ඉ කොටස

ඉ කොටස:

ඉච,ඉඥ,ඉත,ඉද,ඉන,ඉණ,ඉප,ඉර,ඉව,ඉස,ඉෂ ඉච

▲ ඉච්ඡාව-Desire: ඉච්ඡාව යනු යමක් අත්පත් කරගැනිමට ඇති දැඩි ආශාවය (තණ්හාව), පාපී ලාමක ආශා ලෙසින්ද පෙන්වා ඇත. ආධ්‍යාත්මික මග බාධාකරන කරුණකි. බලන්න: පාපික ආශා

▼ දැඩි ආශාව නිසා දහම් මගේ පිරිහෙන පුද්ගලයන් 4ක් හා දැඩිආශාව ඇතිවූ විට ඒවා මැඩ ගෙන මග දියුණු කරගන්නා පුද්ගලයන් 4 ක් පිළිබඳ විස්තර මෙහි දක්වා ඇත: (1) සිව්පස ලබාගැනීම පිලිබඳ ආශාව ඇතිවී, ඒවා ගැනීමට වීරිය කර, ඒවා නොලැබීම නිසා දැඩි ශෝකයට පත්වන (2) සිව්පස ලබාගැනීම පිලිබඳ ආශාව ඇතිවී, ඒවා ගැනීමට විරිය කර ඒවා ලැබීම නිසා මත්වෙන (3) සිව්පස ලබාගැනීම පිලිබඳ ආශාව ඇතිවී, ඒවා ගැනීමට වීරිය නොකර, ඒවා නොලැබීම නිසා දැඩි ශෝකයට පත්වන (4) සිව්පස ලබාගැනීම පිලිබඳ ආශාව ඇතිවී, ඒවා ගැනීමට වීරිය නොකර, එහෙත්, ඒවා ලැබීම නිසා මත්වෙන (5) සිව්පස ලබාගැනීම පිලිබඳ ආශාව ඇතිවී, ඒවා ගැනීමට වීරිය කර, ඒවා නොලැබීම නිසා ශෝකයට පත් නොවන (6) සිව්පස ලබාගැනීම පිලිබඳ ආශාව ඇතිවී, ඒවා ගැනීමට විරිය කර ඒවා ලැබීම නිසා මත්නොවන (7) සිව්පස ලබාගැනීම පිලිබඳ ආශාව ඇතිවී, ඒවා ගැනීමට වීරිය නොකර, ඒවා නොලැබීම නිසා ශෝකයට පත්නොවන (8) සිව්පස ලබාගැනීම පිලිබඳ ආශාව ඇතිවී, ඒවා ගැනීමට වීරිය නොකර, එහෙත්, ඒවා ලැබීම නිසා මත්නොවන. බලන්න: ලාභසත්කාර. සටහන්: * 1-4 පුද්ගලයෝ මාර්ගය හානි කරගනි, 5-8 පුද්ගලයෝ මාර්ගය හානි නො කරගනි. ** එම කරුණුම සාරිපුත්‍ර මහා තෙරුන් සංඝයාට වදාළ බව ඉච්ඡා සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (5): 8 නිපාත: 8.2.7.1 ලාභීඉච්ඡා සූත්‍රය, පි. 280, 8.2.8.7 ඉච්ඡා සූත්‍රය, පි. 341, EAN: 8: 61.1 Desire, p. 443 & 77.7 Desire, p. 452.

▼ ඉච්ඡාව, ලෝකය බැඳගෙන ඇත, ඒ තණ්හාව දුරුකිරිමෙන්, සියලු බැඳීම් නැතිවෙන බව මෙහි දක්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (1) සගාථ වග්ග: දේවතාසංයුත්ත:අන්වයවග්ග: 1.7.9 ඉච්ඡා සූත්‍රය, පි.102.

▲ඉච්චාකථාව-flattery: ඉච්චාකතාව (ලපනං) යනු චාටුකථාය-අනුන් රැවටීමට කරන කථාය, අකුසලයකි.මේ අවගුණය ඇතිවිට උත්තරී මනුස්සධම්මය වූ ආරියභාවය ලබාගැනීම නොහැකිවේ. බලන්න: උත්තරීමනුස්සධම්ම මූලාශ්‍ර: අංගුනි: (4): 6 නිපාත: අරහත්වග්ග: 6.2.3.3 උත්තරීමනුස්සධම්ම සූත්‍රය, පි.254, EAN:6: 77.3 Superior, p.360.

ඉඤ

▲ ඉඤ්ජිත - agitation: ඉඤ්ජිත යනු සිත කැළඹීමය (වික්ෂෝභනය), කෙළෙස් නිසා සිත අසහනයට පත්වීමය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි, ‘මම වෙමි’ යි යන මෙය ඉඤ්ජිතයකි. ‘මේ මම වෙමි’ යි ... ‘මම වන්නෙමි’ යි... ‘මම නොවන්නෙමි’ යි... ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යි... ‘රූප නැත්තෙක් වන්නෙමි’ යි... ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යි... ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යි... ‘නොම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යි ... යන මෙය ඉඤ්ජිතයකි... ඉඤ්ජිතය රෝගයකි...ගඩුවකි... හුලකි... ඒ නිසා මෙහි ලා ඉඤ්ජිතය රහිත සිතින් යුතුව වාසය කරන්නෙමු යයි ඔබ විසින් හික්මිය යුතුය.” සටහන: සළායතන විසින් අල්ලා ගන්නා බාහිර අරමුණු නිසා සිත කැළඹීමට පත්වේ. මූලාශ්‍ර: සංයු.නි: (4) සළායතනවග්ග: වේදනා සංයුත්ත: ආසිවිසවග්ග:1.19.11 යවකලාපී සූත්‍රය, පි.410.ESN:36: Vedanasamyutta:248.11 The Sheaf of Barley, p.1327.

▼ තණ්හාව නිසා ඇතිවන කම්පන ඉඤජයෝ බවත්, රාගය පහකල රහතුන් හට ඉඤජිතයෝ නැතය යයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-1 තිස්ස මෙත්තෙයිය මානවක, පි.338

ඉත

▲ ඉතා මිහිරි - Sweetest thing: සත්‍ය ඒකාන්තයෙන්ම මිහිරිය- රස අතුරින් සත්‍ය රසය අග්‍රයයි-බුදුන් වහන්සේ පෙන්වා ඇත. “සච‍්චං හවෙ සාදුතරං රසානං” (Truth is really the sweetest of tastes). මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග:දේවතාසංයුත්ත: 1.8.3 විත්ත සූත්‍රය, පි. 104, ESN: 1: Devatasmyutta: 1: 73.3. Treasure, p.155.

▲ ඉතිවූත්තක - Itivuththaka: සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත්, නවාංගශාසතෘ ශාසනයට ඇතුලත් ග්‍රන්ථයකි. ඉතිවුත්තක යනු : “මෙය, මේ සඳහා කියන ලදී”. උදේනි රජුගේ බිසවවූ, සාමාවතීය ගේ සේවිකාව-කුජුත්තරා උපාසිකාව, බුදුන් වහන්සේ වෙතින් දහම් අසා, මතකයේ රඳවාගෙන විත් සමවාති බිසව ඇතුළු පිරිසට පැවසු දහම ඉතිවුත්තකයට ඇතුලත්වේ. බලන්න: උපග්‍රන්ථය:3 මූලාශ්‍ර: ඛු.නි. ඛුද්දකපාඨ: ඉතිවුත්තක පාලි: සංඥාපනය, පි.16, පා.සිං.ශ: පි. 152.

▲ ඉත්ථිබන්ධන - Bondage of women: ඉත්ථිබන්ධන ලෙසින් පෙන්වා ඇත්තේ කම්සැපට ඇති ඇල්ම නිසා ස්ත්‍රීයක්, පුරුෂයා ගේ බන්ධනයට යටවීමය: බලන්න: බන්ධන. මූලාශ්‍ර: අංගු.නි: (5):8 නිපාත: 8.1.2.8 ඉත්ථිබන්ධන සූත්‍රය,පි.102, EAN:8: Bondage suttas, p. 421.

ඉද

▲ ඉදපච්චයා න්‍යාය-Idapachchaya: මෙය පටිච්චසමුප්පාදයට ඇතුලත් ආරියන්‍යායකි. මෙය අවබෝධය දුෂ්කර දහමකි - දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්ම ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: අවබෝධය දුෂ්කර ධර්ම, ආරියන්‍යාය, පටිච්චසමුප්පාදය.

▲ ඉද්දි - Iddi : ඉද්දි -ඍද්ධි (ඉද්දි බල) යනු අසාමාන්‍ය බලයන්ය. ඉද්දි පිළිබඳව විස්තර පිණිස බලන්න: ඛු.නි: පටිසම්භිදා2:ප්‍රඤාවග්ග: ඉද්දිකථා, පි.194. බලන්න: ඉද්දී බල.

▲ ඉද්දිපාද - Iddipada ඉද්දිපාද සතර, බෝධිපාක්‍යධර්මයකි. බලන්න: සතර ඉද්දිපාද. උද්ධම්භාගිය සංයෝජන පහකිරීමට ඉද්දිපාදයන් මනාව වැඩිය යුතුය යි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: සං.නි.(5 -2)මහාවග්ග: ඉද්දිපාදසංයුත්ත:උද්ධම් භාගිය සූත්‍රය පි. 84,ESN: Iddipada samyuththa, 86.10 Higher Fetters, p. 2108, අංගු.නි: (6) 10 නිපාත, නාථ වග්ග, 10.1.2.3 සංයෝජන සූත්‍රය, පි.60, EAN:10: II Protector, 13.3. Fetters, p. 496.

▼ ඉද්දිපාද යහපත් ලෙසින් වඩාගැනීමෙන් ආනගාමී හෝ අරහත්වය ලැබිය හැකිය. බුදුන් වහන්සේ සම්බෝධිය ලැබීමට පෙර ඉද්දිපාද යහපත් ලෙසින් වඩාගත් බව මෙහි දක්වා ඇත. මූලාශ්‍රය:අංගු.නි: (3) 5 නිපාත: සඤාවග්ග: ඉද්ධිපාද සූත්‍ර2 කි, පි.152.

ඉන

▲ ඉන්දක යක්‍ෂ - Indaka Yakka :බුදුන් වහන්සේ වෙත පැමිණි මේ යක්‍ෂ තෙමේ, සත්ත්‍වයාගේ ඇතිවීම-පැවත්ම ගැන විමසා ඇත. බලන්න: යක්‍ෂ.

▲ ඉන්ද්‍රකීලය - Indrakila: ඉන්ද්‍රකීලය යනු නගරයේ සිමා කණුව- එසිකාස්ථම්භයය. අයස්කීලය ලෙසද, සිමා ස්ථම්භකය ලෙසින්ද හඳුන්වති. නගරයේ දොරටුව අසල, ඉතා ගැඹුරට හෑරු වලක, ලී අරටු වෙන් (heart-wood) සෑදු කණුවක්, සවිමත් ලෙසින් පිහිටුවා ගනී. එවැනි කණුවක අවශ්‍යතාවය වන්නේ, නගරයේ දොරටු දෙක, ඉතා තදින් බැඳ තබා ගැනීමට පුළුවන් වීමය. බලන්න: EDN: note: 930, p. 463, පා.සිංශ: පි.154. සටහන: ඉන්ද්‍රදෙවියන්ගේ ශක්තිමත් කනුව- නොසෙල්විය හැකි කණුවය.

▼ බුදුන් වහන්සේ වදාළ දහම ඉන්ද්‍රකීලයක් ලෙසින් යහපත් ලෙසින්, ස්ථිර ලෙසින් ස්ථාපනය කර ඇත. මූලාශ්‍ර: දීඝ.නි: ( 3):6 පාසාදික සූත්‍රය, ඡෙදය 19, පි. 210, EDN :29 Pasadika Sutta: The Delightful Discourse, p. 318.

▼ යම් පුද්ගලයෙක් තුල තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව ඉන්ද්‍රකීලයක් මෙන් ස්ථාවරවිය යුතුය. මූලාශ්‍ර: අංගු.නි: ( 4): 7 නිපාත: 7.2.2.3 නගරූපම සූත්‍රය, පි. 454, EAN:7: 67.3 Simile of the Fortress, p. 397.

▼ චතුසත්‍ය අවබෝධ කරගත් ශ්‍රමණ බ්‍රාහ්මණ යන් ගේ ආධ්‍යාත්මික මග ස්ථාවරයය. මේ පිලිබඳ යොදාගෙන ඇති උපමාව: ඉන්ද්‍රකිල උපමාව:ඉන්ද්‍රකීලය මෙන් නොසෙල්වෙන බවය. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍රය: සංයු.නි: (5-2) මහාවග්ග: සච්චසංයුත්ත: සිංසපාවග්ග:12.4.9 ඉන්ද්‍රකීල සූත්‍රය, පි.326.

▲ ඉන්ද්‍රිය: පාලි: ඉනද්‍රියානි-Faculties :ඉන්ද්‍රිය ලෙසින් සූත්‍ර පිටකයේ බොහෝ තැන පෙන්වා ඇත්තේ: සද්ධා,වීරිය, සති,සමාධි හා ප්‍රඥා යන ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රියයන්ය. මේවා වඩා ගත් භික්ෂුව, ආහුනෙය්‍ය ආදීවශයෙන් පුද පුජා ලැබීමට සුදුසුවේ. බලන්න: ආහුනෙය්‍ය ආදී, ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රිය. සටහන: ඉන්ද්‍රිය ධම්ම 5 පිලිබඳ විස්තර පිණිස බලන්න: * සංයු.නි: (4) සළායතනවග්ග: සච්චසංයුත්ත: ඉන්ද්‍රිය සූත්‍ර, පි.661.** ඛු.නි: පටිසම්භිදා1: ඉන්ද්‍රියකථා, පි.399. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.1.3 ඉන්ද්‍රිය සූත්‍රය, පි.26.

▼ ධර්මයේ ඉන්ද්‍රිය 22 ක් දක්වා ඇත. මේවා සමහරක් අර්ධ වශයෙන් කායික වේ, සමහරක් අර්ධ වශයෙන් මානසික වේ. සංයු.නි.ඉන්ද්‍රිය සංයුත්තයේ හා වෙනත් සූත්‍ර දේශනාවන්හි හා අභිධර්ම පිටකයේ මේ ඉන්ද්‍රිය 22 පිලිබඳ විස්තර ඇත. සටහන: ඉන්ද්‍රිය යනු කම්මය දක්වන ස්වභාවය ය. ඉන්ද්‍රිය පිලිබඳ විස්තර පිණිස බලන්න: *සිංහල විශුද්ධිමග්ග, පරිච්ඡේදය: 16, ශබ්දකෝෂ: B.D: p.65

▼ ඉන්ද්‍රිය විස්තරය: 1) සයඉන්ද්‍රිය:චක්ඛු ඉන්ද්‍රිය-Eye 2) සොත ඉන්ද්‍රිය -Ear 3) ඝාණ ඉන්ද්‍රිය - Nose 4) ජිව්හා ඉන්ද්‍රිය -Tongue 5) කාය ඉන්ද්‍රිය -Body 6) මන ඉන්ද්‍රිය - Mind. සටහන: 1-6 ආයතන වේ. 7) ස්ත්‍රී ඉන්ද්‍රිය -Femininity: ස්ත්‍රිය යන ව්‍යවහාරය- ස්වභාවය නිසා ස්ත්‍රී ඉන්ද්‍රිය වේ. 8) පුරිස ඉන්ද්‍රිය -Masculinity: පුරුෂ යන ව්‍යවහාරය- ස්වභාවය නිසා පුරිස ඉන්ද්‍රිය වේ. සටහන: ස්ත්‍රී ඉන්ද්‍රිය හා පුරිස ඉන්ද්‍රිය යන 2 ම ජිවිත ඉන්ද්‍රියට සම්බන්ධය. 9) ජිවිත ඉන්ද්‍රිය- Vitality: නාම රූප ලෙසින් කොටස් 2කි. ජිවිත ඉන්ද්‍රිය පවතින තෙක් වේදනා පවතී. 10) සුඛ ඉන්ද්‍රිය-Bodily pleasant feelings: කයට යම් ප්‍රසාදයක් ගෙනෙදෙන පහස නිසා ඇතිවන සැප වේදනාව. 11) දුක ඉන්ද්‍රිය - Bodily painful feelings: කයට යම් අසතුටක් ගෙනෙදෙන, දුක ඇතිකරන පහසක් නිසා ඇතිවන දුක වේදනාව. 12) සෝමනස්ස ඉන්ද්‍රිය -Gladness- mental feeling: සිතට සුවයක් දෙන, සැපයක් ඇතිකරන යම් පහසක් නිසා ඇතිවෙන සුව වේදනාව. 13) දෝමනස්ස ඉන්ද්‍රිය -Sadness- mental feeling: සිතට සුවයක් නොදැන, සැප ඇති නොකරන, යම් පහසක් නිසා සිතට ඇතිවෙන දුක් වේදනාව. 14) උපෙක්ඛා ඉන්ද්‍රිය- Indifference: වේදනාවකි. මෙහි කාර්-ය නම් ශාන්ත ප්‍රණීත බව හෝ මධ්‍යස්ත බවට පත් කිරීමය. කයට හෝ සිතට දැනෙන වේදනා පිළිබඳව සැපක් නැති දුකක් නැති මැදිහත් වේදනාව. සටහන: 10-14 වේදනා ලෙසින් දක්වා ඇත. 15) සද්ධා ඉන්ද්‍රිය- Faith 16) වීරිය ඉන්ද්‍රිය - Energy 17) සති ඉන්ද්‍රිය -Mindfulness 18) සමාධි ඉන්ද්‍රිය- Samadhi 19) ප්‍රඥා ඉන්ද්‍රිය-Wisdom සටහන: 15-19 පංච ඉන්ද්‍රිය-ආධ්‍යාත්මික ඉන්ද්‍රියන්ය 20) අනඤ්ඤාත-ඤානස්සාමීති ඉන්ද්‍රිය - I shall come to know the unknown 21) අඤ්ඤිඉන්ද්‍රිය -Final Knowledge 22) අඤ්ඤඤාත වින්ද්‍රිය - Final knower. සටහන: මෙහිදී බුදුන් වහන්සේ, සේඛ පුද්ගලයාට සෝතාපත්ති මග ලැබීමේදී අනඤ්ඤාත-ඤානස්සාමීති ඉන්ද්‍රිය පහළවේ, ඉන්පසු අඤ්ඤිඉන්ද්‍රිය ඇතිවේ, භව සංයෝජන පහ කලපසු, මගේ විමුක්තිය අකුප්ප යයි අඤ්ඤඤාතවින්ද්‍රිය- ප්‍රත්‍යවෙක්ෂා ඥානය උපදී යයි පෙන්වා ඇත. බලන්න: ඛු.නි: ඉතිවුත්තක: 3.2.3 ඉන්ද්‍රිය සූත්‍රය, පි. 418. සටහන: ගිනිදඬු උපමාව: ගිනි දඬු 2 ක් ගැටීමෙන් ගිනි හටගනී, ඒ දෙක වෙන්කළ විට ගින්න නැතිවේ. එම උපමාව යොදාගෙන පෙන්වා ඇත්තේ සුඛ, දුක, සොම්නස, දොම්නස හා උපේක්ඛා යන ත්‍රිවිධ වේදනා ඇතිවීම හා නැතිවීමය. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සංයු.නි: ( 5-1): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත: විභංග සූත්‍රය, පි. 400 හා ජිවිත ඉන්ද්‍රිය සූත්‍රය, හා අඤ්ඤිඉන්ද්‍රි සූත්‍රය, පි. 392, 4.4.9 කට්ඨෝපම සූත්‍රය, පි.404, ESN: 48: Indriyasamyutta, 36-6 Analysis, p. 1964 & 22.2 & 23. 3 The faculty of final knowledge, p.1949.

▼ ඉන්දීය සයකි. ඇස, කණ, නාසය, දිව, කය හා මනස, මේවා සළායතන ලෙසින්ද පෙන්වා ඇත. මේ ඉන්ද්‍රියන්: අනිච්ච බව, දුකබව, අනත්තබව, ක්‍ෂයවීම, නැතිවීම (වය), විරාගය, නිරොධය, අතහැරීම ආවර්ජනා කිරීම ඉන්ද්‍රිය අනුපස්සනාවය. මූලාශ්‍ර:අංගු.නි: (6 )11 නිපාත, සාමඤඤ වර්ග සූත්‍ර, පි.704, EAN:11: III Similarity,p.577.

▲ ඉන්ද්‍රිය අසංවරය: පාලි: ඉන්‍ද්‍රියෙසු අසංවරාය- None-restraint of the senses: ඉන්ද්‍රිය අසංවරය යනු අභ්‍යන්තර සය ඉන්ද්‍රියන් (සළායතන) ලෞකික අරමුණු කරා අයහපත් ලෙසින් ඇදීයාමය. ඉන්ද්‍රියන් විෂයෙහි නො රක්නා ලද දොර ඇතිබව (ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරොහොති) ලෙසින් ද ඉන්ද්‍රිය අසංවරය හඳුන්වයි. ඉන්ද්‍රිය අසංවරවීම, දහම් මගට බාධාවකි.

▼ බුදුන් වහන්සේ ඉන්ද්‍රිය අසංවරය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ දහම සංඝයා එක්ව, දහමේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු යයි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3 ):10 සංගිති සූත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▼ ඉන්ද්‍රිය අසංවරය, ත්‍රිවිධ දුශ්චරිතය පෝෂණය කරයි. අසතිය හා අසම්ප්‍රජන්‍යය ඇතිවීම නිසා ඉන්ද්‍රිය අසංවරය ඇතිවේ. බලන්න: අවිද්‍යාව හා විද්‍යාව. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10 නිපාත: යමක වග්ග: 10.2.2.1 අවිද්‍යා සූත්‍රය, පි.232, EAN:10: II Pairs: 61.1.Ignorance, p. 517.

▼ ඉන්ද්‍රිය අසංවරය ඇතිවීමට, අශ්‍රද්ධාව, ත්‍යාගශීලිනොවීම හා කුසිතබව බලපායි. මේ කරුණු පහකර ගැනීමෙන් ඉන්ද්‍රිය අසංවරය පහකර ගත හැකිවේ. මූලාශ්‍ර: අංගු.නි:(6 )10 නිපාත:10.2.3.6.තයොධම්ම සූත්‍රය, පි.284, EAN-10: 76-6. Incapable, p. 524.

▼ ඉන්ද්‍රිය අසංවරය නිවනට හේතු නොවේ: ඉන්ද්‍රිය අසංවරය ඇතිවිට අසිල්වත්වේ, අසිල්වත් බව සම්මා සමාධියට බාධාවකි, සම්මා සමාධිය නොමැතිවිට, යථාභූත ඥාන දස්සනය ඇතිනොවේ, යථාභූත ඥානය නොමැතිවිට, නිබිද්දාව හා විරාගය ඇතිනොවේ, නිබිද්දාව හා විරාගය නොමැතිවිට විමුක්තිය- නිවන සාක්ෂාත් නොවේ. මේ පිලිබඳ උපමාව: ගස උපමාව: ගසක, කොළඅතු නො වැඩුනවිට, එහි මුල් නොවැඩේ, මුල් නොවැඩුන විට ගසේ පොත්ත, හරය නොවැඩේ, එනිසා ගස නිසරු ගසක් බවට පත්වේ. මූලාශ්‍රය: අංගු.නි: (4): 6 නිපාත:ධම්මිකවග්ග: 6.1.5.8 ඉන්ද්‍රියසංවර සූත්‍රය, පි.150.

▲ ඉන්ද්‍රියධම්ම-Indriya Dhamma: අවසාන ඥානය ලැබීමේ අවස්ථා තුන, ඉන්ද්‍රිය ධම්ම ලෙසින් පෙන්වා ඇත. බලන්න: අවසාන ඥානය.

▲ ඉන්ද්‍රිය නානත්‍වය, ඵලනානත්‍වය, පුද්ගලනානත්‍වය :පාලි: ඉන්‍ද්‍රියවෙමත‍්තතා ඵලවෙමත‍්තතා පුග‍්ගලවෙමත‍්තතා-difference in the faculties-difference in the fruits-difference of persons ඉන්ද්‍රිය නානත්‍වය: ලෙසින් පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රියන්ය: සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වැදීමේ විවිධ බවය. ඵලනානත්‍වය: එලෙස වැඩුන විට එමගින් ලැබෙන ඵලය- ප්‍රතිලාභය වෙනස් වේ. පුද්ගලනානත්‍වය: ප්‍රතිලාභය වෙනස්වන අන්දම අනුව පුද්ගලයෝ විවිධ වේ. පුද්ගල ප්‍රභේද: 1) පංචඉන්ද්‍රිය පර්පුර්ණවූ විට ලැබෙන ඵලය අරහත්බව- රහතන්වහන්සේය. 2) අරහත්බවට ටිකක් අඩුවෙන් පංචඉන්ද්‍රිය වැඩුන විට,අනාගාමී ඵලය, අනාගාමී උතුමා. 3) අනාගාමීබවට ටිකක් අඩුවෙන් පංචඉන්ද්‍රිය වැඩුන විට, සකදාගාමී ඵලය-සකදාගාමී උතුමා. 4) සකදාගාමී බවට ටිකක් අඩුවෙන් පංචඉන්ද්‍රිය වැඩුනවිට, සෝතාපන්න ඵලය- සෝතාපන්න උතුමා 5) සෝතාපන්නබවට ටිකක් අඩුවෙන් පංචඉන්ද්‍රිය වැඩුන විට ධම්මානුසාරී ඵලය- ධම්මානුසාරී උතුමා 6) ධම්මානුසාරීබවට ටිකක් අඩුවෙන් පංචඉන්ද්‍රිය වැඩුන විට ශ්‍රද්ධානුසාරී ඵලය, ශ්‍රද්ධානුසාරී උතුමා බලන්න: ආරියපුද්ගලයෝ. මූලාශ්‍ර: සංයු.නි : (5-1): මහාවග්ග: ඉන්ද්‍රිය සංයුත්තය: 4.2.3. දුතිය සංඛිත්ත සූත්‍රය, පි. 384, ESN: 48: Indriyasamyutta: 13.3 In Brief, p. 1939.

▲ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය: පාලි: ඉන්‍ද්‍රියපරොපරියත‍්තං ඤාණං- knowledge of the faculties of other beings: ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය ලෙසින් පෙන්වා ඇත්තේ වෙනත් සත්ත්‍වයන් ගේ ඉන්ද්‍රිය වැඩීමේ තත්වය: උසස්ද? හීනද? ආදීවශයෙන්, ඉන්ද්‍රියන් වැඩි තිබෙන ආකාරය යථාභූත ලෙසින් දන්නා නුවණය. මේ නුවණ ඉන්ද්‍රියපරාවරභාවය ලෙසින්ද පෙන්වා ඇත. මෙය තථාගතයන් වහන්සේ සතු දසබල ඥානයන්ගෙන් එකකි, තමන්වෙත පැමිණෙන ලෝක සත්ත්‍වයන්ගේ ඉන්ද්‍රිය ධර්ම: පංච ඉන්ද්‍රිය: ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තත්වය දන්නා තථාගතයන්වහන්සේ, ඒ අනුව සුදුසු පරිදි ඔවුනට දහම් දෙසති. ( the Tathāgata understands as it really is the superior or inferior condition of the faculties of other beings).බලන්න: තථාගත-දසබල ඥාණ. සටහන්: * පටිසම්භිදාවේ, මෙම නුවණ විස්තරාත්මකව පෙන්වා ඇත. බලන්න: ඛු.නි: පටිසම්භිදා 1: ඤාණකථා:68 ඉන්ද්‍රියප්‍රාවාර්ත ඥානය, පි.248. ** එම නුවණ ඇතිව බුදුන් වහන්සේ මිනිසුන්ගේ ඉන්ද්‍රිය වැඩිම පිලිබඳව පෙන්වා දෙන අන්දම පිළිබඳව බලන්න: * ඉන්ද්‍රිය වර්ධනය අනුව පුද්ගලවෙනස්කම්. ** අංගු.නි: 6 නිපාත: 6.1.5.2 මිගසාලා සූත්‍රය, පි.130 හා 10 නිපාත: 10.2.3.5 මිගසාලා සූත්‍රය, පි.274.

▲ ඉන්ද්‍රිය භාවනාව - Indriya bhawanawa:ඉන්ද්‍රියන් සංවර කරගැනීමේ භාවනාවය. ආරියවිනයේ, ඉන්ද්‍රිය භාවනාව පිලිබඳ විස්තර පිණිස බලන්න: ම.නි: (3): ඉන්ද්‍රිය භාවනා සූත්‍රය.

▲ ඉන්ද්‍රියභුමි-Indriya Bhumi: සමථ, විපස්සනා, තුන්කුසල මූල :අලෝභ, අදෝස, අමෝහ, අශුභසංඥා, සතර සති පට්ඨානය ආදීය ඉන්ද්‍රිය භුමි වේ. මූලාශ්‍ර: ඛු.නි: නෙත්තිප්‍රකරණය, උද්දෙසවාරය, පි.26.

▲ ඉන්ද්‍රිය සංවරය: පාලි: ඉන්‍ද්‍රියෙසු සංවරාය- Restraint of the six senses : ඉන්ද්‍රිය සංවරය ‘ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරොහොති’- ඉන්ද්‍රියන් විෂයෙහි රක්නා ලද දොර ඇති බවය. එනම්: අභ්‍යන්තර සය ඉන්ද්‍රියන් (සළායතන) ලෞකික අරමුණු කරා අයහපත් ලෙසින් ඇදීයාම සංවර කරගැනිමය. ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීම , අපණ්ණක පටිපදාවට - ආසව ක්‍ෂය කරගැනීම පිණිස කටයුතු කිරීමට එළඹිමයයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. සේඛ ප්‍රතිපදාව අනුගමනය කරණ භික්ෂුව තුල මෙම ගුණය ඇත. බලන්න: අපණ්ණක ධම්ම හා පටිපදාව, සළායතන, සේඛ හා අසේඛ. සටහන:ම.නි:ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉන්ද්‍රිය සංවරය පිලිබඳ විස්තරාත්මකව පෙන්වා ඇත.

▼ ඉන්ද්‍රියන් විෂයෙහි රක්නා ලද දොර ඇතිබව බුදුන් වහන්සේ මෙසේ විස්තර කරඇත: “කතඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරොහොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තිග‍්ගාහී හොති, නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී යත්‍වාධිකරණ මෙතං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලාධම‍්මා අනවාස‍්සවෙය්‍යුං,තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛීති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජිති...” ඉන්ද්‍රිය සංවර ප්‍රතිපදාව: භික්ෂුවක් කෙසේ ඉන්ද්‍රිය විෂයෙහි රක්නා ලද දොර ඇතිව වාසය කරයිද? මේ සසුනේ භික්ෂුව, ඇසින් රූප දැක නිමිති නොගනී, අනුව්‍යජන නොගනී. යම්හෙයකින්,ඔහු ඇස අසංවර කරගෙන සිටියේ නම්, අභිජ්ජා, දොම්නස් ආදී ලාමක අකුසල ඔහු ආක්‍රමණය කරයි. එමනිසා, ඔහු ඇස සංවර කරගැනීම පිණිස එළඹේ. ඇස ආරක්‍ෂා කරයි, සංවර කරගනී... එලෙසින් ඔහු සෙසු ඉන්ද්‍රියන්: කණට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසේ ඇතිවෙන සිතුවිලි, රැකගැනී, ඔහු සංවර කර ගනී. මේ පටිපදාව ඉන්ද්‍රිය සංවරයය. (And how, bhikkhus, does a bhikkhu guard the doors of the sense faculties? Here, having seen a form with the eye, a bhikkhu does not grasp its marks and features. Since, if he left the eye faculty unrestrained, bad unwholesome states of longing and dejection might invade him, he practices restraint over it; he guards the eye faculty, he undertakes the restraint of the eye faculty) මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාත: 3.1.2.6 සූත්‍රය, පි. 252, EAN:3: 16.6 The Unmistaken, p. 83.

▼ ඉන්ද්‍රිය සංවරය නිවනට හේතුවේ. ඉන්ද්‍රිය සංවරය ඇතිවිට සිල්වත්වේ-ශිලසම්පන්න, සිල්වත් බව සම්මා සමාධිය වඩාගැනීමට හේතුවේ, සම්මා සමාධිය ඇතිවිට, යථාභූත ඥානය ඇතිවේ, යථාභූත ඥානය ඇතිවිට, නිබිද්දාව හා විරාගය ඇතිවේ, නිබිද්දාව හා විරාගය ඇතිවිට විමුක්තිය- නිවන සාක්ෂාත්වේ. මේ පිලිබඳ උපමාව:සරු ගස-ගසක, කොළඅතු මනාව වැඩුනවිට, එහි මුල් වැඩේ, මුල් වැඩුන විට ගසේ පොත්ත, හරය වැඩේ, එමගින්, ගස සරු ගසක් බවට පත්වේ. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍රය: අංගු.නි: (4): 6 නිපාත:ධම්මිකවග්ග: 6.1.5.8 ඉන්ද්‍රියසංවර සූත්‍රය, පි.150.

▼ ඉන්ද්‍රිය සංවරය ඇති භික්ෂුව පිලිබඳ බුදුන් වහන්සේ මේ උපමාව දක්වා ඇත: අශ්ව රථය උපමාව: යම්කිසි සම භූමියක ඇති සිව්මංසලක, අජානිය අශ්වයන් සහිත රථයක් ඇත. අසුන් හික්මවීමෙහි සමත් දක්ෂ රියදුරෙක් ඒ රියට නැගී වමතින් රැහැන් පටියද, දකුණු අතින් කෙවිට ද ගෙන තමන් කැමති දිසවකට යෑමට අසුන් හසුරුවා ගෙන රිය ගෙනයයි, නැවත කැමති ලෙසින්, කැමති විටක පෙරලා පැමිණෙයි. එලෙසින්, සය ඉන්ද්‍රිය ආරක්ෂා කරගැනීම පුහුණු කරන භික්ෂුව (අසුන් හසුරවන ලෙසින්) එම ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමට දක්ෂ වේ, ඒවා හික්මවා ගැනීමට සමත් වේ, ඒවා නිසල කරගැනීමට දක්ෂවේ. එලෙසින්, භික්ෂුව ඉඳුරන්හි වසන ලද දොර ඇතිව වාසය කරයි, ඔහු ආසව ක්‍ෂය කිරීමේ පටිපදාව ආරම්භ කර ඇත යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සංයු.නි: ( 4 ): සළායතනවග්ග: 1.19.2 රථුපම සූත්‍රය, පි.369, ESN: 35: Salayatanasamyutta: 239.2 The Simile of the Chariot, p.1315.

▼ බුදුන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ දහම සංඝයා එක්ව, දහමේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු යයි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3):10 සංගිති සූත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▼ යහපත් ඉන්ද්‍රිය සංවරය යනු මනාව වැසූ ඉන්ද්‍රියන් සහිතව වාසය කිරීමය. අභ්‍යන්තර ඉන්ද්‍රිය සයෙන් (ඇස, කණ, නාසය, දිව, කය හා මනස) රූප, ශබ්ද, ගඳසුවඳ, රස, පහස හා සිතිවිලි යන බාහිර අරමුණු අල්වා නොගෙන, ඒවා යේ ලක්ෂණ හෝ විශේෂබවට යට නොවී (නිමිති නොගෙන) ඒ ඒ ඉන්ද්‍රිය සංවරකර ගෙන වාසය කිරීමය- යහපත් ලෙසින් ඉන්ද්‍රිය හික්මවා ගැනීමය. එනම් ලාමක අකුසල් වන ලෝභය, දෝස ආදිය ඇතිවීමට අවස්ථාව නොදීසිටීමය. ඉන්ද්‍රිය සංවරය නිසා සිදුවන යහපත හා ඉන්ද්‍රිය අසංවරය නිසා සිදුවිය හැකි අයහපත පිලිබඳ මනා දැනුමක් අරිය ශ්‍රාවකයට ඇත. ඉන්ද්‍රිය සංවරය, උසස් දහම් පුහුණුවේ යෙදෙන සංඝයා සතු ගුණයකි. බලන්න: සේඛ හා අසේඛ. මූලාශ්‍ර: ම.නි. (2): 2.1.3 :සෙඛ සුත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▼ ඉන්ද්‍රිය සංවරය නිසා ත්‍රිවිධ සුචරිතය පෝෂණයවේ. සතිය හා සම්ප්‍රජන්‍යය ඇතිවිට ඉන්ද්‍රි සංවරය ඇතිවේ. බලන්න: අවිද්‍යාව හා විද්‍යාව. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10 නිපාත: යමක වග්ග: 10.2.2.1 අවිද්‍යා සූත්‍රය, පි.232, EAN:10: II Pairs: 61.1.Ignorance, p. 517.

▲ ඉන්ද්‍රිය සංවර ශිලය: Indriya Samvara Sila: උසස් පුහුණුවේ යෙදන භික්ෂු/ භික්ෂුනියන් (සේඛ පුහුණුව), සය ඉන්ද්‍රිය සංවර කර ගැනීම පිණිස කරන පුහුණුව ඉන්ද්‍රිය සංවර ශිලය වේ. බලන්න: සේඛ, ශිලය. ආරිය අට මග ඇතිකර ගැනීමට මේ ශිලය අවශ්‍යතාවයකි. සටහන: විස්තර පිණිස බලන්න: විසුද්ධිමග්ග, පරිච්ඡේදය1. මූලාශ්‍ර:සංයු.නි: (5-1) මහාවග්ග: මග්ගසංයුත්ත: සීලසූත්‍රය, පි. 78, ESN: 45: Maggasamyutta: 50. 55 virtue, p 1654. ශබ්දකෝෂය: පා.සිං.ශ: පි. 155: “ඉන්ද්‍රියසංවර: චක්ෂු ආදී ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම, පංචඉන්ද්‍රිය ආරක්ෂා කිරීමෙන් රක්නා ශිලය”. B.D: p.67: “Indriya Samvara Sila: morality consisting of purity of restraint the senses”.

▲ ඉන්ද්‍රිය සම්පන්න: පාලි: ඉන්‍ද්‍රියසම‍්පන‍්නො- equipped with faculties ඉන්ද්‍රිය සම්පන්න යනු, කෙනෙකුගේ පංචඉන්ද්‍රිය පුර්-ණ බවට පත්වීමය, නිවන ලැබීමය. බලන්න: පංච ඉන්ද්‍රිය.

▼ ඉන්ද්‍රියසම්පන්න වීම පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: “මේ සසුනේ මහණ කෙළෙස් සංසිඳීම ඇතිකරණ (උපසමය), නිවන ලබාදෙන පංච ඉන්ද්‍රිය වඩයි, පරිපුර්-ණ කරගනි, එය ඉන්ද්‍රියසම්පන්න බවය ය”: “ ඉධ භික‍්ඛු, භික‍්ඛු සද‍්ධිනද්‍රියං... විරියිනද්‍රියං... සතිනද්‍රියං... සමාධිනද්‍රියං... පඤ‍්ඤිනද්‍රියං ...භාවෙති උපසමගාමිං සම‍්බොධගාමිං. එත‍්තාවතා ඛො භික‍්ඛු ඉන්‍ද්‍රියසම‍්පන‍්නො හොතී ති” (a bhikkhu develops the faculty of faith... energy … mindfulness … concentration … wisdom, which leads to peace, leads to enlightenment). මූලාශ්‍ර: සංයු.නි : (5-1): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්තය: 4.2.9. සම්පන්න සූත්‍රය, පි. 390, ESN:48: Indriyasamyutta: 19.9 Equipped p. 1945.

▲ ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරොහොති- not guarding the sense doors සය ඉන්ද්‍රිය නම්වූ දොරටු ආරක්ෂා නො කිරීම මින් අදහස් කෙරේ. බලන්න: ඉන්ද්‍රිය අසංවරය.

▲ ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරොහොති- guard the doors of the senses සය ඉන්ද්‍රිය නම්වූ දොරටු ආරක්ෂා කිරීම මින් අදහස් කෙරේ.බලන්න: ඉන්ද්‍රිය සංවරය. සටහන:ඉන්ද්‍රියේ ගුත්තද්වාර ඇති භික්ෂුන් අතරෙන් අග්‍ර නන්ද තෙරුන්ය. බලන්න: අග්‍රතම ශ්‍රාවක භික්ෂූන්.

ඉණ

▲ ඉණ- debt: ඉණ ලෙසින් පෙන්වා ඇත්තේ ණයගැතිබවය. කාමභෝගී පුද්ගලයෙක්හට ණයගැති බාවය දුකකි, ලෝකයාට ණය වීම නිසා ඔහු දිළින්දෙක්- දුප්පත්කෙනක් බවට පත්වේ. ණයගැතිබව නිසා විඳින්නට සිදුවන දුක් පිඩා මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත:ධම්මිකවග්ග: 6.1.5.3 ඉණසූත්‍රය, පි.138.

ඉප

▲ ඉපදවියයුතු ධම්ම හා නොඉපදවියයුතු ධම්ම- Dhamma to be aroused & Dhamma not to be aroused : ඉපදවියයුතු ධම්ම: මග වැඩිම පිණිස ඇතිකරගතයුතු කුසල ධම්මය, නොඉපදවියයුතු ධම්ම නම් අකුසලයය. බලන්න: උත්පාදයිතව්‍ය ධම්ම, අනුත්පාදයිතව්‍ය ධම්ම.

ඉර

▲ ඉරියාපථ- Iriyapatha: ඉරියාපථ යනු කය හසුරුවන සතර ආකාරය: සිටීම, ඉඳීම, ඇවිදීම හා ඇලවීම. මෙය භාවනාව පිලිබඳ විෂයකි. සති පට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව යට‍තේ ඉරියාපථ භාවනාව විස්තරකර ඇත. බලන්න: භාවනා

▲ ඉරිසියාව: පාලි: ඉස‍්සා-envy හා ඉරිසියානොවීම -non-envy ඉරිසියාව: අනුන්ට ලැබෙන ලාභ සත්කාර ආදිය ගැන සිතේ ඇති අකමැත්තය. මෙය සිත කෙලෙසන අකුසලයකි, දුගතිය ඇති කරයි. පාපික ලාමක දෙයකි. ඉරිසියාව නැතිවිට ආධ්‍යාත්මික මග වඩා ගත හැකිවේ. ඉරිසියාව සාවද්‍ය ධම්ම යකි.බලන්න: උප කෙළේස, සල්ලේඛ පරියාය. මූලාශ්‍ර:අංගු.නි: (1 ):2 නිපාත:17: 1 අකුසල පෙය්‍යාලය සූත්‍ර, පි.230, EAN:2: XVII, Unwholesome R. , p. 74.

▼ ඉරිසියාව පහකරගැනීම පිණිස එය අකුසලයක් බව නිතරම නුවණින් දැකිය යුතුය. මූලාශ්‍ර:අංගු.නි.(6)10 නිපාත, මහා වග්ග, 10.1.3.3. කාය සූත්‍රය,පි. 100, EAN:10: III The Great Chapter, 23.3. Body, p. 500.

▼ අරහත්වය පිණිස නැතිකරගතයුතු අකුසල දහම් 10 ට ඉරිසියාවද ඇතුලත්වේ. බලන්න: අරහත්.

▼ වෙනත් මුලාශ්‍ර: 1. Per Bhikkhu Bodhi: Envy is resentment over the honors, etc., shown to others. බලන්න: EMN note 87, p. 1179. 2.“ අන්‍යයන්ට ලැබෙන ඇඳුම් පැළඳුම්, ගේදොර, තනතුරු පුද සත්කාර ආදිය නො ඉවසන ස්වභාවය ඉස්සා නම්වේ. ඊර්-ෂියාව ඇතිවිට අනුන්ගේ සම්පත්ති නැතිකිරීමට සිතයි. මෙය ඇති අය ඒ බව නොදනී. ලාමක පාපයකි” කෙලෙස් එක්දහස් පන්සියය: පි.83, රේරුකානේ චන්දවිමල මහානාහිමි, 2008. 3. “ ඉරිසියාව කාන්තාවන් තුළ බහුලව ඇති අකුසලයකි. මෙය භයානක අකුසලයක් වන්නේ එමගින් දුගතියට පත්වෙන නිසාය. මෙය නිසා කායික හා මානසික සුවය ඇතිනොවේ. බුදුන්වහන්සේ වදාළේ කෙනෙකුට සමාජයේ පිළිගැනීමක් නැතිවන්නේ එම පුද්ගලයා සසරේ කරනලද ඉරිසියාවනිසාය). මුදිතාව දියුණු කිරීමෙන් මෙය නැතිකරගත හැකිවේ. මහාමේඝ අන්තර්ජාල ලිපිය: https://mahamegha.lk/2020/07/09/irisiyawa-durala-mudithawa-wadamu/

▲ ඉර්දී ප්‍රාතිහාර්ය -miracle of psychic power :ඉද්දි- ඍද්ධි ලෙසින්ද පෙන්වා ඇත. විවිධවූ හාස්කම් දැක්වීමට ඇති හැකියාව- බලය. සතර ඉද්දි පාද සම්පුර්ණ කරගැනීමෙන් විවිධ ඉර්දීබල ලබාගත හැකිය. විස්තර පිණිස බලන්න: සංයු.නි: ඉද්දිපාද සංයුත්තය. බලන්න: ප්‍රාතිහාර්ය, සතර ඉද්දිපාද, ඉර්දී බල.

▲ ඉර්දීබල: පාලි: ඉද‍්ධිවිධං -spiritual power: ඉද්දි- ඍද්ධිබල ලෙසින් පෙන්වා ඇත්තේ සතර ඉද්දිපාද වඩා ගැනීමෙන් ලැබෙන ආධ්‍යාත්මික බලයන්ටය. ඉද්ධිමත්-ඍද්ධිමත් ලෙසින්ද හඳුන්වයි. බලන්න: සතර ඉද්දිපාද. සටහන්: * සංයු. නි. ඉද්දිපාද සංයුත්තයේ ඉද්දි පිලිබඳ විස්තරාත්මකව පෙන්වා ඇත. ** බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් අතුරින්, මහා මුගලන් තෙරුන් අග්‍ර ඍද්ධිමත් බව ලබා ඇත. බලන්න: උපග්‍රන්ථය: 1. **ඉද්දී බලඇති භික්ෂුණියන් අතරෙන් අග්‍ර: අග්‍රශ්‍රාවිකා උප්පලවන්නා තෙරණිය: බලන්න: උපග්‍රන්ථය:2. ** විවිධ ඉද්දිබල විස්තරය පිණිස බලන්න:දීඝ.නි: කේවඩ්ඩ සූත්‍රය.** පුරාණයේද, වත්මන් කාලයේද, අනාගතයේද, සිටින ශ්‍රමණ හා බ්‍රාහ්මණ යන් විවිධ ඉද්ධිබල සහිතවූ බව මෙහි පෙන්වා ඇත. බලන්න: සංයු.නි: (5-2) මහාවග්ග: ඉද්දිපාදසංයුත්ත: 7.2.7 ඉද්ධිවිධ සූත්‍රය, පි.58.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි, මම යම්තාක් කැමති වේ නම් ඒ තාක් විවිධ ඉද්දී පැවත්විය හැකිය” ( එක් පුද්ගලයෙක්ව බොහෝ දෙනෙක්වීම...සඳ හිරු ස්පර්-ශ කිරීම ආදීවූ...) සටහන: මේ සූත්‍රයේ එම ඉද්දී බල විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: ( 2): නිදානවග්ග: කස්සපසංයුත්ත: 4.1.9 ජාන අභිඥා සූත්‍රය, පි. 342, ESN: 16: Kassapasamyutta: 9 Jhānas and Direct Knowledges, p. 817.

▲ ඉර්දීවිධ ඥානය- Irdivida Nana: සතර ඉද්දිපාද යහපත් ලෙසින් වඩා ගැනීමෙන් ඇතිකරගන්නා සුඛසංඥාව හා ලඝු සංඥාව මගින් ලබා ගන්නා නුවණ ඉර්දීවිධ ඥානය-ඍද්ධිවිධඥානය ය. මූලාශ්‍ර:ඛු.නි: පටිසම්බිදා -1, ඤානකතා: 50 ඉර්දීවිධ ඥානය, පි. 232.

▲ ඉර්දී සම්පත්-Irdisampath :ඉද්දී සම්පත් ලෙසින් පෙන්වා ඇත්තේ සක්විති රජුට ඇති සම්පත් 4 ගැනය. බලන්න: සක්විතිරජ.

ඉව

▲ ඉවසීම- Patience: ආධ්‍යාත්මික මග වඩා ගැනීම පිණිස අවශ්‍ය මූලීක කරුණකි, කුසලයකි. බලන්න: ක්ෂාන්තිය. සටහන්: * ධර්ම පුහුණුව ලබන පුද්ගලයා, ඉවසීම පුරුදු කලයුතු ආකාරය පිණිස බලන්න: ම.නි. කකචුපම සූත්‍රය. ** ඉවසීම දස පාරමිතාවක් ලෙසින්ද පෙන්වා ඇත.

ඉස

▲ ඉසිදත්ත තෙර-Isidattha Thera: බලන්න: උප ග්‍රන්ථය:1

▲ ඉසිදත්ත හා පුරාණ උපාසකයන්: -Isidattha & Purana Upaska: බලන්න: උප ග්‍රන්ථය:3

▲ ඉසිපතනය-Isipathna: බුදුන් වහන්සේ ප්‍රථම දහම් දේශනාව පැවැත්වූවේ, ඉන්දියාවේ, බරණැස් නුවර, ඉසිපතන මිගදායේය. මෙය බෞද්ධයන් ගේ පුජනිය ස්ථානයකි. බලන්න: පුජනිය සිව් ස්ථාන.

▲ ඉසිවරු-Irshi :ඉසිවරු ලෙසින් පෙන්වා ඇත්තේ, ආධ්‍යාත්මික බල ඇති පුද්ගලයන්ය. බුදුන් වහනේ පසේබුදුවරු, ඉසිවරු ලෙසින් දක්වා ඇත. ඒ ඉසිවරු වාසය කල ස්ථනයක් ලෙසින් රජගහනුවර පිහිටි , ඉසිගිලි පව්ව ගැන මෙහි විස්තර කර ඇත. මූලාශ්‍ර: ම.නි: (3): 3.2.6 ඉසිගිලි සූත්‍රය, පි. 222, EMN:116 Isigili Sutta, p. 847.

▼ පුරාණ දඹදිව වාසය කල යහපත් ගුණ ඇති ඉසිවරු බැහැදැකීමට, සක්දෙවිඳු පැමිණි විස්තරය මෙහි දක්වාඇත. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග:සක්ඛසංයුත්ත:11.1.9 අරඤඤායතනඉසි සූත්‍රය, පි.428.

▼ මුහුදු තෙර වාසය කල යහපත් ඉසිවරු, අසුරයන්ගෙන් ඇතිවිය හැකි බිය නැතිකරගැනීම පිණිස, සම්භර අසුර රජු හමුවීම පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග:සක්ඛසංයුත්ත:11.1.10 ඉසයෝ සමුද්‍රක සූත්‍රය, පි.430.

▼ ඉසිවරුන්ගේ ඉද්දි බලයෙන් දණ්ඩක ආදී වනයන් ඇතිවීම පිළිබඳව බලන්න: ම.නි: (2) උපාලි සූත්‍රය.

▼ අසිත දේවාල ඉසිවරයා ගේ ඉද්දි බල ගැන විස්තර පිණිස බලන්න: ම.නි: (2) අසේලයාන සූත්‍රය.

ඉෂ

▲ ඉෂ්ඨධම්ම- Ishtadhamma: ඉෂ්ඨධම්ම ලෙසින් පෙන්වා ඇත්තේ, ලබාගැනීමට කැමති දේය (things that are wished). ඒවා ලබාගැනීම පහසු නොවේ. මෙහි එවැනි කරුනු 10 ක් පෙන්වා ඇත. මානාවූ: ධනය (භෝග- Wealth) ,වර්ණ (රූමත්බව- Beauty) ,ආරෝග්‍ය, ශිලය, බ්‍රහ්ම චරියාව, කලනමිත්‍රයෝ, බහුශ්‍රැතබව, ප්‍රඥාව, යහපත් ගුණ දහම (Good qualities),ස්වර්ගය, මූලාශ්‍රය: අංගු.නි: (6) 10 නිපාත:10.2.8.3 ඉෂ්ඨධම්ම සූත්‍රය, පි.270,EAN:10: 73.3 Wished for, p.522.