තරධාන): මාර්ග ඵල ලැබීම හා; ඒවා ලබාගැනීමට උපස්තම්භක වන පටිසම්භිදා ඥාණය, අභිඥා ඥාණය ක්‍රමයෙන් නැතිවීම 2) ධර්ම පුහුණුව අතුරුදහන්වීම ( පටිපත්ති අන්තරධාන ): ජාන, විදසුන් නුවණ, මග හා ඵල හා සිල්වත් හැසිරීම ක්‍රමයෙන් නැතිවීම 3) ධර්මය ඉගෙනගැනීම අතුරුදහන්වීම (පරියත්ති අන්තරධාන): ත්‍රිපිටකය ක්‍රමයෙන් නැතිවීම 4) ලාංජනය අතුරුදහන්වීම (ලිංග අන්තරධාන): සංඝයා දරන සිව්රු ක්‍රමයෙන් නැතිවී යාම, අවසානයේදී ඉතිරිවන්නේ සංඝ බව දැක්වීමට හිරියල් පාට රෙදි කැල්ලක් කරේ එල්ලා ගෙන සිටීමය 5) ධාතු අතුරුදහන්වීම (ධාතු අන්තරධාන): ගෝතම බුදුන් වහන්සේගේ සසුන (ඉගැන්වීම අවාසානවනවිට) අවසන්වනවිට , උන්වහන්සේගේ ධාතු, බුද්ධ ගයාවේ බෝධි රුක ඉදිරියේ එක් රැස්වී, බුදුඅනුරුවක් මැවී, මහා දීප්තිමත් ගිනි ජාලාවකින්, ශ්‍රී විභූතිය දක්වා අතුරුදහන් වේ. බලන්න: EAN: 1: note no. 63: p. 584. මූලාශ්‍රය: අංගු.නි: අංගු.නි: (1) 1 නිපාත: අධම්මවග්ගය: 1.10 සූත්‍ර, පි.78.

▼ ධර්මයේ අතුරුදහන් වීමට බලපාන කරුණු 2ක් 1) අයහපත් ලෙස යොදාගත් වචන හා වැකිකඩ (වාක්‍ය ඛණ්ඩ) 2) අයහපත් ලෙස යොදාගත් අර්ථ කථනය. එම කරුණු නොමැතිවිට ධර්මය වර්ධනය වේ. මූලාශ්‍රය: අංගු.නි: (1) 2 නිපාත:2.1.2.10 සූත්‍රය, පි. 154 හා 2.1.4.10 සූත්‍රය, පි.172.

▼ ධර්මයේ අතුරුදහන් වීමට බලපාන කරුණු: මේ සසුනේ මහණ සකස්කොට 1) දහම ගරුත්වය ඇතිව නො ඇසීම 2) දහම ගරුත්වය ඇතිව පුහුණු නොවීම 3) දහම ගරුත්වය ඇතිව සිතේ ධාරණය නොකර ගැනීම 4) ඇසු දහම ගරුත්වය ඇතිව අර්ථ නො විමසීම 5) ගරුත්වය ඇතිව ධර්මානුකූල පුහුණුවේ නොයෙදීම 6) ධර්ම පරියාය යහපත් ලෙසින් ඉගෙන නොගැනීම 7) ධර්මය යහපත් ලෙසින් දේශනා නොකිරීම 8) තමන් ඇසු , උගත් දහම, යහපත් ලෙසින් අනුන් ලවා කියවීමට පුරුදු නොකිරීම 9) තමන් ඇසු , උගත් දහම, යහපත් ලෙසින් සජ්ජායනා නොකිරීම10) තමන් ඇසු , උගත් දහම, යහපත් ලෙසින් අවර්ජනා නොකිරීම 11) අයහපත් ලෙසින් ඇති ධර්මය ඉගෙන ගැනීම 12) පහසුවෙන් කීකරුකරගැනීමට අපහසු (දුර්වචභාවය) සංඝයාසිටීම 13) ධර්මයේ බහුශ්‍රැත භික්ෂුන්, අනිකුත් සංඝයාට ධර්මය වනපොත් කිරීමට පුරුදු පුහුණු නොකිරීම 14) ජේෂ්ඨතම සංඝයා සුඛෝපභෝගී ජිවිතයට බැසීම නිසා ඔවුන්ගේ අනුගාමින් ද එම පිළිවෙතට පුරුදු වීම 15) සංඝභේදය ඇතිවීම. එහෙත්, එම කරුණු පහකර ගන්නේ නම් ධර්මය අතුරුදහන් නොවන්නේය. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: සද්ධර්මවග්ග: 5.4.1.4 - 5.4.1.6 සූත්‍ර 3කි,පි.308.

▲ ධර්ම දානය - gift of the Dhamma:ආමිෂ දානයට වඩා, ධර්ම දානය අග්‍රවේ. බලන්න: අග්‍ර ධර්මදාන.

▲ ධර්මය නිවැරදි හා වැරදි - Right & wrong Dhamma: නිවැරදි ධර්මය බුදුන් වහන්සේගේ දේශනාය, වැරදි ධර්මය බුදුන් වහන්සේ දේශනා නොකළ දේය. කෙනෙක්, නිවැරදි දහම දෙසනවිට පටන්ගත් විරිය ඇතිකරගනිද, ඔහු ද සුවසේ සිටින කෙනෙක්ය, එහෙත්, කුසිතව සිටින්නේ නම් ඔහු දුකසේ වෙසන කෙනෙක්ය. කෙනෙක් වැරදි දහම දෙසන විට කුසිත වන්නේ නම්, ඔහු සුවසේ වෙසෙන කෙනෙකි, එහෙත්, ඔහු විරිය ඇති කරගන්නේ නම් දුකසේ වෙසන කෙනෙක්ය. මූලාශ්‍රය: අංගු.නි: (1) 1 නිපාත: 1.16.3.9-12 සූත්‍ර, පි.108.

▲ ධර්මය පහළවීම - Appearance of the Dhamma: තථාගතයන්වහන්සේ ගේ පහළවීම, ධර්මයේ පහළවීමය. බලන්න: තථාගතයන් මූලාශ්‍රය: අංගු.නි: (6) 10 නිපාත: ආකඞඛ වග්ග, 10.2.3.6.තයොධම්ම සුත්‍රය,පි.284.

▲ ධර්මය පැහැදිළි කිරීම - Clarifying the Dhamma: ධර්මය නොදත් අය ධර්මය පිළිබඳව විවාද කරණ විට කරුණු සහගතව ධර්ම කරුණු පැහැදිලි කිරීම අවශ්‍යබව බුදුන් වහන්සේ පෙන්වා ඇත. කලින් කලට අනුවණ මිනිසුන්, ඔවුන්තුළ ඇති වැරදි අදහස් ගැන විවාද කරනවිට, බුද්ධ ශ්‍රාවකයන්, යුක්තිසහගත හේතු -ධර්ම කරුණු පෙන්වා ඔවුන්ගේ විවාදය නිෂ්ඵල කලයුතු ය, වැරදි බව ඔප්පුකළයුතුය:

“ ...එවං ඛො තෙ ගහපති මොඝපුරිසා කාලෙන කාලං සහධම‍්මෙන සුනිග‍්ගහීතං නිග‍්ගහෙතබ‍්බාති”. (...householder! It is in such a way that those hollow men should from time to time be thoroughly refuted with reasoned argument) සටහන්: * අටුවාවට අනුව: sahadhammena as ‘with a cause, with a reason, with a statement’-sahetukena kāraṇena vacanena. බලන්න: EAN:Note: 2125, p. 682.** මේ අවවාදය වදාළේ අනාථපිණ්ඩික සිටුවරයාටය. බලන්න: දිට්ඨි. ** වජ්ජියමාහිත සූත්‍රයේදී, බුදුන් වහන්සේ එම අවවාදය සංඝයාට වදාළහ. මූලාශ්‍ර: අංගු.නි:(6 ):10 නිපාත: 10.2.5.3. කිංදිට්ඨික සූත්‍රය,පි.360, 10.2.5.4. වජ්ජියමාහිත සුත්‍රය,පි.368, EAN:10: 93. 3 View, p. 534, 94. 4 Vajjiyamāhita, p.535.

▲ ධර්මිෂ්ඨ හා අධර්මිෂ්ඨ - Dharmistha & Adharmistha:ධර්මිෂ්ඨ යනු ධර්මයට අනුව ඇති යහපත් හැසිරිමය. අධර්මිෂ්ඨ යනු ධර්මයට එරෙහිව ඇති අයහපත් හැසිරිමය. කල්‍යාන කම්ම නිසා ලෝකයේ ධර්මිෂ්ඨ බව ඇත. පාපික කම්ම නිසා ලෝකයේ අධර්මිෂ්ඨ බව ඇත. බලන්න:කම්ම.මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 5 අකෝෂ වග්ග, 10.1.5.7.මහාලි සූත්‍රය,පි.182, EAN:10: 47.7 Mahali, p. 511.

▲ ධර්මයේ මූලධර්ම - Doctrinal principles: ධර්මයේ මූලධර්ම අධිවූත්තිපද/ අධිවචන ලෙසින් හඳුන්වයි. එනම්, ස්කන්ධ, ආයතන, ධාතු ආදීයය. බලන්න: අධිවූත්තිපද. මූලාශ්‍ර:අංගු.නි: (6) 10 නිපාත: අධිවූත්තිපද සූත්‍රය, පි.96.

▲ ධාරණස්මෘතිය - Dharnasmriti: ධාරණස්මෘතිය- සතිමත්තාන ලෙසින් පෙන්වා ඇත්තේ, ඇසු ධර්මය යහපත් ලෙසින් සිහියේ දරාගැනීමට හැකි කුසල්තවයය. ආනන්ද තෙරුන්, මේ කුසලතාවය ඇති භික්ෂුන් අතුරින් අග්‍රය. බලන්න: උපග්‍රන්ථය:1

▲ ධාර්මික - Righteous: ධාර්මික යනු ධර්මානුකූලවීමය. ධාර්මික නිසා සිදුවන යහපත බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත:

“රජවරු ධාර්මිකව කටයුතු කරන විට, රාජ පුරුෂයන් ධාර්මික වේ. එලෙස, රටේ වැසියන්ද ධාර්මිකවේ. එමනිසා, සඳ හිරු පවත්නා කාලය, කාලගුණය, ඍතු, වැසි සුළං යහපත්වේ, ධාර්මික නිසා දෙවියෝ සතුටුව, නියම කලට වැසි ලබා දේ. ඒ නිසා භොග යහපත් ලෙස වැඩේ. හොඳ භෝග පරිහරණය නිසා මිනිසුන් නිරෝගිව දීර්ඝ ආයුෂ ලබති. රාජ්‍යයට, බලවත් යහපත ඇතිවේ”. සටහන: සක්විති රජ ධාර්මික රජෙකි. බලන්න: සක්විති රජ මූලාශ්‍ර: අංගු.නි: (2): 4 : නිපාත:4.2.2.10 අධාර්මික සූත්‍රය, පි. 162, EAN: 4: 70.10 Unrighteous , p. 177.

ධව

▲ ධුව- stable: ධුව-ස්ථිර ධර්මය ලෙසින් පෙන්වා ඇත්තේ නිවනය. මෙය නිවන හඳුන්වන පදයකි. බලන්න:නිවන. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග: අසංඛතසංයුත්ත: 9.2 - ධුව සූත්‍රය, පි.684.

▲ ධෝවන ගම - Village Dhovana: බුදුන් වහන්සේ වැඩසිටි කාලයේ දක්ෂිණ ප්‍රදේශයේ පිහිටි ගමකි. එම ගම් වැසියන් මළවුන් අනුස්මරණය කිරීම ගැන බුදුන් වහන්සේ විස්තර වදාළහ. බලන්න: ආරියධෝවනය හා ආනාරියධෝවනය.